ආණ්ඩුවේ පුරාජේරුවලින් නම් මේක පාලනය වෙන්නේ නෑ


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ නායක   
පාඨලී චම්පික රණවක

 

කොවිඩ් - 19 මර්දන මෙහෙයුම සම්බන්ධයෙන් විපක්ෂයට විවේචන තිබේ. මේ ඒ සම්බන්ධයෙන් මෙන්ම විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය:- විපක්ෂය චෝදනා කරනවා ‘ආණ්ඩුව වසංගතය වසන්තයක් කරගෙන’ කියලා. නමුත් අනික් රටවල්වලට සාපේක්ෂව අපේ රට තවම ඉදිරියෙන්’   


පිළිතුර:- ලෝකයේ අනෙකුත් රටවල් සමග සන්සන්දනය කරන කොට ඇමෙරිකාව එක්ක හරි ඉන්දියාව සමග හරි සන්සන්දනය කරලා ‘අපි හරි ෂෝක්’ කියලා ආඩම්බර වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් ප්‍රශ්නය මේකයි. ඇමෙරිකාව කෝවිඩ් එකෙන් ආරක්ෂා වෙන්න අරගත්ත පියවරවලට ඒ රටේ ජනතාව විරුද්ධයි. ඒ රටේ තියෙන ආද‌ායම් මාර්ගත් එක්ක මුඛ ආවරණ පළඳින්න ඇමෙරිකානුවන් විරුද්ධයි. ඒ නිසා ඒ රටේ රෝගය යනවා. ඒක ඒ මිනිසුන්ට ගානකුත් නෑ. ඒකට ඔරොත්තු දෙන විදියේ ආර්ථික ශක්තියක් ඒ රටේ තියෙනවා. මියයන්නේ වැඩිහිටියෝ. වැඩිහිටියෝ මියයාම ඔවුන් දකින්නේ ඔවුන්ගේ ආර්ථිකයට අලුත් තරුණ පරම්පරාවක් ඇතිවෙනවා. ඒක හොඳක් හැටියට.    


ප්‍රශ්නය:- අපේ රටේ ඔයින් කෝක කළත් විපක්ෂය කියන්නේ ‘ඒක අසාර්ථකයි’ කියලනේ?   


පිළිතුර:- නෑ. අපේ රට ඔය කිසිම උපාය මාර්ගයකවත් නෑ. මේ ළඟදී බස්නාහිර පළාත දවස් 11 කට වැහුවා. සාමාන්‍යයෙන් විද්‍යාත්මක මතය තමයි මේ වයිරසය ඇඟට ආවාම දවස් 4 -14 කාලය තුළ තමයි එයා ආසාදිතයෙක් වෙන්නේ. අද මට වයිරසය ඇතුළු වුණා නම් දවස 4 - 14 ත් අතර රෝග ලක්ෂණ පහළ වෙනවා හෝ මොකක් හරි වෙනවා. ඒ නිසා තමයි ලොක්ඩවුන් කිරීම ද‌ාහතරේ ගුණාකාරවලින් කෙරෙන්නේ. 14, 21, 28 ආදී වශයෙන්. එහෙම නැතිව සති දෙකක් වහනවා කියන එක නොවෙයි. ඒකට විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා. එතකොට දින එකොළහක් වැසීමෙන් මොකක්ද වෙන්නේ? රටේ ආර්ථිකයේ සියයට 50 ක් කියන්නේ බස්නාහිර ආර්ථිකයනේ. ඒකත් නැති වුණා. ලබාගත්ත ප්‍රතිඵලයකුත් නෑ. රෝග මර්දනයක් වුණේ නැහැනේ. ඉතින් මේවා හරිම අවිද්‍යාත්මක මෙහෙයුම් ආණ්ඩුව ඇත්ත. ඇඳිරිනීතිය පණවලා මාස දෙකකට අධික කාලයක් ඍජුව ඒක ක්‍රියාත්මක කළ නිසා වයිරසය පැතිර යාම පාලනය වුණා. ඇත්තටම ලංකාව දූපතක්නේ. දූපත් රටකට මේක එන්න ඕනෑ පිටරටින්. එතකොට පිටරටින් එන එක සීමා කළාම මේක ඉබේම පාලනය වෙනවා. කිසිම රෝගියෙක් හමුනොවුණ දූපත් රටවල් 11 ක් තියෙනවා ලෝකේ. අපි සන්සන්දනය කරන්න ඕනෑ ඒ රටවල් එක්කනේ. නමුත් ඊට පස්සේ මොකද වුණේ? ආණ්ඩුව ‘අපි මේක මර්දනය කළා’ කියලා ජනතාවට කිව්වා. එහෙම කියලා ආණ්ඩුවම මෝහනයට පත්වුණා. වැදගත් දේ තමයි කොවිඩ්වල සියයට අනූවකට රෝග ලක්ෂණ එන්නේ නෑ. වයිරසය ඇඟේ තිබුණත් පිටට පේන්නේ නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ වාගේ. ඒ වගේම ආණ්ඩුව ටෙස්ට් කළේ රෝග ලක්ෂණ තියෙන අය විතරයි. ඒ නිසා මේ රෝගය අහුවුණේ නෑ. රටෙන් ඡන්ද ගන්න, කොවිඩ් මට්ටු කරපු ආණ්ඩුව කියලා ආණ්ඩුවම මවපු මායාව අන්තිමට ආණ්ඩුවම විශ්වාස කරන්න පටන් ගත්තා. තමන් හදපු බොරුව තමන්ම විශ්වාස කරන්න පටන් ගත්තා. ඊළඟට සමහරු මේක කැත ජාවාරමක් බවට පත්කර ගත්තා. සමහරු මාස්ක් බිස්නස් එක පටන් ගත්තා. ආණ්ඩුවේ ගජ මිතුරෝ සැන්ටයිස් බිස්නස් එක සමහරු පටන් ගත්තා. විදේශයෙන් එන මිනිස්සු ලංකාව ඇතුළේ නිරෝධායනය කිරීම ආණ්ඩුවේ ගජමිතුරෝ බිස්නස් එකක් බවට පත්කර ගත්තා. ඒකේ කූඨප්‍රාප්තිය තමයි ඔය ළඟදී ගෙනාපු ප්‍රතිදේහ කට්ටල බිස්නස් එක.   


ප්‍රශ්නය:- ආණ්ඩුව කියනවා ඒක ලියාපදිංචි සමාගමක් කියලා?   


පිළිතුර:- ලියාපදිංචි වුණාට ඒක පරිහරණය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ කිසිවක් සකස් නොකර තමයි මේවා පෙන්නුවේ. මුලින් ටෙන්ඩරයක් ද‌ාලා තිබුණා. ඒක විවෘත කරලත් නෑ. බඩු ගෙනාවා. ඒක පත්තු වුණාම කිව්වා ‘අපි ඒක ගෙනාවේ පෞද්ගලික අංශයට’ කියලා. එහෙම ගෙනාවත් ඒවා පරිහරණය කරන්න රටේ තියෙනවා මාර්ගෝපදේශනයක්. ඒවා කිසිවක් සකස් කරලා නෑ. ඒවා සකස් කළාට පසුව තමයි මේවා ගෙන්වන්න ඕනෑ. අනිත් එක මේවා නොමිලේ ලැබුණා. ඒවා පරිහරණය කරන්නවත් මාර්ගෝපදේශන හදලා නැති නිසා ඒවා තාම ගබඩාවල. මේක පැහැදිලි වංචාවක්. කැත වැඩක්. තක්කඩිවැඩ. අශීලාචාර අශිෂ්ට වැඩ. මිනිස්සු මේ රෝගයෙන් දහදුක් විඳිද්දී. අර්ධ සාගතයක් රටේ තියෙද්දී මේ මිනිසුන්ගේ රෝගී තත්ත්වය ගසා කන්න. රටේ නීතිය, සෞඛ්‍ය, මාර්ගෝපදේශන උල්ලංඝනය කරලා ආණ්ඩුවට පුළුවන් නම් ගජ මිතුරු කල්ලි පිනවන්න ඒකට මේ සමාජයේ ඉඩක් නෑ. මේ රට ඉතාම භයානක විදියට මේ රෝගයට ගොදුරු කිරීමට ප්‍රධාන කාරණා දෙකක් බලපෑවා. එකක් තමන් ගහපු බොරුවේ තමන්ම ගිලීයාම, දෙවැන්න මේක ජාවාරමක් කර ගැනීම, ලෙඩ්ඩු මැරෙනවා ගෙදර, මේවා වෙන්න පුළුවන් ද? කොවිඩ් ලෙඩ්ඩු රෝහලේ මැරෙනවා කියන්​නේ අඩුම තරමින් එතැන සෞඛ්‍ය ක්‍රමෝපයක් තියෙනවා. ලෙඩා හඳුනා ගත්තා. ලෙඩා ඇඩ්මීට් කළා. කිසියම් හේතුවක් නිසා එයා මැරුණා. ගෙදර මැරෙනවා කියන්නේ රජයට වැඩපිළිවෙළක් නැහැ කියන එකනේ ඒකෙන් පේන්නේ. ඒ විතරක් නොවෙයි, මතක තියා ගන්න, මේකෙ සැඟවුණ කතාව. ඒ තමයි මේ කොවිඩ් එක නිසා සහ පිටරටින් ගේන බඩු පාලනය කිරීම නිසා අද ඖෂධ අටසිය ගානක් හිඟයි. ලෙඩ්ඩු වැඩියෙන්ම මැරෙන්නේ පිළිකාවලින්. හෘද රෝගවලින්. වෙනත් රෝග වලින්. ඇයි? බේත් නෑ. වෙනම සෞඛ්‍ය ප්‍රශ්නයක් එතැන. මේ සියල්ලෙහිම ප්‍රතිඵලයක් හැටියට තමයි මේක එන්නේ. ඒ නිසා ‘අපි රෝගය මර්දනය කළා. අපි තමයි ලෝකෙන්ම දෙක’ කියලා පුරාජේරු ගහලා වැඩක් නැහැ. මම ඉදිරිපත් කරලා තියෙනවා වැඩපිළිවෙළක්. ඒක මගේ එකක් නොවෙයි. මේ අපේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ වැඩපිළිවෙළක්.

   
ප්‍රශ්නය:-මොකක්ද ඒ වැඩ පිළිවෙළ?   


පිළිතුර:- කොවිඩ් මර්දනයට රජය, සෞඛ්‍ය අංශ හා අනෙකුත් ක්ෂේත්‍ර අනුගමනය කළ යුතු ක්‍රියාද‌ාමය. ඒකට අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළ, අද මේ ආණ්ඩුවේ රෝගය ප්‍රකාශ කරන අය අතර වෛරස් රෝග විශේෂඥයෝ නැහැ. වසංගත රෝග විශේෂඥයෝ නැහැ. මේක තුට්ටු දෙකේ දේශපාලන සූදුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. විදේශයෙන් කවද‌ාහරි එන්නතක් හොයාගෙන ඒක ලංකාවට ගෙනැවිත් වයිරසය පාලනය කිරීම හැර ආණ්ඩුවේ පුරාජේරු වලින් නම් මේක පාලනය වෙන්නේ නෑ. පළමු රැල්ල පාලනය කළා කියලා ඒ ගොල්ලෝ සම්මාන ගන්නවා නම් දෙවැනි රැල්ලේ ව්‍යාප්තියේ වගකීමත් ඒගොල්ලෝ ගන්න ඕනැ. මුට්ටි ගඟේ ද‌ාලා මේක කරන්න බෑ. ආණ්ඩුව තද ආණ්ඩුවක් වුණාට කමක් නෑ. නමුත් ආණ්ඩුවක් ජෝක් වෙන්න හොඳ නෑ.   

  
ප්‍රශ්නය:- ඔය ඔබ කියන පම්පෝරිගහන ආණ්ඩුවට තුනෙන් දෙක හද‌ාගන්න අවශ්‍ය සහාය දුන්නේ ඔබේ කඳවුරේ මන්ත්‍රීවරුන් අට දෙනෙක්?   


පිළිතුර:- මෙහෙමයි. යම් යම් ඡන්දවලදී ඔහොම වෙනවා. 2011 දීත් ඕක වුණානේ. එක්සත් ජාතික පක්ෂයේ හැටක් හිටියා. ඒක හතළිස් හතරට බැස්සා. දහසය දෙනෙක් ගියා ආණ්ඩුවට. හැබැයි ඊළඟ ඡන්දෙන් දිනුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නොවෙයිනේ. ඒ නිසා දේශපාලනිකව ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් වුණාට සමාජමය වශයෙන් විසිවැනි සංශෝධනය නිසා. ආණ්ඩුව ගෙන එන්න කටයුතු කරපු බලවේග ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම දුරස් වුණා විතරක් නොවෙයි ආණ්ඩුව ඇතුළේ දැවැන්ත පිපිරීම් ඇතිවෙලා තියෙනවා. ඒක බොහොම පැහැදිලියි. ආණ්ඩුවට දැඩිව, ඍජුව කඩේ ගිය අය විශේෂයෙන්ම ඉදිරිපෙළ නිහඬයි. අද ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න පිරිසක් නැති තරම්. විසිවැනි සංශෝධනය මගින් ආණ්ඩුව බලයට ගෙනාපු ජාතිකවාදී බලවේග කලකිරුණා. අනික් අතට ආණ්ඩුව ඇතුළේ දරුණු පිපුරුමක් ඇතිවුණා. ඒක ඔය සමගි ජන බලවේගයෙන් ගිය අට දෙනාගේ බලපෑම වගේ නොවෙයි විසි තිස් ගුණයක බලපෑමක්.   


ප්‍රශ්නය:- ඔබේ කඳවුරෙන් ගිය අට දෙනා නොවන්න ආණ්ඩුවට තුනෙන් දෙක ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ නායක සජිත් ප්‍රේමද‌ාසට බැරිවෙනවා ඒක වළක්වන්න.   


පිළිතුර:- මේවා ඇවිල්ලා මේ දේශපාලනයේ අද ඇතිවෙච්චි ප්‍රශ්න නොවෙයි. ඉතිහාසය පුරාම අපි දැකලා තියෙනවා ධනයට බලයට මිනිස්සු පිල් මාරු කරනවා. රටේ ජනාධිපතිත් පිල් මාරු කරපු රටක්නේ මේ. 2018 දී තමන්ට ඡන්දය දීපු ජනතාවට පිටුපාලා ගියානේ. ඉතින් අනික් මන්ත්‍රීවරු ගැන කවර කතා ද? ඉතින් සජබයෙ විනය පිහිටුවලා නව පක්ෂයක් බවට සජබය පත් කරන්න අපි අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඇත්තටම 20 සම්මත වීම වැළැක්වීමට නොහැකි වීමේ දේශපාලන වගකීමක් අපට තියෙනවා. නමුත් සමාජීය වශයෙන් ආණ්ඩුවේ පිරිහීමත් අභ්‍යන්තර ගැටුමේ පුපුරායාමත් ඒ සමගම සිදුවුණා. 

 
ප්‍රශ්නය:-ඉදිරි අයවැයේදී ආණ්ඩුවට සහාය දෙන්න තව පිරිසක් ඔබේ කඳවුරේ ඉන්න බවට ආරංචියි?  


පිළිතුර:- අයවැයේදී අපි බලමු. ඒකට ඡන්දය තියෙනවනේ. එද‌ාට බලමු කවුද යන්නේ කියලා. හැබැයි ඉතින් බොහෝ දෙනෙක් මතක තියාගන්න ඕනෑ ආණ්ඩුවට යන අය ඒ අයගේ දේශපාලන අවසානය තමයි ඒ. මොකද මේ ආණ්ඩුවට එකතු වුණ අය, මේ ආණ්ඩුව ගේන්න කරගහපු අය මහින්ද සුළඟ ගෙනාවේ අපියි කියපු අය දැන් එළියට එන්නේ කොහොමද කියලා ළතැවි ළතැවි ගුටි කකා හිරවෙලා ඉන්න මොහොතක්. ඒ නිසා යන අය ගැන කවර කතා ද?  


ප්‍රශ්නය:-මට අවංකවම උත්තරයක් දෙන්න. සමගි ජනබලවේගය තුළ ඔබ ඉන්නේ සතුටෙන් ද?  


පිළිතුර:- අපි අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ අලුත් දේශපාලන ගමන තුළ මට වගකීමක් තියෙනවා. ඒ තමයි මම නිතරම කියන දෙයක්. මම මෙතැනට ඇවිත් තියෙන්නේ මගේ කුසලතාවෙන්. මගේ පවුලේ හයියෙන් නොවෙයි. මට ප්‍රභූ පසුබිමක් නෑ. ඒ වගේම මම මේ රටේ නියෝජනය කරන්නේ මේ රටේ පහේ ශිෂ්‍යත්වයෙන්, සාමාන්‍ය පෙළ විභාගයෙන්, උසස්පෙළ විභාගයෙන් සමත්ව නිදහස් අධ්‍යාපනයෙන් ලැබූ උපාධියෙන් සවිමත් වෙච්ච මේ රටේ උගත් සමාජ පැළැන්තිය මධ්‍ය විද්‍යාල වේවා වෙනත් විද්‍යාලවලින් ආපු සමාජ පෙළැන්තිය. ඒ සමාජ පැළැන්තිය තමයි අද ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයො වෙලා ඉන්නේ. අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන් බවට පත්වෙලා ඉන්නේ. ආරක්ෂක අංශවල ප්‍රධානීන් බවට පත්වෙලා ඉන්නේ. ඒ සමාජ පැළැන්තිය තමයි පරිපාලන ක්ෂේත්‍රයේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්නේ. ඉංජිනේරුවෝ වෙලා ඉන්නේ. හැබැයි ඒ සමාජ පෙළැන්තියට සිද්ධ වෙලා තියෙනවා හැමදාමත් කොහෙන් හරි ආපු දේශපාලන මළකුණක් කරගහගෙන යන්න. 2019 දී වුණෙත් ඒකයි. නැවත වතාවක් අපි ඒ වගේ දෙයකට ඉඩ තියන්නේ නෑ. අපේ පරම්පරාවන් විවිධාකාර අරගලවලට යොමු වුණා. ඒ සමාජ සාධාරණත්වය වෙනුවෙන්. නමුත් ඒ පරම්පරාවට රාජ්‍ය බලය ලැබුණේ නෑ. අනෙක් හැම ක්ෂේත්‍රයකම නායකත්වය ලැබිලා තියෙනවා. නමුත් රාජ්‍ය බලය ලැබිලා නෑ. අපි ඊළඟ පාර ඒ රාජ්‍ය බලය දිනා ගැනීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.  


ප්‍රශ්නය:- ඔබ අද ඉන්නේ විපක්ෂයේ. එහෙම ඉන්නවීම ගැන කනගාටුවක් නැද්ද?  


පිළිතුර:- මට එහෙම ප්‍රශ්නයක් නෑ. මම දුර්වලයෙක්, වැඩ බැරි කෙනෙක් කියලා කවුරුවත් කියන්නේ නැහැනේ. මම උපාය මාර්ග දන්නේ නැහැ කියලා, මම අමාත්‍යාංශ මූල්‍ය කළමනාකරණයේ අදක්ෂයෙක් කියලා කවුරුත් කියන්නේ නැහැනේ. දේශද්‍රෝහියෙක් කියලා කියන්නේ නැහැනේ. මම රට ද‌ාලා ගිය කෙනෙක් කියලා කියන්නේ නැහැනේ. මම දේපොළ හම්බ කරපු කෙනෙක් කියලා කියන්නේ නැහැනේ. මාව හිරේ ද‌ාන්න පුළුවන් නම්, මාව ඝාතනය කරන්න වංශක්කාර මංකොල්ලකාරයෝ වැඩ කරනවා. ධර්මපාලතුමාට, ඩී.බී. ජයතිලකට කරපු දේවල් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරට කරපු දේ මට කරන්නත් උත්සාහ කරනවා. අපේ පරම්පරා වැරැදි මංමාවත්වල ගිහින් බෙලි කපා ගත්තා. විනාශ වුණා. අපිව පරාජය කරන්න බෑ ඒ ගමනේදී මේ වගේ පොඩි පසුබැසීම් එනවා. නමුත් අපිව පරාජය කරන්න බෑ. ඔබට පෙනෙයි තව අවුරුද්දකින් මාව හමුවෙන්න. අපිව හිරේ ද‌ාන්න, අපේ දේශපාලන ගමන නතර කරන්න, මාළිගාවල ඉඳන් කුමන්ත්‍රණය කරන වංශක්කාර මංකොල්ලකාරයෝ ටිකක් ඉන්නවා. ඒ පිරිස්වලට එදිරිව මේ රටේ සුජාත දූ දරුවන් දැවැන්ත ජාතික පවුරක් ඉදිකරනවා. ඒ මම තනියෙන් නොවෙයි, සියලු දෙනාගෙම සහභාගිත්වයෙන් හා ශක්තියෙන්. අපි ඒ ජාතික පවුරෙන් මේ පවුල්වාදයත් දූෂිත දේශපාලනයත්, ගජ මිතුරු ඩීල් දේශපාලනයත් ලංකාවෙන් ඊළඟ මැතිවරණයේදී අවසන් කරන්න අපි අධිෂ්ඨානයෙන් අරගල කරනවා. අපි ඇවිල්ලා දණගහන මිනිස්සු නොවෙයි. දෙකට නැමෙන ඩීල් කාරයෝ නොවෙයි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය කාලතුවක්කුවෙන් ක්‍රියාත්මක වෙනකොට ඒකට එරෙහි වුණේ අපි. එද‌ා ඒකට මුහුණ දුන්න විදියටම තමයි අදත් හෙටත් මුහුණ දෙන්නේ. අපි මේ රටේ වැඩ කරලා පෙන්වපු අය. දුර්වලයෝ නොවෙයි. ලබන වතාවෙදි අපි එකතු කරගන්න පුළුවන් හැම කෙනෙක්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් එකතු කරගන්නවා. විශේෂයෙන්ම මේ රටේ උගත් පරපුරට, මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මතුවෙච්ච ඒ උගත් පරපුරට රාජ්‍ය බලය ලබා දීම සඳහා අනිවාර්යයෙන්ම ජීවිත පූජාවෙන් වැඩ කරනවා.  


ප්‍රශ්නය:- ඔය දේ කරන්න අද ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් ද? 

 
පිළිතුර:- කඳවුර අපට ප්‍රශ්නයක් නෑ. අපි ගිය තැන අපි දෙපා තියාගෙන ඉන්නවා. මම 1985 විශ්වවිද්‍යාලයට යනකොට ශිෂ්‍ය සභා තහනම් කරලා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙ හිටියෙ හය දෙනයි. අවුරුද්දක් ඇතුළත අපි ජේ.ආර්. ජයවර්ධන දණගැස්සුවා. මේ රටේ අපි ජාතිකවාදී කොඩිය උස්සනකොට 1995 දී චන්ද්‍රිකා මැතිනියගේ සුදු නෙළුම, තවලම, ප්‍රභාකරන්ගේ කාලතුවක්කු මේවා මගින් මේ රට අමුසොහොනක් කරලා තිබුණේ. නමුත් අපි මේ රටේ අපේ ධජය ඉහළට ඔසොවලා ගත්තා. ඒවා අපි කළේ කුමන්ත්‍රණවලින් නොවෙයි. අපේ ශක්තියෙන් හා ජවයෙන්. පරාජිත බලවේග ජාතික බලවේග බවට පත්කළා. ඒ නිසා මේ වතාවේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් මට ලැබුණු පන්නරය, ජාතික ව්‍යාපාරය හරහා ලැබුණු පන්නරය ඒ වගේම ඇමැති ධුර ලැබීමෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙන් අපි උපයාගත් ශක්තිය, ගෞරවය හා කීර්තිය මේ රටේ හැම පරිපාලන නිලධාරියෙක්ම ඒක දන්නවා. අපි අභියෝගවලට භය මිනිස්සු නොවෙයි. අභියෝග ආපිට කරකවන්න අපිට පුළුවන්. හැබැයි අපි කුමන්ත්‍රණ කරන්නේ නැහැ. ඒක බොහොම පැහැදිළිව කිවයුතුයි. සියලු දෙනාටම අපි විවෘතයි. විශේෂයෙන්ම පොහොට්ටුවට ජනතා විමුක්ති පෙරමුණට අපි විවෘතයි. ඒවායෙත් ඉන්නවා රට හදන්න පුළුවන් මිනිස්සු. නමුත් මේ හැමෝම යටවෙලා ඉන්නවා පවුල්කාමී යකඩ හස්තයට. අපට ඇහෙනවා අද වේදනාත්මක කෙඳිරිලි. ඒ අයගෙන් සමහරු අපට විරුද්ධව කටයුතු කරපු අය. අපිව හිරේ ද‌ාන්න කියලා කියපු අය. ඒ සඳහා වැඩකරපු අය. ඒත් අපි ළඟ වෛරයක් නැහැ. අපි දන්නවා ඒවා වෙච්ච හැටි. ඒවා ඓතිහාසික කාරණා. අපි ලෑස්තියි අත්වැල් බැඳගෙන මේ රටේ නව යුගයකට යන්න. ඒක අපි කරනවා. 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්