අපි පොට්ටයො වගේ බිහිරොවගේ ඉන්නේ මේ රට ගොඩදාන්නයි


ශ්‍රී ලංකා - එජාප ජාතික ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් විවිධ මතවාද පළවෙමින් තිබේ. ඒ විවිධ අර්බුද පුපුරා යමින් තිබෙන හෙයිනි. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- ගෝල්ෆේස් සෙනග දැකලා ආණ්ඩුව බයවෙලා.
පිළිතුර:-
නෑ. සෙනග දැකලා ආණ්ඩුව නම් බය වුණේ නෑ. ඔය සෙනග අපි 2015 දී ජනාධිපතිවරණයේදීත් දැක්කා. ඒක නිසා ඒක මහ ලොකු දෙයක් නොවෙයි. ඒතරම් සෙනගක් පෙන්නලත් 2015 දී දිනන්න බැරි වුණා.


ප්‍රශ්නය:- 2015 ත් එක්ක අද සන්සන්දනය කරන්න බෑ නේද? අද මහින්ද රාජපක්ෂට රාජ්‍ය බලයක් නෑ.
පිළිතුර:-
කොහොමත් ඉතින් මැයි දිනයක් කිව්වම ඔක්කොම පක්ෂ බලන්නේ තමන්ගේ සම්පූර්ණ ශක්තිය යොදවන්න නේ. එතකොට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ගත්තත් මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තත් ලක්ෂ 58 ක් ඡන්දය දුන්නනේ. ඉතින් ඒ ප්‍රමාණයත් එක්ක ගත්තම කිසියම් සැලකියයුතු ප්‍රමාණයක් මේ පාර ඇවිත් තියෙනවා. නමුත් ඒ සෙනග ආණ්ඩුවට අභියෝගයක් නෙවෙයි.


ප්‍රශ්නය:- ආණ්ඩුවට අභියෝගයක් නැත්නම් ආණ්ඩුව බයවෙලා නැත්නම් ඇයි මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අයින් කරන්නේ?
පිළිතුර:-
මම නම් හිතන්නේ ඒ ආරක්ෂාව අඩු කිරීමේදී විශේෂයෙන්ම පොලිසිය බාර ඇමැතිතුමා ප්‍රකාශයක් කළා. ඒක යම් කමිටුවක් මගින් දවස ගානේ තක්සේරු කරලා ගත්ත තීරණයක් කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාට දැනට මම දන්න විදියට නිල වශයෙන් එකසිය පනහකට අධික සංඛ්‍යාවක් ආරක්ෂකයන් හැටියට ඉන්නවා. ඒ තරම් සංඛ්‍යාවක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයත් එතුමාට 

ප්‍රශ්නය:- මෙතැන තියෙන ප්‍රශ්නය ඉන්න සංඛ්‍යාවෙන් අඩු කිරීමයි?
පිළිතුර:-
ඉන්න අයගෙන් ගන්න එක කාලයක් යනකොට ආරක්ෂක අංශ සාකච්ඡා කරලා තීන්දු ගන්නවා තියෙන තත්ත්වය ගැන සලකලා බලලා. මෙතැනදී තීරණ අරගෙන තියෙන්නෙත් එහෙමයි. එහෙම නැතිව එයාගේ ආරක්ෂාව අඩු කරන්න කියලා රජය බලපෑම් කරලා නෑ.


ප්‍රශ්නය:- හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියලා තිබුණා. මට දෙන ආරක්ෂාවම මහින්දට දුන්නම ඇති කියලා?
පිළිතුර:-
මම නම් හිතන්නේ මහින්ද මහත්තයාට ඊට වඩා ආරක්ෂාවක් දෙන්න ඕන කියලා. මොකද එතුමා තවම දේශපාලන ජීවිතේ රැඳිලා ඉන්නවනේ. චන්ද්‍රිකා මැතිනිය දේශපාලනයෙන් අයින් වෙලා ඉන්න කෙනෙක්. එයා විශ්‍රාම ගිය කෙනෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයා තවම දේශපාලන පිටියේ ඉන්න නිසා ඊට වඩා ආරක්ෂාවක් දෙන එක ගැන නම් ගැටලුවක් නැහැ.


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා එකේ ඇමැතිවරු කියනවා. රාජිත සේනාරත්න සම කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරන්න කියලා?
පිළිතුර:-
ඒක පිළිගන්න බෑ. ප්‍රධානම දේ තමයි 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි එක්සත් ජාතික පෙරමුණයි මූලික වෙලා තමයි මේ ආණ්ඩුව හදාගත්තේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය ඉන්න ඇමැතිවරු හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟයි. ඒ පැරදිච්ච කඳවුරේ ඉඳලා තමයි ඒගොල්ලො ජනාධිපතිතුමා එක්ක එකතු වුණේ. එතකොට ඒ අය අද මේ තියෙන ජනවරමට අනුව මෛත්‍රීපාල ජනාධිපතිතුමාටයි එක්සත් ජාතික පෙරමුණටයි ලැබුණ ජන වරමට අනුවයි යන්න ඕනැ. ඒ හින්දා ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒවා කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරගත යුතුයි. නමුත් ඒගොල්ලෝ කියන විදියට අරයව මාරු කරන්න මෙයාව මාරු කරන්න කියන එක වැරදියි. ඒක අපිට පිළිගන්න බෑ. මොකද ඒගොල්ලෝ මූලිකවම සිද්ධ වෙලා තියෙන්නේ අපි හදපු ආණ්ඩුවට ඒගොල්ලෝ එකතු වුණා.


ප්‍රශ්නය:- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කරගන්න පුළුවන් වුණේ “අපි හින්දා” කියලයි ශ්‍රී ලංකා එකේ ඇමැතිවරුන් කියන්නේ?
පිළිතුර:-
ඔව්. ඒ හින්දනේ ඒගොල්ලන්ට ඇමැතිකම් ලැබිලා තියෙන්නේ. ඒ අය මුකුත් ගන්නේ නැතිව නොවෙයිනේ ඒවට උදව් කරන්නේ. ඒගොල්ලොත් උපරිම වරප්‍රසාද තාන්න මාන්න අරගෙන තමයි මේවට සහයෝගය දෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට කියන්න බෑ. “අපි ආණ්ඩුවට උදව් කරනවා.” කියලා. උදව් කරන එකට තමයි ඒ ගොල්ලන්ට අනික් පැත්තෙන් අවශ්‍ය දේවල් ලැබිලා තියෙන්නේ.


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ශ්‍රී ලංකා එකේ මැති ඇමැතිවරුන් ජාතික ආණ්ඩුවට ආවේ ඇමැතිකම් වෙනුවෙන්ම කියලද?
පිළිතුර:-
ඔව්. එහෙමනේ. නැතිව ඉතින්.. එහෙම නම් ඒවා ගන්නේ නැතිව උදව් කරන්න තිබුණා නේ. එහෙම එකක් නෑනේ. ඕකේ දෙපැත්තක් තියෙනවා. ඒගොල්ලෝ ආණ්ඩුවට උදව් කරනවා. ඒ උදව් කරන හින්දම ඒ අයටත් ඇමැතිකම් ආණ්ඩුව ලබාදීලා තියෙනවා. ඔය දෙක මැද තමයි මේක යන්නේ. ඒ ගොල්ලො ආණ්ඩුවට උදව් කරනවා. ඒ අයටත් තමන්ගේ දේශපාලන බලය රැකගන්න, ඒක ශක්තිමත් කරගන්න පරාද වෙච්ච කඳවුරෙන් ආවත් ඒ අයට ආණ්ඩුව ඇමැතිකම් දීලා තියෙනවා.


ප්‍රශ්නය:- සමහරු ඡන්දෙනුත් පරාද වෙච්ච අය?
පිළිතුර:-
ඔව්. සමහරු මන්ත්‍රීකමත් පරාද වෙලා. ඉතින් එහෙම ආවත් අපි ඇමැතිකම් ලබා දීලා තියෙනවා. අපි මේක හදන්න උදව් කරපු මිනිස්සු. අපි මේකෙ මූලික වෙලා කටයුතු කරපු අය. අපේ ඉන්නවා විශාල මන්ත්‍රීවරු පිරිසක් නියෝජ්‍ය ඇමැතිකමක් වත් නැතිව.


ප්‍රශ්නය:- ඔබටත් හරි හමන් සැලකිල්ලක් නෑ?
පිළිතුර:-
මෙහෙමයි වේදනාවක් තියෙනවා. වේදනාවක් කියල කියන්නේ දැනට තියෙන ජාතික ආණ්ඩු ප්‍රතිපත්තිය මත අපි ඒ වේදනාවත් යටපත් කරගෙන ඉන්නේ. මොකද මේ රටට යම් වැඩදායි වාතාවරණය උඩ පක්ෂ දෙකේ එකමුතුවක් අවශ්‍යයි කියන එක අපේ නායකතුමාගේ අදහස උඩ අපි ඒ වේදනා යටපත් කරගෙන ඉන්නේ. නැතිව අපිටත් වේදනා නැතිවා නොවෙයි.


ප්‍රශ්නය:- ආණ්ඩුවේ විතරක් නොවෙයි ඔබේ පක්ෂයේත් එහෙම නේ. පක්ෂයට මේ ළඟදි ආව සරත් ෆොන්සේකාට පක්ෂයේ ලොකු තනතුරක් දෙන්න යනවා කියලා ආරංචියි?
පිළිතුර:-
ඔව්. එහෙම කතාවල් ගියා. මමත් දැක්කා ඒක මාධ්‍යයෙන්. නමුත් තාම එහෙම තීන්දුවක් අරගෙන නෑ.


ප්‍රශ්නය:- තීන්දුවක් අරගත්තොත්?
පිළිතුර:-
මම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නෑ. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. කොහොම වුණත් අපේ දැන ගැනීම අනුව නම් නිල වශයෙන් අපට දැනුම් දීමක් කරලා නෑ.


ප්‍රශ්නය:- මම අහන්නේ ඒකයි දුන්නොත්?
පිළිතුර:-
පක්ෂයෙ ඉහළ නායකත්වය එහෙම තීන්දුවක් ගත්තොත් ඒ ගැන අපට ප්‍රශ්නයක් නෑ.


ප්‍රශ්නය:- සරත් ෆොන්සේකාට එහෙම තනතුරක් දුන්නොත් ඇමැති විජයදාස රාජපක්ෂ තද තීන්දුවක් ගන්නවා කියලා මාධ්‍ය වාර්තා පළවුණා.
පිළිතුර:-
ඒක තමයි මම කිව්වේ විවිධ මාධ්‍ය වාර්තා පළවුණා. නමුත් නිල වශයෙන් එහෙම තීන්දුවක් අරගෙන නෑ.


ප්‍රශ්නය:- ඇමැති රාජිත හා ඇමැති ජෝන් සෙනෙවිරත්න ගැටුම ආණ්ඩුවට මාරාන්තිකයි වගේ?
පිළිතුර:-
මෙහෙමයි. මම කියන්නේ පොදුවේ කැබිනට් එකේ සාමුහික වගකීම ඔය සියලු දෙනාම දරන්න ඕනැ. මොන අර්බුද තිබුණත් ඒවා කැබිනට් මණ්ඩලයට සීමා කළ යුතුයි. එයින් එළියට ඇවිල්ලා යම් යම් ප්‍රකාශ කරන්න ගියාම තමයි ඒ විධියට පිළිතුරු දෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ආණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමැතිවරුන් ගත්තම ඒ සියලු දෙනාම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝයි. ඒ දේශපාලනඥයෝ ඒ අයගේ වගකීම් මොකක්ද කියලා ඒ අය දැනගන්න ඕනෑ. මම හිතන්නේ රාජිත සේනාරත්න ඇමැතිතුමත් ඒ උත්තරය දුන්නේ ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා රාජිත ඇමැතිතුමාට එරෙහිව ප්‍රකාශයක් කරපු නිසයි.


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඇමැති ජෝන් සෙනෙවිරත්නද වැරදි?
පිළිතුර:-
ඔව්. එතුමා කිව්වනේ රාජිත සේනාරත්න ඇමැතිතුමා කිව්වේ අසත්‍යයක් කියල. එහෙම අසත්‍යයි කියලා කියපු දේට තමයි රාජිත ඇමැතිතුමා එහෙම ප්‍රකාශයක් කළේ. ඒකයි මම කියන්නේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කැඩෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිප්‍රහාරය එල්ල වෙනවා. මේක බොහොම අමාරු ගමනක්. හවුල් ආණ්ඩුවක්, පක්ෂ දෙකේ ප්‍රතිපත්ති වෙනස්. වෙනම ගමන් මගක ගිය පක්ෂ දෙකක්. අද එකට වැඩ කරනවා කියන එක ලේසි පහසු වැඩක් නොවෙයි. ඇත්තටම මේ අමාරු දෙයට අපිත් මේ එකඟ වෙලා ඉන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන්.


ප්‍රශ්නය:- ඒ කියන්නේ සතුටෙන් නොවෙයි?
පිළිතුර:-
ඔව්. අපිත් ඉන්නේ නිශ්ශබ්දව. හුඟාක් දේවල් අපිත් දකිනවා. ඒත් අපි පොට්ටයෝ වගේ ඉන්නවා. හුඟාක් දේවල් අපිටත් ඇහෙනවා. අපිත් බිහිරෝ වගේ ඉන්නවා. ඒ ඉන්නේ මේ රට ගොඩදාන්න මේ ක්‍රමයෙන් පුළුවන් වෙයි කියලා හිතලයි.


ප්‍රශ්නය:- සැප්තැම්බර් වෙන කොට ශ්‍රී ලංකා-යූඑන්පී ගිවිසුම අවසන් වෙනවා. ඔබ හිතන විදියට මොකක් වෙයිද?
පිළිතුර:-
මං හිතන්නේ තව අවුරුදු දෙකකට දික් කරයි.


ප්‍රශ්නය:- නමුත් තියෙන අර්බුද දිහා බැලුවම තව ඉදිරියට යන්න පුළුවන්ද?
පිළිතුර:-
මෙතැන ප්‍රධාන වෙන්නේ ජනාධිපතිතුමයි-අගමැතිතුමයි අතර තියෙන එකඟත්වය. එතුමන්ලා තමයි මේ ආණ්ඩුවේ ප්‍රධානම කොටස් දෙක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙය වන්නේ ජනාධිපතිතුමා. එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන්නේ අගමැතිතුමා. ඒ දෙපළ විරසක වෙන්නේ නැත්නම් මේක 2020 වෙනකම් යයි කියලයි මම නම් හිතන්නේ. එහෙම නැතිව. ඔබ කියන විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරු නිසා මේකේ යම් පුපුරා යාමක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මම හිතන්නේ 2020 වෙනකම් මේ ආණ්ඩුව යයි කියලයි.


ප්‍රශ්නය:- ඔබත් ශ්‍රී ලංකා මැති ඇමැතිවරුන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කළ කෙනෙක්. නමුත් දැන් නිහඬයි. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
පිළිතුර:-
මම ඒ ප්‍රහාරය එල්ල කළේ විශේෂයෙන්ම සමහර ඇමැතිවරු එක්සත් ජාතික පක්ෂයට ඉතාම දරුණු විදියට ප්‍රහාර එල්ල කළ නිසයි. ජනාධිපතිතුමත් එක්ක තිබුණ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කළා. එහෙම කරන්න එපා. මේවා දිගින් දිගටම ගෙනියන්න එපා. මේ තත්ත්වය සමගියට බාධාවක් වෙනවා. තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා බේරගමු කියලා. ඉතින් අපි ඒ විදියට කටයුතු කරනවා.
 
සාකච්ඡා කළේ-- 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්