අසූචි ගොඩේ තියෙන සත පහත් දිවෙන් ගන්න දේශපාලකයො අපේ රටේ ඉන්නෙ


ජවිපෙ පළාත් සභා මන්ත්‍රී 
සමන්ත විද්‍යාරත්න   

 

 

දේශපාලන ක්ෂේත්‍රයේ ඇති කුණු මදිවාට පිටරටින් ද කන්ටේනර් පිටින් කුණු ගෙන්වනු ලැබේ. මේ කුණු දේශපාලනය ඇතුළු කාලීන මාතෘකා පිළිබඳ මේ සාකච්ඡාව ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සමගයි.   


රටේ කුණු මදිවට පිටරට කුණුත් රටට එනවා. ජවිපෙ මේ කුණු ගැන වැඩිය සද්ද නෑ කියල සමහරු කියනවා.   


ජේවීපී එක මේ කුණු ගැන ඕන තරම් කතා කරල තියෙනවා. අපි පාර්ලිමේන්තුවෙදි මේ ගැන කතා කළා. විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තියලා විජිත හේරත් සහෝදරයා මේ ගැන අපේ මතය කිව්වා. ඒ වගේම අපේ පරිසර සංවිධානයේ කැඳවුම්කරු විදියට මම මේ ගැන කතා කරනවා. අපි මේ සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් කළා. නොයෙක් සංවිධාන එක්ක එකතුවෙලා. මේ සඳහා මැදිහත් වෙන්න අපි සාකච්ඡා කරමින් ඉන්නේ.   


රටම දැන් කුණු වෙලා තියෙන්නේ. දේශපාලනය කුණු වුණාට පස්සෙ එතනින් පහළ දේවල් ගැන කතා කරලා වැඩක් නෑනේ. කුණු වෙච්ච රටක තමයි අපිට මේ අලුත් කුණු ප්‍රශ්නෙ ගැන කතා කරන්න සිද්ධවෙලා තියෙන්නේ. රටේ කුණු ප්‍රශ්නෙත් විසඳන්න බැරුව එක්සත් රාජධානියේ කුණු ප්‍රශ්නයක් විසඳන්න ලංකාව මැදිහත් කරගත්ත එකේ වැරැද්දක් තියෙනවා.   


අනිත් එක කුණුවලින් පවා සල්ලි එනව නම් ඕනම අසූචි ගොඩක් බදා ගන්න මේ අය සූදානම්. අසූචි ගොඩේ තියෙන සත පහත් දිවෙන් ගන්න පුළුවන් දේශපාලකයො තමයි අපේ රටේ ඉන්නේ.   


මේ අන්තරායකර කුණු තොගය ලංකාවට ගේන්න අදාළ නීතිමය අවසර ලියවිල්ල ගැහුවෙ මහින්ද රාජපක්ෂ කාලෙ 2013. දැන් ඒ අනුව කොළඹ වරායේ කන්ටේනර් ප්‍රමාණයකුත් කටුනායක තවත් ප්‍රමාණයකුත් තියෙනව කියල අපිට දැන ගන්න තියෙනවා. මුළු ප්‍රමාණය කුණු කන්ටේනර් 232ක්. මේ කුණු ලංකාවේ තියන්න බෑ. දැන් මේවා ගෙනාපු තැනකටම ගෙනාපු කට්ටියම ආපහු වහාම යවන්න ඕන. මොකද ලංකාවට ඕනැවටත් වඩා කුණු තියෙනවා.   


ඒ වගේම රටට මේ වගේ අන්තරායකර කුණු තොග ගෙන ඒම ගැන කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඒ එක්කම මේකට සම්බන්ධ සියලු දෙනාට අවශ්‍ය නීතිමය පියවර ගන්න ඕන.   


අයිතිකාරයො නැති මන්දිර ගැන පහුගිය කාලෙ අපිට අහන්න ලැබුණා. ඒ වගේ දැන් මේ කුණු ගෙනාපු කෙනෙකුත් නෑ වගේ. 

 
දැන් ඒක අමුතුවෙන් හෙළිවෙන්න දෙයක් නෑ. ආයෝජන මණ්ඩලය රේගුව වගේ තැන්වල අදාළ සියලු තොරතුරු තියෙනවා. ගෙනාපු අය වගේම ගේන්න ඉඩදීපු අය ගැනත් බලන්න ඕන. ඒවට ඉඩදීපු නායකයින්ට දේශපාලකයින්ට මේකෙන් ගැලවෙන්න බෑ. කවුරුත් මේකට වගකියන්න ඕන. ඒකටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.   


මේ කුණු එක්ක නම් කියවෙන ඇතැම් ප්‍රබල චරිත ජේ.වී.පී. එකට සම්බන්ධ විද්වත් සංවිධාන නියෝජනය කරනවා කියන්නේ ඇත්තද?   


ඔය කුණු සිද්ධිය සම්බන්ධයෙන් නම කියවෙනවනේ කෙනෙකුගේ. එ් අය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ තනතුරුවලත් හිටියා. රතුපස්වල සිදුවීමට අදාළ කර්මාන්ත ශාලාව බේරල දුන්නෙත් රාජපක්ෂලා. ඒක නිසා ඒගොල්ලො ඒගොල්ලො තමයි යාළුවො. එහෙම නැතුව ජේ.වී.පී. එකටවත්, ජේ.වී.පී. එකට සම්බන්ධ වෙනත් සංවිධානයකටවත් කිසිම සම්බන්ධයක් නෑ.   


පාස්කු දින ප්‍රහාරයේ වගකීම පිළිබඳ බෝලය තාම එක එක්කෙනා අතින් අතට පාස්කර කර යනවා.   


ඒකට විතරක් නෙවෙයි දැන් මේ රටේ කිසිම දේකට වගකියන්න කෙනෙක් නෑ. ඔක්කොම පුදුම සුද්දවන්තයො. මේ ආණ්ඩුවත් දුර්වලම, දූෂිතම, අසමත්ම ආණ්ඩුවක් කියලා ඔප්පු කරලා ඉවරයි. මේ ආණ්ඩුව පිළිබඳ ජනතාවට කිසිම විශ්වාසයක් නැත්නම් අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න ජනතාවට වරමක් ඕන.   


අපි මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ඒකට මොකක්ද කළේ. ආණ්ඩුවත් එක්ක ඩීල් දාල ඒක පරාජය කළේ කවුද? රාජපක්ෂලා ආණ්ඩුවත් එක්ක ඩීල් එකක ඉන්නෙ කියන එක හංගන්න දෙයක් නැති බව ඒකෙන් ඔප්පු වුණා. ඒ විශ්වාසභංගයෙන් විශ්වාසය භංග වුණේ ආණ්ඩුවෙ විතරක් නෙවෙයි රාජපක්ෂ කඳවුරෙත් විශ්වාසය භංග වුණා.   


දැන් මේ තත්ත්වයෙන් රට වෙනස් කරන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕන. වෙන විකල්පයක් නෑ. මොකද මේ දෙගොල්ලො තවදුරටත් කඳවුරු දෙකක් නෙවෙයි. මේ එකම කඳවුරක්.   


විකල්පය ජේවීපී කියල ද ඔය නොකිය කියන්නේ?   


නොකියා කියනවා නෙවෙයි කෙළින්ම කියනවා. දැන් තියෙන එකම විකල්පය ජේ.වී.පී. එක විතරයි. වෙන විකල්ප නෑ. දශක හතක් තිස්සේ මේ දෙගොල්ලො සැරින් සැරේ රට පාලනය කරල ඒ හැම වතාවකම තමුන් ඒ වැඩේට නුසුදුසුයි කියල ඕනවටත් වඩා ඔප්පු කරල තියෙද්දි තවත් හෝදන්න දෙයක් නෑනේ ඒකෙ. ජනතාව වරින් වර මේ දෙගොල්ලොම තමයි තේරුවෙ. ජනතාවට ඕන තරම් අත්දැකීම් තියෙනව මේ දෙගොල්ලො ගැන.   


දැන් රටේ ජනතාව අවුරුදු 70වක තමුන්ගේ  අත්දැකීම් පාවිච්චි කරන්න ඕන යහපත් රටක් ගොඩනගන්න. යූ.එන්.පී. ශ්‍රී ලංකා තට්ටු මාරුවට තිත තියන්න දැන් අවස්ථාව ඇවිත්. තව දුරටත් ජනතාව මේ තට්ටු මාරුව ගැනම නම් විශ්වාස කරන්නේ රට තවත් කුණු වෙන එක වළක්වන්න බෑ. දැන් ජනතාවට තීරණයක් ගන්න ඉතාම පහසුයි. ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් මුලින්ම තෝරගන්න ඕන. දැන් ජනතාවට ඉතුරුවෙලා තියෙන්නේ අලුත් අත්හදාබැලීමකට යන්න. එහෙම අත්හදා බලන්න පරීක්ෂාවට ලක් කරන්න කණ්ඩායම් ගොඩක් නෑ. එකම විකල්පයක් විතරයි දැන් තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණත් තවත් සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයකුත් එකතුවෙලා නව ජනතා බලවේගයක් ගොඩනැගුවා. නව සටන් මධ්‍යස්ථානයක් ගොඩනැගුවා.   


පහුගියදා බී.එම්.අයි.සී.එච්. එකේ දී ඒ නව ජන බලවේගය කලඑළි බැස්සා. ජනතාවට දැන් අලුත් උත්තරයක් තියෙනවා. අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. 

 
මේ තියෙන තත්ත්වය කනපිට පෙරළන්න ඔය කියන ජන බලවේගයට පුළුවන් කියලා ජනතාව විශ්වාස කරන්නේ කොහොමද?   


සැබවින්ම පුළුවන්. ඒක අපි දෙන සහිතකය අත්හදා බලන්න පුළුවන් අපිට බලය දීමෙන් පමණයි. අනෙක් කඳවුරු දෙකට සාපේක්ෂව මේ ජන බලවේගයේ සුවිශේෂ වෙනසක් තියෙනවා. රට අගාධයට තල්ලු කරපු කණ්ඩායම සහ රට ගොඩනගන්න පුළුවන් හැකියාවක් තියෙන කණ්ඩායම.   


අපේ කඳවුරේ ඉන්නෙ බලයට පොරකන පාරම්පරික දේශපාලකයො නෙවෙයි. රට පිළිගත් උගත්තු, බුද්ධිමත්තු විශාල ප්‍රමාණයක් අපේ කඳවුර නියෝජනය කරනවා. යහපත් සමාජයක් ගොඩනගන්න පුළුවන් ශක්තියක් තියෙන මිනිස්සු ටික ඉන්නේ අපිත් එක්ක.   


අනිත් කඳවුරු දෙකෙන්ම ජනාධිපති අපේක්ෂක මුහුණු එළියට එමින් තියෙනවා. ඔබේ කඳවුරේ මුහුණ මොකක්ද?   


ඔය මුහුණ අවශ්‍ය වෙන්නේ ජනාධිපතිවරණයට අපි දිගින් දිගටම ඉන්නේ විධායක ජනාධිපතිවරයා එපා කියන තැන. නොවැළැක්විය හැකි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණය එනවා නම් ඒකට අපිටත් මුහුණ දෙන්න වෙනවා. ඒකට අපි ගොඩනගපු මේ පුළුල් පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙක් අපි නම් කරනවා.   


අනිත් පක්ෂවල වගේ අපිට ඒ ගැන වාද විවාද නෑ. අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ රට ගොඩනගන්න මිසක් පවුල ගොඩගන්න නෙවෙයි. ඒකනිසා මුහුණ කවුද කියන එක ගැන වාද භේදයක් අපේ කඳවුරේ නෑ. අනික් පක්ෂවලට තමයි දැන් ඔය මුහුණු ගැන ප්‍රශ්න තියෙන්නේ. යූඑන්පී එකේම මුහුණු හතර පහක් කරළියට ඇවිත් රාජපක්ෂලගෙ මුහුණු කීපයක් ගැනත් කියවෙනවා. ඒ අය අතරෙත් මේ ගැන තියෙන්නේ වාද.   


ඒ කඳවුරු දෙකේම ඔය මුහුණු අතර ගැටුම හෙට අනිද්දා වෙනකොට තවත් උග්‍ර වෙයි. ඒ ආරවුල තවත් වැඩිවෙයි. අපි කැමැතියි ඒ ආරවුලට. මොකද එවැනි ආරවුලක් තමයි රටම ගොඩනගන්න පාර නිර්මාණය කරන්නේ. රට විනාශ කරපු පාර්ශ්ව දෙක අර්බුදවල පැටලෙද්දි තමයි අලුත් විකල්පයකට පාර නිර්මාණය වෙන්නේ.

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි