ඇමැතිවරුන් හැටියට වැඩකරන්න අපට සම්පූර්ණ නිදහස තිබෙනවා


වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ

රටේ අලුත් දේශපාලන පෙළගැසීම් සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ්-19 ව්‍යාප්තිය හා එයට ඇති විසඳුම් සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- රටේ තත්ත්වය ඉතාමත් අයහපත්. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගන්න බැරි තරමටම ආණ්ඩුව දුර්වලයි? 

 
පිළිතුර:- මේ සම්බන්ධයෙන් කතා කරනකොට කොවිඩ් දෙවැනි රැල්ලෙදි ලංකාව විතරක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල පළමු රැල්ලට වඩා දෙවැනි රැල්ලෙදි විශාල අවද‌ානමකට ලක්වුණා. ඒකට හේතුව තමයි වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරන ආකාරයටම කොවිඩ් වයිරසය ඉතාම ආසාදිත මට්ටමේ වයිරසයක් බවට පත්වීම. ඒ කියන්නේ ඉතාම වේගයෙන් හා ක්ෂණිකව ළඟ සිටින පුද්ගලයාට මෙම වයිරසය පැතිරීම. ඒ නිසා මෙම තත්ත්වය පාලනය කිරීම සංකීර්ණ වෙලා තියෙනවා. නමුත් වගකිවයුතු රජයක් හැටියට සෞඛ්‍ය විශේෂඥයන්ගේ මෙන්ම කොවිඩ් මර්දන ජාතික බළකාය ඇතුළු සියලු අංශවල සහයෝගය ඇතිව ජනාධිපතිතුමා නිරන්තරයෙන් පසුවිපරම් කරමින් ඉතා ඉහළ මට්ටමින් මෙහෙයවනවා. එතැනදී රෝගය පාලනය කර ගන්නවා වගේම පළමු රැල්ලෙදි ලබාගත් අත්දැකීම සමග ආර්ථිකය රැකගැනීම පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. මේක සමබරව පවත්වා ගෙන යා යුතුයි. අපි තවමත් විශ්වාස කරනවා මෙම තත්ත්වය පාලනය කරලා රට යහපත් අතට හරවන්න පුළුවන්කම ආණ්ඩුවට තියෙනවා කියලා.  


ප්‍රශ්නය:-- ‘ධම්මික පැණිය’ ගැන බටහිර වෛද්‍යවරයකු වන ඔබ දරණ මතය කුමක්ද?  


පිළිතුර:- අපි දේශීය දේ ගැන ඉතාම ඉහළින් සලකන්නට අවශ්‍යයි. මේ හා සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ස්වරූපය වන්නේ සාක්ෂිමත පදනම් වෙච්ච විද්‍යාවක්. භාවිතය සමග විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ඖෂධ තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේදී රෝගීන්ට ලබා දෙන්නේ ඒ හා සම්බන්ධයෙන් කරන ප්‍රධානම කාරණය තමයි. මෙම දේශීය ඖෂධය එහෙම නැත්නම් ධම්මික පැණිය සම්බන්ධයෙන් දැනටමත් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් සහ වෛද්‍ය අංශයට සම්බන්ධ විශේෂඥ කමිටුවක් මගින් පරීක්ෂණ මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒක තවම තියෙන්නේ සායනික පරීක්ෂණ මට්ටමේ. අහඹු ලෙස තෝරාගත් රෝගීන්ට හා වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි දින 7 ත් 10 ත් අතර කාලයකදී එහි ප්‍රතිඵල ලැබීමෙන් පසුව යම් නිගමනයකට එන්න පුළුවන් වෙයි කියලා.  


ප්‍රශ්නය:- දේශීය වෛද්‍ය විද්‍යාව ගැන බටහිර වෛද්‍ය විද්‍යාවෙන් අහන එක සාධාරණ ද?  


පිළිතුර:- මෙතැනදී රෝගීන් ප්‍රතිකාර සඳහා ඇතුළුවෙන්නේ රජයේ රෝහල්වලට. ඒක කාලයක් මුළුල්ලේ ඇතිවෙලා තියෙන තත්ත්වයක්. සමහර රෝගවලට ප්‍රතිකාර ගන්න ආයුර්වේද රෝහල්වලට ඇතැම් අය ඇතුළු වුණත් බහුතරයක් රෝගීන් තෝරා ගන්නේ රජයේ රෝහල්. ඒ බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිසරණ හොයාගෙන. ඒ නිසා කොවිඩ් වසංගතයේදීත් ඒ තත්ත්වයම තමයි දකින්න ලැබෙන්නේ. දේශීය වෛද්‍ය විද්‍යාවෙන් තවම නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොතිබීමත් එයට හේතුවක්. බටහිර වෛද්‍ය විද්‍යාව තුළත් එවැනි ඖෂධයක් නැති වුණත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ක්‍රමවේද සකස් කරලා තියෙනවා රෝගය සමග ඇතිවන සංකූලතා තත්ත්වය ස්වසනය ඇතුළු කරුණු කාරණා සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමවේද සකස් කරලා තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගුණු එකක්. මම කලින් සඳහන් කළ ආකාරයට විද්‍යා දත්ත හා විද්‍යාත්මක විශ්ලේෂණ මත පදනම් වෙලා තියෙනවා. අපේ පාරම්පරික ඖෂධවල හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් පිළිගත හැකි විශාල කොටසක් තියෙනවා. අපට අවශ්‍ය වන්නේ මේකට හොඳ ප්‍රවේශයක්. එය ඉදිරියට රැගෙන ගිහින් දේශීය ප්‍රතිකාර ක්‍රම විද්‍යාත්මක ප්‍රවේශයකින් තහවුරු කරගත යුතුයි. ඒක කරගත්තොත් සාම්ප්‍රද‌ායික දේශීය වෙදකමටත්, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටත් ලෝක මට්ටමින් පිළිගැනීමක් ඇතිකර ගන්න පුළුවන්. විද්‍යාත්මකව ඒකෙ භාවිතාව හා නිරවද්‍යතාව තහවුරු කරගැනීමයි වඩාත් වැදගත්.  


ප්‍රශ්නය:-විපක්ෂය බොහොම සද්දෙට කියනවා ‘ආණ්ඩුව ෆේල්’ කියලා. ඒක ඇත්ත නේද?  


පිළිතුර:- මේ රටේ ජනතාව පැවැති පාලනය අන්ත පරාජයකට පත් කරලා මේ ජනාධිපතිතුමා බලයට පත් කළා. අපේ ජනාධිපතිතුමා බලයට පත්වෙලා මාස කිහිපයකට පසුව තිබ්බ මහ මැතිවරණයේදී අපට තුනෙන් දෙකක බලයක් සහිතව ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නා. රජය ඉතාම ශක්තිමත්ව නිවැරැදි දිශාවට ගමන් කරනවා. පහුගිය මාස 4 තුළ කොරෝනා වසංගතය මැද වුවත් අප ජනතාවට සහන සලසමින් රටේ ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ නොදී ආරක්ෂා කරගෙන යන තත්ත්වය මත තමයි හතර ගාතෙන් ඇදවැටුණු විපක්ෂය ‘ආණ්ඩුව ෆේල්’ වැනි මතවාදයක් සමාජගත කරන්න හදන්නේ. නමුත් රටේ පොදු මහජනතාව හොඳට ඇත්ත දන්නවා. අපි අපේ රටේ අනාගතය වෙනුවෙන් දිශා ගණනාවකින් පදනම සකස් කරලා තියෙනවා. අපි පිළිගත යුතු කාරණය තමයි අපේ වේගයට ඉලක්ක කළ ආර්ථික හා භෞතික සංවර්ධනයට යන්න බැරි වුණා. ඒක අපේ රටට විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවලට බලපෑ තත්ත්වයක්. ඒ තත්ත්වය තුළත් ලෝකයේ බොහෝ රටවලට වඩා අපේ රට බොහෝ ඉදිරියෙන් ඉන්න බව සියලු දෙනාම පිළිගන්නා කාරණයක්.  


ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළේ මත ගැටුමක් තිබෙන බව ඉතාම පැහැදිලියි. එක ඇමැති කෙනෙක් එකක් කියන කොට තව ඇමැති කෙනෙක් තව දෙයක් කියනවා?  


පිළිතුර:- ඒක යම් පමණකට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. එවැනි මත වෙනස්කම් තිබිය හැකියි. දේදුන්නක විවිධ පාට තියෙනවා වගේ අපේ ආණ්ඩුව තුළත් විවිධ පක්ෂ මෙන්ම විවිධ මත තියෙන පිරිස් ඉන්නවා. විවිධ මත මතුවෙන්න ඉඩ දී වඩාත් නිවැරැදිම මතය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් මේක. විවිධ මත තිබුණාට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී හැමදෙනාම එකම ස්ථාවරයකට එනවා. රටේ අනාගත අභිවෘද්ධිය ජාතික ආරක්ෂාව සහ ආර්ථික දියුණුව වෙනුවෙන් ආණ්ඩුවේ අපි සියලු දෙනාම සම්මුති විරහිතව පෙනී ඉන්නවා.  


ප්‍රශ්නය:-- අමාත්‍යාංශවල කෑලි ගලවන බහිරවයෙක් මුදල් අමාත්‍යාංශයෙ ඉන්නවා කියලා ඇමැති බන්දුල ගුණවර්ධන කිව්වා?  


පිළිතුර:- මම නම් ඇත්තටම එවැනි තත්ත්වයක් දකින්නේ නෑ. මම එතුමගේ ප්‍රකාශය දැක්කෙත් නෑ. කවර හේතුවක් මත එතුමා එහෙම කිව්ව ද කියලා මම දන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඇමැතිවරුන් පුලන්නන් බවට පත්වෙලා කියලත් ඇමැති බන්දුල කිව්වා. ඔබත් ඇමැතිවරයෙක්?  


පිළිතුර:- මේ රටේ ජනතාවට වැඩ කරන්න අවශ්‍ය පදනම හා පරිසරය අපට තියෙනවා. ඇමැතිවරුන් හැටියට වැඩ කරන්න අපට සම්පූර්ණ නිදහස තියෙනවා. කරන්න බැරි තරම් වැඩ ප්‍රමාණයක් අපට පැවරිලා තියෙනවා. මගේ අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරුන් තුන් දෙනෙක් ඉන්නවා. මාත් එක්ක ඇමැතිවරු හතරයි. රාජ්‍ය ඇමැතිවරුන් තුන් දෙනාම මගේ සමකාලීනයෝ. ඉතින් අපි හතර දෙනා බොහොම සමගියෙන් හා කැපවීමෙන් කටයුතු කරනවා.  


ප්‍රශ්නය:- බන්ධනාගාර කැරැල්ලත් එක්ක සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිකමින් අයින් කළා? ආණ්ඩුව යන්නේ අඳුරේ අතපතගාමින්?  


පිළිතුර:- නෑ එහෙම දෙයක් නෑ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමියට වෙනත් සුවිශේෂී වගකීමක් පවරලා තියෙනවා. ඒ වෙනුවෙන් කැපවීමට තමයි එතුමියට ඒ පවරා තිබූ වගකීම ඉවත් කළේ. ඒක අවශ්‍යතාව මත වෙච්ච දෙයක්. අවශ්‍යතාව මත තීන්දු තීරණ ගැනීමේදී ඒවා ප්‍රශ්න ලෙස කෙනෙකුට පෙනෙන්න පුළුවන්. නමුත් අපේ ආණ්ඩුව තුළ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.  


ප්‍රශ්නය:-මාර්තු මාසයට කලින් පළාත් සභා ඡන්දය තියනවා කියලා ආණ්ඩුව කියනවා. එක පැත්තකින් මුළු රටම කොරෝනාවට බිලිවෙලා. පළාත් සභා ඡන්දය තියන්න මෙච්චර හදිසියක් ඇයි?  


පිළිතුර:- පළාත් සභා ඡන්දය හා පළාත් පාලන මැතිවරණ සිතියමෙන් මකලා ද‌ාපු යුගයක් තිබුණා. පළාත් සභා මැතිවරණය ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ පසුබිම සකස් කළ යුතුයි කියන යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුවුණා. නමුත් ඒක පුළුල් සාකච්ඡාවකට ලක් කළ යුතුයි කියන පොදු මතයට කැබිනට් මණ්ඩලය ආවා. පසුගිය කාල සීමාව පුරාවටම මැතිවරණ සිතියම අකුලා දමමින් පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. පළාත් සභා විසුරුවා හැරලා තිබුණේ. මතක තබා ගතයුතු කාරණය තමයි පළාත් සභා ක්‍රමය මේ රටේ ඇතිවෙන්නේ උතුරේ හා නැගෙනහිර ඇතිවෙච්චි තත්ත්වය මතයි. ජාතික ප්‍රශ්නයට විසඳුමක් විදියටයි මේ ක්‍රමය ආවේ. ඒකට ඉන්දියානු රජය පූර්ණ වශයෙන් මැදිහත් වුණා. ඒ නිසා පළාත් සභා ක්‍රමය එක්වරම හකුලා ද‌ාන්න පුළුවන්කමක් නෑ. එහෙම වුණොත් ඉන්දීය රජයේ සිත නරක්වීමට හේතුවක් විය හැකියි. අපේ ප්‍රබලම අසල්වැසියා වන ඉන්දියාව තරහා කර ගත යුතුත් නෑ. පළාත් සභා ක්‍රමය වෙනුවට විකල්පයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා හඳුන්වා දෙන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියන මතයෙ තමයි අපි ඉන්නේ. මොකද එම ආයතන තවමත් නිලධාරීන් විසින් තමයි පාලනය කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන පළාත් සභා කියන්නේ ජනතාවගේ ආයතන. ඒවා නිලධාරීන් පාලනය කරනවාට වඩා මහජන නියෝජිතයන් පාලනය කිරීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීයි කියලා. ඒ වෙනුවෙන් තමයි පළාත් සභා මැතිවරණය තියන්න ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන්නේ.  


ප්‍රශ්නය:- ඔබ කිව්වා ඉන්දියාව තරහා වෙයි කියලා. හැබැයි කිව්වෙ නම් බලවතුන් ඉදිරියේ දණින් නොවැටෙන පාලනයක් එන්නේ කියලා?  


පිළිතුර:- බලවතුන් ඉදිරියේ දණින් නොවැටීම වෙනම කාරණයක්. අසල්වාසීන් සමග සුහදව කටයුතු කිරීම වෙනම කාරණයක්. ඉන්දියාව සමග අපේ ඓතිහාසික බැඳීමක් තියෙනවා. ඒ බැඳීම සෑම අංශයකින්ම තියෙනවා. ඒ නිසා සුහදශීලීව කටයුතු කළ යුතු බව කවුරුත් පිළිගන්නවා. අපේ පෙර ආණ්ඩු කාලයේදී ඔවුන් සමග ඇතිවෙච්ච විවිධ ගැටලු නිසා අනවබෝධය නිසා අන්තර්ජාතික තලයේදී අපට පාඩුවෙච්ච බවත් තේරුම් ගත යුතුයි. ඒ නිසා නොබැඳි පිළිවෙත අනුගමනය කරන රටක් හැටියට අපි කැමැතියි සුහදව ඕනෑම ගැටලුවක් විසඳ‌ාගන්න.  


ප්‍රශ්නය:-2020 වසරේ දෙවැනි කාර්තුවේදී අපේ රටේ ආර්ථික වර්ධනය මීට පෙර වසරේ ඒ කාර්තුවට සාපේක්ෂව සියයට දහසයයි දශම තුනකින් පහත වැටිලා කියලා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා?  


පිළිතුර:- ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව අපිත් දැක්කා. මහ බැංකුව විසින් තවම ඒ වාර්තාව අනුමත කරලා නෑ. අපි දන්න කාරණය තමයි 2019 ආර්ථික වර්ධන වේගයට වඩා 2020 දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩුයි කියලා. ලෝක තත්ත්වය සාමාන්‍ය තත්ත්වයේ තිබියදී අපේ රටේ ආර්ථික වර්ධන වේගය වාර්තා වෙලා තිබුණේ 1.1 ක් හැටියට. ඒක අපේ රටේ සාමාන්‍ය කාලයක වාර්තා වෙච්ච අඩුම වර්ධන වේගය. නමුත් මේ අවස්ථාවේ ලෝකයේ දැන් තියෙන තත්ත්වය වසර සියයකින් පසුව ඇතිවෙච්ච තත්ත්වයක්. ඒ නිසා අපේ ආර්ථික වර්ධන වේගය දෙවැනි කාර්තුවේදී අඩුවෙයි. හැබැයි කළු වළාවේ රිදී රේඛා වගේ මේ අර්බුදකාරී වාතාවරණය මැදත් අපි ඉදිරියට ගමන් කරලා තියෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේත් වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේත්, අපනයන අංශයේත් අපි අපහසුතා මැද ඉදිරියට ගිහින් තියෙනවා. ලෝක ආර්ථික අර්බුදය යහපත් අතට පරිවර්තනය වෙනකොට ලෝකයේ අනෙකුත් රටවලට වඩා වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය කරගන්න අපට හැකියාව තියෙනවා. ඒකට අවශ්‍ය මූලික පදනම දැනටමත් අපි ද‌ාලා තියෙනවා.   


ප්‍රශ්නය:- චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙලා දැවැන්ත ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනගන බව කියනවා. ආණ්ඩුවට ලේසි වෙන එකක් නෑ. 

 
පිළිතුර:- ආණ්ඩුවට එරෙහිව දැවැන්ත බලවේගයක් තියා සාමාන්‍ය බලවේගයක් ගොඩනගන්නට අවශ්‍ය පදනමක් රටේ නැහැ. ජනතාව ඔය මිනිස්සු ගැන, පහුගිය අවුරුදු පහේදි ආණ්ඩු කරපු හැටි හොඳට දන්නවා. ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව ගැන ජනතාව විශාල බලාපොරොත්තුවකින් ඉන්නවා. ඒ නිසා ඔය බලවේග පෙණ බුබුළු වගේ පොඩිවෙලා යනවා.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්