උතුරේ ජනතාවගේ ප්‍රශ්න නොසලකා හැරීම යළිත් අර්බුදයකට අත වැනීමක් වේවි


උතුරේ යළිත් වතාවක් යුද්ධයක් හෝ අස්ථාවර භාවයක් ඇති වීමේ කිසිදු ඉඩ කඩක් නැතැයි ඊ.පී.ඩී.පී. සංවිධානය පවසයි. එහෙත් ජනතාවගේ බොහොමයක් අවශ්‍යතා තවමත් ඉටු වී නැති අතර ඒවා ඉටු කිරීමට සියලු දෙනා ඒකරාශීව කටයුතු කළ යුතු යැයි එම සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ “ඉරිදා ලංකාදීපය” සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ හඬක් නඟන බවත් උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාගැනීම කෙරෙහි තම සංවිධානය නොබියව ඉදිරිපත් වන බවත් ඔහු සඳහන් කළේය. 
දේවානන්දා මහතා සමඟ කළ සාකච්ඡාවයි මේ. 


● උතුරේ ජනතා නියෝජිතයෙක් ලෙස ඔවුන්ගේ ගැටලු විසඳීමට ආණ්ඩුවට මොන විදිහේ බලපෑමක් ද කරන්නේ? 
ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා මම හැකි සෑම අවස්ථාවකම පෙනී සිටිනවා. මම පාර්ලිමේන්තුවේදී විශාල හඬක් නගනවා මේ සම්බන්ධව ආණ්ඩුව මැදිහත් වෙන්න අවශ්‍යයි කියලා. නමුත් මෙතනදි පොඩි ගැටලුවක් තිබෙනවා. මොකද අපිට වඩා උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමේ පූර්ණ වගකීම පැවරී තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයටයි. මොකද මැතිවරණ සටන් පාඨ ලෙස ඒ දවස්වල ඔවුන් ඉදිරිපත් කළේ නව ආණ්ඩුවක් බලයට පත් වුවහොත් දෙමළ ජනතාවගේ ගැටලු විසඳන බවටයි. ආණ්ඩුව පත් වෙන්න කලින් ඔවුන් අදාළ පාර්ශ්ව සමඟ කතා කළා. වත්මන් ආණ්ඩුවේ බලධාරීන් දෙමළ සන්ධානයට පොරොන්දු වුණා. තමන් බලයට පැමිණි පසු ඒවා විසඳන බවට.


● ඔබත් උතුරේ ජනතාවගේ ඡන්දයෙන් බලයට ආවේ. එතකොට දෙමළ සන්ධානයට වගකීම පවරලා ඔබ ඒ ප්‍රශ්න මඟ හරිනවා ද? 
නැහැ. අපි කිසිම අවස්ථාවක උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු මඟ හරින්නේ නැහැ. මම හැමවිටම පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. පාර්ලිමේන්තුවේ හඬක් නගන මන්ත්‍රීවරුන් අතර 5 වැනි ස්ථානයේ සිටින්නේ මම. ඉතින් කොහොමද මම ඒ ජනතාව වෙනුවෙන් හඬක් නඟන්නේ නැහැ කියලා කියන්නේ. මම කියන්නේ දෙමළ ජාතික සන්ධානය හා අපේ පක්ෂය අතර විශාල වෙනසක් තිබෙනවා. දෙමළ සන්ධානය කිසි දවසක දෙමළ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳන ආකාරයට තමයි ක්‍රියා කරන්නේ. ඔවුනට උනන්දුවක් හෝ කැමැත්තක් නැහැ ගැටලු විසඳන්න. මොකද ජනතාවගේ ගැටලු නොවිසඳන තත්ත්වයක් තුළ තමයි ඔවුනට බලයේ රැඳී සිටින්නට හැකි වෙන්නේ. ඒගොල්ලො එහෙම හිතාගෙන තමයි කටයුතු කරන්නේ. නමුත් අපේ පක්ෂය එහෙම නෙමෙයි. අපි ඉන්නේ ජනතාවගේ ගැටලු විසඳිය යුතුයි යන ස්ථාවරයේ. අපිට පුළුවන් සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට එකවට පැවති රජය සමඟ ක්‍රියාකළා. 


