අරකත් බෑ මේකත් බෑ කියල ආණ්ඩුව කෙඳිරි ගානවා


ජාතික ජනබලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත්   

 

අය වැය ඇතුළු කාලීන දේශපාලනය පිළිබඳ මේ අදහස් දැක්වීම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගෙනි.   

 
මේ දවස්වල වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නේ අය වැය දෙසට. ඔබ ඒක දකින්නේ කොහොමද? 
 
ආද‌ායම් උපදවන හැටි කොහෙත්ම සඳහන් නොවන වියදම් විතරක් ඇති අයවැයක් මේක. රට තවත් ණය කන්දක හිරකරන අයවැයක්. 2020-2021 අවුරුදු දෙකට විතරක් අලුතෙන් රුපියල් බිලියන පන්ද‌ාහක් ආණ්ඩුව ණය ගන්නවා. ඇත්තටම රටේ වියදම් පියවන්න ආණ්ඩුවට උත්ත​රේ වෙලා තියෙන්නේ සල්ලි අච්චු ගහන එකයි ණය ගන්න එකයි විතරයි. මේ අයවැයේ ජනතාවට ලැබෙන කිසිම දෙයක් නෑ. තවත් රට ණය උගුලක හිරකිරීමක් විතරක් මේකෙන්​ වෙලා තියෙන්නේ.   
 
ආණ්ඩුව කියන්නේ පුළුවන් තරම් දේවල් දීලා තියෙන්නේ කියලා මේ අයවැයෙන්. කිසිම හොඳක් ඇත්තේම නැද්ද?   
 
සාමාන්‍යයෙන් ඕනෑම අයවැයක රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම් වගේ දේවල් සිද්ධ වෙනවා. සමහර බදු යම් තරමකට හරි අඩුවෙනවා. බඩුවල මොන මට්ටමින් හරි මිල අඩුවෙනවා. මෙද‌ා අයවැයෙන් ඒ කිසිම දෙයක් නෑ. රාජ්‍ය සේවකයින්ට මොකක්වත් දෙයක් නෑ. රාජ්‍ය සේවකයෝ හැම අයවැයකින්ම තමන්ට කීයක් හරි පඩි වැඩිවීමක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සත පහක් වැඩිවෙලා නෑ.   
 
2016 පස්සේ විශ්‍රාම ගිය විශ්‍රාමිකයින්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප් මේ අයවැයෙන් ලබා දීලා නෑ. ඒ අය අද මහපාරේ උද්ඝෝෂණය කරනවා. හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයත් මේ ගොඩේ ඉන්නවා. ඉතිහාසයේ සරදමක් විදියට ඔහුටත් අද විශ්‍රාම වැටුප අහිමිවෙලා තියෙනවා. ඉතින් කාටද මේ අයවැයෙන් සහන හම්බවෙලා තියෙන්නේ? කිසි කෙනෙකුට කිසිම සහනයක් නෑ. රටටම අසහනයක් විතරයි මේකෙන් ඉතුරු කරලා තියෙන්නේ? ජනතාව මත බර පැටවීමක් විතරයි සිද්ධවෙලා තියෙන්නේ. තනිකරම ප්‍රෝඩාකාරී අයවැයක් මේක.   
 
ආණ්ඩුව කියන්නේ රට අමාරු අවස්ථාවක තියෙද්දී අසීරු අඩියකට වැටිල තියෙද්දීත් මේ තරම් හොඳ අයවැයක් ඉදිරිපත් කරපු එක ගැන ජනතාව සතුටු වෙන්න ඕන කියලා.   
 
කොරෝනා ආවේ මාර්තු මාසේ. අපේ රටට කොරෝනා බලපෑම ඇතිවුණේ මාර්තු මාසේ අග. රට වහන්න ගත්තේ මාර්තු අන්තිමේ. නමුත් 2020 ට අද‌ාළ මහ බැංකු මූල්‍ය වාර්තාව පැහැදිලිව කියනවා 2020 පළවෙනි කාර්තුවේදී අපේ රටේ කර්මාන්ත 7.8% කින් කඩාගෙන වැටිලා කියලා. ඒ පළවෙනි කාර්තුව කියන්නේ කොරෝනා නැති කාලයක්. එතකොට පළවෙනි කාර්තුවෙ කර්මාන්ත කොහොමද කඩාගෙන වැටෙන්නේ. ඒක මේ ආණ්ඩුවෙ නොහැකියාව සහ අසමත්කම. ආණ්ඩුවෙ බැරිකම කොරෝනා පිටින් ද‌ාල ෂේප් වෙන්න මේ හදන්නේ.   
 
කොරෝනා තත්ත්වයට මුහුණ දීලා රටේ වියදම් පාලනය කරලා, දූෂණ අක්‍රමිකතා නැති කරලා යන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් කරගන්න මේ ආණ්ඩුවට බැරිවීම කොරෝනා පිට ද‌ාල ගැලවෙන්න හැදුවට වැඩක් නෑ.   
රාජ්‍ය ආයතනවල පාඩුව එන්න එන්න වැඩිවෙනවා. මේක පාලනය කරන්න ආණ්ඩුවට බෑ. මේවා කොරෝනා තත්ත්වයකදී පාලනය කරගන්නේ කොහොමද කියලා ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙන්න ඕන. ඒක තමයි ආණ්ඩුවක සමත්කම කියන්නේ. නාහෙන් අඬ අඬා ඉන්න එක තමයි අසමත්කම. අරකත් බෑ, මේකත් බෑ කියලා දැන් මේ ආණ්ඩුව කෙඳිරිගානවා.   
 
කොවිඩ් පාලනය කරගන්නත් බෑ කියලා ජනාධිපතිතුමා කිය කිය ඉන්නවා. යුද්දයක් වගේ නෙවෙයි නිසා අමාරුලු. මෙහෙම කියන්න රටකට නායකයෙක් මොකටද. ඒක ද දක්ෂකම කියන්නේ. ආවේ අපි රට ගොඩගන්න හැටි පෙන්නන්නම් කියලා. දැන් අවුරුද්දක් ගතවෙලා කරපු දෙයක් නැති තැන බොරු බයිලා කියනවා.   
 
 කොරෝනා තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන්නවත් ආණ්ඩුවට අද නොහැකි වෙලා තියෙනවා. 2019 දී සෞඛ්‍යට වෙන්කරපු මුදලයි 2021 සෞඛ්‍යයට වෙන්කරන මුදලයි ගත්තම පේනවා මේ අයගේ සෞඛ්‍යය ක්ෂේත්‍රය ගැන තියෙන සංවේදීකම. කිසිදු මුදලක් වැඩි කරලා නෑ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. 
 
හැබැයි මේ අයවැයෙන් රාජපක්ෂ පවුලෙ අයියල මල්ලිලා පුත්තු ටික 70% ක් විතර බෙද‌ාගෙන තියෙනවා. කොරෝනා පිට ද‌ාලා හැම දේකින්ම දැන් ගැලවෙන්න තමයි මේගොල්ලො මාන බලන්නේ.   
 
ආණ්ඩුවෙ කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන විවේචනයක් විතරද තියෙන්නේ?   
 
හමුද‌ාපතිවරයම කිව්වා කොරෝනා පාලනය සම්බන්ධයෙන් අධි තක්සේරුවකට ආව කියලා. දැන් ඒක පැහැදිලියි. කොරෝනා මර්දනය කළා, ලෝකෙන් දෙවෙනි තැනට ආවා කිය කියා උඩපැන්නා. පහුගිය ඡන්ද කාලෙම ඕක තමයි කිව්වෙ. කොරෝනා මර්දනය කරපු අයට ඡන්දෙ දෙන්න කියල තමයි කිව්වේ. ඒ පාලනය අතිශෝක්තියෙන් උඩ දම දම හිටියා දන්නෙම නැතුව දෙවෙනි රැල්ල එනකම්. දෙවෙනි රැල්ල ආපු වෙලාවෙ ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව හිටියා. 
 
 රට පුරා ව්‍යාප්ත වෙලා ගියා. මේක අද මේක පාලනය කරගන්න බැරි තැනකට ඇවිත් තියෙනවා. සෞඛ්‍ය සේවයේ වැඩ කරන අයගේ ආරක්ෂාවට අවශ්‍ය ඇඳුම් කට්ටල ටික පවා දීගන්න බැරිවෙලා. ඒ අයත් අද ජීවිත අනතුරක ඉන්නේ. ආණ්ඩුවෙ සෞඛ්‍ය ඇමැතිවරිය ගංගාවලට මුට්ටි අත අරිනවා. මේ වගේ විහිළුත් තියෙනව ද?   
 
මේ දෙවෙනි රැල්ලේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ගන්න ඕන. ආණ්ඩුවෙ නොහැකියාව නිසාමයි මේ තරම් අර්බුදකාරී තැනකට මේක ආවේ.   
 
අද මහජනතාවත් අමාරුවෙන් ඉන්නේ. හුදෙකලා කරපු ප්‍රදේශවල ජනතාව විරෝධතා දක්වනවා. ආණ්ඩුව කියන්නේ විපක්ෂය ඒ ජනතාව කුලප්පු කරනවා කියලා.   
 
 ආණ්ඩුවෙ එක්තරා ඔළමොට්ටල ඇමැතිවරයෙක් කිව්වා මේ පාරට බැහැපු මිනිස්සු දීපු රුපියල් පන්ද‌ාහ සතියෙන් ඉවර කරගෙන පාරට බැහැල කෑ ගැහුවට වැඩක් නෑ කියලා. අපි ඕන කෙනෙක් දන්නවා අද රටේ තියෙන තත්ත්වය අනුව රුපියල් පන්ද‌ාහකින් මාසයක් තියා සතියක්වත් ජීවත් වෙන්න බෑ කියලා. ඒක දන්නේ නැත්තේ මේ වගේ මෝඩ ඇමැතිවරු විතරයි.   
 
 ඒ ඇමැතිවරුන්ගේ ගෙදර ලයිට් බිලම ලක්ෂ ගණන් ගෙවන කොට කන්න බොන්න නැතුව පාරට බැහැපු අහිංසක මිනිස්සුන්ට බණිනවා මාසයක් වියදම් කරන්න දීපු රුපියල් පන්ද‌ාහ සතියෙන් වියදම් කරගෙන කියලා. අද ආණ්ඩුව මේ වැඩේ හොඳටම අනාගෙන ඉන්නේ. ඒක නිසා මේක මිනිස්සු පිට ද‌ාලා මිනිස්සුන්ට තර්ජනය කරලා පොඩි දේටත් හිරේ ද‌ාලා ඇඟ බේරගන්න තමයි හදන්නේ. 
 
මේ ආණ්ඩුවට ජනතාවගේ දුක තේරෙන්නේ නෑ. අඩුම තරමේ තමන්ට ඡන්දෙ දීපු මිනිස්සු ගැනවත් හැඟීමක් නෑ. මේ තරම් පිරිහීමට ලක්වෙච්ච ආණ්ඩුවක් නැති තරම්. ජනතාවගේ බඩගින්න අපහාසයට ලක්කරපු ආණ්ඩුවක් මේක. කොරෝනා අර්බුදයෙන් පීඩාවට පත්වෙච්ච විශාල පිරිසක් රට පුරා ඉන්නවා. අද ඒ සියලු දෙනා අසරණ වෙලා.   
 
 කොරෝනා අරමුදලෙ විශාල මුදලක් තියෙනවා. ඒත් ඒවා මොනවට වියදම් කරනව ද කවුරුත් දන්නේ නෑ. මීට කලිනුත් ඔය වගේ අරමුදල්වලට වුණේ මොකක්ද කියලා අපිට මතකයි.   
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පදවි ප්‍රාප්තියේ පළමු වසර සැමරුවා. කොහොමද ඒ වසරේ ප්‍රගතිය?   
 
මෙච්චර වෙලා අපි කතා කෙරුවෙත් එතුමාගෙ වසරක ප්‍රගතිය ගැනනේ. තව මොනවද කතා කරන්නේ? වැඩ කරන විරුවා කියාගෙන ආවෙ. අද වැඩ කරන්න බෑ කිය කිය ඉන්නවා. ගෝඨාභය ෆේල් කියලා අදහසක් මතුවෙලා තියෙනවා. එතුමම ජාතිය අමතල කියනවා මම ෆේල් නෑ කියලා. ඒකම මොන තරම් විහිළුවක්ද. ඒක මේ අවුරුද්ද ඇතුළෙ ඔප්පු වෙලා ඉවරයි.   
 
 රටේ ආර්ථිකය පැත්තෙන්, ජනතාවගෙ ජීවත් වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැත්තෙන් මේ කෙටි කාලය තුළ ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා. තමන්ගෙ බැරිකම අවුරුද්දක් ඇතුළත ඕනවටත් වැඩිය පෙන්නලා තියෙන්නේ.   
 
මේ ආණ්ඩුවට විශාල බලයක් තියෙනවා. වැඩකරන්න නම් තුනෙන් දෙක දෙන්න කියලා කිව්වා. ඒක දුන්නා. වැඩ කරන්න නම් විස්ස සම්මත කරගන්න ඕන කිව්වා. ඒකත් දැන් හරි. දැන් තව මොනවද කියන්නේ. මේ මොනව තිබුණත් මේ ආණ්ඩුවට රට ගොඩගන්න බෑ.   
 
දවසින් දවස රට අගාධයට ඇද ද‌ාන එක විතරයි කරන්නේ. විධායක බලය පාවිච්චි කරල අද මොනවද කරන්නේ? තමන්ගේ කල්ලියේ හොරු, දූෂකයො පෝලිමට නිදහස් වෙනවා නම් පේනවා. බරපතළ චෝදනාවලට ලක්වෙච්ච අය අද නිදහස් වෙනවා. ඇප පිට එළියට එනවා.   
 
 මේවා නිකම්ම සිද්ධවෙන්නේ නෑ. ජනතාවට දැන් පැහැදිලියි පත්කර ගත්තු ආණ්ඩුව තමන්ට ද සලකන්නේ එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙ කල්ලියට ද කියලා. ජනතා විරෝධය ආණ්ඩුවට එරෙහිව දවසින් දවස වැඩිවෙනවා. අපි ඒකට නායකත්වය දීලා මේ දූෂිත ආණ්ඩුව ඉතා ඉක්මනින් ගෙදර යවන්න සූද‌ානම්.   

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි