අපි හිතනවාටත් වඩා ඉහළ පිළිගැනීමක් රටේ තියෙනවා කියා මම හිතනවා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක

ගෝඨාභය රාජපක්ෂ

  • පවතින තත්ත්වය මම නිතරම ජනාධිපතිතුමාට කතා කරලා කියනවා
  • මට අවශ්‍ය සෑම ජාතිකයකුටම අයිති වෙන ජනාධිපති කෙනෙක් වෙන්නයි
  • උතුරේ බෝම්බ සියයට 70ක් අයින් කළේ හමුද‌ාව

ජනාධිපතිවරණයට තව දින 13කි. ජයග්‍රහණය සම්බන්ධයෙන් තබා ඇති බලාපොරොත්තු මොනවාදැයි විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයට දින 13යි තියෙන්නේ. කොහොමද ඡන්ද ව්‍යාපාරය?   


ඉතාම සාර්ථකයි. ගිය ගිය හැම තැනම හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා. විශේෂයෙන්ම රැස්වීම් නොවෙයි. රැස්වීම්වලට යන පාරේ ගුවන් යානයෙන් ගිහිල්ලා බහින තැන්වල ඉන්න ජනතාවගේ ප්‍රතිචාර හරිම අව්‍යාජයිනේ. ඒ නිසා අපි හිතනවාටත් වඩා ඉහළ පිළිගැනීමක් රටේ තියෙනවා කියලා මම හිතනවා.   


ප්‍රශ්නය:- එහෙම හිතන්න තරම් තියෙන සාධක?   


හැම මනුස්සයටම ප්‍රශ්නනේ. හැම ක්ෂේත්‍රයටම ප්‍රශ්නනේ. අනික් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීමත් විශාල ජයග්‍රහණයක්. ඒ වගේම තොණ්ඩමන් මැතිතුමාගේ සහයෝගය ලැබීම විශාල ජයග්‍රහණයක්. 2018 දී අපි ගත්ත ඡන්ද ටික ගත්තොත් ඡන්ද ලක්ෂ 56ක් තියෙනවා. අපි පටන් ගන්නේ එතැනින්. ඒ ඡන්ද ටික පොඩ්ඩක් එහා මෙහා වුණත් සියයට පනහ පන්නල තමයි අපි පටන් ගන්නේ. අනික් කාරණය තමයි 2018 දී අපට තිබුණු ඡන්ද යූඑන්පියට යන්න කිසිම හේතුවක් නෑනේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නෙත් ඊටත් පස්සේ යූඑන්පියට මොකටද ඡන්දෙ දෙන්නේ කියන ප්‍රශ්නයත් තියෙනවානේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් රටේම ජනමතය නිරූපනය වුණානේ.   


ප්‍රශ්නය:- කොහොම වුණත් මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි?   


ඔව්. තීරණාත්මකයි. හැබැයි ඒ ආණ්ඩුවට. මම උද‌ාහරණයක් කියන්නම්. බොහොම සරල කාරණා තියෙනවා. නමුත් රජය ඒ අවශ්‍ය අවධානය යොමු නොකිරීම නිසා රටත් අමාරුවේ ද‌ාලා ඒ ගොල්ලොත් අමාරුවේ වැටිලා තියෙනවා. ගම්මිරිස් ප්‍රශ්නය ගන්න. කෙනෙකුට හිතන්න පුළුවන් ඒක ජාතික ප්‍රශ්නයක් ද කියලා. හැබැයි මම ගිය දිස්ත්‍රික්ක හතක ප්‍රධානම ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ගම්මිරිස්. ගම්මිරිස් වගාවෙන් මිනිස්සු විශාල ප්‍රමාණයක් යැපුණා. විදේශ විනිමය විශාල වශයෙන් ගෙනාවා. නමුත් ව්‍යාපාරිකයෝ දෙන්නෙක්, තුන්දෙනෙක් වෙනුවෙන් පිටරටින් ගම්මිරිස් ගෙන්වලා ශ්‍රී ලංකා ගම්මිරිස් හැටියට ප්‍රති අපනයනය කරනවා. මුළු ගම්මිරිස් කර්මාන්තයම ඒකෙන් කඩා වැටිලා තියෙන්නේ. අපේ රටට එන්නේ කුළුබඩුවලටනේ. ඒවායේ ගුණාත්මක භාවයක් තිබුණා. අපේ ගම්මිරිස්, අපේ කුරුඳු, අපේ තේ වෙන රටවල තියෙන ඒවට වඩා ගුණාත්මක භාවයක් තියෙනවා. දැන් ඒක අපට අහිමි වෙලානේ. සිලෝන් ටී විනාශ කරගත්තා. සිලෝන් පෙපර් කියන එක විනාශ කරගෙන. ආපහු මේ වෙළෙඳ නාමය හද‌ාගන්න කොච්චර අමාරු ද? ගජමිතුරු ජාවාරම්කරුවන් වෙනුවෙන් රටේ ආර්ථිකය බිල්ලට දීලා තියෙන්නේ. එහෙම බලනකොට යූඑන්පියට ඡන්දයක් දෙන්න ඕනෑ දැයි කියලා මිනිස්සු හිතනවා.   


ප්‍රශ්නය:- ඔබේ වැඩිම අවධානය යොමුවෙලා තියෙන්නේ ජාතික ආරක්ෂාවට?   


ඔව්. දැන් බලන්න මම රැස්වීම්වලට ගියාම මිනිස්සු කෑගහන්නේ ‘අපේ රට බේරලා දෙන්න’ කියලයි. ඒ වගේම රැස්වීම්වල දී නොවෙයි අතරමග දී හමුවන ජනතාව ඉල්ලන්නෙත් ‘අපේ රට බේරලා දෙන්න’ කියලයි. ඒක තමයි ප්‍රධානම ඉල්ලීම. ආර්ථිකයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට වඩා ඉහළින් ජාතික ආරක්ෂාව තියෙනවා. ඒ වෙනුවෙන් මේ රටේ බහුතර ජනතාව විශ්වාසය තබා තිබෙන්නේ මා කෙරෙහි කියලා මම දන්නවා. වෙන කෙනෙකුට ඒ ජාතික ආරක්ෂාව උපරිමයෙන් සලසන්න බැහැ කියලත් ජනතාව දන්නවා.   


ප්‍රශ්නය:- ඔබ ජාතික ආරක්ෂාව යනුවෙන් හඳුන්වන්නේ මිලිටරි ආධිපත්‍යයක් ස්ථාපිත කිරීමයි?   


