ආණ්ඩුව ගැන අපේ විශ්වාසයක් නෑ


උතුරු පළාත මේ වනවිට නිහඬව පැවතුණත් උතුරේ දේශපාලන නියෝජිතයන්ගෙන් ආණ්ඩුවට එල්ලවන තර්ජනවල අඩුවක් දක්නට නැත. උතුරු පළාතට ආණ්ඩුවෙන් කුඩම්මාගේ සැලකිලි ලබාදෙන බව උතුරේ දේශපාලනඥයන්ගේ මතය වුවත් ප්‍රමාණවත් සහනාධාර ලබා දෙන බව ආණ්ඩුව පවසයි.


උතුරේ දැන් ප්‍රධානතම මාතෘකාව වී ඇත්තේ අතුරුදන් වූවන් පිළිබඳ ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි. මේ පිළිබඳව දිගින් දිගටම ආණ්ඩුව බලපෑම් කරන බව උතුරේ දේශපාලනඥයෝ පවසති. මේ පිළිබඳ උතුරේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු දරන අදහසයි මේ.


උතුරේ අතුරුදන්වූවන්ට සිදුවුණේ කුමක්ද යන්න පැහැදිලි ප්‍රකාශයක් ආණ්ඩුව ලබාදිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ඔවුන් මියගියේද නැතිනම් ඔවුනට සිදුවුණේ කුමක්ද යන්න ගැන තවමත් ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් කර නැතැයි ඔහු චෝදනා කරයි. උතුරේ ජනතාව මේ පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කරන අතර දැනට වසර ගණනක සිට ඔවුන් මේ පිළිබඳ පසුතැවිල්ලෙන් පසුවෙන බවයි ඔහු සඳහන් කරන්නේ.


“අපි මේ ගැන ආණ්ඩුවට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළා. ආණ්ඩුව පැහැදිලි පිළිතුරක් මෙතෙක් ලබාදී නැහැ. අපි ආණ්ඩුවට බලකරන්නේ ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ලබා දෙන්න කියලයි. දැන් බලන්න අතුරුදන්වූවන්ගේ කාර්යාලයක් පිහිටුවන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වුණා. තවමත් ඒ පිළිබඳව ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ හමුදාවට බාර වූ උතුරේ තරුණයන්ට සිදුවුණේ කුමක්ද යන්න තවමත් පැහැදිලිව සඳහන් කරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ඔවුන් මියගියා නම් මියගිය බවට ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. එතකොට ඔවුන් ඔවුන්ගේ ආගම්වල චාරිත්‍ර අනුව කටයුතු කරයි. දැන් කිලිනොච්චියට යනකොට අපිට පේනවා අතුරුදන්වූවන්ගේ පවුලේ ඥාතීන් දිවා රෑ නොබලා වාඩිවෙලා ඉන්නවා. 60 දෙනෙකුට වැඩි පිරිසක් පින්නේ, දහවල් කාලයේ රැඳී සිටිනවා. තමන්ගේ පවුලේ අය ගැන සිතසිතා ඔවුනට දැන් නොයෙක් රෝග තිබෙනවා. කවුද ඔවුන්ගේ වගකීම බාරගන්නේ. ආණ්ඩුව ඒ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නෑ. ආණ්ඩුවේ වගකිව යුතු නිලධාරින් ඒ පිළිබඳ සොයා බලන්නැතුව මග හැරියම කොහොමද ඔවුන්ගේ ගැටලු විසඳන්නේ. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඒ ජනතාව හමුවෙලා පැහැදිලි ප්‍රකාශයක් කරන්න කියලා. :ධඵගඡග* අතුරුදන්වූවන් සොයා බලන කාර්යාලය පිහිටුවන්න නීතියක් ගෙනාවා. නමුත් අද වෙනකම් ඒකෙන් වැඩක් නැහැ. මිනිසුන්ට ගිහින් කියන්න තැනක් නැහැ. අප දන්න විදිහට ඒ කාර්යාලයේ නිකම් ලියාගන්න එක විතරයි කරන්නේ. වැරදි කරපු අයට විරුද්ධව කිසිම දඬුවමක් දෙන්නේ නැහැ. ඒ බලය ඒ ගොල්ලන්ට දීලා නැහැ. මේ ගැන උතුරේ දේශපාලනඥයන් හැටියට අපි ආණ්ඩුවට දැනුම් දෙනවා. සැම අවස්ථාවකම ආණ්ඩුවෙත් වගකීම ඒ පිළිබඳව සොයා බලන එක. ඒ කාර්යාලය පිහිටුවලා ඒ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනෑ.


දැන් බලන්න පරණගම කමිටුව වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක අද වනතුරු විවෘත කරලා නැහැ 19,000 පමණ ජනතාවක් ගිහිල්ලා අතුරුදන්වූවන් ගැන කරුණු පැහැදිලිව ඒ කමිටුවට ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ මෙහෙමයි තිබෙන්නේ කියලා ඒ ජනතාව දැනුම්වත් කළ යුතුයි. ඒ වාර්තාව විවෘත කරන්නේ නැහැ. ඒ වගේ දේවල් නොකරන නිසයි උතුරේ ප්‍රශ්න ඇති වෙන්නේ. මම උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා හැටියට ආණ්ඩුවට බලපෑම් කරනවා දිගින් දිගටම. අවස්ථා කිහිපයක දීම අපි කථා කරලා තිබෙනවා. ඒ වුණාට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මදි බවයි අපට හැඟෙන්නේ. අපි මේ ආණ්ඩුවෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වුණා. නමුත් හුඟාක් ප්‍රමාදයි. හැබැයි විදෙස් තානාපති කාර්යාලවලට මම දැනුම් දීලා තිබෙනවා මෙහි ඇත්ත තත්ත්වය. අපේ ප්‍රශ්න මෙන්න මේවයි කියලා අපි ඒ රටවල නියෝජිතයන්ට කරුණු ඉදිරිපත් කරනවා.


දැන් බලන්න උතුරේ සංවර්ධන කටයුතුවලට මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණවත් නැහැ. අපිට ලබා දෙන්න නියමිත මුදලවත් හරි ආකාරව ලැබිලා නැහැ. ඒ නිසා සංවර්ධන කටයුතු බොහොමයක් අඩාල වී තිබෙනවා. ඒ කොන්ත්‍රාත් කරුවන්ට මුදල් ගෙවීමට නොහැකි නිසා ඒ කටයුතු නවතා දමා තිබෙනවා. මෙන්න මේක තමයි උතුරේ තත්ත්වය.


උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ නම් උතුරේ සිවිල් පරිපාලනයට බාධා එල්ල කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශයක් කළේය. “අපි ඉල්ලන්නේ උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට රජය ක්‍රියා කළ යුතුයි. නැතිනම් අපි සිවිල් පාලනයට බාධා කරනවා. ආණ්ඩුව ගැන අපේ විශ්වාසයක් නැහැ. හැමදාම අපිව රවට්ටනවා.

ආණ්ඩුව කෙරේ අපි ගොඩාක් බලාපොරොත්තු තැබුවා. ඒත් දැන් ඒ සියල්ලම බිඳවැටිලා තිබෙනවා. තවදුරටත් ආණ්ඩුව අපිව රවට්ටනවා නම් අපි ආණ්ඩුවේ ක්‍රියා කලාපයට බාධා කරනවා. උතුරේ අවතැන්වූවන්ගේ ගැටලුවට තවමත් විසඳුමක් නැහැ. ඒ වගේමයි උතුරේ හමුදාව අත්පත් කරගෙන ඇති ඉඩම් තවම ඒවායේ හිමිකරුවන්ට ලබාදිලා නැහැ. අපි ආණ්ඩුවට බලපෑම් කරන්නේ වහාම මේ පිළිබඳ අවශ්‍ය පියවර ගන්න කියලයි. එසේ නොකළහොත් ආණ්ඩුවට අපි මීට වඩා බලපෑම් කරන්න දෙවරක් සිතන්නේ නැහැ.


මේ අතර ආණ්ඩුව කෙරෙහි තමන් තුළ කිසිදු විශ්වාසයක් නැතැයි යාපනය දිස්තික් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ප්‍රකාශ කරයි. මැතිවරණයට පෙර ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුකරලා නැහැ. මැතිවරණයට කලින් ජනාධිපතිතුමා පොරොන්දු වුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒත් ඒක තවමත් ඉටුකරලා නැහැ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය පවරනවා කිව්වා. ඒකත් ඉටුකරලා නැහැ. අපි මේ ආණ්ඩුව බලයට පත් කරන්න හුඟාක් වෙහෙස මහන්සි වුණා. ඒත් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මදියි. ඒක නිසා ආණ්ඩුව ගැන අපේ කිසිදු විශ්වාසයක් නැතැයි අඩෙක්කලනාදන් මහතා පැවැසීය.


කෙසේ වෙතත් උතුරේ දේශපාලන නියෝජිතයන්ගෙන් ආණ්ඩුවට එල්ලවන බලපෑම්වල අඩුවක් දක්නට නොලැබෙන අතර ආණ්ඩුව දක්වන ප්‍රතිචාර පිළිබඳ උතුරේ ජනතාව මෙන්ම දේශපාලන බල අධිකාරයද බලාපොරොත්තුවෙන් සිටියි.

සටහන 
නිශාන්ත කුමාර බණ්ඩාර