අපි විපක්ෂයට ගිහින් ඉඳගන්නේ ජනපතිගේ නායකත්වය යටතේයි


දේශපාලන වියවුලට නව මුහුණුවරක් දෙමින් ආණ්ඩුව තුළ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු 16 දෙනෙක් ඉල්ලා අස් වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත් කළ මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ද එසේ ඉල්ලා අස්වූ එක් ඇමැතිවරයෙකි. මේ කතාබහ ඒ තීන්දු තීරණ ගැන හා රටේ අනාගත දේශපාලන පෙළගැසීම් සම්බන්ධවය.

 

• ප්‍රශ්නය - ඔබ ඇමැති ධුරයෙන් ඉවත් වෙලා දැන් දවස් කීපයක් ගත වුණා. ඒ ගත් තීරණය ගැන මේ දවස් ටිකට ඔබට මොකද හිතෙන්නේ?   


පිළිතුර - ඉතාම සතුටෙන් ඉන්නේ. බොහොම තෘප්තිමත්ව ඉන්නේ ඒ තීරණය ගැන.   


• ප්‍රශ්නය - ඒ තරම්ම තෘප්තියක්?   


පිළිතුර - ඔව්! අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහිව ඉදිරිපත් වුණු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.   


• ප්‍රශ්නය - ඒ ගැනත් තෘප්තිමත්ද?   


පිළිතුර - අනිවාර්යයෙන්ම. අපි මුල ඉඳලම හිටියේ ප්‍රශ්න ගැටලු මැද.   


• ප්‍රශ්නය - මොනවද ඒ ප්‍රශ්න ගැටලු.   


පිළිතුර - එකක් තමයි අපි හිතපු විදියට රට ඉස්සරහට යන්නේ නෑ. අපි හිතපු විදියට රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගන්න පුළුවන්කම තිබුණේ නෑ. අපි හිතපු විදියට රටේ ප්‍රශ්න විසඳුණේ නැහැ. වංචාව දූෂණය ගැන කතා කරපු ආණ්ඩුව භයානක විදියේ වංචා දූෂණයන්ට පැටලෙන බව අපට පෙනුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙච්ච බැඳුම්කර මගඩිය ගැන ප්‍රශ්නය අපේ පක්ෂය විසින් මතු කරපු කාරණයක් ප්‍රථමයෙන්. අපේ සන්ධානයේ ලේකම්වරයා තමයි ඒ ගැන පළමු පැමිණිල්ල කළේ. අපේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා, දුමින්ද දිසානායක ඇමැතිතුමා වගේ අය තමයි මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණය කරලා විරෝධය පළ කළේ. විශ්‍වාසභංග යෝජනාවට පක්ෂව අපි ඡන්දය දුන්නේ අපට තිබුණ ප්‍රශ්න ගැටලු ගොඩක් ඒ විශ්වාසභංගයේ තිබුණා. අපි පක්ෂව ඡන්දය දුන්නේ ඒ නිසා. 

 
• ප්‍රශ්නය - නමුත් දුවන කෝච්චියට බෙල්ල තිබ්බා වගේ වැඩක් වුණේ?   


පිළිතුර - නෑ. අපි විශ්වාසභංගය ජයග්‍රහණය කරවන්නත් ගොඩක් වැඩ කළා. ඒ වගේම ඒක ජයග්‍රහණය කරවන්නත් ඉඩ තිබුණා හොඳටම. නමුත් අවාසනාවකට අන්තිම මොහොතේ අපේ පක්ෂය ඇතුළේ බෙදීමක් ආවා. 

 
• ප්‍රශ්නය - ඒ බෙදීම ඇති කළේ‍ කවුද?   


පිළිතුර - ඒකට එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. නමුත් මම ඒකට කැමැති නෑ. අපේ පක්ෂය ඇතුළෙන්ම ඒක මතු වුණා.   


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නයත් ඒකම තමයි. කවුද ඒ බෙදීම ඇති කළේ‍?   


පිළිතුර - මෙහෙමයි, අපි දැක්කා කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක දිගටම යන්න බලාපොරොත්තුවෙන් හිටියා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න ආශාවෙන් ඉන්න කිහිප දෙනෙක් එතැන හිටියා. ඒ වගේම මේ වෙලාවේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න අකැමති වෙච්ච අයත් හිටියා.   


• ප්‍රශ්නය - කී දෙනෙක් විතරද?   


පිළිතුර - බොහොම පොඩි ගාණක්. හත් අට දෙනෙක් විතර. හැබැයි ඒ බෙදීමත් එක්ක දෙමළ සන්ධානයේ ඡන්දය නොදී ඉන්න හිටපු මන්ත්‍රීවරු අට දෙනා ඒ අදහස අත හැරියා. ඒ වගේම අනිකුත් පක්ෂවලින් අපිත් එක්ක එකතු​ වෙලා හිටපු පිරිස්වලට අපි උපදෙස් දුන්නා ‘වැඩේ අවුල් තමුන්ගේ පක්ෂයත් එක්ක එකට හිට ගන්න. අපිට මේ මොහොතේ මේක ජයග්‍රහණය කරන්න බැහැ’’ කියලා.   


• ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුණු තීන්දුවකට ගියේ ජනාධිපති මෛත්‍රීගේ වැනෙන සුලු දියාරු ප්‍රතිපත්තිය නිසා කියලයි?   


පිළිතුර - ඒ, ඒකාබද්ධ විපක්ෂයේ අදහසනේ. නමුත් ජනාධිපතිතුමා ස්ථිර තීන්දුවකට ආවා නම් මේ විශ්වාසභංගයට අපි සහාය දිය යුතුයි කියලා, ඇත්තටම එහෙම නම් අපිට ජයග්‍රහණය කරන්න තිබුණා. හැබැයි එතුමා හේතු ගණනාවක් උඩ එහෙම ස්ථිර නිගමනයකට ආවේ නෑ. එතුමා ස්වාධීන වුණා.  


• ප්‍රශ්නය - මොනවද ඒ හේතු?  


පිළිතුර - හේතු මට එකක් කියන්න පුළුවන්. පළමු හා ප්‍රධාන හේතුව තමයි පක්ෂය තුළ ඇති වෙච්ච ඒ බෙදීම. ඒ නිසා එයාට ඕනෑකම තිබුණා පක්ෂය පුළුවන් තරම් එකට තියා ගන්න.  


• ප්‍රශ්නය - මේ වෙලාවේ ඔබට හිතෙන්නේ නැද්ද ඇමැතිකම්වලින් ඉවත් වෙන්න ගත්ත තීරණය එක්කෝ ඉක්මන් වැඩියි. එහෙම නැත්නම් පරක්කු වැඩියි කියලා?  


පිළිතුර - නෑ. මේ තීන්දුව ඇත්තටම ගන්න හේතුව අපිවත් ඒකාබද්ධ විපක්ෂයවත් නොවෙයි. මේක මේ විශ්වාසභංගය පිළිබඳ අදහස ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්. රාජ්‍ය ඇමැතිවරු දෙන්නෙක් ප්‍රසිද්ධියේම කිව්වා අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න ඕනෑ කියලා. ඒ වගේම විශාල පිරිසක් ඇවිත් ජනාධිපතිතුමාට කිව්වා අගමැතිකම වෙනස් වෙන්න ඕනෑ කියලා. ඒ වගේම ඒ අය අපවත් හමු වුණා. අපිටත් කිව්වා.

විශ්වාසභංග යෝජනාව ඒ අනුව ඒ පැත්තෙන් ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් මතු වුණේ. නමුත් අපේ බෙදීමත් එක්ක අපට තේරුණා මේක ජයග්‍රහණය කරන්න බැහැ කියලා. නමුත් හෘදය සාක්ෂියට එකඟව අපි ඡන්දය දුන්නා. එහෙම ඡන්දය දුන්නට පස්සේ එතැන ඉන්න බෑ. ඒ නිසා සුදුසුම තීරණය සුදුසුම වෙලාවේ අපි ගත්තා.  


• ප්‍රශ්නය - සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර එහෙම තමයි මුලින්ම කිව්වේ ‘මේ අගමැතිවරයත් එක්ක යන්න’ බෑ කියලා.  


පිළිතුර - ඔව්. එතුමා තමයි මේ සාකච්ඡා පටන් ගත්තෙත් අනික් පක්ෂ එක්ක.  


• ප්‍රශ්නය - තීරණ වෙනස් වෙන්න මොනර කොළ බලපෑවා කියලා ලොකු කතාවක් ගියා.  


පිළිතුර - ඒවා බලපාන්න ඇති. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් හා අනිකුත් පක්ෂ පැත්තෙන්. හැබැයි මම විශ්වාස කරන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තට මොනර කොළ ගියා කියලා.  


• ප්‍රශ්නය - මෙමගින් මහින්ද රාජපක්ෂ ශක්තිමත් වෙයි කියලා හිතලද ඒ අය තීරණය වෙනස් කළේ.  


පිළිතුර - ඒ අයටත් හේතු ගොඩාක් තියෙන්න ඇති. කීප දෙනෙක් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයත් එක්කම යන්න ඕනෑ කියලා හිතන. ඉතින් ඒ අයට අපට දොස් කියන්න බෑ. තව කට්ටියක් ඉන්නව අපි එක්සත් ජාතික පක්ෂයත් එක්කම තව ටිකක් ඉස්සරහට යන්න ඕනෑ කියලා හිතන. තව සමහර අය ජනාධිපතිතුමා පැහැදිලි ස්ථාවරයක් නොගැනීම නිසා මේකට පක්ෂ නොවුණා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපේ පක්ෂයේ කිසි කෙනෙක් ඒ විශ්වාසභංගයට විරුද්ධ වුණේ නැහැ. අපි පැහැදිලිවම ගිහින් පක්ෂව ඡන්දය දුන්නා. අනිත් අය ඡන්දය නොදී පක්ෂ වුණා. ඒ නිසා අපේ පක්ෂයේ කිසි කෙනෙක් විශ්වාසභංගයට විරුද්ධව අගමැතිතුමාගේ පැත්ත ගත්තේ නෑ.  


• ප්‍රශ්නය - ඔබ ඇතුළු පිරිස පක්ෂව ඡන්දය දෙනවා කියලා ජනාධිපති මෛත්‍රීට කලින්ම කිව්වද?  


පිළිතුර - ඔව්! ඔව්!  


• ප්‍රශ්නය - ඔහුගේ ප්‍රතිචාරය?  


පිළිතුර - එතුමා ඒකට විරුද්ධත්වයක් දැක්වූයේ නෑ.  


• ප්‍රශ්නය - ඇමැතිකම් අතහරිනවා කියලත් කිව්වද?  


පිළිතුර - ඔව්! ඔව්! අපි ඡන්දය දීපු ගමන්ම ගිහින් ඉල්ලා අස්වීමේ ලියුම් ජනාධිපතිතුමාට දුන්නේ. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව තමයි අපි අයින් වුණේ.  


• ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙම බෙදුනාම ජනාධිපතිවරයා ආණ්‍ඩුව ඇතුළේ අසරණ වෙනවා කියලත් මතයක් තියෙනවා.  


පිළිතුර - මට...... මේ... මේ... මේ ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන. එතුමා කිසිම අසරණවීමක් වෙන්නේ නෑ කියලා තමයි මගේ මතය. එතුමා එකවරක්, දෙවරක් තුන්වරක් නොවෙයි මගේ තක්සේරුව අනුව එතුමා අටවාරයකට වඩා අගමැතිතුමාගේ මූණටම කිව්වා ‘‘අයින් වෙන්න’’ කියලා. අපි එතුමා මූලාසනයේ තියාගෙන අපේ පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා ඒකමතිකව තීන්දු කළා අගමැතිවරයා හමුවෙලා ඔහුට ‘‘ඉවත් වෙන්න’’ කියලා කියන්න. ඒ නිසා එතුමට ඔය ඔබ කියන විදියේ ගැටලුවක් ඇති වෙන්නේ නෑ.  


