අයවැයෙන් ජනතාවට විශාල වශයෙන් සහන ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා


ආණ්ඩුවේ අර්බුද අවසන් ද? ජනතාවට දෙන සහන මොනවාද? අලුත් ව්‍යවස්ථාවේ අලුත්ම තත්ත්වය. පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇති සූද‌ානම ආදිය විමසමින් රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ කළ සාකච්ඡාවකි.  

රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති 
ලක්ෂ්මන් කිරිඇල්ල


• ප්‍රශ්නය:- දැන් කොහොමද අලුත් ආණ්ඩුවේ වැඩ කටයුතු? 

 
පිළිතුර:- වැඩ කරගෙන යනවා. නමුත් අර දවස් 52 දී ඇතිවෙච්ච පසුබෑම රටට විශාල වශයෙන් බලපාලා තියෙනවා. රටට අභ්‍යන්තර වශයෙන් විතරක් නොවෙයි ජාත්‍යන්තර වශයෙන් රටට තිබුණ ගෞරවය, පිළිගැනීම පළුදු වුණා. ඉතාම නරක තත්ත්වයකට මේගොල්ලෝ රට ඇදලා දැම්මා.  


• ප්‍රශ්නය:-  මීට කලින් රාජපක්ෂ ණය කන්ද ගැන කිය කියා හිටියා. දැන් දවස් පනස් දෙකක් ගැන කියනවා. කවද්ද රටට වැඩක් කරන්නේ.  


පිළිතුර:- මෙහෙමයි. නැවත වරක් රට හරි පීල්ලට ගන්න අපි හැකි සෑම මහන්සියක්ම ගන්නවා. ලෙඩේ බරපතළ වුණාම එකපාරටම සනීප කරන්න බෑනේ. අපේ සංචාරක ව්‍යාපාරය බරපතළ විදියට බිඳ වැටුණා. ආයෝජකයන්ට තිබුණ විශ්වාසය බිඳ වැටුණා. රටේ පාලකයන් නීතිය නොතකා කටයුතු කරන බවට හැඟීමක් ලෝකයාට ගියා. මම ඒකයි කිව්වේ තත්ත්වය බරපතළයි කියලා. නමුත් අපි ඉතාම ඉක්මණින් තිබුණ තත්ත්වය වෙනස් කරමින් යනවා. කොහොම වුණත් අප ගැන විශ්වාසය තැබූ ජනතාවගේ ඒ විශ්වාසය අපි ඒ ආකාරයෙන්ම රකිනවා. ඒක සහතිකයි.  


• ප්‍රශ්නය:-  එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වගේ වැඩසටහන් පසුගිය කාලේ ක්‍රියාත්මක වුණා. නමුත් දැන් කිසි ශබ්දයක් නෑ?  


පිළිතුර:- ඉදිරි කාලයේදී අපේ සංවර්ධන කටයුතු වේගවත් කරනවා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම මිලියන 300 ක් දීලා තමන්ගේ මැතිවරණ කොට්ඨාසය දියුණු කරන්න අවශ්‍ය පියවර ගන්නවා. රජයේ ආයතනවල තිබෙන රැකියා මන්ත්‍රීවරුන් අතරේ බෙද‌ා හරින්න අගමැතිතුමා පියවර ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලබන අයවැයෙන් ජනතාවට විශාල වශයෙන් සහන ලබා දෙන්න.  


• ප්‍රශ්නය:-  මොන වගේ සහන ද දෙන්නේ? ගහලා තියෙන බදු ඉවත් කරනවද?  


පිළිතුර:- මෙහෙමයි. සහන සහිත අයවැයක් ගේන්නේ. මට ඒ ගැන විස්තර කියන්න බෑ. ඒක තහනම්. අය වැය රහස් පිටකිරීම සම්ප්‍රදායට විරුද්ධයි. අය වැය එනකම් ඉන්න. එතකොට ඔබටම බලාගන්න පුළුවන්.  


• ප්‍රශ්නය:-  ඇමැති නවීන් කිව්වා ‘මීට පස්සේ රස්සා දෙන්නේ යූඑන්පී කාරයන්ට විතරයි’ කියලා.  


පිළිතුර:- එතුමා එහෙම දෙයක් කිව්වද? මම නම් ඒ ගැන දන්නේ නෑ. එහෙම ප්‍රතිපත්තියක් අපට නෑ.  


