ආණ්ඩුවේ හනිමුන් එකට ඉඩ දීලා ජවිපෙ පැත්තකට වෙලා බලා ඉන්නේ නෑ


ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී  
බිමල් රත්නායක  

 

 

රටේ දේශපාලනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සමඟ කළ සාකච්ඡාවකි මේ.  


එක්සත් ජාතික පක්ෂෙන් විපක්ෂය කෝ කියලා ඇහුවාම කියන්නේ ආණ්ඩුවේ හනිමුන් එකට ඉඩ දීලා ටිකක් බලාගෙන ඉන්නවා කියලා. ජේ.වී.පී. එකේ පිළිතුර මොකක් ද?

  
ජේවීපී එක ආණ්ඩුව හනිමුන් එකට ඉඩදීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නෙ නෑ. ඇත්තටම බැලුවොත් ආණ්ඩුවෙ හනිමුන් එකක් නෑ. දැනටමත් ජනාධිපති සහ අගමැති අතර බලපොරය පටන් අරගෙන තියෙන්නේ. ආණ්ඩුව පත්වෙලා මාස දෙකක් වෙනවා.   


මේ පාලකයෝ පෙර ආණ්ඩුවෙදි කරපු වැරදි අල්ලගෙන ඒව විවේචනය කර කර ඉන්නවා. රාජපක්ෂලාගෙ පෙර වැරදිවලට වඩා මේ පාලනය තුළ සිද්ධවෙන වැරදි සහ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කිසි මොහොතක නිහඬ නෑ. ආණ්ඩුවක් කරන දේවල්වලට සාපේක්ෂව ඕන ඊට අද‌ාළ ප්‍රතික්‍රියාව දක්වන්න. ඒ අද‌ාළ මට්ටමෙන් අපි ක්‍රියාත්මකවෙමින් තියෙනවා.  


රාජපක්ෂලාගෙ පෙර වැරදි සම්බන්ධව විවේචනය පැත්තකට තල්ලු කරනවා කියන්නේ ඒවයින් ඔවුන් නිදෙ‌ාස් කොට නිදහස් කරනවා වගේ වැඩක් ද?  


නෑ. එහෙම නෙවෙයි. කිසිසේත්ම ජනවරමකින් වැරැද්දක් නිදෙ‌ාස් වෙන්නේ නෑ. මේ ජනවරමෙ තියෙන ඛේදවාචකයත් ඒකමයි. 2010 - 2015 කාලයේදී රාජපක්ෂ පාලනය සිදුකරන ලද විවිධාකාර වැරදි පිළිගන්නෙ නැතුව ඒ පිරිසට එහෙම බලය පවරා දීම තමයි පහුගිය ඡන්දෙදි වුණේ. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.  


 ඒ අනතුර මේ ජනවර​මෙ තියෙනවා. ඒක අවශ්‍ය ප්‍රමාණයට මතුකිරීමේ අවශ්‍යතාවකුත් තියෙනවා. ඒත් වත්මන් පාලනයේ ක්‍රියාකාරීත්වයට මූලිකත්වය දෙමින් ඔවුන්ගේ අතීත වැරදිත් නොසලකා හරින්නේ නැතුව ඔවුන්ට විවේචනය ගේන්න. ඒ අද‌ාළ වැරදි රටට පෙන්වා දෙන්න.  


ඔය තර්කයට අනුව යහපාලන ආණ්ඩුවෙ වැරදිත් ප්‍රමුඛතා ලැයිස්තුවෙ පහළට වැටෙයි ද? විශේෂයෙන් මහ බැංකු බැඳුම්කර සිදුවීම වගේ ඒවා?  


යහපාලන ආණ්ඩුවෙ වැරදිවලට ජනතාවම ප්‍රතිචාර දක්වල තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂය නන්නත්තාර වෙලා තියෙන හැටි දැක්කම පේනවා ඔවුන්ට ඔවුන්​ගේ වැරදිවලට දඬුවම් ලැබිලා තියෙනවා කියල එක්තරා විදියකට. අපි කිසිසේත්ම ඔවුන් සම්බන්ධ විවේචනය අකුළගන්න සූද‌ානම් නෑ. මෑත ඉතිහාසයේ ජනවරම අමුවටම පාවා දීපු පාලනය තමයි යහපාලන ආණ්ඩුව.  


