අ​ෙප්ක්ෂක සහායට ජනපති රට වටේ යයි


  • මෛත්‍රී-රොෂාන් ජනපති සමග එකම කෑම මේසයේ
  • ක්‍රිකට් ක්‍රීඩකයන් අපහසුතාවයට පත් කරන්න එජාපය එකඟ නෑ
  • ආරක්ෂකයන් එපා කියද්දී අගමැති මුල්කිරිගල කන්දේ පඩි නගියි

 

මහ ඡන්දයට තවත් ඇත්තේ හරියටම දින 24කි. තැපැල් ඡන්දය හෙට (13) ආරම්භ වේ. එය ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙන්නේ විවිධ කේෂ්ත්‍රවලට එක් එක් දින වෙන්කර ඇති බැවිනි. මේ නිසාම ඡන්දයේ උණුසුම ද දිනෙන් දින වැඩි වෙමින් තිබේ. මනාප සටන නිසාම පක්ෂ අතර සටනකට වඩා දකින්නට ඇත්තේ අපේක්ෂකයන් අතර මනාප සටනකි. එයද එකම පක්ෂයේ අපේක්ෂකයන් අතරය.


ඉකුත් සතියේ අනුරාධපුරයෙන් පොහොට්ටුවේ ඡන්ද සටනට එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සතිය පුරාද දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යමින් අපේක්ෂකයන්ට සහාය දැක්විය. අනුරාධපුරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ගිය ඉරිදා පොළොන්නරුවට ගියේ ​පොහොට්ටුව ලකුණින් පොළොන්නරුවෙන් තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකිරීම වෙනුවෙනි. පොහොට්ටුව ලකුණින් තරග කරන සමහරු පොදුජන පෙරමුණේ සමහරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. තවත් සමහරු ජාතික නිදහස් පෙරමුණේය. නැතිනම් පිවිතුරු හෙළ උරුමයේ හෝ මහජන එක්සත් පෙරමුණේය. ජනාධිපතිවරයා ඒ සියලු අපේක්ෂකයන්ගේ ජනහමුවලට යන්නේ ඔවුන් සියලු දෙනා පොහොට්ටුවේ අපේක්ෂකයන් ලෙස සලකමිනි.


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මහ මැතිවරණයට පොළොන්නරුවෙන් ඉදිරිපත්ව සිටින්නේ පොහොට්ටුව ලකුණිනි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාය. ඔහු සමග උතුරු මැද හිටපු ඇමැති පේෂල ජයරත්නද පොහොට්ටුවෙන් තරග කරයි. පොදුජන පෙරමුණේ රෝෂාන් රණසිංහ හිටපු මන්ත්‍රීවරයාද ​පොහොට්ටුවෙන් තරග කරයි. ඔහු දැන් පමණක් නොව මෛත්‍රී ජනාධිපති කාළේද මෛත්‍රීට එරෙහිව දේශපාලන කරළියේ සටන් වැද සිටි අයෙකි. මෙවර මහ මැතිවරණ වේදිකාවේදී රෝෂාන් මෛත්‍රීට එරෙහිව එල්ල කරන්නේ දැඩි විවේචනයකි. එසේ තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සතියේ පොළොන්නරුවට ගොස් මෛත්‍රීගෙත් රෝෂාන් රණසිංහගේත් ජනහමුවලට ගියේ කිසිදු වෙනසක් නොපෙන්වමිනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෛත්‍රීගේත් රෝෂාන්ගේත් සිරිපාල ගම්ලත්ගේත් පමණක් නොව දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් තරග කරන සියලු අපේක්ෂකයන්ගේ ජනහමුවලට ගොස් එදින දවසම පොළොන්නරුවේ ගතකළේය.


ජනාධිපතිවරයා ගිය සඳුදා පුත්තලම දිස්ත්‍රික්කයට ගියේද පොහොට්ටුවෙන් තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකිරීම වෙනුවෙනි. කලින් ගිය දිස්ත්‍රික්කවල මෙන්ම ජනාධිපතිවරයා පුත්තලමටද ගොස් අපේක්ෂකයන්ගේ ජනහමුවලට සහභාගි වුවද කිසිදු ජනහමුවකදී කතා පැවැත්වූයේද නැත. ඒ වෙනුවට ජනතාවට ඇති ප්‍රශ්න ඔවුන් අතරටම ගොස් විමසුවේ ඒ සඳහා ක්‍රියාත්මක වීමේ දැඩි වුවමනාවෙනි.


ජනපති පොළොන්නරුවේ


පොළොන්නරුවට ගිය ජනාධිපතිවරයාට දිවා ආහාරය සූදානම් කර තිබුණේ පොළොන්නරුව තානායමේය. ජනාධිපතිවරයා දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ අපේක්ෂකයන් සියලු දෙනාට ද ඒ සඳහා ආරාධනය කළේය. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද රොෂාන් රණසිංහ ඇතුළු සෙසු අපේක්ෂකයෝ ද ජනාධිපතිවරයා සමග එක්ව දවල් කෑම ගත්හ. දේශපාලන පොරපිටියේ ප්‍රතිමල්ලවයන් ලෙස පෙනී සිටින මෛත්‍රීත් රොෂානුත් අසුන්ගෙන සිටියේ එක ළඟ අසුන් දෙකකය. මෛත්‍රී ඉඳගත්තේම කොහොමද රොෂාන් කියමින් ඔහුගේ පිටට තට්ටුවක් ද දමමිනි.


ජනාධිපතිවරයා ගිය බ්‍රහස්පතින්දා කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට ද සහභාගි වූයේ පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ ආරාධනයෙනි. උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, තිලංග සුමතිපාල, ආචාර්ය සරත් වීරසේකර ඇතුළු අපේක්ෂකයන් වෙන වෙනම සූදානම් කර තිබූ ජනහමුවලට ගිය ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාවට ද ආචාර කර ඔවුන් සමග ද සුහද කතාබහක නිරතවීමෙන් අනතුරුව පිටව ගියේය. ඒ කිසිදු ජනහමුවකදීවත් ජනාධිපතිවරයා රැස්වීම් ඇමතුවේ නැත.


ජනාධිපතිවරයා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එක් එක් දිස්ත්‍රික්කවලට යමින් පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ ජනහමුවලට සහභාගි වෙමින් සිටී. ගිය සතියේ ද අගමැතිවරයා දින කිහිපයක්ම කුරුණෑගල ගත කළේ ඔහු තරග කරන දිස්ත්‍රික්කය ද එය නිසාම පමණක් නොව ඔහුත් සමගම එකට තරග කරන පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙනි. කුරුණෑගලට ගිය අගමැතිවරයා රාත්‍රිය ගත කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ කුරුණෑගල වැව රවුමේ පිහිටි නිවසේය. මේ අතර අගමැතිවරයා හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාගේ ඊරියගොල්ලේ පිහිටි නිවසේ පැවැති ජනහමුවකට ද සහභාගි වූයේ ජොන්ස්ටන් ද සමගිනි. අගමැති මහින්ද රැස්ව සිටි පිරිස ඇමතුවේ අනුරයාපාට පමණක් නොව ජොන්ස්ටන්ට ද ලකුණු දමමිනි.


මේ අතර අගමැතිවරයා ඉකුත් සති අන්තයේ හම්බන්තොටට ද ගියේ එහි පැවැති ජනහමු කිහිපයකට ද සහභාගිවීමට තිබූ බැවිනි. අගමැතිවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් මුල්කිරිගල රජමහා විහාරයේ ගල්තලාව මත ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම ද ගිය සති අන්තයේ යෙදී තිබිණි. අගමැති මහින්ද ද එම උත්සවයට ගියේ එය මහින්දගේ ගම ද වූ බැවිනි. මුල්කිරිගල කඳු මුදුනට නැගීමට අගමැතිවරයා සූදානමින් සිටිය ද ආරක්ෂක අංශ ඊට දැඩි සේ විරුද්ධ විය. ඔවුන් කීවේ බුද්ධ ප්‍රතිමාව තැන්පත් කර ඇති තැනට යාමට පඩි 550ක් නැගීමට ඇති බවය. සමහර තැන්වල පඩි නැගීම අපහසු බව ද ආරක්ෂක නිලධාරීහු කියා සිටියහ. ආරක්ෂක අංශවල උපදෙස් මායිම් නොකළ අගමැතිවරයා ඔහෙලා එනවද මට මුල්කිරිගල ගැන කියල දෙන්න. මේක මගේ ගමනේ. මම නිතර යන එන පන්සල යැයි කීවේය. අනතුරුව අගමැතිවරයා කඳු මුදුනටම නැග බුද්ධ ප්‍රතිමාව ද නිරාවරණය කර මල්පූජා කළේය.


මේ අතර අගමැතිවරයා ගිය බ්‍රහස්පතින්දා කෑගල්ල දිස්ත්‍රික්කයට ගියේ පොහොට්ටුවෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජන හමුවලට සහභාගිවීම වෙනුවෙනි. අගමැතිවරයා සමග හිටපු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ද ගියේය. අගමැති මහින්දගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට එක්ව සිටී. ඒ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වෙනුවෙනි. මහින්ද රට පුරා ජනහමුවලට යන නිසා කුරුණෑගල ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් වෙලාව වෙන්කර ගැනීම මහින්දට ගැටලුවකි. එබැවින් මහින්ද වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න ගැටලු විමසන්නට රෝහිත ගිය සතියේ කුරණෑගල ගියේය. ඔහු ජනහමු කිහිපයකට ද ගොස් ජනතාවට කීවේ අගමැතිතුමාට එන්න වෙලාවක් නොමැති නිසා ඔහු වෙනුවෙන් ජනතාව හමුවට තමා පැමිණි බවය.


ගිය බදාදා පැවැති කැබිනට් රැස්වීම අවසන් වීමත් සමග ජනාධිපතිවරයත් අගමැතිවරයත් තවත් විශේෂ කටයුත්තකට සම්බන්ධ වූහ. ඒ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල යන දෙදෙනා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය වෙනුවෙන් ඇමෙරිකාවෙන් ලැබුණ ඇගැයීම් සම්මානය ඔවුන් දෙදෙනා අතට නිල වශයෙන් භාරදීමේ කටයුත්තටය. චිත්‍රපටයේ නිෂ්පාදකවරු තිදෙනෙකි. අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ එම තිදෙනාය. සම්මානය බාරදීමේ අවස්ථාවට ඇමැති බන්දුල ද සහභාගි විය. සරත් කොතලාවලත් තිරිමාදුරත් එවෙලේ ජනාධිපති කාර්යාලයට ගෙන්වා ගත්තේ හදිසියේමය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක්ව සම්මානය ඔවුන් දෙදෙනා අතට පත් කරන අතරේ තිරිමාදුර ඇහුවේ සර් චිත්‍රපටය කොහොමද කියාය. චිත්‍රපටය හොඳයි හැබැයි මම වැඩියෙන්ම කැමති ඔයා අර ආකේඩියා එකේ වතුර වළෙන් නාන එකටයි. මහින්ද පිළිතුරු දුන්නේ හැ​මෝම හිනස්සමිනි. මේ දිනවල චිත්‍රපට කර්මාන්තයේ තත්ත්වය ගැන ද කතාබහට ලක්විය. බන්දුල කීවේ සර් මේ වෙලාවේ කොරෝනා ප්‍රශ්නය නිසා චිත්‍රපට පෙන්වන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒකයි අපි මේ චිත්‍රපටය කලින්ම දැම්මේ යනුවෙනි. 


ප්‍රසන්නට අමරවීරගෙන් ඇමතුමක්


ප්‍රසන්න රණතුංග ගිය සතියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට ද සහභාගි වූයේ අගමැති මහින්ද කළ දැනුම් දීමකට අනුවය. ඔහු එම රැස්වීම්වල දී ද හිටපු ජනපති මෛත්‍රීටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා මහින්ද අමරවීරටත් චෝදනා කළේ සිය සුපුරුදු විවේචනය එල්ල කරමිනි. ප්‍රසන්න දිවා ආහාරය ගනිමින් සිටියේ ඩී.වී. චානක හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේය. ඒ අතරතුර ඔහුගේ ජංගම දුරකතනයට ඇමැතුමක් ආවේ මහින්ද අමරවීරගෙනි. ‘මොකක්ද ඇමැතිතුමා ඔබතුමාලා අපේ ගම්වලටත් ඇවිත් ඔය විදියට අපට පහර දෙනකොට අපි දේශපාලනය කරන්නේ කොහොමදැයි අමරවීර විමසීය. ප්‍රසන්න කීවේ තමා කියන්නේ ඇත්ත බවය. අමරවීර කීවේ තමා මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට කරපු දේවල් ඒ දෙන්නා දන්නා බවය. ඔවුන් නම් තමාට කිසිම දොසක් නොකියන බව අමරවීර කීවේය.
පොහොට්ටු සන්ධානයට සම්බන්ධ එක්තරා පක්ෂයක නායකයකු ගිය සතියේ දකුණු පළාතේ ඡන්ද රැස්වීම් කිහිපයකට සහභාගි වූයේ සිය පක්ෂයේ අපේක්ෂකයකුට සහාය පළ කිරීම වෙනුවෙනි.
ඔහු රැස්වීම අමතන අතරේ එක්තරා අපේක්ෂකයකු ගැන වටින් ගොඩින් චෝදනා එල්ල කළේ පොහොට්ටුවේ ඉහළම අය සම්බන්ධයෙන් ද තරමක විවේචනයක් කරමිනි. ඔහුගේ විවේචනයට ලක්වුණු අපේක්ෂකයා ද පොහොට්ටුවේ ඉහළ අයට ද සම්බන්ධතාවයක් ඇති අයෙකි. පක්ෂයේ නායකයා කතාව කර කොළඹ එන්නටත් පෙර ඔහුගේ කතාව පොහොට්ටු කාර්යාලයටම ලැබී තිබූ බවට ද වාර්තා විය.


ආර්ථිකය ගොඩදැමීම එජාප අරමුණයි


ඩිජිටල් ක්‍රමය හරහා නව අත්හදා බැලීම් සිදු කළ එ.ජා.ප යේ මැතිවරණ මෙහෙයුම ප්‍රසිද්ධ රැලි දක්වාද ව්‍යාප්ත කොට තිබේ. එවැනි රැලි ඔන්ලයින් ක්‍රමය හරහා ජනතාව අතරට ගෙන යාම ද සිදුවෙමින් පවතියි.
“රජයේ සේවකයෝ, විශ්‍රාමිකයෝ හා පෞද්ගලික අංශය ගැනයි අපේ වැඩි අවධානය තියෙන්නේ. ගහෙන් වැටුණු ඒ මිනිස්සුන්ට ගොනා ඇන්නට පස්සේ මේ ආණ්ඩුව ට්‍රැක්ටරයකුත් බෙල්ල උඩින් යවලා. අපි දීපු සහනත් මේ ආණ්ඩුව කපාගෙන යනවා. ඒ මිනිස්සු හා රටේ ආර්ථිකය යළි ගොඩ දැමීම එ.ජා.ප අරමුණයි. ඒ සඳහා ඩොලර් මිලියන 6000 ක් අවශ්‍යයි. මේ ආණ්ඩුවට ඒක හොයන්න කිසිසේත්ම බෑ.”‍ එ.ජා.ප නායකයාගේ විග්‍රහය එබඳුය.


එ.ජා.ප ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසෙමින් තිබෙන අතර නිවාසවලට බෙදාදීම සඳහා සාරාංශගත ප්‍රකාශයක් නිකුත් කෙරෙයි. සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔන්ලයින් ක්‍රමය හරහා ජනතාව අතර යැවීමට ද සැලසුම් කොට තිබේ.


“ආණ්ඩුව රටේ ආර්ථිකය අනාගත්තේ කෝවිඩ් එන්න කලිනුයි. සමහරු මාසෙකට රුපියල් 20,000 ගානේ දෙන්න කතා කළාට දෙන ක්‍රමයක් ගැන පැහැදිලි කර නැහැ. අපි දීපු දේ රැකීමත් අලු‍ත් රැකියා ඇති කිරීමත් ජනතාවට සහන දීමත් අපේ මූලික ඉලක්කයයි. ඒක කරන විදිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැහැදිලි කරනවා. අපේ ක​ාලෙ මධ්‍යම ආදායම් රටක් බවට පත් කළ ලංකාව ලෝක බැංකුව විසින් සුඩානය හා ඇල්ජිරියාව සමග පහතට දාලා. විදෙස් ආයෝජන ගෙන ඒම සහ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවන්න පුළුවන් අපට විතරයි. 2001 දි සෘණ 1.6 වට්ටපු රට අපි ගොඩ ගත්ත හැටි ජනතාවට මතක ඇති.”‍ එ.ජා.ප නායකයා කීවේ සිරිකොතදීය.


2011 ලෝක ක්‍රිකට් ශුරතාව පාවා දුන් බවට මහින්දානන්ද කළ ප්‍රකාශය මෙන්ම ක්‍රීඩකයන් නොව වෙනත් පාර්ශ්ව විසින් එම පාවාදීම සිදුකළ බවට වූ ප්‍රකාශය ද එ.ජා.ප.යේ අවධානයට යොමුව තිබේ.


“ක්‍රීඩාවයි, දේශපාලනයයි අපි කවදාවත් එකට දාලා ක්‍රියා කළේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් අයි.සී.සී එකටයි පැමිණිලි කරන්න ඕනෑ. එයාලා පාවාදීමක් ගැන තහවුරු කළොත් විතරයි ලංකාවේ පොලිසියට මැදිහත් වෙන්න ලැබෙන්නේ. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩකයන් අපහසුතාවයට පත් කිරීම ගැන එ.ජා.ප.ය එකඟ නැහැ.”‍ එ.ජා.ප නායකයා කීවේය.


“අර්ජුන ක්‍රිකට් කැප්ටන් කෙනෙක් නිසාත්, රවි හොඳ ප්‍රේක්ෂකයෙක් නිසාත් ඔවුන්ගේ මත කියන්න පුළුවන්. ඒත් එ.ජා.ප මතය ගැන ඔබතුමා දරන ස්ථාවරය ඉතා නිවැරදියි.”‍ එ.ජා.ප නිලධාරින් කීවේ එවැන්නකි.
බැඳුම්කරය සම්බන්ධයෙන් එ.ජා.ප නායකයා ගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කිරීම ගැනද කතා බහක් ඇති විය.
”‍කලින් මම කීපවරක් උත්තර දීපු ප්‍රශ්න එයාලා ආපහු මගෙන් ඇහුවා. ඡන්දයට අපට මඩ ගහන්නයි ජනතාව අන්දන්නයි මෙවැනි ප්‍රශ්න කිරීම් කරන්නේ.”‍ එජාප නායකයා කීවේ ඉතා සැහැල්ලු‍වෙනි.


එ.ජා.ප.යෙන් මන්ත්‍රීකම්වලට පත්වූ යම් පිරිසක් දුරකතන පිලට එකතුවීම ගැනද බදාදා පැවැති එ.ජා.ප කෘත්‍යාධිකාරියේදී අවධානයට ලක් කෙරිණි. පක්ෂයෙන් බාහිර දේශපාලන කටයුතුවල යෙදෙන සියළු දෙනාට එරෙහිව විනය පරික්ෂණ පැවැත්වීමටත් එහිදි සාධාරණ හේතු ඉදිරිපත් නොකරන සියළු දෙනා ගැන දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් එජාප කෘත්‍යාධිකාරිය තීන්දු කළේය. ජනතාවට සහන වෙනුවට හැම පැත්තෙන්ම බර පටවන මේ ආණ්ඩුවට එ.ජා.ප සහාය ලබා නොදීමටත් එහිදී තීන්දු කෙරිණි.


කොළඹ වරායට ගෙනා දොඹකර තුනක් ගොඩබෑම පමා කිරීමෙන් රටට රුපියල් ලක්ෂ 900 ට වඩා පාඩු වී තිබේ. වරායේ වර්ජනයක් ද දියත් වූ අතර දොඹකර ගොඩබෑම සිදුවූවේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් දොඹකර ගොඩබෑමට මේ ආණ්ඩුව ඉන්දියානු අවසරය ලබාගත් බවටත් ඒවා වරායේ සවිකිරීමට කිසිඳු එකඟතාවයකට පැමිණිමට ආණ්ඩුව අපොහොසත්වී තිබිමත් ගැන එ.ජා.ප අභ්‍යන්තරය තුළ ඉතා ගැඹුරු සංවාදයක් දියත් වී තිබේ.


විශ්‍රාමිකයන්ට යහපාලන රජය ලබාදුන් 15% බැංකු පොලිය 8% අඩු කිරීමට ආණ්ඩුව ගත් තීරණයක් ඇමැති බන්දුල තහවුරු කළ බවත් ඉන්පසු ආණ්ඩුවට එරෙහිව නැගුණු විරෝධතා හේතුවෙන් අගමැති මහින්ද එවැන්නක් නොමැති බවට ප්‍රකාශ කිරීම මහත් ආන්දෝලනයට තුඩු දී ඇති බවටත් එ.ජා.පය තුළ සාකච්ඡා වී තිබේ.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ වැඩි වශයෙන් කාලය ගත කළේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලය. කොළඹ දිස්ත්‍රික්කයේ බල මණ්ඩල ගණනාවක රැස්වීම්වලට සහභාගි වූ ඔහුගේ සතුටට හේතු වූ කරුණක් විය. එනම් බලාපොරොත්තු නොවූ ජනතාවක් එම බොහෝමයක් රැස්වීම්වලට සහභාගි වී සිටීමයි. 


කඩුවෙල බල මණ්ඩල රැස්වීම එහි සංවිධායක බිනර ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම රැස්වීමට භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් රැස්වී සිටියහ. ඒ අතර පෝරේ ශ්‍රී මහා විහාරාධිපති කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ උප ප්‍රධාන සංඝනායක රුක්මලේ ධර්මකීර්ති හිමියන් ද වැඩම කර සිටීම විශේෂත්වයක් විය. රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි භික්ෂුන් වහන්සේට වැඳ නමස්කාර කර ධර්මකීර්ති හිමියන් ගෙන් ද සුවදුක් විමසා සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා සමග බිනර ජයවර්ධන හා දයා ගමගේ යන අපේක්ෂකයෝ ද කඩුවෙල බල මණ්ඩල රැස්වීමට සහභාගි වූහ.


පසුගිය සඳුද‌ා සිරිකොත මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාව පැවැත්වුණි. එහිදී මූලික වශයෙන් සාකච්ඡාවට භාජනය වූයේ පක්ෂය හැර ගිය කණ්ඩායම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී කොළ පැහැය යොද‌ා ගැනීම පිළිබඳවයි. අකිල විරාජ් කාරියවසම් හා රවි කරුණානායක යන හිටපු ඇමැතිවරු මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු ඉදිරිපත් කළහ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් අතර එම ලිපිය කොමිසමට ඉදිරිපත් කිරීමට රවි කරුණානායක මහතා එකඟ විය.


රනිල් වික්‍රමසිංහ සහ රවි කරුණානායක යන මහත්වරුන් සිරිකොත මන්දිරයේදී රජයේ සේවයේ විවිධ ශ්‍රේණිවලට සම්බන්ධ පිරිස් හමුවීම පසුගිය සතියේදී සිදුවිය. ත්‍රිවිධ හමුද‌ාවේ හා පොලිසියේ ද නියෝජිතයෝ මේ අවස්ථාවට සහභාගි වූහ. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රජයේ සේවකයන්ට හිමි වූ වාසි සහගත කරුණු මෙහිදී සහභාගි වූ පිරිස් පෙන්වා දුන්හ. රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ මුදල් ඇමැතිවරයා වශයෙන් තමන්ට අවශ්‍ය වූයේ රජයේ සේවකයන්ට සහන සැලසීමට දෙන ලද පොරොන්දු ඉටුකිරීම බවයි.


ලෝක බැංකු නියෝජිතයන් රවි හමුවේ


ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් කොළඹ මල් පාරේ කිසියම් ස්ථානයකදී රවි කරුණානායක මහතා හමුවූහ. ලෝක අර්බුදකාරී තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂ රජයක මූල්‍ය පරිපාලනය පිළිබඳව මෙම නියෝජිත පිරිස විමසා සිටියහ. ලෝකයේ සියලුම රටවල් බරපතළ මූල්‍ය අර්බුදයකට පත්වෙද්දී ශ්‍රී ලංකාව ඉතාමත් බරපතළ ලෙස මෙම අර්බුදකාරී තත්ත්වයට පත්වන බව පෙන්වා දී ඇති නියෝජිත පිරිස ඒ පිළිබඳව ගන්නා තීරණ විමසා ඇත. එහිදී එක්සත් ජාතික පක්ෂ රජයක් ක්‍රියාත්මක කරන නිවැරදි මූල්‍ය පරිපාලනය පිළිබඳව රවි කරුණානායක මහතා කරුණු පෙන්වා දෙමින් පැහැදැලි කර දුන්නේය.

පොහොට්ටුවේ ආධාරකරුවන් රුවන්ට එක්වෙයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හා හිටපු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හමුවීමට පැමිණි පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත පිරිසක් එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට එක්වීම විශේෂ සිදුවීමක් විය. මේ පිරිසට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු අපේක්ෂකයන් කීප දෙනෙකුගේම කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රුවන් විජයවර්ධන මහතා හා එක්වීම සිදුවිය.


ජාඇල, වත්තල, මීරිගම, අත්තනගල්ල, කිරිබත්ගොඩ ප්‍රදේශවල ජනහමුවලට සහභාගි වූ රුවන් විජයවර්ධන මහතා ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය ගැන කළකිරීමට පත්වී සිටි පක්ෂයට ලැදි දේශපාලන පවුල් ගණනාවකගේම නිවෙස්වලට ගොස් පෞද්ගලිකවම ඔවුන් හමු වී කතා බස් කර සුහදතාවය වර්ධනය කර ගත්තේය.


පසුගිය බ්‍රහස්ප්‍රතින්ද‌ා මහනුවරට ගිය රුවන් විජයවර්ධන මහතා සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තේය.


අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ දේශපාලන පක්ෂවල ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවයි. ඩී.එස්. පරපුරෙන් පැවත එන පිරිසිදු දේශපාලනඥයෙක් වූ රුවන් විජයවර්ධන තරුණ නායකයා පක්ෂයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ.


සජිත් කලාකරුවන් හමුවෙයි


සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමද‌ාස පසුගිය සතියේ කලාකරුවන් හමුවූයේ කෝට්ටේ සෝලිස්  ශාලාවේදීය. එහි ඉහළ මාලයේ කලාකරුවන් හමුවන විට පහළ මාලයේ සමගි ජන බලවේගයේ දුරකතන යෙදවුම් එළිදැක්වීම සංවිධානය කර තිබුණි.


‘කලාකරුවන් මගේ හිතවතුන්නේ. ඒ නිසා මම මුලින්ම කලාකරුවන් හමුවෙලා එන්නම්.’ කී සජිත් කලාකරුවන් හමුවීමට ගියේය.


විවිධ කලා ක්ෂේත්‍රවලට සම්බන්ධ කලාකරුවන් රැසක් සහභාගි වූ මෙම හමුවේදී සජිත් කලාකරුවන් සමග සුහද කතාබහක යෙදුනේ අතීත කතා ද සිහිපත් කරමිනි.


‘77 දී ආණ්ඩුව හදපු වෙලාවේ මගේ පියා කලාකරුවන්ගෙන් සියයට අනූවක් විතර එකතු කළා. ඒ වගේම මමත් කලාකරුවන් එකතු කරනවා.’ සජිත් කීවේ කලාකරුවන් වෙනුවෙන් ප්‍රතිඥාවක් ලබා දෙමිනි. ඒ ප්‍රතිඥ‌ාව හුදු වචන නොවන ලියවිල්ලක් විය.


කලාකරුවන් සමග සුහද කතාබහකත් යෙදුන සජිත් දුරකථන යෙදවුම එළි දැක්වීමට පැමිණියේය. එය සැලසුම් කළ හරීන්, සජිත්ගේ එක පසෙක වූ අතර රංජිත් මද්දුම බණ්ඩාර හා තිස්ස අත්තනායක අනෙක් පස වූහ.


හරීන් දුරකථන යෙදවුම ගැන සජිත්ට පැහැදිලි කළේ තමන්ගේ ජංගම දුරකථනය අතට ගෙන පෙන්වමිනි.
‘තරුණයින් ආකර්ශණය කරගන්න අපිට තාක්ෂණය එක්ක ඉදිරියට යන්න ඕනැ.’ සජිත් එය අගය කරමින් කීවේය.


ඉන්පසුව සජිත් තමන්ගේ ජංගම දුරකතනය අතට ගෙන එම යෙදවුම තමන්ගේ දුරකථනයට බාගෙන එහි ඇති දේ ගැන බලන්නට විය.


සජිත් සෝලිස් ශාලාවට පැමිණීමට පෙර දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදීන් හා තවත් වෘත්තීය කණ්ඩායම් කිහිපයක් සමගි ජන බලවේගයට සහාය ලබාදීමට සජිත් හමු වී තිබුණි.


‘සමගි ජන බලවේගය සමග හැමද‌ාම විවිධ කණ්ඩායම් එකතු වෙනවා. මේ ආකාරයට එකතුවීම අපිට ලොකු ශක්තියක්’ රංජිත් මද්දුම බණ්ඩාර සජිත්ට කීවේය.


‘අපිට විදේශ රටවල සිටින කණ්ඩායම්වලත් සහාය ලැබෙනවානේ.’ තිස්ස විදේශ ශාඛා පිහිටුවීම ගැනත් සිහිපත් කළේය.


‘ප්‍රංශයේ හා ඔස්ට්‍රේලියාවේ කණ්ඩායම් සමගි ජන බලවේගයට සහාය ලබා දීමට පැමිණියා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ශක්තිය අපි ලබාගත යුතුයි.’ සජිත් විදේශ ගත ශ්‍රමිකයින්ට ශක්තියක් වන ආකාරය ගැනත් සිහිපත් කළේය.


මේ අතර සජිත්ගේ යාපනය රැස්වීම් ගැන තිස්ස විමසුවේය.


‘යාපනයේ ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. අනෙක් අය උතුරට ගිහින් එක දෙයක් කියලා දකුණට ඇවිත් තවත් දෙයක් කියන විට මට එකම දේ හැම තැනම කියන්න පුළුවන් වුණා.’ සජිත් සඳහන් කළේය.

 

-ගජබා-