 ● දැන් උතුරේ ජනතාවගේ මානව හිමිකම් කඩ වූ බවට චෝදනා එල්ල වෙනවා. දෙමළ සන්ධානය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා සඳහන් කරනවා. ඔබලා ඒ ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැද්ද? 
අපි උතුරේ පමණක් නොවෙයි. මේ රටේ සියලුම ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. උතුරේ මානව හිමිකම් උල්ලංඝණය වීමේ ප්‍රශ්නයේදී අපේ ස්ථාවරය තමයි ජනතාවට සත්‍ය තහවුරු වෙන්න අවශ්‍යයි. ජනතාවට සාධාරණය ඉටු වෙන්නේ ඕනෑ. අනික සිද්ධ වුණ දේවල් කියන එක පිළිබඳව සත්‍ය හෙළි කළ යුතුයි. එසේ පීඩාවට පත් වූවා නම් ඒ ජනතාවට සහනයක් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. 


● ආණ්ඩුවට ඊ.පී.ඩී.පී. සංවිධානය බළපෑමක් කරනවා කියලා දැනෙන්නේ නැහැ. ඒ ඇයි? 
ඔය ප්‍රශ්නයේදී කරුණු දෙකක් තිබෙනවා. අර කතාවක් තිබෙනවනේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ කියලා. අන්න ඒ ආකාරයෙන් තමා අපි දේශපාලන කටයුතු කරන්නේ. අනික යම් ප්‍රශ්නයක් විසඳීමේදී ඒක ප්‍රචාරය කරන එක එහෙමත් නැතිනම් ඒ ගැන හයියෙන් ශබ්ද නගලා කතා කරන එක තුළින් යම් යම් ප්‍රශ්න විසඳා ගන්න බැරි වෙනවා. ලංකාවේ තිබෙන වාතාවරණය අනුව ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් විසඳා ගැනීමයි. ඒක නිසා අපි මුණිවත රකිමින් තමයි ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරන්නේ. එසේ කෑ කෝ ගැසීමෙන් වෙන්නේ ප්‍රශ්නය විසඳා ගැනීමට වඩා ප්‍රශ්නය ව්‍යාකූල වෙන එකයි. අපි පසුගිය ආණ්ඩුව එක්ක සම්බන්ධ වෙලා සිටින විට දෙමළ ජාතික සන්ධානයට විසඳා ගන්න බැරි ප්‍රශ්න විසඳුවා. අපිට ප්‍රශ්න විසඳුවා කියලා ආඩම්බර වෙන්න හෝ වැඩිය සද්ධ බද්ධ කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මුණිවත රකිමින් දෙමළ ජනතාවගේ වගේම සමස්ත ජනතාවගේ ප්‍රශ්න විසඳීමටයි. දැන් අපි බලයට පත් වෙලා ඉන්න කාලයේ ගොඩක් ප්‍රශ්න විසඳුවා. බලයේ නැති කාලයෙත් ප්‍රශ්න විසඳුවා. ඒත් බලයේ ඉන්න දෙමළ සන්ධානය ප්‍රශ්න විසඳන්නේ නැහැ. තවමත් අපි මුල් ගල් තබපුවා තමයි ඒගොල්ලො විවෘත කරන්නේ. ඒගොල්ලෝ පටන් ගත්තයි කියන හෝ මුල් ගල තබපු කිසිම ව්‍යාපෘතියක් දකින්නට නැහැ. 


● එච්චර කරලත් උතුරේ ජනතාව අතර ඔබගේ පක්ෂය ගැන කතා කරන්නේ නැහැ. දෙමළ සන්ධානය ගැන විතරයි කතා කරන්නේ. ඇයි ඒ.
මෙහෙමයි. දෙමළ සන්ධානයට තිබෙන්නේ හා අවශ්‍ය වෙන්නේ ආන්දෝලනාත්මක දේශපාලනයක් ඇති කිරීමටය. ඒ ගොල්ලන්ගේ යම් යම් ක්‍රියාමාර්ගවලින් හා කතා බහවලින් පෙනෙන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් දකුණේ ජනතාව අවිශ්වාසයෙන් යුතුව බලන තත්ත්වයක් තමයි ඒගොල්ලො ඇති කරන්නේ. මොකද දෙමළ ජනතාව යම්කිසි උසි ගැන්වීමක් මගින් තබාගන්න ඒ ගොල්ලන්ට අවශ්‍යයි. පොළඹවලා හෝ ජාතිවාදි අදහස්වලින් හෝ ජාතිකත්වය පෙන්වලා හෝ එගොල්ලො තබාගන්න අවශ්‍යයි කියලා මූලික ප්‍රතිපත්තියක් තමයි ඒගොල්ලො ගොඩ නගාගෙන යන්නේ. ඒ ගොල්ලෝ ආන්දෝලනාත්මක දේශපාලනයක් කරන නිසා දෙමළ ජනතාව අතර ඔවුන් පිළිබඳ කතා බහ කරනවා. නමුත් අපේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අපේ ප්‍රශ්න විසඳා ගන්න අවශ්‍ය නම් බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍යයි. ඉතින් අපි ජාතික සංහිඳියාව තුළින් අපේ ප්‍රශ්න විසඳා ගන්න තමයි අපි බලන්නේ. 


● උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු දෙමළ සන්ධානයේ නියෝජිතයන් උතුරට ෆෙඩරල් අවශ්‍යයි කියනවා. ඔබගේ ස්ථාවරය කුමක්ද? 
ෆෙඩරල් කතාව අද ඊයේ ඇති වෙච්ච දෙයක් නොවෙයි. කාලයක් තිස්සේ ඔය ප්‍රශ්නය ආවා. ඔය ප්‍රශ්නය එනවා කාලයක් නැතුව යනවා. අන්න ඒ වගේ දෙයක්. අපේ ස්ථාවරය මොකක්ද? ලංකාවේ ක්‍රියාත්මක වෙන, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන 13 වැනි සංශෝධනය මුලින්ම ක්‍රියාත්මක කළයුතුයි කියන එක එතනින් තමයි ආරම්භ කරන්න ඕනෑ. ඒක තමයි අපේ ස්ථාවරය. 
13 වැනි සංශෝධනය දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවනේ. ඒක සහමුලින්ම ක්‍රියාත්මක කිරීමෙන් පටන් ගමු. එහෙම පටන්ගෙන ඉදිරියට යනවිට ජාතීන් අතර යම් අවබෝධතා යම් යම් විශ්වාසයන් ගොඩ නැගෙනවා. අන්න එතකොට බලය විමධ්‍යගත කරනකොට අපට කටයුතු කරන්න පුළුවන් වෙයි. අපි ප්‍රායෝගිකව සාර්ථක වන ආකාරය තමයි අපි සඳහන් කරන්නේ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තිබෙනවා. සිංහල ප්‍රදේශවලටත් ක්‍රියාත්මක වෙනවා. සියලුම ජනතාව ඒකට එරෙහි වෙන්නේ නැහැ. නමුත් උතුරේ ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරම් මහතා කියන්නේ මොකක්ද? අසාර්ථක වෙන යෝජනා තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. 


● ඒ කියන්නේ ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය කියල ද ඔබ කියන්නේ? 
අපි ෆෙඩරල් අවශ්‍යයි කියලා කියන් නැහැ. අපි ඉල්ලන්නෙත් නැහැ. ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලුම ජනතාවට සම අයිතිවාසිකම් ලබා දෙන්න අවශ්‍යයි කියන මතයේ තමයි අපි ඉන්නේ. ෆෙඩරල් අවශ්‍යයි කියලා අපි කියන්නෑ. 


● උතුරේ ජනතාවගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බලන කවුන්සලය ඒ පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් ලබා දුන්නා. ඔබගේ මතය කුමක්ද ඒ පිළිබඳව? 
මුල ඉඳලා අපි කියන දෙයක් තමයි අපේ ප්‍රශ්න විසඳා ගන්න ඕනෑ අපිමයි කියන එක. ඒ ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. වෙන කවුරුත් හෝ අපේ ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් වෙනවට අපි කැමැති නැහැ. උදාහරණයක් කියන්නම් මම. දෙමළෙන් කියමනක් තිබෙනවා “දරු ප්‍රසූතියට යන කාන්තාව අඬලා හෝ දරු ප්‍රසූතිය කරන්න ඕනෑ එයාමයි. එයා ඇඬුවයි කියලා වෙන කෙනෙක් දරු ප්‍රසූතිය කරන්නේ නැහැනේ. අවශ්‍ය නම් වින්නඹු මාතාවගේ උදව් ගන්න පුළුවන්.” එතනදී වින්නඹු මාතාව චරිතයක් පමණයි. අන්න ඒ වගේම තමයි අපේ ප්‍රශ්න අප විසඳාගත යුතුයි. අවශ්‍ය නම් ඔවුන්ගේ සහාය ලබා ගන්න පුළුවන්. අන්න ඒ ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. අපේ ප්‍රශ්නයට විදේශ රටවලින් විනිසුරුවන් ගෙන්වන එකෙන් වෙන්නේ ඒ ප්‍රශ්න තවත් විකෘති කරන තත්ත්වයක්. 

සංවාද සටහන
 නිශාන්ත කුමාර බණ්ඩාර