• ප්‍රශ්නය:-  රැකියා දශ ලක්ෂයක් දෙනවා කිව්වා. දැනට ලක්ෂ කීයක් දීලා තියෙනවද?  


පිළිතුර:- ඔව්. රජයේ රැකියා දශ ලක්ෂයක් දෙනවා කියලා අපේ පොරොන්දුවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒ​ පොරොන්දුව එක්තරා මටටමකට අපි ඉටු කරගෙන ආවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ රැකියා වැඩි වෙලා තියෙනවා. රජයේ රැකියා නම් බලාපොරොත්තු වෙච්ච විදියට වැඩි වුණේ නම් නැහැ. ඒක අපි පිළිගන්නවා. ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් කරනවා.  


• ප්‍රශ්නය:-  මේ ආණ්ඩුව ග්‍රාමීය ආර්ථිකය ගැන සද්දෙට කතා කළා. අන්න සේනා දළඹුවා මුළු වගාවම විනාශ කරනවා. ආණ්ඩුවට වගේ වගක් නැ.  


පිළිතුර:- ඒ ප්‍රශ්නය ගැන ඉතාම තදින් ආණ්ඩුවේ අවධානය යොමු කරලා. කඩිනම් විසඳුම් දෙනවා. මේ පාර කැබිනට් මණ්ඩලය වගා හානි වෙච්ච ගොවීන්ට දෙන්න මිලියන 250 ක් වෙන් කළා. ඒ වගේම දළඹුවා මර්දනය කරන්න ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉන්න විශේෂඥයන් ඒකරාශි කරලා ජනාධිපතිතුමත්, අගමැතිතුමත් එක දවසට පැය දෙක තුන කතා කරනවා.  


• ප්‍රශ්නය:- යූඑන්පී ආණ්ඩුව ආපු දවසේ ඉදලා ස්වභාවික විපත්වලින් නම් අඩුවක් නෑ. මොකක්ද හේතුව?

  
පිළිතුර:- දෙයියන්ගෙන් තමයි අහන්න වෙන්නේ. ඇත්ත වශයෙන්ම යහපාලන ආණ්ඩුවට වුණේ ප්‍රතිවිරුද්ධ මත දරන පක්ෂ දෙකක් ආණ්ඩු කළා. යූඑන්පී ආර්ථික දැක්මයි ශ්‍රී ලංකා එකේ ආර්ථික දැක්මයි මුළුමනින්ම එකිනෙකට විරුද්ධයි. පහුගිය අවුරුදු තුන හමාර තුළ වුණේ කකුළෙන් අදින එක. ඒක විතරමයි සිද්ධ වුණේ. ඒ නිසයි බලාපොරොත්තු වෙච්ච ආකාරයට අපිට යන්න බැරි වුණේ. එහෙම පරිසරයක් තුළත් අපි ජයග්‍රහණ ලබලා තියෙනවා.  

• ප්‍රශ්නය:-  මොනවද ඒ ජයග්‍රහණ?  


පිළිතුර:- මාධ්‍ය නිදහස සුරක්ෂිත කරලා තියෙනවා. නීතියේ උත්තරීතර භාවය ආරක්ෂා කරලා තියෙනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දීලා තියෙනවා. නිදහස් රටක්. ශීලාචාර රටක් අපි බිහි කරලා තියෙනවා, කියන එක ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. වි​ශේෂයෙන්ම අධිකරණය සම්බන්ධව විශ්වාසය ගොඩනගලා තියෙනවා.  


• ප්‍රශ්නය:-  ඒත් අර්ජුන් මහේන්ද්‍රන් තවම හොයා ගන්නත් නෑ?  


පිළිතුර:- අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නේ සිංගප්පූරුවේ තමයි. ඇත්ත වශයෙන්ම සිංගප්පූරු රජයෙන් අපි ඉල්ලීමක් කරන්න ඕනෑ. ඔහුට රැකවරණය දෙන්නේ සිංගප්පූරු ආණ්ඩුව. වෙන කවුරුවත් නොවෙයි. මොකද ඔහු සිංගප්පූරු පුරවැසියෙක්.  


• ප්‍රශ්නය:- රටේ යම් යම් තත්ත්වයන් නිර්මාණය වෙමින් තිබෙනවා. මාවනැල්ලේ බුදුපිළිම කඩනවා. වනාතවිල්ලුවෙන් ආයුධ ගබඩා හමුවෙනවා. රටට මොකක්ද මේ වෙන්නේ?  


පිළිතුර:- මාවනැල්ල සිද්ධිය ගත්තොත් ඕනෑම රටක අන්තවාදීන් ඉන්නවනේ. සිංහල බෞද්ධයන් අතරත්, ක්‍රිස්තියන් අය අතරත් මුස්ලිම් අය අතරත් දමිළ අය අතරත් අන්තවාදීන් ඉන්නවා. හැබැයි ඒ අයට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක වෙන එකයි වැදගත් වෙන්නේ. මාවනැල්ල සිද්ධියේ සියලු දෙනාම අත්අඩංගුවට ගත්තා. ඉතාමත් ඉක්මණින්ම.  

• ප්‍රශ්නය:- නමුත් මහ මොළකරුවන් දෙන්නව තවම අත්අඩංගුවට අරගෙන නෑ. ඒ දෙන්නට දේශපාලන රැකවරණ ලැබෙන බවයි කියන්නේ?  


පිළිතුර:- දේශපාලන රැකවරණ ලැබෙන බවක් නම් මම දන්නේ නෑ. ඒ දෙන්නා හැංගිලා ඉන්නේ. නමුත් ඒ පිටිපස්සේ ඉන්නේ කවුද කියල පැහැදිලිවම දන්නවා.  

• ප්‍රශ්නය:-  කවුද ඒ?  


පිළිතුර:- ඒවා ඔක්කොම කියන්න බෑ. තවම පරීක්ෂණ කෙරෙනවනේ.  

• ප්‍රශ්නය:-  විල්පත්තුව මායිමේ ආයුධ ගබඩාව ගැන ඔබ මුකුත් කිව්වේ නැහැ.  


පිළිතුර:- පාර්ලිමේන්තුවේදීත් අද ඔය ගැන ප්‍රශ්නයක් මතු කළා. ඔය හැම දෙයක් ගැනම පරීක්ෂණ කටයුතු කරනවා. ආයුධ හමු වුණේ පරීක්ෂණ කරන නිසානේ. පරීක්ෂණ කළේ නැත්නම් ආයුධ හමුවෙන්නේ නැහැනේ. මේක මේ සාමාන්‍ය කට්ටිය හොයා ගත්ත එකක් නොවෙයිනේ. පොලිසියයි රහස් පොලිසියයිනේ මේ ආයුධ ගබඩාව හොයා ගත්තේ. ඒ ගැන පරීක්ෂණ කරනවා.  

• ප්‍රශ්නය:-  ඔබ කිව්වා හැම ආගමකම හැම ජාතිකත්වයකම අන්තවාදී පිරිස් ඉන්නවා කියලා?  


පිළිතුර:- ඔව්. ඒක ඉතින් අපට වළක්වන්න බැහැනේ. සියලු ආගම්වල, ජාතීන් අතර සිටින මධ්‍යස්ථ මතධාරීන් ඉදිරියට ඇවිත් ජනතාව දැනුම්වත් කළ යුතුයි.  


• ප්‍රශ්නය:-  විවිධ අන්තවාදීන්ටත් ඉඩදෙන ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි යහපාලනයේ තියෙන්නේ?  


පිළිතුර:- නෑ. අන්තවාදීන්ට කිසිම ඉඩක් දෙන්නේ නැහැ. අන්තවාදීන්ට ඉඩ නොදෙන නිසා තමයි ඉතාම ඉක්මනින්ම මේ පිරිසව අත්අඩංගුවට ගත්තේ. උද‌ාහරණයක් වශයෙන් පහුගිය රජය කාලේ අර බේරුවල සිද්ධිය ගන්න. අද වෙනකම් කිසි කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වුණේ නෑනේ.  


• ප්‍රශ්නය:- ඔබේ ආණ්ඩුවටත් අවුරුදු තුනකට වැඩියි. ඇයි පරීක්ෂණයක් නොකළේ?  


පිළිතුර:- ඇත්ත වශයෙන් ආණ්ඩුව පරීක්ෂණ ආරම්භ කළා. නමුත් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. අපි උත්සාහ කෙරුවා. අවශ්‍ය සාක්ෂි හොයාගන්න. ඒත් කවුරුවත් ඉස්සරහට එන්නේ නෑ. සිද්ධියක් වෙච්ච ගමන් තමයි සාක්ෂිකාරයෝ ඉදිරිපත් වෙන්නේ. ප්‍රමාද වුණාම එන්නේ නෑ. මාවනැල්ල සිද්දිය වෙච්ච ගමන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ නිසා පුද්ගලයන් හොයාගන්න අපට පුළුවන් වුණා. සතියක් දෙකක් ප්‍රමාද වුණා නම් හොයා ගන්න බැරි වෙන්නත් තිබුණා.  


• ප්‍රශ්නය:-  දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කියනවා ‘පෙබරවාරි 4 ට කලින් ජනතා විමුක්ති පෙරමුණෙත් සහයෝගයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අගමැති රනිල් කියනවා ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් නෑ කියලා. මෙතැන දී කවුද ඇත්ත කියන්නේ?  


පිළිතුර:- මේකනේ. තේරුම් ගන්න ඕනෑ. යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළා. මෙහෙයුම් කොමිටියක් පත් කරලා ඒ මෙහෙයුම් කොමිටියෙන් යෝජනා එකතු කරලා ඒ යෝජනා පාර්ලිමේන්තුවට ද‌ාලා පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාවක් හදන්න. ඉතින් ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.  

• ප්‍රශ්නය:-  ඒක කෙටුම්පතක් නොවෙයි?  


පිළිතුර:- නෑ. කෙටුම්පතක් නොවෙයි. උද‌ාහරණයක් වශයෙන් 10 වැනි වගන්තිය ගන්න. ඒකේ දැන් තියෙන ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙනවා. එ්කම විකල්ප වගන්තියකින් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට විකල්ප වගන්ති අධ්‍යයනය කරලා අවසන් 10 වැනි වගන්තිය සකස් කරන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තුව කරන්න ඕනෑ.  


• ප්‍රශ්නය:- සිංහල පිටපතේ ‘ඒකීය’ කියලා තියෙනවා. නමුත් දෙමළ පිටපතේ තියෙන්නේ ‘ඔරුමිත්තනාඩු’ කියන වචනය. ඒකේ තේරුම එක්සත් කියන එකයි. මොකක්ද ​මේ පරස්පරය?  


පිළිතුර:- ඒක යෝජනාවක් විතරයි. මෙහෙයුම් කොමිටියේ සාමාජිකයෙක් හැටියට මම කියන්න කැමැතියි දෙමළ පක්ෂ ඒකීය කියන වචනය සිංහල පිටපතෙත් දෙමළ පිටපතෙත්, ඉංග්‍රීසි පිටපතෙත් ද‌ාන්න එකඟ වුණා. ඒ නිසා අර්ථ නිරූපණය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.  


• ප්‍රශ්නය:- මේ එන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියලයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂය කියන්නේ?  


පිළිතුර:- ෆෙඩරල් ක්‍රම ගැන යෝජනා ඇවිත් තියෙනවා. මම නෑ කියන්නේ නෑ. විවිධ පක්ෂ මෙතැන ඉන්නවනේ. නමුත් ඒක පිළිගැනීමක් වුණේ නෑ. අවසාන වශයෙන් ව්‍යවස්ථාව සකස් කරන්නේ පාර්ලිමේන්තුව. ඒකයි මම පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු විපක්ෂයට කිව්වේ මේකෙන් පැනලා යන්න එපා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට දෙමළ පක්ෂ ක්‍රියාකාරි ද‌ායකත්වයක් දුන්නා ව්‍යවස්ථාවක් සකස් කරන්න. බණ්ඩාරනායක මැතිනිය ව්‍යවස්ථාව හදනකොට දෙමළ පක්ෂ ආවේ නෑ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අලුත් ව්‍යවස්ථාවක් ගේන කොටත් දෙමළ පක්ෂ වර්ජනය කළා. මේ තමයි ඉතිහාසයේ පළමු අවස්ථාව. දෙමළ පක්ෂ ක්‍රියාකාරි ද‌ායකත්වයක් ව්‍යවස්ථාවක් හදන්න ලබා දුන්නා. ඒ ගොල්ලෝ ඉල්ලන්නේ පළාත් සභා ශක්තිමත් කරන්න කියලයි.  

• ප්‍රශ්නය:- මේ අලුත් ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිවරයා තෝරන්නෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා?  


පිළිතුර:- ඒකත් එක යෝජනාවක් පමණයි. මං කිව්වේ විවිධ යෝජනා තියෙනවා. නමුත් අවසාන තීන්දුව පාර්ලිමේන්තුව ගන්න ඕනෑ.  

• ප්‍රශ්නය:- ඔය අවසන් තීන්දුව ගන්නේ කවද ද?  


පිළිතුර:- අපිට මේක තනියම කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. මම ඒකයි එද‌ා පාර්ලිමේන්තුවේදී කිව්වේ ‘ මේකෙන් පැනලා යන්න එපා. අපි සාකච්ඡා කරමු.’ කියලා.  


• ප්‍රශ්නය:- හදිසියේ සම්මත කරගත්ත 19 වැනි සංශෝධනයත් අවුල් ජාලයක්ව තිබියදී?  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. මොකක්ද අවුල් ජාලය. ඒක නිරවුල්නේ.  


• ප්‍රශ්නය:-  නමුත් සමහර දේවල් හංගලා ගහලා තිබුණේ?  


පිළිතුර:- ඒ මොනවද?  


• ප්‍රශ්නය:-  අගමැතිවරයා ඉවත් කරන්න ජනාධිපතිවරයාට තිබුණු බලය 19 නෑ?  


පිළිතුර:- ඉතින් ඒක හදනකොට කවුරුත් දන්නවනේ. 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දවස් ගණනක් විවාද වුණා. ඉතින් කවුරුහරි කියනවා නම් හංගලා ගහලා තියෙන්නේ කියලා ඒකේ පදනමක් නෑ.  


• ප්‍රශ්නය:-  නමුත් ඔය මම කියන කාරණය මතු වුණේ අගමැතිවරයා ඉවත් කරන්න ජනාධිපතිවරයා ගත්ත තීරණයත් එක්ක. ජනාධිපතිවරයාට එහෙම බලයක් නෑ කියලා තර්කයක් මතු වුණා?  


පිළිතුර:- ඔව්. ඔව්. එතැන හිඩැසක් තියෙනවා. පත්කරන්න පුළුවන්. අයින් කරන්න බෑ.  


• ප්‍රශ්නය:-  ඔබ පිළිගන්නවා එ්ක?  


පිළිතුර:- ඔව්. ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනකොට තමයි අඩුපාඩු මතු වෙන්නේ. ඒක ලංකාවේ විතරක් නොවෙයි ඕනෑම රටක තියෙනවා.  


• ප්‍රශ්නය:-  දැන් අපේ ව්‍යවස්ථාව 19 වාරයක් සංශෝධනය කරලා තියෙනවා. ඔබ අධිනීතිඥවරයෙක්. රටක ව්‍යවස්ථාවක් එහෙම වෙන්න පුළුවන්ද?  


පිළිතුර:- මම එකක් කියන්නම්. ඉන්දියාව ගත්තොත් ව්‍යවස්ථාව සංශෝධන ගේන්න. ප්‍රාන්ත කඩන්න ස්ථිර ආයතනයක් තියෙනවා. දවස් 365 දීම ඒක ක්‍රියාත්මකයි.  


• ප්‍රශ්නය:- - මේ ව්‍යවස්ථාව ගේන්නෙම ඔබලාට සහාය දෙන ​ෙදමළ පක්ෂ සතුටු කරන්න?  


පිළිතුර:- නෑ. මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රධානම අංගය තමයි පළාත් සභා ශක්තිමත් කරන්න. පළාත් සභා ක්‍රමය ඉදිරිපත් කළේත් එක්සත් ජාතික පක්ෂයයි. ​ෙදමළ පක්ෂ මේ වෙලාවේ සාකච්ඡා කළේ කොහොමද පළාත් සභා ශක්තිමත් කරන්නේ කියලයි. දෙමළ ජාතික සන්ධානයත් එක්ක අපි සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. ඒවාට මමත් සහභාගි වුණා. ඒ ගොල්ලෝ කිව්වේ දකුණේ තියෙන සංවර්ධනය උතුරටත් දෙන්න කියලයි.  


• ප්‍රශ්නය:- ඔබ පිළිගන්නවද උතුරට අසමාන සැලකීමක් තියෙනවා කියලා?  


පිළිතුර:- දකුණත් එක්ක සංසන්දනය කරන කොට ඉතාම අසුබ තත්ත්වයක් උතුරේ හා නැගෙනහිර තියෙන්නේ. අපි යාපනේට තුන් හතර සැරයක් ගියා. ඒක දැක්කා. යාපන​​යේ නගරයෙන් එළියට ගියාම ඉතාම පසුගාමී තත්ත්වයක් තියෙන්නේ. ඒ ජනතාවත් ඒකට වග කියන්න ඕනෑ. මොකද අවුරුදු 30 ක් තිස්සේ යුද්ධයක් තිබුණා. කොටින්ම මම දකින දේ තමයි මම අවුරුදු 30 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. පහුගිය කාලයටම මම දැක්කේ නැති දෙයක් දැක්කා. උතුරේ පක්ෂ දකුණේ සිංහල පක්ෂත් එක්ක වැඩ කරන්න කැමැත්තෙන් ඉන්නවා. මේ අර්බුදය ඇතිවෙච්ච වෙලාවෙත් ඒ ගොල්ලෝ ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්න අපිත් එක්ක අත්වැල් බැඳගත්තා. ඒ ගොල්ලෝ ආණ්ඩුවට එකතු වුණේ නෑ. නමුත් ව්‍යවස්ථාව රැකගන්න අපිත් එක්ක එකතු වුණා. ඒක හොඳ දෙයක්. අපි චෝදනා කරනවනේ ඒ අය වෙනම ලෝකයක ඉන්නේ. වෙනම රටක් ඉල්ලන්නේ කියලා. නමුත් ඒක එහෙම නොවෙයි කියලා ඔවුන් පෙන්නුවා.  

• ප්‍රශ්නය:-  එහෙම ද නැත්නම් කල දුටු කළ වළ ඉහ ගත්ත ද?

  
පිළිතුර:- නෑනේ ඒ ගොල්ලෝ ඇමැතිකම් ඉල්ලුවේ නෑ. වෙන ප්‍රතිලාභ ඉල්ලුවේ නෑ.  


• ප්‍රශ්නය:-  නමුත් ඔවුන් ඉල්ලුවා උතුරේ සංවර්ධන කටයුතු ඔවුන්ගේ අනුමැතියට යටත් විය යුතුයි කියලා?  

'
පිළිතුර:- නෑ නෑ අනුමැතියක් ගැන කිව්වේ නෑ. ඒක මේ මාධ්‍ය මවපු එකක්. අනුමැතිය නොවෙයි ඔවුන් එක්ක සාකච්ඡා කරන්න කියලයි ඉල්ලුවේ. උද‌ාහරණයක් ගත්තොත් අපි රෝහලක් හදනවා නම් ඒක හදන්නේ සමහර විට කිසිම වැදගත් කමක් නැති ස්ථානයක වෙන්න පුළුවන්. එතකොට අපි රෝහලක් හදනකොට ඔවුන් එක්ක කතා කරන්න ඕනෑ හොඳම තැන කොතනද කියලා. ඒක සාකච්ඡා කරන්න කියලයි ඔවුන් ඉල්ලුවේ.  


• ප්‍රශ්නය:-  අදටත් ඔබේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය නිසා. ඔවුන්ට තව කොච්චර දොළ පිදේනි දෙන්න වෙයි ද?  


පිළිතුර:- නෑ නෑ එහෙම දොළ පිදේනි ඔවුන් ඉල්ලලා නෑ. මට අවංකවම කියන්න පුළුවන් ඔවුන් ඉල්ලුවේ පළාත් සභා ශක්තිමත් කරන්න කියලයි ?  

• ප්‍රශ්නය:-  පළාත් සභා ශක්තිමත් කිරීම තුළම මධ්‍යම අණ්ඩුව දුර්වල වෙන්නේ නැද්ද?  


පිළිතුර:- නෑ නෑ මෙහෙම තියෙනවනේ. සමහර විෂයන් තියෙනවා සමගාමී ලැයිස්තුවේ තියෙනවා. මධ්‍යම ආණ්ඩුවටත් බලයක් තියෙනවා. පළාත් සභාවලටත් බලයක් තියෙනවා. එ් ගොල්ලෝ ඉල්ලීමක් කළා සමගාමී ලැයිස්තුව පුළුවන් තරම් අඩු කරලා මධ්‍යම ආණ්ඩුවට බලයක් ඕනෑ නම් ඒක සම්පූර්ණයෙන්ම ගන්න. එහෙම නැත්නම් පළාත් සභාවලට දෙනවා නම් සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට දෙන්න කියලා.  


• ප්‍රශ්නය:- ​ඔබලා එකඟයි?  


පිළිතුර:- සමගාමී ලැයිස්තුව අඩු කරන්න අපි එකඟ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ඒ.පී.ආර්.සී. එකේදී. මහින්ද රාජපක්ෂ මහත්තයා එකඟ වෙච්ච සමගාමී ලැයිස්තුව තමයි අපි සාකච්ඡා කළේ.  

• ප්‍රශ්නය:-  පළාත් සභා දෙකකට හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකතු වෙන්න ඕනෑ නම් ඒ අයිතියත් මේ අලුත් ව්‍යවස්ථාවේ තියෙනවා?  


පිළිතුර:- නෑ නෑ එහෙම එකක් නෑ. යෝජනා කරලා තියෙනවා විතරයි.  

• ප්‍රශ්නය:-  ඒ අයිතිය දෙන්නේ නෑ කියලා ඔබට සහතික වෙන්න පුළුවන්ද?  


පිළිතුර:- යෝජනා වෙලා තිනෙවා. මම ඒක නෑ කියන්නේ නෑ. අපි ආණ්ඩුවක් හැටියට ඒකට එකඟ වුණේ නෑ. හැබැයි අවසාන තීන්දුව තියෙන්නේ පාර්ලිමේන්තුවට.  


• ප්‍රශ්නය:- ඔබ පළාත් සභා ශක්තිමත් කිරීමක් ගැන කතා කරනවා. කෝ පළාත් සභා ඡන්දය?  


පිළිතුර:- පළාත් සභා ඡන්දය එනවා. අපි ඡන්දවලට විරුද්ධ නෑ. එතැන ප්‍රශ්න ටිකක් තියෙනවා. අලුත් ක්‍රමය සම්මත වෙලා තියෙන්නේ සියයට 50 ට. ඉතුරු සියයට 50 ක්‍රියාත්මක කරන්න තුනෙන් දෙකක බලයක් ඕනෑ. සීමා නිර්ණය ගැනත් අර්බුද තිබෙනවා. පරණ ක්‍රමයට යනවා නම් ඒකටත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. ඒ අතරමග තමයි මේක තියෙන්නේ. අපි කැමැතියි මැතිවරණවලට. 

 
• ප්‍රශ්නය:- නමුත් පුංචි ඡන්දයේ ප්‍රතිඵලය දිහා බැලුවම බයක් ඇතිවීම ස්වභාවිකයි?  


පිළිතුර:- නෑ. ව්‍යවස්ථා අර්බුදය කාලයේ පොහොට්ටුවේ හැසිරීම ඔවුන්ගේ නීති විරෝධි හැසිරීම ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය, අශිෂ්ටත්වය මුළු රටම දැක්කා. ඒක දෙවියෝ දුන්න දෙයක්. දෙවියෝ මේ තත්ත්වය ඇති කරලා මේ අය කොහොම අය ද කියලා රටටම පෙන්නුම් කළා. ඒ අයගේ තිබුණ පදනම සම්පූර්ණයෙන්ම දෙදරලා.  


• ප්‍රශ්නය:- ඒ පාර්ලිමේන්තු අර්බුදයේදී ඔබේ භූමිකාව නිසා ඔබට දැන් අසාධාරණයක් වෙලා?  


පිළිතුර:- මම සභානායක හැටියට මගේ වගකීම මම හරියට ඉටු කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා හැටියට පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රකාශයක් කළා. ඒ වෙලාවේ කවුරුවත් දන්නේ නෑ අගමැතිතුමා දන්නෙත් නෑ. කතානායකතුමා දන්නෙත් නෑ. මහින්ද රාජපක්ෂගේ කතාවට මම ඡන්දයක් ඉල්ලුවා. එද‌ා තමයි ඔය ව්‍යාජ ආණ්ඩුවට පළමු ප්‍රහාරය එල්ල වුණේ. මහින්දලාත් සූද‌ානමින් හිටියේ නෑ. ඒ නිසා ඒ ගොල්ලෝ සභාවේ මැදට පැනලා පාර්ලිමේන්තුව විනාශ කළා. මම නම් ඇත්ත වශයෙන්ම වැඩ කළේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආක්ෂා කරන්න. බහුතරය තියෙන කෙනා තමයි අගමැති විය යුත්තේ. ඒ සම්ප්‍රද‌ාය පිළිගත යුතුයි. අපි සටන් කළේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නොවෙයි. ව්‍යවස්ථාව වෙනුවෙන්. මම මගේ කාර්ය භාරය නොබියව අවංකව ඉටු කළා. අපි ඩීල් ද‌‌ාන්න ගියේ නෑ කා එක්කවත්. ජනතාව ඒක තේරුම් ගැනීම ලොකු දෙයක්.  


• ප්‍රශ්නය:-  මගේ ප්‍රශ්නය වුණේ ඇමැතිකම් දීමේදී ඒ නිසාම ඔබට කැපිල්ලක් වුණාද කියලයි. එහෙම ප්‍රකාශයක් ඔබ පත්තරවලට කළා?  


පිළිතුර:- ඇමැති මණ්ඩලය පත් කරලා පළමුවැනි කැබිනට් රැස්වීමේ දී මම අහන්නෙත් නැතිව ජනාධිපතිතුමා කිව්වා ‘පුවත්පත්වල තිබුණා මම ලක්ෂ්මන්ගෙන් පළිගත්තා කියලා.’ එහෙම පලිගැනීමක් නෑ. මේක මේ නිලධාරින් කරපු වැඩක්. මම ඒක නිවැරදි කරනවා කියලා.  

• ප්‍රශ්නය:- අගමැති රනිල් ඔබ වෙනුවෙන් පෙනී ඉදියි ද?  


පිළිතුර:- අගමැතිතුමා පැහැදිලිවම මැදිහත් වුණා. මොකද අගමැතිතුමාට ඇමැතිවරයාව නම් කරන්න පුළුවන්. නමුත් විෂය බෙදීමේ අයිතිය තියෙන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රසිද්ධියේ කිව්වා ඒක නිවැරදි කරනවා කියලා.  


• ප්‍රශ්නය:-  නමුත් තාමත් නෑ.  


පිළිතුර:- මං විශ්වාස කරනවා එතුමා ඒක කරයි කියලා.  


• ප්‍රශ්නය:-  අපි මේ සාකච්ඡාව කරන මොහොත වෙන විටත් ජනාධිපතිවරයා ඉන්නේ සිංගප්පූරුවේ. ජනාධිපතිවරයාගේ මේ නිල සංචාර ගැන ඔබට මොනවද හිතෙන්නේ?  


පිළිතුර:- ර​ටේ ජනාධිපති වුණාම ඉතින් වැඩ තියෙනවානේ.  


• ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ කිව්වා ‘ජනතාව සූද‌ානම් නම් මමත් සූද‌ානම්’ කියලා. මොකද හිතෙන්නේ?  


පිළිතුර:- මගේ අවංක විශ්වාසය තමයි ගෝඨාභය රාජපක්ෂ තමයි අපිට පරාජය කළ හැකි හොඳම අපේක්ෂකයා.  


• ප්‍රශ්නය:- එතකොට ඔබේ අපේක්ෂකයා කවුද?  


පිළිතුර:- අපි කවුරුත් කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන තමයි. නමුත් ජනාධිපතිවරණය ළං වෙනකොට එතුමා ශක්තිමත් කරන්නේ කොහොමද කියලා හිතලා වැඩ කරන්න ඕනෑ.  


• ප්‍රශ්නය:- සජිත් ප්‍රේමද‌ාස, කරු ජයසූරිය, රාජිත සේනාරත්න හා චම්පික රණවක කියන නම් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කියැවෙනවා?  


පිළිතුර:- හරි ටීම් එකක් අපි හදන්න ඕන. රනිල් සජිත් සමගියෙන් එකතු වෙලා වැඩ කළොත් අපට ජයග්‍රහණය ඒකාන්තයි. හැබැයි දැන් පක්ෂය එකමුතුයි.  


• ප්‍රශ්නය:- නමුත් සරත් ෆොන්සේකා, පාලිත තෙවරප්පෙරුම ගැටුම ගැන බැලුවම ඔය සමගිය තියෙන්නේ කොහේද කියලා හිතෙනවා?  


පිළිතුර:- මේ ආරවුල අපිට හරිම හානියක්. අර්බුදය ඇතිවෙච්ච වෙලාවේ අපිට ආපු ගැම්ම දුර්වල කිරීමක් තමයි.  


• ප්‍රශ්නය:-  මේක පොහොට්ටුවට දෙයියෝ දුන්න අවස්ථාවක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?  


පිළිතුර:- මම හිතන්නේ නෑ මැතිවරණයක දී මේ තත්ත්වය තදින් බලපායි කියලා.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්