අපිට මෝඩචූන් නෑ බොරු බයිලා නැතිව පුළුවන්නම් ඡන්දෙ තියන්න


ගෝල්ෆේස් මැයි රැලියට ආ සෙනඟ දැක ඒකාබද්ධ විපක්ෂය මෝඩ චූන් එකක් ලබන බව ආණ්ඩුව කියයි. ඒ කතාව ඇත්තද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග මේ කතා බහ ඒ සම්බන්ධයෙනි.


ප්‍රශ්නය:- ගෝල්ෆේස් සෙනඟ දැකලා ඒකාබද්ධය මෝඩ චූන් එකක් ගන්නවා කියලා ආණ්ඩුව කියනවා.
පිළිතුර:-
අපිට නම් මෝඩ චූන් නෑ. ඒත් ඒ සෙනඟ දැකලා ආණ්ඩුව නම් වියරු වැටිලා කියල පේනවා.


ප්‍රශ්නය:- ඇයි ඔබ එහෙම කියන්නේ?
පිළිතුර:-
මැයි 1 වැනිදායින් පස්සේ ආණ්ඩුව කරපුවා කියපුවා බලන්න. මොන තරම් හදිසි තීන්දු තීරණ ගත්තද? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් පලිගන්න පටන් ගත්තා. එතුමාගේ ආරක්ෂාව අඩු කළා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට අන්න දැන් උසාවි එන්න කියලා තියෙනවා. ගෝල්ෆේස් සෙනඟ දැකලා ආණ්ඩුව වියරු වැටිලා. ගන්න මෝඩ තීන්දු තීරණ උතුරු මැද පළාත් සභාවෙනුත් රටට පැහැදිලි වුණා.


ප්‍රශ්නය:- ඔබ කොහොමද කියන්නේ මේ සෙනඟ දැකලා ගත්ත තීන්දු තීරණ කියලා?
පිළිතුර:-
අපිට ගෝල්ෆේස් එක දුන්නේ ආදරේට නොවෙයි. කියලා මුළු රටම දන්නවා. අපිට ගෝල්ෆේස් දුන්නේ ඇන ගනී කියලා හිතාගෙනයි. නමුත් ආණ්ඩු විරෝධී ජනතාව මුහුද ගොඩ ගැලුවා වගේ ගලාගෙන ආවා. යහපාලන ආණ්ඩුවට තරු විසිවෙන්න ජනතාව උත්තර දුන්නා. ඒ නිසා මේ රටට සාමය දිනා දුන්න නායකයාගේ ජීවිතය පවා අනතුරට හෙළන තරමට යහපාලන නායකයෝ වියරු වැටිලා.


ප්‍රශ්නය:- සෙනඟ නම් 2015  ජනාධිපතිවරණයෙදිත් පෙන්නුවනේ. නමුත් ප්‍රතිඵල එනකොට පරාදයි?
පිළිතුර:-
ආණ්ඩුව තමන්ගේ ලජ්ජාව වහගන්න ඔහොම කතාවක් කියාගෙන යනවා. ආණ්ඩුවට අපි කියන්නේ බය නැත්නම් අවුරුදු දෙකක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවිරෝධි දෙස නොතියා ඉන්න පළාත් පාලන මැතිවරණය වහාම තියන්න කියලයි. වෙන කයිවාරු ගහලා වැඩක් නෑ.


 ප්‍රශ්නය:- ඡන්ද නොතියන්නේ බයක් හින්ද නොවෙයි. සීමා නිර්ණ ප්‍රශ්න නිසා බවයි ආණ්ඩුව කියන්නේ?
පිළිතුර:-
සීමා නිර්ණ ගැටලු විසඳන්නත් මේ ආණ්ඩුවට අවුරුදු දෙකකට වැඩියෙන් ගියා නම් අපි ජනතාවට කියනවා මේ ආණ්ඩුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. අපි දැක්කනේ ෆයිසර් මුස්තාපා සභාපතිවරයා කියපු දේවල්. මේවා ජනතාවට රහස් නොවෙයිනේ. ඒ නිසා අපි කියන්නේ බොරු බයිලා. එපා.. බය නැත්නම්, කොන්ද කෙළින් තියෙන ආණ්ඩුවක් නම් ඡන්දෙ තියන්න.


ප්‍රශ්නය:- ඡන්දය තිබ්බොත් කට්ටියක් පොහොට්ටුවෙන් ඉල්ලයි. තව කට්ටියක් ශ්‍රීලංකා එකෙන් ඉල්ලයි. ගෙඩිය පිටින්ම යූඑන්පියට යයි. මේ තමයි ඒකාබද්ධයේ සැලැස්ම?
පිළිතුර:-
යූඑන්පී එකයි යූඑන්පී එකට පාවා දුන්න ශ්‍රී ලංකා එකයි දෙක එකට තියලා අපේ සන්ධානය ඉහළින්ම දිනනවා. ඒක ලියල තියාගන්න. ඒක කාටවත් නතර කරන්න බෑ. 2015 දී වගේ නොවෙයි අද. 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අනන්ත අප්‍රමාණ ලෙස මඩගහලා අපේ ආණ්ඩුවට අනන්ත අප්‍රමාණ ලෙස මඩ ගහලා බොරු කියලා ජනතාව මුළා කරලා අහස උසට පොරොන්දු දීලා දූෂණය ගැන කියලා ආපු ආණ්ඩුවක් අද තියෙන්නේ. මේ ආණ්ඩුවට අවුරුදු දෙකක් කල් ඉකුත් වුණා. වෙච්ච එක පොරොන්දුවක් ඉටු කරලා නෑ. රටේ ආර්ථිකය මුළුමනින්ම විනාශ කරලා. ජන ජීවිතය හොම්බෙන් යවලා. රටේ සම්පත් විකුණාගෙන කාලා රටේ ජනතාවට විතරක් නොවෙයි තමන්ට ඡන්දය දුන්න ජනතාවටත් කොකා පෙන්වපු ආණ්ඩුවක් මේක. මේ ආණ්ඩුවේ ඇමැතිවරු අද එළිපිට ගහ ගන්නවා. ලංකා ඉතිහාසයේ කැබිනට් ප්‍රකාශකවරු හිටියේ එක්කෙනයි. අද පක්ෂවලට කැබිනට් ප්‍රකාශකවරු පත් කරනවා. ලැජ්ජයි. මේ වගේ විහිළු  ආණ්ඩුවක් කොහේද තිබුණේ? ඒ නිසා තමයි ගෝල්ෆේස් ඇවිල්ලා ජනතාව කිව්වේ “දැන් ඇති ගෙදර පලයං” කියලා. ඒ පණිවිඩය තමයි මේ රටේ ජනතාව මේ කාලකණ්ණි ආණ්ඩුවට දුන්නේ. ගෝල්ෆේස් ආවේ ජනතාව නළුවො බලන්න නොවෙයි. චිත්‍රපටි බලන්න නොවෙයි. මේ පාදඩ ආණ්ඩුව ජනතාවට අභියෝගයක් දුන්නා. ජනතාව ඒ අභියෝගයකට සාර්ථක උත්තරයක් දුන්නා.


ප්‍රශ්නය:- එහෙම ජනතා බලයක් තියෙනවා නම් ඇයි වැඩ වර්ජන කරලා රට අස්ථාවර කරන්න හදන්නේ? ආණ්ඩුව කියන්නේ වැඩ වර්ජන පිටිපස්සේ ඉන්නේ  රාජපක්ෂ කල්ලිය කියලයි.
පිළිතුර:-
මේ ආණ්ඩුවට විරුද්ධව නිවාඩු දවස් හැරෙන්න අනික් හැම දවසකම මොකක් හරි වැඩ වර්ජනයක් තිබුණා. නිවාඩු දවස්වලත් උද්ඝෝෂණ තිබුණා. 2001-2004 යූඑන්පී ආණ්ඩුව කාලෙත් මේ විදියටම වැඩ වර්ජන උද්ඝෝෂණ තිබුණා. මේ වැඩ වර්ජන ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරපු ඒවා නොවෙයි. මේ ආණ්ඩුව ගේන්න උදව් කරපු අයත් පාරට බැහැලා. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගන්න, ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුවේ නොවෙයිද? ජනතා විමුක්ති පෙරමුණ මේ ජනාධිපතිවරයයි, මේ ආණ්ඩුවයි ගේන්න කැපවෙලා වැඩ කළේ නැද්ද? එතකොට ඔවුන් මේ වැඩ වර්ජනවල ඉන්නවනේ. ආණ්ඩුවට උදව් කරපු විශාල පිරිසක් මේ ආණ්ඩුවට විරුද්ධවම සටනට බැහැලනේ. මේ වැඩ වර්ජන ඒකාබද්ධ විපක්ෂයම කරනවා කියලා කියන්න බැහැනේ. ඕනෑම යුක්ති සහගත සාධාරණ සටනක් එක්ක අපි ඉන්නවා. නමුත් මේ ජනතාව පාරට බැහැලා ඉන්නේ කවුරුවත් කියපු නිසා නොවෙයි. මේක වැඩ බැරි ආණ්ඩුවක් නිසයි. දවස ගාණේ මේ රට ප්‍රපාතයට අරගෙන යන ආණ්ඩුවක් නිසයි. හොරකම් කරන්න පටන් ගත්තේ දින සියයේ ආණ්ඩුවෙන්. ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර හොරකමයි.            “අපි කරනවා, අපි කරනවා අපි කරනවා.” කියලා කිව්වට මේ ආණ්ඩුව හොරකම් කළා මිසක් වෙන කරපු කිසිම දෙයක් නැහැ. ඒ නිසා තමයි වර්ජන රැල්ලක් ඇවිත් තියෙන්නේ.


ප්‍රශ්නය:- මැතිවරණ තියන්න කියලා ඔබ ආණ්ඩුවට අභියෝග කරනවා. හොඳයි ආණ්ඩුව මැතිවරණ නොතිබ්බොත්?
පිළිතුර:-
අපි දන්නවා. ජනතාව තමයි ලොකුම අවිය. ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන්ට ජනතාව උත්තර දීපු ආකාරය ලෝක ඉතිහාසයේ නොයෙක් ආකාරයෙන් ලියවිලා තියෙනවා. ඒ නිසා අවශ්‍ය තීන්දුව, අවශ්‍ය වෙලාවට ජනතාවත් එක්ක අපි ගන්නවා.

 
ප්‍රශ්නය:- කොහොම වුණත් මේ මොහොත වන විට ඒකාබද්ධ විපක්ෂයත් දෙදරලා. කාංචන විජේසේකරත් ඒකාබද්ධ විපක්ෂයෙන් අයින් වෙලා.
 පිළිතුර:-
නෑ පට්ටපල් බොරුවක්. කාංචන විජේසේකර මන්ත්‍රීතුමා ඊයේ රෑත් අපිත් එක්ක හිටියේ. පහුගිය සෙනසුරාදා, ඉරිදා ඔහු මගේ දිස්ත්‍රික්කයේ ඇවිදිමින් ගෝල්ෆේස් ආපු ජනතාවට ස්තූති කළා. මාතර දිස්ත්‍රික්කයේ යම් නිවැරදි කරගැනීමක් කරගන්න එතුමාට අවශ්‍ය වුණා. ඒක නිවැරදි වුණා. දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකාබද්ධ විපක්ෂය කඩන්න මේ අය සෑහෙන්න දඟලනවා. නමුත් ඒක කරගන්න බැරි වුණා. ඔය ආරංචිය යනකොට කාංචන විජේසේකර මන්ත්‍රීතුමාට කතා කරපු සෑහෙන පිරිසක් රෙකෝඞ් කරපු කතා අපි ගාව තියෙනවා. කාංචන කියන්නේ පරිණත දේශපාලනඥයෙක්. මහින්ද විජේසේකර ඇමැතිතුමාගේ පුතා. කාංචන ඉතාම නිවැරැදි තැනක ඉන්නවා. ආණ්ඩුව ඇතුළේ තමයි ඔය කියන ප්‍රශ්න තියෙන්නේ. ඇමැතිවරු එළිපිට ගහගන්නවා. ඇතුළතින් පුපුරලා දෙදරලා යමින් තියෙන්නේ.


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයට ගීතා කුමාරසිංහත් අහිමි වුණා. 
පිළිතුර:-
ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය විතරක් නොවෙයි විවිධ දේශපාලනඥයන්ගේ මන්ත්‍රීකම් අහිමි කරන්න කටයුතු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දුන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තයා, කටයුතු කරගෙන යනවා. තමන්ට අවනත නොවන සැබෑ විපක්ෂය ලෙස කටයුතු කරපු අපේ අයව හිරේ දැම්මා. නඩු දැම්මා. ඇමැතිකම් පෙන්වලා ඇහුවා      “ඇමැතිකම් ඕනෑද එෆ්.සී.අයි.ඩී යනවද කියලා? ඇමැතිකමද ඕනෑ හිරගෙදර යනවද කියලා ඇහුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දරුවෝ ටික හිරේ දැම්මා. මහින්ද මහත්තයාට සහාය දක්වන අයව හිරේ දැම්මා. මේ හැම දෙයක්ම කළේ ඒකාබද්ධ විපක්ෂය දියාරු කරන්න. හැබැයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයාටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත් ඒක කරගන්න බැරි වුණා. මේ රටේ බෝක්කුවක් හදන්න කල්පනා කරන්නේ නැතිව ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න කල්පනා කරන්නේ නැතිව, තරුණ තරුණියන්ට රස්සා දෙන්න හිතන්නේ නැතිව. මහන්සි වෙනවා ඒකාබද්ධ විපක්ෂය දියාරු කරන්න. එහෙම ආණ්ඩුවක් මේ ආණ්ඩුව. විශේෂයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහත්තයා සහ ඔහුගේ කණ්ඩායම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීකම් අහෝසි කරන්න හදනවා. අපි දැනගත්තා ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව නඩු දාද්දී. පියසේන ගමගේ මහත්තයා අලුතෙන් සූට් මහද්දී අපි දැනගත්තා මෙතැන කුමන්ත්‍රණයක් යනවා කියලා. මේක යුක්ති සහගතද?


ප්‍රශ්නය:- ගීතා කුමාරසිංහට එරෙහිව තීන්දුව දුන්නේ ආණ්ඩුව නොවෙයි. අධිකරණයයි?
පිළිතුර:-
මහත්තයෝ... අපට නම් අධිකරණ තීන්දු ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. විවිධ පාර්ශවම කියනවා අධිකරණය ස්වාධීන නෑ කියලා. දැන් බලන්න උසාවි සෙනසුරාදාට නිවාඩු වුණත් කඩුවෙල උසාවිය සෙනසුරාදාත් මහ රෑ වෙනකම් වැඩ. එහෙම වැඩ කරලා තමයි මන්ත්‍රීවරුන් හිටපු ඇමැතිවරුන් හිරේ දැම්මේ. ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි එහෙම වුණේ. ඒවාට ඇප ගන්න ගියාම ඉහළ උසාවිය කියනවා මේ අධිකරණය ක්‍රියා කරල තියෙන්නේ අධිකරණමය මනසකින් නොවේ කියලා. අපිද කියන්නේ? නෑ. ඉහළ අධිකරණයයි එහෙම කියන්නේ. නාමල්ට යෝෂිතට ඇප ලැබුණේ එහෙමයි. පහළ උසාවියෙන් දීපු තීන්දුව වැරදියි කියලා ඉහළ උසාවියෙන් ඇප දීලා තියෙනවා. එතකොට මේක අසාධාරණයි කියලා ජනතාවට හිතෙනවා නේද? සාමාන්‍ය ජනතාවට හිතෙන්නේ නැද්ද අසාධාරණ තීන්දු ක්‍රියාත්මක වෙනවා රටේ කියලා. විමල් වීරවංශ මන්ත්‍රීතුමාට ඇප ලැබෙන කොට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රකාශ කරනවා ඇප දෙන්න කියලා උපදෙස් දුන්නා කියලා.


ප්‍රශ්නය:- ඔබ කියන්නේ  විමල් වීරවංශට ඇප ලැබුණේ ඩීල් එකක් හින්ද කියලද?
පිළිතුර:-
නෑ මහත්තයෝ. ඩීල් එකක් තිබුණා නම් හිරේ දානවායැ. දවස් 90 ක් හිරේ හිටියේ ඩීල් නොතිබුණ නිසානේ. ඩීල් දාන්නේ හිරේ නොගිහින් ඉන්නනේ. ඇප දෙන්න උපදෙස් දුන්නා කියල කියන්නේ හිරේ දාන්නත් උපදෙස් දුන්නේ එහෙමයි කියලා සාමාන්‍ය ජනතාවට හිතෙන්නේ නැද්ද? එෆ්.සී.අයි.ඩි. එක ක්‍රියාත්මක වෙන්නේ අරලියගහ මන්දිරයෙන්. අගමැතිවරයා හා ජේ.වී.පී එක ඉන්න කමිටුවකින් තමයි තීරණය කරන්නේ කාවද ඇතුළට දාන්නේ කියලා. එහෙම වෙනකොට පොඩි ළමයෙකුට වුණත් හිතෙනවා නේද “මෙතන මොකක් හරි වෙනවා කියලා. ඉතින් ගීතා කුමාරසිංහ මහත්මියගේ තීන්දුව එන්න කලින් පියසේන ගමගේ මහත්තයා “සූට් ක්ලීන්” කරද්දී හිතෙන්නේ නැද්ද මේකේ මොනවා හරි දෙයක් තියෙනවා කියලා. ඔව්. එහෙම හිතෙනවා. අපි අධිකරණයට ගරු කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන අපි සතුටු වෙනවා. හැබැයි ඒ වගේම සමහර අය ක්‍රියාත්මක වෙන ආකාරය සමහර ඇමැතිවරු ඇවිල්ලා  කිව්වට හිරේ දානවා. අහවල් දවසේ අරයව ගන්නවා. මෙයාව ගන්නවා කියලා ඒ කියපු විදියටම ඒවා සිද්ධ වෙනකොට අපිට අවිශ්වාසයක් ඇතිවෙන එක සාධාරණයි.


ප්‍රශ්නය:- ද්විත්ව පුරවැසිභාවය තියෙන තවත් මන්ත්‍රීවරු ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා කියලා ආණ්ඩුවේ සමහරු කියනවා.?
පිළිතුර:-
ආණ්ඩුවෙත් ඉන්නවා කියලා කියනවනේ. ඒකේ මොකක් හරි නීත්‍යනුකූල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අනුව ක්‍රියා කළ යුතුයි. හැබැයි මේක ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය  ඉලක්ක කරගෙන කළේ කියලා මම චෝදනා කරනවා. වෙන මොකටවත් නොවෙයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් අයින් කරලා මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ කෙනෙක්ව ගේන්නයි. 


ප්‍රශ්නය:- මෙතැනින් එහාට මොකක් වෙයිද?
පිළිතුර:-
මොන තරම් පලිගත්තත්, අපි සැලෙන්නේ නෑ. මේ ආණ්ඩුව වට්ටන්න පුළුවන් පළමු තත්පරයේදීම අපි මේ ආණ්ඩුව වට්ටනවා. මහින්ද මහත්තයා පරාජය කළේ රටේ නැති බොරු කියලා. අපි මේ ආණ්ඩුව පරාජය කරන්නේ රටේ හැමෝටම පේන ඇත්ත කියලා. ඒක හරිම පහසු දෙයක්.

සාකච්ඡා කළේ-- 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්