ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රශ්නය තමයි ඉහළ තියෙන බෙදීම් එළියේ පේන්න තිබීම


මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති  පාඨලී චම්පික රණවක  

රට යන්නේ හරි පාරේද? මහජනයා යළිත් නගර වටලයිද? රටේ දේශපාලන ස්ථාවරත්වය සුරක්ෂිතද? මේ ගැන මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ සාකච්ඡාවකි.   

 

ප්‍රශ්නය:- බොරුවට නෑ කිව්වට කොළඹට ආපු ජනගඟ දැකලා ආණ්ඩුව බයවෙලා ඉන්නේ?


පිළිතුර:- පළමුවෙන්ම කියන්න ඕනෑ මේ විරෝධතාව පෙන්නුවේ ආණ්ඩුව පන්නන්න නොවෙයි. මේ විරෝධතාව මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාවේ කරුණු කිහිපයක් සඳහා. එකක් තමයි එයාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළේ ඇතිවෙච්ච බල අරගලය නිසා තමුන් අතට නැවත මේක ගැනීමයි. මොකද පළාත් පාලන ඡන්දයෙන් පස්සේ කාටත් පේන දෙයක් තමයි පොදුජන පෙරමුණට ජයග්‍රහණයක් ලැබුණාම ගේ ඇතුළේ ඇතිවෙච්ච විරසකභාවයන් වැඩියි. ඉතින් පළමුවැනි වෑයම අසාර්ථක වුණා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරපු විශ්වාසභංගය පරාජය වීමෙන්. ඒ එක්කම ගෝඨාභය, බැසිල් සමහරු යෝජනා කළා දිනේෂ් මහත්තයව. තවත් සමහරු කිව්වා වෙල්ගමව ද‌ාන්න කියලා. සමහරු ගිහිල්ලා මෛත්‍රිපාල ජනාධිපතිතුමා එක්ක කතා කළා. ඒ අනුව පොදුජන පෙරමුණ විසිරිච්ච තත්ත්වයක් අපි දැක්කා. ඒ වාතාවරණය යටතේ පක්ෂය නැවත තමන් අතට ගැනීම තමයි පළමු අරමුණ වුණේ. කොහොමත් මහින්ද මහත්තයා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බානවා. ඒ අනුව ගෝඨාවයි බැසිල්වයි කොන් කරලා නාමල්ව පක්ෂයේ ඉදිරියට ගෙන ඒමයි ඔහුගේ දෙවැනි අරමුණ වුණේ. ඒ සඳහා පක්ෂ යාන්ත්‍රණය බැසිල්ගෙන් උදුරාගෙන නාමල් අතට ගැනීමත් නාමල් උද්ඝෝෂකයෙක්, සංවිධායකවරයෙක්, ආණ්ඩු විරෝධි ක්‍රියාද‌ාමයේ නියමුවා බවට පත් කරල පොදුජන පෙරමුණ වටේ ඉන්න මාධ්‍ය ප්‍රකාශකයෝ රැල වෙනුවට නාමල්ගේ කණ්ඩායම මාධ්‍ය ප්‍රකාශකයන් බවට පත් කිරීමත් අර අයගේ මාධ්‍ය අවකාශය අවහිර කිරීමත් තමයි මහින්ද මහත්තයාගේ අරමුණ වුණේ.   


ප්‍රශ්නය:- මොන අරමුණෙන් කළත් මහ ජනගඟක් කොළඹට ආවා?   


පිළිතුර:- කොහොම වුණත් නාමල් මහත්තයටයි මහින්ද මහත්තයටයි ස්තූතිවන්ත වෙන්න ඕනෙ ඒ ගොල්ලෝ පෙන්වලා දුන්නේ කොයි විදියේ ආණ්ඩුවක් ද ඉස්සරහට එන්න තියෙන්නේ කියලා.   


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ පිළිගන්නවා ආණ්ඩු බලය ගන්න පුළුවන් ජනබලයක් එද‌ා පෙන්නුවා කියලා?   


පිළිතුර:- නෑ නෑ. මම කියන්නේ එහෙම දෙයක් නොවෙයි. ඒ ගොල්ලන්ගේ පාදඩ, බේබදු, වනචර, අශීලාචාර පිරිසක් කල්ලියක් තමයි මෙතැන ඉන්නේ කියලා රටට එළිවුණා. බෞද්ධ භික්ෂුන් වහන්සේ ඉස්සර කරගෙන සුචරිතවත් සැදැහැවත් උපාසකයෙක් විදියට මහින්ද රාජපක්ෂ මහත්තයා රඟපෑවත් එතනෝල්, මත්කුඩු, සූදුව පිරිවැරූ වනචර ක්‍රියාදාමයේ නියැළිච්චි පිරිසක් තමයි මෙතැන හිටියේ. වියත්තු, වෘත්තීයවේදීන් එක්ක ඉදිරියට යන්න ඕනෑ කියලා වියත් මග, එළිය, හද‌ාගෙන ගෝඨාභය ආවත් එ් අයගේ සමාජ බලවේගය පාදඩ, තුච්ඡ, තුප්පහි වියත් විරෝධී ක්‍රියාවලියක් බව මේකෙන් පෙනුණා. ඒ අනුව අපි ස්තූතිවන්ත වෙනවා ඒ හද‌ාගෙන තිබුණ බොරු දැවැන්ත ප්‍රචාරක බුබුල තමන් විසින්ම පුපුරවා ගැනීම ගැන.   


ප්‍රශ්නය:- මීට පෙර උද්ඝෝෂණවලදීත් ඔහොම කිව්වා. නමුත් පුංචි ඡන්දෙදි හෝද‌ාගෙනම ගියා?   


පිළිතුර:- ඔව්. ආණ්ඩුවට බැහැ පොදුජන පෙරමුණේ උද්ඝෝෂණයෙ අඩුපාඩු පෙන්වලා හිනාවෙලා සතුටුවෙන්න. ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෑ පොදුජන පෙරමුණ හතළිස්ද‌ාහ නම් ගෙන්නුවේ අවිනයකින් ආණ්ඩුව පනස්ද‌ාහක් ගෙනල්ලා විනයානුකූලව ඒ ​ෙගාල්ලන්ගේ සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වය සංවිධානාත්මකව විනයානුකූලව සද‌ාචාරාත්මකව ඉදිරියට ගෙනියනවා කියලා පෙන්වන්න.   


ප්‍රශ්නය:- ආණ්ඩුවට එහෙම හයියක් තියෙනවද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම තියෙනවා. ආණ්ඩුව විචාරකයෙක් වෙන්නේ නැතිව යමක් කරලා පෙන්විය යුතුයි. ඒකට හොඳ අවස්ථාවක් ඇත්තටම ආණ්ඩුවට තිබුණා. පහුගිය අගෝස්තු 17 ආණ්ඩුවට වසර තුනක් පිරුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයත්, එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයත් එක ළඟ තිබුණා. මේ අවස්ථා දෙකෙන් කොයි එකක් හරි පාවිච්චි කරලා විනයානුකූල ජනතාවක් අපිත් එක්ක ඉන්නවා කියලා පෙන්වන්න අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුව තිබුණා.   


ප්‍රශ්නය:- නමුත් ගත්තේ නෑ?   


පිළිතුර:- ඔව්. ආණ්ඩුව ඒක ප්‍රයෝජනයට ගත්තේ නෑ.   


ප්‍රශ්නය:- ඔය ඔබ කියන විදියෙ අඩුපාඩු මැද වුණත් ජනතාව කොළඹ ආවා. එහෙත් ආණ්ඩුව යන්නේ මේ විදියටම නම් සංවිධානයකින් තොරවත් මිනිස්සු කොළඹ වටලයි?   


පිළිතුර:- මෙහෙමයි. සමහරු එහෙම හිතාගෙන ඉන්නවා. මේ රටේ එවැනි කැරලිකාර ස්වරූපයකින් බලය ගන්න පුළුවන් වෙයි කියලා. මේ රටේ හැමද‌ාම ආණ්ඩු මාරුවෙලා තියෙන්නේ කැරලිකාර වාතාවරණයකින් නොවෙයි. සන්නද්ධ අරගල ගණනාවක් මේ රටේ තිබුණා. එල්ටීටීඊ ය කාලතුවක්කු යොද‌ාගෙන කරපු සන්නද්ධ අරගලයකට මේ රට යට වුණා. සමහරු හිතුවා මේ රට හමුද‌ා පාලනයකට පවා යටත්​වෙයි කියලා. එහෙම නැත්නම් එල්ටීටීඊ යට යටත්වෙයි කියලා. එහෙම නැත්නම් ඉන්දියාවට යටත්​ වෙයි කියලා. අනික් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ කැරලි ගණනාවක් ගැහුවා. ජවිපෙ පාලනයට මේ රට යටත් වෙයි කියලා සමහරු හිතුවා. එහෙත් එහෙම වුණේ නෑ. ජනාධිපතිවරු ඝාතනය වුණා. මැති ඇමැතිවරු ඝාතනය වුණා. එ්ත් රටේ ආණ්ඩු වෙනස් වුණේ ප්‍රජාතන්ත්‍රවාදීවමයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළින්මයි. මැතිවරණ තුළින්මයි. ඒ නිසා ඔය වීදි සටන්, කැරලි වැඩවර්ජන සමස්ත මහා හර්තාල් ඕවා අර පරණ වාමාංශිකයන්ගේ බොල් සටන් පාඨ.   


ප්‍රශ්නය:- ඔබ මගේ ප්‍රශ්නය තේරුම් ගත්තේ නෑ. මං කියන්නේ මේ විදියට ගියොත් ආණ්ඩු විරෝධය කොයි විදිහකින් හරි පුපුරා යයි කියලයි?   


පිළිතුර:- ඒක තමයි මම කියන්නේ. ඒවා එහෙම වුණා කියලා සටන් බොල් වුණා කියලා අඩුපාඩු සහිතවම ආණ්ඩුව ඉදිරියට යනවා කියලා.   


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට ඉදිරියට යන්න බැරි ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද?   


පිළිතුර:- ප්‍රධාන ප්‍රශ්නය තමයි ආණ්ඩුවේ ඉහළ තියෙන බෙදීම් එළියේ පේන්න තිබීම. මේ නිසා විවිධ වැඩවර්ජකයෝ විවිධ පිරිස් මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්න බලනවා.   


ප්‍රශ්නය:- මොකක්ද ඔය ඔබ කියන උඩ තියෙන බෙදීම?   


පිළිතුර:- අපි මොනවා හරි ක්‍රියාද‌ාමයක් ගෙනියන කොට රජය තුළ ඒකමතිකයක් තියෙන්න එපැයි. උද‌ාහරණයක් විදියට ප්‍රවාහන අමාත්‍යාංශය කිව්වා අවුරුදු 35 ට අඩු අයට ත්‍රිවිලර් එළවන්න බැහැ කියලා. එතකොට මුදල් අමාත්‍යාංශය කිව්ව ‘එහෙම බෑ. ඒක තරුණයන්ගේ අයිතියක්. ඒක දෙන්න ඕනෑ’ කියලා. මේක මේ එළියේ මාධ්‍ය තුළ නොවෙයි කරන්න තිබුණේ. මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් අභ්‍යන්තරව කරලා 35 ට අඩු අයට නොදීමේ තීරණයට අද‌ාළව තර්ක විතර්ක සියල්ල විමසලා එක මතයක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. මේ නිසා සමහර අවස්ථාවල අපටත් සිද්ධවෙලා තියෙනවා මේ තියෙන කාරණත් එක්ක අපේ අනන්‍යතාව ආරක්ෂා කරගන්න. සමහර කාරණාවලදී අපිටත් පිළිතුරු දෙන්න සිද්ධ වෙලා තියෙනවා.   


ප්‍රශ්නය:- ඔබ එහෙම පිළිතුරු දුන්න අවස්ථාවක් කියන්න?   


පිළිතුර:- උද‌ාහරණයක් හැටියට 20 වැනි සංශෝධනය ගන්න. එතැනදී අපි අපේ ස්වාධීන මතය අපි ප්‍රකාශයට පත් කළා.   


ප්‍රශ්නය:- 20 වැනි සංශෝධනයට ඔබ විරුද්ධයි?   


පිළිතුර:- ඔව්. මම 20 වැනි සංශෝධනයට විරුද්ධයි.   


ප්‍රශ්නය:- ඒකට හේතුව?   


පිළිතුර:- ඒකෙන් තවදුරටත් මේ රට දේශපාලනිකව අස්ථාවර කරන නිසා. එහෙත් විධායක ජනාධිපති ධුරය පවතින්න බැහැ. පාර්ලිමේන්තුවෙන් තොරව ජයවර්ධන ජනාධිපතිවරයාට, චන්ද්‍රිකාට, ඒ වගේම මහින්ද රාජපක්ෂ, ප්‍රේමදාසට ආණ්ඩු ගෙනියන්න පුළුවන් වුණේ තමන් එක්ක ඉන්න පාර්ලිමේන්තුවක් තිබුණ නිසා. නමුත් චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ කෙටි කාලයකට තමන් එක්ක නැති පාර්ලිමේන්තුවක් ආවා. එතැනදී ජනාධිපති ධුරයේ තරම රටට පෙනුණා. ඒ වගේම දැන් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාටත් තමන් එක්ක නැති පාර්ලිමේන්තුවක් ආවා. ඒකේ තරම අපිට පේනවා. මේක ජනාධිපති ධුරයක් කියලා කිව්වට එහෙම එකක් නෑ. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපති ධුරය තවදුරටත් පාර්ලිමේන්තුව එක්ක මිශ්‍ර කරලා තියෙනවා. අත්තනෝමතික බලතල සීමා කරලා තියෙනවා. ජනාධිපති ධුරය අහෝසි කරනවා නම් රටේ ස්ථාවරත්වය වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම වගේම රටේ ස්ථාවරයත්වයක් වැදගත්. පැරණි ආසන ක්‍රමය එනවා නම් 77 ට කලින් තිබුණ මැතිවරණ ක්‍රමය නම් එන්නේ ඒ ක්‍රමය යටතේ ජනාධිපති ධුරය නාම මාත්‍රික වුණාට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ අනුගත ක්‍රමය යටතේ ජනාධිපති ධුරයක් නෑ. පාර්ලිමේන්තුවත් නෑ. රට සම්පූර්ණයෙන්ම අස්ථාවර වීම වළක්වන්න බැහැ.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රි කිව්වා 19 වැනි සංශෝධනයෙන් ශක්තිමත් වුණේ අගමැතිවරයායි කියලා?   


පිළිතුර:- අගමැති නොවෙයි පාර්ලිමේන්තුවයි.   


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කිව්වේ අගමැතිවරයා කියලයි?   


පිළිතුර:- මෙහෙමනේ. පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත්ත කෙනානේ අගමැතිවරයා වෙන්නේ. ඔය ජනාධිපතිධුරය අත්තනෝමතිකයි කියලා කිව්වට ජනාධිපති ධුරයට පත් වෙන්නේ සියයට 50 ක් ඡන්ද ගත්තොත් පමණයි. මේ රටේ පවත්වපු ජනාධිපතිවරණ වලින් 88 දී පවත්වපු ජනාධිපතිවරණය හැරෙන්න අනෙක් සෑම ජනාධිපතිවරණයක්ම කාටත් පිළිගන්න පුළුවන් ජනාධිපතිවරණ, අගමැති කියන්නේ දිස්ත්‍රික්කයක ඡන්දෙ ගන්න කෙනෙක්. ජනාධිපති කියන්නේ මුළු රටේම ඡන්ද ගන්න කෙනෙක්. එයාට පාර්ලිමේන්තුවේ බහුතරයෙ කැමැත්ත තියෙන්න ඕනෑ. ඒ නිසා ජනාධිපතිවරයාගේ ජනවරම අගමැතිවරයාගේ වරමට වඩා අඩුයි කියලා කියන්න කාටවත් බෑ. ඒක ජනතාවගේ පරමාධිපත්‍යය බලය. ඉතින් මම මේ ස්ථාවරත්වය ගැන කියන්නේ. රටේ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවරත්වය අතර සමබරතාවය ආරක්ෂා කළ යුතුයි. මේකෙන් කොයි පැත්තට අපි ගියත් ස්ථාවරත්වය රැකගන්න ජයවර්ධන මහත්තයා ගත් උත්සාහයෙදි බලගතු ජනාධිපති ක්‍රමයක් හඳුන්වා දුන්නා. එතැනදී ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයට ගියා. මිනිස් නිදහස අර්බුදයට ගියා. ඒ වගේම ඕනෑවටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ගිහින් ස්ථාවරත්වය අර්බුදයට ගිහින් තියෙනවා.   


ප්‍රශ්නය:- ඔබ කියන්නේ දැන් රටේ තියෙන තත්ත්වයද?   


පිළිතුර:- මම එකක් කියන්නම්. ඔය හුඟක් අය හිතන පතන දෙයක් තමයි මේ විදේශ ආයෝජන. ඒ වගේම විදේශිකයන්ගේ ආකර්ෂණය ලැබෙනවා කියලා රට පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රිකරණය කියලා ඒ ගොල්ලෝ අදහස් කරන සුළු ජාතික අයිතීන්, මාධ්‍ය නිදහස, සමලිංගික අයිතිය වගේ දේවල්වලට වැඩි ඉඩක් දීම තුළින් ලෝකයේ ආකර්ෂනයට ලක්වෙනවා කියලා.   


ප්‍රශ්නය:- ඒක මේ රජයේ ප්‍රතිපත්තියයි. නමුත් ඔබ කියන්නේ එ්ක වලංගු නැහැ කියලද?   


පිළිතුර:- ඒක 90 දශකයේ මතයක්. අද ලෝකය දුවන්නේ ගෝලීයකරණය ප්‍රතිපත්තිය මත නොවෙයි. ලිබරල් නිදහස් ප්‍රතිපත්තිය මත නොවෙයි. අද ලෝකයේ ලිබරල් හා ගෝලීයකරණයේ නියමුවා වෙච්ච ඇමරිකා එක්සත් ජනපදය තමයි අද​ ලෝකයේ ආකර්ෂනවාදයේ ප්‍රධානම රට. ඒ වගේම යුරෝපයේ රටවල් අනු ක්‍රමයෙන් මේ බලවේගයට හසුවෙමින් තියෙනවා. අපි ඕකට කියනවා. දක්ෂිණාංශික ජනකාන්තවාදය කියලා. මේ ජනකාන්තවාදී න්‍යායට ​ලෝකයෙ හැම රටක්ම හසුවෙමින් තිබෙනවා. රුසියාවේ අද තියෙන්නේ ඒ වගේ පාලනයක්. ජපානයෙ අද තියෙන්නේ ඒ වගේ පාලනයක්. ඒ නිසා අද ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හා ගෝලීයකරණය පරාජයට පත්වෙලා ඉවරයි. ඒ වගේම එද‌ා 80 හා 90 දශකවල විදේශීය ආයෝජකයෙක් බටහිර ආයෝකජයෙක් රටකට එනකොට ඒ රටේ මානව හිමිකම් කැරැට්ටුව කොහොමද? ඒ රටේ සුළු ජාතිකයන්ට සලකන කැරැට්ටුව කොහොමද? ඒ රටේ කාන්තා අයිතිවාසිකමේ කැරැට්ටුව කොහොමද? ඒ රටේ සමලිංගික අයිතියෙ කැරැට්ටුව කොහොමද? කියලා බලලා තමයි එන්නේ. අද බලන්නේ එක කාරණයයි. ඒ තමයි ස්ථාවරත්වය. ඒකයි වියට්නාමයට කාම්බෝජයට මියන්මාරයට ආයෝජන යන්නේ. ඒ එක හේතුවක්. අනිත් කාරණය ලාභ ශ්‍රමය. අද ලංකාවේ මේ දෙකම නෑ.   


ප්‍රශ්නය:- ඒ කියන්නේ ස්ථාවරත්වය නෑ?   


පිළිතුර:- අපේ රජයන් පෙන්වල දීලා නෑ රාජ්‍ය ස්ථාවරයි කියලා. ලාභ ශ්‍රමය කොහොමත් නෑ. ඒ නිසා අපේ රටට ආයෝජකයෝ එන්නේ නෑ. ඒ නිසා 90 දශකයෙ ජීවත්වන අය ලිබරල්, ප්‍රතිසංස්කරණ කරමින් ආයෝජකයන්ට අතවැනුවට අනික් පැත්තෙන් ඒ ලිබරල්කරණය තුළම අස්ථාවරත්වය කැන්දගන්න හින්දා ආයෝජකයො පෑල දොරෙන් යනවා.   


ප්‍රශ්නය:- ඔබ මේ කතා කරන්නේ මේ ආණ්ඩුවේ අත්දැකීම් ඇසුරෙන්?   


පිළිතුර:- ආයෝජකයන් කැඳවා ගැනීම සඳහා ප්‍රබලම මෙහෙවරක් කරන ඇමැතිවරයෙක් හැටියට දේශීය විදේශීය ආයෝජකයන්ගෙන් මට ලැබිලා තියෙන පණිවිඩය තමයි ඔය. ඔය කිසිම ආයෝජකයෙක් මගෙන් අහලා නෑ ‘ඔයගොල්ලන්ගේ රටේ සම ලිංගික අයිතිය​ කොච්චර තියෙනවද? ඔයගොල්ලන්ගේ රටේ කාන්තා අයිතිය. මාධ්‍ය නිදහස කොච්චර තියෙනවද කියලා. ඔවුන් අහන්නේ ‘ඔයගොල්ලන්ගේ රටේ බදු ප්‍රතිපත්තිය මොකක්ද? බදු ප්‍රතිපත්තිය කොච්චර ස්ථාවරද? හය මාසෙන් හය මාසෙට වෙනස් වෙනවාද? අවුරුද්දෙන් එක හමාරෙන් වෙනස් වෙනවද? අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන ආණ්ඩු ද තියෙන්​ෙන්? කියලයි අහන්නේ.   


ප්‍රශ්නය:- ඉතින් ඔබ මොනවද දෙන උත්තර?   


පිළිතුර:- මම කියන්නේ මේකයි. මේ දෙකේ සමබරතාවක් ඇතිකරගත යුතුයි. මම විරුද්ධ නැහැ කාන්තා අයිතියකටවත් ඔය කිසි දෙයකට. හැබැයි මේක පදනම් කරගෙන පමණක් රටක් පාලනය කරන්න බැහැ. රටක් ස්ථාවරව පාලනය කළ යුතුයි. දුරදිග බලලා වැඩ කළ යුතුයි. ජනප්‍රිය ඉතාම සුළුතරයකගේ අදහස් මහා අදහස් බවට පත් කරගෙන හරියන්නේ නැහැ. 

 
ප්‍රශ්නය:- හිටපු හමුද‌ාපති, ඇමැති සරත් ෆොන්සේකා කියනවා වත්මන් හමුද‌ාපති යටතේ ප්‍රශ්න ගොඩක් මතු වෙලා තියෙනවා කියලා. හමුද‌‌ා කඳවුරු 33 ක් ඉවත් කරනවා කියලත් කියනවා.  


පිළිතුර:- ඒක ගැන මම මැදිහත් වෙන්න කැමැති නෑ. නමුත් දැන් ඉන්න හමුද‌ාපති මේ රටේ විශේෂ බළකාය මෙහෙයවපු හමුද‌ාපති කෙනෙක්. ඒ වගේම දැන් ඉන්න හමුද‌ාපතිට අත්දැකීම් නැහැ කියලා කියන්න බැහැ. ඒ වගේම හමුද‌ාවක් යුද්ධ කාලෙදි හැසිරෙන විදියට නොවෙයි සාම කාලෙදි හැසිරෙන්නේ. අද නව තාක්ෂණික යුගයක් ඇවිත් තියෙන්නේ. ඉදිරියේදී ඇතිවෙන්නේ තාක්ෂණික යුද්ධයක්. ත්‍රස්තවාදය පවා ක්‍රියාත්මක වෙන්නේ ඒ විදියටයි. අද යුද්ධ ඇවිළී යන්නේ අන්තර්ජාලය මත පදනම්වයි. බරපතළ විනාශ කරන්න පුළුවන් අන්තර්ජලය මත. ඒ වගේම අද නව යුද වාතාවරණයක් ලෝකය තුළ ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ ‘ස්මාට් ආමි’ එකක් දසකෝටි ගානක් ඉන්න ආමි එකක් නොවෙයි පුහුණු යුද හමුද‌ාවක් හැදීමේ අභියෝගය අපි ඉදිරියේ තියෙනවා. ඇත්තෙන්ම අපි දැන් වැඩියෙන් ගොඩනගන්න ඕනෑ එ්ක තමයි. නාවික හමුද‌ාවෙ. අපේ බිම් තීරය වගේ විසිතුන් ගුණයක මුහුදු තීරුවක් අපට දැන් අයිතිවෙන්න යනවා. ඒ නිසා අපට අවශ්‍ය බලගතු, ශක්තිමත් දියුණු නාවික හමුද‌ාවක් ගොඩ නැගීමයි.  


ප්‍රශ්නය:- ඔබ නාවික හමුද‌ාව ගැන කතා කළා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන හිටපු නාවික හමුද‌ාපතිවරයෙක්. ඔහු අත්අඩංගුවට ගන්න රහස් පොලිසියට සෑහෙන උවමනාවක් තියෙනවා කියලා පේනවා?  


පිළිතුර:- අපේ ආණ්ඩුවෙන් අපි එකක් පෙන්වලා දීලා තියෙනවා. තරාතිරම නොබලා අපි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ මේ ක්‍රියාද‌ාමය අනුමත කරනවා?  


පිළිතුර:- නැහැ. මේ සියලු දෙනාම මතක තියාගන්න ඕන එක කාරණයක්. මේ රටේ යුද්ධයක් තිබුණ. ඒ යුද්ධයේදී ඉතාම තිරස්චීන ඉතාම කාලකන්නි සිදුවීම් දෙතුන් පැත්තටම සිදුවුණා. ඒක අපි පිළිගත යුතු දෙයක්. ඒක ජවිපෙ කැරැල්ල අවස්ථාවෙදිත් වුණා. මේ වාගේ ඇතිවන ක්‍රියාද‌ාමයන් තුළ අනුගමනය කළ යුතු හොඳම ක්‍රියාද‌ාමය තමයි මේවා සියල්ල අපි අතීතයට එකතු කරල අනාගතය ගොඩ නගන්න කටයුතු කරන එක.  


ප්‍රශ්නය:- ඔබ ඔහොම කිව්වම එන්.ජී.ඕ. නඩ ඔබට එරෙහිව අවි ඔසොවයි?  


පිළිතුර:- මෙහෙමයි. රටක ආරක්ෂක අංශ ප්‍රධානියාව රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයටත් නොදන්වා අත්අඩංගුවට ගන්න යෑම මං හිතන්නේ කොයි රටකවත් සිද්ධ වෙන දෙයක් නොවෙයි. අපි අපේ රටේ සන්නද්ධ සේනාංකවලට ස්තූතිවන්ත වෙන්න ඕන අපේ රටේ කිසිම අවස්ථාවක ඉතාම දුෂ්කර අවස්ථාවකට පත් වුණත් අපේ රටේ පාකිස්තානයේ, බංගලිදේශයේ, මියන්මාරයේ, තායිලන්තයේ වුණා වගේ හමුද‌ා කුමන්ත්‍රණ වෙලා නැහැ. හමුද‌ාව බලය ගන්න උත්සාහ කළේ නැහැ. ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා තිබුණා. ඒ වගේ විනයගරුක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක අපේ හමුද‌ාව වැඩ කරලා තියෙන්නේ. ඒ හමුද‌ාව අසහනකාරී තත්ත්වයට අතෘප්තකර තත්ත්වයට පත් කිරීම සිදු නොකළ යුතුයි. මේ වගේ වැඩ හරහා. මම වැඩිය කියන්න යන්නේ නෑ රවින්ද්‍ර විජේගුණරත්න ගැන. ඔහු නොසිටියා නම් නාවික හමුද‌ාවට දවසට රුපියල් ​ෙකා්ටියක් ලැබෙන්නේ නැහැ. හම්බන්තොට වරාය සිද්ධිය වෙලාවේ අත්තනෝමතිකව සේවකයන් ක්‍රියා කළ අවස්ථාවේ හම්බන්තොට ප්‍රශ්නය විසඳලා දුන්නේ මෙතුමා. ඒ වගේම මම පෞද්ගලිකව දන්නවා මහනුවර ඇතිවෙච්ච ගැටුම්කාරී තත්ත්වය පාලනය කරගන්න බැරි වුණත් ඒක පාලනය කරලා රටේ ගෞරවය ආරක්ෂා කරලා දුන්නේ මෙතුමා. ඉතින් ඒ සියලුම ගුණධර්ම මේ එක් සිද්ධියක් මත පදනම්ව කටයුතු කරනවා නම් තව කීයක් තියෙනවද ඒ විදියටම ක්‍රියාත්මක වෙන්න. තවම මේ දරුවන් පැහැරගෙන ගියා කියලා නඩු පවරලත් නෑ. මෙයාව අත්අඩංගුවට ගන්න හොයන්නේ අත්අඩංගුවට ගත්ත අයට නඩු පවරලා ඉන්න එපැයි.  


ප්‍රශ්නය:- ඔබ නොකියා කියන්නේ පොලිස් රාජ්‍යයක් ගොඩ නැගෙමින් තියෙනවා කියලද?  


පිළිතුර:- නෑ. පොලිස් රාජ්‍යයක් නොවෙයි. මෙතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය තුළ. ඇතැම් අයට අවශ්‍ය විදියට නීතිය ක්‍රියාත්මක වෙනවා. උසාවියෙත් ඒක වෙනවා.

බන්ධනාගාරවලත් ඒක වෙනවා. මම කියන්න ඕනෑ මේ ප්‍රශ්නය අපි මෙතැනින් ඉවර කරන්න ඕනැ. මේ ප්‍රශ්නය තවත් එළව එළවා යෑමේ තේරුමක් නෑ. පෞද්ගලිකව අපරාධ කරලා තියෙනවා නම් ඒවාට දඬුවම් දෙන්න ඕනෑ. හැබැයි පොදුවේ මේ යුද්ධය ඇතුළේ සිද්ධ වෙච්ච දේවල්වලටත් ආරක්ෂක අංශවල අයටත් ආරක්ෂාවක් දිය යුතුයි. එල්ටීටීඊයේ දොළොස් දහස් හයසීයක් එළියේ ඉන්නවනේ. මේ රටේ නවදාහක් සිවිල් වැසියෝ මරපු විසිහය දාහක් හමුද‌ා භටයෝ මරපු එල්ටීටීඊ අය දොළොස් දහස් හයසීයක් එළියේ ඉන්නවානේ. එල්ටීටීඊ කාරයෝ හැටහතර දෙනෙක් විතරනේ අත්අඩංගුවේ ඉන්නේ. ඉතින් ඒ හැටහතර තියාගෙන ඇයි? අර රාම් නගුලන් නැගෙනහිර පළාතේ හයසීයක් මැරුවා. අර එළියේ ඉන්නවනේ. කේ.පී. එළියේ ඉන්නවනේ. විදේශගතවෙලා ඉන්න එල්ටීටීඊ නායකයන් අත්අඩංගුවට ගන්න පොලිසිය කිසිම වැඩකටයුත්තක් කරන්නේ නැහැනේ. ඒ නිසා ජවිපෙ නායකයෝ මොකද නිකන් හිටියද 87-89 දී දැන් ඔය එළියේ දේශපාලනය කරන්නේ. එක්සත් ජාතික පක්ෂයෙ නායකයෝ. වාසුදේව නානයක්කාර, වික්‍රමබාහුලා මේ ඔක්කොම ඔය සන්නද්ධ ක්‍රියාවලියට සම්බන්ධ වුණානේ. අපි ඒවා දේශපාලන අපරාධ හැටියට අමතක කළා. මේවත් අමතක කරලා ද‌ාමු.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කිව්වා රටට ආදරය කරන අගමැතිවරයෙක් අවශ්‍යයි කියලා?  


පිළිතුර:- ඒක ඉතින් ජනාධිපතිවරයාගෙන් අහන්න ඕනැ. මොකද එතුමා කියලා තිබුණේ දැන් ජනාධිපතිවරයාගේ බලතල අඩුවුණා. ඉස්සරහට බලගතු වෙන්නේ පාර්ලිමේන්තුව. අගමැතිවරයා කියලනේ.  


ප්‍රශ්නය:- ඔබට ඒ ගැන අදහසක් නැද්ද?  


පිළිතුර:- මට ඒ ගැන අදහසක් තියෙනවා. ඒක තමයි මේ රට දැන් විප්ලවිය පරිවර්තනයක් දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු යුගයකට ඇවිත් තියෙනවා. මොකද අපේ රටේ හැම ක්ෂේත්‍රයකම විප්ලවකාරී පරිවර්තනයක් අඩුවැඩි වශයෙන් වෙලා. නමුත් දේශපාලනයෙ තත්ත්වය මොකක්ද? දේශපාලනය තත්ත්වය එක්දහස් නවසිය තිස්ගණන්වල පවුල් දේශපාලනය තමයි ලංකාවේ තවමත් ප්‍රධාන දේශපාලන පක්ෂවල තියෙන්නේ. කැතයි.

ලජ්ජයි. මේක වෙනස් කරන්න ඕනෑ. තුන් හතර දෙනෙකුගේ පවුල්වල අංකොංවලට. කුසලතාව තිබුණා නම් කමක් නෑ. කුසලතාවක් නැතිව යන්න දෙන්න බෑ. මේ අය මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පාගාගෙන ඉන්නවා ​දේශපාලන ක්ෂේත්‍රයේ. ඒ නිසා අනිකුත් ක්ෂේත්‍රවල ඇතිවෙච්ච විප්ලවීය පරිවර්තනය මේ දේශපාලන ක්ෂේත්‍රයෙත් ඕනෑ.  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ දැක්මක් තියෙන තරුණ දේශපාලනඥයන්ට නැගිටින්න මේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉඩක් නෑ කියලද?  


පිළිතුර:- කිහිප දෙනෙක් මේක ‘බ්ලොක්’ කරගෙන ඉන්නවා. තම තමන්ගේ වහල් සමාජ හදාගෙන ඉන්නවා.  


ප්‍රශ්නය:- ඉදිරි ජනාධිපතිවරණයේ දී ඔය බැමි පුපුරවන්න ඔබ යම් මැදිහත්වීමක් කරනවද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම. මින් ඉදිරියට එක්දහස් නවසිය තිස් ගණන්වල ප්‍රභූ පන්තියෙන් හෝ නිර් ප්‍රභූ පන්තියෙන් හෝ අැවිත් මෙතෙක් දේශපාලනයෙ ඉන්න පවුල් සමාගම්, පන්ති සමාගම්, කුල සමාගම් පුපුරවලා හැරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රික දේශපාලන විප්ලවය අපි කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

 

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්