ඉන්න බැරිනම් යන්න කීවද ? මට එතුමාට අභියෝග කරන්න බෑ


 

තමන්ට එරෙහිව කුමන අන්දමේ විනය ක්‍රියා මාර්ගයක් ගත්තත් අසාධාරණයට එරෙහිව කතා කිරීම නතර නොකරන බව සමාජ සවිබල ගැන්වීම්, සුභ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කීය.   
ඒ මහතා මෙසේද කීය.   


ප්‍රශ්නය : නායකතුමා කියල තියෙනවා ඔබට ඉන්න බැරි නම් යන්න කියල. අභියෝගයක් කළාද?   
පිළිතුර :
අභියෝගයක් කළේ නැහැ. එතුමා අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව සර්වබලධාරි නායකයා. මම වගේ සාමාන්‍ය මිනිහෙකුට අභියෝගයක් කරන්න බැහැනේ. එතුමා මට ප්‍රකාශයක් කළා. ආණ්ඩුවෙ ඉඳගෙන විවේචනය කරන්න බැහැ. ඉන්න බැරි නම් යන්න කියල හිල්ටන් එකේ පැවැති වැඩ මුළුවෙදිත් කියල තිබුණා.   


කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදි මා ඉදිරිපිටම ඉන්න බැරි නම් යන්න කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. කට්ටිය ඉස්සරහ පිටම කිව්වා.   


ප්‍රශ්නය : දැන් ඔබේ තීරණය   
පිළිතුර : ඇත්තටම මට තීරණය කරන්න බැහැ. එතුමාට අභියෝග කරන්න මට බැහැ. මම පක්ෂ​ෙය සාමාජිකත්වය ලබා ගත්තෙත් ඔහුගෙන්. මට මහ ඇමැති අපේක්ෂකත්වය දුන්නෙත් එතුමා. කටානට, රත්නපුරයට, බලංගොඩට, ගම්පහ දිස්ත්‍රික්කයට දැම්මෙත් එතුමා විසින්. කියන කියන තැන්වලට මම ගියා. ජයග්‍රහණයත් කළා. මට පක්ෂ තහනමක් කිරීම හෝ විනය කමිටුවක් හමුවට ගෙනයාම එතුමාගෙ තීරණයක්. මම පක්ෂ​ෙය සාමාන්‍ය පුද්ගලයෙක්. එතුමා එක්ක අභියෝග කරන්න බැහැ.   


ප්‍රශ්නය : ඔබ ආණ්ඩු පක්ෂයෙ හිටියත් විවෘතව කතා කරනවා. වැරැද්ද දැක්කම කතා කළා. දැන් ඉතින් කටට ඉබි යතුරු වැටේවි.   
පිළිතුර : නැහැ. ඒක නම් මගේ මරණය දක්වාම වෙන්නෙ නැති දෙයක්. මගේ මේ හැම උත්සාහයක්ම කරන්නෙ පක්ෂයෙ උන්නතියටයි. පක්ෂයෙ සාමාජිකයෙක් කියල දෙන දේ කාලා වෙන දේ බලාගෙන තනතුරු රැක ගැනීමේ ක්‍රියාදාමයක් එදා ඉඳලම මගේ තිබුණේ නැහැ. බොහොම අමාරුවෙන් මේ රජය පිහිටෙව්වෙ. ප්‍රධාන වශයෙන් මැතිවරණ වේදිකාවෙ කිව්වෙ, 2015 ජනවාරි 15ට පෙර ගිය රජයේ හොරකම් අනාවරණය කරණව කියලයි. මේ රට සාමකාමී වුවත් විශාල ණය බරක් තියෙන රටක්. අගමැති හා ජනාධිපති කම්මැලි නැතිව වැඩ කරන නායකයො දෙන්නෙක්. ඒක කිසිම කුහක මක් නැතිව කිව යුතු දෙයක්. යුරෝපා මාලු තහනම ඉවත් කර ගත්තා. ජී.එස්.පී. + සහනය ගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගත්තා. මේ සියලු දේ කළා. නමුත් ප්‍රධාන පොරොන්දුව ගිලිහී ගියා.   


ඒක අත්වැරැද්දක් වෙන්නත් පුළුවන්. අවධානයට නොගත්තා විය හැකියි. හොරු ඇල්ලුවෙ සියයට 25යි. එයාර් පෝට් වහල හොරු අල්ලනව කිව්වා. දැනටත් එයින් කරල තියෙන්නෙ සියයට 25ක පමණ ප්‍රමාණයක්. CSN නාලිකාවෙ බිලියන ගානක මුදල ඇතුළු හිටපු ඇමැතිවරු ගණනාවක් පිළිබඳව චෝදනා තිබුණා. මේ සියල්ල පිළිබඳව තොරතුරු දුන්නා. මට කාටවත් අභියෝග කරන්න දෙයක් නැහැ. මට තියෙන්නෙ හොරු ඇල්ලීමේ සටනක් විතරයි.   


ප්‍රශ්නය : ඔබ රාජපක්ෂ පවුලට විතරක් ඇඟිල්ල දික් කරන්නෙ පළි ගැනීමටද? ඇයි ඔබේ පක්ෂයෙ අය ගැනත් කතා නොකරන්නෙ?   
පිළිතුර : ඒක කරන්න ගිහිල්ල තමයි බැණුම් ඇහුවෙ. ඍජුව හෝ වක්‍රව හරියාකාරව හොරු ඇල්ලීම සිදුවූයේ නැහැ. පක්ෂ භේදයෙන් තොරව අපේ පක්ෂයෙ අයගේත් එතනෝල් කුඩු ව්‍යාපාර ගැන ලිපිගොනු පිටින් ගෙනිහිල්ල පැමිණිලි කළා. අදටත් මම අදාළ අංශ එක්ක කතා කරමින් අවශ්‍ය වැඩ පිලිවෙළ යනවා. මම කවුරුවත් ආරක්ෂා කරන්නෙ නැහැ. මම ආරක්ෂා කරන්නේ ජනතාව විතරයි.   


ප්‍රශ්නය : ඔබ ගැන තීන්දුවක් ගත්තොත්   
පිළිතුර : මම එතුමා යටතේ ඉන්න සාමාජිකයෙක් පමණයි. පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයන්ට මම ගරු කරනවා. මම හදන්නෙ මගේ මට්ටමින් සේවයක් කරන්නයි. මම කරන්නේ රජය රැක ගැනීමක්. අපේම වැරැදි හදා ගැනීමක්. අපට හොඳ ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක් ඉන්නෙ. මහින්ද රාජපක්ෂගෙ කාලෙ මම මේ කතාවල් කළා නම් මට ගෙදර යන්න ලැබෙන්නේ නැහැ. නමුත් රංජන් රාමනායක තවම ජීවතුන් අතර ඉන්නවා. අද කොයිතරම් උද්ඝෝ්‍ෂණ කරනවද? උද්ඝෝෂණය නොකරන්නෙ කවුද? වල්බූරු නිදහසත් එක්ක දැන් සුපිරි නිදහසක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුට මගේ පීඩනය දීල ජනතාවගෙ මතය කියල එතුමන්ල හදාගන්න මිසක් දූෂණ විරෝධී කමිටු වහන්න නෙවෙයි. පුළුවන් නම් දිස්ත්‍රික්ක මට්ටමින්, පළාත් මට්ටමින් මේ කමිටු පිහිටුවන්න.   


ප්‍රශ්නය : දැන් ඔබේ කට වැහේවි   
පිළිතුර : මට හිස නවන්න වේවි. හොරු ගැන කරන අනාවරණය නම් නතර කරන්න බැහැ. එතුමා මට ගැහුවත්, බැන්නත්, පක්ෂයෙන් නෙරපුවත්, වංචා සෙවීම නතර කිරීම් ගැන ලිපි ගොනු එතුමට මම බාර දෙනවා. මහින්ද රාජපක්ෂගෙ දූෂණ නතර කරන්න අපි ආව නම් අපිටත් වංචාවල් කරන්න බැහැ. මම හොරකම් නොකරන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ගෙයක් නැහැ. වාහනයක් නැහැ. රකින්න පරපුරක් නැහැ. තාත්ත අම්ම නැහැ. මම ස්වාධීන පුද්ගලයෙක්.   


ප්‍රශ්නය : ඔබ වාහනය විකුණල සල්ලි ගත්තා නේද?   
පිළිතුර : 2010 අපට දුන්න වාහනය මන්ත්‍රී දීමනාවක්. තීරු බදු රහිත වාහනයක් දීල තිබුණේ. දේශපාලන කටයුතුවලට යොදා ගන්න ඒ වාහනය විකුණපු සල්ලි රංජන් රාමනායක පදනමට දැම්මා. අහිංසක ජනතාවට උදව් කරන්නෙ ඒ පදනමේ මුදලින්, කලා කටයුතුවලින් උපයා ගන්න සල්ලිත් ඒ පදනමේ. මම අදට ඉන්නෙත් කුලී ගෙයක. වාහනය විකුණලා මගේ ප්‍රයෝජනයට අරගෙන නැහැ. පවුලට දේපල අරගෙන දීල නැහැ. බොහොම නීත්‍යානුකූලව ඒ මුදල් වියදම් කරනවා. පාර්ලිමේන්තුවෙ දෙන දීමනා මං එපා කිව්වා. ලක්ෂය පැමිණීමේ දීමනාව එපා කිව් එකම මනුස්සය මම. අන්තිමට මම විතරක් තනි වුණා. මට ඒකෙන් ලක්ෂ 50ක් 60ක් පාඩුයි. මම විතරයි ඒක ප්‍රතික්ෂේප කළ එකම පුද්ගලයා. මම හිතුවා මම වගේ අනික් අයත් එපා කියාවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ.   

දයාසීලි ලියනගේ