ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව අපට ඉහළ බලයක් ලබාදෙන බව ඒකාන්තයි


සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය ඇමැති
ෂෙහාන් සේමසිංහ

එක්සත් ජාතික පක්‍ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
ගයන්ත කරුණාතිලක

 

 

  • එකම ප්‍රශ්නයට පිළිතුරු දෙකක්

  • ආණ්ඩුව සහ එජාපය මුහුණට මුහුණ සංවාදයක  

 

රටේ ජනයාගේ අවධානයට යොමුවී ඇති කාරණා පහක් සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතාටත් එක්සත් ජාතික පක්‍ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාටත් ඉදිරිපත් කළෙමු. මේ ඒවාට එම මහත්වරුන් ලබාදුන් පිළිතුරුය. 

 

ප්‍රශ්නය- ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ඔබ තෘප්තිමත් ද? 


රජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ:- 


පිළිතුර:- ඉතාම හොඳයි. ජනතාවගෙන් ඉතාම හොඳ ප්‍රතිචාරයක් තියෙන්නේ. ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුවෙමින් පවතිනවා. මේ මොහොතේ හාල් මිල සම්බන්ධයෙන් මෙන්ම එළවළු මිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. හාල් මිල පාලනය කරන්න අවශ්‍ය වැඩකටයුතු මේ මොහොත වනවිට කරලා තියෙන්නේ. ඒ වගේම කූඨ වෙළෙඳුන් ඒ ගබඩා කරලා වෙළෙඳ පොළට අවශ්‍ය වෙලාවට හාල් නිකුත් නොකරන තත්ත්වයකුත් තියෙනවා. නමුත් මේ මාස් කන්නයේ අස්වැන්න නෙළුෑ වහාම තව සති කිහිපයකින් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිල දී ගන්න අවශ්‍ය පහසුකම් සපයනවා. ඒ වගේම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට හාල් ලබාදීමේ ක්‍රමවේදයකුත් හදනවා. යම් කණ්ඩායමක් හාල් සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා. වී ගොවියටත් සාධාරණයක් නෑ. පාරිභෝගිකයාටත් සාධාරණයක් නෑ. ඒ තත්ත්වය අපි වෙනස් කරනවා. ඒ වගේම පවතින කාලගුණික තත්ත්වය තුළ සමහර එළවළුවල මිල ඉහළ ගිහින් තියෙනවා. හැබැයි අපේ රජයට වැඩපිළිවෙළක් තියෙනවා නව තාක්‍ෂණ කෘෂිකර්මාන්තයට හඳුන්වලා දෙන්න. 


පසු අස්වනු තාක්‍ෂණය හඳුන්වලා දීලා අස්වනු ආරක්‍ෂා කිරීමේ ක්‍රමවේදය ක්‍රියාවට නංවනවා. ඒ අනුව මේ තියෙන තත්ත්වය අපට ඉදිරියේ දී නිරාකරණය කරගන්න පුළුවන් වේවි. 


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක:- 


වෙනදා ආණ්ඩුවක් පත් වුණාම සාමාන්‍යයෙන් මිනිස්සු කතා කරන විදියයි දැනුයි පොඩි වෙනසක් මම දකිනවා. සාමාන්‍යයෙන් වෙනදා අලුත් ආණ්ඩුවක් ආවම මිනිස්සු හිතනවා තව කාලයකට මේක ඉතින් හොල්ලන්න හම්බ වෙන්නේ නෑ කියලා. නමුත් මේ ආණ්ඩුවේ තත්ත්වය වෙනස්. දැන් මිනිසුන්ට ජීවන බර දැනෙනවා. පොහොර නොමිලේ දෙනවා කිව්වා. ඒ ගැන මිනිස්සු තුළ තියෙන්නේ බලවත් සැකයක්. බඩු මිල ඉතාම තදින් දැනෙන්න පටන් අරගෙන තියෙනවා. වැට් අඩු කළා, අරවා අඩු කළා, මේවා අඩු කළා කියලා ආණ්ඩුව සංදර්ශන දැම්මට මහජනතාව ඉන්නේ හුස්ම ගන්න බැරි තරම් පීඩනයකින්. ඒ නිසා මිනිසුන්ට නිකම් හිතෙනවා... මේක තව කොච්චර කාලයක් දුවයිද කියලා. ඉස්සර එහෙම අලුත් ආණ්ඩුවක් ගැන හිතෙන්නේ නෑ. මේ ආණ්ඩුව ගැනම දැන් ඉඳලම සැක සංකා පහළ වීමෙන්ම ආණ්ඩුවේ ගමන් මග ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. 


