අවුරුදු තුනහමාරක් තිස්සේ සීමාව ඉක්මවා මම ඉවසුවා


ගිනියම් වූ දේශපාලන කරළිය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කළ සාකච්ඡාවකි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 

ප්‍රශ්නය- අද රටේ ආණ්ඩුවක් නැහැ. අගමැති කෙනෙක් නැහැ. ඇමැති මණ්ඩලයක් නැහැ. මෙහෙම රටකට යන්න පුළුවන්ද? 


පිළිතුර- අගමැති කෙනෙක්, ඇමැති කෙනෙක් නැති වුණාට පැහැදිලිවම රටේ ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසා ඉතා පැහැදිළිව කියන්න ඕන ආණ්ඩුවක් නැතිනම් පාසල් වැහිල තියෙන්න ඕනැ, ඉස්පිරිතාල වැහිල තියෙන්න ඕන. පාරේ බස් නැවතිලා තියෙන්න ඕන. කෝච්චි නැවතිලා තියෙන්න ඕන. තෙල්, විදුලිය, වතුර මේ ඔක්කොම නතරවෙලා තියෙන්න ඕන. නමුත් ඒවා කිසිම ප්‍රශ්නයක් නැතිව ඒ සේවාවන් ඉතාම හොඳින් සිද්ධ වෙනවා. පැහැදිළිවම ආණ්ඩුවක් තිබෙනවා. අගමැති සහ ඇමැතිවරුන්ගේ වැඩ නැවතීමක් කර තිබුණත් සියලුම අමාත්‍යාංශවල වගකීම් ලේකම්වරුන්ට දීලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ ආයතනවල කටයුතු සියල්ල සිද්ධ වෙනවා. 


ආණ්ඩුවක් නැහැ කියන එක දේශපාලන සටන් පාඨයක් විතරයි. 


 

ප්‍රශ්නය-මේ අර්බුදයට මුල ඔබතුමා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර තියෙන ප්‍රශ්නයක්. රනිල් එක්ක තියෙන ප්‍රශ්නයක් මත රට අර්බුදයට ලක් කළා කියලා එල්ල වෙන චෝදනාවෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්ද? 


පිළිතුර- එයත් එක්ක කොහෙද මගේ පෞද්ගලික ප්‍රශ්නයක්. කොහෙත්ම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නෙ ප්‍රතිපත්ති සහ දේශපාලන දර්ශනය පිළිබඳ ප්‍රශ්නයක්. 


රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලන දර්ශනය මේ රටට ඉතාමත්ම අහිතකරයි. ඒ අහිතකර තත්ත්වය ඉතාම භයානකයි. ඒක දේශපාලන ඛේදවාචකයක්. පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ රනිල් වික්‍රමසිංහගෙන් රටට වූ හානිය ඉතාම බරපතළයි. ඔහුගේ ආර්ථික දර්ශනය මේ රටට ගැළපෙන්නෙ නැහැ. ඔහුගේ අන්ත දක්ෂිණාංශික නව ලිබරල් දර්ශනය ලෝකයේ කිසිම රටක නැති දර්ශනයක්. ගෝලීය ආර්ථික දර්ශනයක් විදියට ලෝක සිතියම කොහේ හරි කෙළවරකින් ලංකාව එල්ලන්නයි ඔහු හදන්නේ. අපි කළ යුත්තේ ලෝක සිතියමේ කොහේ හරි කෙළවරකට ලංකාව එල්ලන එක නෙවෙයි. ලෝක සිතියමේ ලංකාවට ලෝකය එල්ලන එකයි අපි කරන්න ඕන. මගේ ප්‍රතිපත්තිය ඒකයි. රනිල් සහ මා අතර තියෙන්නෙ පැහැදිලි ප්‍රතිපත්ති සහ දේශපාලන දර්ශනය පිළිබඳ ගැටුමක්. ඔහු රටට ආදරේ නැති කෙනෙක්. 


 

ප්‍රශ්නය-ඔබ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර දේශපාලන ගැටුම එක්වරම එළියට එන්නෙ කොහොමද? 


පිළිතුර- රනිල්ගෙ සහ මගේ මේ ප්‍රශ්නය හදිසියෙ ඇති වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. පහුගිය අවුරුදු තුන හමාරක කාලය තුළම රනිල් සහ මා අතර ගැටුමක් තිබුණු බව හැම කෙනෙක්ම දන්නවා. මාධ්‍ය තුළ දැක්කා. පත්තරද රූපවාහිනියද ගුවන් විදුලියද මේ සෑම තැනකම මා සහ රනිල් අතර ගැටුමක් තිබුණු බව දැක්කා. ඒකට බොහෝ විවේචන එල්ල වුණා. 


අමාත්‍ය මණ්ඩලය රැස්වන සෑම අඟහරුවාදාම මාධ්‍යවේදීන් බලාගෙන සිටියා කැබිනට් එකෙන් පස්සෙ තියෙන අලුත්ම ගැටුම මොකද්ද කියලා. ඒ තත්ත්වයට රට පත්වුණා. ඒ නිසා මේක මේ හදිසියෙ ඇති වෙච්ච එකක් නෙවෙයි. අපිට නොගැළපෙන දෙයක් සහ ගැළපෙන දෙයක් අතර ප්‍රශ්නයක්. 


තවත් පැත්තකින් ගත්තම රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මගේ ආර්ථික, දේශපාලන දර්ශනය වගේම සංස්කෘතික වශයෙන් තියෙන වෙනසත් ඉතාම බරපතළයි. නොගැළපෙන අසාර්ථක දේශපාලන විවාහයක පිපිරීමක් තමයි රටට දැනිල තියෙන්නෙ. මේක දේශපාලන ඛේදවාචකයක්. මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තා රනිල් වික්‍රමසිංහ. යහපාලන ආණ්ඩු සංකල්පය විනාශ කළා. රට විනාශ කළා. යූඑන්පිය විනාශ කළා. ඔහුගේ දේශපාලන දර්ශනය නිසා මාවත් යම් ප්‍රමාණයකට විනාශ වුණා. අවුරුදු තුන හමාරක් තිස්සේ සීමාව ඉක්මවා මම ඉවසුවා. ඒ නිසා සමහරු මට කොන්ද පණ නැහැ කියලා කිව්වා. සෙවලයා කිව්වා. තීන්දු තීරණ ගන්න බැහැ කිව්වා. වැඩක් කරන්න බැරි මිනිහෙක් කිව්වා. නමුත් මම එහෙම කළේ ඉවසීම කළගුණ සැළකීම සහ මානුෂිකත්වය නිසයි. අවසානයෙ මම පෙන්නුවා මට තීන්දු තීරණ ගන්න පුළුවන් මට පිට කොන්දකුත් තියෙනවා, මම වැරැදි දේට විරුද්ධයි කියලා. 


මම 2014 නොවැම්බර් 21 වැනිදා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ එදා තිබුණු ආණ්ඩුවේ වැරැදිවලට විරුද්ධවයි. ඒ වැරැදිවලට විරුද්ධව එළියට ඇවිත් මම හොඳ රටක් හදන්න යහපාලන සංකල්පය තුළ බොහොම ශුද්ධවූ රාජ්‍ය පාලනයක් බලාපොරොත්තු වුණේ. නමුත් දූෂණය රජවුණා. හොරකම රජවුණා. නාස්තිය, වංචාව, දූෂණය ඉහ වහා ගියා. පාවාදීම් ඇතිවුණා. විදේශීය බලවේගවලට යටවුණා. අපට නොගැළපෙන නුසුදුසු එන්ජීඕ කාරයින්ට ඕන විදියට ආණ්ඩුව නටන්න පටන් ගත්තා. ගෝලබාලයින් අතළොස්සක් එක්ක ඔහු වැඩ කරන්න පටන් ගත්තා. ඔහු කැබිනට් මණ්ඩලය නොසළකා හැරියා. ඔහු සාමුහිකත්වය නොසළකා හැරියා. ඔහු ඉතාම මුරණ්ඩු, ඒකාධිපති ස්වරූපයකට වැඩ කළා. 


ඔහුගේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. යූඑන්පිය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිව ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නෙ කොහොමද? ඔහුගේ නායකත්වය තුළ යූඑන්පිය අවුරුදු 25ක් වැටිලා මිසක් ඔහුගේ නායකත්වය තුළ නැගිටලා නැහැ. යූඑන්පියට කෙනෙක් නැති නිසා 2010 දි ජනාධිපති අපේක්ෂකයා විදියට සරත් ෆොන්සේකා දැම්මා. 2015 දීත් යූඑන්පියට මිනිහෙක් නැති නිසා මාව දැම්මා පොදු අපේක්ෂකයා විදියට. මේ හැම එකෙන්ම පේන්නෙ රනිල්ගෙ අදක්ෂතාව සහ දක්ෂයකුට ගොඩනැගෙන්න යූඑන්පිය තුළ ඉඩ නොදීමයි. 


 

ප්‍රශ්නය- ඔබ මීට පෙර සඳහන් කර තිබුණ රනිල් සහ ඔබ අතර ගැටුම ඇරැඹුණේ පළමු කැබිනට් මණ්ඩලය පත් කිරීමේ සිටයි කියලා. ඇයි ඔඩු දුවන්න කලින් මේ ප්‍රශ්නය විසඳගන්න උත්සාහ නොකළේ? 


පිළිතුර- පසුගිය අවුරුදු තුන හමාරම මම ඒකට උත්සාහ ගත්තා. ඒ ගැන ඇමැති මණ්ඩලය දන්නවා. ඒ වගේම රටත් දන්නවනෙ. මම සමහර දේවල් ආණ්ඩුව ඇතුළෙ කතා කරල බැරි තැන එළිපිට කතා කළානෙ. එළියෙ කතා කරන කොටත් සාමුහිකත්වයක් නැහැ. එකට වැඩ කරන්න බැහැ කියල මට චෝදනා කළානෙ. මම එළිපිට කතා කරන්න පටන් ගත්තෙ ඇතුළෙ කතා කරල ඇතුළෙ සටන් කරල බැරි තැනයි. රටට අහිතකර දේවල් මම කොච්චර නැවැත්තුවද? මොන තරම් වැරැදි විදියෙ අමාත්‍ය මණ්ඩල සංදේශ කැබිනට් මණ්ඩලයට ආවද? ඒවා මම වැළැක්වුවා. ඉතාම බරපතළ වැරැදි රාශියක් ඔහුගෙන් සිද්ධ වුණා. විවිධ විෂයයන්වලදී පළාත් සභා බලතල ආපසු ගන්න යෝජනා කීයක් ගෙනාවද? ඒ වගේම මහ බැංකු කොල්ලයත් එක්ක ඉතාම දූෂිත පුද්ගලයින් ආරක්ෂා කරන වගඋත්තරකාරයෙක් බවට ඔහු පත්වුණා. මේවා පිළිබඳව බොහෝ දේවල් මට කියන්න පුළුවන්. ඒ නිසා හොඳ රටක් හදන්න හොඳ අනාගතයක් හදන්න ඕන නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පුටුවෙන් අයින් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කළේ. 


මම මුලින්ම මේ පුටුවට යෝජනා කළේ කරු ජයසූරිය මහත්තයා. නැතිව මේ රනිල් අයින් කරල මහින්ද රාජපක්ෂ මහත්තයා මම එක පාරටම ගත්තෙ නැහැ. රනිල්ව අයින් කරල අගමැතිකමට කරුව ගන්න ඊට පස්සෙ සජිත් ප්‍රේමදාස ගන්න මේ සියලු දෙනාට ආරාධනා කළා. ඒ සියලු දෙනා බැහැ කිව්වා. ඒකට හේතුව යූඑන්පිය තුළ රනිල්ගෙ තියෙන ඒකාධිපති පාලනයයි. මිනිහෙකුට ඉස්සරහට එන්න දෙන්නෙ නැහැ. තනි පාලනයක් තියෙන්නේ. ආණ්ඩුව තුළත් එයා ඒක කරන්න ගියා. එයාට අමතක වුණා මම ජනාධිපති කියලා. එයා හිතුවා යූඑන්පියේ නායකයා විදියට එයා ආණ්ඩුවෙත් නායකයා කියලා. එයාට වැරදුණු තැන එතනයි. එයා යූඑන්පියේ නායකයා වුණාට ආණ්ඩුවේ නායකයා නොවෙයිනෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආණ්ඩුවේ නායකයා ජනාධිපති. ජනාධිපතිට එයා වැඩ කරන්න දුන්නෙ නැහැ. ඔහුගේ දේශපාලන පක්ෂයේ බලය පෙන්නුවා. 
සීමාව ඉක්මවා යද්දි මට තවත් බලාගෙන ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. තව මට තියෙන්නෙ අවුරුද්දක කාලයක්. ඒ අවුරුද්දක කාලයත් මම ඔළුව පාත් කරගෙන නිවටයෙක් වගේ හිටියනම් මම මේ තනතුරින් යන දවසක රටේ මිනිස්සු කියයි ඔය මිනිහා කොන්ද පණ නැති මිනිහෙක්, මහ සෙවලයෙක්, නිවටයෙක් කියලා. ඔය රටේ නැති ඒවා මට කියයි. මම ගෙදර යන දවසක ඒ ටික අහගන්න මම ලෑස්ති නැහැ. ඒ නිසා තමයි අවුරුදු තුනක් තුන හමාරක් ඉවසලා තව අවුරුද්දක් තියෙද්දි මම කවුද කියන එක පෙන්නුවෙ. මම තීන්දු තීරණ ගත හැකි කෙනෙක්. නිවැරැදි දේ කරන කෙනෙක්. වැරැදි දේට විරුද්ධ කෙනෙක්. දූෂණයට, වංචාවට විරුද්ධ කෙනෙක් කියල මම රටේ ජනතාවටත් පෙන්නුවා. මගේ දේශපාලන ප්‍රතිපත්තියෙ මූලික අංගය දූෂණයට, හොරකමට විරුද්ධවීමයි. මගේ දේශපාලන දර්ශනයෙ එදත් අදත් හෙටත් මූල බීජය එයයි. 


කීප දෙනෙක් එකතුවෙලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කරපු බරපතළ දූෂණ, වංචා, හොරකම් ගැන ​ෙහායන්න ජනාධිපති කොමිසමක් පත් කරනව කියල මම මීට පෙර කිව්වා. ඒ කරුණු සියල්ල දැන් හදල තියෙනවා. ඒ ලිපිගොනු හදල තියෙනවා. රනිල් වික්‍රමසිංහගෙ කාලය තුළ දූෂණ ගැන හොයන්න කොමිසම ස්ථිර වශයෙන්ම පත් කරනවා. 


 

ප්‍රශ්නය- ඔබ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ඔබම කියනවා. ඒ ගැන කතා කළොත්?  


පිළිතුර - දැන් කුමන්ත්‍රණයේ තත්ත්වය රටට පැහැදිලි වේගෙන එනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ පරීක්ෂණ කටයුතු හොඳින් කරනවා. ඒ පිළිබඳ අලුත් තොරතුරු රැසක් තියෙනවා. මේ පිළිබඳ තොරතුරු දැන් නාමල් කුමාර ඊයේ පෙරේදා නැවතත් මාධ්‍යයට ප්‍රකාශයක් කරල තිබුණා. ඊට සම්බන්ධ අය හා ඒවායේ පසුබිම ගැන ඔහු කියලා තිබුණා. මෙහෙම අන්ත දූෂිත කටයුතු කරලා, රට විනාශ කරන තත්ත්වයට ගෙනත්, අවසානයේ මාව ඝාතනය කරන කුමන්ත්‍රණයක් කරන තැනට ඇවිල්ලත් මට බලාගෙන ඉන්න ද කියන්නෙ. එහෙම නම් මම මරණකම් සද්ද නැතිව ඉන්න ඕනෑ. රටත් විනාශ කරලා හොරකම් කරල, දූෂණය කරලා පාවාදීම් කරලා, මේ සියලු විනාශයන් කරල අවසානයේ මාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙලත් මම කටවහගෙන ඉන්න ඕනෑද?​  


මෙයාලාගෙ මේ හැසිරීම තුළ, මොළේ කළඳක් තියෙන වෙන කවුරු හරි මේ පුටුවේ හිටියනම් මීට වඩා දරුණු තැනකට මේක යන්නෙ.  


මාව බලයට පත් කරපු එක්සත් ජාතික පාක්ෂිකයෝ මම එයාලට විරුද්ධ වුණා කියල මට බොහොම දොස් කියනවා. බොහොම ද්වේශසහගතව මා කෙරෙහි වෛරයෙන් එක්සත් ජාතික පක්ෂිකයෝ කතා කරනවා. හැබැයි මේ පුටුවේ, 2010 ජනපති අපේ‍ක්ෂකයා වෙච්ච සරත් ෆොන්සේකා හිටියනම්, යූඑන්පීයට වෙන දෙයක් හොයන්න හම්බ වෙන්නෙ නැහැ. මොකද එයා මම වගේ චරිතයක් නොවෙයි. විශේෂයෙන්ම, මම එක්සත් ජාතික පාක්ෂිකයින්ට කියන්න ඕන ඔබ මාව බලයට පත් කළා. ඒ ගැන ලොකු ගෞරවයක් තිබෙනවා. 2010 දී සරත් ෆොන්සේකා දිනුව නම්, ඔහුගේ සහ මගේ වෙනස බලා ගන්න තිබුණා. ඒ තත්ත්වය තුළ මම කියන්න ඕනෑ මේ සියලු තීන්දු තීරණ මම ගත්තෙ රට වෙනුවෙන් මිස, පෞද්ගලිකත්වය මත නෙවෙයි.  


මම කලිනුත් කියල තියෙනවා, මට නැති වෙන්න තියෙන්නෙ කාරණා දෙකයි කියලා. එකක් මට නැති වෙන්න තියෙන්නෙ මගේ තනතුර, අනික මට නැති වෙන්න තියෙන්නෙ මගේ ජීවිතය. මම රට වෙනුවෙන් නිවැරැදි තීන්දු තීරණ අරගෙන තියෙන්නෙ මම කියපු දෙකෙන් එකකට හෝ ඒ දෙකටම මුහුණ දෙන්න බලාගෙනයි. ඒ දෙකටම මම හිත හදාගෙන ඉවරයි. ඒ කියන්නෙ තනතුර අහිමිවීම සහ මරණය. මේ දෙකටම මම හිත හදාගෙන ඉවරයි. මම මේ බලයට කෑදර මිනිහෙක් නෙවෙයි. මම ආව වගේම යන්න ආපු මිනිහෙක්. මේ රනිල් වගේ එල්ලිලා, අරලියගහ මන්දිරයෙන් යන්නෙ නැතිව ඉන්නෙ නැහැ.  


දැන් සමහර අය කියනවනෙ මහින්ද රාජපක්ෂ මහත්තයාට 113ක් නැතිව මෙච්චර දවසක් අගමැති විදියට ඉන්නවා කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරයෙන් ඉවත් කළාට පස්සේ අරලියගහ මන්දිරයේ ඉන්න එක හරිද? මේවා ගැන බලන්න ඕන විචාරාත්මකවයි. ළඟ පෙනෙන දේ නෙමෙයි ඈත පෙනෙන දේ දිහා බලලයි තීන්දු තීරණ ගන්න ඕන.  


 

ප්‍රශ්නය- රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කර, 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදි අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්න තරම් ඔබ හිත හදාගත්තෙ කොහොමද?  


පිළිතුර - මම මුලිනුත් කිව්ව විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරල එක පාරටම මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කළා නෙවෙයිනෙ. මම තුන්වෙනි තැනට තමයි එතුමාව පත් කළේ. කරු ජයසූරිය මහත්තයා බැලුවා. බෑ කිව්වා. සජිත් ප්‍රේමදාස මහත්තයා බැලුවා බෑ කිව්වා. වෙන යූඑන්පීයේ කෙනෙකුත් නැහැ. මට විරුද්ධව ඝාතන කුමන්ත්‍රණය හෙළි වුණාට පස්සෙ, එතනින් එහාට යන්න බැහැ. වහාම තීරණයක් ගතයුතු වෙනවා. ඉතින් ඒ නිසා ඒ තීරණය ගන්න තැනට මාව තල්ලු කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන තැනට මාව තල්ලු කළේ මේ දූෂිත පාලනයට සිටි කීප දෙනෙක්.  


එක්සත් ජාතික පක්ෂයේ ඉතාම වැදගත් පිරිසක් ඉන්නවා. මේ ඇමැති මණ්‍ඩලයේ, රටට ආදරය ඇති එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනෙක් ඉන්නවා. මේ ගෞරවණීය දේශපාලන පක්ෂය, මහා ප්‍රතාපවත්, යෝධ එක්සත් ජාතික පක්ෂය විනාශ කරලා. දුර්වල කරලා මේ තැනට පත් කළේ‍ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන තැනට මාව තල්ලු කළේ‍ ඔහුයි. මොකද එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඔක්කොම මේ ගැටුම දන්නවා. ඒක නිරාකරණය කරන්න ඒ කවුරුවත් මැදිහත් වුණේ නැහැ. මේක බේරගන්න, බේරගන්න කියල නිකන් කටින් කිව්ව මිසක් කවුරුවත් ඉස්සරහට ඇවිත් මේ ප්‍රශ්නය විසඳුවේ නෑ. එතනට මාව තල්ලු කළා.  


 

ප්‍රශ්නය- රනිල් අයින් කරල මහින්ද අගමැති කරනවා. මුලින් පාර්ලිමේන්තුව කල්දාලා, පස්සේ විසුරුවා හරිනවා. ආණ්ඩුව පිහිටුවන්න බහුතරය හදාගෙන නෙවෙයිද ඔබතුමා මේ තීන්දුව ගත්තෙ.  


පිළිතුර - මේ ඇති වී තියෙන දූෂිත දේශපාලන වාතාවරණය දිහා බලන්න. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මිල නියම වෙච්ච හැටි බලන්න. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙන්දේසියේ ගියා. සමහර මන්ත්‍රීවරුන් පැත්ත මාරු කරන්න මිලියන 500ක් ඉල්ලුවා. මන්ත්‍රීවරුන් මහා ලොකුවට වේදිකාවල කතා කරලා අඳින වස්තරෙත් විකුණලා ඡන්දෙ කරල පාර්ලිමේන්තුවට ඇවිත් අන්තිමට මන්ත්‍රීකමත් විකුණන පහත් දේශපාලන සංස්කෘතිය ඇති වුණා. ඒ වගේ දූෂිතයින් සිටින පාර්ලිමේන්තුවක්. ඒ වගේම කිසිම දේශපාලන පක්ෂයකට බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් මේක. මේ දේශපාලන අර්බුදයට එක හේතුවක් තමයි, පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ ව්‍යුහය. ඒ සංඛ්‍යාව අනුව කාටවත් බහුතරයක් නැහැ. කාටවත් තනිව ආණ්ඩුවක් හදන්න බැහැ. කවුරු ආණ්ඩුකළත්, කවුරු හරි එකතු කරගන්න ඕනෑ. අලව ගන්න ඕනෑ. ඒ අලව ගන්න අය දූෂණ වංචා කළත්, ආණ්ඩුව ගෙනියන්න ඕන නිසා ඉවසගෙන ඉන්න ඕනෑ.  


2015 ඡන්ද ප්‍රතිඵලය අනුව ආණ්ඩුවක් හදන්න කාටවත් බහුතරය ලැබුණෙ නැහැ. මේ බහුතරයක් නැති පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් විදියට ඒ මැති ඇමැතිවරුන් ඒ බලය පාවිච්චිකළා තම තමන්ගේ දූෂණ වංචා කරන්න. ඇත්තම කියනවා නම් මේ තරම් දූෂිත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම නැහැ. දැන් එදා රාජපක්ෂ මහත්තයාගේ ආණ්‍ඩුවට චෝදනා කළා වගේම එහි තිබුණ වැරැදි අපි දැක්කා. ජනතාව ඒවා දැකල තමයි මාව ජනාධිපති කළේ. හැබැයි ඊට වඩා නරක තැනකට මේ ආණ්ඩුව වැටුණා. 47න් පස්සේ බලයට පත්වූ ආණ්ඩුවලින් ඉතා දූෂිතම ආණ්‍ඩුව රනිල් වික්‍රමසිංහ අගමැති විදියට හිටපු ඒ ආණ්‍ඩුවයි. ඒ හිටපු දූෂිත කණ්ඩායම තමයි මේ සියලු දේවල් කළේ. පාර්ලිමේන්තුව මම විසිරෙව්වේ මේකට හොඳම විසඳුම මැතිවරණයක් නිසයි. පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිතයින් එළියට යන්න ඕනෑ. මේ දූෂිතයින් එක්ක තව අලව අලව ආණ්‍ඩු හදලා තවත් කරන්නෙ ඒ දූෂිතයින් දූෂණ කරන එකමයි. මේ 225 තුළ, පක්ෂ බේදයක් නැතිව මේ ඉන්න අයගේ පැටිකිරිය ජනතාව දන්නවා. මෙතන ඉන්න හොඳ අය කවුද, දූෂිතයින් කවුද කියල රටේ ජනතාව දන්නවා.  


මේ 225 තුළ ඉතාම හොඳ කොටසක් ඉන්නවා. ඒක මම පැහැදිලිව කියන්න ඕන. මේ 225 බහුතරයක් ඉතා හොඳ අය. හැබැයි සුළුතරයක් ඉන්නවා හැම පැත්තෙම අන්ත දූෂිතයි. මේ තනතුරුවලට සුදුසු නැති මිනිස්සු ඒ නිසා ආණ්ඩුවේ තියෙන අර්බුදයට අලුත් ආණ්ඩුවක් හදන්නත්, පාර්ලිමේන්තුවේ 225ට ජනතාවට ආදරය කරන අවංක දූෂිතයින් නොවන පිරිසක් පාර්ලිමේන්තුවට එවන්නත් හොඳම අවස්ථාව තමයි රට හදන්න අලුත් පාර්ලිමේන්තුවක්. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තුව විසිරෙව්වෙ. 


මේ පාර්ලිමේන්තුව විසිරෙව්වේ 113 නැති නිසා. මහින්ද රාජපක්ෂ මහත්තයා කොහොම හරි අගමැති විදියට තියා ගැනීමේ වුවමනාවට නොවෙයි. මේ පැති මාරු කිරීමේදී දැකපු මන්ත්‍රීවරුන්ගේ මිල නියම කිරීමත් එක්ක සහ පසුගිය අවුරුදු තුන හමාරෙ මම දැකපු දූෂණ එක්ක මෙහෙම මිනිස්සුද රටක පාර්ලිමේන්තුවට එන්නෙ කියන ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ නිසා තමයි මම කිව්වෙ පසුගිය අවුරුදු තුන හමාරේ වෙච්ච සිදුවීම් පිළිබඳව මම ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා කියලා. එමගින් මම බලාපොරොත්තු වෙනවා ඔය සියලු වැරැදි කරපු මිනිස්සුන්ගෙ ඒ තිබෙන තොරතුරු එක්ක පරීක්ෂණ පටන් ගන්න. 


 

ප්‍රශ්නය- පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නෙ නැහැ කියල ඔබතුමා කිව්වා. ඔබතුමා ඒ ස්ථාවරයේ තවමත් ඉන්නවද? 


පිළිතුර- පැහැදිලිවම මම ඒ ස්ථාවරයෙ ඉන්නවා. 


 

ප්‍රශ්නය-යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂය දෙමළ සන්ධානයත් එකතු කරගෙන දිවුරුම් ප්‍රකාශ මගින් ඉල්ලීමක් කළොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා. ඔබතුමාට එය දෙන්න වෙනව නේද? 


පිළිතුර- දිවුරුම් ප්‍රකාශවලින් දුන්නා කියලා ඒවා භාරගෙන අගමැති කෙනෙක් පත් කරන්න කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නැහැ. ව්‍යවස්ථාවෙ තියෙන්නෙ ජනාධිපතිවරයාට වැඩ කිරීමට සුදුසු ජනාධිපතිවරයා තීන්දු කරන පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගත හැකි යැයි විශ්වාස කරන කෙනෙක් අගමැති විදියට පත් කරන්න කියලයි. අගමැති පත් කරන්න කියලා ජනාධිපතිට නියෝග දෙන්න අධිකරණයටත් බැහැ. මෙන්න මෙයා පත් කරන්න කියලා ජනාධිපතිට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් නියෝග කරන්නත් බැහැ. මොකද ජනාධිපති පත්වෙලා ඉන්නෙ මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන්. ජනතා පරමාධිපත්‍යයෙ විශේෂ අවස්ථාවක් තමයි ජනාධිපතිවරයා. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් පත් වෙන්නෙ දිස්ත්‍රික්කයෙ ඡන්දයකින්. ජනාධිපති පත්වෙන්නෙ මුළු රටේම ඡන්දයකින්. මට හැට දෙලක්ෂ පනස් දහසකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලැබිල තියෙනවා. ඒ ඡන්ද ගණන මීට කලින් හිටපු කිසිම ජනාධිපතිවරයෙක් අරගෙන නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ජනාධිපති අතර වෙනස ඒකයි. මුළු රටේම ජනතාව බලය දීලා තියෙන්නෙ ජනාධිපතිවරයාට. ඒ නිසා අගමැති කමට අහවලා පත් කරන්න කියලා ජනාධිපතිට නියෝග කරන්න අධිකරණයටත් බැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවටත් බැහැ. 


 

ප්‍රශ්නය-දැන් මේ ඇතිවෙලා තියෙන අර්බුදයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ 19 වැනි සංශෝධනය බව පේනවා. 19 වැනි සංශෝධනය මගින් විධායක බලය පාර්ලිමේන්තුවට දීමෙන් කළේ නොකළ යුතු දෙයක් කියලා අද ඔබතුමා පසුතැවෙනවාද? 


පිළිතුර- 19 වැනි සංශෝධනය ඉතාම හොඳ දෙයක්. මම ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීම අධිකරණයෙ ස්වාධීනත්වය, නිදහස, රාජ්‍ය පාලනය, මාධ්‍ය නිදහස, මානව හිමිකම්, රාජ්‍ය සේවකයාට පිට කොන්දක් ඇතිව වැඩ කරන්න, පොලිස් නිලධාරියාට පිට කොන්දක් ඇතිව වැඩ කරන්න, ඒ සියල්ලට ඉඩ ලැබුණේ 19 වන සංශෝධනයෙන්. 19 වන සංශෝධනයේ සියයට 80ක් හොඳයි. සියයට 20ක් වැරැදි තියෙනවා. ඒවා දැන් තමයි පේන්නෙ. ඒ සියයට විස්සෙ වැරැදි අතර තමයි දේශපාලන අවුලක් රටේ හදල තියෙන්නෙ. මේ විධායකයෙ සහ ව්‍යවස්ථාදායකය අතරේ අද අවුලක් ඇතිවෙලා. ඒ අවුල විසඳන්න අධිකරණයට ගිහිල්ලා. මේ ඔක්කොම ඇතිවුණේ 19 වන සංශෝධනයෙ අවුල් සහගත තත්ත්වය නිසයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ ඔහුගේ ගෝලයින් 19 වන සංශෝධනය හදනකොට මේ ගැටේ ගහල තියෙන්නෙ රට නැත්තටම නැතිවෙන්නයි. නැත්නම් මේවා අධිකරණයට යන්නෙ නැතිව විසඳගන්න තිබුණා. අද මේ තියෙන අර්බුදය විධායකය සහ ව්‍යවස්ථාදායකය විසඳාගත යුතු දෙයක්. 


දේශපාලනඥයින්ට ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගන්න දෙන්න ඕනෑ. දේශපාලනඥයින් විසින් මේ ගන්නා තීන්දු තීරණ විධායකය සහ ව්‍යවස්ථාදායකය විසඳගන්න සම්පූර්ණයෙන්ම ඉඩකඩ තිබුණ. මේක අධිකරණයට නොගිහින් සිටියනම් එහෙනම් මේක විසඳලා ඉවරයි. ඒ මොකද මම සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ගරු කරනවා. මේ ප්‍රශ්නය විසඳගන්න මම දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කළාම සියලු දේශපාලන පක්ෂ නායකයින් ඒ සාකච්ඡාවලට ආවා. දැන් අවස්ථා තුනකදී ඒ අය මාත් එක්ක වාඩි වුණා. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ හැම කෙනෙක්ම ආවා. මම ගැන විශ්වාසයක් තියලා ආපු එක ගැන ඒ සියලු දෙනාට ගරු කරනවා. මේ කටයුතුවලදී දක්වන සහයෝගය සහ සුහදතාව ගැන කතා නායකතුමාටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. නමුත් මේ වැඩ පිළිවෙළට මාත් කතානායකතුමාත් අතර කොච්චර දේශපාලන ගුණාත්මක බවක් තිබුණත් මේ අවුල අධිකරණයට යාම තුළ අපි ඔක්කොම හිරවෙලා තියෙනවා. ඒ නිසා මේ විනාශකාරී ගැටේ ගැහුවෙ මේ දේශපාලන හූනියම කළේ 19 හදපු ඔලමොට්ටලයො කීප දෙනෙක් එකතුවෙලයි. මේක ඉතාම නරක දෙයක්. 


නමුත් ඒ එක්කම මම කියන්න ඕන. මේ දින කීපය තුළ මේ රටේ ජනතාව ගැන මට පෙරට වඩා ගෞරවයක් ආදරයක් ඇතිවුණා. ඇයි ඒ. අභියාචනාධිකරණය තීන්දුව දුන්න අගමැති සහ ඇමැති මණ්ඩලයෙ වැඩ නතර කරන්න කියල. දින කීපයක් රටේ පාලනය තනි පුද්ගලයෙක් විදියට මගේ අතේ තියෙන්නෙ. මම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. මම ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට පනින්නෙ නැහැ. මම කොහෙත්ම නීතියෙන් පිට පනින්නෙ නැහැ. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට පනින්නෙත් නැහැ. මේ තරම් දේශපාලන අර්බුදයක් වෙලත් මේ රටේ මහජනතාව මොනතරම් සන්සුන්ව අද ඉන්නවද? රටේ ඉතාම සාමකාමී යහපත් වාතාවරණයක් තියනවා. ඒ වාතාවරණය ඇති කරන්න රට අවුස්සන්නෙ නැතිව සහාය දුන් සියලු දේශපාලන නායකයින්ටත් මම ස්තුතිවන්ත වෙනවා. 


 

ප්‍රශ්නය- එක්සත් ජාතික පක්ෂයෙන් වෙන කෙනෙක් අගමැති කරන්න කියලා ඉල්ලීමක් ආවොත් ඒකට ඔබතුමා සූදානම්ද? 


පිළිතුර- රනිල් වික්‍රමසිංහ මහත්තයා හැර වෙන ඕනම කෙනෙක් අගමැති කරන්න මම ලෑස්තියි. රනිල් නම් මම ජීවිතේට පත් කරන්නෙ නැහැ. අම්ම අප්ප කිව්වත් දෙවියන් වහන්සේ කිව්වත් මම රනිල් නම් අගමැතිකමට පත් කරන්නෙ නැහැ. 

 

 

සටහන
අජන්ත කුමාර අගලකඩ