ඇමැති සංශෝධනය සිදුවුණේ මෙහෙමයි


දේශපාලන ලෝකයේ මෑතක පැවැති තවත් බලාපොරොත්තුවක් නිමාවට පත්විය. ඒ ඇමැති මණ්ඩල සංශෝධනයයි. මේ කැබිනට් සංශෝධනය බෙහෙවින් තීරණාත්මක එකක් වෙතැයි බහුතරයක් තුළ විශාල බලාපොරොත්තුවක් විය. රජයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරු වශයෙන් විපක්ෂයේ අසුන් ගැනීමට ගිය 16 දෙනාගේ කණ්ඩායමේ සිටි ඇමැතිවරු 6 දෙනා වෙනුවෙන් ඇමැති ධුර භාර ගැනීමට තවත් පිරිසක් ටයි කෝට් සූදානම් කරගෙන සිටි බව කියති. පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් අඩුම වශයෙන් නියෝජ්‍ය ඇමැති තනතුරක්වත් බලාපොරොත්තු වූ බවද කියති.   


ඒ සියලු බලාපොරොත්තු මැද මතු පිටින් මේ කැබිනට් සංශෝධනයෙන් සිදුවූ පොදු යහපතක් ඇත. එනම් 16 දෙනාගේ කණ්ඩායමේ සිටි ඇමැතිවරු 6 දෙනා වෙනුවෙන් අලුත් ඇමැතිවරු 6 දෙනෙක් නම් නොකිරීමෙන් රජයට වසරකට රුපියල් කෝටියකට අධික මුදලක් ඉතිරිවීමයි.   


අනුර ප්‍රියදර්ශන යාපා, එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න හා චන්දිම වීරක්කොඩි යන හිටපු ඇමැතිවරු හය දෙනා වෙනුවෙන් අලුතෙන් ඇමැතිවරු පත් නොකර එම අමාත්‍යාංශ දැනට සිටින ඇමැතිවරුනට එක්කර ඇත. එයින් ඇමැති මණ්ඩලය 48 සිට 42 දක්වා අඩුවීම විශේෂත්වයක් වශයෙන් සඳහන් වේ.   


මෙම කැබිනට් සංශෝධනයේ දී තවත් විශේෂයක් වී ඇත්තේ නඩු කල් දැමීම සම්බන්ධයෙන් බලපෑම් සිදු කරන එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය නිසා විජේදාස රාජපක්ෂ මහතා දරමින් සිටි අධිකරණ ඇමැති ධුරයට තලතා අතුකෝරළ මහත්මිය පත් කරනු ලැබුවාය. මේ දක්වා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනු ලැබ තිබිණි.   


ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය හෝ පක්ෂ නායකත්වය විවේචනය කිරීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් විජේදාස රාජපක්ෂ මහතා නිහඬ බවක් දැක්වීය.   


එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වූ විජේදාස රාජපක්ෂ මහතාට ඇමැති තනතුරක් ලබාදීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයාට මැනවින් අවබෝධ කරදීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට ඇමැති පදවියක් ලබාදුන් බව දැනගන්නට ඇත.   


මේ කැබිනට් පත්වීම්වලදී උපහාසයට ලක්වූ පත්වීමක් පිළිබඳවද සඳහන් නොකරන්නේ නම් එය බලවත් අඩුපාඩුවක් වනු ඇත. අපහාස කිරීමේ අරමුණින් නොව හුදෙක් හාස්‍ය සඳහා ප්‍රචලිත වූ කරුණක් ඇත. එනම් සරත් ෆොන්සේකා මහතාට වනජීවී ඇමැති තනතුර ලබාදීම පිළිබඳවය. එනම්, ‘සත්තු නම් කියන්නේ අපේ එකෙක් පත් කරපු එක ලොකු දෙයක්’ යන්නයි.   


අමාත්‍යාංශයක් වෙන් කිරීමේ දී ඇමැතිවරුන් ගණනාවකට විෂයන් එක් කිරීම හා ඉවත් කිරීම සිදුවී ඇත. විශේෂ ව්‍යාපෘති ඇමැති ලෙස කටයුතු කළ ආචාර්ය සරත් අමුණුගම මහතාට විෂයන් රාශියක් හිමිවී ඇත. විද්‍යා, තාක්ෂණ, ප​ර්​ෙය්ෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති ලෙස අමුණුගම මහතා පත්කර ඇත.   


මීට පෙර සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, එස්.බී. දිසානායක හිටපු ඇමැතිවරුනට පවරා තිබූ විෂයන් සරත් අමුණුගම මහතාට පවරා ඇත.   


මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වූ විජිත් විජිතමුණි සොයිසා මහතාව රට වටා මුහුදු තීරයට අදාළ ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා ලෙස පත්කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පැවැති ජාතික ඒකාබද්ධතාව හා සංහිඳියාව යන විෂයයන් මනෝ ගනේෂන් මහතාට පවරා ඇත.   


මනෝ ගනේෂන් ඇමැතිවරයාට මීට පෙර පැවැරී තිබූ සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශ වෙනුවට සහජීවන හා සංවාද විෂයන් ඇතුළත් කර ජාතික ඒකාබද්ධතා හා සංහිඳියාව අමාත්‍යාංශය නම් කර ඇත.   
විද්‍යානුකූලව මෙවර ඇමැති මණ්ඩලය සංශෝධනය කරන බවට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කර සිටියත් ඇමැති මණ්ඩලය සංශෝධනය කර ඇති ආකාරයට නම් එවැන්නක් පෙනෙන්ට නැති බවට චෝදනා ද ඇත.   


විශේෂයෙන් පළාත් සභා හා පළාත් පාලන හා ක්‍රීඩා තිරසර සංවර්ධනය වන ජීවී හා ප්‍රාදේශීය සංවර්ධන, උසස් අධ්‍යාපන හා සංස්කෘතිය යන අමාත්‍යාංශවල විෂය සම්බන්ධතාව ගැටලුවක් බවට මතයක් ඇත.   
එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ප්‍රකාශ කර ඇත.   


‘මෙම අමාත්‍යාංශ බෙදීම සිදුකර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවන් කර බොහෝ දේ නිවැරැදි කරමින් විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ වෙන් කරනවා කිව්වත් එසේ සිදුවී නැති බවට ඇති චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අමාත්‍යාංශවලට විෂය පථය ගැසට් කිරීමේ දී මේ විද්‍යාත්මක පදනම පැහැදිලි ලෙසම සැලකිල්ලට ගන්නවා. ඒ ගැන කිසිවෙක් අමනාපයක් සැකයක් ඇති කරගත යුතු නැහැ. රටේ සෑම කෙනෙක්ම අපි කියපු දේ හරියට කෙරෙයි කියල බලා සිටිනවා. එබැවින් විද්‍යාත්මක පදනමකට විෂය වෙන් කිරීම සිදුවෙනවා” යැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.   


තොණ්ඩමන් හා රවි කරුණානායක මහත්වරුන්ට ඇමැති පදවි ලැබෙන බවට රාවයක් පැතිර පවතින නමුත් එය ක්‍රියාවට නැංවීමේ අර්බුදකාරී බවක් රජයට පැන නැගී ඇති බව දැනගන්නට ඇත.   


තොණ්ඩමන් මහතාට ඇමැති පදවියක් ලබා නොදෙන ලෙසට මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් යන මැති ඇමැතිවරුන් තරයේ ඉල්ලීමක් කර ඇත. පලනි දිගම්බරන් මහතා හා තොණ්ඩමන් මහතා අතර ඇති තදබල අමනාපය මේ තත්ත්වයට බෙහෙවින් හේතුවී ඇති බව කියති.   


රවි කරුණානායක මහතාට ඇමැති තනතුරක් ලබාදෙනවාට පසුපෙළ මන්ත්‍රීවරු දැඩි විරෝධයක් දක්වා ඇති බවද කියති.   


ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැතිවරයෙක් නොවීම පිළිබඳව දකුණු පළාත් සභාවේ මන්ත්‍රී පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විරෝධය දක්වා ඇති බවද වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන ඇමැතිවරු දෙදෙනෙක් සිටියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇමැතිවරයෙක් නියෝජනය නොවීම ප්‍රශ්නයක් බව දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වාදී ඇත.   


මේ අතර මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය නිසා සංවර්ධන කටයුතු අඩාල වෙන තත්ත්වයක් පවතින බවද වාර්තා වෙයි. එයට හේතුව නම් අමාත්‍යාංශ කටයුතුවලට මුදල් වැය කිරීමේදී අලුතින් සම්බන්ධ කරන ලද අමාත්‍යාංශවලට මුදල් වැය කිරීම සිදුකළ හැක්කේ ලබන නොවැම්බරයේ අය-වැය ලේඛනය මගින් ඒ ඒ අමාත්‍යාංශවලට වැය ශීර්ෂවලට මුදල් වෙන් කිරීම මගිනි.   


උදාහරණයක් වශයෙන් උසස් අධ්‍යාපන, සංස්කෘතික වශයෙන් වැය ශීර්ෂ දැනට නොපවතින නිසා බව කියති. මේ තත්ත්වයට පිළියම් ලෙස පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට සිදුවෙන බව කියති.   


රාජ්‍ය ඇමැතිවරු 8ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 10ක්ද දිව්රුම් දීම 2 වැනිදා සිදු කෙරුණි. ඒකාබද්ධ විපක්ෂයේ සිට මීට මාස කීපයකට පෙර ජනාධිපතිවරයාට එක්වූ ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් දිවුරුම්දීම විශේෂයක් විය.   


රජයෙන් ඉවත්වූ ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීන්ට පැවැරී තිබූ විෂයන් පැවැරීම මෙහිදී සිදුවී තිබිණි.   


විද්‍යා, තාක්ෂණ,  ප​ර්​ෙය්ෂණ නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ උඩරට උරුමයන් පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාටත් නියෝජ්‍ය ඇමති ලෙස කරුණාරත්න පරණවිතාන මහතාටත් විෂයන් ගණනාවක් පැවැරී ඇත.   

 

 

 

 

 

 

 

 

 

දයාසීලි ලියනගේ