• ප්‍රශ්නය - අගමැතිවරයාගේ මූලිකත්වයෙන් තියෙන ආර්ථික කමිටුව අහෝසි කරන්න ජනාධිපතිවරයට කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කළා. නමුත් ඇමැති මංගල සමරවීර කිව්වා ආර්ථික කමිටුව අහෝසි වෙලා නෑ කියලා.  


පිළිතුර - දැන් එහෙම කියන්නේ නෑ මං හිතන්නේ.  


• ප්‍රශ්නය - විශ්‍වාසභංගයට දවස් දෙකකට විතර කලින් තමයි ඇමැති මංගල එහෙම කිව්වේ?  


පිළිතුර - නමුත් ඒක ඇත්ත නොවෙයි. මංගල ඇමැතුමා එහෙම කිව්වද නැද්ද කියලා මම දන්නේ නෑ. හැබැයි ජනාධිපතිතුමා සංශෝධන කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. ඒකට එක කාරණයක් විතරක් ඇතුළු කරලා ආපසු කැබිනට් පත්‍රිකාව දැම්මා ආර්ථික කමිටුව අහෝසි කරලා. රටේ ආර්ථිකය හැසිරවීමේ පාලනය ජනාධිපතිතුමාගේ අතට ගත්තා. ඒකෙදි මොකක් හරි තවදුරටත් තොරතුරු සෙවීමේ කැබිනට් උප කමිටුවක් පත් කර ගැනීමේ අවශ්‍යතාව මත. ඒක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරනවා කියලා සංශෝධනයක් ගෙනත් අරක අහෝසි කරලා දැම්මා.  


• ප්‍රශ්නය - පහුගිය මහ මැතිවරණයේදී ඔබ පරාදයි. නමුත් ජනාධිපති මෛත්‍රී ජාතික ලැයිස්තුවෙන් ඔබව පාර්ලිමේන්තුවට ගත්තා. ප්‍රබල කැබිනට් ඇමැතිකමකුත් ඔබට දුන්නා. ඔබගත් මේ තීරණය නිසා එහෙම කරපු ජනාධිපති මෛත්‍රීට පිටිපස්සෙන් ගිහින් පිහියෙන් ඇන්නා කියලා කවුරු හරි කිව්වොත්?  


පිළිතුර - නෑ. නෑ. එතුමගේ සම්පූර්ණ ආශිර්වාදය ඇතිව තමයි මම එළියට බැස්සේ. එතුමාට වරක් නොවෙයි අවස්ථා ගණනාවක්ම මම කිව්වා ‘‘මම කැමැතියි මේ මන්ත්‍රීකම ඔබතුමාට දෙන්න’’ කියලා.  


• ප්‍රශ්නය - ජනාධිපතිවරයා මොකද කිව්වේ?  


පිළිතුර - ‘‘නෑ නෑ උඹට පිස්සුද’’ කියලා ඇහුවා.  


• ප්‍රශ්නය - අැයි ඔබ මන්ත්‍රීකමෙනුත් යන්න හිතුවේ.  


පිළිතුර - ඒකටත් හේතුවක් තියෙනවා. එකක් එතුමා අපි ගත්ත මේ තීරණ අනුමත කිරීම. ඊටත් වඩා එතුමා පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා. ඊටත් වඩා එතුමා දන්නවා අපි දිස්ත්‍රික්කවල අංක එකට ආපු මන්ත්‍රීවරු. අපිට මොකද වුණේ කියලා එතුමා දන්නවා. කොහොම වුණත් මම කිහිපවතාවක් මන්ත්‍රීකමෙන් යන්න ඇහුවා.  


• ප්‍රශ්නය - ඔබ කියනවා පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා කියලා. ඔය දුන්නා කියන ප්‍රජාතන්ත්‍රවාදයෙන් පක්ෂයට ලැබුණු ජයග්‍රහණ මොනවත් තියෙනවද?  


පිළිතුර - ලබාගත්ත ජයග්‍රහණ ගොඩාක් තියෙනවා. පක්ෂය තුළ හැම ප්‍රශ්නයක් ගැනම හොඳ සංවාදයක් වෙනවා. ඒ වගේම පක්ෂය අපි ශක්තිමත් කරගන්න පහුගිය මහ මැතිවරණය අවසන් වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් තිබුණේ නෑ. පක්ෂය බෝඩ් ලෑල්ලකට සීමා වෙලා තිබ්බේ. හැබැයි ඒ පක්ෂය ශක්තිමත් පක්ෂයක් බවට පත් කර ගත්තා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. එතුමා මේ පක්ෂය බලෙන් ගත්තේ නෑ. මේ පක්ෂය බොහොම කැමැත්තෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි බාර දුන්නේ. අපි පක්ෂය දාලා ගියේ නෑ. අපි මෛත්‍රීට උදව් කළෙත් නෑ. අපි උදව් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. අපි දිගටම පක්ෂයේ හිටියා. මේ පක්ෂය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බාර දුන්නට පස්සෙත් අපි පක්ෂයත් එක්ක හිට ගත්තා.  


• ප්‍රශ්නය - ඔබ කිව්වා ජනාධිපතිවරයා අගමැති රනිල්ට කිව්වා කියලා හත් අට වතාවක්ම අයින් වෙන්න කියලා. නමුත් ඔහු අයින් වුණේ නෑ. ඒ කියන්නේ අගමැති රනිල් ජනාධිපති මෛත්‍රීට අවනත නෑ?  


පිළිතුර - අගමැතිතුමා පාර්ලිමේන්තුවේ 122ක කැමැත්තක් පෙන්වලා තියෙනවා. එතකොට එතුමට මේ රට කරගෙන යන්න දෙන්න ඕනෑ කියන එක තමයි අපේ මතය. ඒක ඉවසීමෙන් ජනාධිපතිතුමා ඉඳියි. ජනාධිපතිකමට ඒක ගැටලුවක් නෑ.  


• ප්‍රශ්නය - ඔබලා ඇවිත් වාඩිවෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේද? විපක්ෂයේද?  


පිළිතුර - ඒකාබද්ධ විපක්ෂය කියලා කියන්නේ තාවකාලිකව හදා ගත්ත එකක්නේ. අපි ඉඳගන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපි විපක්ෂයේ සියලු පක්ෂ එක්ක, වමේ පක්ෂ එක්ක සියලු දෙනා එක්ක ඒකාබද්ධව දැවැන්ත පෙරමුණක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි දන්නවා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයට දීපු පොරොන්දු එකක්වත් ඉෂ්ට කරන්නේ නෑ. රටට දීපු පොරොන්දු එකක්වත් ඉෂ්ට කරන්නෙත් නෑ. එතුමා එතුමාගේ පාරේ යනවා. එතුමට වෙනස් වෙන්න බෑ.  


• ප්‍රශ්නය - අද ඒකාබද්ධ විපක්ෂය ගණන් හදන්නේ ඔබ ඇතුළු 16 දෙනාත් සමගයි. ඔබලා ඒ කණ්ඩායමට යනවද? එළියෙන් ඉන්නවද.  


පිළිතුර - අපි විපක්ෂයට ගියාම ඒ ගණන ඇතුළට එකතු වෙනවනේ නිකම්ම. අපි ගියාට යන්නේ විපක්ෂයටනේ. එතකොට විපක්ෂය ශක්තිමත් වෙනවනේ. හැබැයි අපි විපක්ෂයට යන්නෙත් අපේ පක්ෂය හා සන්ධානය අරගෙනයි.  


• ප්‍රශ්නය - විශ්වාසභංගයෙන් පස්සේ ඔබ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කළාද?  


පිළිතුර - විශ්‍වාසභංගයට කලින් කිහිප වතාවක් අපි කතා කළා. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකර කල් දාගන්න මට අවශ්‍ය වෙලා තිබුණා.  


• ප්‍රශ්නය - කල් දාන්න? ඒ මොකටද?  


පිළිතුර - මොකද මම දන්නවා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙන පොරොන්දු එකක්වත් ඉෂ්ට කරන්නේ නෑ. ඒ නිසා ටිකක් කල් දාගන්නත් මම එතුමාත් එක්ක කතා කළා.  


• ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂගේ ස්ථාවරය වුණේ?  


පිළිතුර - එතුමාගේ කණ්ඩායමත් එක්ක කතා කළාම ඒ කණ්ඩායම කල් දාන්න එකඟ වුණේ නෑ. නමුත් අපි පක්ෂව ඡන්දය දුන්නා. විශ්‍වාසභංගයෙන් පසුවත් මම එතුමට කතා කළා.  


• ප්‍රශ්නය - ඔබලා විපක්ෂයට ආවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ?  


පිළිතුර - අපි ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් තමයි අපි විපක්ෂයේ ගිහින් ඉඳගන්නේ.  


• ප්‍රශ්නය - මහා දේශපාලන අච්චාරුවක් තමයි හැදිලා තියෙන්නේ කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර - ඔව්! සංකීර්ණයි. ඒක.... ඒක හොඳ තත්ත්වයක්. මොකද රටේ ආණ්ඩුව අවුලක තියෙන්නේ. ඒ අවුල මේ නිසා යම් මට්ටමකට ලෙහෙයි. මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක කරගෙන යන්න ඉඩ දෙන්න ඕනෑ.  


• ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ ඔබේ කණ්ඩායමට ප්‍රකාශ කළා කියලා මාධ්‍ය වාර්තා කළා ‘‘ඔයගොල්ලෝ’’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලා ගන්න. අපි ​‘පොහොට්ටුව බලා ගන්නම්’’ කියලා.  


පිළිතුර - මම දන්නේ නෑ එතුමා එහෙම කිව්වද නැද්ද කියලා. මාත් එක්ක නම් එහෙම කිව්වේ නෑ. එහෙම තමයි හොඳ. නමුත් අපට පුළුවන් පෙරමුණක් හැටියට අපි සියලු දෙනාටම යම් තැනකදී එකතු වෙන්න.  


• ප්‍රශ්නය - ඔබ හිතනවද පහුගිය පළාත් පාලන ප්‍රතිඵලයත් එක්ක බැලුවම මහින්ද රාජපක්ෂ නැතුව ශ්‍රී ලංකා එකට ඔළුව උස්සන්න පුළුවන් කියලා.  


පිළිතුර - පහුගිය පළාත් පාලන මැතිවරණය ගත්තොත් මහින්ද රාජපක්ෂ කියන සාධකය හරි ශක්තිමත්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය සැරේ අපේ අය ඡන්දය නොදුන්නේ පාක්ෂිකයෝ හිතනවා අපි යූඑන්පී වෙලා කියලා. ඒකයි වෙලා තියෙන වැඩේ. ඇත්තටම අපි යූඑන්පී වුණේ නෑ. අපි ශ්‍රී ලංකා එකේ දිගටම හිටියා. අපි යූඑන්පී එකත් එක්ක ඉන්න තාක් කල් අපි යූඑන්පී කියලා මිනිස්සු හිතනවා? ආණ්ඩු විරෝධයක් රටේ තියෙනවා. මහින්ද සාධකයත් එයට එකතු වුණා. ඒ නිසා තමයි පොහොට්ටුව ජයග්‍රහණය කළේ‍.  


• ප්‍රශ්නය - ඔහොම ප්‍රතිඵලයක් එයි කියලා ඡන්දයට කලින් ඔබ හිතුවද?  


පිළිතුර - ඔව්, අපි සමීක්ෂණයකුත් කළා. ඒ සමීක්ෂණයට අනුව සියයට 32ක් පොහොට්ටුවට. සියයට 24ක් එක්සත් ජාතික පක්ෂයට. අපිට සියයට 9යි. ඒ ප්‍රතිඵලය තමයි ඇත්තටම ඔය තියෙන්නේ.  


• ප්‍රශ්නය - ඒ ප්‍රතිඵලය දිහා බලලා මෛත්‍රී එක්ක හිටියොත් දේශපාලන අනාගතය ඉවරයි කියලා හිතාගෙන ද ආණ්‍ඩුවෙන් අයින් වෙන්න තීරණය කළේ.  


පිළිතුර - නෑ. නෑ. මෛත්‍රීත් එක්ක තමයි අපි මේ විපක්ෂයට යන්නේ. අපි මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ ආණ්‍ඩුවෙන් ඉවත් වෙන්න කියලා. ඒ යෝජනාව ඊළඟ දවසේ අපි සම්මත කර ගන්නවා.  


• ප්‍රශ්නය - ඔබ හිතනවද එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම ආණ්‍ඩුවෙන් ඉවත් වෙනවා කියලා?  


පිළිතුර - ඔව්.  


• ප්‍රශ්නය - ඔබ ඇතුළු 16 දෙනා විතරක් නොවෙයි.  


පිළිතුර - නෑ. නෑ. හතරපස් දෙනෙක් ඉතිරි වෙයි. අනිත් අය ඉවත් වෙයි. පක්ෂය තීන්දුවක් ගත්තාම තමන් ඒකට අකැමැති වෙන්න පුළුවන්. එහෙම අකැමැති වුණත් පක්ෂයත් එක්ක ඉන්නවා නම් පක්ෂයේ තීරණයත් එක්ක ඉන්න ඕනෑනේ. අපට එහෙම අත්දැකීම් තියෙනවනේ. අපි තර්ක කරනවා ‘දකුණ’ කියලා. හැබැයි පක්ෂය තීන්දු කරනවා ‘වම’ කියලා. එතකොට අපි වමට යා යුතුයි. ඒක තමයි පක්ෂ විනය. ඒ නිසා පක්ෂයත් එක්ක ඉන්න පක්ෂ විනය තියෙන සියලු දෙනා පක්ෂය ගන්නා තීරණයත් එක්ක ඉඳීවි.  


• ප්‍රශ්නය - එස්.බී. දිසානායක කියන්නේ අඳුරු ශාපලත් ‘89 වසරේදී පාර්ලිමේන්තුවට පැමිණ මෙරට දේශපාලනයේ තීරකයෙක් වූ චරිතයක්. ඔබ දන්න දේශපාලන ඉතිහාසයට අනුව අඳුරුම දේශපාලන යුගය කුමක්ද?  


පිළිතුර - චන්ද්‍රිකා මැතිනියගෙන් ඉවත් වෙන්නත් ප්‍රධාන හේතුවක් වුණෙත් ලෝකයේ කිසිම අර්බුදයක් නැති වෙලාවකදීත් ලංකාවේ ආර්ථිකය ඍණ වුණා. එය ලංකාවේ පළමු හා අවසන් ඍණවීම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඒකට හේතුව දැක්කා. මම ඒක පක්ෂයටත් කිව්වා. නමුත් පක්ෂය ඒකට එකඟ නොවුන නිසා මම එළියට බැස්සා.  


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ රටේ දේශපාලන පරිසරයත් එක්ක......?  


පිළිතුර - අඳුරුම යුගය නම් මම හිරේ හිටපු යුගය. හැබැයි හිරේදීත් මම පොත් 10ක් ලිව්වා. ඒ ගැන මම සතුටු වෙනවා. එහෙම ඉතින් අඳුරු යුග කියලා එකක් නෑ. මේ කාලය තුළ අපි බලාපොරොත්තු වෙච්ච ආර්ථික සංවර්ධනයවත් සමාජ සංවර්ධනයවත්, යහපාලනයවත් අපට එහෙම ඉස්සරහට ගෙනියන්න පුළුවන් වුණේ නෑ. ඒක මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ කිව්වා. වෙන්න ගිය මහා විනාශයක් එතුමා නතර කළා. හැබැයි ඒත් මොනවා කළත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා මහ බැංකුවත් තමන් ළඟට අරගෙන සැලසුම් සහ ක්‍රම සම්පාදන අමාත්‍යංශයත් එතුමා ළඟට අරගෙන ආර්ථික සංවර්ධන අමාත්‍යංශයත් එතුමා ළඟට අරගෙන ‘‘සීසීඑම්’’ එක හරහා මුදල් අමාත්‍යංශයත් තමන් ළඟට අරගෙන එතුමා මේ ආර්ථිකය මෙහෙයවපු ආකාරය අනුව එතුමා අසමත්. ඒ නිසා තමයි අපි විශ්වාසභංගයට එකතු වුණෙත්. නමුත් මහ බැංකුවේ සිදුවීමටත් රටේ ආර්ථිකයේ කඩාවැටීමටත් එතුමා වග කියන්න ඕනෑ.  


• ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ යුගයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වරදක් කළත් ඒකට මහින්ද රාජපක්ෂ වග කිව යුතුයි කියලා කිව්වා. නමුත් ඔබත් දැන් දඬුකඳේ ගහන්නේ අගමැති රනිල්ව. ඒත් රටේ ජනාධිපති මෛත්‍රී?  


පිළිතුර - අපේ පක්ෂයේ සභාපතිකම අරගෙන එතුමා අපේ පක්ෂය එක පැත්තකින් ගොඩනඟනවා. රටේ ජනාධිපති හැටියට මේවා නිවැරදි කරන්න එතුමා ලොකු උත්සාහයක් දැරුවා. ඒකට ලොකු සටනක් අරගෙන ගියා.  


• ප්‍රශ්නය - නමුත් අසාර්ථකයි.  


පිළිතුර - ඔව්. ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි එතුමා පළාත් පාලන මැතිවරණයේදී කිව්වේ මට මේවා කරගන්න බැරි වුණා කියලා.  


• ප්‍රශ්නය - ඒක ජනපති මෛත්‍රීගේ අසමත්කම?  


පිළිතුර - මම හිතන්නේ නෑ ඒක අසමත්කමක් කියලා. ඔහු ඔහු... ඔහු මේ බොහොම නිහතමානී... මේ මේ මේ නිහතමානී නායකයෙක්. ඔහු නිදහස දුන්නා. අගමැතිතුමාට අගමැති හැටියට වැඩ කරගෙන යන්න ඉඩ දුන්නා. හැබැයි රටට හානිකර ජනතාවට හානිකර දේවල් පුළුවන් තරම් වැළැක්වූවා. හැබැයි වළක්වද්දී වළක්වද්දී සීසීඑම් එක වගේ දේවල් පාවිච්චි කරලා එතුමාටත් නොදැනී අපේ සේරමගේ ඇස්වහලත් අගමැතිතුමා වැඩ කරලා තියෙනවා.  


• ප්‍රශ්නය - ඔබ හිතන විදියට ආණ්‍ඩුවේ අනාගතය කුමක් වෙයිද?  


පිළිතුර - මගේ විශ්වාසය අගමැතිතුමත් එක්ක 2001-2004 ආණ්ඩුවේ මමත් ඇමැතිවරයෙක් හැටියට හිටියනේ. එදයි අදයි වෙනසක් නෑ. මම ඒකෙන් තේරුම් ගන්නේ එතුමාගේ වැඩපිළිවෙළ වෙනස් වෙන්නේ නෑ. ඒ විදියටමයි යන්නේ. ඉදිරි කාලයේදීත් එතුමා වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා රට තවත් ප්‍රපාතයට ඇදගෙන වැටෙනවා. රටේ ආර්ථිකයත් තවත් ප්‍රපාතයට ඇදගෙන වැටෙනවා.  


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය එහෙම පරිසරයක් තුළ ඔබලා මොකද කරන්නේ? ඒකාබද්ධ විපක්ෂය නම් කියනවා කොහොම හරි ආණ්‍ඩුව ගෙදර යවනවා කියලා.  


පිළිතුර - අපිත් විපක්ෂයට ගියාම.... ඒ ගිය පළමු දවසේ ඉඳලම වැඩ කරන්නේ බලයේ ඉන්න ආණ්ඩුව ඉවත් කරලා අපි බලයට එන්නනේ. ඒක දේශපාලන පක්ෂයක දේශපාලනඥයන්ගේ හැටි. ඒක තමයි දේශපාලනය. හැබැයි අපි හැම දෙයක්ම කරන්නේ ජනාධිපතිතුමාගෙන් අහලා. ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන්. ජනාධිපතිතුමාත් එක්කමයි. එතුමා නැති ගමනක් අපට නෑ.

 

 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්