ඇමෙරිකා හමුද‌ාවේ පිරිසක් මෙරටදී සැකකටයුතු හැසිරීමක


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  
ජාතික නිදහස් පෙරමුණේ නායක  
විමල් වීරවංශ  

 

  • හමුද‌ා නිලධාරින් ගෙන ආ ගමන්මලු හයට මොකද වුණේ?  
  • ඊළඟ සහරාන්ලාට අවශ්‍ය බඩුද මේ ගේන්නේ?  

 

ඇමෙරිකානු හමුද‌ාවට අයත් පිරිසක් මෙරටට පැමිණ සැකකටයුතු ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ආන්දෙ‌ා්ලනාත්මක අනාවරණයක් ඉකුත්ද‌ා කළේය. මේ ඒ සම්බන්ධයෙන් ඒ මහතා විමසමින් කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- ඔබ පසුගියද‌ා ඇමෙරිකන් හමුද‌ාවට සම්බන්ධ පිරිසක් ගැන බරපතළ අනාවරණය කිරීමක් කළා. මොනවද එතැන සිද්ධ වුණේ?  


පිළිතුර:- පසුගිය ජූලි මාසේ 30 වැනිද‌ා ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුද‌ා නිලධාරින් හය හත් දෙනෙක් එනවා ඔවුන්ගේම ගුවන් යානයකින්.  


ප්‍රශ්නය:- කොහාටද එන්නේ?  


පිළිතුර:- කටුනායකට. කටුනායක ඉඳලා ඔවුන් හිල්ටන් හෝටලයට එනවා. මේ හය හත් දෙනා අතේ තිබුණා බෑග්. ඒ බෑග් ටික ස්කෑන් පරීක්ෂණයට ලක් කරන්න ඕන කියලා හිල්ටන් හෝටලයේ ආරක්ෂක නිලධාරින් කිව්වම මේ ඇමෙරිකානු ආරක්ෂක හමුද‌ා නිලධාරින් ඒ ස්කෑන් පරීක්ෂණයට එකඟ වෙන්නේ නෑ. ඔවුන් කියනවා තමන්ගේ බෑග් ඒ විදියට පරීක්ෂා කරන්න ඉඩදෙන්න බෑ කියලා. එහිදී හිල්ටන් හෝටලයේ ආරක්ෂක නිලධාරින් කියනවා බෑග් පරීක්ෂාවට ඉඩ දෙන්නේ නැත්නම් හෝටලයට ඇතුල් වීමට ඉඩ දෙන්න බෑ කියලා. ටික වේලාවක් මේ බහින් බස්වීම ගිහිල්ලා මේ ඇමෙරිකානු හමුද‌ා නිලධාරින් දුරකතන මාර්ගයෙන් කොළඹ තියෙන ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් සම්බන්ධ කරගෙන මේ තත්ත්වය දැනුම් දෙනවා. ඊට පස්සෙ එතෙනට එනවා කේ.එල්. 6586 කියන වාහනය. අර පරික්ෂා කිරීමට නොදුන්න බෑග් හයක් ඒ වාහනයේම ද‌ාගෙන අරගෙන යනවා.  


ප්‍රශ්නය:- ඒ වාහනය කොළඹ තියෙන ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයත් වාහනයක් කියල ඔබ කියන්නේ කොහොමද?  


පිළිතුර:- මම මේ සිද්ධිය අනාවරණය කළාට පස්සේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කළා. ඒ නිවේදනය මගින් ඔවුන් පිළිඅරගෙන තියෙනවා ඒ සිද්ධිය සත්‍යයක් කියලා. එතැන වුණේ සන්නිවේදන ප්‍රශ්නයක් කියලයි ඒ නිවේදනයේ සඳහන් වෙන්නේ. හැබැයි අර ගමන් මලු හයට මොකද වුණේ? ඒවා ආපහු අරගෙන ගියේ ඇයි?  
ඒවායේ මොනවද තිබුණේ කියන ප්‍රශ්නවලට කිසිම පැහැදිලි කිරීමක් ඒ නිවේදනයේ නෑ. ඒ වාහනය ඇමෙරිකානු තානාපති කාර්යාලයට සම්බන්ධ එකක් නොවෙයි නම් ඒ නිල නිවේදනය මගින්ම ඔවුන්ට ඒක ප්‍රතික්ෂේප කරන්න තිබුණා. නමුත් එහෙම ප්‍රතික්ෂේප කිරීමකුත් නෑ. එතකොට ඒ ගමන් මලු හය අරගෙන යනවා. අර නිලධාරින් දවස් දෙකකට පස්සේ මාලදිවයින බලා පිටත්ව යනවා.  


ප්‍රශ්නය:- මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ පළමු වතාවටද?  


පිළිතුර:- මෙයට පෙරත් සිවිල් ඇඳුමෙන් සැරසුණු මේ හමුද‌ා නිලධාරින් හිල්ටන් හෝටලයේ සති දෙකක් පමණ කාලයක් ගත කරලා තියෙනවා.  


ප්‍රශ්නය:- ඒ ආපු පිරිස ඇමෙරිකානු හමුද‌ා නිලධාරින් කියලා ඔබ කියන්නේ කොහොමද?  


පිළිතුර:- මා ගාව තියෙනවා ඒ ආපු හමුද‌ා නිලධාරියකුගේ හැඳුනුම් පතක ඡායා පිටපතක්. ඒ වගේම ඔවුන්ගේ වීසා බලපත්‍රවල ඡායා පිටපත්. ඒ අනුව බොහොම පැහැදිලිව පේනවා ඔවුන් ඇමෙරිකානු හමුද‌ා නිලධාරින් බව. දැන් ප්‍රශ්නය තියෙන්නේ මේ ගමන් මලු හයට මොකද වුණේ කියන එකයි.  


ප්‍රශ්නය:- ඔබට අනුව මේ ගමන් මලුවල තියෙන්න ඇත්තේ මොනවාද?  


පිළිතුර:- ඒක තමයි මෙතැන තියෙන බරපතළම ප්‍රශ්නය. පරික්ෂා කරන්න බලන්න දෙන්නෙ නැත්තේ අනාවරණය වුණොත් ප්‍රශ්නයක් වෙන දෙයක් ඒ බෑග්වල තිබුණ නිසානේ. එතකොට මේ බෑග්වල තිබුණේ පුපුරන ද්‍රව්‍ය ද? වෙනත් මොනවා හරි පුපුරණ ද්‍රව්‍ය ද? එතකොට බලවත් සැකයක් මතුවෙනවා මේ අය මේ ගෙනෙන්නේ රටේ අභ්‍යන්තර ත්‍රස්තවාදයකට ඕනෑ කරන දේවල් ද කියලා.  


ප්‍රශ්නය:- හිල්ටන් හෝටලයේදී බෑග් පරික්ෂා කරන බව ඔවුන් නොදැන ඉන්න විදියක් නෑ?  


පිළිතුර:- ඒක ගැන මට කියන්න පුළුවන්කමක් නෑ. සමහර විට මෙයට පෙර ඔවුන් එන්න ඇත්තේ අප්‍රේල් 21 පාස්කු ඉරිද‌ා ප්‍රහාරයට පෙර වෙන්නැති. අප්‍රේල් 21 ට කලින් ඔය විදියට බෑග් පරීක්ෂා කිරීමක් නොකළා වෙන්නැති. පාස්කු ප්‍රහාරයෙන් පසුවයි ඔය හිල්ටන් හෝටලය ඇතුළු හෝටල්වල ඔය විදියට පරීක්ෂා කිරීම් කරන්න පටන් ගත්තේ. ඒ නිසා පෙර අත්දැකීමක් නොතිබුණ නිසා ඔවුන් විශ්වාසයෙන් යුතුව එන්නැති. මේක බරපතළ තත්ත්වයක්. මම ඡායාරූප සාක්ෂි සහිතව අනාවරණය කරලා තියෙද්දිත් ආරක්ෂාව බාර කිසිම බලවතෙක් අඩු ගානේ වචනයක්වත් කියන්නේ නෑ. ඇමෙරිකානු ආරක්ෂක හමුද‌ා නිලධාරින් මම දන්න තොරතුරුවලට අනුව ගුවන් තොටුපළේදීවත් නිසි පරීක්ෂාවට ලක්වෙලා නෑ. රේගුවෙන් නිසි පරීක්ෂාවට ලක්වෙලා නෑ. එතකොට මෙහෙම මේ අයට එන්න පුළුවන් නම් ඔවුන්ට ඕනෑම දෙයක් ගේන්න පුළුවන් නම් ඒ ගේන දේවල් කාගෙ අතට ද පත් වෙන්නේ? ඊළඟ සහරාන්ලාට අවශ්‍ය බඩු ටික ද මේ එන්නේ? ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍යයි මේ රටේ මානව ආපද‌ාවක්. ඔවුන්ට අවශ්‍යයි මේ රටේ ලේ වැගිරෙන තත්ත්වයක්. ඒ ලේ වැගිරෙන තත්ත්වය රතු පාවාඩය බවට පත් කරගන්නවා ඔවුන්ගේ හමුද‌ාමය මැදිහත්වීමකට. ඒකට තමයි ඔවුන් ඇක්සා ගිවිසුම අත්සන් කරගත්තේ. දින වකවානු සීමාවක් නැතිව. ඒ ඇක්සා ගිවිසුමේ තියෙනවා හදිසි තත්ත්වයකදී ඇමෙරිකානු හමුද‌ාවට ලංකාවට එන්න පුළුවන් කියලා. එතකොට මේ බෑග්වලින් ගේන දේවල් ඒ හදිසි තත්ත්වය ඇති කිරීමට අවශ්‍ය දේවල් ද? ඒ සාධාරණ සැකය ශ්‍රී ලාංකිකයාට මතුවෙන එක වළක්වන්න බෑ.  


ප්‍රශ්නය:- ඇමෙරිකානු තානාපති කාර්යාලය කියන්නේ මේක සන්නිවේදන ප්‍රශ්නයක් කියලානේ?  


පිළිතුර:- ඔව්. ඔවුන් කියන්නේ එහෙම තමයි. නමුත් සන්නිවේදන ප්‍රශ්නයක් නොවෙයි මෙතන තියෙන්නේ. මේ ගමන් මලුවල තිබුණේ මොනවද? ඇයි ඒවා හැංගුවේ?  


ප්‍රශ්නය:- ඔබ කියනවා ඔවුන් පැමිණියේ පෞද්ගලික ගුවන් යානයකින් කියලා?  


පිළිතුර:- ඒක පෞද්ගලික ගුවන් යානයක් හෝ ඇමෙරිකානු රජයට අයත් ගුවන් යානයක්. පෞද්ගලික කියන්නේ ඒ ගුවන් යානයේ පැමිණියේ ඔවුන් විතරයි. සාමාන්‍ය ගුවන් මගීන් ඒ යානයේ ඇවිත් නෑ.  


ප්‍රශ්නය:- ඒ සඳහා නිසි අවසර ගැනීම් කරලා තියෙනව ද?  


පිළිතුර:- ඒ පිළිබඳව මට මුකුත් කියන්න බෑ. ඒ තොරතුරු හෙව්වට ඒවා තවම හොයාගන්න බැරිවුණා. ඔය අනාවරණය වෙච්ච එක කණ්ඩායමක් විතරනේ. අනාවරණය නොවිච්ච තව කණ්ඩායම් කීයක් ඇවිත් යන්න ඇද්ද? මේක ස්කෑන් පරීක්ෂාවට අකමැති වීමත් එක්කනේ මතු වෙන්නේ. ස්කෑන් පරීක්ෂණ නොකරණ හෝටල්වලට මේ අය කොච්චර ඇවිත් ඇද්ද? එතකොට එහෙම ඇවිත් මොනවා කරනවා ඇද්ද? මේ රටේ ජාතික ආරක්ෂාව කියන එක දිහා මේ පාලකයෝ ශතපහක වටිනාකමකින් යුතුව බලනවා නම් මේවා මෙහෙම වෙන්න බෑ.  


ප්‍රශ්නය:- පුපුරණ ද්‍රව්‍ය හෝ වෙනත් යුද උපකරණ නම් ගෙනාවේ මේ තරම් අපරික්ෂාකාරී විදියට ක්‍රියා කරයි ද? ඔබම කියනවා ඔවුන් ඇමෙරිකානු හමුද‌ා කණ්ඩායමක් කියලා?  


පිළිතුර:- අපරීක්ෂාකාරී ලෙස නොවෙයිනේ. ඔවුන් බලාපොරොත්තු නොවුණ ස්කෑන් පරීක්ෂණයක් කරන්න ගියා. ඒක තමයි එතැන ඔවුන්ට වෙච්ච එකම අවුල. ඒක ඔවුන් අපේක්ෂා නොකළ දෙයක්.  


ප්‍රශ්නය:- ඔබ දිගින් දිගටම කියනවා ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ සැලසුම් ක්‍රියාත්මක වෙයි කියලා. ඔබ හිතනවා ද මේ සිදුවීමත් ඒකට සම්බන්ධයි කියලා?  


පිළිතුර:- ඉදිරි මාස තුන හතර කියන්නේ මේ රටේ ඉරණමත් එක්ක තදින්ම බැඳුණු මාස තුන හතරක්. රනිල් වික්‍රමසිංහ පාලනයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට මේ රට තුළ ක්‍රියාත්මක වීමට ලැබී තිබෙන අතිශය වාසිද‌ායක තත්ත්වය පහසුවෙන් ඔවුන් අහිමි කර ගනී කියලා අපි විශ්වාස කළ යුතු නැහැ. ඒ නිසා ඔවුන් ඇක්සා ගිවිසුමේ සඳහන් කරගත් පරිදි හදිසි තත්ත්වයකදී ලංකාවට හමුද‌ාමය මැදිහත් වීමක් කළ හැකිය කියන වගන්තිය තියෙන නිසා ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරගන්න මේ මාස තුන හතර පාවිච්චි නොවෙයි කියලා අපිට හිතන්න බෑ. සහරාන්ලා මගින් බලාපොරොත්තු වුණෙත් ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරගන්නයි. සහරාන්ලාට ඒ අන්තවාදය වඩවාලන්න මැදපෙරදිග සල්ලි එවන්න ඕනැ නිසා තමයි විදේශ විනිමය පනත සංශෝධනය කර ගත්තේ. ලංකාවට විදේශ මුදල් ගෙන ඒමේදී මහ බැංකුව අධික්ෂණය කරන්නේ නෑ. එතකොට ඒ නීති වෙනස් කරලා ත්‍රස්තවාදය වැඩෙන්න අවශ්‍ය පරිසරය හද‌ාගත්තා. ඊට පස්සෙ ඒ ප්‍රහාරය එල්ල කළා. ප්‍රහාරයෙන් පසුව ඔවුන් අපේක්ෂා කළ ආකාරයේ ප්‍රති ප්‍රහාරයක් එල්ල වුණේ නෑ. ඒ නිසා තමයි එ් හදිසි තත්ත්වය නියමිත මාත්‍රාවට නිර්මාණය නොවුණේ. ඉතින් පාස්කු ප්‍රහාරයෙන් නිර්මාණය නොවුණු ඒ හදිසි තත්ත්වය වෙනත් ආකාරයකින් නිර්මාණය කරගැනීමට නැවත උත්සාහයක් නොදරයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒ අවද‌ානම ඉදිරි මාස තුන හතර තුළ මේ රටට තියෙනවා.  


ප්‍රශ්නය:- ඔබගේ මේ අනාවරණය කිරීම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කරන්නේ නැද්ද?  


පිළිතුර:- කිසිම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නෑනේ. ගමන් මලු හය අරන් ගියේ ඇයි කියලා අදවත් කියනවද? ඒ නිසා එතැන කිසිම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නෑ. ඇමෙරිකා එක්සත් ජනපදයට හෝ වෙනත් කවර රටකටවත් ලංකාව ඇතුළට ඇවිත් ඕනෑම සෙල්ලමක් නටන්න ඉඩදිය යුතුයි කියලා එකක් නෑ. එහෙම හිතනවා මේ ආණ්ඩුව. නමුත් එයට ඉඩදිය යුතුයි කියලා අපි හිතන්නේ නෑ.  

 

 


ප්‍රශ්නය:- රට මෙ​හෙම ගිහින් කොහොමද කියලා ඇහුවොත්?  


පිළිතුර:- එකක් තමයි හදිසි මානව ආපද‌ා තත්ත්වයක් ඇති කරන්න පුළුවන් වුණොත් ඇමෙරිකානු මිලිටරිමය කඩා වැදීමකට සුදුසු වටපිටාව නිර්මාණය කරගත්තා වෙනවා. ර​ෙට් එවැනි බිහිසුණු තත්ත්වයක් ඇතිවුණොත් ඒක ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට පවා හේතුවක් වෙනවා. මේ මාස තුන හතර ඒක කරගන්න බැරිවෙනවා කියන්නේ රටේ කේන්දරය හොඳයි කියන එකයි. ඒක කරගන්න ඒ අයට පුළුවන් වුණොත් ඒකෙන් කියැවෙන්නේ ලංකාවේ අවසානය ආරම්භ වුණා කියන එකයි. එහෙම මානව අපාද‌ා තත්ත්වයක් ඇතිකර ගත්තොත්.. මොකද ලෝකයේ අලුත්ම අධිරාජ්‍යවාදය තමයි මානව ආපද‌ාකරණය. ආපද‌ාව හදනවා. ඊට පස්සේ පිහිටට එන්නෙත් ඒ ගොල්ලෝ. ඒ අාපද‌ා අධිරාජ්‍යවාදී උපාය මාර්ගයට අනුව මේ මාස තුන හතර තමයි ඒ ආපද‌ාව ඇති කිරීමේ මාස තුන හතර බවට පත්වීමට ඉඩ තියෙන්නේ.  


ප්‍රශ්නය:- එහෙම මානව ආපද‌ාවක් ඇති වුණොත්?  


පිළිතුර:- එහෙම තත්ත්වයක් ඇති වුණොත් බාරකාර රූකඩ ආණ්ඩුවක් අටවාගෙන ඔය සමහර රටවල අරගෙන යන විදියට දැන් බලන්න ලිබියාවේ ගඩාපිව මරලා දැම්මට පස්සේ ලිබියාව කියලා රාජ්‍යයක් නැහැනේ. රටක් තියෙනවා. රාජ්‍යයක් නෑ. ඉරාකය කියලා රටක් තියෙනවා. නමුත් රාජ්‍යයක් නෑ. දැන් මෙතන ලංකාව කියලා රටක් තියෙයි. ලංකාව කියලා රාජ්‍යයක් නැති වෙනවා. මොකද අපේ රට පිහිටලා තියෙන්නේ උපාය මාර්ගිකව ඉතාම වැදගත් තැනක. 2015 ජනවාරි 8 න් පස්සේ ලංකාවට ආපු එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියන්නේ ‘ඔබේ රට පිහිටා ඇත්තේ ඉතාම සුවිශේෂී ස්ථානයක. මධ්‍යම අප්‍රිකාව ද, මධ්‍යම ආසියාව ද නැගෙනහිර ආසියාවට ද නාභිගතව ඔබේ රට පිහිටා ඇත කියලා. ඒ නාභිගතවීම තමයි අපිට කරුමය වෙලා තියෙන්නේ. මට මතකයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඉන්න කොට මේ රටේ ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක සමුළුවක් තිබ්බා. ඒ සමුළුවට ආපු අ​ෙමරිකානු හත් වැනි ඉන්දු පැසිපික් බළ ඇණියේ ප්‍රධාන පෙළේ නිලධාරියෙක්. ඔහුගේ කතාවේදී ඔහු කියනවා ‘යුද උපාය මාර්ගික වශයෙන් පළමුව වැදගත් වෙන්නේ පිහිටීමයි. දෙවැනුව වැදගත් වන්නේ ද පිහිටීමයි. තෙවැනුව වැදගත් වන්නේ ද පිහිටීමයි කියලා. පිහිටීම කියන එකට කොච්චර ලොකු වැදගත්කමක් තියෙනවද? මොකද ලංකාවේ පදනම් වුණොත් ලෝකයේ කලාප තුනක් පාලනය කරන්න පුළුවන්. ඇයි අර ඇමෙරිකානු නාවික හමුද‌ාවට අයත් යාත්‍රාව ත්‍රිකුණාමලය වරායට කිට්ටුම තැනක නවත්වාගෙන ඉන්නේ? ඒ පිහිටීමේ වැදගත්කම නිසා. මේ තියෙන තීරණාත්මක වටිනාකම් නිසා තමයි එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ විවිධ බලවතුන් අපේ රට ඔවුන්ගේ රූකඩ රාජ්‍යයක් බවට පත්කරගන්න වලිකන්නේ. මේ තත්ත්වය තේරුම් අරගෙන බොහොම බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබෙනවා.  

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්