ප්‍රශ්නය- ආණ්ඩුව ගැන හොඳක් හෝ නරකක් කියන්න තාම කල් වැඩි නැද්ද? තාම ආණ්ඩුවට මාස එකහමාරයි? 


පිළිතුර:- ෂෙහාන් සේමසිංහ:- 


අපි පැහැදිලිවම කියන්න ඕනෑ අපි රට බාර ගන්නේ නිශ්චිත වැඩපිළිවෙළක් සහිතවයි. එක්සත් ජාතික පෙරමුණට 2015 දී රට ගන්න වැඩපිළිවෙළක් තිබුණට එතැනින් එහාට වැඩපිළිවෙළක් තිබුණේ නෑ. නමුත් අපි ඊට වෙනස්. පැවැති රජයේ අඩුපාඩුකම් අපි හොඳින්ම දැක්කා. ඒ අඩුපාඩු අපි විවෘතව සාකච්ඡා කළා. ඒ අතරම අපි හදන ආණ්ඩුව කොහොමද ඉදිරියට අරගෙන යන්නේ කියලත් අපි සාකච්ඡා කළා. පොදුජන පෙරමුණ හැටියට අපි බිම් මට්ටමට ගිහින් රට හදන වැඩපිළිවෙළට ජනතාවගේ අදහස් අපි ලබා ගත්තා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළේ ඒ අනුවයි. ඒ නිසා අපිට නිශ්චිත වැඩපිළිවෙළක් තියෙනවා. නිශ්චිත දැක්මක් තියෙනවා. ඒනිසා තමයි පහුගිය ආණ්ඩුව පහුගිය අවුරුදු හතරාමාර තුළ ආර්ථික මර්මස්ථානවලට කරපු විනාශය විවේචනය කර කර ඉන්නේ නැතිව ඉදිරියට යන්නේ. අපට හොඳ දැක්මක් වැඩපිළිවෙළක් වගේම ඉතාම හොඳ දියුණු නායකත්වයක් තියෙනවා. 


පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත තරුණාතිලක:- 


ඒක තමයි මම කිව්වේ මාසයක් එක හමාරක් යනකොට ජනතාව තුළ මේක කොයිතරම් කාලයක් දුවයිද කියලා සැකයක් ඇතිවීමෙන්ම ආණ්ඩුවේ ඉදිරි දවස ගැන හිතා ගන්න පුළුවන්. රජය දීපු පොරොන්දු එකක්වත් තාම ඉෂ්ට කරලා නෑ වගේ චෝදනාවක් නොවෙයි මම මේ කරන්නේ. මිනිස්සු තුළ මතයක් තියෙනවා මේ ආණ්ඩුවේ ආයුෂ කොටයි කියලා. ඒක ඇති වුණේ ඔය ඔබ කියපු මාසය එකහමාර තුළ තමයි. මම ඒකයි කියන්නේ ඉස්සර ආණ්ඩුවක් ආවම මිනිස්සු ගණන් තියන්නේ අවුරුදුවලින්. එහෙම නැත්නම් තව අවුරුදු 20 කට 30 කටවත් මේක පෙරළන්න බෑ කියලයි කියන්නේ. නමුත් මේ ආණ්ඩුව ඇවිත් මාසයකින් එකහමාරකින් අර වගේ චිත්‍රයක් තමයි මම දකින්නේ. මාසයක් එක හමාරක් ඇතුළත ප්‍රාතිහාර්ය පාන්න බෑ කියල මම දන්නවා. නමුත් මාසයක් යන්න කලින්ම මිනිස්සු මෙහෙම හිතන්න පෙළඹෙන්නේ ඇයි? මම කියන්නේ ඒකයි. දැන් ඔය අපි ආණ්ඩුව ඇතුළේ ඉන්න විවිධ පුද්ගලයන් එක්ක කතා කරනවනේ. ඒ අයත් බොහොම කලකිරීමෙන් කතා කරන තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඉස්සර එහෙම නෑ. ආණ්ඩුවක් ආපු අලුත එහෙම පරාජිත වාක්‍ය ප්‍රකාශ වෙන්නේ නෑ. මම එක කණ්ණාඩියකින් බලන්න පුරුදු වෙච්ච කෙනෙක් නොවෙයි. යහපත් දෙයක් යහපත් දෙයක් හැටියට මම දකිනවා. දැන් මම යුද්ධය ඉවර වෙච්ච වෙලාවේ අපි විපක්‍ෂයේ ඉන්නකොට රණවිරු උපහාර උත්සවය ගාලු මුවදොර පිටියේ තියනකොට මම හැම අවුරුද්දෙම සහභාගි වුණා. මම මේ හැම දෙයක්ම වැරැදි විදියට දකින කෙනෙක් නොවෙයි. ඒ නිසා මටත් පුදුම... සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අාවම මිනිස්සු කතා නොකරන විදියට තමයි දැන් කතා කරන්නේ. අපේ ගම්වල මිනිස්සු එක්ක කතා කළොත් ඔබට හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වෙයි. 


ප්‍රශ්නය- හිටපු ඇමැතිවරුන් වන චම්පික රණවක වගේම රාජිත සේනාරත්න අත්අඩංගුවට ගත්තා. සමහරුන්ට අනුව මේවා නීතිය ක්‍රියාත්මක කිරීමක්. තව සමහරුන්ට දේශපාලන දඩයමක්. ඔබලා දකින්නේ කොහොමද? 


රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ:- 


මේ සියලුම අත්අඩංගුවට ගැනීම්වල දී ඔබතුමන්ලත් පැහැදිලි වෙනසක් දකින්න ඇති. විශේෂයෙන්ම අපේ ආණ්ඩුවේ කිසිම මැති ඇමති කෙනෙක් අත්අඩංගුවට ගැනීම් ගැන... කාවද අත්අඩංගුවට ගන්නේ? කවදද අත්අඩංගුවට ගන්නේ කියලා කතා කරනවා ඔබට ඇහුණද? හැබැයි ගිය ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් දින වකවානු සහිතව අහවල් දවසේ අහවලා අත්අඩංගුවට ගන්නවා, මෙච්චර කාලයක් හිරේ දානවා, කියලා මැති ඇමැතිවරුන් කටමැත දොඩවනවා අපි දැක්කා. ඒ වාගේම අපි දැක්කා නීතිපති දෙපාර්තමේන්තුව - අල්ලස් කොමිසමේ ජෙනරාල්වරිය ඒ වගේම සුහද ගම්ලත් මහත්මයා ඒ වගේම එෆ්.සී.අයි.ඩී. එකේ ප්‍රධානියා බොහොම පැහැදිලිව කිව්වා ඔවුන්ට එල්ල වුණු බලපෑම්. අරලියගහ මන්දිරයේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, චම්පික රණවක, ඒ වගේම සරත් ෆොන්සේකාත්, අනුර කුමාර දිසානායකත් ඔක්කොම එකට එකතු වෙලා තමයි අත්අඩංගුවට ගන්නේ කවුද?, අත්අඩංගුවට ගන්නේ කාවද?, කී දවසක් හිරේ තියාගෙන ඉන්නවද කියලා තීරණය කළේ. අපි දක්කා පොලිස් කොමිසමට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ නොදී කරපු බලපෑම්. ඒ නිසා ඔය අත්අඩංගුවට ගැනීම් ඒ මිම්මෙන් මනින්න එපා. සැබැවින්ම මේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලිස් දෙපාර්තමේන්තුවත් අද ස්වාධීනව කටයුතු කරනවා. එක්සත් ජාතික පක්‍ෂයට වෙලා තියෙන්නේ ඔවුන් දැක්කේ ඔවුන් පුරුදු වෙලා හිටියේ නීතිය ඔවුන්ම ක්‍රියාත්මක කිරීමයි. හැබැයි අපේ ආණ්ඩුවේ හා ඒ ආණ්ඩුවේ වෙනස ඒකයි. දැන් සමහරු කියනවා චම්පික රණවක හිටපු ඇමැතිවරයාගේ සිද්ධිය නඩු අහලා තීන්දු දුන්න එකක් කියලා. ඒක මේ ඒ ඇමැතිතුමාගේ පැත්තෙන් කියන කතාවනේ. ඒ රිය අනතුර වුණාට පස්සේ මමත්, කංචන විජේසේකර ඇමැතිතුමත්, සී.වී. චානක මන්ත්‍රීතුමත්, පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා. සී.සී.ටී.වී. දර්ශන බලලා පරීක්‍ෂා කරලා අපිට තොරතුරු දැනුම් දෙන්න කියලා. නමුත් පොලිස්පතිවරයා ඒක කළේ නෑ. ඇයි ඒ? ඒ නිසා සමාජය තුළ සැකයක් තියෙනවා. ඒ වගේම අනතුරට පත් සන්දීප්ගේ දෙමාපියන් මැසිවිලි නැගුවා මෙතැන සාක්‍ෂි වසන් කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඇමති බලතල, ආණ්ඩු බලය පාවිච්චි කරලා සත්‍ය සිදුවීම් යට ගැහුවා. ඒ යට ගහපුවා අද උඩට මතු වෙනවා. ඒ වගේම තමයි ඉදිරියේ දී මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පිරිස්වලටත් නීතිය ක්‍රියාත්මක වෙයි. අපිත් ඒ දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. පහුගිය ආණ්ඩුව කාලේ වෙච්ච සියලුම වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වේවි. ඒවා පළිගැනීම් නොවෙයි, නීතියට වඩා ඉහළින් හිටපු කණ්ඩායමක් නැවත නීතියේ විධානයට නතු කිරීමක්. 


පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක:- 


මෙහෙමයි, චම්පික රණවක හිටපු ඇමතිතුමාගේ කතාව ගත්තාම එතුමාට අදාළ අවුරුදු හතරකට විතර ඉස්සර වෙච්ච දෙයක් තමයි ඔය ඇදලා ගත්තේ. අනික ඒක මේ නිකම් ට්‍රැෆික් කේස් එකක්. ඒ නිසා ඒ පුද්ගලයා චම්පික රණවක වීම නිසාම ඔහොම කරනවා කියලා තමයි රටේ කතාව තියෙන්නේ. මේක කලින් විභාග කරපු නඩුවක්. මොනවා හරි චෝදනා ටිකක් පටලවලා තියෙනවා. සාමාන්‍යයෙන් ට්‍රැෆික් නඩුවක දී සාමාන්‍ය පුද්ගලයකු මුහුණ දෙන විදියයි, චම්පික රණවක කියන පුද්ගලයාට මුහුණ දෙන්න වුණ විදියයි තමයි මෙතැන ප්‍රශ්නය තියෙන්නේ. රාජිත ඇමැතිතුමාගේ ප්‍රශ්නය ගත්තොත් යම් කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් ඒක විභාග කළ යුතුයි. රටේ නීතිය කාටත් සමාන විය යුතුයි. නමුත් මේ සිද්ධිවලින් පේන්නේ යම් යම් පුද්ගලයන් ඉලක්ක කරමින් අනුගමනය කරන ක්‍රියාපටිපාටියක් තියෙනවා කියලා. මේවා දේශපාලන දඩයම් බව ඉතාම පැහැදිලියි. අධිකරණය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ගැන මම කතා කරන්න යන්නේ නෑ. අපි තමයි අධිකරණය ස්වාධීන කළේ. 19 වැනි සංශෝධනයෙන් පස්සේ අධිකරණය ස්වාධීන වුණානේ. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරලා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් අපි රට තුළ ඇති කළා. චම්පික රණවක ඇමතිතුමන් ඇප ලැබුණු වේලාවේ මම දැක්කා එතුමා කියනවා අධිකරණය ස්වාධීන වීම ගැන සතුටුයි කියලා. යහපාලන ආණ්ඩුව ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම නිසා ස්වාධීනව තීන්දු දීමේ හැකියාවක් තිබෙන බවනේ එතුමත් කිව්වේ. ඒ තුළත් මේ අය වංගු ගහන්න උත්සාහ කරනවා. නමුත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අවදියෙන් ඉඳිමින් අනීතික ක්‍රියා මාර්ගවලට එරෙහිව කළ යුතු අරගල අනිවාර්යයෙන්ම කරනවා. 


ප්‍රශ්නය- හිටපු විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්ට විපක්‍ෂ නායක නිල නිවෙස පවරා දීම, රජයේ වාහන 2ක් ලබාදීම, සේවකයන් පස් දෙනකු ලබාදීම ආදිය සම්බන්ධයෙන් සංවාදයක් රටේ තියෙනවා. මොකක්ද ඔබලාගේ අදහස? 


රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ:- 


ඒ සම්බන්ධයෙන් අපිට වෙනස් අදහසක් තියෙන්නේ. ඒ වරප්‍රසාද ලබාදීලා තියෙන්නේ යහපාලන ආණ්ඩුව ගත් තීරණයකට අනුවයි. අපි ඒ තරම් පල්ලෙහා මට්ටමට ගිහින් ඒ ලබාදීපු පහසුකම් හා ඒ වරප්‍රසාද ප්‍රශ්න කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මේ රටේ ඊට වටා දැවෙන ප්‍රශ්න තියෙනවා. ඔය සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ගියොත් ආපහු ජාතිවාදී විදියට ඔය ප්‍රශ්නය මතු කරන්න පුළුවන්. දැනටමත් අන්ත ජාතිවාදී වෙලා ඉන්න දෙමළ ජාතික සන්ධානය තව තවත් විසකුරු ජාතිවාදය පෝෂණය කරන්න උත්සාහ කරයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නේ නැහැ. හැබැයි අපි දැක්කා පළමු වතාවට අපේ රටේ... ලෝක දේශපාලන ඉතිහාසයෙන් පළමු දේශපාලන අත්දැකීම. ඒ තමයි විපක්‍ෂය කවුද කියලා තීරණය කරන්නෙත් රජය විසින්. විපක්‍ෂ නායක ඒ වගේම විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක තෝරන්නෙත් රජය. ඒ නිසා මේ දේවල් මෙහෙම වීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ජනාධිපතිතුමත්, අගමැතිමත් අපේ කණ්ඩායම් රැස්වීමේදී අපට දැනුම් දුන්නා ආණ්ඩුවක් විදියට අපි පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතුයි වගේම විපක්‍ෂයටත් සාධාරණ කාලය දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. 


පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක:- 


හිටපු විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහත්මයාට ඒ වරප්‍රසාදය දුන්නේ කැබිනට් තීන්දුවකින්. කතානායකතුමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි ඒ වෙලාවේ කතා කරලා විපක්‍ෂනායක තනතුර හොබවපු පාර්ලිමේන්තුවේ ඉන්න වයෝවෘද්ධම මන්ත්‍රීවරයෙක් හැටියට සලකලා එතුමාට දැනුම් දුන්නා නොයෙක් අවස්ථාවල විදේශීය අමුත්තන් පවා මුණ ගැහෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ සියල්ලම සලකා බලලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි කථානායක තුමයි කතා කරලා ඒ වරප්‍රසාදය ලබා දුන්නේ. ඒක කැබිනට් එකට දාලා ගත්ත තීරණයක්. දැන් මේ රජයට පුළුවන් ඒ තීන්දුවේ වරදක් තියෙනවා නම් ඒක නිවැරැදි කරන්න. කැබිනට් පත්‍රිකාවේ තිබුණේ මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයෙක්. ඒ වගේම වයෝවෘද්ධම මන්ත්‍රීතුමා. පක්‍ෂ නායකයෙක්. ඒ වගේම හිටපු විපක්‍ෂනායක, රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වීමට තිබෙන නායකයෙක්. ඔහුට විශේෂිත වෙන පරිදි තමයි ඒ නිල නිවෙස ලබා දුන්නේ. මට තේරෙන්නේ නැහැ ඇයි සමහරු මේකේ වරදක් දකින්නේ කියලා. 


ප්‍රශ්නය- අප්‍රේල් මාසය වෙනවිට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මොනවද තබා තිබෙන බලාපොරොත්තු? 


රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ:- 


ඉතාම පැහැදිලිව අපි නියත විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ජනාධිපතිතුමාට ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවනවා. ලක්ෂ 70කට ආසන්න ජනවරමක් ලැබුණු ජනාධිපතිවරයකුට සාධාරණ පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. එතකොට තමයි ජනතා අභිලාෂයන් මුදුන් පැමිණවීමට සමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මැතිවරණයේ දී මම මුලින් කිව්වා වගේම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගමැති ධුරයට යළිත් වරක් ඉහළින්ම ඔසොවා තබන පැහැදිලි ජනවරමක් අපට ලැබෙනවා. ඒක වළක්වන්න එක්සත් ජාතික පක්‍ෂයට කොහොමටවත් හැකියාවක් නෑ. එක්සත් ජාතික පක්‍ෂයේ සෝදාපාළුව හා එක්සත් ජාතික පක්‍ෂයට නියමයෙන් හා අනියමෙන් සහාය දීපු හා සහාය දෙමින් සිටින ජවිපෙ ඇතුළු කණ්ඩායම්වල අන්ත පරාජයක් ඒ මැතිවරණ ප්‍රතිඵලවල අනිවාර්යයෙන්ම සටහන් වෙලා තියේවි. අපේ ආණ්ඩුවට පැහැදිළි වැඩපිළිවෙළක් තියෙනවා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කිව්වා තනතුරුවලට පත් කිරීමේ නිසි ක්‍රමවේදයක් හදනවා. ඒ ඒ ආයතන පවත්වාගෙන යාම ඇමැතිවරුන්ට වගේම රාජ්‍ය ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමැතිවරුන්ට බලතල බෙදීම, මේවා ඉතා විධිමත්ව සිදු වෙනවා. රටේ ජනතාව ඉල්ලුවේ රට හදන්න කියලයි. ඒ මාවතට අපි පිවිසිලා ඉන්නවා. ඉතිහාසයේ මෙතෙක් බලාපොරොත්තු නොවුණු වෙනසක් වෙනුවෙනුයි ජනතාව අපට බලය ලබා දුන්නේ. ඒ වෙනුවෙන් අපි සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී බලවත් ප්‍රතිසංස්කරණවලට යාමට සිදුවෙනවා. ඒ වෙනුවෙන් අපට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වෙනවා. ශක්තිමත් නැති දියාරු ආණ්ඩු රටක් තුළ තිබුණාම රටට අවශ්‍ය දේ කරන්න බෑ. ඒ නිසා ජනතාව දීපු වගකීම ඉටු කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. දැන් බලන්න පළාත් සභා මැතිවරණය. අවුරුදු තුනකටත් වැඩියි පළාත් සභා ඡන්දය නොතියා. පළාත් සභා ඡන්දය නැවත තියන්නත්, ජනතාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගේන්නත් පැහැදිලි බලයක් සහිත පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි. ඒ බලය රටේ ජනතාව ඉහළින්ම ලබාදෙන බව ඒකාන්තයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක:- 


පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන ලකුණු තියෙනවා. එක්සත් ජාතික පක්‍ෂය දැන් විපක්‍ෂයට ඇවිත් තියෙන්නේ. විරුද්ධ පක්‍ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් වුණා. ඒ අනුව අපේ පක්‍ෂයේ සියලු දෙනාත් අපේ පෙරමුණට සම්බන්ධ සියලු දෙනාත් සමගි වෙලා විශාල ජනබලවේගයක් ගොඩනැගීම අපි ආරම්භ කරනවා. ඒකට අපට පක්‍ෂයේ කාගෙත් එකමුතුව අවශ්‍ය වෙනවා. කවුරුත් එකට ඉඳගෙන එක මිටියට ඉඳගෙන රට ගැන හිතලා විරුද්ධ පක්‍ෂයේ කාර්යභාරය මොකක්ද කියන එක අවබෝධ කරගෙන නිවැරැදි මැතිවරණ ව්‍යාපාරයට අපි අවතීර්ණ වෙනවා. අපේ පක්‍ෂය සමගි සම්පන්නව කටයුතු කරනවා. මැතිවරණයක දී විශේෂයෙන්ම අපේ පක්‍ෂයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි. වැරැදිච්ච තැන් නිවැරැදි විය යුතුයි. ජනතාවාදීව කටයුතු කළ යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සැලසුම් සහගතව හොඳට කල්පනා කරලා හදන්න ඕනෑ. ඒ වගේම හරි අපේක්‍ෂකයෝ දාන්න ඕනෑ. චෝදනා තියෙන දූෂණවලට සම්බන්ධ අය ඉවත් කරලා පිළිගත් චරිත, පාර්ලිමේන්තුවට ගැලපෙන චරිත අපි දාන්න ඕනෑ. විශේෂයෙන්ම අපි දැන් ඉන්නේ විපක්‍ෂයේ. ඒ නිසා ප්‍රතිපත්තිගරුක මිනිසුන් තෝරා ගන්න ඕනෑ. ඡන්දෙන් දිනලා ජනතාව පාවා නොදෙන චරිත අපි තෝරාගත යුතුයි. එහෙම වුණොත් අපට ආණ්ඩු බලය ලබාගැනීම අසීරු වෙන්නේ නෑ. 

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්