 බැඳුම්කර සිදුවීම් පිළිබඳ විශේෂයෙන් මතක් කරලා ඔබ අහපු නිසා කියන්නේ. අපේ ජේ.වී.පී. මන්ත්‍රීවරු හයදෙනා එළඹෙන 21 වෙනිද‌ා කථානායකතුමාට මේ සම්බන්ධව ලිපියක් බාර දෙන්න සූද‌ානමින් ඉන්නේ. අපි ඒකෙන් ඉල්ලන්නේ අධිකරණ කටයුතු සඳහා සකස් කෙරුණු වෝහාරික වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.  
ඒකේ තියෙනවා යහපාලන ආණ්ඩුවෙ කෙරුම් වගේම ඊට කලින් ආණ්ඩුවෙත් කෙරුම්. කොහොමත් යූඑන්පී එකට විපක්ෂෙ භූමිකාව කරන්න බෑ. මීට පෙර කළෙත් නෑ. අද කරන්නෙත් නෑ. යූඑන්පී එකට හරියට ආණ්ඩුවක් කරන්නත් බෑ. විපක්ෂය කරන්නත් බෑ. ඒ නිසා අපිට තමයි විපක්ෂෙ සැබෑ භූමිකාව කරන්න වෙලා තියෙන්නේ.  
 අද තියෙන තත්ත්වය අනුව රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. ඒක නිසා ඔය කාටවත් අපෙන් බේරිල්ලක් නෑ.  


මහබැංකු බැඳුම්කර සිද්ධිය ගැන දැන් දැන් ආණ්ඩුවෙ ඇමැතිවරු කියන කතා ඇහුවාම පේන්නේ ඒකත් යට ගහනවා වගේ. දෙගොල්ලො ඩීල් ද‌ාගන්නවා වගේ නෙවෙයි ද?  


පැහැදිලිවම ඒක තමයි මේ සිද්ධ වෙන්නෙ. පහුගිය අවුරුදු පහ තුළ රාජපක්ෂ ආරක්ෂා කෙරුවෙ රනිල් වික්‍රමසිංහලා කියන එක හරි පැහැදිලි කාරණාවක්නේ. ශිරන්ති රාජපක්ෂගෙ හෝ ඩේසි ආච්චිගෙ හෝ සිද්ධිවලදී වැඩ කෙරුණු විදිය දිහා බැලුවම ඒවා හොඳට පැහැදිලි වෙනවනේ.  


 ඉතිං ඊට පෙරළා ප්‍රතිඋපකාර කිරීමක් රනිල් වික්‍රමසිංහටත් ලැබෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. රනිල් සහ ඔහුට හිතවත් අයගේ ආරක්ෂාව මේ ආණ්ඩුව යටතේ සහතිකයි. අද බැඳුම්කර සිදුවීමට රනිල්ගෙ සම්බන්ධයක් නෑ කියලා පෙන්නන්න උත්සාහ ගන්නවා ආණ්ඩුව. කේ.පී. අල්ලගෙන ආපු රාජ්‍ය බුද්ධි අංශ අර්ජුන් මහේන්ද්‍රන් සොයා ගන්න අසමත්. අල්ලන්න ඕන කමක් නැති එක තමයි තියෙන්නේ. වෙන දෙයක් නෙවෙයි.  


රනිල්ලා මහින්දලා අතර පැහැදිලි දේශපාලන ඩීල් එකක් තියෙන බව පේනවා. හොරු විසින් කවද‌ාවත් හොරු අල්ලන්නේ නෑ. පහුගිය ආණ්ඩුවෙදි වුණෙත් ඒක. මේ ආණ්ඩුවෙදි වෙන්නෙත් ඒක.  


මහ මැතිවරණයක් ඉදිරියේ තියාගෙන ආණ්ඩුව මෙහෙම එක පිට එක ලකුණු කපාගන්න වැඩ කරන්නේ ඇයි?  


මේ ආණ්ඩුව සැබෑ ජන බලයකට වඩා දැවැන්ත කළු මාධ්‍ය බලයකින් බලය ගත්තු බව තමයි ඇත්ත. මේ කණ්ඩායම දූෂිත දේශපාලන කණ්ඩායමක්. ඒ කණ්ඩායමට සම්බන්ධ සහචර පිරිසත් ඒ වගේම දූෂිතයි. ඒ නිසාම ඔවුන් බලය ලබාගැනීම සඳහා අතිවිශාල බොරු පොරොන්දු මාලාවක් දුන්නා වගේම අතිවිශාල මිත්‍යාවක් මවා පෑවා. ඔවුන් පෙන්නපු හැකියාවක් ආණ්ඩු පාලනයේදී ඇත්තටම ඔවුන් ළඟ නෑ.  


 අාර්ථිකයේ බරපතළ බිඳවැටීමක් අද තියෙනවා. ඒකට උත්තර නැති වෙනකොට සහන කපන්න සිද්ධවෙලා තියෙනවා. බඩු මිල පාලනය කරන්න මැදිහත්වීමක් කරන්නවත් නොහැකි වෙලා. ඇමැතිවරු ස්ටේෂන්වල එළවළු විකුණන තැනට වැටිලා. මේ වගේ පැලැස්තරවලින් තමයි දුවන්නේ.  


 මේ ආණ්ඩු රට හමුවේ අද ලබපු ලොකුම පරාජය තමයි ඔවුන් කියපු රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරනවා, රාජ්‍ය සම්පත් විකුණන්නේ නෑ වගේ දේවල් කියාගෙන වුණත් ඒ කිසි දෙයක් කරගන්න බැරිවීම. රටට බරපතළ බලපෑමක් එල්ලවෙන විදේශීය ගිවිසුම් අහෝසි කරනවා කියලා ආපු මේ ආණ්ඩුව ටිකෙන් ටික ඉදිරියේදී ඒ ගිවිසුම් අත්සන් කරන්න සූද‌ානම් වෙනවා.  

 

අාර්ථිකයේ බරපතළ බිඳවැටීමක් අද තියෙනවා. ඒකට උත්තර නැති වෙනකොට සහන කපන්න සිද්ධවෙලා තියෙනවා. බඩු මිල පාලනය කරන්න මැදිහත්වීමක් කරන්නවත් නොහැකි වෙලා. ඇමැතිවරු ස්ටේෂන්වල එළවළු විකුණන තැනට වැටිලා. මේ වගේ පැලැස්තරවලින් තමයි දුවන්නේ.


රටේ ඉඩම් ටිකෙන් ටික විකුණනවා. මේවා ගැන පහුගිය කාලේ පොළොවෙ පස් කාපු මේ ආණ්ඩුවෙ දේශපාලකයෝ අද ගලේ පහරපු බළල්ලු වගේ ඉන්නේ. රට ජාතිය බේරගන්නවා කියලා කෑ ගහගෙන ආපු අයගේ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනවා අද. ඒ නිසා ඉතාම කෙටි කාලයකින් මේ ආණ්ඩුව තමන්ගේ විශ්වාස බිඳගෙන තියෙන්නේ.  තවත් කැපෙන්න ලකුණු නෑ. තනිකර බොරුවෙන් දුවන ආණ්ඩුවක් වෙලා ඉවරයි.


මේ දවස්වල දේශපාලන කරළියේ වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ රන්ජන් රාමනායකගෙ හඬ පට. ගොඩක් අයගේ රෙදි ගැලවුණු මේ සිද්ධිය ජවිපෙ කොහොමද දකින්නේ?  


රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කතා කරපු බොහෝ අයගෙ දුරකතන ඇමැතුම් අනික් අයට නොදන්වා පටිගත කිරීම ඉතාම පහත් මට්ටමේ ක්‍රියාවක් විදියට තමයි අපි දකින්නේ. ඒකෙ කිසිම සද‌ාචාරයක් නෑනේ. ඒක ලෝකෙ කොහේවත් පිළිගත් සමාජයකට ගැළපෙන දෙයක් නෙවෙයි. අසෝබන දෙයක්. අපිට ඒක කිසිසේත්ම අනුමත කරන්න බෑ.  
 ඔහු මේවා රෙකෝඩ් කළාට ප්‍රචාරය කළේ නෑ. ඒත් දැන් ​මේ රටේ ටීවී චැනල් දෙක තුනක් දවස ගානෙ මේවා ප්‍රචාරය කරමින් ඊට වඩා අසෝබන වැඩක් කරනවා. ඒ අය මේක අවුස්ස අවුස්ස රට පුරා ගඳගස්සනවා. ඒ වැරැද්දෙ වගකීම ගන්න ඕන ඒ නාළිකා තමයි.  


 අපි බලන්න ඕන මේ රෙකෝඩින්ස් හරහා හෙළිදරව් වෙන්නේ මොකක්ද? අපේ රටේ හැම ආයතනයකම වගේ මුදුන්වල කුණුවීම. දේශපාලනයේ මුදුන්, අධිකරණ ක්ෂේත්‍රයේ මුදුන්. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මුදුන්, ආගමික සංස්ථාවල මුදුන්, ජනමාධ්‍යවල මුදුන් කුණු වෙලා තියෙන තරම තමයි මේකෙන් අපිට පේන්නේ. මේක රන්ජන්ට පුද්ගලිකව තල්ලු නොකර මේ හඬ පට හරහා හෙළිදරව්වෙන දේවල් සමාජ ශෝධනයට බරපතළ විදියට ද‌ායක කරගන්නවා නම් තමයි ඒකෙ වටිනාකම.  


එහෙම නැතුව මේකෙ තියෙන කුණු රසය දවසින් දවස තලු මරන එකෙන් රටට වෙන ප්‍රයෝජනයක් නෑ. මේ හඬ පට හරහා හෙළිදරව් වෙච්ච දේවල් ජනතාව නොදැන ඉදපු දේකුත් නෙවෙයි. ඇතැම් දේශපාලකයො ඇතැම් ආගමික නායකයෝ, ඇතැම් මාධ්‍යකරුවො, ඇතැම් අධිකරණ ක්ෂේත්‍රයේ උදවිය. ඇතැම් ව්‍යාපාරිකයන්ගේ කුණු වෙච්ච දෙබිඩි ජීවිත රටේ මිනිස්සු නොදැන හිටියා නෙවෙයි.  


මේවා රන්ජන්ගේ හඬ පටයෙන් පළවෙනි වතාවට රට දැනගත්තා නෙවෙයි. මේවා දැන දැන තමයි ඒ උදවියට දොහොත් මුදුන් දීගෙන හිටියේ. රන්ජන්ගෙ හඬ පටයෙන් සිද්ධ සිද්ධ වුණේ මිනිස්සුන්ට පොඩි ජොලියක් ගන්න අවස්ථාවක් හම්බ වුණු එක. මේ රටේ මජරකම තේරුම් ගන්න මිනිස්සුන්ට රන්ජන්ගෙ හඬ පට අහන්නම ඕන නෑ. 


බිමල් දැන් ගමන් බිමන් යන්නේ අර ගෙනාව කියලා කියපු බී.එම්.ඩබ්ලිව් එකෙන් ද?  


 මම යන යන තැන හමුවෙන අයත් ඕක අහනවා. සමහරු මේක බොරුවක් කියල දන්නවා. ඒත් තව සමහරු මේක ඇත්තක් වෙන්න ඇති කියල සැකයක ඉන්න බවක් පේනවා. මේක ගොතාපු අමු බොරුවක් කියන එක දැන් පැහැදිලියි. ඔය වගේ අවලාද අපිට හොඳට පුරුදුයි. ඔය වගේ මඩ ගහලා අපිව වට්ටන්න බෑ.  


 ඔය වගේ දේවල්වලට මුහුණ දීලා තියෙනවා ඕන තරම්.  


අපේ ගමන ඉවසන්න බැරි වුණාම කරන්න පුළුවන් ලොකුම දේ බොරු මඩක් ගහන එකනේ. ඕව නොසලකා හැරිය යුතු තරමේ දේවල්.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි