අපේ පාක්‍ෂිකයා ඡන්ද පොළට ගියාම කතිරය ගසන්නේ අලියා ලකුණටමයි


ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක හිටපු රාජ්‍ය ඇමැති, එජාප නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන  

  • ජනතාවට තෝරාගැනීමට තියෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය විතරයි

මැතිවරණ උණුසුමෙන් දේශපාලන පොර පිටිය ගිනියම් වෙමින් තිබේ. අගෝස්තු 5 වැනිදා ජනතා තීන්දුව කෙබඳුද? ඒ සම්බන්ධයෙන් තබා ඇති බලාපොරොත්තු මොනවාද? මේ ඒ ගැන විමසමින් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක හිටපු රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.  

 

ප්‍රශ්නය:- මහ මැතිවරණය අත ළඟටම ඇවිත්. කොහොමද ඔබේ සූදානම?   


පිළිතුර:- ඡන්ද ව්‍යාපාරය ඉතාම සාර්ථකව කරගෙන යනවා. නමුත් කොවිඩ් ප්‍රශ්නය මැද මේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යෑම එක අතකින් ජනතාවට කරන අසාධාරණයක්. රජය මැතිවරණය ගැන විතරක් හිතලා, තමන්ට තුනෙන් දෙකක බලයක් ගන්න ඕනෑ කියලා විතරක් හිතලා, ඡන්දෙ කරන එක රටට අසාධාරණයක් කිරීමක් කියලයි මම හිතන්නේ. කොවිඩ් ප්‍රශ්නය හරහා ජනතාව තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කරගැනීම ගැන තමයි හිතන්නේ. එහෙම පරිසරයක මැතිවරණයක් කරනකොට දුෂ්කරතා ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒක අපේක්‍ෂකයාටත් බලපානවා. ජනතාවටත් බලපානවා. රජය කොහොමහරි මැතිවරණය තියන්න ඕනෑ කියන තැන තමයි ඉන්නේ. අපිත් සෞඛ්‍ය නිර්දේශවලට අනුව ජනතාවගේ ආරක්‍ෂාව ගැන හිතමින් ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා. මේක හුඟාක් අමාරු වැඩක්. රැස්වීම්වලට යනකොට ජනතාව හුඟාක් අපේක්‍ෂකයාට සමීප වෙනවා. ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඒ බාධක මැද්දේ අපට සුපුරුදු මැතිවරණ ව්‍යාපාරයක නියැලෙන්න බෑ. අපි ඒ අභියෝගයට මුහුණ දෙමින් මේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා.   


ප්‍රශ්නය:- ඔය ඔබ කියන ප්‍රශ්නය ආණ්ඩු විරෝධී ඡන්ද බවට පෙරළන්න හැකියාවක් ඔබේ පක්‍ෂයට තියෙනවද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. පුළුවන්. මේ මැතිවරණ කටයුතුවල යෙදෙනකොට ජනතාව එක්ක කතා කරනකොට ජනතාවගෙන්ම ඒ විරෝධය ප්‍රකාශයට පත්වෙනවා. ආණ්ඩුව බලයට තියෙන කෑදරකම නිසයි මෙහෙම කරන්නේ කියලා ජනතාව කියනවා. 

 
ප්‍රශ්නය:-ආණ්ඩුව කියනවා රටේ ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා?   


පිළිතුර:- ආණ්ඩුව එහෙම කියන විදියට ජනතාව දැන් ආණ්ඩුව කියන දේවල් විශ්වාස නොකරන තත්ත්වයට පත්වෙලා. මේ කොවිඩ් තොරතුරු ගැන ජනතාව සැක කරනවා. රට තුළ විශාල මතයක් තියෙනවා, ආණ්ඩුව ඇත්ත තත්ත්වය හංගලා තමයි රට මැතිවරණයකට ඇදලා දැම්මේ කියලා. දැන් පී.එච්.අයි. මහත්වරු රාජකාරිවලින් ඉවත් වෙලා. ජයවර්ධනපුර විශ්‍වවිද්‍යාලයේ පී.සී.ආර්. පරීක්‍ෂණ කරන අංශය එයින් අයින් වෙලා. මේවා එක්ක ජනතාව අතර විශාල සැකයක් මතුවෙලා තියෙනවා, ආණ්ඩුව හරි චිත්‍රය පෙන්වන්නේ නැහැ කියලා. ඒ සැකය ආණ්ඩු විරෝධයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.   


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ඒ ආණ්ඩු විරෝධය ලබාගන්න සමත් විපක්‍ෂයක් රටේ තියෙනවද කියලයි. ඔබේ පක්‍ෂයත් දෙකඩ වෙලා? 

 
පිළිතුර:- අපේ පක්‍ෂය දෙකඩවීම ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයටවත් සමගි බලවේගයටවත් වාසියක් නොවෙයි. ඒකේ වාසිය යන්නේ ආණ්ඩුවට. නමුත් පහුගිය මාස එක හමාර තුළ අපි ඡන්ද ව්‍යාපාරය කරගෙන යනකොට අපි දැක්කා පාක්‍ෂිකයන් අපිත් එක්ක එකතු වෙනවා.   


පොදුවේ රට තුළ දැවැන්ත ආණ්ඩු විරෝධයක් මතුවෙමින් තිබෙනවා. ජනතාවට වෙන විකල්පයක් නෑ. ජනතාවට තෝරාගැනීමට තියෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය පමණයි. අපෙන් වෙන්වෙලා ගිය පාක්‍ෂිකයන් දැන් තේරුම් අරගෙන තියෙනවා නිවැරැදි තැන මෙතැන කියලා. මේ තත්ත්වය මැතිවරණ ප්‍රතිඵලයට ඉතාම තදින් බලපානවා. 

 
ප්‍රශ්නය:- සාම්ප්‍රදායික නායක රනිල් වෙනුවට අලුත් නායක සජිත් තෝරාගන්න පාක්‍ෂිකයා කටයුතු කරාවි?   


පිළිතුර:- ඇත්ත වශයෙන්ම පක්‍ෂය දෙකඩවීමෙන් අතරමං වෙලා ඉන්නේ පාක්‍ෂිකයා. එදා ඉඳලා ගම්වල හිටපු පාක්‍ෂිකයා කොයි පැත්තෙද හිටගන්නේ කියලා අතරමං වෙලා ඉන්නවා. සමගි බලවේගයට ගිය අයත් ඒ අයගේ මිත්‍රයෝ, හිතවත් අය. ඒත් පක්‍ෂය අතහරින්නත් බෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. දැන් අපි වැඩ කරගෙන යන විදියට ඉදිරියේදී පාක්‍ෂිකයා ඉතාම නිවැරැදිව තීරණය අරගෙන පක්‍ෂයත් සමග අත්වැල් බැඳ ගනීවි. කොහොම වුණත් අපේ පාක්‍ෂිකයා ඡන්ද පොළට ගියාම අලියා ලකුණ දැක්කම අලියට තමයි ඡන්දෙ දෙන්නේ. මොනවා වුණත් අපේ පාක්‍ෂිකයා අපේ පක්‍ෂය ආරක්‍ෂා කරගෙන ජයග්‍රාහී තැනට යන්න කටයුතු කරන බව මට විශ්වාසයි.   

 

අපේ උත්සාහය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් හැදීමයි. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුවක් ගත්තා ජාතික ආණ්ඩු හදන්න යන්නේ නෑ, අපි හදන්නේ අපේ ආණ්ඩුවක් කියලා.  


ප්‍රශ්නය:-ඔබ කිව්වා පක්‍ෂය දෙකඩවීම අවාසියක් කියලා. මේ අවාසිය කලින් දැක්කෙ නැද්ද? ඇයි පක්‍ෂය දෙකඩ වෙනකම් බලාගෙන හිටියේ? 

 
පිළිතුර:- මම නම් හිතන්නේ ඔය සමගි ජන බලවේගයේ ඉන්න අය බාහිර කුමන්ත්‍රණයකට ගොදුරු වුණා කියලයි. අපට කිසිම අවශ්‍යතාවක් තිබ්බේ නෑ පක්‍ෂය දෙකඩ කරන්න. අපි බැලුවේ අපි සියලු දෙනාම එකතුවෙලා මේ මැතිවරණයට මුහුණ දුන්නානම් මේ වනවිටත් විශාල ජයග්‍රාහී තත්ත්වයක් හදාගන්න තිබුණා. අපි බැලුවෙම සමගිවෙලා එකට යන්න. නමුත් අර මම කියපු බාහිර බලපෑම් නිසා පක්‍ෂයක් හදාගෙන වෙනම තරග කරන්න මේ අය පෙළඹුණා.   


ප්‍රශ්නය:-ඒ අයට උවමනාව තිබුණේම වෙනම යන්න?   


පිළිතුර:- ඇත්තටම ඔව්. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි තීරණය කළේ සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න. නමුත් මත දෙකක් තිබුණා. සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමේ අදහස තිබ්බේ වෙනත් පක්‍ෂයක් හදල වෙනත් ලකුණකින් ඡන්දෙට යන්න. අපේ අරමුණ වුණේ එක්සත් ජාතික පෙරමුණ හැටියට සන්ධානය හදලා අලියා ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න. ඔය මත දෙක අතර තමයි ප්‍රශ්නය මතු වුණේ. සාකච්ඡා යනකොට අපි කිව්වා ‘හරි, අලියා ලකුණෙන් යන්න බැරිනම් අපි හංසයා ලකුණෙන් යමු’ කියලා. කෘත්‍යාධිකාරී මණ්ඩලය එහෙම යෝජනාවක් ඉදිරිපත් කළා. පහුගිය ජනාධිපතිවරණ තුනකට අපි හංසයාගෙන් තමයි ඉදිරිපත් වුණේ. අපේ පාක්‍ෂිකයාටත් හුරු ලාංඡනයක් නිසා පොදු ලාංඡනයක් හැටියට යොදාගෙන ඒක යටතේ සියලු දෙනාට තරග කරන්න පුළුවන් වෙන්න තමයි ඒ යෝජනාව ඉදිරිපත් කළේ. නමුත් ඒකත් ප්‍රතික්‍ෂේප කළා.   


ප්‍රශ්නය:- මහලේකම් ධුරය ගැනත් ප්‍රශ්නයක් තිබුණා?   


පිළිතුර:- ඒ ප්‍රශ්නය මතු වෙච්ච වෙලාවේ අකිල විරාජ් මැතිතුමා කිව්වා මගේ මහ ලේකම්කමත් දෙන්නම් කියලා. අපේ පැත්තෙන් හුඟාක් නම්‍යශීලි වුණා. නමුත් මොකක් හෝ හේතුවකට මේ කණ්ඩායම මේක ඇදගෙන ඇදගෙන ගිහින් කඩාගෙන ගියා. මම නම් හිතන්නේ බාහිර බලපෑම් නිසයි මේක මෙහෙම වුණේ කියලා. 

 
ප්‍රශ්නය:- බාහිර බලපෑම් කියලා කියන්නේ?   


පිළිතුර:- පක්‍ෂය කැඩීමේ ක්‍රියාවලිය අද ඊයේ වෙච්ච දෙයක් නොවෙයි. මේක පටන් ගත්තෙම අපේ ආණ්ඩුව තියෙන කාලෙමයි. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා හා ඒ කණ්ඩායම අතර වෙනම ගනුදෙනුවක් තිබ්බේ. දින පනස් දෙක තුළදීත් අපි ඒක දැක්කා. අපේ ආණ්ඩුව අරගෙන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගමැති කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ව්‍යවස්ථා අර්බුදයක් ඇති කළා.   


එහෙම කරලා සුමානයක් ගියෙ නෑ. පණිවිඩයක් එනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්‍ෂ නායකත්වය දුන්නොත් අගමැතිකම එයාට දීලා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව නැවත හදනවා කියලා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගමැති කරලා සුමානයක් නෑ ඒ පැත්තෙන් එවනවා පණිවිඩයක් අපේ පක්‍ෂ නායකත්වය වෙනස් කරන්න කියලා. එහෙම බලනකොට අපිට පේන්නේ ඒ කණ්ඩායම හා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක වෙනම සාකච්ඡාවක් ගනුදෙනුවක් තිබුණා කියලා. මේ බෙදීම පටන් ගත්තේ එතැනින්. දින පනස් දෙකෙනුත් පස්සේ එක එක ප්‍රශ්න මතුවුණේ හිටපු ජනාධිපතිතුමාගේ අවශ්‍යතාව අනුව. එක්සත් ජාතික පක්‍ෂය දෙකට කඩන්න හිටපු ජනාධිපතිතුමාට අවශ්‍යතාවක් තිබ්බා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් වෙනත් කෙනකුගේ කොන්ත්‍රාත්තුවක් කළාද කියලත් අපට හිතන්න වෙනවා. කොහොම වුණත් ආණ්ඩුවට ඕනෑ වුණේ මේ පක්‍ෂය දෙකඩ කරන්නම තමයි. පක්‍ෂයේ ශක්තිය අඩු කිරීම තමයි ආණ්ඩුවට අවශ්‍ය වුණේ.   


ප්‍රශ්නය:- ඔබ කියන්නේ සජිත් පාර්ශ්වය ඒ අවශ්‍යතාවට බිලි වුණා කියලද?   


පිළිතුර:- ඔව්. ඒකනේ මෙහෙම වුණේ. ඒත් එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ එසේ මෙසේ පක්‍ෂයක් නොවෙයි. මෙවැනි දෙදරීම්වලට අපේ පක්‍ෂය පුරුදුයි. එහෙම වෙලා තියෙනවා පක්‍ෂ ඉතිහාසය තුළ. වැඩි කාලයක් යන්නේ නෑ පක්‍ෂය ඉතාමත් ශක්තිමත් වෙනවා. මේ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ආණ්ඩුව ඒක තේරුම් ගනියි.  


ප්‍රශ්නය:- සජිත් කණ්ඩායම නම් කියන්නේ එජාපය ඉන්නේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක කියලා?  


පිළිතුර:- අපට ආණ්ඩුවත් එක්ක ඩීල් දාන්න අවශ්‍ය නැහැනේ. මට අවශ්‍යතාව කියන්න.  


ප්‍රශ්නය:- ජාතික ආණ්ඩුවක් හදන්න ආණ්ඩුවට සහාය දෙන්න සූදානම් කියලා ආරංචියි?  


පිළිතුර:- එහෙම කතාවක් සමගි ජන බලවේගය කියනවා. ඒගොල්ලොයි කියන්නේ අපි ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා කියලා. එහෙම කිසිම අදහසක් අපට නෑ. අපිට අවශ්‍යතාවයකුත් නෑ මේ ආණ්ඩුවත් එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න. අපේ උත්සාහය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් හැදීමයි. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුවක් ගත්තා ජාතික ආණ්ඩු හදන්න යන්නේ නෑ, අපි හදන්නේ අපේ ආණ්ඩුවක් කියලා.  


ප්‍රශ්නය:-නමුත්, රවී කරුණානායක ජාතික ආණ්ඩු කතාවක් කියලා තිබුණා?  


පිළිතුර:- ඒ ගැන අපි රවී කරුණානායක මැතිතුමාගෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රශ්න කළා. එතුමා කිව්වා ‘නෑ මම කිව්වේ ජාතික ආණ්‍ඩුවක් නොවෙයි ජාතික ආර්ථිකයක් හදන්න එකතු වෙන්න ඕනෑ කියලයි’ කියලා. එතැනදී නායකතුමත් අපිත් ඒ ආපු ස්ථාවරය තමයි ජාතික ආණ්ඩුවක් හදන්න අපි කිසිසේත්ම එකතු වෙන්නේ නෑ කියලා. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් හදාගන්නයි අපි මැතිවරණයට යන්නේ. සමගි බලවේගය අපට චෝදනා කළා. සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්‍ෂයේ කොටසක් විතරක් නෙවෙයි තවත් පක්‍ෂ ගණනාවක් එතැන තියෙනවා. අපේ රාවුෆ් හකීම් මැතිතුමාගේ, රිෂාද් බදුර්දීන් මැතිතුමාගේ පක්‍ෂ තියෙනවා. මනෝ ගනේෂන්, පාඨලී චම්පික, රාජිත සේනාරත්න වැනි එක එක පක්‍ෂවල නායකයෝ එතැන ඉන්නවා. මොනවා වුණත් අපි දන්නවා ඔතැන ඉන්නවා මොන ආණ්ඩුව ආවත් එතැනට ගිහින් ඇමැතිකම් අරගෙන ආණ්ඩුවට යනවා. ඒ නිසා මැතිවරණයෙන් පස්සේ අපට බලාගන්න පුළුවන් වේවි මොකද වෙන්නේ කියලා.  


ප්‍රශ්නය:- මැතිවරණයෙන් පස්සේ සජිත් පාර්ශ්වය සමග එකතු වෙන්න සාකච්ඡාවක් නැද්ද?  


පිළිතුර:- තාම එහෙම සාකච්ඡාවක් නෑ. එතැන ඉන්නෙත් අපේ සහෝදර මන්ත්‍රීවරු. මගේ යාළුවෝ ඉන්නේ. පළාත් සභාවේ ඉඳලා අපි එකට හිටපු කණ්ඩායමක් ඉන්නවා. අපි විපක්‍ෂයේ ඉන්නකොට එකට උද්ඝෝෂණය කරපු අය. එකට ආණ්ඩු කරපු අය. ඉතින් අපි කතා කරනවා. මගෙ යාළුවන්නේ ඉන්නේ එතැන. එයාලත් කියන්නේ දෙකඩවීම අපරාධයක්. එකට ගියානම් හොඳයි කියලා. ඒ අයත් දැන් තේරුම් අරන් තියෙනවා ගැලවිලා ගිය එක වැරැදියි කියලා. ඒ නිසා මැතිවරණයෙන් පස්සේ විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙයි.  


ප්‍රශ්නය:- සජිත් ළඟ ඉන්න හිටපු මන්ත්‍රීවරුන් හතළිස් ගානක් ආපහු එන්න අහනවා කියලා පුවතක් පළ වුණා?  


පිළිතුර:- ඒක ඇත්ත. හුඟාක් දෙනෙක් කතා කරනවා. ඒ අය අපේ යාළුවෝනේ. මේ පක්‍ෂයෙන් ගිහින් වෙනත් පක්‍ෂ හැදුවට ඒ පක්‍ෂවලට පැවැත්මක් නෑ. එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ දැවැන්ත ස්ථාවර පක්‍ෂයක්. මේ රටේ පැරැණිම පක්‍ෂය. දීර්ඝ ඉතිහාසයක් තියෙන පක්‍ෂයක්. එසේ මෙසේ පක්‍ෂයක් නොවෙයි. ඉතිහාසය දිහා බැලුවම මෙහෙම දේවල් වෙලා තියෙනවා. බණ්ඩාරනායක මහත්මයා මේ පක්‍ෂය කඩාගෙන ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැදුවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දියාරු වෙලා තියෙන්නේ. ගාමිණී දිසානායක මැතිතුමා, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මේ පක්‍ෂය කඩාගෙන ගිහින් රාජාලියා හැදුවා. නමුත් අන්තිමට මහගෙදරටම ඒ අය ආවා. සමගි බලවේගයත් මට පේන්නේ නෑ අනාගතයක් තියෙන පක්‍ෂයක් කියලා. ඉතින් මම හිතනවා ඔය ගිය විශාල පිරිසක් මැතිවරණයෙන් පස්සේ අපිත් එක්ක එකතු වෙනවා.  


ප්‍රශ්නය:- කාව ගත්තත් නොගන්න තුන් හතර දෙනෙක් ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කළා?  


පිළිතුර:- ඔව්. එහෙම අදහසක් ආවා. ආපහු මේ කණ්ඩායම පක්‍ෂයට ගන්නවානම් හොඳට හොයලා බලලා අවශ්‍ය අය පමණක් ගත යුතුයි කියන ස්ථාවරයට ආවා. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිහිප දෙනකුගේ අදහස වුණේ මෙයාලා ආපහු පක්‍ෂයට ගත්තොත් පක්‍ෂය ඇතුළේ ප්‍රශ්න ඇති කරයි කියලා. ඒ නිසා අවශ්‍ය අය පමණක් ගත යුතුයි කියන ස්ථාවරයට කෘත්‍යාධිකාරී මණ්ඩලය ආවා.  


ප්‍රශ්නය:- කොවිඩ්-19 ලෝක වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල ප්‍රසාදයක් තියෙනවා. මේ මැතිවරණය තියන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ. ඔබලාට ලේසි වෙන එකක් නෑ?  


පිළිතුර:- ප්‍රසාදයක් ඇතිවෙලා තිබුණා. නමුත් දැන් ජනතාව ප්‍රශ්න කරන්න පටන් අරගෙන තියෙනවා. මම මුලින් කිව්වා වගේම ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා ආණ්ඩුව ප්‍රශ්නය වහනවා කියලා. අපිත් මේ මැතිවරණ කටයුතුවල යෙදෙනකොට සමහර ගම්වලට ගියාම ගම්වාසීන් කියනවා ‘අර පාරෙන් දෙන්නෙක් අරගෙන ගියා. මේ පාරෙන් තුන් දෙනෙක් අරගෙන ගියා’ කියලා. නමුත් අපි ඒවා මාධ්‍යයෙන් දකින්නේ නෑ. ඒ කතා සමාජය තුළ පැතිරෙනවා. ඒවා කටකතාත් නොවෙයි. ඔවුන් දන්නවා ඔවුන්ගේ ගම්වල දෙන්නෙක් තුන්දෙනෙක් අරගෙන ගිහින් කියලා. ඒ නිසා මාධ්‍යයෙන් ඒවා දකින්න නැති වුණාම මිනිස්සු සැක කරනවා ආණ්ඩුව ප්‍රශ්නය වහනවා කියලා. කොවිඩ්-19 ප්‍රශ්නය ආපු මුල් දවස්වල අපේ නායකතුමා විශේෂ ප්‍රකාශ කිහිපයක් කළා. ඒ හරහා ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා රජයට වඩා හොඳින් මේ අභියෝගයට මුහුණ දෙන්න එතුමාට පුළුවන් කියලා. එතුමා මුලින්ම කිව්වේ ‘වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. රටක් විදියට අපි මේකට මුහුණ දෙන්න අවශ්‍යයි. දේශපාලනය පැත්තක තියලා අපි එකතු වෙමු’ කියලා එතුමා කිව්වා. එක පැත්තකින් ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කරන්නත් ඕනෑ. රටේ ආර්ථිකය ආරක්‍ෂා කරන්නත් ඕනෑ. නමුත් එතුමගෙ ඒ ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නෑ. එතුමා කිව්වේ මැතිවරණයක් නොවෙයි මේ ප්‍රශ්නයට මුහුණ දෙමු කියලා. නමුත් ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නෑ. ඒ නිසා ප්‍රශ්නය උග්‍ර වුණා. ඔය ඔබ කියපු ප්‍රසාදය ආණ්‍ඩුවට මුලින් තිබ්බා. නමුත් දැන් ඒ විශ්වාසය බිඳවැටිලා තියෙන්නේ.  


ප්‍රශ්නය:- දිනන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා ඔබ හිතනවද?  


පිළිතුර:- මැතිවරණයේදී අපේ පක්‍ෂයට ලොකු අභියෝගයක් තියෙනවා. අපිට ආණ්ඩුව එක්කත් හැප්පෙන්න වෙලා තියෙනවා. අපේම කණ්ඩායමක් එක්කත් තරග කරන්න වෙලා තියෙනවා. අභියෝගයක් තියෙනවා. නමුත් එය ජයගන්න පුළුවන් කියලා ඒකාන්ත විශ්වාසයක් අපට තියෙනවා.

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්