ඉරාන් ඇමැතිතුමා නිදහස් කරල දුන්න කාමර ටිකයි මේ අරගෙන තියෙන්නේ


 

ඇමැති හුවමාරුවත් සමඟ වඩාත් කතාබහට ලක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙවර මුහුණට මුහුණ සමඟ එක්වේ.

 

 මොකක්ද මේ කාමරේ පොරේ?  
ඔය දවස්වල මම හිටියේ ගංවතුරට අහුවෙච්ච අයත් එක්ක මාතර. 26 වෙනිදා මමත් හිටියේ අඩි දහයක් දොළහක් විතර ගංවතුරට අහුවෙලා. ඔය අතරේ තමයි කෝල් එකක් ආවේ ජනාධිපති කාර්යාලයෙන් හදිසියෙන් කොළඹ එන්න කියලා. මම එතකොට කිසිම දෙයක් ගැන තොරතුරක් දැනගෙන හිටියේ නෑ. ආවට පස්​ේස තමයි අමාත්‍යාංශ මාරුවීම ගැන දැනගත්තේ. ඇමැතිධුර මාරුවුණාට පස්සේ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා විදියට කටයුතු කරපු ඉරාන් වික්‍රමරත්න මගෙන් ඇහුවා කවද්ද අමාත්‍යාංශයට යන්න පුළුවන් කියලා. මොනාද එතුමා මම ඉඳපු කාර්යාලයට තමයි ආවේ. මම පැය කීපයක් යන්න කලින් ම​ෙග් සියලු බඩු අයින් කරගෙන එතුමට ඔපිස් එක බාරදෙන්න කටයුතු කළා.ඒ විතරක් නෙවෙයි කාර්යාලය ඔක්කොම මොප් කරලා පේන්ට් කරලත් දුන්නා. පස්සෙන්දා ඉරාන් ඇමැතිතුමා ගිහින් වැඩ බාර අරගෙන තිබුණා. එතුමාත් එතුමා ඉඳපු කාමර ටික හැකි ඉක්මනින් නිදහස් කරලා දුන්නා. ඒත් එ් නිදහස් කරලා දුන්නු දවසෙම රෑ තමයි කාමර පහක් එක පැත්තකට අරගෙන තියෙන්නේ. කවුරු හරි ඒක කරලා තියෙනවා. ම​ෙග් කාර්ය මණ්ඩලයට ඒක නිසා ඉඩකඩ මදි වුණා. ඒක නිසා වැඩ බාරගන්න එක කල්දාලා මම ආපහු මාතර ආවා. ගංවතුරෙන් අවතැන් වුණු මිනිස්සුන්ට උදව් කරන්න හිතාගෙන. මම ඊට පස්සෙ හොයන්න ගියෙත් නෑ. මේ ප්‍රශ්නය ඇතිවුණේ කොහොමද කියලා. අපේ කාර්යාල කාර්ය මණ්ඩලය තමයි මේක හැන්ඩ්ල් කළේ. මම පහුගිය අඟහරුවාදා හවස වෙනකම් ගංවතුර ආධාර බෙදාල එදා රෑ තමයි කොළඹ ආවේ.  

 


 දැන් ප්‍රශ්නෙ විසදිලද?  
 ඔව්. දැන් ප්‍රශ්නෙ විසඳිලා. එ​්කෙම තට්ටුවක් වෙන්කරලා. අපේ කාර්ය මණ්ඩලයට දෙන්න සූදානම්. ඒ නිසා දැන් අවුලක් නෑ.  
 මේ තරම් ප්‍රශ්නයක් වෙලත් ඒ ගැන හොයන්න උනන්දු වුණේ නෑ කියන එක නම් ටිකක් පිළිගන්න අමාරුයිනේ ඇමැතිතුමා?  
ඇත්තටම මම ඒකට වඩා ගංවතුරෙන් අවතැන් වුණු අය ගැනයි ඒ වෙලාවේ බැලුවෙ. මොකද ම​ෙග් ගෙදරත් ගංවතුරට අහුවුණු නිසා මේකෙ අනතුර ගැන මට අවබෝධයක් තිබුණා. මම 69 ගංවතුරත් දැක්කා. 2003 ගංවතුරත් දැක්කා. ඒත් මේ තරම් ව්‍යසනයක් ඒ අවස්ථාවල සිදුවුණේ නෑ.  

 


  ඇත්තටම ඇමැතිකම මාරුවෙනවා කියලා දැනගෙන හිටියෙම නැද්ද කලින්?  
එතන වාඩිවෙනකම් මොකක්ද ලැබෙන ඇමැතිකම කියලා දැනගෙන හිටියෙ නෑ. ඒක ඉතිං ජනාධිපතිතුමාගේ තීරණයක්. විෂයන් මාරු කරනවා කියාල එතුමා කලින්ම කිව්වානේ. ඒක මට ලොකු ගැටලුවක් ​ෙනවෙයි.  

 


 ඇමැති මාරුව ගැන අප්සෙට් එකේ වගේ ඉන්නේ?  
 මම දෙන ඕන ඇමැතිකමක් කරන්න සූදානම් පුද්ගලයෙක්. මම 1994 පාර්ලිමේන්තුවට ගියාට පස්​ෙස විරුද්ධ පක්ෂෙ හිටියා. 2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න උපරිම කැපවෙලා කටයුතු කරලත් කිසිම ඇමැතිකමක් නැතුව මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කළා. අපි හත්දෙනෙකුට ඒ වෙලාවෙ කිසිම ඇමැතිකමක් දුන්නේ නෑ විවිධ හේතු නිසා. ඒත් අපි සැලුනේ නෑ. 2003 මට විදේශ රැකියා සුබසාධන ඇමැතිකම ලැබුණා. ඒක මම හොඳටම කළා. ඒ ආණ්ඩුව වැටුණාම අපි ආපහු විපක්ෂයට ගියා. ඊට පස්සේ 2006 මහින්ද රාජපක්ෂ මැතිතුමාට එකතුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා. ඒ වෙලාවෙ මට ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැතිකම ලැබුණා. ඊට පස්සේ මාස හයක් විතර ඇමැතිවරයා විදියට වැඩ බැලුවා. පස්​ෙස් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා විදියට වැඩ කළා. ඊට පස්​ෙස ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමැතිධුරය ලැබුණා. ඒ හැම තැනකම මම විශාල වැඩකොටසක් කළා. මේ ආණ්ඩුව ආවට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ එකතුවෙලා මුදල් රාජ්‍ය ඇමැතිකමේ කටයුතු කළා. දැන් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිධුරය ලැබිලා තියෙනවා. මේකෙන් පුළුවන් උපරිමය කරනවා. මම නොලැබුණු දේවල් ගැන හිත හිතා ඉන්නේ නෑ. ලැබුණු දේ හොඳටම කරන්න තමයි උත්සාහ කරන්නේ. පක්ෂෙ නායකත්වයේ තීරණයට අපි අනුගතවෙලා කටයුතු කරන්න ඕනෑ.  


 කාමර ප්‍රශ්නෙ ගැන අැයි කබීර් හෂීම් ඇමැතිතුමා එක්ක කතාබහ කරලා දුරදිග යවන්​ෙන් නැතුව ගොඩින් බේරගත්තේ නැත්තේ?  
මම කතා කළා. මම ඇහුවා මොකක්ද ​ෙම් වෙලා තියෙන්​ෙන් කියලා. එතුමා කිව්වෙ උපදේශකයින් කීප දෙනෙකුට ඉඩදෙන්න ඕනෑ නිසා තමයි මේ කාමර වෙන් කළේ කියලා. ඒ නිසා වෙන තැනකින් ඉඩ අරගෙන මේ ප්‍රශ්නෙ ඉවරයක් කරගමු කියලත් එයා කිව්වා. ඊට පස්සේ මම ආපහු ඒ ගැන හාරා අවුස්සන්න ගියේ නෑ.  

 


 එහෙම නැතුව දෙන්න අතරෙ ඔරොප්පුවක් එහෙම නෙවෙයිනේ?  
එහෙම අර්බුදයක් අපි අතරෙ නෑ. ඒත් මේ වගේ දෙයක් සිද්ධවුණේ නැත්නම් හොඳයි. කියන එකයි මගේ අදහස. එහෙම වුණේ නැත්නම් සංහිඳියාව තියෙනවා. පක්ෂ දෙකක් ආණ්ඩු කරනකොට සංහිඳියාව බි​ෙඳන්න හොඳ නෑ. ඒ නිසා මේක සංහිඳියාව බිඳ වැටුණු අවස්ථාවක් විදියටයි. මම දකින්නේ.  

 


 ඇයි හිටිගමන් ජනාධිපතිතුමා ඇමැතිකම් මාරු කළේ? එතුමා කිව්වේ කාර්යක්ෂමව රට ඉදිරියට ගෙනියන්න කියලා. ඒ කියන්නේ ඔබලා අකාර්යක්ෂම ද?  
නෑ. එහෙම දෙයක් නෙවෙයි. සමාජයේ යම් විවේචන ආපු තැන් කීපයක් තිබුණා. ඒ වගේ විවේචනයක් තියෙන වෙලාවක දෙපක්ෂයක ආණ්ඩුවක් තියෙද්දී පූර්ණ කැබිනට් සංශෝධනයක් කරන්න දේශපාලන වශයෙන් ටිකක් අමාරුයි. ඒක නිසා විවේචන එල්ලවුණු තැන් එක්ක යම් වෙනසක් කරන්න ඕනෑ නිසා වෙන්න ඇති එතුමා මේ තීන්දුව ගන්න ඇත්තේ.  

 


 ලොකුම විවේචන ආපු මුදල් අමාත්‍යාංශයේ ඔබ රාජ්‍ය ඇමැතිවෙලා හිටියේ. දැන් විවේචනයට හරිම විසඳුමද මේ ජනාධිපතිතුමා දීලා තියෙන්නේ?  
ඒක ජනාධිපතිතුමා අතේ තියෙන තීන්දුවක්. ඒකේ වැරැද්ද ඉදිරියට තමයි බලන්න වෙන්නේ?  

 


 රවි කරුණානායක මුදල් ඇමැතිගෙ ගුණ අගුණ කොහොමද ඔබට අනුව?  
පුද්ගලයො ගැන මම කතා කරන්න කැමැති නෑ. මම කවුරුවත් එ් විදියට විවේචනය කරන්න යන්නේ නෑ.  

 


 ඔබේ හිටපු ඇමැතිවරයා විදියට අදහසක් ඇතිනේ?  
හොඳ දේවලුත් තිබුණා. ඒ වගේම ජනතාවට සංවේදී සමහර දේවල්වලදී ඔහු සංවේදී වුණේ නෑ කියලයි මට හිතෙන්නේ.  

 


 ඒ වගේ වෙලාවල්වල ඔබේ විවේචනය මූණට කිව්වෙ නැද්ද?  
සමහර ප්‍රශ්න අපි සාකච්ඡා කළා. ලොතරැයි ප්‍රශ්නෙ ගැන එහෙම මම කතා කළා. එතුමා එක්ක සාකච්ඡා කරන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. මාත් එක්ක කිසිම ගැටුමක් තිබුණෙ නෑ කිසිම අවස්ථාවක.  

 


 මුදල් අමාත්‍යාංශයට සෘජුවම බලපෑ මහබැංකු බැඳුම්කර සිදුවීම ගැන ඔබට විවේචනයක් තිබුණද?  
ඒක මහ වංචාවක්නේ ඒ ගැන විවාදයක් නෑ. ඒ වගේම ඒක කොල්ලයක්. ඒ ගැන අපිට විවේචනයක් තියෙනවා. මට මොන තැනක හිටියත් ඒ යථාර්ථය ගැන අවංක අදහස කියන්න ඕනෑ. මගේ දේශපාලන මතයක් පුද්ගලික මතයත් දෙකම එකයි මේ කාරණය සම්බන්ධව. පක්ෂයක් විදියට අපි මේකට විරුද්ධයි කියන ස්ථාවරයේ ඉන්නේ.  

 


 රවීගෙන් ගලවල මුදල් ඇමැතිකම මංගලට දීපු එක ගැන ඔබේ අදහස මොකක්ද?  
මංගල සමරවීර කියන්නෙත් පළපුරුදු ඇමැතිවරයෙක්. එයා චෝදනාවලට ලක්වුණු චරිතයකුත් නෙවෙයි. අපේ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන කෙනෙක්. දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මංගල විවිධ අමාත්‍යාංශවල කටයුතු කළා. මුදල් ඇමැතිකම කරන්න ආර්ථික විශේෂඥයෙක් වෙන්නම ඕනැ නෑ. ඒකටනේ උපදේශක මණ්ඩලයක් ඉන්නේ. ඒකට නිවැරැදි දේශපාලන නායකත්වයක් දෙන්නයි අමාත්‍යවරයාට තියෙන්නේ. මංගල සමරවීරට ඒක කරන්න පුළුවන් වෙයි.  

 


  මොකටද ඔය ලොතරැයි මණ්ඩලය එහෙම ගලවලා රවීගෙ කරේ එල්ලුවේ?  
මමත් පුද්ගලිකව හිතන්නේ ඒකට විද්‍යාත්මක හේතුවක් නෑ කියලා.  

 


  ඇමැති මාරුව නිසා ශ්‍රීලනිපයේ ඇතුළෙ අවුල්ද?  
 අපේ පක්ෂෙ කිසිම අර්බුදයක් නෑ. ලොකු ගැටුලුවක් නෑ අපිට.  

 


 මේ ඇමැති මාරුවත් එක්ක ජාතික ආණ්ඩුවෙ පක්ෂ දෙකේ හොඳ හිත පළුදුවීම වේගවත් වුණා වගේ නේද?  
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තු තීන්දුවකට අනුව අපි සම්මුතිවාදී ආණ්ඩුවකට එකතු වුණා. ඒකෙදි මොන ප්‍රශ්න ආවත් පක්ෂ නායකයො තීරණය කරන්න ඕනෑ කොහොමද වැඩ කරන්නේ කියලා. එහෙම වැඩ කරන්න බෑ කියලා පක්ෂ දෙක තීන්දු කරපු දවසට මේ ගනුදෙනුව ඉවරවෙයි.  

 


 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔබට ලොකු ළෙංගතුකමකින් ඡන්දෙන් පැරදුණත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටත් ගත්තා. ඇයි මේ කාමර ප්‍රශ්නෙදි එතුමා අහක බලාගෙන ඉන්නේ?  
ජනාධිපතිවරයෙක් මේ ව​ෙග් කාමර ප්‍රශ්නයකට මැදිහත්වෙන්න ඕනැ නෑනේ. ඇයි එතුමා අපි ඒ තරම් පහළ දාන්නේ? මම කිසිම දෙයක් එතුමට මේ ගැන කියන්න ගියේ නෑ.  

 


 පත්තරෙන් දැකලත් එතුමා මේ ගැන ඔබෙන් ඇහුවෙ නැද්ද?  
පත්තරේ තියෙනවා දැකලා එතුමා මගෙන් මේ ගැන ඇහුවා. මම කිව්වා ඒක මම බේරගන්නම් කියලා.  

 


 කවද්ද ඔබ අමාත්‍යාංශයේ වැඩ බාර ගන්නේ?  
ලබන සඳුදා මම වැඩ බාරගන්න තමයි ඉන්නේ. කාර්ය මණ්ඩලවලට ඉන්න ඉඩ පහසුකම් දැන් සකස්වෙලා තියෙනවා.  

 


 කබීර් හෂීම් එක්ක වැඩ කරන එක ලේසි වෙයිද මේ විදියට?  
ඕනෑම කෙනෙක් එක්ක මට වැඩ කරන්න පුළුවන් කබීර් හෂීම් මම කාලයක් තිස්සේ දන්න කියන කෙනෙක්. මං හිතන්නේ අපි දෙන්නට වැඩ කරන්න බැරිවෙන එකක් නෑ.  

 


 ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂෙ දෙකඩ වෙලා දැන් තියෙන්නේ. ඉදිරි ඉරණම කොයි වගේ වෙයිද?  
 ඉතිහාසය පුරාම අපේ පක්ෂයට අමාරු කාලවල් තිබුණා. වැටි වැටී තමයි නැගිට්ටේ. ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රශ්න තියෙනවා. අර්බුද තියෙනවා වගේ මේ අර්බුද විසඳගෙන නැවත ශක්තිමත්ව නැගිටින්නත් වැඩි වෙලාවක් යන්නේ නෑ. එතකොට දෙකඩ වෙලා තියෙන එක එකක් වෙයි.  

 


 ඒ කියන්නේ මෛත්‍රී-මහින්ද එකතුවෙන ලකුණු පහළවෙලා තියලද කියන්නෙ?  
මට දින වකවානු කියන්න බෑ. නමුත් මේ දෙගොල්ලො එකතු නොවී කාටවත් ගමනක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතට කවුරුත් පැමිණිය යුතුමයි. වෙන තැන්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනියන්න බෑ.  

 


 කවුද එතකොට නායකයා?  
පක්ෂ නායකයා දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමානේ. ඒ වගේම මහජනතාව පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාව. එතුමටත් ජනතා බලවේගයක් තියෙනවා.  

 


 මේ දෙන්නගෙන් කවුරු හරි දෙවෙනි තැනට වැටෙන්න ඕනනේ. කවුද ඒකට කැමැති?  
ඒක ඒ දෙන්න තීරණය කරන්න ඕන දෙයක්. ඒ ගැන අපිට තීන්දු දෙන්න බෑ.  

 


 මෛත්‍රීපාල ජනාධිපතිතුමා දකුණෙන් අනාගතයට නායකයෙක් හදනවා කියලා කියනවා. ඒ මහින්ද අමරවීර මොකද මේ ගැන කියන්නේ?  
එතුමා රැසවීමකදී කියපු කතාවක්නේ ඕක. ඒක ප්‍රශ්නයක් නෑ. මේ වගේ අයට නායකත්වය ගැන බලාපොරොත්තු දෙන එක වරදක් නෑ.  


 ඩිලාන් පෙරේරා වගේ අයත් මේකට සපෝට් එකට කතා කරනවා.  


කාට ලැබුණත් හොඳයි. ඩිලාන්​ පෙරේරාට ලැබුණත් හොඳයිනේ. දක්ෂයින්ට තැන ලබෙන්න ඕනෑ. ඒවා තීන්දු වෙන්නේ එක එක්කෙනාගේ දක්ෂතාව මත.  

 


 මෛත්‍රීපාල සිරිසේන දකුණෙන් ඒ වගේ නායක​ෙයක් ‘ෆෝම්’ කරද්දි ලක්ෂ්මන් යාපලාට මොකද වෙන්නේ?  
මට කිසිම ප්‍රශ්නයක් නෑ. එක නායකයෙක් නෙවෙයි නායකයො කීප දෙනෙක් හැදෙන්න පුළුවන්. දකුණෙන් කොච්චර දේශපාලන නායකයො හැදුනද?  

 


 ඔබටත් ඒ වගේ ටාගට් එකක් තියෙනවද?  
මම ඉක්මනට පත්තුවෙලා ගැහිලා යන බල්බ් එකක් වෙන්න ලෑස්ති නෑ. සුදුසු වෙලාව ආවම සුදුසු තැන ලැබේවි.  


 තැන එනකම් කියලා ඉන්නකොට පෙරහැර ගිහිල්ල තියෙන්න පුළුවන්.  


ජේ.ආර්. ජයවර්ධන කොච්චර කල් ඉඳලද නායකත්වයට ආවේ. හොඳම උදාහරණය ඒකනේ. ඉවසන්නේ නැති අයට දේශපාලන නායකයො වෙන්න බෑ.  

 


 ජේ.ආර්. ආදර්ශයට අරගෙන යූඑන්පියේ ඉන්නේ නැතුව දමල ගහල ලක්ෂ්මන් යාපත් ගියේ මොකෝ එහෙනම්?  
ඒක ඒ වෙලාවෙ ගතයුතුම දේශපාලන තීන්දුවක්. මම පක්ෂය ගැන පුළුවන්තරම් කතා කරලා බැරිම තැන ඒ තීන්දුව ගත්තේ.  
 ඔබලා පෙරටු කරගෙන මහින්ද රාජපක්ෂ ළඟට ගිය කරු ජයසූරිය නම් ආපහු යූඑන්පියට ආවා.  


ඒක එතුමගෙ තීරණය. මේක මගේ තීරණය. මම ආපහු කිසිම දවසක පක්ෂ මාරු කරන්නේ නෑ.  

 


 ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා විදියට ඉදිරියට මොනවද කරන්නේ කියලා ‘ප්ලෑන්’ එහෙම තියෙනවද?  
ඒක ඉදිරියට බලන්න ඕනෑ. ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් තැනක් මේක. රටට හොඳක් වෙන උපරිම වැඩකොටස කරනවා. ඔක්කොටම කලින් කරන්න පුළුවන් වැඩකොටස ගැන අවබෝධයක් ලබාගන්න ඕනෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි