ඇලෝෂියස්ගේ වරද මුල ඉඳලම අඳුන ගත්ත කෙනෙක් මම


ප්‍රශ්නය:- යම් නඩුවක සැකකරුවෙක් ඔහුගේ නඩුව විමසන නඩුකාරයන්ට කතා කිරීම නීතිඥයෙක් වන ඔබ තේරුම් ගන්නේ කොහොමද?  


පිළිතුර:- නඩුවක් විභාග කරන අවස්ථාවක සැකකරුවෙක් වශයෙන් නම් කරලා ඉන්න කෙනෙක් එහෙම කතා කරනවා නම් වැරදියි.  


ප්‍රශ්නය:- එහෙම නම් ඔබම කියන්න....?  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. මෙතැනදි නඩුවක් කියන්නේ මොකක්ද? කියන එක වෙනම අර්ථ කථනයක්. සැකකරුවෙක් කියන එක තවත් අර්ථකථනයක්.  


ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුවේ චූදිතයකු වන අර්ජුන් ඇලෝෂියස් ඔබ පිරිසට කතා කිරීම?  


පිළිතුර:- ‘ඔබ පිරිස’ කියන වචනය වැරදියි. අර්ජුන් ඇලෝෂියස් මට කතා කරලා නෑ.  


ප්‍රශ්නය:- බැඳුම්කර කොමිසමෙන් නිකුත් කළ වාර්තාවක අර්ජුන් ඇලෝෂියස් ඔබත් සමඟ දුරකථන සංවාද පැවැති බවට සඳහන් වුණා.  


පිළිතුර:- ඒක වැරදියි. අර්ජුන් ඇලෝෂියස් මම අඳුරන්නේ නැහැ. අර්ජුන් අැලෝෂියස් මම අද වෙනකම් දැකලා නැහැ.  


ප්‍රශ්නය:- එහෙම නම් කොමිසමේ වාර්තාව බොරුද?  


පිළිතුර:- බැඳුම්කර කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය කොමිසමේ නියෝගය මත මට දන්වා තිබෙනවා මෙම ප්‍රශ්නයට ලක්වී ඇති හරස් ප්‍රශ්නවලට ලක් නොවූ සී 352 අංක සඳහන් ලේඛනයේ ඇතුළත් කරුණු මත මට අදාළව කිසිදු නිගමනයකට නොඑළඹෙන බව.  


ප්‍රශ්නය:- එහෙම කියන්නේ ඇයි?  


පිළිතුර:- ඔව්. ඒකේ තවදුරටත් සඳහන් වෙනවා. එම ලේඛනය සාරංශයක් පමණක් බවත් එම ලේඛනය තුළ මා හට අදාළ ප්‍රශ්නගත දුරකථන ඇමැතුම්වලට අදාළ දිනය වේලාව දුරකථන ඇමතුමේ කාලය පමණක් නොව එම දුරකථන ඇමතුම්වලට සත්‍ය ලෙසම සම්බන්ධ වූවාද යන්න පිළිබඳව සඳහන්ව නොමැති බවද එම වාර්තාවේ සඳහන් දුරකථන ඇමැතුම්වල අන්තර්ගත කරුණු නොමැති බවත්’ කොමිසම 21 වැනිදා මගේ නීතිඥයා වෙත ලිපිය මගින් දන්වා තිබෙනවා.  


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට එහෙම නම් කොහොමද ඔබේ නම එළියට ආවේ?  


පිළිතුර:- මම ඒ පුද්ගලයාට කතා කරලා නැති නිසා මේ ලේඛනය තුළ ඔය කියන ඇමැතුම් මිස් කෝල්ද යන්නවත් සඳහන් නොවන නිසා මා හට අදාළව මේ ප්‍රශ්නය මතු වෙන්නේ නෑ. මෙය සමහරවිට දෝෂයක් විය හැකියි. එහෙම නැත්නම් මාගේ දේශපාලනික සතුරන් විසින් හෝ පෞද්ගලික සතුරන් විසින් හෝ නිර්මාණය කරන ලද්දක් විය හැකියි.  


ප්‍රශ්නය:- මේ ගැන ඔබ මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ.  


පිළිතුර:- මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න මේ මොහොත වන විටත් සාකච්ඡා කරමින් ඉන්නවා.  


ප්‍රශ්නය:- ඔබේ උත්තරය ප්‍රශ්නකාරියි. ඔබ මේ අභියෝගයට ලක් කරන්නේ බැඳුම්කර කොමිසමයි.  


පිළිතුර:- මෙහෙමයි. මේ තොරතුරු කොමිසමට දුන්නේ පොලිස් නිලධාරියෙක්. ඔහුගේ සාක්ෂිවලින්. ඒ ලේඛනයෙ තියෙන්නේ අජිත් පෙරේරා ‘වන් ඉන්කමින් කෝල් වන් අවුට් ගොයින් කෝල්’ කියලා. ඒ කුමන දිනයකද? කුමන වෙලාවකද? කාල පරාසය කොපමණද? මිස් කෝල් එකක්ද නැද්ද? ඒ කිසිවක් නෑ. මම හරස් ප්‍රශ්න අහන්න අවසර ඉල්ලුවා ගිය සඳුදා. මගේ නීතිඥයා මගින්. ඒකට උත්තරයක් විදියට තමයි කොමිසම මේ ලිපිය එව්වේ. මේක හරිම අසාධාරණයි. මේ විදියේ මා කෙරෙහි බලපාන කරුණක් පිළිබඳව පුවත්පතක පළ වුණාම ඒ සම්බන්ධයෙන් දැවැන්ත කතාබහක් සමාජය තුළ ඇති වුණාම සහ ඒ පිළිබඳව කොමිසමක් සංවේදී බව පෙනුණා. ගිය සඳුදා කොමිසමේ සභාපතිතුමාගේ කතාවට අනුව ඒ අනුව එම හරස් ප්‍රශ්න අයිතිය තියෙන්න ඕන. කාට හරි ඇවිල්ලා ඒක පාර්ශ්වීය ලේඛනයක් දීලා ගියාම ඒ ගැන මට කතා කරන්න අයිතියක් තියෙන්න ඕනෑ. ඒ වගේම දුරකථන සමාගම මගින් නිකුත් කරපු නිල ලේඛනයකුත් නොවෙයි මේක. මේ ලේඛනය මා සතුව තියෙනවා. මේ ලේඛනය මේ බලන්න. කිසිම අස්සනක් නැහැ. කිසිම සහතික කිරීමක් කරලා නෑ. මේ තියෙන්නේ කොමිසමේ කොමසාරිස්තුමාගේ අත්සන. මේ ලේඛනය හදන්න පාවිච්චි කරපු අනිකුත් තොරතුරක් එහෙමනම් කොමිසමට ඉදිරිපත් කරන්න ඕනෑ. ඇත්තටම මේ ලේඛනය අසම්පූර්ණ ලේඛනයක්.  


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් අනික් මැති ඇමැතිවරුන් කියනවා. ඔවුන්ට දුරකථන ඇමතුම් ආවා. ඔවුන් කතා කළා කියලා.  


පිළිතුර:- ඒ ඒ අයම වෙනස් වෙනස් පැහැදිලි කිරීම් ඇති. නමුත් අද වෙනකම් අර්ජුන් ඇලෝෂියස්ව දන්නේ නෑ. කතා කරලා නෑ. අද වෙනකම් දැකලා නෑ. ඒ නිසා මට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ වගේම සාක්ෂිකරු​ගෙන් හරස් ප්‍රශ්න අසන්නේ නැතිව මේ ලේඛනය ලකුණු කළාට පස්සේ. ​ෙම් ලේඛනය මම ලබා ගත්තේ මාධ්‍යවේදියෙකුගෙන්. අද තමයි මම මේ ලේඛනයේ පිටපත කොමිසමෙන් එව්වේ. කොමිසමේ සභාපති 2017.11.16 දිනය සහිතව අත්සන් කරපු ලේඛනය මාධ්‍යවලට නිකුත් කරද්දී වඩාත් වගකීමෙන් වැඩ කළ යුතුව තිබුණා. මේවාට දෙන සමාජයමය අර්ථ නිරූපන මගින් ඇතිවෙන්න පුළුවන් බලපෑම විවිධ පුද්ගලයන්ට අදාළව විවිධයි. මම නම් ඒ අයිතිය වෙනුවෙන් සටන් කරනවා. මම මෙතෙක් කල් සටන් කළේ වංචාවට, හොරකමට විරුද්ධව බැඳුම්කරය සම්බන්ධ කෝප් කමිටු වාර්තාවට අනුවත් මම ඉතාම පැහැදිලිව ඇලෝෂියස් දූෂිතයෙකි. ඔහුගේ සමාගම දූෂිතයි. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. කියන ස්ථාවරයේ හිටියේ. මම තරම් තද ස්ථාවරයක් වෙන කවුරුවත් ගත්තෙත් නෑ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පවා මම තරම් තද ස්ථාවරයක හිටියේ නෑ. එතකොට මේ ලේඛනය හරහා මට දැවැන්ත චරිත ඝාතනයක් සිද්ධවෙලා තියෙනවා. මාව පෞද්ගලිකව දන්න අය ම​ගේ චරිතය ම​ෙග් ක්‍රමය දන්න අය දන්නවා. මාව කව්රදාවත් සල්ලිවලට ගන්න බෑ කියලා. නමුත් නොදන්නා මිනිස්සුන් දේශපාලන හතුරොත් මෙවැනි අවස්ථා පාවිච්චි කරනවා. මේක නිලධාරින්ගෙන් වෙච්ච දෝෂයක් නම් මම ඔවුන්ට සමාව දෙනවා. මේක කවුරුහරි හිතාමතා කළා නම් ඒ හැම කෙනෙකුටම එරෙහිව ගත හැකි සෑම නීතිමය ක්‍රියා මාර්ගයක්ම මම ගන්නවා.  


ප්‍රශ්නය:- දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි ව​ෙග් අය කියනවා. ‘ඔවුන්ට අර්ජුන් ඇලෝෂියස් කතා කළා.’ ඔබ විතරයි කියන්නේ කතා කළේ නෑ කියලා.  


පිළිතුර:- ඉතින් මට කතා කළේ නැහැනේ. කතා නොකළා විතරක් නොවෙයි අද වෙනකම් දැකලත් නෑ. මම මේ කතාව මීට කලිනුත් කියලා තියෙනවා. ඇලෝෂියස් මම අඳුරන්නෙත් නෑ.  


ප්‍රශ්නය:- බැඳුම්කර කොමිසම පිහිටුවීම හරහා ජනපති මෛත්‍රී යූඑන්පිය උගුලක හිර කළා කියලා ඔබ හිතනවද?  


පිළිතුර:- ඒ ගැන විවිධ මත තියෙනවා.  


ප්‍රශ්නය:- ඔබේ අදහස?  


පිළිතුර:- මම පෞද්ගලිකව මේ බැඳුම්කර කොමිසමට කැමැතියි. මේ කොමිසම පත් කිරීමට ගත් තීරණය නිවැරදියි. මේ බැඳුම්කර කොමිසම ඉතාම සියුම්ව සාක්ෂි සොයා ගනිමින් විවිධ ඇමැතුම් විවිධ පණිවිඩ වයිබර්, වට්ස්අප් පවා දැන් හොයලා තියෙනවනේ. එහෙම සියුම් පරීක්ෂණයක් කරපු එක ඉතාම නිවැරදියි. එමගින් දූෂිතයනුත්, ඔවුන්ට උදව් කරපු මිනිස්සුත් හොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ක්‍රියාදාමය තුළ වගකීම් විරහිත ලෙස ක්‍රියා කරලා මාධ්‍යයම ප්‍රවෘත්තියක් මවන්න පුළුවන් විදියට හොරකමට කිසිම අනුකූලතාවක් නැති, ඒ වගේම කොමිසම විසින් මාවෙත දන්වා තිබෙන ලිපියෙ සඳහන් පරිදි වැදගත්කමක් නැති ලේඛනයක් ලකුණු කරන්න දීලා ඒක මාධ්‍යයට දීමෙන් කොමිසමේ විශ්වාසනීයත්වය පළුදුවෙලා තියෙනවා. ඒ ගැන මගේ පාලනයක් නෑ. නමුත් මම මගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් සටන් කරනවා. සටන් කරනවා විතරක් නොවෙයි. ඒ සමගින් මම ජයගන්නවා.  

 

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  
නියෝජ්‍ය ඇමැති 
අජිත් පී. පෙරේරා


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ බැඳුම්කර කොමිසම පිහිටුවීම හරහා ජනාධිපති මෛත්‍රී යූඑන්පියට උගුලක් ඇටෙවුවා කියලා ඔබ විශ්වාස කරනවද කියලයි?  


පිළිතුර:- ජනාධිපතිතුමා මෙම කොමිසම පත් කිරීම නිවැරදියි. ඒ ගැන මටම කිසිම සැකයක් නෑ.  


ප්‍රශ්නය:- නමුත් අගමැති රනිල්ටත් සාක්ෂි දෙන්න යන්න වුණා.  


පිළිතුර:- අගමැතිතුමා කැමැත්තෙන් සාක්ෂි දෙන්න ගියේ. ​කොමිසමේ කටයුතුවලට ස්වෙච්ඡාවෙන් සහාය දුන්නා. වැදගත් විදියට විසඳාගත යුතු කරුණු පෙන්වලා දුන්නා. මම ආඩම්බර වෙනවා අගමැතිතුමා ගැන. අගමැතිතුමා එක අතකින් තමන්​ෙග් අමාත්‍ය ධුරය දරන අමාත්‍යාංශයට අයත් ආයතනයක් වන මහ බැංකුව සම්බන්ධයෙන් එතුමාට තියෙන වගකීම එතුමා පැහැර හැරියේ නෑ. ඊට පෙර දිව්රුම් ප්‍රකාශ දෙකක් මගින්ම තමන්ගේ ස්ථාවරය එතුමා දැනුම් දුන්නා. මේ රටේ යහපාලනය පිළිබඳව, නීතියේ ආධිපත්‍ය පිළිබඳව ඉතාම කදිම නිදර්ශනයක් අගමැතිතුමා රටට දුන්නා.’ හොරකමක් වෙලා තියෙනවා. හොරකමට වගකිවයුතු අය කවුද කියලා සාක්ෂිවලින් අනාවරණය වෙලා තියෙනවා. ​ෙම් හොරකම අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපතිව ඉන්න කාලේ ඔහුගේ සහෝදරිය පර්පචු​ෙවල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂිකාවක් හැටියට ඉන්න කාලේ ආරම්භ කරලා අපේ රජයේ කාලයේදීත් අඛණ්ඩව කරගෙන ආපු එකක් කියලා පැහැදිලියි. ඒ වගේම මේ මේ ක්‍රියාදාමයට මහ බැංකුවේ ඉන්න හා හිටපු නිලධාරීන් සම්බන්ධ වුණා කියන එකත් පැහැදිලියි. ඒ වගේම මේ ක්‍රියාවලියට සමූහයක් සේවක භාරකාර අරමුදල, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි රටේ දැවැන්ත මුදල් ප්‍රමාණයක් පාලය කරන ආයතනවල මුදල් පදනම පිළිබඳ වගකීම තියෙන පුද්ගලයෝ ඇලෝෂියස්ගෙන් වැටුප් ලබන තත්ත්වයට පත්වෙලා හිටියා කියන එක ඇලෝෂියස්ගේ ආයතනයේ ප්‍රධාන ගැණුම්කරු වන නුවන් සල්ගාදුගේ සාක්ෂියෙන් අනාවරණය වුණා. ඔහුගේ කොම්පියුටරයේ 2015 ජනවාරි 8 ට කලින් තොරතුරු ලබා දුන් අයට මුදල් ගෙවපු අය ගැන සඳහන් වුණා. ඒ වගේම 2015 ජනවාරි 8 ට පස්සෙත් තොරතුරු ලබා දීපු අයට මුදල් ලබාදීම ගැන අනාවරණය වුණා. එසේ මුදල් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවල ‘චීෆ් ඩීලර්ස්ලා’. ඉතින් බොහොම පැහැදිලියි මේ මූල්‍ය පද්ධතියම ඇලෝෂියස් විසින් තමන්​ෙග් ග්‍රහණයට ලක් කරගෙන තිබූ බව. ඒ නිසා තමයි මම බැඳුම්කර වාර්තාවේ 13 වැනි වෙළුමේ 752 පිටුවේ ‘මෙම සමාගමේ සභාපති වන ජෙෆ්රි ඇලෝෂියස්ටත්, මුතුරාජ සු​ෙර්න්ද්‍රන්, හා ගුණවර්ධනට සහ රංජන් හුළුගල්ල යන අයට වහාම අපරාධ පරීක්ෂණයක් පටන් ගන්න කියලා සඳහන් කළේ. මම එහෙම කිව්වා කියලා ඊට පහුවදා මාධ්‍යවල පළ වුණා. ඇලෝෂියස් එක්ක යාළුකමක් තිබ්බා නම් මම එහෙම කියන්නේ නැහැ. ඒ වගේම වෙන අය එහෙම කිව්වෙත් නෑ. ඉතින් ඒකෙන්ම පේනවා මම ඇලෝෂියස්ගේ මිතුරෙක් නොවෙයි කියලා. ඇලෝෂියස්ගේ වරද මුල ඉඳලම අඳුරගත්ත කෙනෙක් මම. ඉතින් එහෙම කරපු මට මේ වගේ ඇබැද්දියක් වුණාම හරි අසරණකමක් ඇති වෙනවා.  


ප්‍රශ්නය:- ඔබ කියනවා ‘මෙතන වංචාවක්, හොරකමක් වෙලා තියෙනවා’ කියලා. එහෙම නම් කවුද මේකේ සමස්ත වගකීම බාරගන්න ඕනෑ.  


පිළිතුර:- පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම මේ රටේ මූල්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ වගකිව යුතු තැන්වල තීරණ ගන්න සියලු දෙනාගෙන් වැඩි පිරිසක් තමන්ගේ ග්‍රහණයට ගෙන අතිවිශාල ධනයක් කෙටි කාලයකින් උපයාගෙන තියෙනවා. මේ රටේ වෙන කිසිම ව්‍යාපාරයක් උපයා නොගත් ධනයක් උපයාගෙන තියෙනවා. ඒ ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම අපරාධ වගකීමක් ඇති කරවන්නක්. ඒ නිසා රටේ නීතියට අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරලා දඬුවම් ලබා දිය යුතුයි. මගේම යෝජනාවකට අනුව තව මාස කිහිපයකින් ඇති කරන දූෂණ විරෝධී මහාධිකරණයේ පළමු නඩුව හැටියට මේ නඩුව විභාග කරනවා නම් මම සතුටුයි.  


ප්‍රශ්නය:- ඔබ බැඳුම්කර හොරකමක් ගැන කියනවා. නමුත් 2015 මහ මැතිවරණයට එජාපය වියදම් කළේ ඒ සල්ලි කියලත් කියනවා.?  


පිළිතුර:- සම්පූර්ණ බොරුවක්. 2015 ජනවාරි 8 මැතිවරණයේදී අර්ජුන් ඇලෝෂියස් වැඩ කළේ මහින්ද රාජපක්ෂට. ඔහු නාමල් රාජපක්ෂගේ මිත්‍රයෙක්. මේ පරීක්ෂණ අතර තුරත් හෙළිදරව් වෙලා තියෙනවා නාමල් රාජපක්ෂ හා ඇලෝෂියස් අතර තියෙන බරපතළ මිත්‍ර සම්බන්ධය ඒ වගේම ඔවුන් අතර හුවමාරු වෙච්ච ඇමතුම් සිය ගාණක් පිළිබඳ විස්තර අනාවරණය වෙලා තියෙනවා. ඒවා අත්වැරදීම් වෙන්න බෑ. ඒ වගේම ඒවා මිස් කෝල් වෙන්නත් බෑ. 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී වගේම 2015 ජනවාරියට කලින් අර්ජුන් ඇලෝෂියස්ගේ නම සඳහන් කරලා ඔහු කොටස් වෙළෙඳ පොළ තුළ වංචනිකව කටයුතු කරන දූෂිතයෙක් හැටියට නම් කරමින් පාර්ලිමේන්තුව තුළ ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා වැනි අය විශේෂිතව ප්‍රකාශ කළා. ඊට පස්සෙත් අර්ජුන් ඇලෝෂියස් අපේ පක්ෂය සමඟ කටයුතු කළේ නෑ. අර්ජුන් ඇලෝෂියස් කිසි දවසක එක්සත් ජාතික පාක්ෂිකයෙක් නොවෙයි. මම මේ පක්ෂයේ අවුරුදු 10 ක් ඉහළ මණ්ඩල​ෙය් කටයුතු කරලා තියෙනවා. ඒ කාලය තුළ පක්ෂයේ වැඩකට ඔහු කවදාවත් ඇවිත් නැහැ. ඔහු දූෂිත ව්‍යාපාරිකයෙක්. මොන ආණ්ඩුවක් යටතේ හරි මුදල් හොයන්න කටයුතු කරන පුද්ගලයෙක් ඒකයි ඇත්ත.  


ප්‍රශ්නය:- ඔය අතරෙ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියනවා?  


පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂත් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් බරපතළ අපරාධ ගණනාවක් ගැන පරීක්ෂණ අවසන් භාගයට පත්වෙමින් තිබෙනවා.  

ප්‍රශ්නය:- බැඳුම්කරයට රිටන් එක දෙන්න හදන්​ෙන එහෙම කියලයි කියන්නේ?  


පිළිතුර:- පුහුල් හොරා කරින් දැනේ කියලත් කියන්න පුළුවන්.  


ප්‍රශ්නය:- උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළා. ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒත් රජය නිහඬයි?  


පිළිතුර:- උතුරේ ආණ්ඩුකාරතුමා නීතිපතිතුමාට යොමු කරලා තියෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය පියවර ගන්න.  


ප්‍රශ්නය:- කොටි සැකකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස නම් කරලා නිදහස් කරන කොට හමුදා හා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින් හිරකරගෙන ඉන්නවා.?  


පිළිතුර:- කවුරුහරි හමුදා නිලධාරියෙක් හිරේ ඉන්නවා නම් ඒ ඉන්නේ අපරාධයක් පිළිබඳව අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තියෙන නිසයි. එහෙම නැතිව හමුදා නිලධාරියෙක් වූ පමණට කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙනත් නෑ. එහෙම ගන්නෙත් නෑ.  


ප්‍රශ්නය:- කෝ ඡන්දය? ඔය පාලනය ගේන්න හදන්නේ ඡන්දය කල් දාලාද කියලයි මිනිස්සු අහන්නේ?  


පිළිතුර:- අපිටත් අවශ්‍ය ඡන්දය. ඡන්ද කල් දාන්න අපි කිසිවිටෙකත් සහාය දෙන්නේ නෑ. ඒ වගේම ඉක්මනින්ම ඡන්දය තියන්න අවට පරිසරය හදන්න අපි පක්ෂයක් විදියට අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා.  
 

 

 

 

 

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්