ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න: ඒත් ඇවිත් ආණ්‍ඩුව අල්ල ගත්තා


කාලීන දේශපාලන තත්ත්වය පිළිබඳ මේ සාකච්ඡාව අමාත්‍ය දුමින්ද දිසානායක සමඟයි.  


ඡන්දෙට මුහුණ දුන්නට වඩා අමාරුයි නේද ඡන්ද ප්‍රතිඵලයට පස්සෙ ඇතිවෙලා තියෙන තත්ත්වයට මුහුණ දෙන එක?  


එහෙම අමාරුකමක් නෑ. මේ මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුව සැලෙන්න ඕනෑ ප්‍රතිඵලයක් නෙවෙයි. අපේ රටේ මැතිවරණ හතරක් තියෙනවානේ. මේක එ් අතර තියෙන පුංචිම ඡන්දෙ. පළාත් පාලන මැතිවරණයක ප්‍රතිඵලයක් උඩ ආණ්ඩුවක් තිගැස්සෙන්න අවශ්‍ය නෑ. විපක්ෂය පැත්තෙන් ගෙනාපු කතාවලට තමයි දැන් ආණ්‍ඩුව සැලිල ඉන්නේ. විපක්ෂය හැමදාම එක එක කතා කියනවා. ඇත්ත වගේම බොරුත් කියනවානේ විපක්ෂය. විපක්ෂයේ අය බොරු මතයක් ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා. අපිත් ඒ උත්සාහයට අහුවෙලා වගේ කියලයි මට හිතෙන්නේ.  


ඒ අයගේ උත්සාහයට ඔබලා අහුවෙලා කියන්නේ. ඔබේ පාර්ශ්වය දුර්වලයි කියන එක නොවෙයිද?  


අපි අතරේ ඇතිවුණු අසමගිය නිසා එකට වැඩ නොකිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මම මේක දකින්නේ. අපි මීට වඩා මේ ගැන හිතන්න තිබුණේ මං හිතන්නේ.  


ඇත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකක්ද වෙන්නේ.  


අපි 2005 ඉඳලා 2015 වෙනකම් අවුරුදු දහයම පක්ෂයක් ගැන නොවෙයිනේ කතා කළේ. ඒ කාලය පුරාම අපි කතා කළේ මහින්ද රාජපක්ෂ ගැන. වතුර ටික දුන්නත් ලයිට් ටික දුන්නත් පාර හැදුවත් රස්සා දුන්නත් කිව්වෙ ඒව මහින්ද රාජපක්ෂගෙ කියලනේ. එතුමා තමයි මේක දෙන්න කිව්වෙ කියලනේ හැමෝම කිව්වෙ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හිතන්න පටන් ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂ සභාපතිත්වයට පත්වුණාට පස්සේ. අද මෛත්‍රීපාල සිරිසේන හැම තැනම නම ගහගන්න යන්නේ නෑ. රටට වැඩ කරනවා. හැබැයි ඒවා ආණ්‍ඩුවෙන් කරන වැඩ විදියට යන්නේ. තනි පුද්ගලයෙක් ඉස්මතුවීමක් නෑ. අපි කාලයක් තිස්සේ ජනතාවගේ ඔළුවෙ එක පුද්ගලයෙකුගෙ නම විතරක් හදපු එක වෙනස් කරන්න කාලයක් යාවි. ඒ ප්‍රශ්නය තියෙනවා.  


මහින්ද රාජපක්ෂලගෙ වේදිකාවල තදින්ම ආණ්‍ඩුවට ගැහුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්‍ඩුවෙ ඉන්න එකට දෝෂාරෝපණය කළා. මේක තමයි ඒ විපක්ෂයේ සටන් පාඨය වුණේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවෙ සටන් පාඨය වුණේ මොකක්ද අපේ වේදිකාවෙ කතා කළෙත් ඒ ටිකමයිනේ. මේකෙ තේරුම මොකක්ද? රාජපක්ෂ කඳවුර ආණ්ඩුවෙ හොරු ඉන්නව කියද්දි අපිත් කිව්වේ ඒකමනේ. බඩු මිල වැඩියි කියද්දි අපිත් කිව්වෙ ඒකමයි. ඉතිං ජනතාව අතරමං වුණා. ජනතාවට ආණ්ඩුව පැත්තට එන්න හේතුවක් නෑ කියලා අපි කරපු කතාවලින් තමයි හේතු සැපයුවෙ.  


ඇයි ඒ විදියට පොට වරද්ද ගත්තේ.  


මේක පොට වරද්ද ගැනීමක් නොවෙයි. පොට වැරැද්දුවා. මේ පොට වරද්දගැනීම අපි හැමදෙනාම කළේ නෑ. දුමින්ද දිසානායක පොට වරද්දගෙන ඒ වැරැද්ද කළේ නෑ. අපේ පක්ෂයේ ගොඩක් අය අතින් ඒ වැරැද්ද සිද්ධ වුණා. අපේ රටේ දේශපාලන රැල්ලේ ජනප්‍රිය වෙන්න නම් කාටහරි පලු යන්න බණින්න ඕනෑ. එහෙම කළාම ඡන්ද ලැබෙනවා කියලනේ හැමෝම හිතාගෙන ඉන්නේ. ආණ්ඩුවෙ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරද්දි ඒ පැත්තට ඡන්දෙ දෙන්නෙ නෑනේ මිනිස්සු. අපේ අය කරගත්තු ලොකුම වැරැද්ද ඒක. කවුරු ආණ්ඩුව විවේචනය කළත් ජනතාව පාඩමක් ඉගැනුවේ සමස්ත ජාතික ආණ්‍ඩුවටමයි.  


ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇඩ්‍රසුත් නැති වුණානේ. ඒකෙ වගකීම මහලේකම්වරයා විදිහට ඔබ දැන් අරයගෙ මෙයාගෙ කරේ එල්ලන්න හදනවා කියලා සමහරු චෝදනා කරනවා.  


මේ ප්‍රතිඵලයේ වගකීම අපි සියලු දෙනාම බාර ගන්න ඕනෑ. ඒකෙන් කාටවත් ගැලවෙන්න බෑ.  


මහලේකම්වරයා හැටියට දුමින්ද දිසානායකට වැඩි වගකීමක් තියෙනවානේ.  


මම මගේ වැඩ කොටස ඉහළින්ම ඉටු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මහලේකම්වරයා විදියට මමත් සන්ධානේ මහලේකම්වරයෙක්. අපිට කරන්න පුළුවන් අපිට පැවරුණු වගකීම අකුරටම ඉටු කළා. මේ මැතිවරණයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න මැතිවරණ මෙහෙයුම් කමිටුවක් හැදුවා. ඒක කළේ‍ දුමින්ද දිසානායකගෙවත් මහින්ද අමරවීරගෙවත් ඕනෑකමට නොවෙයි. පක්ෂයෙ එකක් කතා කරලා මධ්‍යම කාරක සභාවේ සාකච්ඡා කරලා. තීන්දුවක් අරගෙන තමයි මේ කමිටුව පත් කළේ. මේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට වෙනම මාධ්‍ය කමිටුවක් ඇතුළත් වුණා. තවත් කමිටු කීපයක් අඩංගු වුණා මේකට. ඒකමිටුවලට වෙන වෙනම වගකීම් පැවරිලා තිබුණා. මේක ටීම් වර්ක් එකක් විදියට තමයි අපි කළේ. එක පුද්ගලයෙක් පුම්බන ප්‍රතිපත්තියක් තවදුරටත් නැති නිසා තමයි එහෙම කටයුතු කළේ‍. අපි වැඩ බෙදාගෙන කළේ. ඒක නිසා මැතිවරණයේ ප්‍රතිඵලයේ වගකීමත් හැමදෙනා අතරෙම බෙදිලා යනවා. ඒ වගේම ඔය කමිටුවල ඉඳපු කවුරුත් දන්නවා තමන්ගේ අතින් හරිහැටි වගකීම ඉටුවුණාද නැද්ද කියලා  


ෙතාග ගාණට කමිටු පත්කළාට ප්‍රතිඵල අන්තිම සවුත්තුයි. මොකක්ද ඔය කමිටු කරලා තියෙන්නේ එතකොට?  


ඒක කමිටුවල වරදක්ම​ නෙවෙයි. කමිටු කියන්නේ මැතිවරණය මෙහෙයවන්න හදපු එකක්. මැතිවරණ මෙහෙයුම් කමිටුවකට මැතිවරණ දිනවන්න පුළුවන් කියලා එකක් නෑ. එහෙනං රටේ දේශපාලනයක් ඕනෑ නෑ​ෙන්. මේ ඡන්ද ප්‍රතිඵලයට මැතිවරණය මෙහෙයුම් කමිටුවල ක්‍රියාත්මක වුණු ආකාරයට වඩා රටේ දේශපාලනයේ අවුල තමයි බලපෑවේ. ජාතික ආණ්‍ඩුවක් විදියට අපි කටයුතු කරපු විදියේ වරදක් තියෙනවානේ. ඒවයි ඡන්ද ප්‍රතිඵලයට බලපෑවේ. මේ අවුරුදු තුනේ අපි වැඩ කරපු විදියටයි ප්‍රතිඵලය ආවේ. මැතිවරණ මෙහෙයුම් කමිටුවට සක්කරය ආවත් ඒක වෙනස් කරන්න බෑ.  


අපි 2015 වේදිකාවෙ කතා කළෙත් හොරකම් වංචා දූෂණ නැති කර ගන්න ඕනෑ. ඒ වගේම මේ මැතිවරණ වේදිකාවෙත් අපි කතා කළේ ඒවමයි හොරු නැති රටක්. දූෂණ නැති රටක් ගැන තමයි එදත් කළේ. ඒකම තමයි මේ සැරෙත් කතා කළේ. ඉතිං ජනතාව කල්පනා කළා හැමදාම ඒකම දේ කතා කරනවා නම් ආණ්‍ඩුව මොකක්ද මෙච්චර කල් කළේ කියලා.  


ඉතිං හොරු අැල්ලුවෙ නැතුව හුරතල් වෙච්ච එකනෙ ඔය ටික කර ගත්තේ.  

 

මහලේකම්වරයා විදියට මං ගැන පක්ෂයේ අය පසුගිය කාලේ විවිධ කතා කිව්වා. ඩිලාන් පෙරේරා එහෙම දිගටම කතන්දර කිව්වා. මම ඒවට උත්තර දෙන්න ගියේ නෑ. ඒත් මම එහෙම ඉන්න මේ අය තව තව දේවල් කියනවා. මේ අය එකම දේ දිගටම කියද්දී බොරුවක් වුණත් ඇත්ත කියලා රටට පේන්න පුළුවන්. ඒකයි මම තවත් කරබාගෙන ඉන්නෙ නැතුව මගේ පැත්තෙන් කියන්න තියෙන දේ කිව්වෙ.


ඒ පැත්තෙ අකාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ආණ්‍ඩුවක් විදියට අපේ අතින් වැරැද්දක් වෙලා තියෙනව නම් එ්ක අපි පිළිගන්න ඕනෑනේ. හොරු ඇල්ලීම ප්‍රමාදවීම ගැන ඔබට වඩා මට ප්‍රශ්නයක් තියෙනවා. අපි 2015 ආණ්‍ඩුවෙන් එළියට බැහැලා ආවේ ජීවිත අවදානමක් තියාගෙන. ඒ ඇවිත් අපි රටට හෙළි කළා ඒ ආණ්‍ඩුවෙ හොරකම්. ඒවා විමර්ශනය කරනවා කියලා අපි කව්වා. 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ රටේ හොරකම් වංචා දූෂණ නැතිවෙයි කියලානේ අපි කිව්වේ. ඒත් අපි කියපු දේ හරියටම සිද්ධවුණේ නෑනේ.  


මම දැනුත් යෝජනා කරන්නේ මේ හොරු අල්ලන වැඩේ එක එක්කෙනාගේ කරේ ගහන්නේ නැතුව හරියට බාර අරගෙන කරන්න කියලා. මේ ආණ්ඩුව පත්වෙලා. දෙවෙනි තුන්වෙනි කැබිනට් රැස්වීමේදී මම කෙළින්ම ජනාධිපතිතුමාගෙනුයි අගමැතිතුමාගෙනුයි අැහුවා. හොරු අල්ලන වැඩේ වගකීම කවුද අරගන්නේ කියලා. අරලියගහ මන්දිරේ තමයි එදා කැබිනට් රැස්වීම තිබුණේ. දෙන්නම කිව්වේ දෙන්නම ඒකට මැදිහත් වෙන්නේ නෑ කියලා. මම ඇහුව දෙන්නම මැදිහත් වෙන්නෙ නැතිනම් කවුද මේක මෙහෙයවන්නේ කියලා. ඒක මෙහෙම ඇදි ඇදී ආවා. දැන් ඒකෙ ප්‍රතිඵල පේනවනේ. මම දැන් යෝජනා කරනවා හොරු අල්ලන වැඩේ නායකත්වය ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගන්න කියලා.  


ආණ්‍ඩුවෙ නායකයෙක් හොරු එක්ක ඩීල් එකක් අරගෙන කියලා කියවුණා. ඒක නේද අවුරුදු තුනම තිස්සේ මේ ඔප්පු වුණේ.  


ආණ්‍ඩුව ආවේ හොරු අල්ලන්න. ඒත් හොරු ඇවිත් ආණ්‍ඩුව අල්ල ගත්ත කියලා කතාවක් සමාජයේ පැතිරිලා ගියානේ. ඒ කතාව සහතික ඇත්ත. ඒක තමයි වුණේ. 2015 මැතිවරණ වේදිකාවේ මෛත්‍රීපාල මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි දෙන්නම කිව්වෙ එකම සටන් පාඨය. ඒ හොරකම් දූෂණය ගැන. දෙන්නටම වගකීමක් තිබුණා. ඒ පොරොන්දු ඉටු කරන්න. දෙන්නගෙම අතින් අතපසුවීම් වෙලා තියෙනවා. දැන්වත් ඒක නිවැරදි වෙන්න ඕනෑ.  


ඡන්ද ප්‍රතිඵලය අාවට පස්සෙ දුමින්ද දිසානායකයි සුසිල් ප්‍රේමජයන්තයි අැරගන්නවා අපි දකිනවා.  


අපේ පක්ෂ අභ්‍යන්තරයේ කිසිම අර්බුදයක් නෑ. අපි අතර කිසිම ප්‍රශ්නයක් නෑ. මාධ්‍යය මේ අපි අතරෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙන්නන්න හදනවා වගේ මට පේන්නේ. මහලේකම්වරයා විදියට මං ගැන පක්ෂයේ අය පසුගිය කාලේ විවිධ කතා කිව්වා. ඩිලාන් පෙරේරා එහෙම දිගටම කතන්දර කිව්වා. මම ඒවට උත්තර දෙන්න ගියේ නෑ. ඒත් මම එහෙම ඉන්න මේ අය තව තව දේවල් කියනවා. මේ අය එකම දේ දිගටම කියද්දී බොරුවක් වුණත් ඇත්ත කියලා රටට පේන්න පුළුවන්. ඒකයි මම තවත් කරබාගෙන ඉන්නෙ නැතුව මගේ පැත්තෙන් කියන්න තියෙන දේ කිව්වෙ. අපේ පක්ෂයෙ ජ්‍යෙෂ්‍ඨයො කියාගන්න අය තමන්ට දීපු වගකීම හරියට ඉටු කළාද කියලා හිතලා බලන්න ඕනෑ. මේ මැතිවරණ පරාජයේ වගකීම් එක්කෙනෙකුගේ කරේ එල්ලන්න මේ ජ්‍යෙෂ්‍ඨයි කියා ගන්නා අය සූදානම් වෙනවා නම් අපිටත් ඇත්ත කියන්න වෙනවා. ඒ නිදහස් ප්‍රකාශ කිරීමෙන් ඒ ප්‍රශ්නය ඉවරයි. දැන් අපි කවුරුවත් අතර ආරවුලක් නෑ, දැන් මාධ්‍යය මේක දිගින් දිගටම ඇදගෙන යනවා.  


හැබැයි සුසිල් ප්‍රේමජයන්ත කිව්වෙ මැතිවරණ මෙහෙයුම් කමිටුවෙ ප්‍රධානියා විදියට තමන් නමට විතරයි හිටියේ කියලා. බලයක් තිබුණෙ නැතිලු. අන්තිම මොහොතේ ඒ වගකීම එයාගේ ඇඟේ ගැහුවා වගේ කතාවක් සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ?  


ඇයි එහෙමනම් එතුමා ඒක බාරගත්තේ. කරන්න බැරි බව තේරුණා නම් මොකටද බාරගත්තේ. දැන් එතුමා ඒ කතාව කියලා වැඩක් නෑ. ඒක බාරදෙන කොටනේ ඒක තියන්න තිබුණේ. පරිණතයි කියලා තියෙන්නේ වයසට යන එකම නොවෙයිනේ. මේ අය ඇත්තටම දේශපාලනිකව පරිණතයි නම් ඒක ඔප්පු කරන්න ඕනෑ.  


පළාත් පාලන ඡන්දයක්නෙ රටේ තිබුණේ ඒත් දැන් වෙන වෙන කතා ඇදගෙන යන්නේ. වෙන පාරක. පළාත් පාලන ආයතන පිහිටුවලා ගමේ නගරයේ එදිනෙදා වැඩ ටික කරන්නේ නැද්ද?  


මාර්තු මාසේ 20 වැනිදා වෙනකම් මේකට මැතිවරණ කොමිසමෙන් කල් ඉල්ලලා තියෙනවා. මාර්තු 20 වෙද්දි සභාවල් ටික පිහිටුවලා එ් වැඩ ටික කර ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. 

 
පොහොට්ටුවෙ කට්ටිය දැන් ඉන්නේ රටම දිනුවා කියලා වගේ. ඉදිරියේදී ඔබලාට මීටත් වඩා අමාරුවෙයි නේද?  


මේ මැතිවරණ ප්‍රතිඵලය හරිම විකාර ප්‍රතිඵලයක්. මහරගම ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලයෙන් විතරක් වුණත් මේ මැතිවරණ ප්‍රතිඵලයේ විකෘතිභාවය තේරුම් ගන්න පුළුවන්. ඡන්දය ප්‍රකාශ කිරීමේ අවුලක් තියෙනවා. මේ ඡන්ද ප්‍රතිඵලය සීයට සීයක් නිවැරදි යථාර්ථවාදී එකක් නෙවෙයි. මේක මේ වෙලාවෙ ඇතිවුණූ දේශපාලන ප්‍රවණතා උඩ මිනිස්සු ගත්තු තීන්දුවකින් තීරණය වෙච්ච එකක්. මීට කලින් ප්‍රාදේශීය සභා මැතිවරණවලදී කිව්වෙ නෑනේ අගමැතිවරයා පත් කරන්න ප්‍රාදේශීය සභාව දිනවමු කියලා. මේ මැතිවරණයේදී පොහොට්ටුවෙ උදවිය කිව්වෙ 11 වෙනිදාට මහින්ද රාජපක්ෂ අගමැති කරවන්න ඡන්දෙ දෙන්න කියලා. මේක විකෘතියක්. 2015 අපි බලාපොරොත්තු වුණු සිස්ටම් චේන්ජ් එක සිද්ධ වුණේ නැති එකේ ප්‍රතිඵලයක් තමයි මේ.  


යූ.එන්.පී. එකේ ඇමැති මාරුව විකාරයක් කියලා ඇමැතිවරුම කියනවා. සන්ධානේ ඇමැතිවරුන්ගේ මාරුවක් එහෙමම වෙයිද?  


ඉන්න අයමනේ එහා මෙහා කරන්න වෙන්නේ. පිටින් මිනිස්සු ගේන්න කියලයි මොකෝ කැබිනට් ස​ංශෝධනයක් කියන්නේ ඉන්න අය එහාට මෙහාට කරන එක තමයි.  


ඔබේ කෘෂිකර්ම ඇමැතිකමත් වෙන කෙනෙකුට දෙන්න යනවා කියලා ආරංචියි.  


මම දන්නේ නෑ. මම හම්බවෙන ඇමැතිකමත් කරනවා. මොකක්වත් හම්බවුණේ නැත්නම් ඒත්. කමක් නෑ. මම මේකෙම ඉන්න බලාගෙන ආවේ නෑනේ. 

 
දුමින්දගේ කෘෂි අමාත්‍යාංශයේ බිල්ඩිම් ප්‍රශ්නෙත් සන්ධානෙට ඡන්ද අඩුවෙන්න බලපෑවේ නැද්ද?  


ඒක නිසා සමහර විට ඡන්ද ප්‍රමාණයත් අඩු වෙන්නත් ඇති. මම ඒක දන්නේ නෑ. ඒත් එ්ක මගේ ඕනෑ කමට වෙච්ච දෙයක් නොවෙයිනේ. මම මේක කියලා කියලම ඇතිවෙලා. පාර්ලිමේන්තුවට කෘෂිකර්ම අමාත්‍යාංශය තිබුණු ගොඩනැගිල්ල ඉල්ලුවාම මට නොදී ඉන්න බෑනේ. මේ බිල්ඩිම අරගත්තම මේක අමාත්‍යාංශ්‍යට අවශ්‍ය විදියට සකස් කරන්න කාලයක් ගියා. මේක කුලී ගෙදරකින් තව කුලී ගෙදරකට යනවා වගේ පහසු වැඩක් නොවෙයි. අමාත්‍යාංශ්‍ය සියලු ඒකක වෙනමම මේකේ ස්ථාපිත කරන්න වුණා. මේකට කාලයක් ගියා. මේක දුමින්දගේ තනි තීන්දුවක් නොවෙයි. කැබිනට් මණ්ඩලයේ පොදු එකඟතාවයෙන් මේ හැමදේම සිද්ධ වුණේ. මට මේකට මඩ ගැහුවෙ මේ බිල්ඩිමේ අයිතිකාරයො සබීතා පෙර්රාගේ ස්වාමිපුරුෂයා වීම නිසානේ. සබීතා ජනප්‍රිය නිළියක් වීම කතාවට තවත් අඩුවැඩිය එකතු වෙන්න හේතු වුණා. කට්ටියම ඒ මේක අල්ලගෙන හෝද හෝද මඩේ දැම්මා. මේක ප්ලෑන් කරලා කරපු දෙයක්ද? උපාලි ජයසිංහට හරි සබීතාට හරි මම කිව්වද ඔයලා බිල්ඩිමක් හදන්න ඊළඟ ආණ්‍ඩුවෙන් මම කෘෂිකර්ම ඇමැතිවෙලා ඇවිත් ඔයාලාගේ බිල්ඩිම අමාත්‍යාංශයට ගන්නම් කියලා. විහිළු කතානේ මේවා. හරියට අපිට මඩ ගැහුවේ මම මේක කාලයක් සැලසුම් කරල කරපු වැඩක් විදියටනේ. එහෙනං මම පේන බලන මිනිහෙක් වෙන්න ඕනෑ.

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි