අවසන් වාර්තාව ආවම බැඳුම්කර කොමිසම ගැන කියන්නම්


මෙරට පළමු අධිකරණ ඇමැතිවරිය ලෙස පත්වූ විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති තලතා අතුකෝරාල මහත්මිය සමඟ මේ සාකච්ඡාව ලැබුණු අලුත් වගකීමේ බර හා බාධක මොනවාද යන්න පිළිබඳවය.

 

ප්‍රශ්නය - ඔබ ලංකාවේ පළමු අධිකරණ ඇමැතිවරිය. මොකද හිතෙන්නේ.   
පිළිතුර -
වගකීමක් ඇතිව රාජකාරිය හරියට කරයි කියලා හිතලා ඒ විශ්වාසයෙන් මට මේ වගකීම දුන්නා කියලයි මම හිතන්නේ. ඒ විශ්‍වාසය ආරක්ෂා කිරීම මගේ වගකීම හැටියටයි මම දකින්නේ.   


ප්‍රශ්නය - ඔබ කිව්වා ඔබ කෙරෙහි තැබූ විශ්වාසය නිසා මේ වගකීම බාර දුන්නා කියලා. මොකද්ද ඒ විශ්වාසය?   
පිළිතුර
- මෙහෙමයි. මම මුලින්ම කිව්වෙත් ඒකයි. මේ වගේ තනතුරකට පත් කරන කොට ඒ තීන්දුව ගන්න අය මොකක් හරි විශ්වාසයක් මා කෙරෙහි තියෙන හින්දනේ පත් කරන්නේ.   


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණෙත් ඒකම තමයි. මොකද්ද ඒ විශ්‍වාසය?   
පිළිතුර -
වගකීම හරියට ඉටු කරයි කියන විශ්‍වාසය තමයි. මේක භාරදූර වගකීමක්. ඔබ කිව්වා වගේම මේ වගකීම මෙයට පෙර කාන්තාවක් දරලා නෑ. නමුත් මේ වගකීම මම හරියට ඉටු කරයි කියලා විශ්වාසයෙන් තමයි. මේ වගකීම මට බාරදෙන්න ඇත්තේ. එයට ඉහළම සාධාරණය ඉටු කිරීම මගේ වගකීමයි.   


ප්‍රශ්නය - ඔබට මෙම අධිකරණ ඇමැති ධුරය ලැබෙන්නේ ඉතාම සංකීර්ණ අවස්ථාවකදී?   
පිළිතුර
- ඇයි. ඔබ එහෙම කියන්නේ?   


ප්‍රශ්නය - ආණ්ඩුවට අවශ්‍ය පරිදි අධිකරණය මෙහෙයවන්න හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කටයුතු නොකළ බවට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් චෝදනා කළා. ඒ නිසා ඔහුව ඉවත් කළා.   
පිළිතුර -
මෙහෙමනේ, එක එක්කෙනාට ඒ වගේ චෝදනා කරන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. මට වුණත් චෝදනා කරන්න පුළුවන්. නමුත් ඔය ඔබ මතු කරපු කාරණාව නිසා විජයදාස රාජපක්ෂ මහතා ඇමැති ධුරයෙන් ඉවත් කළා කියලා මම විශ්‍වාස කරන්නෙත් නෑ.   


ප්‍රශ්නය - නමුත් ඒ චෝදනාව ප්‍රබලව මතු වුණා?   
පිළිතුර -
මම නම් හිතන්නේ ඒ කාරණාවටත් වැඩිය විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා සමහර අවස්ථාවල දී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණා. විශේෂයෙන්ම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් එතුමා කරපු ප්‍රකාශ මගින් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරන්න බැරිවීම ගැන එතුමාට බරපතළ වශයෙන් ප්‍රශ්නයක් මතු වුණා.   

 


ප්‍රශ්නය - ඇමැති විජයදාස රාජපක්ෂ නිසා රාජපක්ෂ පාලන සමයේ හොරු ආරක්ෂා වුණා කියලත් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් චෝදනා කළා?   
පිළිතුර -
මා එක්ක නම් කවුරුවත් එහෙම කියලා නෑ. එහෙම චෝදනා මතු කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. මට කියන්න බෑ ඔය කාරණාව නිසා එතුමාට ඔය ප්‍රශ්නය මතු වුණා කියලා. මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් එතුමා ඔබේ පුවත්පතට කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා ඒ තත්ත්වය ඇති වුණා කියලයි. නීතිය සම්බන්ධ කාරණා නොවෙයි. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කඩවීම සම්බන්ධයෙන් තමයි එතුමට ඔය ප්‍රශ්නය ඇති වුණේ කියලයි මම හිතන්නේ.  

 


ප්‍රශ්නය - වත්මන් අධිකරණ ඇමැතිවරිය හැටියට ඔබ හිතනවද රාජපක්ෂ සමයේ කටයුතු සම්බන්ධයෙන් අධිකරණ කියාවලිය බොහෝ මන්දගාමීව සිද්ධ වුණේ කියලා?  
පිළිතුර -
ප්‍රමාදය තියෙන්නේ අධිකරණ ක්‍රියාදාමයේ නොවෙයි. ප්‍රමාදය තියෙන්නේ ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලයි. පරීක්ෂණ කටයුතු කෙරිලා අධිකරණයට බාර දුන්නට පස්සේ ඒ කටයුතු කෙරෙනවා. ඒවට බලපෑම් කරන්න හෝ මැදිහත් වෙන්න කාටවත් බෑ.  

 


ප්‍රශ්නය - මම ඒ නිසාම තමයි මේ ප්‍රශ්නය මතු කළේ. එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිව්වේ ඇමැති විජයදාස රාජපක්ෂ රාජපක්ෂ සමයේ හොරු ආරක්ෂා කළා කියලයි?  
පිළිතුර -
පදනමක් නැති චෝදනාවලට උත්තර දෙන්න බැහැනේ. විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාට මතු වුණේ වෙනත් ප්‍රශ්නයක්. ඒක අධිකරණ කටයුතුවලට සම්බන්ධ කරලා කවුරුහරි කතා කරන්න ඇති. නමුත් ඒ චෝදනාවේ පදනමක් නෑ.  

 


ප්‍රශ්නය - ඇමැති රාජිත සේනාරත්න කිව්වා රාජපක්ෂ කල්ලියේ අපරාධ සහ හොරකම් හොයන්න විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා. එහෙම සූදානමක් ආණ්‍ඩුවේ තියෙනවද?  
පිළිතුර
- ඔව්. එහෙම යෝජනාවක් තියෙනවනේ. ඒක හින්දා තමයි මහාධිකරණ විනිසුරුවරුන්ගේ ප්‍රමාණය වැඩි කරන්න වගේ දේවල් ක්‍රියාත්මක කරන්නේ. ඒ ආණ්ඩුවේ වැරැදිවලට අදාළ අධිකරණ කටයුතු පමණක් නොවෙයි. සමස්ත අධිකරණ ක්‍රියාදාමයේම යම් ප්‍රමාදයක් තියෙනවනේ. රාජපක්ෂ කල්ලියේ වගේම රටේ නඩු ප්‍රමාදවීමේ ගැටලුවක් තියෙනවා. ඒවාට අදාළව ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න බෑ. විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා කියන්නේ ඒක සමාන්තරව යටිතල පහසුකම් වැඩි දියුණු කරන්නත් අවශ්‍යයි. මේවා සියල්ලම එකට කෙරෙයි. කොහොම වුණත් ක්ෂණිකව නඩු විසඳීමේ ක්‍රියා පිළිවෙතකට අපිට යන්න සිද්ධ වෙනවා.

පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් පත්කරපු ආංශික සභා​ෙවන් වාර්තාවක් දිලා තියෙනවා මිනීමැරුම් නඩුවක තීන්දුව එන්න කොච්චර කාලයක් ගත වෙනවාද? වෙනත් නඩු සඳහා කෙතරම් කාලයක් ගත වෙනවද කියලා වාර්තාවේ තියෙනවා. එතකොට ඒ විදියට කමිටු පත් කරලා කරුණු හොයලා අපි අවශ්‍ය පියවර ගනිමින් ඉන්නේ.  

 


ප්‍රශ්නය - හැබැයි මිනිසුන් නම් කියන්නේ පොල් මිල ඇහුවුම එළොව පොල් පේනවා කියලයි. හාල් මිලත් එහෙමයි. ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිලද කියලයි මිනිස්සු අහන්නේ?  
පිළිතුර -
මෙහෙමයි. ඇත්තම කතාව ඔබ දන්නවා. මේ අවුරුද්දේ අපි රටක් හැටියට විශාල පාරිසරික ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. එක පැත්තකින් මහා නියඟයක් ආවා. අනික් පැත්තෙන් ලොකු ගංවතුරක් ආවා. මේ දෙකම කෘෂිකර්මයට විශාල බලපෑමක් එල්ල කළා. ඒ වගේ තත්ත්වයක් දිහා බැලුවම කිසිම අවුරුද්දක ඒවගේ තත්ත්වයක් ඇති වෙලා නෑ. ඒ ඇති වෙච්ච තත්ත්වයේ ප්‍රතිඵලය තමයි මේ. නමුත් රජයක් හැටියට අපි මේ තත්ත්වය කල් ඇතිවම දැකලා ජනතාවට සහන සපයන්න අවශ්‍ය පියවර අරගෙන තියෙන්නේ.  

 


ප්‍රශ්නය - කොහොම වුණත් හදිසි තත්ත්වයක දී රජයේ මැදිහත්වීම මුළුමනින්ම අසාර්ථකයි කියන කාරණය හංගන්න බෑ.  
පිළිතුර -
එහෙම කියන එක වැරදියි. ඉස්සර ආණ්ඩු වගේ ​ෙනාවෙයි මේ ආණ්ඩුව ගැන සතුටු වෙන්න ඕනෑ. බොරු වියදම් කපා හැරලා, නාස්තිය, දූෂණය අවම කරලා හොරකම නැති කරලා පාරදෘෂ්‍යභාවය සහිතව වැඩ කරන ආණ්ඩුවක්. හැබැයි ඉතින් ආණ්ඩුවකට පුළුවන් කමක් නෑ වස්සවන්න වගේම වහින එක නවත්වන්න. ඒකත් කරන්න පුළුවන් නම් ආණ්ඩුවට සාර්ථක මුහුණ දෙන්න තිබුණා.  

 


ප්‍රශ්නය - බැඳුම්කර කොමිසමෙන් අනාවරණ කරන කරුණු ඔබ තුළ ඇති කරන්නේ කවරාකාර හැඟීමක්ද?  
පිළිතුර -
තාම ඒ ගැන අවසන් වාර්තාවක් දීලා නෑ. එහෙම අවසන් වාර්තාවක් දුන්නාම ඒ සම්බන්ධයෙන් අපේ අදහස ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා.  

 


ප්‍රශ්නය - යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන විත්තිකරු ආරක්ෂා කිරීමට ඔබේ පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරී ශෂිකලා මහේෂ්වරන් කටයුතු කළා කියලා චෝදනා එල්ල වුණා.  
පිළිතුර
- මෙහෙමයි. එතුමිය ඇවිත් ඒ පුද්ගලයාව ආරක්ෂා නොකළා නම් නඩුවම එතැනින්ම ඉවරයිනේ. එතුමිය හරියටම කටයුතු කළ නිසා ඒ පුද්ගලයාට දඬුවම් දෙන්න අධිකරණයට පුළුවන් වුණා.  

 


ප්‍රශ්නය - 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා. ඔක්තෝබරයත් එළැඹුණා?  
පිළිතුර -
මෙහෙමයි. එතුමා එහෙම කියන එක විශ්වාස කරන්න පුළුවන්. මොකද එතුමාට බලය නැතිව ඉන්න බෑ. එහෙම ඉඳලා පුරුද්දක් නෑ. නමුත් අපට එහෙම නෑ. ඒ නිසා අපට බයක් නෑ.

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්