අපිට අවශ්‍ය නම් 113 පෙන්වන්න පුළුවන්


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   
 නාමල් රාජපක්ෂ

 

රටේ දේශපාලන බළ පෙරළියේ ඇත්ත අරමුණු මොනවද? රට ද? නඩු හබද? රට තුළ නිර්මාණය වී තිබෙන දේශපාලන කැලැඹිල්ලට හේතුව කුමක් ද? මේ එ් ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.   


 

ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දුන් හැටියේ කොට කලිසමක් ගහගෙන එෆ්.සී.අයි.ඩී. යට ගියේ ‘දැන් ඔක්කොම හරි’ කියලා හිතාගෙනද?   


පිළිතුර:- නෑ එද‌ා ඉරිද‌ා දවසක්. ගිය අවුරුදු තුන හමාරෙම මම එෆ්.සී.අයි.ඩී.යට ගියේ කොට කලසමක් ඇඳගෙන ඒකට එක හේතුවක් තමයි එෆ්.සී.අයි.ඩී. කියන්නේ නීත්‍යනුකූල ආයතනයක් නොවෙයි. සෙනසුරාද‌ා ඉරිදට වහලා තියෙන ලංකාවේ එකම පොලිසිය එෆ්.සී.අයි.ඩී. එක විතරයි. ඒක සෙනසුරාද‌ා ඉරිද‌ාට අරින්නේ අපිව අත්අඩංගුවට ගන්නයි. උසාවි නියෝගයක් ගෙන අත්සන් කරන්නයි විතරයි. ඉතින් ගිය අවුරුදු තුන හමාරෙම හැම සති අන්තයේම මම ගියේ කොට කලිසමක් ඇඳගෙන. එෆ්.සී.අයි.ඩියට යනකොට ඇඳගෙන යා යුතු ඇඳුමක් නියම කරලා නෑ. කලින් වතාවලත් මම කොට කලිසමින් එෆ්.සී.අයි. ඩියට ගිය පින්තූර අන්තර්ජාලයේ තිබුණා. මම උදේට ව්‍යායාම් කරනවා. ගෝල්ෆේස් එකේ දුවන්න යනවා. එෆ්.සී.අයි.ඩි එකේ උදේ 9.30 ට ඉන්න ඕනෑ. නැත්නම් උසාවි නියෝග කඩ කළා කියනවා. ගෙදර ගිහිල්ලා නාලා එන්න වෙලාවක් නෑ. මම ගෝල්ෆේස් දුවලා එහෙම්ම එෆ්.සී.අයි.ඩී. එනවා. 

 
ප්‍රශ්නය:- එදත් වුණේ එහෙම දෙයක්?   


පිළිතුර:- ඔව්. එදත් වුණේ එහෙම දෙයක්. ගිය අවුරුදු තුන හමාරෙම වෙච්ච දෙයක්. මේක ​ෙම් අලුතෙන් වෙච්ච දෙයක් නොවෙයි. නමුත් ඉතින් විපක්ෂයේ හිටපු මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂට වඩා අගමැති මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ වීම නිසා තමයි වෙන අය වගේම ඔබත් ඔය ප්‍රශ්නය අහන්නේ. එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් එතැන නෑ.   


ප්‍රශ්නය:- දඩිබිඩියේ ආණ්ඩු හැදුවට දැන් වැඩේ හබක්?   


පිළිතුර:- නෑ එහෙම කිසිම දෙයක් නෑ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මුල ඉඳලම කිව්වා මේ ආණ්ඩු පෙරළියට හේතු වෙච්ච කාරණා එතුමා රටට කිව්වා. අපේ මූලික අරමුණ මහ මැතිවරණයකට යාමයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙනවා. උසාවි තීන්දුව එනකම් අපි බලාගෙන ඉන්නවා. මෙතැනින් එහාට මොකක්ද කරන්නේ කියලා පක්ෂ නායකයන් රැස්වෙලා තීන්දුවක් ගනී.   


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ බහුතරය කෝ? මෙහෙම ආණ්ඩුවකට ඉස්සරහට යන්න පුළුවන් ද?   


පිළිතුර:- 113 ගැන ගැටලුවක් නෑ. 113 අපිට ඉන්නවා. අපට අවශ්‍ය නම් 113 පෙන්වන්න පුළුවන්.   


ප්‍රශ්නය:- ඕක නිකම් කතාවක් විතරයිනේ. ආණ්ඩුවට බහුතරය නෑ කියලා ඔප්පු වෙලා ඉවරයි? 

 
පිළිතුර:- මෙහෙමයි 113 පෙන්වීමේ අවශ්‍යතාවක් නෑ. එක්සත් ජාතික පක්ෂයෙන් අපිත් එක්ක එකතු වෙන්න ඉන්න මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ඉන්නවා.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වට කෝ?   


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයෙන් අපිත් එක්ක එකතු වෙන්න ඉන්න මන්ත්‍රීවරුන් මේ වෙලාවේ අපේ පැත්තට ගැනීම සාධාරණ නෑ. මැතිවරණයක් කට උඩ තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවලා තියෙන්නේ. උසාවි නියෝගයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. එහෙම එන අයට එක්කෝ අපි ජාතික ලැයිස්තුවෙන් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඒ අයව මැතිවරණයකට ද‌ාන්න ඕනැ. එහෙම කාලයක් නෑ. පක්ෂයකට ඇවිල්ලා දවස් දහයෙන් මැතිවරණ ව්‍යාපාරයකට යන්න බෑ. ඉතින් අපේ පැත්තෙන් ඒ අයට සාධාරණයක් කරන්න ඕනෑ. එහෙම නැතිව අපිත් එක්ක එකතුවෙලා 113 පෙන්වන්න කතා කරන එක අසාධාරණයි. 113 පෙන්වන්න අවශ්‍ය වුණාම අපි ඒක පෙන්වන්නම්.   


ප්‍රශ්නය:- නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය 122 ක් පෙන්වනවා?   


පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න 122 ක් නෑනේ. විපක්ෂයේ ඉන්න ඔක්කොම පක්ෂ එකතු කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා 122 ක් පෙන්වනවා. හැබැයි ඒගොල්ලන් කිව්වේ 162 ක් ඉන්නවා කියලනේ. ඔය විපක්ෂයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ ඔය ඔක්කොම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඡන්දය ද‌ාපු අය. ඒ අය විපක්ෂයේ වෙන පක්ෂ. ඒ අය අද කියනවා. අපි ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න ඡන්දය දෙන්නේ නෑ කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න 122 ක් නෑ. විපක්ෂයේ 122 ක් ඉන්නවා තාවකාලිකව. ඒ 122 මුළු විපක්ෂයේම ශක්තිය නොවෙයි.   


ප්‍රශ්නය:- ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ?   


පිළිතුර:- ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ කොන්ත්‍රාත් එකක් කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න සහාය දෙන්නේ නෑ කියලා එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාව ස්ථීර කරන්න විශ්වාසභංගයක් ගේනවා. ඒකත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කරමින්.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල පැහැදිලිවම තියෙනවා විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු ආකාරය.   


ප්‍රශ්නය:- කථානායකවරයා කියනවා අගමැති හා ආණ්ඩුව පිළිගන්නේ නෑ කියලා?   


පිළිතුර:- ඒකනේ. අගමැති හා ආණ්ඩුව පිළිගන්නේ නැත්නම් කාටද විශ්වාසභංගයක් ගේන්නේ.   


ප්‍රශ්නය:- නඩුහබවලින් බේරෙන්න තිබුණ එකම මාර්ගය බලෙන් හරි ආණ්ඩුවක් අටවා ගන්න එකයි?   


පිළිතුර:- එහෙම අවශ්‍යතාවක් තියෙනවා නම් තව අවුරුදු එක හමාරක් ඉඳලා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් අපි ගන්නවා. අපි අවුරුදු තුන හමාරක් මේ ආණ්ඩුවත් එක්ක හැප්පුණානේ. තව මාස 8 ක් හිටියා නම් අපිට විධායක ජනාධිපති කෙනෙක් පත්කර ගන්න පුළුවන්. අපේ බලාපොරොත්තුව නඩුවලින් බේරෙන්න බලය ඇල්ලීම නම් අපි ජනාධිපතිවරණයකට යනවා.   


ප්‍රශ්නය:- එහෙම නම් මොකටද මේ දඩිබිඩි ආණ්ඩුවක්?   


පිළිතුර:- බොහොම හොඳ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ඊට එහා ගිය දේශපාලන අවශ්‍යතාවයක්. රටේ තියෙන වර්තමාන දේශපාලන තත්ත්වය, ආර්ථික පසුබිම හා මේ විපක්ෂයට ගිහින් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය හැසිරෙන ආකාරය දැක්කාම අණපනත් සම්මත කරගන්න ආකාරය අපි දැක්කා පළාත් සභා මැතිවරණ පනත ආවම කාන්තා නියෝජනය සියයට 25 කින් වැඩි කරන්න යෝජනාවක් ගෙනැල්ලා අවුරුද්දක් ඡන්දය කල් දැම්මා. අපි ඒකට විරුද්ධව කෑගහනකොට කතානායකවරයා හා ආණ්ඩුව ඒ විරෝධය ශත පහකට ගණන් ගන්නේ නැතිව පනත සම්මත කරගත්තා. ඔය න්‍යායයෙන්ම ගේන්න හිටපු ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්න බැරිද? එහෙම වුණොත් රටට මොකද වෙන්නේ? ඔය ව්‍යවස්ථාව ගෙනල්ලා ඔය විදියටම සම්මත කරගත්තොත් අපි මොකද කරන්නේ? දැන් බලන්න ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ආක්ෂක ලේකම්තුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ අනාවරණය වුණා. මේවා පාලනය කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා එක දවසක්වත් මැදිහත් වුණේ නෑනේ. මේවා ගැන එතුමා හෙව්වද? මේවා ගැන කතා කළාද? රනිල් වික්‍රමසිංහ මහත්තයලා රැස්වීම් තිය තිය නාමල් රාජපක්ෂගේ නඩුව ගැන හොයනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නඩුව ගැන හොයනවා. හැබැයි තමන්ගේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා හඬ පට යනකොට මාධ්‍ය​ෙය්. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක රැස්වීමක්වත් තිබ්බේ නෑනේ මේ පරික්ෂණ ගැන හොයන්න. අපිව හිරේ ද‌ාන්න, අපෙන් පළිගන්න හිරේ ද‌ාන්න එෆ්.සී.අයි.ඩී. වගේ ආයතනයක් හදලා ඒවායේ ප්‍රගතිය ගැන සාකච්ඡා කරමින් ඕපාදූප හොයපු රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන නිශ්ශබ්දයි. මාස 4 ක් විතර නිශ්ශබ්දව බලාගෙන හිටියා. එහෙම ඉන්න එකේ යම්කිසි අන්තර් සම්බන්ධතාවක් තියෙනව ද කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා. ඒ වගේම විජාතික කරණය, ආයෝජන එනවට අපි විරුද්ධ නෑ. නමුත් රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණීම, හම්බන්තොට වරාය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව තමයි විකුණලා තියෙන්නේ. ඒ ගිවිසුමේ නිර්ණායක ඇතුළත් වෙලා තියෙන කරුණු මොනවද කියලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කල්පනා කළේ නෑ. හැබැයි අනික් පැත්තෙන් පහුගිය 26 වැනිද‌ාට කලින් පත්තර බැලුවම තව රාජ්‍ය ආයතන කීයක් විදේශ සමාගම්වලට විකුණන්න ටෙන්ඩර් ද‌ාලා තියෙනවද? මේවත් එක්ක අපට පැහැදිලි ගැටලුවක් තිබුණා මේ ක්‍රමය තවදුරටත් යන්න දුන්නා නම් අපිට මැතිවරණයක් ලැබෙන්නේ නෑ.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කියන්නේ කොහොමද? ජනාධිපතිවරණය මහ මැතිවරණය කල් ද‌ාන්න බෑ?   


පිළිතුර:- මතක තියාගන්න තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියයි අපි ව්‍යවස්ථාව වෙනස් කළා ශබ්දයෙන්. ඒ නිසා විධායක ජනාධිපති කෙනෙක් දැන් නැහැ. පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කෙනෙක් නම් කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණෙන් හරි දෙමළ සන්ධානයෙන් හරි නාමික ජනාධිපති කෙනෙක් පත්කර ගනියි. ජනමත විචාරණයක් ඕනෑ කියලා පාර්ලිමේන්තුව කල් දායි සීමා නිර්ණ කොමිසමක් ද‌ාන්න ඕනෑ කියලා කියයි. එහෙම වුණොත් මේ රටේ ජනතාවට ආණ්ඩුව වෙනස් කරන ජනාධිපතිවරණයක් එන්නේ 2025 දී. ඒ අභියෝගයට මුහුණ දෙන්න තියෙන එකම විකල්පය තමයි අපි කළේ.   


ප්‍රශ්නය:- නමුත් මේ දඩිබිඩි ආණ්ඩුව සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළෙත් බරපතළ ප්‍රතිවිරෝධතා තියෙනවා. මහින්ද මහත්තයාගේ අතේ තිබුණේ මල් වට්ටියක්. නමුත් දැන් ගොම හට්ටියක් දීලා කියලා කියන අයත් ඉන්නවා?   


පිළිතුර:- පොහොට්ටුව හදනකොටත් පොහොට්ටුව හදන්න එපා කියලා විරෝධතා ආවා. අපි පළාත් පාලන මැතිවරණයේදී වෙනම ඉල්ලන්න කියලා කියනකොට. ඒ වෙනුවෙන් මමයි තව කීප දෙනෙකුයි විතරයි ඒ වෙනුවෙන් සටන් කළේ. අද ඔය එකතු වුණා කියලා කෑගහන සමහරු වෙනම ඉල්ලන්න එපා කියලා කෑගැහුවා. එකට ඉල්ලමු කියලා කිව්වා. දේශපාලනයේදී නොයෙක් තීන්දු ගන්නවා. නොයෙක් මත ඉදිරිපත් වෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට හෝ මට පෞද්ගලිකව තීන්දු ගන්න බෑ. අපි දේශපාලනික වශයෙන් ගත්තොත් පුළුල් සන්ධානයක්. පක්ෂ නායකයෝ ඉන්නවා. පක්ෂ ගණනාවක එකමුතුවක්. ඒ සියලු දෙනාම එකතු වෙලා තමයි තීන්දු ගන්නේ. ඒ තීන්දු සමහර විට පෞද්ගලිකව අපට අවාසිද‌ායක වෙන්න පුළුවන්. හැබැයි නායකත්වය කියන්නේ පෞද්ගලික වාසි අවාසි හොයලා බලන්නේ නැතිව රට, තමන්ගේ දේශපාලන බලවේගය හා දේශපාලන චින්තනය සමග හරි පැත්තේ හිටගන්න එකයි.   


ප්‍රශ්නය:- අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවක් විපක්ෂය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තා කියලා කියනවා?   


පිළිතුර:- විපක්ෂය තේරුම් ගන්න ඕනෑ අගමැතිවරයාගේ වැය ශීර්ෂයෙන් වැඩිම මුදලක් පාව්චිචි කරන්නේ එයාලා. ඒ අරලියගහ මන්දිරය වෙනුවෙන්. එතකොට එයාලගේම ලයිට් හා වතුර කපා ගැනීමේ වැඩක් ඔය කරගන්න හදන්නේ.   


ප්‍රශ්නය:- ඒ කියන්​ෙන් එහෙම යෝජනාවක් සම්මත කරගන්න විපක්ෂයට පුළුවන් කියන එකද?   


පිළිතුර:- නෑ නෑ. කොහෙත්ම බෑ. මුදල් පනතක් ගේන්න පුළුවන්, මුදල් පනතක් සංශෝධනය කරන්න පුළුවන් කැබිනට් අනුමැතියකින් පස්සේ කැබිනට් ඇමැතිවරයකුට විතරයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොහොමද ඒක කරන්නේ?   


ප්‍රශ්නය:- නමුත් රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට?   


පිළිතුර:- ඔව්. මූල්‍ය බලය පාර්ලිමේන්තුව තමයි. හැබැයි අණපනත් ගෙන ඒම හා සංශෝධනය කිරීම ස්ථාවර නියෝගවල තියෙනවා. එය කළ යුතු ආකාරය. මූල්‍ය බලය පාර්ලිමේන්තුවේ තිබ්බ පළියට අත්තනෝමතිකව කථානායකවරයාගේ හිතුමතයට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න බෑ. 

 
ප්‍රශ්නය:- ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. අප්ප මුත්ත කාලෙවත් එහෙම දෙයක් වෙලා නෑ. මිනිස්සු වික්ෂිප්තව බලාගෙන ඉන්නවා. මේ විගඩම් කවද්ද නතර වෙන්නේ.   
පිළිතුර:- පෞද්ගලිකව මම විශ්වාස කරනවා අධිකරණයත් මෙම තත්ත්වය තේරුම් ගනී කියලා. අද රටේ ජනතාව තුළ දේශපාලනය සම්බන්ධයෙන් ව්‍යාකූල භාවයක් තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ.   


ප්‍රශ්නය:- ම​ෙග් ප්‍රශ්නය වුණේ ඔය ඔබ කියන ව්‍යාකූලත්වයට තියෙන විසඳුම ගැනයි?   


පිළිතුර:- එකම විසඳුම පාර්ලිමේන්තු මැතිවරණයකට යන එකයි. එක්සත් ජාතික පක්ෂය කියනවා ජනාධිපතිවරණයකට යමු කියලා. ජනාධිපතිවරණයකට ගියාට පාර්ලිමේන්තුව වෙනස් වෙන්නේ නැහැනේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ගහගන්න මිනිස්සු නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කැති මන්නා පිහි අරගෙන එන අය නම්...   


ප්‍රශ්නය:- ඇයි මිරිස් කුඩු?   


පිළිතුර:- ඔව් මිරිස් කුඩු අරගෙන එන අය නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ, සරම උස්සලා පෙන්නන අය නම් එකම විකල්පය මොකක්ද? පාර්ලිමේන්තුව රැස් කරන්න ඕන. එහෙම නම් පාර්ලිමේන්තුව වෙනස් කරන්න මොකක්ද කරන්න ඕනෑ. මැතිවරණයකට යන්න ඕනෑ. කොළඹ ඉඳගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන සිවිල් සමාජය රාජ්‍ය නොවන සංවිධාන තේරුම්ගත යුතු කාරණය තමයි ඔවුන් චෝදනා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නම් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නෙත් මේ පාර්ලිමේන්තුව විසිරිලා අලුත් පාර්ලිමේන්තුවක් ආවොත් තමයි.   


ප්‍රශ්නය:- සමස්ත සිද්ධිද‌ාමයම ගත්තොත් ඔබට හිතෙන්නේ නැද්ද ජනාධිපති මෛත්‍රී යළිත් වරක් මහින්ද රාජපක්ෂ උගුලක කොටු කළා කියලා.  


