ආණ්ඩුව වගකීම පැහැර හැරියා


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

  • අද මිනිස්සුන්ට තුන්වේල කන්න බැරි තරමට බඩු මිල ඉහළ ගිහින් තියෙනවා.
  • සීනි හොරකම, පොල්තෙල් ප්‍රශ්නය, පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නය, දේශපාලන පළිගැනීම් පිළිබඳ කැකිල්ලේ කොමිසමේ ප්‍රශ්නය, පෝර්ට් සිටි ප්‍රශ්නය වගේ ඔක්කොම අද කොරෝනාවෙන් වහන්න හදනවා.

 

කාලීන දේශපාලන මාතෘකා පිළිබඳව මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසිනි.

දේශපාලන මාතෘකා සියල්ල යට ගිහින් ආපසු කොරෝනා උඩට ඇවිත්.


කොරෝනා යළිත් උඩට ආවෙම ආණ්ඩුවේ තිබිච්ච අදූරදර්ශී අකාර්යක්ෂම වැඩපිළිවෙළ නිසා. ඒක නිසි පරිදි කළමනාකරණය කරනවා වෙනුවට ඒක නොසලකා තමයි ආණ්ඩුව කටයුතු කළේ. මේ අනතුර දැන දැන තමයි ජනාධිපති ගම සමග පිළිසඳර කළේ. එතන තිබුණ ද සෞඛ්‍ය නීති රීති පිළිපැදීමක්. ඒ ගමනකදීම තමයි ඔහු කිව්වේ දැන් පී.සී.ආර්. වැඩක් නෑ. එන්නත් තමයි දෙන්න තියෙන්නේ කියලා. පහුගිය කාලෙ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සිදු වුණේ ඕනෑවට එපාවට වගේ. කොටින්ම ආණ්ඩුව වැඩේ අත ඇරලා හිටියේ. ලිහිල් තත්ත්වයක් ආපු ගමන් ජනතාව සුපුරුදු ජීවන රටාවට එනවා. ජනතාවට අවවාද උපදෙස් දෙමින් හරි විදිහට කටයුතු කරගෙන යන්න තමයි ආණ්ඩුවක් ඕනෑ. ආණ්ඩුව ජනතාවට ඕනෑ දෙයක් කර ගන්න දීලා බලන් හිටියා. අලුත් අවුරුදු කාලේ ජනතාව ඔය විදිහට තමයි කොහොමත් හැසිරෙන්නේ. ඒ තත්ත්වය පාලනය කරලා කොවිඩ් අවදානම ගැන කියලා නීති රීති ක්‍රියාත්මක කරලා වැඩ කරන්න ඕනෑ ආණ්ඩුව. ඒත් ආණ්ඩුව ඒ වගකීම පැහැර හැරියා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිනියම කියනවා මේ අවදානම ගැන අවශ්‍ය අයට කිව්වා. ඒත් ඒ අය ගණන් ගත්තේ නෑ කියලා. කොරෝනා ඉවරයි වගේ හිතාගෙන පිස්සු නටපු එකේ ප්‍රතිඵල තමයි මේ දැන් එන්නේ. ආණ්ඩුව තමයි ජනතාව මේ අවදානමට තල්ලු කළේ. වැඩේ බරපතළ වේගෙන එනකොට වගකීම ජනතාව පිට දාලා ආණ්ඩුව අත පිහිද ගන්න හදන්නේ. ඒත් කිව්වේ කොහොමද? ‘‘අපි තමයි හොඳටම කළේ’’ කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පම්පෝරි ගැහුවෙ. එන්නත් විදින වැඩේ හරියාකාරව කෙරුවෙත් නෑ. අයි.සී.යූ. ඇඳන් අවශ්‍යතාව ගැන අවධානය යොමු කළෙත් නෑ. දැන් ආණ්ඩුව ජනතාව පිට වරද පටවන්න සූදානම් වෙන්න එපා.


තාමත් රට වහන සූදානමක් හෝ ගුවන් තොටුපොළ වහන සූදානමක්වත් නෑ. ඒත් චන්න ජයසුමන වගේ ඇමැතිවරු මීඩියාවලට උදේ හවස කියන්නෙම බය වෙන්න එපා! අපි හොඳටම වැඩේ කරනවා කියලා...


මුල් වතාවෙත් ගුවන් ​තොටුපොළ වහන්නෙ නැතුව කටයුතු කළේ මේ විදියටම තමයි. ඒ වෙලාවෙත් ආණ්ඩුවෙ නායකයෝ බොරු පණ්ඩිත කතා කියමින් හිටියා මිසක් අවදානම දැක්​කේ නෑ. අදත් වෙන්නේ ඒකමයි. දේශපාලන නායකයෝ කොරෝනා අස්සේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයයි, පුද්ගලික න්‍යාය පත්‍රයි, ව්‍යාපාරික න්‍යාය පත්‍රයි ක්‍රියාත්මක කරන්න හදනවා. ඒකෙන් තමයි වැඩේ කුරුවල් වෙන්නේ. ඒකෙන් පීඩාවට පත් වෙන්නේ ජනතාව. පවතින තත්ත්වය ගැන නිවැරදි තක්සේරුවකට ඇවිත් අඩුපාඩු හදාගෙන හැමදෙනාගෙම සහයෝගය එක්ක මේක කළමනාකරණය කර ගන්න ආණ්ඩුව උනන්දු වෙන්නේ ඕනෑ. ඒත් තාම ආණ්ඩුව කටයුතු කරන්නේ උද්ධච්ඡ විදියට.


මේ තත්ත්වයත් එක්ක යට ගිය ප්‍රධානම ප්‍රශ්න දෙකක් තමයි පාස්කු දින ප්‍රහාරයේ වාර්තාව සහ වරාය නගරය කියන ඒවා...


ඒවා යට ගහන්න පුළුවන් මාතෘකා නොවෙයි. ඒත් කොරෝනා ඉස්මතුවීම හරහා සමහර විට ජනතාවට ඒ මාතෘකා අමතක වුණත් ඒවා එහෙම අමතක කරන්න ඕනෑ කාරණා නොවෙයි.


මේ හදිසියේ චීනෙ ආරක්ෂක ඇමැති ලංකාවට එන්නේ මොකටද? එයා මේ තදියමේ එන්නේ කොරෝනා සම්බන්ධ සාකච්ඡාවකට එහෙම නෙවෙයිනේ. චීනෙට පෝර්ට්සිටියේ වැදගත්කම මේ කොරෝනා අස්සේ චීන ආරක්ෂක ප්‍රධානියා ඇවිත් කතා බහ කරලා යන එකෙන්ම පේනවා.


ඇත්තටම ආණ්ඩුවට කොරෝනා ආශිර්වාදයක් වෙලා තියෙන්නේ. මොකද ආණ්ඩුවට ආපු ප්‍රශ්න ඔක්කොම කොරෝනා පිට දාලා අමතක කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.


සීනි හොරකම, පොල්තෙල් ප්‍රශ්නය, පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නය, දේශපාලන පළිගැනීම් පිළිබඳ කැකිල්ලේ කොමිසමේ ප්‍රශ්නය, පෝර්ට් සිටි ප්‍රශ්නය වගේ ඔක්කොම අද කොරෝනාවෙන් වහන්න හදනවා.
ඊටත් කලින් මහ බැංකු හොරුන්ට දඬුවම් දෙනවා කියලා කියපුවාත් තියෙනවා. අද මිනිස්සුන්ට තුන්වේල කන්න බැරි තරමට බඩු මිල ඉහළ ගිහින් තියෙනවා. මේ සියල්ල වහන්න ආණ්ඩුවට අද ආශිර්වාදයක් වෙලා තියෙන්නේ කොරෝනා තත්ත්වය. පරිසර විනාශය පිළිබඳව ආණ්ඩුවට බරපතළ ​චෝදනා රාශියක් එල්ල වෙනවා. රටේම තැන් තැන්වල මිනිස්සු උද්ඝෝෂණ කරනවා. අලි මිනිස් ගැටුම උග්‍ර අතට ඇවිත්. ආණ්ඩුවට මේ කිසිම දෙයක් ගැන වගේ වගක් නෑ.


ඔබලා ආණ්ඩුවට චෝදනා කළා. කොරෝනා පෙන්නලා මැයි දින රැළි නොපවත්වන්න ආණ්ඩුව කුමන්ත්‍රණයක් කරනවා කියලා. මැයි දිනේට මොකද කරන්නේ?


මැයි දිනය පවත්වන්න ඕනෑ. අපි මැයි දිනය පවත්වනවා. අපිට දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ මැයි දිනය පවත්වන ආකාරය. මේ තියෙන තත්ත්වය උඩ වෙනද වගේ ජනතාව ඒකරාශී කරලා මැයි දිනය පවත්වන්න අප සූදානම් නෑ. අපි වගකීම් සහගත දේශපාලන ව්‍යාපාරයක් විදියට හැම දෙනාගෙම ආරක්ෂාව ගැන හිතනවා. ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාව ගැන වගකීමක් නැතුව කටයුතු කළා. අපිට එහෙම හැසිරෙන්න බෑ. ගම සමග පිළිසඳරට සෞඛ්‍ය නීති රීති ඕනෑ නෑ කියලා ජනාධිපති වැඩ කළාට අපිට එහෙම කරන්න බෑ. අපි ජනතාවට ආදරෙයි. අද නීති බලපාන්නේ එන යන අයට එක එක විදියට. මේ අය බලයට ආවේ එක රටක් එක නීතියක් කියලා. අද ඒක විහිළුවක් වෙලා. දැන් රටේ තත්ත්වය සහ රටේ ට්‍රෙන්ඩ් එක දිහා බලලා අපි මෙවර තීරණය කළා මෙවර මැයි දිනය අන්තර්ජාල තාක්ෂණය හරහා පවත්වන්න කටයුතු සූදානම් කරනවා.


විපක්ෂය කියනවා ආණ්ඩුව විපක්ෂ මර්දනය කරන්න හදනවා කියලා. ඔබේ නායකයගෙත් ප්‍රජා අයිතිය අහෝසි වීමක් ගැනත් කියවෙනවා.


අපි ඔය මර්දනයන්ට නම් බය නෑ. අපිව කී වතාවක් මර්දනයට ලක් වුණාද? ඒත් අපේ දේශපාලනය එහෙම මර්දනය කරලා නතර කරන්න පුළුවන් වුණාද? පාලකයෙක් දුර්වල වෙන්න වෙන්න තමයි මර්දනය කියන ආයුධය අතට ගන්නේ. ඒකෙන් පේනවා. මේ ජනාධිපති කොයි තරම් දුර්වල ද කියලා. අපි නිකං නොවෙයි කිව්වේ ඉතිහාසයේ පත් වෙච්ච දුර්වලම නායකයා ගෝඨාභය කියලා කිව්වේ. අද ඒක ඔප්පු වෙලා තියෙනවානේ. අද ඒක කියන්නේ අපි නොවෙයි. ගෝඨාභයට ඡන්දය දීපු අයත් ඒක කියනවා. ඔවුන් අද පසු තැවෙනවා රැවටුණා කියලා.


රටේ ප්‍රශ්නවලට විසඳුම් නැති වුණාම ආණ්ඩුව කරන්නේ ජනතා විරෝධය මර්දනය කරන එක. අපේ නම් කට වහන්න හම්බ වෙන්නේ නෑ.


පසුගියදා අනුර දිසානායක පාර්ලිමේන්තුවේ කරපු ප්‍රහාරාත්මක අදහස් දැක්වීම සමාජයේ කතා බහට ලක්වෙලා තියෙනවා. ඒත් ආණ්ඩුව නම් කියන්නේ සුපුරුදු අවලාද ටික විතරයි කියලා.


ඒ අවලාද නම් ඒකට ආණ්ඩුවට උත්තර දෙන්න තිබුණනෙ. ඒ කතාවට ආණ්ඩුවට කට උත්තර නැති වෙලා ඉන්නේ. ඒකයි ඔය කෑ ගහන්නේ. අනුර සහෝදරයා කියපු මොන කතාවද බොරු?


බැසිල් ගැන කියපු එකද? යෝෂිත ගැන කියපු එකද? ඇවන්ගාඩ් ගැන කියපු එකද? ගම්මන්පිල ගැන කියපු එකද? එහෙම නැත්නම් වෙන මොකක්ද? ඒ එකක්වත් බොරු අවලාද නොවෙයි. ඒ ඔක්කොම ආණ්ඩුවට එල්ල වෙච්ච චෝදනා. ඒවයින් බේරෙන්න තමයි දැන් ඔය කොමිෂන් දාගෙන දඟලන්නේ. ඒ කතාවට බාධා කරමින් කතා කරපු අයටත් උත්තර දෙමින් තමයි අනුර සහෝදරයා කරුණු කිව්වේ. එකසිය ගාණක් මැති ඇමැතිලා ඉස්සරහ තියාගෙන තමයි ඒ කතාව කිව්වේ. ඒ කතාවෙ මඩ අවලාද අපහාස තිබුණේ නෑ. ඒක තමයි ඒ කතාවෙන් ආණ්ඩුවට ඒ තරම් රිදිලා තියෙන්නේ.


මේ වෙලාවේ ඇත්ත ආණ්ඩු විරෝධී කණ්ඩායම් අතරෙම ව්‍යාජ ආණ්ඩු විරෝධී කණ්ඩායමුත් ක්‍රියාත්මක​ වෙනවා කියලා සමහරු කියනවා. මේ ව්‍යාජ ආණ්ඩු විරෝධීන් විසින් ඇත්ත ආණ්ඩු විරෝධය දිය කරලා දානවා කියලත් කියවෙනවා. මේක ඔබලා තේරුම් අරන් තියෙන්නේ කොහොමද?


ආණ්ඩුවට තියෙන ජනතා විරෝධය කියන්නේ ආණ්ඩුවෙ කොන්ත්‍රාත් කරන පිරිස් මවන බොරු විරෝධයට නොවෙයි. විවිධ කණ්ඩායම් මේ වෙලාවෙ ක්‍රියාත්මක වෙනවා. අපි ඒ පිළිබඳව සවිඥානිකයි. අපේ ආණ්ඩු විරෝධය නම් ඔය බොරු විරෝධතාකාරයින්ට දිය කරන්න හම්බ වෙන්නේ නෑ. ආණ්ඩුවෙම නූල්වලට නැටවෙන රූකඩකාරයෝ කරන කොන්ත්‍රාත් එක මොකක්ද? සැබෑ ජනතා විරෝධය මොකක්ද? කියලා බුද්ධිමත් ජනතාවට පැහැදිලි කර ගන්න පුළුවන්. ආණ්ඩුවේ ස්ක්‍රිප්ට් එකට රඟපාන නළුවො කවුද? කියලා ටික ටික අනාවරණය වෙමින් තියෙන්නේ? ඒ අයට ඒකෙන් ඇත්ත ජනතා විරෝධය යටපත් කරන්න බෑ. හැබැයි මේ ආණ්ඩුව ගැන අද වැඩියෙන්ම කලකිරීමෙන් කතා කරන්නේ මේ ආණ්ඩුව ගේන්න දරදිය ඇද්ද අයමයි. වැඩ කරන විරුවා කියපු කටින්ම තමයි ජනාධිපතිවරයාගේ නොහැකියාව ගැන අද අපිට අහන්න ලැබෙන්නේ.

 

 

 

සාකච්ඡාව
ප්‍රියන්ත කොඩිප්පිලි