ඉන්න බැරිනම් යනවා කියලා රෙඞ්ලයිට් පත්තු කළේ කාටද? පනින්නද හදන්නේ?


 

රාජ්‍ය ඇමැති කෙනෙකු වුවත් පියන් කෙනෙකුගෙවත් වැඩක් කරන්න නැතැයි කියන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මෙවර ‘මුහුණට මුහුණ’ සමග එක්වේ.


● ඉන්න බැරි නම් යනවා කියලා කාට පේන්න ද මේ රෙඞ් ලයිට් පත්තු කළේ?
මම කිව්වෙ ඇති වෙලා තියෙන තත්ත්වය. අපේ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරමින් යනවා. ඒක තවත් ඉදිරියට ගෙනියන්න සුදුස්සන්ට දක්‍ෂයන්ට ඉඩ ලැබෙන්න ඕනෑ කියන එකයි මම කියන්නේ.


● කලකිරීමෙන්, කඩාවැටිලා වගේ සුජීව කතා කරන්නේ?
නෑ, එහෙම කලකිරීමක් හෝ කඩාවැටීමක් නෑ. මම කියන්නේ දේශපාලනය හරියට කරන්න පුළුවන් තාක් කල් කරනවා. බැරි නම් මේක දාලා යනවා. ගොඩක් දේශපාලකයෝ කරන්නෙ ඉන්න බැරි වුණාම අනිත් පැත්තට පනින එකනේ. මම එහෙම කොහාටවත් පනින්නේ නෑ. කෙළින්ම මේ දේශපාලනයෙන් අයින් වෙනවා.


● දැනට අතපය දිග ඇරල වැඩ කරන්න බැරිද?
ඇත්තටම එහෙම වටපිටාවක් නෑ. තියෙන ඉඩ මදි. මගේ රාජකාරිය විදියට ගැසට් එකේ තියෙන්නේ ආරවුල් සමථයකට පත්කිරීම කියලා. ගැසට් එක මොක වුණත් කමක් නෑ මට කරන්න කියලා වැඩ ටිකක් තියෙනවා නම්. එහෙම වැඩ කොටසක් ලබාදෙනවා නම් මගේ දක්‍ෂතාව උඩ කරලා පෙන්නන්න පුළුවන්. දැනට සීමිත වැඩ කොටසක් තමයි මට කරන්න තියෙන්නේ. මම මීට වඩා වැඩ කරන්න පුළුවන් කෙනෙක්. දක්‍ෂයන්ට වගකීම් පවරන්න ඕනෑ. මට ලොකු ඇම්මක් තියෙනවා. වැඩ කරනවා.


● ඒ වගකීම් ඔබට පවරන්නෙ නැත්තෙ කවුද මලික් සමරවික්‍රම ඇමැතිතුමාද?
නෑ, මම කියන්නේ මේ ගැන ජනාධිපතිතුමාගෙ ඉඳලා පහළට ඉන්න හැමෝම අවධානය යොමු කළා නම් හොඳයි කියන එකයි මගේ අදහස.


● මලික් සමරවික්‍රම එක්ක වැඩ කරන්න බැරිද?
නෑ, එහෙම එකක් නොවෙයි.


● එහෙනම් ඔබට කරන්න පුළුවන් වැඩ ටික කරන්න ඉඩ දෙන්න කියලා එයාගෙන් ඉල්ලන්න පුළුවන්නේ?
එහෙම ඉල්ලන්න බෑ. ඒක හැමෝම අවබෝධයෙන් කෙරෙන්න ඕන දෙයක්.


● මොකක් ද ගැසට් එකෙන් ඔබට පැවරුණු ඔය ආරවුල් සමථයකට පත්කිරීමට අදාළ රාජකාරිය?
ගැසට් එකේ මගේ රාජ්‍ය අමාත්‍ය ධුරය නිර්වචනය කරලා තියෙන්නේ ආයෝජන මණ්ඩලයේ ආරවුල් සමථයකට පත් කිරීම, අපනයන මණ්ඩලයේ ආරවුල් සමථයකට පත් කිරීම. ඒ වගේම ටේ්‍රඞ් යුනියන්වල ආරවුල් සමථයකට පත් කිරීම වගේ දේවල් තමයි. මීට වඩා වැඩ කරන්න ඉඩකඩක් ලැබෙනවා නම් හොඳයි.


● ඔබ කියලා තිබුණේ නායකත්වයට හිතවත් මිතුරු කල්ලියටයි වැඩි සැලකිල්ල කියලා. කවුරු ගැන ද මේ කියන්නේ?
නෑ, මම කියන්නේ දක්‍ෂයන්ගෙන් වැඩගන්න නායකයෝ උනන්දු වෙන්න ඕනෑ. තමන්ට හිතවත් අයට විතරක් නෙවෙයි දක්‍ෂයෝ අඳුනගෙන ඒ අයටත් වගකීම් පැවරීමෙන් ආණ්ඩුව ශක්තිමත් වෙනවා.

 

 


● ඔබට කෙළින්ම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක්ක මේ ගැන කතා කරන්න බැරිද?
එහෙම පුළුවන්. ඉදිරියේ දී එහෙම කතා කරලා මේක බේරුමක් කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.


● අමාරුවෙන් යූඑන්පී එක බලයට ඇවිල්ලත් ඔබලා අසතුටෙන්.....
මේක තනිකරම යූ.එන්.පී. ආණ්ඩුවක් නෙවෙයි. මම පහුගිය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනට ආවේ. මම ඒ ජයග්‍රහණය ගත්තේ සල්ලි බෙදලා එහෙම නෙවෙයි. පහුගිය ආණ්ඩු කාලේ නම් එහෙම ඉහළම මනාප ගත්තු හය හත්දෙනාම ඇමැතිවරු. මේක අපිට විඳදරා ගන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නෑ. අපිට පොඩි දුකකුත් ඇති වෙනවා මේ ගැන.


● රාජ්‍ය ඇමැතිවරයෙක් වුණු සුජීව සේනසිංහට අමාත්‍යාංශයේ ඉන්න පියන් කෙනෙකුගෙවත් හයියක් නෑ කියන්නේ අවාසනාවන්ත තත්ත්වයක් නම් තමයි....
මේක ආණ්ඩුවේ අවුලක්ම නෙවෙයි. ගොඩක් අමාත්‍යාංශවල ඕක තමයි තත්ත්වය. රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ගොඩක් දෙදෙනකුට මේ ප්‍රශ්නය තියෙනවා. ඒ සමහර අය මේ ගැන කතා නොකර ඉවසගෙන ඉන්නවා. මම මේක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. කැබිනට් ඇමැතිවරුන්ටත් මේක හරියට නිරාකරණය කරගන්න බැරිවෙලා තියෙන්නේ. මේ රාජකාරී හරියට වෙන් කරලා දුන්නනම් කවුරුත් ගැටුමක් නැතුව වැඩ කරනවා. අවබෝධයෙන් වැඩ කරන ඇමැතිවරු සහ රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැතිවරුන් ඉන්නවා. ඒ ඇමැතිවරු තමන්ගේ රාජ්‍ය ඇමැතිවරයාට හෝ නියෝජ්‍ය ඇමැතිවරයාට හෝ අදාළ රාජකාරී ටික වෙන් කරලා පවරලා දෙනවා එතකොට ප්‍රශ්නයක් නෑ.


● ඔබ කැබිනට් ඇමැතිකමක් බලාගෙන නේද හිටියෙ?
මම එහෙම එකක් බලාපොරොත්තු වුණා. ජනාධිපතිවරණය වෙලාවෙ නම් මම වැඩ කරපු විදිහට ජනාධිපතිතුමාට ඕනකමක් තිබුණා මට ඒ වගේ දෙයක් දෙන්න ඕන කියලා. ඒත් එහෙම දෙයක් ලැබුණෙ නෑ.  ඒකට හිත රිදවාගන්න ඕන නෑ. මම මට පුළුවන් හැටියට වැඩ කරන්න පටන් ගත්තා. කාන්තා වැඩසටහනක් මම ආරම්භ කළා. ඒකට මම මගේ මුදල් විශාල ප්‍රමාණයක් යොදවනවා. මුළු රටේම ශක්තිමත් කාන්තා බළකායක් හදන එක තමයි මගේ බලාපොරොත්තුව.


● පාලිත රංග බණ්ඩාරත් ළතැවිලෙන් ලියුම් ලියලා පළ කරලා තියෙනවා. මේ කණ්ඩායම වෙනම කල්ලියක් විදිහට කැරැල්ලක්වත් ගහයිද?
එහෙම අදහසක් අපිට නෑ. එහෙම කැරලි ගහන්න ඕන නෑ. ගොඩක් අයට පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒත් ඒක අර්බුදයක් දක්වා යන එකක් නෑ. පාලිත රංග බණ්ඩාරටත් ප්‍රශ්න තියෙනවා. තවත් අයට මේ වගේම ප්‍රශ්න තියෙනවා. මේ වගේ ප්‍රශ්න පවුලක වුණත් තියෙනවා. එහෙමයි කියලා දික්කසාද වෙලා බෑනේ.


● දේශපාලනයට ආපු ගමන් කැබිනට් ඇමැතිකම් ලැබුණේ නෑ කියලා නාහෙන් අඬන අයට ඉවසීම පිළිබඳ හොඳ ආදර්ශ යූඑන්පී එකේ හිටපු නායක ජේ. ආර්. ජයවර්ධන. ඒ ආදර්ශ ගන්නෙ නැත්තේ ඇයි?
අපි ඒ වගේ චරිත ආදර්ශයට ගන්නවා. හැබැයි අමතක කරන්න එපා ආපු ගමන් මුදල් ඇමැතිකම ලැබුණා. ආරම්භයක් දුන්නට පස්සෙ ඉවසාගෙන වැඩ කරන්න පුළුවන්. අපිත් බොහොම ඉවසීමෙන් යන්නේ.


● ඔබ මහින්ද රාජපක්‍ෂගෙ සහෝදරියගෙ බණ ගෙදර ගිය පුවතත් එක්ක විවිධ ආරංචි එහෙට මෙහෙට මාරු වුණා. රාජපක්‍ෂලා එක්ක යාළුකමත් අතඇරලා නෑ වගේ?
ඔය සිදුවීමයි මං කරපු ප්‍රකාශයයි දෙකම එක ළඟ සිද්ධ වුණේ. ඒක නිසා තමයි විවිධ මාධ්‍ය මේක වෙන පැත්තකට අරගෙන ගියේ.
මම කීප සැරයක් හිතුවා මේ බණ ගෙදර යන්න කලින්. මේකෙදි පිංතූරයක්වත් එළියට ගියොත් වෙන කතාවක් පැතිරෙයි කියලා මට නිකමට හිතුණා. ඒත් මට හංගන්න දෙයක් නෑ. මම විවෘත චරිතයක්. මගේ පියාගේ මළගෙදර වෙලාවෙ මට කතා කළා. කතා කරලා එන්නද කියලත් ඇහුවා. මමයි කිව්වෙ ඒ වෙලාවෙ ආවොත් නැති ප්‍රශ්න ඇති වෙයි කියලා. ඒකට කළගුණ සැලකීමක් හැටියටයි මම එතුමගේ සහෝදරියගෙ බණ ගෙදර ගියේ. මට මළගෙදර යන්න බැරි වුණා. මම විනාඩි දෙකක්වත් එතන රැඳුණෙ නෑ. මම මහින්ද රාජපක්‍ෂට කතා කරලවත් නෑ මීට කලින්. මට ඒ අය එක්ක කිසිම සමීපතාවක් නෑ.


● නාමල් රාජපක්‍ෂ එහෙම යාළුවෝ නේද?
අනේ නෑ. කිසිම යාළුකමක් නෑ. කවදාවත් එහෙම දෙයක් තිබිලා නෑ. මූණට මුණගැහුනාම හිනාවෙලා කතා බහ කරනවා එච්චරයි.


● ඔබේ මේ කතාවත් එක්ක යූඑන්පීයෙ කට්ටියම ඔබට ගහන්න පටන් අරගෙන. එස්. එම්. මරික්කාර් මන්ත්‍රීතුමා කියලා තිබුණා ආසනෙත් පැරදුණු සුජීවට රාජ්‍ය ඇමැතිකමක් දීලත් කෑ ගහනවා ආසනේ දිනපු එයාලා පක්ෂෙ ගැන හිතලා ප්‍රශ්න දා ගන්නෙ නැතුව ඉන්නවා කියලා.......
ඔය කට්ටියම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එක පිට එක පහර ගහපු මාධ්‍ය ආයතනවල ඉඳලා ඒ ජනප්‍රියකම උඩ දේශපාලනයට ආවේ. ඒවා ගැන ලොකුවට කතා කරන්න මම කැමති නෑ.


කඩුවෙල වගේ වමේ ආසන දිනන එක අමාරු වැඩ. කොළොන්නාව වගේ රක්සත් ජාතික පක්‍ෂයට හැමදාම වාසිදායක ආසන දිනන එක මහ ලොකු වැඩක් නොවෙයි. ඔය කියන අයට කඩුවෙලට ඇවිත් දිනලා පෙන්නන්න කියන්නකො. මම තමයි මේ තරමට හරි උඩට ගෙනාවේ කඩුවෙල.


● මීතොටමුල්ල සිදුවීම වෙලාවෙ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ඒක ගැන පුදුම කයිවාරු ගැහුවෙ. ඒ ගැන කතා කරපු අය අතරෙ සුජීව ඉන්නවා දැක්කෙ නෑ.
ඒ සිදුවීම වුණු දවස්වල මම හාවර්ඞ් විශ්වවිද්‍යාලෙ හිටියෙ. මට ලැබුණු ශිෂ්‍යත්වයකට දවස් දහයකට විතර ගිහින් හිටියෙ. හැබැයි ඔය මීතොටමුල්ලෙ කුණු ප්‍රශ්නය ගැන කයිවාරු ගහන අයට මොකුත් කරගන්න බැරි වුණාට මම දිගින් දිගටම ජනාධිපතිතුමාට මේ ගැන කියලා තියෙනවා.


● ඔබලාට ඡන්දෙ දීපු අයට සලකන්න විදියක් නෑ කියලා යූඑන්පී එකේ මන්ත්‍රීවරුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබටත් ඡන්දදායකයා මේ ගැන කියලා දොස් කියනවද?
එහෙම තත්ත්වයක් තියෙනවා. පාක්‍ෂිකයන්ට සලකන්න ඕන. මහජන දිනවලට අපිව මුණගැහෙන්න එන අය සමහර වෙලාවට අපිට දොස් කියනවා. ඒ අයගෙ කේන්තියත් සාධාරණයි. මීට වඩා අපේ පාක්‍ෂිකයන්ට සාධාරණයක් ඉටු කරන්න ඕනෑ.


● දැන් ආපහු කොළඹ පාතාලය හිස ඔසවලා. කඩුවෙලත් මේවට නම ගිය ප්‍රදේශයක්. පළාතේ මන්ත්‍රී විදියට මේවා ගැන ඔබ දන්නේ මොනවද?
ඒවා නීතියෙන් හොයා බලන්න ඕන වැඩනේ. අපිට මේවා නවත්තන්න කියලා ඉල්ලන්න විතරයි පුළුවන්. මම පොලිස්පතිතුමා ඇතුළු අයගෙන් මේ ගැන ඉල්ලලා තියෙන්නේ. මේවා ඉතිං ලේසියෙන් මෙල්ල කරන්න පුළුවන් වැඩකුත් නොවෙයි. මේවට සම්බන්ධ අය හිරේ දැම්මත් හිරේ ඉඳගෙනත් පාතාලය මෙහෙයවන්නේ.


● මේවට දේශපාලන රැකවරණය ලැබෙනවා කියලත් කියනවා?
වර්තමානයේ නම් එහෙම දෙයක් වෙනවා කියලා මං විශ්වාස කරන්නේ නෑ. පාතාලය ආරක්‍ෂා කරන දේශපාලනඥයෝ දැන් නෑ.


● සුජීව සේනසිංහගෙ නමත් මේවට ගෑවිලා කියලා ෆේස්බුක් එකේ එහෙම ගියා නේද?
ඔය වගේ කතා ෆේස්බුක් යනවා. මම අධිකරණ නියෝජ්‍ය ඇමැති වෙලා ඉන්න කාලේ හිරේ ඉඳපු අය බලන්න එහෙම ගියා. ඔය අතරෙ මට ප්‍රියකරන අය ඒ අතරත් ඉන්න ඇති. එහෙම නැතුව මම කිසිම දවසක ඔය වගේ දේවල්වලට සම්බන්ධවෙලා නෑ. මේවට මගේ කිසිම සම්බන්ධයක් නෑ.


● ජනවාරි 8 වැනිදාට කලින් ඔබලා මිනිස්සුන්ට කිව්වෙ අලි දෙන්නං කොටි දෙන්නං කියලා. දැන් දෙන දේවල් කෙසේ වෙතත් උද්ඝෝෂණයකටවත් මිනිස්සුන්ට පාරට බහින්න බැරි තත්ත්වයක් තියෙන්නේ?
අපි විශාල වැඩ කොටසක් කළා. බැරි වුණු දේවලුත් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැමදේම එක පාරට දෙන්න බෑ. ඒත් අපි උද්ඝෝෂණය කරපු අයට පහුගිය ආණ්ඩුව කාලේ වගේ වෙඩි තියලා මරන්නෙ නෑ. ජනතාව බලාපොරොත්තු වෙන දේවල් ටිකෙන් ටික අපි ඉදිරියේ දී ලබාදෙනවා. තව අවුරුදු කීපයක් තියෙනවනේ. දැනට යන ගමනට වඩා ජනතාවට සහන දීම වේගවත් වෙන්න ඕන කියන අදහස මටත් තියෙනවා.


● ඔබ කියන්නේ වැඩ කරන්න බැරි නම් දේශපාලනයෙන් අයින් වෙනවා කියලනේ. එහෙම වුණොත් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
මට ඉන්නම බෑ කියලා හිතුණොත් තමයි මම කිව්වෙ මේක දාලා යනවා කියලා. ඉන්නම බැරි වුණොත් මම අයින්වෙලා සුපුරුදු විදියට නීති වෘත්තිය කරනවා. මගේ අනෙක් ව්‍යාපාර එහෙමත් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් එතකොට.

ප්‍රියන්ත කොඩිප්පිලි