අවසන් සටනට සහභාගිවුණු දකුණේ රණවිරුවන් සමග උතුරේ මියගිය අයත් සමරනවා


උතුරේ පසුගිය සතිය ගෙවුණේ අවසන් සටනට සහභාගී වී සිටියදී මිය ගිය අය සිහි කිරීමේ උත්සවයක් සමගිනි. 


වෛල්ලමුල්ල වෛයික්කාල් ප්‍රදේශයේ දී ඇති වු ගැටුමෙන් මිය ගිය උතුරේ අය සිහි කොට ඔවුනට ඒ ඒ ආගමානුකූලව මෙම උත්සවය පැවතියේ ඔවුන් වෙනුවෙන් චාරිත්‍රවලට මුල් තැනක් ලබා දෙමිනි. 


මෙම සැමරුම් උත්සවය මීට වසර 2 කට පෙර එක් දිනක්, එනම් මැයි 18 වනදා පැවැත්වුවද දැනට වසර දෙකකට පෙර සිට එය සතියක් පුරා පැවැත්වීමට කටයුතු කළ බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසීය. 


එච්.කේ. සිවාජිලිංගම් මහතා මේ පිළිබඳව ප්‍රකාශ කළේ මෙවැනි අදහස්ය. 


අපි අවසන් සටනට සහභාගී වු දකුණේ රණවිරුවන් සිහි කරනවා. එයට සමගාමීව අපි උතුරේ මිය ගිය අය සමරනවා. පහන් පත්තු කරලා ඔවුන්ගේ ආගමානුකූල චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරලා තමයි අපි ඒ උත්සවය සමරන්නේ. 


අපි දැන් සතියක කාලයක් පුරා මේ සැමරුම් උත්සවය පවත්වනවා. ඒ අනුව පසුගිය 12 වනදා ආරම්භ වුණ මේ උත්සවය පසුගිය 18 වනදා අවසන් වුණා. මෙය බොහොම සාර්ථකව පැවැත්වුණ බව ප්‍රකාශ කරන්න ඕනෑ. 


අපි දේශපාලන පක්ෂයක් විදිහට නෙවෙයි මෙතනදි සහභාගී වුණේ. මිය ගිය අයගේ පවුල් වල ඥාතීන් රැසක් මීට එක් වුණා. අපි සෑම වසරකම සතියක් පුරා මෙය පැවැත්වීමට කටයුතු කරනවා. දකුණේ ජනතාව සිතනවා නම් මෙය එල්.ටී.ටී.ඊ. විරු සැමරුමක් කියලා ඒක වැරදියි. අපි මේ කරන්නේ අවසන් සටනේ දී මුහුණ දුන් සියලු දෙනාම සිහි කරන එකයි. 


කෙසේ වෙතත් උතුරු පළාතේ මෙවැනි කුමක් හෝ දෙයක් නිරන්තරයෙන් පැවැත්වෙන අතර මීට සති දෙකකට පෙර හර්තාල් ව්‍යාපාරයක්ද පැවැත්වුණි. 


ඊට නැගෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලනඥයන් ද සහභාගී වී සිටීම කැපී පෙනෙන සිද්ධියකි. 


මේ අතර උතුරු පළාත් ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව ක්‍රියා කරන ආකාරයේ යම් යම් මන්දකාරී බවක් පෙන්නුම් කරන බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා පැවසීය. 


උතුරේ කිව යුතු තරම් විශාල ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉඩම් ප්‍රශ්නය අතුරු දන්වූවන්ගේ ප්‍රශ්නය නම් තිබෙනවා. ඒවා තවම විසඳිලා නැහැ. ඒ ගැන නම් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. 


මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් පළ කළ සම්බන්දන් මහතා. 


තමනගේ ගැටලු විසඳන්න කියලා ඔවුන් ආණ්ඩුවට විරෝධය පළ කරනවා. සත්‍යග්‍රහ ව්‍යාපාර පවත්වනවා. ඒ සම්බන්ධව කඩිනමින් විසඳුමක් ආණ්ඩුවට ලබා දිය යුතුයි. 


දැන් ආණ්ඩුවත් පත් වෙලා වසර 2 ක් ගත වුණානේ. ඉතින් තවමත් හරි විසඳුමක් නැහැ. ඒ ජනතාවගේ ඉඩම්වල ඔවුන් පදිංචි වෙන්න අවශ්‍යයිනේ. ගොවිතැන් කරන්න අවශ්‍යයි. මොකද යාපනේ වගේම උතුරේ ජනතාව හොඳට ගොවිතැන් කරපු අය මේ පිළිබඳව අපි ආණ්ඩුවට දිගින් දිගටම පෙන්වලා දීලා තිබෙනවා. 


පාර්ලිමේන්තුව තුළත් අපි මේ ගැන කථා කළා. ආණ්ඩුවට අපි බලපෑම් කරනවා. නොකර ඉන්නේ නැහැ. දැන් බලන්න උතුරේ ජනතාවගේ ඉඩම් ලබා දෙන එක ජාතික ආරක්ෂාවට බාධාවක් කියලා හිටපු ජනාධිපතිත් කියලා තිබෙනවානේ. 


උතුරේ අතුරුදන්වූවන් ගැන සොයා බැලුවහොත් අපේ රණවිරුවන්ට විරුද්ධ කරන දෙයක් කියලා ප්‍රකාශ කරලා තිබෙනවානේ. 


එහෙම කියන එක වැරදියිනේ. කවුරුත්ම කියන්නේ නැහැනේ. රණවිරුවන් හිරේට යවන්න කියලා අපි කියන්නේ කවුරුන් හෝ වැරැද්දක් කරලා තිබෙනවා නම් ඒක වැරදියි. අපි කවුරුත් කියන්නේ නැහැනේ. රණවිරුවන්ට එරෙහිව ක්‍රියා කරන්න ඕනෑ කියලා. එහෙම කියනවා නම් ඔවුන් මානසික ලෙඞ්ඩු. 


හැබැයි කවුරු හරි වරදක් කරලා තිබෙනවා නම් ඒක වැරදියි කියලයි අපි කියන්නේ. ඒක නිසා ජනතාව අතරේ මොන යම් හෝ කලබලකාරී දෙයක් නොවන විදියට වග බලා ගෙන ආණ්ඩුව කටයුතු කරන්න ඕන. දුක් විඳපු ජනතාවට දිගමට මේ දුක් විඳින්න බැහැනේ. ඒ ගොල්ලන්ට කොහොම හරි තිරසර විසඳුමක් අවශ්‍යයි. අපේ බලාපොරොත්තුව කඩිනමින් ආණ්ඩුව මේවාට විසඳුමක් ලබා දෙයි කියලායි. පසුගිය ආණ්ඩුව එක්ක සංසන්දනය කළොත් මේ ආණ්ඩුව අපිට කිසිවක් ලබා දීලා නැහැ කියන්න බැහැ. 


මේ ආණ්ඩුව යම් යම් දේවල් කරනවා. යම් යම් දේවල් බාර ගන්නවා. පසුගිය ආණ්ඩුව එක්ක බලන කොට මේ ආණ්ඩුවේ වෙනස්කම් කිහිපයක් තිබෙනවා. අපි වසර 2 ක් තිස්සේ උතුරේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න කියලා ඉල්ලීම් කළා. අපි තවදුරටත් විශ්වාස කෙරුවා. ඒවාට විසඳුම් ලබා දෙයි කියලා. 


එසේ නොවුණ හොත් ඒ ඒ වෙලාවට ගත යුතු ක්‍රියා මාර්ග අපි ගන්නවා. අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ සාමයෙන් මේ ගැටලු විසඳා ගන්න. ඔක්කොම එකතු වෙලා රටට හොඳ දෙයක් කරන්න අවශ්‍යයි. රටට වගේම ජනතාවට ගැටලු තිබෙන්න බැහැ. ප්‍රශ්න දිගින් දිගටම ගෙන යන්න බැහැ. ඒක නිසා විසඳුමක් ගේන්න ආණ්ඩුව ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තුව වෙනවා. 

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර