අලියා හොඳ නෑ කියලා එළියට ගිහින් අලියාගේ වලිගයේ එල්ලෙන්න හදනවා


මහ මැතිවරණයට දින ළං වෙමින් තිබේ. මැතිවරණ පොරපිටිය ගිනියම් ය. මේ ඒ ගිනියම් දේශපාලන පරිසරය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය සමග සංවාදගත වූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතාගේ හඬය.  


ප්‍රශ්නය:- කොහොමද ඡන්ද ව්‍යාපාරය?  


පිළිතුර:- ඉතාම හොඳට කරගෙන යනවා. ඉතාම අඩු කාලයක් තියෙන්නේ. ඒ වගේම හැමෝම ඉතාම දුෂ්කරතා මැද්දෙයි ඡන්දෙ කරගෙන යන්නේ. නමුත් අපි අලුත් විශ්වාසයක් ඇති කරගෙන ගෙයින් ගෙට යමින් හදවතින් හදවතට කතා කරමින් යනවා.  


ප්‍රශ්නය:- ඔබලාගේ අරමුණ සිරිකොත රැකගැනීම.  


පිළිතුර:- ඇයි සිරිකොත රැකගැනීම කියලා අහන්නේ?  


ප්‍රශ්නය:- සමගි ජන බලවේගය කියනවා අගෝස්තු 5 වැනිදාට සිරිකොත අල්ලනවා කියලා.  


පිළිතුර:- අපේ අරමුණ රටේ බලය ලබා ගැනීම. මෛත්‍රීපාල සිරිසේනත් එක්ක ඩීල් දාපු අය අපේ පක්ෂයෙ බලය නැති කරපු අය ඉන්නවනේ. අන්න ඒ බලය යළි ලබා ගැනීම තමයි අපේ අරමුණ.  


ප්‍රශ්නය:- ඔබ හිතනවද ආණ්‍ඩු බලය ලබා ගන්න පුළුවන් කියලා?  


පිළිතුර:- රටේ ආණ්‍ඩු හදන්න පුළුවන් පක්ෂ තුනයි තියෙන්නේ. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔය පක්ෂ තුනෙන් එක්සත් ජාතික පක්ෂයට අද අලුත් පෙනුමක් ලැබිලා තියෙනවා. පක්ෂයේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න නිවැරදි කරලා තියෙනවා. රටේ ජනතාවට අලුත් විශ්‍වාසයක් ඇති වෙලා තියෙනවා.

  
ප්‍රශ්නය:- ඔබේ පක්ෂයේ හිටපු ජනප්‍රියම නායකයා සජිත් ප්‍රේමදාස. අද ඔහු ඔබලාට එරෙහිව මැතිවරණයට ඇවිත් තියෙනවා. ඒ තුළ!   


පිළිතුර:- මහත්තයෝ... ඒ ඔයා හිතන විදියනේ. ඔය කියපු ජනප්‍රියම කෙනාව දැම්මනේ. නමුත් ඉතිහාසයේ කවමදාවත් නොලබපු පරාජයක් පක්ෂයට ගෙනාවනේ. ඇයි එහෙම කෙනෙකුට ලස්සන වචන දාලා චරිතයක් කරන්න හදන්නේ. බැලුම් බෝලයක් ඕනෑවට වඩා පිම්බුවාම පිපිරෙනවනේ. අන්න ඒ වගේ අර කියමනක් තියෙනවා ‘හිරමනය එංගලන්තයට අරන් ගියත් ගාන්න වෙන්නේ පොල්’ කියලා. අන්න ඒ වගේ තමයි එයත්. හැකියාව සීමිතයි. හැකියාවට වඩා පෙන්නන්න ගිහින් තමයි අද ​අපේ පක්ෂය විපක්ෂයේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. පක්ෂය විනාශ කරපු අයත් අද වෙනත් පක්ෂයක ඉන්නේ.   


ප්‍රශ්නය:- ඔබේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හතරෙන් තුනක්ම ඉන්නේ සජිත් එක්ක. 

 
පිළිතුර:- ඒ හතරෙන් තුනම තමන්ගෙ ආසනය පැරදිච්ච අය. පැරදුණ හැමෝම ඉන්නේ එතැන තමයි. තමන්ගේ ආසනය දිනපු එක්කෙනෙක් මට පෙන්වන්න. ජනතාවත් සමග සිටින අය එක්සත් ජාතික පක්ෂයෙ සිටින්නේ. අනිත් අය තමන්ගෙ දේශපාලන අස්ථාවර බව නිසා වෙනින් කල්ලි හදලා ඒ හරහා බලය ගන්න පුළුවන් කියලා හිතාගෙන ගිහින් අද හොම්බ බිම ඇනගෙන ඉන්නවා.  


ප්‍රශ්නය:- පක්ෂය මෙහෙම පුපුරා යන්න ඔබත් ප්‍රධාන හේතුවක්. 


පිළිතුර:- ඇයි ඔබ එහෙම කියන්නේ.


ප්‍රශ්නය:- ඔබ එළිපිටම සජිත් ප්‍රේමදාස සමග ගැටුණා. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන පවා ඔබ ප්‍රශ්න කළා. 


පිළිතුර:- මම එහෙම ගැටුණේ පක්ෂය වෙනුවෙන්. පක්ෂයට හානි කරනවා නම් පක්ෂයට අාපු දවසෙ ඉඳලා පක්ෂය ඇතුළේ කුළල් කාගනිමින් ප්‍රශ්න ඇති කරනවා නම් අලියා නොවෙයි ඔරලෝසුව උස්සාගෙන යනවා නම් ඒවාට එරෙහිව අනිවාර්යයෙන්ම අපි සටන් කරනවා. අපිට ගේම් දෙකක් නැහැ. ඩී.එස්. සේනානායක සුද්දාගෙන් බලය අරන් උන්ට වැඩිය හොඳට රට හදනවා කියලා ගත්ත පක්ෂය මේ. ඩී.එස්ගෙන් පස්සෙ ඩඩ්ලිගෙන් සර් ජෝන්ගෙන් ජේ.ආර්.ගෙන් ප්‍රේමදාසගෙන් විජේතුංගගෙන් රනිල්ගෙන් ඒ මෙහෙවර හොඳට වුණා. ඒකට ප්‍රශ්නයක් ඇති කරන ඕනෑම කෙනෙකුට මම එරෙහි වෙනවා. මේ පක්ෂයට විරුද්ධව ගිහින් සාර්ථක වෙච්ච කෙනෙක් අද දේශපාලනයේ නැහැ. මාධ්‍යයෙන් තමයි මේ චරිත හදන්නේ. මාධ්‍යයෙන් හදපු චරිතවලට ඒවා දරා ගන්න බැරි වුණාම ඒ වගේම හදපු තරමට වැඩේ නැති වුණාම ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒගොල්ලෝ බනින්නේ පක්ෂයට. ඇයි මට මාධ්‍යයෙන් ඔය සහාය දෙන්නේ නැත්තේ. එයා පක්ෂයෙ අවුරුදු 19ක් ඉන්නවා. මම අවුරුදු 26ක් තිස්සෙ ඉන්නවා. අැයි මාධ්‍ය මට ඔය සහයෝගය දෙන්නෙ නැත්තේ? නැති දෙයක් ඇති කරන්න හදන එක නොවෙයි ඇති දෙයක් වැඩි කරන එක තමයි යෝග්‍ය. ඉතින් ඔබතුමා ඔය වගේ ප්‍රශ්න අහනකොට මගේ උත්තරය තමයි කරුණාකරලා සාපේක්ෂව බලන්න වඩාත් හොඳ කවුද කියලා. කරපු සටනෙන් අද එයා කොහෙද ඉන්නේ. මම කොහෙද ඉන්නේ. මම හදපු පක්ෂයත් එක්ක මම ඉන්නවා. එයාගේ තාත්තා පක්ෂයේ විනය කැඩුවා කියලා ලලිත්-ගාමිණීව පක්ෂයෙන් අයින් කළා. මේ පුතා පක්ෂයෙ විනය කඩලා වෙනත් තැනකට ගිහින් ඉන්නවා.


ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂයෙ නායකයා වීමේ සිහිනයේ ඔබ ඉන්නවා. ඒකට සජිත් බාධාවක්. ඒ නිසා සජිත්ලාට පක්ෂය හැර යන තැනට ඔබ වැඩ හැදුවා. 


පිළිතුර:- මම එච්චර දක්ෂයෙක් නම් ඉතින් හොඳයිනේ. ඔබේ ප්‍රශ්නය ඇතුළෙම තියෙන්නේ මගෙ දක්ෂතාවනේ. අපි ඒ අයව එළෙව්වේ නැහැනේ. ඒ අයමනේ අලියා හොඳ නෑ කියලා එළියට ගිහින් අලියගෙ වලිගෙ එල්ලෙන්න තමයි හදන්නේ. අලියා හොඳ නැත්නම් වලිගෙ හොඳ වෙන්නෙ කොහොමද? 
ප්‍රශ්නය:- සජිත් ඇතුළු පිරිවර කරන බරපතළම චෝදනාව තමයි බැඳුම්කර ගනුදෙනුව නිසා පක්ෂයට බරපතළ හානියක් වුණා කියලා. ඒක හොරකමක්. ඒ හොරකම ඇතුළේ ඔබත් ඉන්නවා කියලයි කියන්නේ. 
පිළිතුර:- ඔබතුමාලා මගෙන් ඉන්ටර්විව් එකක් ගත්තොත් මගෙන් මේ ප්‍රශ්නය අහනවාමයි. දැන් අවුරුදු පහක් තිස්සේ ඔබත් මගෙන් මේ ප්‍රශ්නය අහනවා. ඇයි දෙයියනේ මේ සම්බන්ධයෙන් මම අහන්නේ මෙච්චර අහන්නේ ඇයි? හොරි ගෙඩියක් වගේ මේක හැමදාම කසන්න අවශ්‍ය ද? ඔබතුමා මගෙන් මේ ප්‍රශ්නය අහනවා. මොකක්ද ප්‍රශ්නය?


ප්‍රශ්නය:- ඔබ කියන්නේ බැඳුම්කර ගනුදෙනුව ප්‍රශ්නයක් නොවෙයි කියල ද? 


පිළිතුර:- ඔය සම්බන්ධයෙන් පරීක්ෂණ පහක් කළා. ඒ එකක් තමයි පිටිපන කොමිටිය. ඒකේ මගෙ නම තියෙනවද? ඩිව් ගුණසේකර කෝප් කමිටුව. ඩිව් අපේ පක්ෂයෙද? ඊට පස්සෙ සුනිල් හඳුන්නෙත්තිගෙ කෝප් කමිටුව. මගේ නම ඒකෙ තියෙනවද? ඊට පස්සෙ විශේ‍ෂ ජනාධිපති කොමිසමක් දැම්මා. ඒකෙ මගෙ නම තිබුණාද? ඒ කොමිසම් වාර්තාවේ එක තැනක මට ප්‍රශංසා කරලා තියෙනවා. ඊටත් පස්සේ වෝහාරික පරීක්ෂණය කළානේ. ඒකේ මගෙ නම තියෙනවද?


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඒ වාර්තාවල ඔබේ නම නැති නිසා ඔබ නිර්දෝෂයි කියල ද? 


පිළිතුර:- අනිවාර්යයෙන්ම මහ බැංකුව තිබුණේ මගේ අතේද? මහ බැංකුව තිබුණේ අගමැතිතුමා යටතේ. ඒකේ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා. වාණිජ බැංකුවල පාලනය තිබුණේ මං ළඟ ද? ඒවා පාලනය කළේ කබීර් හෂීම්. ඇයි මේවා ගැන කතා කරන්නෙ නැත්තේ. මේක කතා කරලා ඉවර කරන්න අවශ්‍යයි. හොරි ගෙඩියක් වගේ මේක කස කසා ඉන්න බැහැ. එහෙම කස කසා හිටියම රටටත් කැතයි. පත්තරේටත් කැතයි. මටත් අවනම්බුයි. මේ ගැන අහල අහල උත්තර දීලා තියෙන්නේ. 


ප්‍රශ්නය:- ඇලෝසියස්ගෙන් ගෙයක් ගත්තා කියලත් ඔබට චෝදනාවක් ආවා. 


පිළිතුර:- මම ඒකටත් උත්තර දීලා තියෙනවා. එහෙම නම් මට කියන්න සජිත් ප්‍රේමදාසගේ වෙඩින් එකට සල්ලි වියදම් කළේ කවුද කියලා. එයාගේ නෝනාට සැලෝන් දාන්න සල්ලි වියදම් කළේ කවුද? දැන් කියන්නකෝ නැහැ කියලා. ඇයි මේ ජඩ වැඩ කරන්නේ. ඒගොල්ලෝ මහ බැංකු හොරකමක් ගැන කියනවා. හොර සල්ලි අච්චු ගැහුවේ කවුද රාජපක්ෂලාට ගිහින් වැඳලා බේරුණේ නැද්ද? මෙහෙම ජඩ වැඩ කරලා අනිත් අයට ඇඟිල්ල දික් කරන්නේ ඇයි? මේ ඡන්දෙ කාලෙ ජඩ වැඩවල සීමාවක් තියෙන්න ඕනෑ. මාව නිකරුණේ හැම අවස්ථාවකදීම වැරදිකාරයෙක් කරන්න හදනවා. ඇයි මට මෙහෙම කරන්නේ. ඵල ඇති රුකට තමයි ගල් ගහන්නේ. කෙළින් තියෙන ඇණයට තමයි මිටියෙන් ගහන්නේ. ඒක තමයි මේ කරන්නේ. අපි ඇලෝසියස්ලගෙන් සල්ලි අරන් ඒ අයව ආරක්ෂා කරන්න කටයුතු කළේ නැහැ. සල්ලි ගත්ත අය රටම දන්නවනේ. ඇයි මාව විතරක් මේකට ඉලක්ක කරන්නේ.


ප්‍රශ්නය:- සජිත් ප්‍රේමදාසගේ කණ්‍ඩායම කියන්නෙ හොරු ටික නතර වුණා පිරිසිදු අපි එළියට ආවා කියලයි.

 
පිළිතුර:- ඇයි දෙයියනේ මේකට හොඳම උත්තරය තමයි පිරිසිදු අපි අභියෝග කරනවා ඔහොම කියන ඔක්කොම අයට. සජිත් වෙන්න පුළුවන්, චම්පික වෙන්න පුළුවන්, හර්ෂ වෙන්න පුළුවන්, එරාන් වෙන්න පුළුවන්, සුජීව වෙන්න පුළුවන්. ඔය ඔක්කොම එන්න. මම තනියෙන් විවාද කරන්නම්. එක තැනක් පෙන්වන්න. අපි කරපු හොරකම මොකක්ද? ඒගොල්ලන්ගේ හොරකම් බලන්න. වෙඩින් ගත්තු හැටි. සැලෝන් දාපු හැටි. හොර සල්ලි අච්චු ගහපු හැටි. ඒ හොර සල්ලි කොළඹ විතරක් නොවෙයි මොණරාගලටත් ගියා. සංස්කෘතික අරමුදලට මොකද වුණේ. ඇයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ. ඇයි නැති අපට විතරක් මඩ ගහන්නේ. වෙහිකල්වල ඩ්‍රැයිවර්ලා මාරු කරලා වැඩේ කරලා තියෙන්නේ. මේක එයාර් ලංකා වෙන්න පුළුවන්. කොච්චර දේවල් තියෙනවද? අර ඉඩම් පවරලා තියෙනවා. මේවා ඔක්කොම කරලා අපිට ඇඟිල්ල දිගු කරනවා. ඔබතුමාත් ප්‍රශ්න අහලා මේකෙන් අවසන් කරනවා. අද මේක අවසන් කරමු. නැතිනම් ඔබතුමා ආපහු ඇවිත් මගෙන් මේ ගැන අහනවා. 


ප්‍රශ්නය:- ඔබලා ආණ්‍ඩුවත් එක්ක ඩීල් දාගෙන කියලත් සජිත් කණ්‍ඩායම චෝදනා කරනවා. 


පිළිතුර:- ඔය ඩීල් දාසලානේ ඩීල් දාන්නේ. කවුද විපක්ෂ නායක කාර්යාලය දුන්නේ. එයාට විපක්ෂ නායක වෙන්න පුළුවන් ද? විපක්ෂ නායක කියන්නේ විපක්ෂය ඒකරාශී කරන කෙනාට. ලෝකයේ පළමු වතාව විපක්ෂ නායකයා විපක්ෂය දෙකට කඩපු. ඊටත් වඩා දෙයක් තියෙනව ද? ප්‍රාදේශීය සභාවක්වත් දිනන්න බැරි පුද්ගලයකුට ජනාධිපති වෙන්න පුළුවන්ද? එදා ආනන්ද කුලරත්න නායකයා හැටියට හම්බන්තොට සියයට 45 ක් ගත්තා. මෙයාගෙ කීයද? සියයට 24යි. මේ වගේ අය තමයි මේ කතා කරන්නේ. මේගොල්ලො මේවා කරලා ඔහෙ ඉන්නවා. කතා කරන අපිට තමයි ප්‍රශ්න. කොළඹ දාලා ගියෙ කොහොමද? මට මේ ටයිකෝට් කාරයෝ එක්ක ඉන්න බෑ. ගමේ දහඩිය සුවඳට මම කැමතියි කියලා හම්බන්තොට ගිය මිනිහා අන්තිමට ඒ මිනිස්සුන්ට කනේ පාරක් දීලා ටයිකෝට්කාරයෝ ඉන්න කොළඹට ආවා. කොළඹ ජනතාව දන්නවා ඒකට දෙන්න ඕනෑ උත්තරය මොකක්ද කියලා.


ප්‍රශ්නය:- මහ මැතිවරණයෙන් පස්සෙ පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ජාතික ආණ්‍ඩුවක් හැදීමේ සූදානමක් තියෙන බවත් කියැවෙනවා. 


පිළිතුර:- අපේ අභිලාෂය එක්සත් ජාතික පක්ෂයෙ ආණ්‍ඩුවක් හදන එක. එ් නිසා වෙනින් මොකවත් අපි කරන්න ඕන නෑ. ජේ.ආර්. ජයවර්ධන එදා 77 ට පෙර මන්ත්‍රීවරු හත් අට දෙනයි හිටියේ. මහ මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ගත්තා. මේ අවස්ථාවෙත් එහෙම තමයි. ඩී.එස්. සුද්දාගෙන් රට බාරගත්ත පක්ෂය මේක. අපි මේ පක්ෂය පාවලා දෙන්නේ නෑ. මේ ඩීල් දාසලා තමයි ඒක කරන්නේ. ඒගොල්ලෝ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුකාරයෝ. ඒ ගොල්ලෝ තමයි කිව්වේ ජනාධිපති ගෝඨාභය, අගමැති සජිත් කියලා. අපි කිව්වේ නැහැනේ එහෙම. එහෙම නම් ඇයි අපිට එහෙම දාන්නේ. ඒගොල්ලෝ දැනගත්තා ඒක එ් අයට පාරාවළල්ලක් වුණා කියලා. ඒ නිසා ඒක අපිට දැම්මා. නමුත් විපක්ෂ නායක කාර්යාලය ගත්තා. කාර් එක ගත්තා. කේස් ටික යටපත් කරගත්තා. ඒ අයට ප්‍රශ්න නැහැ. අපිටනේ ප්‍රශ්න තියෙන්නේ. 


ප්‍රශ්නය:- මහ මැතිවරණයෙන් පස්සේ ඔය කණ්‍ඩායම් දෙක එකතු වෙයි. 


පිළිතුර:- පසුගිය බදාදා අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙලා ඍජු තීරණයක් ගත්තා. මේ ප්‍රශ්නයෙ නිර්මාතෘවරුන් තුන් හතර දෙනා මොන හේතුවක් නිසාවත් පක්ෂයට ගන්නෙ නැහැ කියලා. නොමග ගිය අයට නිවැරදි වෙලා එන්න පුළුවන්. අර තුන් හතර දෙනා පැත්ත පළාතේ ගන්නේ නැහැ කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඍජු තීරණයක් ගත්තා.


ප්‍රශ්නය:- කවුද ඒ තුන් හතර දෙනා? 


පිළිතුර:- දැන්ම නම් ගම් කියන්න අවශ්‍ය නෑ. ත්‍රීවිලර් එකක දාගෙන යන පක්ෂයක නම් ටිකක් දාගෙන ගියාට වැඩක් නැහැ. එදා රුක්මන් සේනානායක ගියා. මොකක්ද කරන්න පුළුවන් වුණේ. සිරිසේන කුරේලාට මොකද කරන්න පුළුවන් වුණේ. රාජාලියාට මොකද වුණේ. මේකෙන් ගිහින් කරන්න පුළුවන් දෙයක් නැහැ. රාජාලියා පක්ෂයෙන් නෙරපුවා. එතැන තිබුණේ මොළ ටිකක්. මෙතැන මොළ නැහැනේ. රොඩු ටික වෙරළට ගහගෙන එනවා වගේ අපේ රොඩු ටික ගහගෙන ගියා. දැන් අපේ පක්ෂය පිරිසිදුයි.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්