එහෙම එකක් නොවෙයිනේ. යුද්ධයෙන් පස්සේ අපි කොහොමද ක්‍රියා කළේ කියලා බලන්න. ඔහොම කිව්වට ඇත්තටම මම කරපු දේවල් දිහා බලන්නේ නැහැනේ. රූපවාහිනී සංස්ථාව, ජාතික ගුවන් විදුලි සංස්ථා භූමිය ගන්න. කොහොමද ඒ තැන් තිබුණේ. තාප්ප ගහලා රේල්පීලි ගෙනැල්ලා පූට්ටු කරලා මාර්ග බාධක ද‌ාලා යකඩ දැල් ගහලා කටු කම්බි අතුරලා බංකර් ගහලා තිබුණේ. රූපවාහිනී සංස්ථා භූමිය, ජාතික ගුවන් විදුලි සංස්ථා භූමිය අද තිබෙන තත්ත්වයට ගෙනාවේ කවුද? මම. කොළඹ තිබුණ ආරක්ෂක බංකර් අයින් කළේ මම. කුරුඳුවත්ත පොලිසිය තිබුණ හැටි ඔබට මතකද? ඒ තත්ත්වය නැති කිරීම මිලිටරිකරණය කිරීම ද? රාජ්‍ය ආයතනයකට ඇතුල් වෙන්න පුළුවන්කම තිබුණ ද? භීතිය ගෙන එන පරිසරයක් තිබුණේ. කවුද ඒ තත්ත්වය වෙනස් කළේ. එතකොට ඒක මිලිටරි පාලනයක් නොවෙයිනේ. විවෘත භාවයක් මම ඇති කළා. සමහරු මේවා වැරැදි විදියට අර්ථකථනය කරනවා. ආරක්ෂාව තහවුරු කරන ගමන් පරිසරය නිදහස් කළා. 2015 දී අපි ආණ්ඩුව බාර දෙනකොට එක චෙක් පොයින්ට් එකයි තිබුණේ. ඒ ඕමන්තේ. අපි බාර ගත්තේ යාර සීයෙන් සීයට චෙක් පොයින්ට්, මාර්ග බාධක, බංකර් තිබුණ රටක්. අපි ඒ තත්ත්වය නැති කළා. 2015 වෙනකොට යාපනයේවත් චෙක්පොයින්ට් එකක් නැහැ. නමුත් අපි බුද්ධි අංශ ද‌ාලා තිබුණා. පිටරටවල් මේ සඳහා තාක්ෂණය පාවිච්චි කරනවා. අපිටත් ඉදිරියේ දී ඒ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ෆේස්බුක් එකේ පින්තූර ද‌ානවනේ එක එක රටවල ජනාධිපතිලා. ඇමැතිවරු කවුරුවත් නැතිව පාරේ යනවා. බයිසිකල් පදිනවා. නමුත් කවුරුවත් දන්නේ නැහැ ආරක්ෂකයන් කී දෙනෙක් කොයි කොයි ආකාරයෙන් ඉන්නව ද කියලා. අපේ ආරක්ෂකයන්ගේ වෙනස තමයි ඔවුන් නිල ඇඳුමෙන් ඉන්නේ. පිටරටවල ඒ ආරක්ෂකයෝ ඉන්නේ සාමාන්‍ය මිනිස්සු විදියට. ඊට අමතරව තාක්ෂණය ද‌ාලා තියෙනවා. ඒනිසා ජාතික ආරක්ෂාව හැම රටකම ප්‍රධාන දේ. ඒක ජනතාවට හිරිහැරයක් නොවන විදියට ක්‍රියාත්මක කළ යුතුයි. යුද්දෙ ඉවර වෙලා ප්‍රභාකරන් මැරුණටත් පස්සේ කේ.පී. මැලේසියාවේ ඉඳලා බීබීසීයට ඇවිත් කිව්වා ‘මම නායකත්වය බාර ගත්තා. මම සටන ඉදිරියට ගෙනියනවා.’ කියලා. නමුත් කවුරුවත් දන්නේ නෑ අපි බොහොම කෙටි කාලයකින් මිනිහව අල්ලාගෙන ලංකාවට ගෙනාවා. ගෙනල්ලා මිනිහව පුනරුත්ථාපනය කළා. දැන් ඔය ඉන්නේ.   


ප්‍රශ්නය:- කේ.පී.ව පුනරුත්ථාපනය කළා කියලා පළමු වරටයි අහන්නේ?   


එයාව ගොඩක් කල් තියාගෙන කතා කරලා... ලේසි වුණේ නෑ එයාගේ මානසිකත්වය වෙනස් කරන්න. බුද්ධි අංශ ඒකට විශාල ප්‍රයත්නයක් දැරුවා. පුනරුත්ථාපනය කළා කිව්වම අර පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ද‌ාලා කරපු දෙයක් නොවෙයි. එයාගේ මානසිකත්වය වෙනස් කළා බුද්ධි අංශ. අපි වැඩ කළේ එහෙමයි. නමුත් මේ රජය වැඩ කරපු හැටි කොහොමද? පාස්කු ප්‍රහාරය එල්ල කරන තැන්, වෙලාව, පහර දෙන ආකාරය, පුද්ගලයන්, ඒ අයගේ ලිපින ඒ අයගේ දුරකථන අංක මේ ඔක්කොම ලබා දීලත් ඇයි ඒ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ. දැන් මේක හරිම ලේසියි පොලිස්පතිව අයින් කරලා ආරක්ෂක ලේකම් අයින් කරලා වැඩේ ඉවරයි කියලා අත පිහද‌ාගන්න. ඊට පස්සේ මේකට වගකිව යුතු අයම වාඩිවෙලා හොයනවා ‘කවුද මේකට වගකියන්න ඕනැ’ කියලා. මේකට වගකිවයුත්තේ රජය. ඇයි මෙහෙම වුණේ?   


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට ඇයි එහෙම වුණේ?   


මුළු රට පුරාම පැතිරුණු යුද්ධයක් තිබුණා. කොටි බුද්ධි අංශ රට පුරාම විහිදිලා හිටියේ. කොටින්ගේ ආරක්ෂිත නිවාස හැම තැනම තිබුණා. මරාගෙන මැරෙන කාඩර්ලා හැම තැනම ස්ථානගත කරලා තිබුණා. මේ තිබුණ ඔක්කොම ටික ඒ සංවිධාන ජාලය පොට්ටු අම්මාන්ගේ බුද්ධි අංශ ජාලය අපි කඩා දැම්මා. ඒ දේ කරපු නිලධාරින් සිටියදීම ඇයි පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ. මේක තමයි ජනතාව හිතන්න ඕනෑ. ඒක එහෙම වුණේ මිනිසුන්ගේ මානසිකත්වය හැදුවා ‘ජාතික ආරක්ෂාව වැඩක් නෑ. ඒක බොරු දෙයක්’ කියන තැනට. නිලධාරින්ගේ මනස පවා එහෙම හැදුවා. මේ තොරතුරු ආවම අපි හිතමු නිලධාරියෙක් මේ තොරතුරු ඔස්සේ ගිහින් මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. එතකොට බෝම්බ පුපුරන්නේ නැහැ. එතකොට අර නිලධාරියාගෙන් අහනවා ‘උඹ මොකටද මේ මිනිසුන්ව අත්අඩංගුවට ගත්තේ? උඹ කරපු දේ වැරදියි’ කියලා කියනවා. ඉතින් නිලධාරින් දන්නවා පාලකයන් ජාතික ආරක්ෂාව ගැන හිතන්නේ නෑ කියලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක ලේකම් කියනවා ‘අපිට තොරතුරු ලැබුණා. ඒත් ගණන් ගත්තේ නෑ.’ කියලා. මේක තමයි ඇත්ත. යුද්ධය තියෙන කාලේත් සාම සාකච්ඡා පටන් ගත්තම ඒකට බාධා වෙන දේවල් කරන්න, ආරක්ෂාව ගැන හොයන්න එපා කියනවා. නායකත්වය හදන්නේ අන්න ඒ මානසිකත්වයයි. ක්ලේමෝ එහෙම අල්ලන කොට රටේ පාලකයෝ කිව්වා ‘බුද්ධි අංශ බොරු කියන්නේ’ කියලා. එහෙම වුණාම නිලධාරින් වැඩ කරන්නේ නෑ. ජාතික ආරක්ෂාව බිංදුවටම වැටුණේ ඒ නිසයි.   


ප්‍රශ්නය:- ඔබ වටේ ඉන්නේ විශ්‍රාමික හමුද‌ා නිලධාරින්. ඔබ බලයට පත් වුණොත් මිලිටරි ජුන්ටාවක් තමයි ඔබ වටකර ගන්නේ කියලා චෝදනාවක් තියෙනවා?   


අපි ද‌ාන කණ්ණාඩියේ පාටට අනුවනේ පරිසරය පේන්නේ. මගේ වටේ ඉන්​නේ හමුද‌ා නිලධාරින් විතරක් නොවෙයිනේ. වියත්මග ගන්න. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෘත්තියවේදීන්, නීතිඥයන්, වෛද්‍යවරුන්, ගුරු වෘත්තියේ ඉන්න අය ඉංජිනේරුවෝ විශාල පිරිසක් මගේ වටේ ඉන්නවනේ. හැබැයි ඔහොම චෝදනා කරන අයට මේ අයව පේන්නේ නෑ.   


ප්‍රශ්නය:- යුද්ධයෙන් පසුව සිවිල් පරිපාලනය ස්ථාපිත කළ යුතු වුවත් උතුරේ හා නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ලෙස පත් කළේ හමුද‌ා නිලධාරින්?  


එදා ඒ වෙලාවේ තිබුණ අවශ්‍යතාවය අනුව තමයි කළේ. ඒ දේ කළ හැකිව තිබුණෙත් හමුද‌ාවේ අයට පමණයි. ඒ පළාත් දෙකම ගොඩනගන්න හමුද‌ාවේ සහයෝගය ගන්න ඕන වුණා. ඒ සහයෝගය හමුද‌ාව දුන්නා. ඒ සහයෝගය ගන්න පුළුවන් අයව තමයි එතැනට ද‌ාන්න ඕනෑ. ආණ්ඩුකාරවරුන් පත් කරන්නේ මම නොවෙයිනේ. මහින්ද ජනාධිපතිතුමානේ. මහින්ද ජනාධිපතිතුමා එහෙම පත්කළේ එතැන තත්ත්වය තේරුම් අරගෙනනේ. දැන් බලන්න. ඒ මොහොත වන විට මුළු උතුරෙම කිසිම දෙයක් තිබුණේ නෑ. රාජ්‍ය යාන්ත්‍රණයක් තිබුණෙම නෑ. බිම් බෝම්බ ඉවත් කිරීම අපි මුලින්ම දුන්නේ රාජ්‍ය නොවන ආයතනවලට. ඒ ගොල්ලෝ කිව්වා අවුරුදු 12ක් යනවා කියලා. මම ජනාධිපතිතුමාට කිව්වා ‘එච්චර කාලයක් බලන් ඉන්න බෑ. මේක ඉක්මනට කරන්න ඕන. ඒ නිසා ඒ වැඩේ හමුද‌ාවට බාර දෙන්න’ කියලා. හමුද‌ාව තමයි සියයට 70ක් බෝම්බ අයින් කළේ. ජනතාව නැවත පදිංචි කරන කොට රාජ්‍ය ආයතන තියා පෞද්ගලික ආයතනයක් වත් තිබුණේ නෑ. තේ කඩයක් තිබුණේ නෑ. මේ නිසා හමුද‌ාවේ සහයෝගය ගත යුතුව තිබුණා. ඒ අවශ්‍යතාවයත් එක්ක තමයි ඒ තේරීම් කළේ. ඒ දෙන්නම තමන්ගේ රාජකාරිය ඉතාම හොඳින් කළානේ.  


ප්‍රශ්නය:- 2015 දී පරාජයට පත් කළ පවුල් පාලනය යළිත් රජ කරවන්න අවශ්‍ය ද කියන ප්‍රශ්නය මග හැර යන්න බෑ?  


පවුල් පාලනය කියන එක නොවෙයි මෙතැන වැදගත් වෙන්නේ. කවුද සුදුස්සා කියන එකයි.  


ප්‍රශ්නය:- සුදුස්සෝ ඉන්නේ රාජපක්ෂ පවුලේ විතර ද කියන ප්‍රශ්නයක් මතුවෙනවා?  


ඇත්තටම මාව ජනාධිපති කරන්න කියලා මම ඉල්ලුවේ නැහැනේ. කවුද මාව ඉල්ලුවේ. ජනතාවයි මාව ඉල්ලුවේ. ජනතාව තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට මාව ඕනෑ කියලා කිව්වේ. එහෙම නම් වෙන එක්කෙනෙක් ද‌ාන්න තිබුණා. ජනතාව ප්‍රතික්ෂේප කළා නම් එන්නත් බැහැනේ. මම කවද‌ාවත් ගිහින් ඉල්ලුවේ නෑ. මම කොහේවත් ගිහින් මීටින් තියලා මාව ජනාධිපති කරන්න කියලා ඉල්ලුවේ නැහැනේ.  


ප්‍රශ්නය:- නමුත් ඔබ එළිය, වියත් මග වැනි සංවිධාන හද‌ාගෙන ඒකට අවස්ථාව හද‌ා ගත්තා?  


නෑ. ඒවායේ හිටියෙ කවුද? උගත්තු, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්. අපි කළේ ඕනෑම රජයකට වැදගත් වන ප්‍රතිපත්ති මාලාවක් හැදීමයි. ඒ නිසා තමයි අපිට සාර්ථක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ. අපි ළඟ විශාල බුද්ධි සම්භාරයක් තියෙනවා. ඉදිරි පාලනයට අවශ්‍ය සියලු බුද්ධිමය තොරතුරු මෙන්ම බුද්ධිමය සම්ප් අපට ඉන්නවා. මේ රටේ බුද්ධිමතුන් පාලනයෙන් ඈත් වෙලා හිටියේ. බුද්ධිමතුන්ගෙන් මාව ගන්න පාලකයන්ට අවශ්‍ය වුණෙත් නෑ. අපි කළේ ඒ ක්ෂේත්‍රය අනාගත රට මෙහෙයවීමේ මහා වගකීමට සම්බන්ධ කර ගැනීමයි. එක පවුලක් වුණත් රටක් දියුණු කරනවා නම් හොඳයිනේ. ඇමෙරිකාවේ ‘හාර්ඩ් ටෝක්’ වැඩසටහනේදීත් ඔය රාජපක්ෂ පවුල ගැන මගෙන් ඇහුවම මම ඇහුවා ලෝකයේ ලොකුම රට කියන ඇමෙරිකාවේ කෙනඩි පවුල ඉන්නවා නම් බුෂ් පවුල ඉන්නවා නම් ක්ලින්ටන් පවුල ඉන්නවා නම් ඇයි ලංකාවේ රාජපක්ෂ පවුල ගැන අහන්නේ කියලා. ඒ ගොල්ලෝ ඒ කෑල්ල දැම්මේ නෑ. ඉන්දියාව ගත්තාම ගාන්ධිලා නේරුලා ඉන්නවා. එතකොට හැකියාව තිබියදීත් රාජපක්ෂ කෙනෙකු නිසා අවස්ථාවන් අහිමි වී යනවා නම් ඒකත් අසාධාරණයිනේ. ඩී.එස්. ඩඩ්ලි හරහා රනිල් ඇවිත් ඉන්නවා. බණ්ඩාරනායක පවුල ඉන්නවා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. රාජපක්ෂ පවුල ගැන කතා කරන්නේ අපි මැදමුලන වගේ ග්‍රාමීය පළාතකින් ආව නිසා වෙන්න ඕනෑ. විදේශික අයත්, නාගරික ලොකු අය කතා කරන්නේ රාජපක්ෂලා ගැනයි. ඒකට හේතුව රාජපක්ෂලා ප්‍රභූ මූලයෙන් නොවෙයිනේ එන්නේ. පිටිසර ගම්මානයක ඉපදිලා ආනන්ද විදුහලේ ඉගෙන ගෙන ආපු නිසා තමයි ඔය විරෝධය. ප්‍රේමද‌ාස මහත්තයා කවුද? ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලනේ මේ කතා කරන්නේ.  


ප්‍රශ්නය:- ගම් සභාවකවත් හිටපු නැති ගෝඨාභය රාජපක්ෂ රටක් පාලනය කරන්නේ කොහොමද කියලා අහන අයත් ඉන්නවා?  


ඒක තමයි මෙතැන වැරැදිලා තියෙන්නේ. රටේ පාලනය ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙකුට පුළුවන් ද රටක් පාලනය කරන්න. මම අවුරුදු 20ක් හමුද‌ාවේ. ඒක රාජ්‍ය සේවය. ඊට පස්සේ අවුරුදු දහයක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. ඒ වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්. මම අවුරුදු තිහක් රාජ්‍ය සේවයේ ඉඳලා තියෙනවා. ඒනිසා මම දන්නවා රාජ්‍ය සේවය කියන්නේ මොකක්ද කියලා. ඒ අවබෝධය තමයි වැදගත් වන්නේ. ඒ අවබෝධයවත් නැති දේශපාලනික අවබෝධයක් පමණක් තිබීම සුදුසුකමක් වෙන්නේ කොහොමද? බණ්ඩාරනායක මැතිනියට ඔය මොකක්වත් තිබුණ ද? ගෘහණියක් විතරයි. ගම් සභාවකවත් ඉඳලා නෑ. රාජ්‍ය සේවයේ ඉඳලත් නෑ. නමුත් සාර්ථක රාජ්‍ය නායිකාවක් වුණානේ. ලංකාවෙ පමණක් නොවෙයි ලෝකෙම සාර්ථක නායිකාවත් වුණානේ.  


ප්‍රශ්නය:- සුළු ජාතික ඡන්ද සම්බන්ධයෙන් ඔබේ අවධානය කොහොමද?  


මට උතුරෙන් අඩුවෙන් ඡන්ද ලැබෙන්න පුළුවන්. නමුත් වෙනදට වඩා මේ පාර වැඩියෙන් මට ඡන්ද ලැබෙනවා. ගියපාර වුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වුණේ ඒ ඡන්ද නොලැබීම නිසා නොවෙයි. පරතරය ඡන්ද ලක්ෂ දෙක හමාරයි. ඒ පරතරය අනිත් පළාත්වල ඡන්දවලින් වහගන්න තිබුණා. නමුත් අනික් පළාත්වල ඡන්ද අපිට අඩුවුණා කියලා මම ඒකෙන් කියන්නේ නෑ. ඒ සුළු ජාතික ඡන්ද අනවශ්‍යයි කියලා ජනාධිපති කෙනෙක් වුණාම මුළු රටේම ජනාධිපති වෙන්න එපැයි. ඒ නිසා හැම ජාතියක ඡන්ද මට අවශ්‍යයි. හැබැයි ඒ ජයග්‍රහණය සඳහා නෙවෙයි. නමුත් මට අවශ්‍ය සෑම ජාතිකයකුටම අයිති වෙන ජනාධිපති කෙනෙක් වෙන්නයි.  


ප්‍රශ්නය:- යම් හෙයකින් ඔබ ජයග්‍රහණය කළොත් අගමැති රනිල් ඇතුළු මේ කැබිනට් මණ්ඩලය එක්ක ද ඔබ ඉස්සරහට යන්නේ?  


බෑ ඒක කරන්න බැහැනේ. දැන් පෙනුණානේ මෛත්‍රී ජනාධිපතිතුමාට වෙච්ච දේ. මට ඒක කරගන්න බෑ. මගේ ප්‍රතිපත්තිවලට එකඟ වන ආණ්ඩුවක් එක්කයි මම ඉදිරියට යන්නේ  


ප්‍රශ්නය:- ව්‍යවස්ථාවට අනුව ඒක කරන්න පුළුවන් ද?  


යූඑන්පියටත් නෑනේ බහුතරයක්. මේ අවුරුදු හතරාමාරම යූඑන්පී ආණ්ඩුව ආවේ බහුතරය නැතිව. මට මාස තුනක්නේ ගෙනියන්න තියෙන්නේ.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔක්තෝබර් 26 වගේම ‘හඳපානේ විප්ලවයක්’ වෙයි?  


මම ඒකයි කිව්වේ මේ ආණ්ඩුවටත් බහුතරය නෑනේ. ජනතාවගේ කැමැත්තක් තියෙන අගමැති කෙනෙක් එක්කනේ ආණ්ඩුව කරන්න ඕනෑ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ වේගවත් වැඩ කොටසක්. ජනතාවගේ අරමුණු මුදුන් පමුණුවන්න සමත් ආණ්ඩුවක් මට තිබිය යුතුයි. මම දන්නවා මේ රටේ ජනතාව මාව ස්ථිර වශයෙන්ම ජනාධිපති කරනවා. මට වගකීමක් පැවරෙනවා. ඒ වගකීම ඉටු කරන්න සුදුසු පරිසරයක් මට අවශ්‍යයි.  


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී එක්ක තියෙන සම්බන්ධය කොහොමද? කතා කරනව ද?  


මම නිතරම වගේ එතුමට කතා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට සහයෝගය දෙන්න තීරණය කිරීම ලොකු දෙයක්. ඒ නිසා පවතින තත්ත්වය මම නිතරම එතුමාට දුරකථනයෙන් කතා කරලා කියනවා.  


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රීගේ දේශපාලන අනාගතය කුමක් වෙයි කියල ද ඔබ හිතන්නේ?  


ඒක නම් මම දන්නේ නෑ. ඒක තීරණය කරන්නේ එතුමනේ. ඒ ගැන එතුමා මට කියලත් නෑ. අපි ඒ ගැන කතා කළේ නෑ. අපි එකතු වෙන්න කතා කරපු වෙලාවෙත් එතුමා කතා කළේ පක්ෂය ගැන හා ප්‍රතිපත්ති ගැනයි. එතුමා පැහැදිලි මතයක හිටියා එක්සත් ජාතික පක්ෂයත් එක්ක යන්න බෑ කියලා. ඒ එක්කම එතුමා කිව්වා ‘මට මගේ පක්ෂය ආරක්ෂා කරගන්නත් ඕනෑ. ඔබතුමා ඒ වගකීම බාර ගන්න’ කියලා මට කිව්වා.  


ප්‍රශ්නය:- ඔබ කිව්වා ජයග්‍රහණයෙන් පස්සේ ඔබට අවශ්‍ය ආණ්ඩුව හදනවා කියලා කාගෙන්ද සහයෝගය ගන්නේ.  


අපට සහයෝගය දෙන්න විශාල පිරිසක් ඉන්නවා. හැබැයි අන්තවාදී පක්ෂ නම් මම මගේ රජයකට ගාව ගන්නේ නෑ. මේ රටට ඒ අය කිසිසේත්ම අවශ්‍ය නෑ. ඒ අන්තවාදය මේ රටට පිළිලයක්.  


ප්‍රශ්නය:- සහරාන්ලාට පඩි ගෙවපු ඔබට අන්තවාදය ගැන කතා කරන්න අයිතියක් තියෙනව ද?  


ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. එයාට පඩි ගෙවලා නෑ. එහෙම පඩි ගෙවලා තියෙනවා නම් තාම තියෙන්නේ මේ ගොල්ලන්ගේ ආණ්ඩුවක්නේ. පරික්ෂා කරන්න පුළුවන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කාටවත් පඩි ගෙවන්නේ නෑ. සරත් ෆොන්සේකා මැතිතුමා ඕක ලස්සනට පැහැදිලි කරලා තිබුණා. ඔත්තුකරුවන්ට හමුද‌ාපතිවරු ගෙවනවා. රාජ්‍ය බුද්ධි අංශවලින් ගෙවනවා. ඒ නම් ගම් කාටවත් එවන්නේ නෑ. අනුමැතියට එවනවා මුදල මෙච්චරයි කියලා. අපි ඒ මුදල අනුමත කරලා ලබා දෙනවා. ඒව ගැන අහන්නේ නෑ. අහන්න බෑ. අපිට කියන්නෙත් නෑ. ඒක තමයි ඇත්ත.  


ප්‍රශ්නය:- ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔබට අවිශ්වාසයක් නෑ?  


නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා.

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්