එහෙනම් 78 ඉඳල සජිත්ගෙ තාත්තා දක්වා රට පාලනය කළේ ඒකාධිපතියොද?


පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ආචාර්ය සරත් වීරසේකර  

රටේ අලුත් තත්ත්වයන් සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා සමග කළ සාකච්ඡාවකි.   
 
ප්‍රශ්නය - කොවිඩ් දෙවැනි පොකුර රට පුරා පැතිරෙනවා. තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුව අසමත්? 
 
පිළිතුර - සෑම රටකම පාහේ කෝවිඩ් දෙවැනි රැල්ලක් තුන්වැනි රැල්ලක් ඇවිත් තියෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. පළමු පාර මේක හොඳින් පාලනය කළාට පස්සේ ජනතාවත් තමන්ගේ වගකීම පැහැර හැරියා. ජනතාවට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් දිගමට දීලා තිබුණේ. නමුත් ජනතාවත් ඒවා පිළිපැද්දේ නෑ. ඒකට ආණ්ඩුවට දෝෂාරෝපනය කරන එක වැරැදියි. දැන් දෙවැනි රැල්ලක් ආවා. මේක ඉතා වේගයෙන් පැතිර යනවා.
   
ප්‍රශ්නය - දෙවැනි රැල්ල කුමන්ත්‍රණයක් කියලා ආණ්ඩුව පැත්තෙන්ම කියැවෙනවා.   
 
පිළිතුර - කුමන්ත්‍රණයක් කියන්නේ කඩාකප්ලල්කාරී ක්‍රියාවක් ද කියන සැකය මතු වෙනවා. මතුවුණේ කොතැනින්ද කියලා නිශ්චිතවම හඳුනාගෙන නෑ. සමහරු කියනවා බ්‍රැන්ඩික්ස් එකෙන් කියලා. තව සමහරු කියනවා මාළු මාර්කට් එකෙන් කියලා. ඒක හොයලා බලන එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යනවා. කොහොම වුණත් පළමු වටයේදී වගේම මේ අවස්ථාවේදීත් මේක පාලනය කරන්න රජය අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. දැනට තෝරාගත් ප්‍රදේශ වලට ඇඳිරිනීතිය දාලා තියෙනවා. මුළු රටම ලොක් ඩවුන් කළ හැකිද කියන ප්‍රශ්නය මතු වෙනවා. ආර්ථික වශයෙන් රට පල්ලෙහාට වැටෙමින් තියෙන්නේ. ඒ නිසා ඒ පැති දෙකම තුළනය කරමින් යා යුතු ගමනක් මේක.    
 
ප්‍රශ්නය - චීනයේ විශේෂ දූත පිරිසක් ආවා. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ ආවා. මේ රට ජාත්‍යන්තර දේශපාලන බල උගුලක හිර කරලා කියලා චෝදනාවක් තියෙනවා?   
 
පිළිතුර - ඇත්ත වශයෙන්ම අපි බලන්න ඕනැ ඇයි චීනය එන්නේ? අැයි ඉන්දියාව බලපෑම් කරන්නේ? ඇයි ඇමෙරිකාව එන්නේ? කියලයි. 
 
2010 වසරේ ඉන්දු පැසිෆික් කලාපයේ ඉන්න නාවික හමුදා ප්‍රධානියා ලංකාවට ඇවිත් දේශනයක් කළා. එයා කිව්වා, “ඇයි අපි ලංකාවට එන්නේ. මොකක්ද අපට ලංකාව ගැන තියෙන වැදගත්කම. පළමුවැනි හේතුව තමයි පිහිටීම. දෙවැනි එක තමයි පිහිටීම තුන්වැනි එක තමයි පිහිටීම” කියලා. අපේ රටේ පිහිටීමේ ඇති වැදගත්කම ඒකෙන් තේරෙනවා. ඒ පිහිටීම නිසා තමයි අපට මේ වගේ බලපෑම් එන්නේ. අපි ඉන්දියන් සාගරේ හරි මැද ඉන්නේ. පෙර අපරදිග මුහුදු මාර්ගයේ මැද අපි ඉන්නේ   
 
අපට අපරදිගින් මැඩගස්කර් සමුද්‍ර සන්ධිය කිලෝ මීටර් 1000 මෙහායින්. අපේ බටහිරෙන් පෝක් සමුද්‍ර සන්ධිය ද කිලෝ මීටර් 2000 ක් මෙහායින්. ඔය දෙක අවහිර කළොත් කිසිම නැවකට එන්න බෑ. අපේ රටට දකුණෙන් සැතපුම් දහ දහස් ගණනක් යනකම් කිසිම රටක් නෑ. ඒ නිසා මේ රට කොන්ට්‍රෝල් කළාම මුළු ඉන්දියන් සාගරයම පාලනය කරන්න පුළුවන්. ඒ නිසා තමයි වසර ගණනාවක් තිස්සේ වසර 2000 ක් 2500 ක් තිස්සේ විවිධ ආක්‍රමණ එන්නේ. චෝල ආවා. පාණ්ඩ්‍ය ආවා. කාලිංඝ මාඝලා ආවා. ලන්දේසි පෘතුගීසි ආවා. ඉංග්‍රීසින් ආවා. එහෙම ආක්‍රමණිකයෝ ආවේ රටේ පිහිටීම නිසයි. දැන් අපි දකිනවා චීනය ක්‍රමක්‍රමයෙන් ලෝකයේ බලවතා වෙනවා. එහෙම වෙනකොට තමයි ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා ජපානය එකතු වෙල චීනයේ බලවත්කම මර්දනය කිරීමේ ප්‍රවණතාවක් තියෙන්නේ. 
 
ප්‍රශ්නය - ඇයි ඒ උගුලට අපේ රට බිලි දෙන්නේ?   
 
පිළිතුර - එහෙම බිලිදීමක් නෑ. අපේ විදේශ ප්‍රතිපත්තිය කිසි පැත්තකට අදින්නේ නැතිව මධ්‍යස්ථව ඉන්නවා. චීනය අපට ගොඩක් උදව් කරලා තියෙනව. නමුත් චීනය කවදාවත් අපේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගහන්නේ නැ. අපේ ජනතාව චීනයට කැමති ඒකයි. චීනය අපට කොයිතරම් ආධාර උපකාර කළත් අපේ දේශපාලනඥයන්ට අපි ගන්න තීරණ වලට ඔවුන් බලපෑම් කරන්න එන්නේ නෑ.   
 
ප්‍රශ්නය - නමුත් හම්බන්තොට වරාය ගත්තත් දැන් ඒකේ අයිතිය චීනයට?   
 
පිළිතුර - අනිවාර්යයෙන්ම. ඒක අපි දුන්න එකක් නොවෙයිනේ. ඒක අවුරුදු 198 කට යහපාලන රජය දුන්නේ. ඒ වරාය දීලා ගත්ත මුදල වසරකට රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප ගෙවන්න විතරයි ප්‍රමාණවත් වෙන්නේ. ඒක දේශද්‍රෝහී වැඩක්. ඒක සම්පූර්ණයෙන්ම වැරැදි වැඩක්.  
 
ප්‍රශ්නය -පෝර්ට් සිටියත් ඒ විදියටම චීනයට අයිතිය?   
 
පිළිතුර - ඒක මෙහෙමයි. අවුරුදු 30 ක් මේ රටේ යුද්ධයක් තිබුණනේ. ඒ යුද්ධය නිසා අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ නිසා පෝර්ට් සිටිය හැදුවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. ඒකයි හම්බන්තොට වරාය විකිණීමයි. එකිනෙකට සම්බන්ධ කරන්න බැහැ. වරාය නගර සංකල්පය ලෝකයේ බොහෝ රටවල තියෙන එකක්. මුහුද. ​ගොඩ කරලා සංචාරක ආකර්ෂණය සඳහා කරපු එකක් ඒක. ඔය අතර කාලය තුළදී තමයි පොම්පියෝ ලංකාවට එන්නේ.   
 
ප්‍රශ්නය - ඔහු එන්නේ කුමක් සඳහා ද කියලා ආණ්ඩුව නිල වශයෙන් කිව්වේ නැහැ. 
 
පිළිතුර - ඔහු ඉන්දියාවට ආවා. එහිදී යම් යම් ගිවිසුම් අත්සන් කළා. ආරක්ෂක ගිවිසුම් තුන හතරක් අත්සන් කළා. අපි දැක්කා. ඊට පස්සේ තමයි ඔහු ලංකාවට එන්නේ.   
 
ප්‍රශ්නය -ඔහු එන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න?   
 
පිළිතුර - සමහරු එහෙම උප කල්පනය කරනවා. නමුත් ඒක වැරැදියි. ඒ වගේ ද්‍රෝහී ගිවිසුමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්සන් කරන්නේ නෑ. එතුමා මැතිවරණයේදී රටට පොරොන්දුවක් දුන්නා රටට ද්‍රෝහී කිසිඳු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියලා.   
 
ප්‍රශ්නය -නමුත් ආණ්ඩුවම කියනවා යහපාලන රජය මේ එම්.සී.සී. ගිවිසුමේ මුල් පියවර ක්‍රියාත්මක කරලා කියලා.   
 
පිළිතුර - ඔව්. සජිත් ප්‍රේමදාස අද කෑගැහුවට එයා හිටපු කැබිනට් එක මේක අනුමත කරලා තියෙන්නේ. 
 
ප්‍රශ්නය - ඒ නිසා දැන් අත්සන් කරනවා?   
 
පිළිතුර - නෑ. නෑ. කැබිනට් එකේදී අනුමත වුණත් ඒක පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. මොකද අපි ඒකට විරුද්ධ වෙච්ච නිසා. සජිත් ප්‍රේමදාසගෙන් අහන්න ඕනෑ පාර්ලිමේන්තුවේදී එතුමන් කැබ්නට් එකේදි එම්.සී.සී. ගිවිසුමට අනුමැතිය දුන්නා නේද? කියලා, ඒ ව්‍යාපෘතියේ පළමු කර්තව්‍යයන්ට කියලා. රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී ඩොලර් මිලියන දහයක ඇඩ්වාන්ස් එකකුත් අරගෙන තියෙනවා. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රික භාවය නිසාම තමයි අපි බලයට පත්වෙලා පහුවෙනිදම මේක නතර කරන්න බැරි වුණේ. ලලිත ගුණරුවන් කොමිටියේ නිර්දේශ දැන් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී කටයුතු කරයි. එහෙම නැතිව පොම්පියෝ සමග කිසිම ගිවිසුමක් අත්සන් කළේ නෑ. 
 
ප්‍රශ්නය - ඔබලා කිව්වා සුළු ජාතික පක්ෂ වල සහාය කොහොමටවත් ගන්නේ නෑ කියලා. නමුත් තුනෙන් දෙක හදා ගත්තේ සුළු ජාතික පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහායෙන්?   
 
පිළිතුර - පාර්ලිමේන්තුවේ ඉන්න සිංහල බෞද්ධයන් ඔක්කොමගේ සහයෝගය ලැබුණානම් අපට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ගන්න අවශ්‍ය වෙන්නේ නැනේ. මේක තමයි කුහකමකම. හැටනම ලක්ෂයේ නියෝජනය තුළ තුනෙන් දෙකක බලය තිබුණේ නෑනේ. විපක්ෂය වුණත් දැන ගන්න ඕනැ 19 වැනි සංශෝධනයෙන් රට මොනතරම් ආගාධයට පත් වුණාද කියලා. රට මොනතරම් අරාජික වුණාද කියලා? ඒක තනිකරම අසාර්ථකයි. එහෙම නම් ඒ 19 අහෝසි කරන 20 ට ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හිටපු සිංහලයෝ ආවේ නැති නිසා තමයි අපට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ගන්න ඕනැ වුණේ. මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ගත්තේ රටබෙදන්න නොවෙයිනේ. රටේ සම්පත් විකුණන්න නොවෙයිනේ. බුද්ධ පුත්‍රයන් වහන්සේලා හිරේ දාන්න නොවෙයිනේ. රණවිරුවන් යුද අපරාධකාරයන් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට පිළිගන්න නොවෙයිනේ. රට අරාජික කරපු ජනාධිපතිතුමා​ගේ බලය රනිල් වික්‍රමසිංහ විසින් ඩැහැගත්තා. ජනාධිපතිවරයාගේ බලය දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ට දීපු ඉතාම අසාර්ථකම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න තමයි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ගත්තේ. එහෙම ගන්න වුණෙත් පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්න සිංහල බෞද්ධ මන්ත්‍රීවරු සහයෝගය දුන්නේ නැති නිසා.   
 
ප්‍රශ්නය - නමුත් ඡන්දය ගත්තෙ නම් වඳ පෙති, වඳ සැත්කම්, වඳ කොත්තු ගැන කියලා.   
 
පිළිතුර - එ්ක හරි වැරැදි කතාවක්. වඳ පෙති, වඳ සැත්කම් හා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීමයි අතර සම්බන්ධයෙක් නෑ. මේක රට පවාදීමට ගත් සහායක් නොවෙයිනේ. මේ සහාය ගත්තේ රට හදන්නයි. ජනාධිපතිතුමාට ශක්තිය ලබා දීමටයි. ඒකට මුස්ලිම් මන්ත්‍රීවරුනුත් සහයෝගය දුන්නා. සමහර කුහක දේශපාලනඥයන් පමණයි මේකට විරුද්ධ වුණේ. ඔයා හිතන්නේ වඳ සැත්කම් කරන කෙනෙක් හෙට අහුවුණොත් මුකුත් කරන්නේ නැහැ කියලද? නැහැ එහෙම හිතන්න එපා. මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඡන්ද ගත්ත නිසා තමයි වැඩක් කරන්න පුළුවන් බලයක් ජනාධිපතිතුමා අතට ලැබුණේ.   
 
ප්‍රශ්නය -19 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් එකම මන්ත්‍රීවරයා වූ ඔබට පුළුවන් වුණාද 20 ට හෘදය සාක්ෂියට එකඟව අත් උස්සන්න.   
 
පිළිතුර - අැයි ඔබ එහෙම කියන්නේ. 
 
ප්‍රශ්නය -20 න් බිහිවෙන්නේ ඒකාධිපතියෙක් කියලයි විපක්ෂය කියන්නේ?   
 
පිළිතුර - ඒක වැරැදි කතාවක්නේ. 20 න් ඒකාධිපතියෙක් බිහිවෙනවා කියන එක තරම් වැරැදි කතාවක් වෙන කොහේවත් නෑ. එහෙම නම් 1978 සිට සජිත්ගේ තාත්තත් ඇතුළු රට පාලනය කළේ ඒකාධිපතියොද? 
 
ප්‍රශ්නය -ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් විදියට 20 සංශෝධනය වුණා. ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවක් රටේ ඇති වුණා.   
 
පිළිතුර - මමත් හිතනවා ඒක වරැදියි කියලා. මමත් ඒකට විරුද්ධයි. නමුත් අනික් අයට තේරෙන්නේ නැති දේ තමයි 2019 වෙනකම් ද්විත්ව පුරවැසිකම ප්‍රශ්නයක් වුණේ නෑ. 2015 දී ඇයි ඒක දැම්මේ. ගෝඨාභය රාපජක්ෂට ගහන්න. එහෙම නැතිව රට ගැන හිතලා නොවෙයි. ඒ නිසා 20 න් ඒක අයින් කළා. නව ව්‍යවස්ථාවක් ගේනකොට ඕනෑ නම් ඒක ආපහු දාන්න පුළුවන්. අනිත් එක තමයි ව්‍යවස්ථාවේ 20 වැනි වගන්තියෙ 1 සහ 2 තියෙනවා. ද්විත්ව පුරවැසියකුටත් ලංකාවේ අනික් පුරවැසියන්ට තියෙන අයිතිවාසිකම් තිබිය යුතුයි කියලා. එහෙමනම් කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ? මමත් කැමති නෑ. ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවට. ඒක වෙනම වැඩක්. නමුත් මේ ගොල්ලන්ගේ තර්කයට මම එකඟ නෑ. ඇමෙරිකන් ද්විත්ව පුරවැසියෙක් වුණාට ඇමෙරිකාවට පක්ෂපාතීව කටයුතු කරනවා කියලනේ කියන්නේ. නමුත් මංගල සමරවීර ද්විත්ව පුරවැසියෙක් නොවෙයිනේ. නමුත් එයා ඇැමෙරිකාව කියන විදියට නොවයිද වැඩ කළේ? රනිල් වික්‍රමසිංහ ඇමෙරිකන් පුරවැසියෙක් හෝ ද්විත්ව පුරවැසියෙක් නොවුණත් වැඩ කළේ ඇමරිකාවට අවශ්‍ය විදියට. නමුත් ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙක් වුණත් ඇමරිකාවේ බහට අවනත නොවී යුද්ධයට නායකත්වය දුන්නා. ඒකයි වෙනස.   
 
ප්‍රශ්නය -ඇත්තම කිව්වොත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය වේගයෙන් දිය වෙනවා නේද?   
 
පිළිතුර - නෑ. මම පිළිගන්නේ නෑ. රජය පත් වෙලා තවම මාස දෙක තුනක්වත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට බාර ගන්නකොට රටේ තිබුණ තත්ත්වය ඔබ දන්නවා. පාස්කු ප්‍රහාරය නිසා රටේ ආර්ථිකය බිඳ වැටිලා තිබුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. කොවිඩ් 19 ආවා. ඒකේ දෙවැනි රැල්ලකුත් ඇවිත් තියෙනවා. මේ අභියෝග ඉදිරියේ නොසැලී අපි එය හොඳට කළමනාරණය කරන ආකාරය ගැන බුද්ධිමත් ජනතාව අගය කරනවා. ඒක නොදැකීමත් දේශපාලන කුහකකමක්.   

 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්