ආණ්ඩුව අනාගෙන ඉවරයි


සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
රාජිත සේනාරත්න  

 

 

  • පැණිය කියන්නේ බොරුවක් කියා කීවේ සුදර්ශනී ඇමැතිතුමිය විතරයි  

 

 

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමග මෙම සාකච්ඡාව රටේ අලුත් තත්ත්වය සම්බන්ධයෙනි.

 

  
ප්‍රශ්නය - කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් ගැන ලෝකයේ කතා වෙනවා. ඔබ හිටපු සෞඛ්‍ය ඇමති ඔබ මොකද මේ ගැන කියන්නේ?  


පිළිතුර - බ්‍රිතාන්‍යයේ පැතිරිලා තියෙන නව ප්‍රභේදය මීට වඩා භයානකයි. මොකද ඒකේ පැතිරීම ඉතා ඉක්මන්. ඒ වගේම ඒකේ රෝග ලක්ෂණ මීටත් වඩා අමාරුයි. බ්‍රිතාන්‍යයෙ ඉන්න මගේ මිත්‍ර වෛද්‍යවරුන් මට කිව්වේ එහෙ තත්ත්වය ඉතා නරකයි කියලයි. මෙන්න මේ නව ප්‍රභේදය කෙසේ හෝ වළක්වා ගත යුතුයි.  


ප්‍රශ්නය - - ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍යය වෙත ගුවන් ගමන් අත්හිටුවන්න රජය තීරණය කරලා?  


පිළිතුර - ඒක ඉතාම හොඳ පියවරක්. මුල් වටයෙදි ආණ්ඩුව ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නෑ. අපි කිව්වම එයාර් පෝට් එක වහන්න, රටම ලොක් ඩවුන් කරන්න කියලා අපිට උසුළු විසුළු කළා. ඒ නිසා තමයි රට මේ තත්ත්වයට පත්වුණේ. මේ තෙවැනි ප්‍රභේදය ඉතාම භයානකයි. ඒ නිසා කිසිම හේතුවකින් රටට ඇතුළුවීමට තිබෙන ඉඩ වැසිය යුතුයි. මට තියෙන ආරංචි අනුව දැනටමත් බ්‍රිතාන්‍යයෙන් ගුවන් යානයක් ඇවිත්. ඒ අය නිරෝධායනයට ලක් කළ යුතුයි. ඔබ කිව්වා වගේම රජය හොඳ තීන්දුවක් අරගෙන තියෙනවා බ්‍රිතාන්‍යයට ගුවන් ගමන් අත්හිටුවන්න. මේ වගේ තද ක්‍රියාමාර්ග ගත යුතුයි. එහෙම නැතිව වයිරසය පැතිරීම වළක්වන්න බෑ.  


ප්‍රශ්නය - විපක්ෂය බලාගෙන ඉන්නෙ නම් ආණ්ඩුව අනා ගනී කියලා...  


පිළිතුර - අපි එහෙම බලාගෙන නෑ. ආණ්ඩුව අනාගෙන ඉවරයි. මුල්ම අවස්ථාවේ අපි කියපුවා පහුවෙලා හරි ආණ්ඩුව කරලා තමයි යම් පාලනයකට ආවේ. හැබැයි එතකොට රෝගය පැතිරිලා ඉවරයි. මෙතැනදි අපේ රටේ පිහිටීම ඉතාම වැදගත්. අපි ඉන්නේ සමකයේ. අපි බැලුවම සමකයෙ තියෙන රටවල වයිරසය පැතිරීම ඉතාම අවමයි. දෙවැනි සාධකය තමයි අපේ රටේ උෂ්ණත්වය. මේක උෂ්ණාධික රටක් මිස ශීත රටක් නොවෙයි. උෂ්ණාධික රටවල මේ වයිරසය පැතිරීම අඩුයි ශීත රටකට වඩා. අනික් කාරණය තමයි අපේ ජල සාන්ද්‍රතාව. මෙන්න මේ සාධක වාසිද‌ායකයි. වයිරසයට එන්න පුළුවන්කම තියෙන්නේ ගුවන් තොටුපොළකින් විතරයි. මේ සියලු වාසි සහගත සාධක තිබියදීත් තමයි ආණ්ඩුව අනාගන්නේ. පළමු රැල්ල එනකොට අපි පැහැදිලිවම කිව්වා ‘‘මේක එකෙන් ඉවර වෙන්නේ නෑ. දෙවැනි රැල්ලක් එනවා’’ කියලා. එතකොටත් අපිට බැන්නා. අපි බලාගෙන හිටියා නොවෙයි. වසංගතයක් වුණාම ඒක හරියට තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න ඕනෑ. දැන් දෙවැනි රැල්ල ඇවිත්. ඒකට මුහුණ දෙන්න ආණ්ඩුව කිසිම සූද‌ානමකින් නොවෙයි හිටියේ.   


ප්‍රශ්නය - නමුත් ආණ්ඩුව කොවිඩ් මර්දන මෙහෙයුමේ දී සාර්ථක බව පේනවා?  


පිළිතුර - ඔබ කොහොමද එහෙම කියන්නේ? පළමු වටයේ දී ඔබට මතක ඇති වසංගතය පිළිබඳව ජනතාව දැනුම්වත් කළේ කවුද? ඒ කිසිම කෙනෙක් වසංගත රෝග විශේෂඥයෝ නොවෙයි. වයිරස් රෝග විශේෂඥයෙක් හිටියෙ නෑ. කවුද හිටියේ? ඖෂධ සංස්ථාවේ සභාපති හිටියා. එයා කොහොමද ඒක කතා කරන්නේ? එයා ස්නායු පිළිබඳ වෛද්‍යවරයෙක්. සීතා අරඹෙපොළ ආවා. එයා ඇස් කන් නාස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. චන්න ජයසුමන කතා කළා. එයා ඖෂධවේදය පිළිබඳ කෙනෙක්. වෛද්‍ය පරිපාලකයෝ කතා කරනවා. වසංගත රෝග විශේෂඥවරු, වයිරස් රෝග විශේෂඥවරුන්ට කිසිම වැඩ කොටසක් තිබුණේ නෑ. ඔවුන්ට තමයි මේ ගැන හරිම අවබෝධයක් තියෙන්නේ. දෙවැනි රැල්ලක් ඇවිල්ලා මුළු රටම හිර වුණාට පස්සේ තමයි අපි දැක්කේ මුල්වරට වසංගත රෝග විශේෂඥයෝ ඉස්සරහට ඇවිත් ඉන්නවා. සෞඛ්‍ය පිළිබඳ කිසි දැනුමක් නැතිව මේක පාලනය කරන්න බෑ. මේ වෙනකොට මරණ සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තියෙනවා. රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිහින්. ඒකෙ නිමාවකුත් නෑ. වයිරසය පාලනය කරන්නෙත් නෑ. දැන් තුන්වැනි රැල්ලක් පිළිබඳ තර්ජනයක් තියෙනවා. මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ කියන ප්‍රශ්නය මතු කරන්න වෙනවා. ආණ්ඩුව එක හොඳ දෙයක් කළා. ඒ තමයි මහජන සෞඛ්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියව ඒ අංශයේ රාජ්‍ය ඇමති ධුරයට පත් කිරීම. හරි පත්වීමක් කියල කළේ ඒක විතරයි. එතුමිය විතරයි කිව්වේ පැණිය කියන්නේ බොරුවක් කියලා.   


ප්‍රශ්නය -ඔබත් පැණිය ගැන දරන්නේ ඒ මතයම ද?  


පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්. මම පිළිගන්න ඕනෑම දෙයක් මම පිළිගන්නේ විද්‍යාත්මකව ඔප්පු කළොත් විතරයි. මොකද මම පිළිගන්නේ විද්‍යාව පමණයි. අවිද්‍යාව මම පිළිගන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාව හද‌ාරපු කෙනෙක් හැටියට මම ඔය අවිද්‍යාව පිළිගන්නෙ නෑ. තවමත් ඔය පැණිය වෛද්‍ය පර්​ෙ‌ය්ෂණ සභාවට එවලා නෑ. මොකද හේතුව එයාට එවන්න බෑ. එයා වෛද්‍යවරයෙක්වත් නොවෙයි. ලංකාවේ ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරයෙක් ඖෂධ පිළිබඳව. ඔහු ඖෂධවේදය සම්බන්ධ මහාචාර්යවරයෙක් කියලත් කියනවා. එයා කියනවා ලෝකයෙ ඇසට නොපෙනෙන බලවේග තියෙනවලු. මේ වගේ අවිද්‍යාත්මක මිනිස්සු ඇමතිවරු වුණාම රටට යන කලදසාව මොකද්ද?  


ප්‍රශ්නය - ඔබලාගේ සමගි ජන බලවේගයට අලුත් ව්‍යවස්ථාවක් හැදුවා?  


පිළිතුර - ඔව් එද‌ා බණ්ඩාරවෙල දි විධායක සභාව කැඳවල ඒ ව්‍යවස්ථාව ඒකමතිකව සම්මත කළා.  


ප්‍රශ්නය - ඒක ව්‍යස්ථාවක් කිව්වට පැටලුණු නුල් බෝලයක් වගේ කියලත් කියනවා?  


පිළිතුර - නෑ ඒක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්. මම කියන්නේ නෑ මේක අංගසම්පූර්ණ ව්‍යවස්ථාවක් කියලා. එහෙම අංගසම්පූර්ණ ව්‍යවස්ථාවක් ඔය මාක්ස්වාදී පක්ෂවලවත් නෑ. පැරැණි පක්ෂවලත් නෑ. අලුත් පක්ෂවලවත් නෑ. නමුත් අද රටේ තියෙන ධනපති පක්ෂවල තියෙන්නේ නායකයාට ව්‍යවස්ථාවෙන්ම සියලු බලතල දීමයි. එහෙම බැලුවම මේ ව්‍යවස්ථාවට අනුව නායකයා පත් කරන්නෙත් විධායක සභාවෙන්. වසරක් පාසා විධායක සභාවට පුළුවන් නායකයා වෙනස් කරන්න. ඒ විතරක් නොවෙයි, නායකයාට දීලා තියෙනවා බලයක් පත්වීම් කිහිපයක් කරන්න එතැනදීත් නායකතුමා කිව්වා ඒ කරන පත්වීම් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද‌ාලා ඒකෙ අනුමැතිය ලැබුණොත් පමණයි පත්වීම් දෙන්නේ කියලා. නායකතුමා කරන පත්වීම් වෙනස් කරන්න කෘත්‍යධිකාරි මණ්ඩලයට බලය තියෙනවා. එහෙම බැලුවම ඒක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්.  


ප්‍රශ්නය -නියෝජ්‍ය නායක ධුරය ව්‍යවස්ථාවේ නැත්තේ ඇයි?  


පිළිතුර - ඔව් එහෙම ධුරයක් නැහැ. ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජය සභාපතිවරු පස් දෙනෙක් ඉන්නවා. ඒ වගේම උප සභාපතිවරු හතර දෙනෙක් ඉන්නවා.  


ප්‍රශ්නය - ඔබේ තනතුර මොකක් ද?  


පිළිතුර - තවම නෑනේ. කාටවත්ම නෑ. මේක තමයි අපි පළමුවරට ව්‍යවස්ථාවක් හදලා ඒ ඒ සමිති සමාගම් ආරම්භ කරන්නේ. පසුගිය මහ මැතිවරණයට අපි තරග කළේ බෝඩ් ලෑල්ලකින්. නමක් විතරයි අපට තිබුණේ. අපට වෙලාවක් තිබුණේ නෑ පක්ෂයක් හදන්න. අපි මාර්තු මාසේ ඉඳලා පටන් අරගෙන දිස්ත්‍රික්ක හයක් ආවරණය කළා. ඒ අතර කොරෝනා වසංගතය ආවා. ගිය සතියේ අපි බදුල්ල දිස්ත්‍රික්කය ආවරනය කළා. ජනවාරි මාසේ ඉඳලා අපි අලුතෙන් පටන් අරගෙන හැම ඡන්ද මධ්‍යස්ථානයකටම අපි ශාඛාවක් හදනවා. දොළොස් ද‌ාහක් විතර ශාඛා සමිති හැදෙනවා.  


ප්‍රශ්නය -චම්පික රණවක ජාතික හෙළ උරුමයේ ඉවත් වෙලා ආවා. ඔහුගේ පැමිණීම ඔබ දකින්නේ කොහොමද?  


පිළිතුර - ඒක හොඳයි. එතුමාට පහුවෙලා හරි තේරුණ එක හොඳයි හෙළ උරුමය වැනි කට්ටිවාදී තැනක ඉඳලා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එන්න හිතුණ එක. එතකොට එතුමාට වුණත් තේරෙනවා ඇති මේ රට ගොඩනගන්නට එක ජාතියකට එක ආගමකට විතරක් අමාරුයි. මේ රටේ සියලුම ජාතීන් සියලුම ආගමිකයන් සියලු දෙනා එකතු කරගන්න වැඩපිළිවෙළක් තුළ තමයි මේ රටට ඉදිරි ගමනක් තියෙන්නේ.  
ප්‍රශ්නය - චම්පික රණවකගේ පැමිණීමත් සමග ඔබේ සමගි ජන බලවේගය තුළ බල අරගලයක් ඇතිවෙලා?  
පිළිතුර - එහෙම කිසිම බල අරගලයක් නෑ. එහෙම කවුරුහරි හිතනවා නම් කුඩා පක්ෂවල ඉඳලා ඇවිත් මහ පක්ෂවල බලය අල්ලන්න එහෙම කට්ටිය මුළු ඉතිහාසය පුරාම අසාර්ථක වුණා. ඉදිරියටත් එහෙම තමයි. කුඩා පක්ෂයක ඉඳලා මහා පක්ෂයක වැඩ කරනකොට අපි තේරුම් ගන්න ඕනෑ එතැන තියෙන්නේ වෙනම සංස්කෘතියක් කියලා. සමහරවිට කෙනෙක් හිතුවොත් කුඩා පක්ෂයක ඉඳලා මහා පක්ෂයකට ඇවිත් එතැන ලොකු වෙන්න එහෙම වෙන්න බෑ.  


ප්‍රශ්නය - මන්ත්‍රී තිස්ස අත්තනායක කිව්වා ‘‘මුස්ලිම් හෝ දෙමළ පක්ෂවලට’’ සමගි ජන බලවේගයෙන් නාම යෝජනා දෙන්නේ නැහැ කියලා.  


පිළිතුර - මම ඕක ඇහුවාම තිස්ස කිව්වා එහෙම නොවෙයි එයා ඒක කිව්වේ කියලා. එහෙම කොහොමද නාම යෝජනා නොදෙන්නේ? අපේ ව්‍යවස්ථාව සම්මත කළාට පස්සේ අපි සමගි ජන සන්ධානය හදනවා. ඒකේ ව්‍යවස්ථාවක් අපි හදනවා. ඊට පස්සෙ අපි සියලුම කට්ටිය එකතු කරනවා. සියලු පක්ෂ එක්කාසු කළාට පස්සෙ අපි කොහොමද කියන්නේ ඒ පක්ෂවලට මුකුත් දෙන්නේ නෑ කියලා. එහෙම කවුද සන්ධානයකට එන්නේ. එහෙම සන්ධානයක් ගෙනියන්නේ කොහොමද? අපේ දෙවැනි අදියර තමයි සමගි ජන සන්ධානය හැදීම. අපි මේ රටේ රාජපක්ෂලාට විරුද්ධ සියලුම බලවේග එකතු කරනවා.  

ප්‍රශ්නය -ඔබලා සමග ඉන්න මුස්ලිම් පක්ෂවල නායකයෝ 20 සම්මත කරන වෙලාවෙදි ‘‘ඩබල් ගේම්’’ එකක් ගැහුවා කියලා ඔබ කියලා තිබුණා.  


පිළිතුර - නායකයෝ කළේ නෑ. අනුගාමිකයෝ තමයි එහෙම කළේ. ඒ නිසා ඒ නායකයන් අපට දැනුම් දුන්නා. ඒ අයට එරෙහිව ගත යුතු සෑම විනය ක්‍රියාමාර්ගයක්ම ගන්න කියලා. ඒ අනුව එහෙම ගිය අයගෙන් අපි නිදහසට කරුණු විමසනවා.  

 

 

 

සාකච්ඡා කළේ -  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්