ඉල්ලීම් තුනට එකඟනම් මෛත්‍රී-මහින්ද සමගි කරවන්න සූදානම්


තම ඉල්ලීම් තුනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ලිඛිතව පොරොන්දුවක් ලබා දෙන්නේ නම් ඔවුන් දෙදෙනා සමඟි කිරීමට තමන් සූදානම් බව ඇල්ලේ ගුණවංස හිමියෝ පවසති.


මේ සඳහා තමන් කැපවීමෙන් ඕනෑම අයකු මුණගැසී සාකච්ඡා කිරීමට සූදානම් බවද උන්වහන්සේ පැවසුවේ ‘‘ඉරිදා ලංකාදීප’’ය සමඟ පැවති සාකච්ඡාවකදීය. තමන් ඉදිරිපත් කළ කාරණා තුන ඉෂ්ට කරන්නේනම් මේ සඳහා මැදිහත්වීමට සූදානම් බව උන්වහන්සේ පැවසූහ.


ඇල්ලේ ගුණවංශ හිමියන් සමග කළ එම සාකච්ඡාවයි මේ.


ප්‍රශ්නය:- ඔබවහන්සේ නියෝජනය කරන්නේ කුමන පාර්ශ්වයද?
පිළිතුර:-
මම මේ රටට ආදරය කරන කෙනෙක්. ඒක සමස්ථ ලංකාවාසීන්ම දන්න කාරණයක්. මම දන්න පරිදි මේ රටේ ජාතිය, ආගම ආරක්ෂා කළේ වසර දෙදහස් පන්සියක් පැරණි පක්ෂ දෙකක්. ඒ පක්ෂ දෙක තමයි ගිහි පක්ෂය හා පැවිදි පක්ෂය. මේ පක්ෂ දෙක තමයි රට රැක්කේ. ජාතිය රැක්කේ. ආගම රැක්කේ. ඒ නිසා තම තමන්ගේ වගකීම් හඳුනාගෙන පක්ෂ දෙක ක්‍රියා කළා. නමුත් දේශපාලනය ආවට පස්සේ තමයි සියලු අර්බුද ඇතිවෙලා අද වන විට අපි සියලු දෙනාම ඉතාමත් දුක්ඛිත අගාධයකට වැටිලා ඉන්නේ.


දේශපාලනඥයන්ට ඒක තේරුම් ගැනීමට අමාරුයි. ඒක ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ තවදුරටත් එය අලෙවි කරන එකයි. අපි වගේ රට ගැන හිතන්නේ නෑ කියලා අපි දන්නවා. ක්‍රියාකරන්නේ නෑ කියලත් අපි දන්නවා. අපේ උතුම්ම වස්තුව මේ රට. ඒක නිසා අපි එය ආරක්ෂා කරන්න ඕනෑ. මොකද ජනතාව විශේෂයෙන් මේ යුගයේ ජීවන වියදම් ප්‍රශ්න, වෙනත් නිවාස ප්‍රශ්න, රැකීරක්ෂා ප්‍රශ්න වගේ හුඟාක් ප්‍රශ්නවලින් පෙළිලා ඉන​්නේ. අනික එන්න එන්නම රටේ සාමය, නීතිය බිඳවැටෙමින් පවතිනවා.


දැන් බලන්න අපට අසන්න ලැබෙන දිනකට සිදුවන මිනීමැරුම් සංඛ්‍යාව. එක පාරට වෙඩි තියලා මරලා දාලා යනවා. ජනතාව ඒ නිසා ඉතාමත් අසරණභාවයකින් පෙළෙනවා. ඒ නිසා අප වගේ අයගේ යුතුකම තමයි ඒවාට විරුද්ධව නැගී සිටින ගමන් ඒවා පාලනය කිරීම සඳහා කොහොමද කටයුතු කරන්නේ කියන එක සොයා බලන එක. රෝග නිධානය ඇතිවෙලා තිබෙන්නේ දේශපාලනඥයන් නිසා. එතනට අපි බය නැතිව බැහැලා මුහුණ දෙන්න බැහැ. ඉන්සර සෑම දේකටම මුල් වුණේ භික්ෂුව. අද භික්ෂුවගේ තැන නැති කරලා. අද ගමේ විදුහල්පතිගේ, වෙදමහතාගේ තැන පැත්තකට දාලා දේශපාලනඥයන් ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ගමේ දෙවියා වෙලා ඉන්නේ දේශපාලනඥයා. භික්ෂුව, ප්‍රභූ පන්තිය පැත්තකට දාලා තිබෙනවා. ඒ ඔක්කොම පැත්තකට දාලා ගමේ දෙවියා තමයි දේශපාලනඥයා වෙලා තිබෙන්නේ. රෝහලක ඇඳක් ලබා ගන්න, හැඳුනුම්පතක් ලබාගන්න දේශපාලනඥයාගේ සහය නැතුව බෑ. රට අද ඒ තත්ත්වයට පත්වෙලා. මම ඒකට බොහෝම තදින් විරුද්ධව පෙනී සිටින කෙනෙක්. මම මේ රටේ යම් යම් දේවල් රාශියක් කරලා තිබෙනවා. ​ෙම් දවස්වල විශේෂයෙන් මම දැඩි කලකිරීමෙන් හා කනගාටුවෙන් ඉන්නේ.

 


ප්‍රශ්නය:- හාමුදුරුවනේ, අපි කෙළින්ම මේ ප්‍රශ්‍්නයට යොමුවුනොත්. වත්මන් ජනාධිපතිතුමන් හා හිටපු ජනාධිපතිතුමන් අතර යම් ඝට්ටනයක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරත් බෙදීමක් තිබෙනවා. එය සමථයකට පත් කරන්න ඔබවහන්සේ මැදිහත් වෙලා තිබෙනව නේද?
පිළිතුර:- ඒකෙදී මෙහෙමයි. මම පැහැදිලි කරන්නම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය තුළින් බිහිකරපු පක්ෂයක්. ඒ පක්ෂය බිහි කළාට පසුව තමයි මධ්‍ය මහා විද්‍යාලවලින් පැමිණි තරුණ තරුණියන්ට මේ රටේ පරිපාලන සේවාව දක්වා යන්න පුළුවන්කම ලැබුණේ. ඔය කිරිබත් කෑල්ලට ගොක් කොළයට තැනක් ලැබුණේ 56 විප්ලවයත් එක්ක. භික්ෂුවට තැනක් ලැබුණේ 56 විප්ලවයත් එක්ක​ෙන. භික්ෂුවට තැනක් ලැබුණේ ඒ විප්ලවයෙන් පස්සේ. අපිට ලොකු සුවඳක් දැනුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින්. සිතට ගතට ලොකු සුවයක් දැනුණා. මොකද රට විදේශිකයන්ගෙන් බේරාගෙන අපේකමට හරවන්න ​උත්සාහ කරපු යුගයක් ඒක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද බලන්න වෙලා තිබෙන දේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙලා තිබෙනවා. ඒක අපි වගේ අයට දරාගන්න බැහැ.

 


ප්‍රශ්‍්නය:- ඔබවහන්සේ දැඩි වෙහෙසක් ගන්නවා, ඒ නායකයන් දෙදෙනා එකතු කරලා පක්ෂය ගොඩනගන්න. ඒ ගැන කතා කළොත්?
පිළිතුර:- මම දකින්නේ ඔය සිද්ධියේදී රට බරපතළ දේශපාලන පරිහානියකට පත්කරලා තිබෙනවා. විවිධ ඔත්තු සේවා මේ රටේ දේශපාලන පක්ෂවලට ඇතුළු වෙලා තිබෙනවා. ඔවුන්ට කැමති අය තමයි රටේ මර්මස්ථානවලට පත්කරන්නේ. අද ඒතරම් ප්‍රබලයි ජාත්‍යන්තර දේශපාලනය. ඉස්සර ආවේ තුවක්කු අරගෙන. දැන් එන්නේ සල්ලි අරගෙන. ඒක නිසා දේශපාලනයත් රටත් අගාධයකට පත්වෙලා තිබෙනවා. මට අවශ්‍ය ඒවායින් මුදවාගෙන රට ආරක්ෂා කරගන්න. ඒකයි මම ඉදිරිපත් වෙන්නේ.

 


ප්‍රශ්නය:- ඔබවහන්සේ ඊට මැදිහත්වෙලා තිබෙනවා. ඒ ගැන කතා කළොත්?
පිළිතුර:- අපි කතා කළොත් මේ නගර සභාවක්ද, ප්‍රාදේශීය සභාවක්ද, පළාත් සභාවක්ද රැක ගත යුත්තේ? අද රටද කියන එක ප්‍රශ්‍්නයක්. රටේ ජනතාව මුදවා ගැනීම අපේ යුතුකමක්. එය අපේ යුතුකමක් කියලා සිතනවා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට. ඒකයි මම ඊට මූලික වෙලා සිටින්නේ. මේ අර්බුදය, මේ ගැටලුව නිසා ජාත්‍යන්තරයේ බලපෑම් වැඩිවෙලා තිබෙනවා මම දකින විදිහට. එතකොට මේ රටේ කිසිම නිෂ්පාදනයක් නැති රටක් බවට පත්වෙලා. මේක හරියට වෙන්දේසිකරුවන්ට ගිය රටක් වගේ මට දැනෙන්නේ. දිනපතාම කතා බහට ලක්වෙන්නේ මොකක්ද දැන් විකුණන්නේ, කුමක්ද, කාටද විකුණන්නේ කියන කාරණය ගැන.


මේක කෘෂිකාර්මික රටක්නේ. අපි අල, බතල කාලා ජීවත් වුණ ජාතියක්. අපි දන්නවා තව වසර 15කින් පමණ ජල හිඟයක් එනවා මුළු ලෝකය පුරාම. අපිට ජලය ටිකක් තිබෙනවා. ඒ ආක්‍රමණය ලංකාවට ඇතුළු වෙලා. දැන් බලන්න කිරි බෝතලයට වඩා වතුර බෝතලය මිල අධිකයි. ඔය මග එන සංඛේත. ඒ වගේ සම්පත් ආක්‍රමණය. මේවා සියල්ලම බලපානවා අපට. ඒ නිසා තමයි මම පොඩි ඉල්ලීම් 3ක් ඉදිරිපත් කළේ. බොහොම සාධාරණ ඉල්ලීම් 3ක් ඒක.

 


ප්‍රශ්නය:- මොනවද ඒ ඉල්ලීම් 3න?
පිළිතුර:- ඒක තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කර ගැනීම. දෙවැන්න තමයි මහ බැංකු බැඳුම්කර සිද්ධියට ​ෙචා්දනා ලැබූවන්ට අධිකරණයේ නඩු පවරා දඬුවම් ලබාදීම. තුන්වැනි කාරණය තමයි ජාතික සම්පත් සම්බන්ධව ජාතික මණ්ඩලයක් පත්කර ඒ සඳහා සිවිල් සමාජයේ දේශප්‍රේමීන් කිහිප දෙනකු පත්කිරීම යන ඉල්ලීම් තුන තමයි මම ඉදිරිපත් කළේ. ඒ ඉල්ලීම් තුනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලිඛිතව පොරොන්දුවක් ලබාදෙන්නේ නම් ඊට මැදිහත් වී සමථයකට පත් කරන්න මම සෑම උත්සාහයක්ම ගන්නවා. මේ සම්බන්ධව ඕනෑම අයකු සමග සාකච්ඡා කිරීමට සූදානම්. එවැනි සාකච්ඡාවක් ඇති කිරීම සඳහා මෙරටේ ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා සූදානම් වෙලා සිටිනවා.

 


ප්‍රශ්නය: දැන් ඒ පිළිබඳව පවතින තත්ත්වය සුබදායකද?
පිළිතුර:- මම ඒ දෙපාර්ශ්වය අතර සාකච්ඡා කරමින් තමයි ඉන්නේ. සුබවාදී වෙයි කියලා මම හිතනවා. අපි තවදුරටත් මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. මෛත්‍රී-මහින්ද එකඟතාවයක් ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් මගෙන් ඉල්ලීමක් කළා. මම එතනදී සඳහන් කළේ මේ කාරණා තුනට එකඟ වන්නේ නම් මම ඒ සඳහා ඉදිරිපත් වෙන්නම්, ඒ ප්‍රතිචාරවලට හොඳ ප්‍රතිචාර ලැබුණා. ජනාධිපතිවරයාගේ අවධානය මේ සඳහා යොමුවී තිබෙනවා. ඒක ඉතා සුබවාදී විදිහටයි මම දකින්නේ. මේ දැනට ඉන්න දේශපාලනඥයන් තවත් අවුරුදු දෙකක් යනකොට සියල්ල විකුණා දමයි. එතකොට මොනවද රටේ ඉතිරි වේනනේ? මොවුන් දෙදෙනා එකඟතාවකට ආවොත් එම විනාශය වළක්වා ගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. මොකද බහුතර ජනතාවක් අප කියන දේ විශ්වාස කරනවා.

 


ප්‍රශ්නය:- ඉදිරියට ඔබවහන්සේට විශ්වාස ද මේ දොගොල්ලෝ එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කරයි කියන එක?
පිළිතුර:- මගේ ඉල්ලීම් තුන ඉටු කරන්න කැමැති වුණොත් මම මේ ප්‍රධාන පක්ෂ දෙක වගේම අනිකුත් පක්ෂත් එකතු කරගන්න උත්සාහ ගන්නවා. මොකද මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු ඉවත්කර ගැනීමට මූලිකවුණේ මම. ඔවුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරගෙන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සම්බන්ධ කළා. මෙතනදී කවුරුත් සිතුවේ දේශපාලන කටයුත්තක් කියලා. නමුත් එහෙම දෙයක් නොවෙයි එතන වුණේ. ඒ මොහොතේ සුනාමි සහන මණ්ඩලය ගෙන එන්නත්, පැකේජයක් ගෙන එන්නත් සූදානමින් සිටියේ. අපි ඒක වැළැක්වුවා. අධිකරණය හමුවට ගියෙත් මම.


ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කළේ අපි මැදිහත් වෙලා. අපි ආණ්ඩුව ගත්තා ඒ මොහොතේ. ඉතින් මේ වෙන විට මේ ප්‍රකාශයෙන් පසුවත් මුළු දේශපාලන පක්ෂ කිහිපයකුත් මගෙනත එක්ක සාකච්ඡා කළා. අලුතින් හිතන තරුණ කොටස් ඉන්නවා නව දේශපාලන ප්‍රවාහය ගැන. ඒක සුභ නිමිත්තක්. මොකද මුළු සමාජයම කඩා බිඳ වැටුණ තැනක අපි එහෙමවත් ඉන්නවනේ කියලා සිතන්න පිරිසක් ඉන්නවා රට ඇතුළේ.

 


ප්‍රශ්නය:- ඔබවහ්නසේ හිතනවද මේ සාකච්ඡා සුබවාදී වෙලා සමථයකට පත්වෙයි කියලා.
පිළිතුර:- ස්ථිර වශයෙන්ම මට කියන්න බැහැ. නමුත් දැන් ලැබෙන සුබවාදී ප්‍රතිචාර නිසා මම සිතනවා සාකච්ඡා සාර්ථක වෙයි කියලා. සාර්ථක වුණත් නැතත් අපි උත්සාහයක් දැරිය යුතුයි.

 

සාකච්ඡා කළේ - 
නිශාන්ත කුමාර බණ්ඩාර