ඒ වගේ ප්‍රකාශයක් කරන්න විජයකලා ඇමැතිතුමියට කිසිම අයිතියක් නැහැ


ආරක්ෂක රාජ්‍ය ඇමැති 
රුවන් විජයවර්ධන

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනිය කළ ‘ප්‍රභාකරන් යළිත් ඕනෑ’ ප්‍රකාශයෙන් රටම ගිනියම් වී තිබේ. මේ ඒ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- ‘ප්‍රභාකරන් යළිත් ඕනෑ’ කියා විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනිය කළ ප්‍රකාශය ගැන ඔබේ ස්ථාවරය?   


පිළිතුර:- එතුමියගේ ප්‍රකාශය මම තරයේ හෙළා දකිනවා. එහෙම ප්‍රකාශයක් කරන්න එතුමියට කිසිම අයිතියක් නෑ ඇත්තටම. මොකද එතුමියත් දන්නවා උතුරේත් නැගෙනහිරත් විතරක් නොවෙයි මුළු ලංකවටම ප්‍රභාකරන් කරපු විනාශය ගැන. විශේෂයෙන් එල්ටීටීඊය ගත්තොත් ඒ අය මුලින්ම ඝාතනය කළේ ඒ අයගේම අයව. දෙමළ ජනතාව සංහාරය කරමින්ම තමයි පටන් ගත්තේ. මධ්‍යස්ථ දෙමළ දේශපාලනඥයන් ඝාතනය කළා. තිරුචෙල්වම්, අමිර්තලිංගම් වගේම ලක්ෂ්මන් කදිරගාමර් වැනි දෙමළ නායකයන් ඝාතනය කළා. උතුරෙත් නැගෙනහිරෙත් දරුවන් බලහත්කාරයෙන් එල්ටීටීඊ සංවිධානයට බඳවා ගෙන ළමා සොල්ද‌ාදුවන් හැටියට යුද්දෙට ඇරියා. ඒ දරුවන් කොච්චර මැරුණාද? ඒ වගේ විශාල අපරාධයක් කරපු සංවිධානයක් ආපහු උතුරට අවශ්‍යයි කියන වගේ කතාවක් කියන්න එතුමියට කිසිම අයිතියක් නෑ.   


ප්‍රශ්නය:- එ් ප්‍රකාශය විජයකලා මහේෂ්වරන්ගේ හුදකලා ප්‍රකාශයක්ද? එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ මතය ප්‍රකාශ කිරීමක්ද?   


පිළිතුර:- ආණ්ඩුවේ එහෙම කිසිම මතයක් නෑ. එක්සත් ජාතික පක්ෂයේවත් මේ රජයේවත් එහෙම මතයක් නෑ. ඇත්තටම මේ රටේ යුද ඉතිහාසය ගත්තොත් එල්ටීටීඊය විශාලම අලාභයක් කළේ එක්සත් ජාතික පක්ෂයටයි. අපේ නායකයන් කී දෙනෙක් ඝාතනය කළාද? ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජානක පෙරේරා වැනි නායකයන් ගණනාවක් ඝාතනය කළේ එල්ටීටීඊ සංවිධානයයි. ඒ නිසා අපට කිසිම අවශ්‍යතාවක් නෑ එල්ටීටීඊ සංවිධානය යළිත් නගාසිටුවන්න.   


ප්‍රශ්නය:- නමුත් අලි-කොටි ගිවිසුම් ගැන චෝදනා එල්ල වුණා.   


පිළිතුර:- ඔව්. විරුද්ධ පක්ෂය ඒ වගේ මතයක් ගොඩනගන්න උත්සාහ කළා. නමුත් ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා ඒ චෝදනාවල කිසිම සත්‍යයක් නෑ කියලා. අද එල්ටීටීඊ එක විනාශ වෙලා තියෙනවා. ඉතින් මොකටද ඒක නැවත නගාසිටුවන්නේ?   


ප්‍රශ්නය:- නමුත් මේ රජයට එරෙහිව ප්‍රබලව නැගෙන චෝදනාවක් තමයි දෙමළ කොටි ඩයස්පෝරාවට අවශ්‍ය විදියට කටයුතු කරනවා කියලා. රණවිරු දඩයමත් ඒ වෙනුවෙන් බවයි කියන්නේ.   


පිළිතුර:- නෑ. අපිට කිසිම උවමනාවක් නෑ රණවිරුවන් දඩයම් කරන්න. හැබැයි පහුගිය කාලේ යම් නීති විරෝධී කටයුතු වෙලා තියෙනවා නම් හමුදාවේ නිලධාරීන්ගෙන් සෙබළුන්ගෙන් යම් මානව හිමිකම් කඩවීමක් වෙලා තියෙනවා නම් ඒ අය සම්බන්ධයෙන් යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයිනේ. එහෙම නැතිව ඒක මේ රණවිරු දඩයමක් නොවෙයි. අපට අවශ්‍ය කරන්නේ හමුදාවේ කීර්ති නාමය ආරක්ෂා කරගන්නයි. හමුදාව තුළත් තුන් හතර දෙනෙක් හරි අනවශ්‍ය දෙයක් කරලා තියෙනවා නම් ඒ අය සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍යයි.   


ප්‍රශ්නය:- අපේ රටට යුද අපරාධ චෝදනා එල්ල කරන විට ලෝකයේ ප්‍රබල රටවල් අපේ රට වෙනුවෙන් පෙනී සිටිද්දීත් ඒ යෝජනාවේ සම පාර්ශ්වකරුවකු ලෙස ඇමැති මංගල සමරවීර අත්සන් කළා. කොටි ඩයස්පෝරවට අවශ්‍ය නිසා එහෙම කළා කියලයි චෝදනා එල්ල වුණේ.   


පිළිතුර:- කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට අපිට එහෙම කිසි දෙයක් කරන්න අවශ්‍ය නෑ. නමුත් ඒ අවස්ථාවේදී මුළු ලෝකයටම අපි පෙන්නුවා විනිවිදභාවයෙන් යුතුව කිව්වා ‘ඇවිල්ලා බලන්න මොනවද වෙලා තියෙන්නේ’ කියලා. දැන් අවුරුදු තුනක් ගත වුණානේ. මුකුත් වුණේ නැහැනේ. මං හිතන්නේ අද බටහිර රටවල් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයද යුද්ධය කාලෙ මොනවද වුණේ කියලා පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන තියෙනවා. එදා තිබුණ අවදානම දැන් ගොඩාක් අඩුවෙලා තියෙන්නේ. එහෙම වුණේ මේ රජය ගත් පියවර නිසයි.   


ප්‍රශ්නය:- කොහොම වුණත් මේ ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාව බරපතළ ලෙස අභියෝගයට ලක්වෙලා කියලත් ප්‍රබල චෝදනාවක් තියෙනවා.   


පිළිතුර:- ජාතික ආරක්ෂාවට කිසිම බලපෑමක් ඇතිවෙලා නෑ. ඒක විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කරන චෝදනාවක් පමණයි. 2015 ඉඳන්ම ඔය චෝදනා කරනවනේ. ඒ අය කියන්නෙම එල්ටීටීඊය ආපහු නැගිටිනවා, රට දෙකට කඩනවා, ජාතික ආරක්ෂාව බිඳ වැටිලා කියලනේ. ඔය චෝදනාව ඉතින් හැමදාම කරනවා. නමුත් අද වෙනකම් ඒක ඔප්පු කරන්න පුළුවන් කිසිම සාක්ෂියක් නෑ. ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙලත් නෑ. එහෙම බලපෑමක් වෙන්න ඉඩ තියන්නෙත් නෑ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වගකීමක් වශයෙන් අරගෙන ඉතාම හොඳින් ක්‍රියාත්මක කරනවා. ජාතික ආරක්ෂාව බිඳවැටිලා කියලා කියනකොට ඇත්තටම ඒක ත්‍රිවිධ හමුද‌ාවටයි පොලිසියටයි කරන නින්දාවක්.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් පුනරුත්ථාපනය වූ කොටියකු පුපුරන ද්‍රව්‍ය සමග ඔඩ්ඩුසුඩාන්හිදී කොටුවුණා. කෝවිලේ පෙරහරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කළා?   


පිළිතුර:- පහුගිය කාලයේම 2009 න් පස්සෙම විටින් විට පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් මෙවැනි දේවල් හසු වෙලා තියෙනවා. යම් යම් පුද්ගලයන් ආයුධ, පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා අහුවෙලා තියෙනවා. නමුත් මේක එල්ටීටීඊ සංවිධානය නැගීසිටීමක් නම් නොවෙයි. ඔය ළඟදී ඔඩ්ඩුසුඩාන්වල වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. බුද්ධි අංශ සහභාගි කරවාගෙන ඒ පරීක්ෂණ සිදුකරනවා. ඒ පරීක්ෂණවලින් දැනට අනාවරණය වෙලා නෑ මේකට එල්ටීටීඊ සංවිධානයේ ඍජු සම්බන්ධයක් හෝ එම සංවිධානය යළි නගාසිටුවීමේ උත්සාහයක් තියෙනවා කියලා.   


ප්‍රශ්නය:- පෙරහරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කිරීම සුරතල් වැඩක් වෙන්න බෑ.   


පිළිතුර:- ඔව්. අපි එහෙම හිතන්නෙත් නෑ. ඒ ගැනත් අපි පුළුල් විමර්ශනයක් කරනවා. සමහර දේශපාලනඥයන් මතවාදයක් ගෙනියනවා නැවත ඊළාම් අවශ්‍යයයි කියලා. නමුත් එල්ටීටීඊ ලේබලය යටතේ අවි අරගෙන සටන් කිරීමක් නම් කොහොමටවත් නෑ කියලා වගකීමෙන් කියනවා.   


ප්‍රශ්නය:- මේ සාකච්ඡා කරන අතරතුරත් උතුරේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා. සන්නද්ධ කල්ලි දෙකක් අතර ගැටුමක් නිසා එහෙම කළා කියලයි කියන්නේ. කවුද මේ උතුරේ හිස ඔසවන සන්නද්ධ කල්ලි?   


පිළිතුර:- එහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ නීතිය හා සාමය පිළිබඳව මිසක් ජාතික ආරක්ෂාවට නොවෙයි. ඕනෑම රටක මේ වගේ පාතාල කල්ලි ඉන්නවනේ. මාතරදීත් සිද්ධියක් වුණේ. උතුරෙත් ඉන්නවා. මෙතැන විශේෂයෙන්ම ප්‍රශ්නය වෙලා තියෙන්නේ උතුරේ තරුණයන්ට රැකියා නෑ. නමුත් පිටරට ඉන්න ඥාතීන් සල්ලි එවනවා. එහෙම සල්ලි ආවම ඒ ගොල්ලො කරන්නේ මෝටර් බයික් අරගෙන කල්ලි ගැහිලා උදේ ඉඳලා රෑ වෙනකම් මත්පැන් බිබී පාරේ ඇවිදින එකයි. ඔය වගේ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. මේක නීතියටයි සාමයටයි ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක්. සන්නද්ධ කල්ලි කියන්නේ ආයුධ අරගෙන නොවෙයි පිහි කඩු අරගෙන තමයි යන්නේ.   


ප්‍රශ්නය:- එල්ටීටීඊ එකේ ආරම්භයත් ඔය වගේමයි කිව්වොත්?   


පිළිතුර:- එල්ටීටීඊ සංවිධානය ආරම්භ වුණේ රජයකට විරුද්ධවනේ. කල්ලි ඔවුනොවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමක තමයි උතුරේ දැන් වෙන්නේ. මත්ද්‍රව්‍ය කල්ලි දෙකක් අතර තියෙන ප්‍රශ්නයක්. එල්ටීටීඊ සංවිධානයට තිබුණේ දේශපාලන ප්‍රශ්නයක්. කොහොමටත් ඔය ප්‍රශ්නයට පොලිස් විශේෂ කාර්ය බළකායට ඒ ප්‍රශ්නය බාර දීලා තියෙනවා. ඒ අය ඒ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා. ඒ අයට අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලන්න පුළුවන් උදව් කරන්න කියලා. ත්‍රිවිධ හමුදාව සූදානමින් ඉන්නේ ඕනෑම වෙලාවක පොලිසියට උදව් කරන්න.  


ප්‍රශ්නය:- විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනියට එරෙහිව මොකක්ද ගන්න පියවර?  


පිළිතුර:- පක්ෂයක් විදියට අපි එතුමියට විරුද්ධව විනය පරීක්ෂණයක් කරගෙන යනවා. ඒ පරීක්ෂණයෙන් පස්සේ පක්ෂය හැටියට එතුමියට විරුද්ධව යම් පියවරක් අනිවාර්යයෙන්ම ගන්නවා. මේ වෙන විටත් එතුමිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා.  


ප්‍රශ්නය:- නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කොහොමද? ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා?  


පිළිතුර:- ඔව්. ඇත්තටම බරපතළ ප්‍රශ්නයක්. ඒක කතානායකතුමා, නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගනීවි.  


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ඇතුළේ එක මතයක් නෑ. එක එක්කෙනා තම තමන්ට ඕනෑ දේ කියනවා. ආණ්ඩුවක් කොහොමද එහෙම ඉස්සරහට යන්නේ?  


පිළිතුර:- ප්‍රශ්නය තියෙන්නේ පක්ෂ ගණනාවක් එකතුවෙලා ආණ්ඩුවක් හැදුවාම ටික කාලයක් යනවා ඔක්කෝටම එකට එකතු වෙලා එක දර්ශනයකට අනුව වැඩ කරන්න. මෙතැන අපේ පක්ෂය විතරක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉන්නවා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන දේශපාලන පක්ෂ දෙකක්. ඒ වගේම තවත් පක්ෂ ගණනාවක් එකතු වුණු ජාතික ආණ්ඩුවක් විදියට තමයි අපි යන්නේ. ඒ නිසා සමහර වෙලාවට විවිධ මත යනවා. එතකොට රටට පේන්නේ එක දර්ශනයක් නෑ කියලා වගේ අදහසක්.  


ප්‍රශ්නය:- රාජ්‍ය ඇමැතිනියගේ ප්‍රකාශය තුළ තියෙන්නේ උතුරට දැඩි පාලනයක් අවශ්‍යයි. හරියට ප්‍රභාකරන්ගේ පාලනය වගේ පාලනයක් කියන අදහස බවයි සමහරු කියන්නේ. ඒක හරියට දකුණට හිට්ලර් ඕනෑ කිව්වා වගේ?  


පිළිතුර:- මම හිතන්නේ දකුණට හිට්ලර් කෙනෙක්වත් උතුරට ප්‍රභාකරන් කෙනෙක්වත් අවශ්‍ය නෑ. 2015 දී මේ රටේ බහුතර ජනතාවක් ඡන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. උතුරේ දැඩි පාලනයක් නොවෙයි උතුරේ නීතියයි සාමයයි හරියට ආරක්ෂා කරගත්තොත් ඔය ප්‍රශ්න ගොඩාක් දුරට නිරාකරණය කරගන්න පුළුවන් වෙයි. එතුමිය රන්ජන් රාමනායක ඇමැතිතුමත් එක්ක කරපු දුරකථන සාකච්ඡාවෙදි කියලා තිබුණේ ආවේගශීලී වීම නිසා තමයි එහෙම ප්‍රකාශයක් කළේ කියලා.  


ප්‍රශ්නය:- රාජ්‍ය ඇමැතිනිය කිව්ව මේ රජය උතුරට කිසිම දෙයක් කළේ නෑ කියලා? ඔබත් ඒක පිළිගන්නවද?  


පිළිතුර:- පිළිගන්නේ නෑ. එතුමිය කියන්නේ ඉඩම් ටික ලබා දුන්නට අනෙක් සංවර්ධන කටයුතු ඒ පැත්තේ වුණේ නෑ කියලයි. ඒක ප්‍රතික්ෂේප කළ යුතු ප්‍රකාශයක්. මොකද ගොඩක් සංවර්ධන කටයුතු ඒ පළාතේ ආරම්භ කරලා තියෙන්නේ. නමුත් නීතිය හා සාමය සම්බන්ධයෙන් තියෙන ගැටලුව විසඳා ගැනීමයි අවශ්‍ය වෙන්නේ.  


ප්‍රශ්නය:- මේ දේවල් ඉදිරි ජනාධිපතිවරණයත් සමග ගැටගැහෙනවා?  


පිළිතුර:- ඔව්. අනිවාර්යෙන්ම. අපි දැන් පක්ෂයක් විදියට සාකච්ඡා කරගෙන යනවා ජනාධිපතිවරණයට තනි පක්ෂයක් විදිහට අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද? එහෙම නැත්නම් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද කියලා. ඒ සාකච්ඡාව දැන් පක්ෂය ඇතුළේ ආරම්භ වෙලා තියෙන්නේ. හරි වෙලාවට හරි තීරණය පක්ෂය ගනීවි. ඒ ජනාධිපතිවරණයේදී අපි නියත ජයග්‍රහණයක් ලබා ගන්නවා.  


ප්‍රශ්නය:- පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ ආවොත්?  


පිළිතුර:- පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වුණොත්... අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නේ එතුමා තමයි ඉදිරිපත් වෙන්නේ කියලා. පක්ෂයක් විදියට අපිත් බලනවනේ අනික් පැත්තෙන් කවුද එන්නේ කියලා. ඉතින් අපිත් හිතාගෙන ඉන්නේ එතුමා තමයි ඉදිරිපත් වෙන්නේ කියලා. ඒකට මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා.  


ප්‍රශ්නය:- නි‌ව්‌යෝක් ටයිම්ස් පුවත්පතේ ලිපියක් අල්ලගෙන ඔබලා මහින්ද රාජපක්ෂට මඩ ගහනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා.


පිළිතුර:- ‌‌‌‌‌නි‌ව්‌යෝක් යිම්ස් ලිපිය එතුමා ප්‍රතික්ෂේප කරලා තිබුණා. නමුත් ඒ පත්තරෙන්ම කියලා තියෙනවා ඒ ලිපිය අසත්‍ය නම් ඔබතුමා අපේ කර්තෘ මණ්ඩලයත් එක්ක කතා කරන්න. එතකොට අපි පෙන්වන්නම් හරියටම අපි ළඟ තියෙන දත්ත ටික කියලා. ඒ පුවත්පත අසත්‍ය තොරතුරු ද‌ාන පුවත්පතක් නොවෙයි. ලෝකයම පිළිගත්ත පුවත්පතක්. එහෙම පුවත්පතක් චෝදනා කරනවා නම් ඒක බරපතළ චෝදනාවක්. ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ. පිටරට සමාගමකින් මුදල් ලැබිලාද කියලා. මේ රජය මේ රටේ තියෙන සම්පත් විකුණාගෙන කනවා කියලනේ චෝදනා කරන්නේ. ඇත්තටම එහෙම විකුණලා තියෙන්නේ හිටපු ජනාධිපතිතුමයි. එතුමාගේ රජයයි. එහෙම විකුණලා මුදල් අරගෙන තමයි ඒ ගොල්ලන්ගේ ඡන්ද වැඩ කරලා තියෙන්නේ. ඒක බරපතළ චෝදනාවක්. මම හිතන්නේ නෑ ඒකෙන් ගැලවීමක් තියෙනවා කියලා.  


ප්‍රශ්නය:- වරාය මිලදී ගන්න සල්ලි දුන්නා කියල හිතුවත් වරාය හදන්න ඒ විදියට සල්ලියක් දෙයිද?  


පිළිතුර:- කොහොම හරි සල්ලි දීලා තියෙනවානේ. ඒ සල්ලි ඡන්ද වැඩට පාවිච්චි කරලා තියෙනවානේ. ඒවා හරි විදියට පෙන්නලා තියෙනවානේ කොයි කොයි විදියටද වියදම් කරලා තියෙන්නේ කියලා. සමහර ස්වාමීන් වහන්සේලාටත් මුදල් දීලා කියලා කියනවනේ. මොනවා වුණත් ඒ පුවත අසත්‍ය දෙයක් නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුළුවන් ඇමරිකාවට ගිහින් ඒ පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්න. ඒත් මම නම් හිතන්නේ නි‌ව්‌යෝක් ටයිම්ස් වැනි පුවත්පතක් ආවට ගියාට ප්‍රවෘත්ති පළ කරන පත්තරයක් නොවෙයි. ඔවුන් ගවේෂණාත්මකව තමයි පුවත්පතේ පළ කරන්නේ.  


ප්‍රශ්නය:- නමුත් චීනයත් ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළා?  


පිළිතුර:- චීන රජය ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන්න එපැයි? ඒ ගොල්ලන්ටත් කියන්න බෑනේ මෙහෙම දෙයක් වුණා කියලා. චීන සමාගමක් හරහනේ මේක කරලා තියෙන්නේ. එතුමා එහෙම නම් එහෙම දෙයක් කරලා නැත්නම් පාර්ලිමේන්තුවට ඇවිත් පැහැදිලි ප්‍රකාශයක් කරන්න වෙනවා වුණේ මොකක්ද කියලා. කොහොමටවත් දැන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වාගෙන යනවා.  


ප්‍රශ්නය:- මේ ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙයිද?  


පිළිතුර:- මම හිතන්නේ නෑ. චීන රජයත් එක්ක අපට කිසිම ගැටලුවක් නෑ. චීන රජය එදා ඉඳලම ලංකාවත් එක්ක සහ​ෙයා්ගයෙන් වැඩ කරලා තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ.

 

 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්