පිළිතුර:- නෑ දේශපාලනයේ උගුල් නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවුරුදු 50 ක දේශපාලන ඉතිහාසයක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් එවැනිම ඉතිහාසයක් තියෙනවා. එවැනි දේශපාලන අත්දැකීම් හා පන්නරයක් තියෙන ඒ විතරක් නොවෙයි. අද අපි මුහුණපාලා ඉන්න දේශපාලන ව්‍යාකූලත්වයට එහා ගිය දේශපාලන ව්‍යාකූලත්වයන්ට මුහුණ දීලා ආපු නායකයෝ දෙන්නෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයා දැක්කා එද‌ා ද‌ාහත් අවුරුද්දක් ජනමත විචාරණයකින් ආණ්ඩු කරපු විදිය. ඒ අවිනිශ්චිත බව. ඒ තර්ජනය වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව තුළින් ජනාධිපතිතුමා දකින්න ඇති. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් දකින්න ඇති. ඉතින් එතුමන්ලා දේශපාලන තීන්දු ගන්නේ අපි හිතන විදියට නොවෙයි. සෑහෙන පුළුල් විදියට හිතලා තමයි තීන්දු ගන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන උගුල්වලට හසුවෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ.  


ප්‍රශ්නය:- නමුත් මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය සෑහෙන දුරට ​ෙම් පරිසරය තුළ නාය ගියා.  


පිළිතුර:- මම ඒක පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නිද‌ාගෙන හිටපු අය ටිකක් නැගිටල තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ එක්කම එක්සත් ජාතික පක්ෂයත් දෙකට තුනට කැඩිලා තියෙන්නේ. ඒ නිසාම එක්සත් ජාතික පක්ෂයේ නැගිටීමක් තියෙනවා කියලා කියන්නත් බෑ. එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන් වෙනත් දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනප්‍රියත්වයට අභියෝග කරන්න පුළුවන් නායකයෙක් තාම බිහිවෙලා නෑ. කවුරුහරි කෙනෙක් එහෙම හිතනවා නම් ඒක වැරදියි. යම් යම් මත තියෙන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් හැමෝම පිළිගන්න කාරණය තමයි මේ රට ගොඩගන්න පුළුවන් එකම නායකයත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක.  


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට අද‌ාළ වන්දිය වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති කළ යුතුයි?  


පිළිතුර:- නෑ. ඒක මම පැහැදිලිව කියන්න ඕනෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊළඟ ජනාධිපතිවරණය ගැන කිසිම දෙයක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක්ක සාකච්ඡා කරලා නෑ.  


ප්‍රශ්නය:- එතකොට ජනාධිපති මෛත්‍රීට ගෙවන වන්දිය?  


පිළිතුර:- මෙහෙමයි ජනාධිපතිවරණය ගැන කිසිම සාකච්ඡාවක් මතුවෙලා නෑ. සියලු දෙනාම ඒකමතිකව ස්ථීර කරලා තියෙන්නේ පළමුව පාර්ලිමේන්තුව ස්ථාවර කිරීමයි. පළමුව පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමයි අපේ අරමුණ.  


ප්‍රශ්නය:- ඔබේ උත්තරය මට පිළිගන්න අමාරුයි. මොකද ලබන ජනවාරි 9 න් පස්සේ ඕනෑම වෙලාවක ජනාධිපතිවරණයකට යා හැකියි?  


පිළිතුර:- මම දන්න විදියට කිසිම කෙනෙක් ඔය ඔබ කියන විදියේ දෙයක් ගැන සාකච්ඡා කරලා නෑ. මේ නායකයෝ දෙන්න ගත්ත දේශපාලන තීන්දුවක්. නායකයෝ දෙන්න අතර සාකච්ඡාවල මම හිටියේ නෑ. එහෙම දෙයක් කියන අය සාකච්ඡාවල හිටියද කියන්න මම දන්නේ නෑ.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්