අපි ජනතාවට බර පටවන්නේ නෑ


ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතාට එරෙහිව විවිධ පාර්ශ්ව වෙතින් විවිධ චෝදනා එල්ල විය. යහපාලනයට තරම් නොවන ඒ චෝදනා සම්බන්ධයෙන් මෙන්ම අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවකි.

 

 ප්‍රශ්නය:- අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වේ ‘ගමේ ආර්ථිකය හදන්න ගමේ තරුණයෙකුට දුන්නා’ කියලයි. නමුත් ඒ බලාපොරොත්තු බිඳ වැටිලා?  
පිළිතුර:-
ඔබ එහෙම කියන්නේ කවර පදනමකින්දැයි කිව්වොත්?  

 


 ප්‍රශ්නය:- ඒ පදනම ඉදිරි ප්‍රශ්නවලදී තේරුම් ගන්න පුළුවන්. මගේ ප්‍රශ්නයට ඔබේ උත්තරය?  
පිළිතුර:-
ඔබේ ප්‍රශ්නයට මගේ උත්තරය ඔබ වැරදියි කියන එකයි.  


 ප්‍රශ්නය:- ඔබ එහෙම කියන්නේ?  
පිළිතුර:-
අඩු ආදායම්ලාභී දිස්ත්‍රික්ක 10 ක් තෝරාගෙන ඒවායේ ආර්ථිකය නංවන වේගවත් වැඩ පිළිවෙළක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක අපේ අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක්. අනුරාධපුර, පොළොන්නරුව, මඩකළපුව, මොනරාගල ඒ වගේම ගාල්ල, රත්නපුරය මේ වගේ දිස්ත්‍රික්ක ගණනාවක මේ විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ලංකාවේ අනෙක් දිස්ත්‍රික්කවලත් අපේ අමාත්‍යාංශයට අයත්ව තිබෙන සත්ව පාලනය, ඒ වගේම කිතුල් ගම්මාන දියුණු කිරීම, මේ කාරණයන් අපි දිගටම කරගෙන යනවා. ඒ වගේම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ටික ගම්බද ගොවීන්ගේ එළවළු, පලතුරු ගන්න තැන් සංවර්ධනය කරලා ගොවීන්ට හොඳ මිලක් දීලා ඔවුන්​ෙග් ආර්ථිකය නංවන්න අපි කටයුතු කරලා තියෙන්නේ. අලුතෙන් තව විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ගණනාවක් ආරම්භ කරනවා. අම්පාරේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් විවෘත කරන තත්ත්වයක තියෙන්නේ. කිලිනොච්චියේ අපි හදලා තියෙනවා විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක්. ඒක ලබන මාසේ විවෘත කරන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ. වව්නියාවේ අලුතෙන්ම ආර්ථික මධ්‍යස්ථානයක් හදනවා. ඒ වගේම උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ තෝරා ගත්ත ස්ථාන දෙකක විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ වැඩසටහන් ගණනාවේදීම ග​ෙම් ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ගොවි ජනයාගේ ජීවිත නගා සිටුවීමටත් අපි කටයුතු කරගෙන යනවා.  


 ප්‍රශ්නය:- රටේ ආර්ථිකය කඩා වැටෙද්දී ගමේ ආර්ථිකය නගා සිටුවන්න පුළුවන් කියලා ඔබ හිතනවද?  
පිළිතුර:-
එතැනදීත් ඔබ වැරදියි. ඔබ දකින විදියට රටේ ආර්ථිකය කඩා වැටිලා නෑ. හැබැයි ආර්ථිකය කඩා වැටෙනවා කියලා සමහරු කියන්නේ. පසුගිය ආණ්ඩු කාලවලට වඩා මේ අවුරුද්ද තුළ අපේ ආර්ථිකයට බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වුණා. ඒ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පහුගිය කාලේ ගත්ත ණයවල වාරික ගෙවීම පටන් ගත්තේ මේ අවුරුද්දෙ ඉඳලයි. දැන් මේ රජයට ඒ රජය ගත්ත ණයවල වාරිකය සහ පොලිය ගෙවන්නවෙලා තියෙනවා. අනික් කාරණය තමයි අපි බලාපොරොත්තු නොවුණ විදියට රටේ ඇතිවෙච්ච නියඟය. ඒ නියඟය දිස්ත්‍රික්ක ගණනාවකට බලපෑවා. ඒ නිසා කෘෂිකර්මය මුළුමනින්ම කඩා වැටුණා. සහල් හිඟයක් ඇතිවුණා. එළවළු, පලතුරු හිඟයක් ඇති වුණා. ගමේ ගොවියා අතට සල්ලි යන එක නතර වුණා. නියඟයට අමතරව ගංවතුර තර්ජනයටත් රට මුහුණ දුන්නා.​ මේ අමාරුකම් සියල්ලටම ආණ්ඩුවක් විදියට අපට මුහුණ දෙන්න වුණා.  


 ප්‍රශ්නය:- රටකට ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නවලට උත්තර හොයන්න තමයි?  
පිළිතුර:-
වෙන ආණ්ඩුවක් තිබුණා නම් මේ මොහොතේදී කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. නමුත් අපේ ආණ්ඩුව එකවර අර්බුද ගණනාවකටම මුහුණ දෙමින් පවා තත්ත්වය පාලනය කරමින් ජනතාවට සහනත් දුන්නා.  


 ප්‍රශ්නය:- ඔබ මිලදී ගත් වී සත්ව ආහාරවලට විකුණුවා කියලා චෝදනා ලබපු ඔබම දැන් මිලදී ගත් කිරි කාණුවලට හලන බවටත් චෝදනා එල්ල වෙනවා.  
පිළිතුර:-
මිලදී ගත්ත වී සත්ව ආහාර සඳහා ලබා දුන්නේ 2015 දී. ඒක රහසක් නොවෙයි. මොකද ඒ වෙලාවෙ මහ කන්නයේ මහා විශාල අස්වැන්නක් අපට ලැබුණා. ඒ අස්වැන්න අපි ගොවියන්ගෙන් මිලදී ගත්තා. ඒ වගේම අවුරුදු ගණනාවක වී ගබඩාවල එකතුවී තිබුණා. ඒ වී මිලදී ගැනීම නොකළා නම් ගොවියා පාරට බැහැලා උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදෙනවා. ඒ තත්ත්වය බලාපොරොත්තුවෙන් හිටපු අයත් ඉන්නවා. නමුත් අපි ඒ වී මිලදී අරගෙන අතිරික්තය සත්ව ආහාර සඳහා නිකුත් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට බඩඉරිඟු ආනයනය කිරීමට ගිය විශාල මුදලක් ඉතිරි වුණා. අපි කළේ ඒ මොහොතේ කරන්න පුළුවන් හොඳම දේයි.  


 ප්‍රශ්නය:- නමුත් දැන් සහල් හිඟයක් තියෙනවා?  
පිළිතුර:-
ඔව්. අස්වැන්න අඩු වුණා. නමුත් ඒ බර ජනතාවට දෙන්නේ නැහැ. රජයක් විදියට අපි සහල් පිටරටින් ගෙන්වනවා. මතුවන අර්බුදවලදී රජයක් කටයුතු කළ යුත්​ෙත් ඒ විදියට කියලයි මම හිතන්නේ.  


 ප්‍රශ්නය:- කාණුවට කිරි හලන්නෙත් වෙන කරන්නම දෙයක් නැති නිසාද?  
පිළිතුර:-
නෑ. පහුගිය මාසයේ පළමු සති දෙක තුළදී රටේ විශාල ගංවතුර තත්ත්වයක් ඇති වුණා. දිස්ත්‍රික්ක 18 කට මේ ගංවතුර තත්ත්වය බලපෑවා. සමහර තැන්වල නාය ගියා. සමහර තැන්වල ගංවතුර ඇති වුණා. මේ තත්ත්වය තුළ අපේ කර්මාන්ත ශාලාවලට එන කිරි බවුසර් 20 කට ආසන්න ප්‍රමාණයක් සතියක් හමාරක් යනතුරු ආව ඒ පළාත්වලින් එළියට ගන්න බැරිවුණා. නාය යෑම් නිසා බවුසර් හිර වුණා. සමහර කිරි බවුසර් ගංවතුරට කොටු වුණා. කිරි කියන්නේ දවස් ගණන් රැස්කරලා තියාගන්න පුළුවන් ඒවා නොවෙයි. පැය 24 ක් තුළ අදාළ කර්මාන්තශාලාවලට ගේන්න ඕනෑ. නමුත් එහෙම ගේන්න බැරි වුණා. ඒක නිසා බවුසර්වල තිබුණ කිරි නරක් වුණා.  


 ප්‍රශ්නය:- නමුත් අඹේවලට ගෙනාපු කිරිත් කාණුවලට ගියා?  
පිළිතුර:-
මෙහෙමනේ. ගාල්ලෙන් එන බවුසරයක් අඹේවෙල කිරි කර්මාන්තශාලාවට එනවා නම් ඒ බවුසරය ආවට පස්සේ අපි ඒක යවනවා තවත් පළාතකට. පැය 24 ක් තුළ කිරි ටික අස් කරලා. ඊළඟ සෙන්ටර් එකට යවන්න ඕනෑ. එහෙම නොගියොත් ටැංකියෙ තියෙන කිරි ටික විතරක් ඉතිරි කර ගන්න පුළුවන්. අනික් කිරි නරක් වෙනවා. පහුගිය දවස්වල අපි ඒ වගේ ලොකු අර්බුදයකට මුහුණ දුන්නා.  


 ප්‍රශ්නය:- මෙතැන තියෙන්නේ අර්බුදයකට වඩා කළමනාකරණය කර ගැනීමට තිබුණ නොහැකියාවයි?  
පිළිතුර:-
කළමනාකරණය කරනවා කියන්නේ ඔබම දන්නවා කිරි බවුසර් 17 ක් 20 ක් හිරවුණාම ඇතිවෙන තත්ත්වය මොකක්ද කියලා. අනික මේකට ක්ෂණික උත්තර නෑ. විකල්ප නෑ. හැබැයි මොන ප්‍රශ්න මතු වුණත් අපි ගොවියාව අමාරුවේ දැම්මේ නෑ. ගොවියා​ෙග් කිරි ටික ගත්තේ නැත්නම් ගොවිය​ගේ ඉරණම මොකක්ද? අපි බලන්නේ ආයතනයක් විදියට අපි පාඩුවක් ලබලා හරි ගොවියා ආරක්ෂා කිරීමයි.  


 ප්‍රශ්නය:- පිටරටින් හරක් ගෙන්වලා ඒ හරක් හිතවතුන්ට දීලා බොරුවට ‘පේපර් ඇඩ්’ දැම්මා කියලා ඔබට බරපතළ චෝදනාවක් එල්ල වුණා?  
පිළිතුර:-
ඒ ප්‍රශ්නය මතු කරපු එක බොහොම හොඳයි. විදේශයෙන් හරක් ගෙන්වීම සම්බන්ධව කටයුතු මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ පහුගිය ආණ්ඩුවයි. 2014 දී බැසිල් රාජපක්ෂ මහත්තයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ගවයන් විසිදාහක් ගෙන්වීමට කටයුතු සැලසුම් කරලා තිබුණා. ඒ ගිවිසුම ශ්‍රී ලංකා රජයත් ඕස්​ෙට්‍ර්ලියා රජයත් අතර තමයි ඇති කරගෙන තිබුණෙ. මේ ගිවිසුමේ අඩංගු කොන්දේසිත් එක්ක ගිවිසුම කඩ කළොත් අපි වන්දි මුදලක් ඒ රජයට ගෙවිය යුතුයි.  


 ප්‍රශ්නය:- ඒකට ඔබ ගත්ත පියවර?  
පිළිතුර:-
විෂය භාර ඇමැතිවරයා හැටියට මේ තත්ත්වය ගැන මම කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළා. එතැනදී අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ආර්ථික කමිටුව තීරණය කළා මේ සතුන් ගෙන්වන්න.  


 ප්‍රශ්නය:- ගවයන් විසිදාහම ගන්න?  
පිළිතුර:-
ඔව්. හැබැයි එකවර නොවේ. පළමුව ගවයන් පන්දාහක් ගෙන්වලා මේක සාර්ථකයි නම් පමණක් ඉතුරු ටික ගමුයි කියන කොන්දේසියට ආවා. ඒ ක්‍රමවේදයට අනුව අපි මුලින්ම ගවයන් දෙදහසක් ගන්න තීරණය කළා. හැබැයි නීති රීතිවලට එකඟව තමයි අපි මේ කටයුත්ත කළේ. බොහොම විනිවිද භාවයෙන් යුතුව තමයි මේක කළේ. මුලින්ම කොමිටියක් පත් කරලා පුවත්පත් දැන්වීමක් දැම්මා. ඒ පුවත්පත් දැන්වීමේ අපි පැහැදිලිවම කියලා තිබුණා වාණිජ වශයෙන් ඇතිකරන සතුන් මිලදී ගැනීමක් කරන්නේ කියලා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවලින් ගේන සත්තු අඹ පැළයක් කොස් පැළයක් බෙදනවා වගේ නොවෙයි. දේශගුණික තත්ත්වයක් තියෙනවා. මේ සත්තු එන්නේ ශීත ප්‍රදේශයක ඉඳලා. ඒ නිසා අපිට සීමා පනවන්න සිදුවුණා. ඒ පුවත්පත් දැන්වීමේ අපි පැහැදිලිව දාලා තිබුණා ශීත දේශගුණයක් සහිත ප්‍රදේශ කියලා. මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ වගේ දිස්ත්‍රික්ක හතරක් තමයි අපි මුලින්ම තෝරා ගත්තේ. වාණිජමය කිරි කර්මාන්තයේ නියැළෙන ගොවීන්ට මේ කිරි ගවයින් දෙන්නේ කියලා. පැහැදැලිවම අපි කිව්වා. මේ සත්තු දහ දෙනෙක්වත් ගොවි පොළක ඉන්න ඕනෑ. දහයකට වැඩි ප්‍රමාණයක් ඉල්ලපු අයට තමයි අපි ප්‍රමුඛතාව දුන්නේ. ඒ වගේම නිකම්ම නොවෙයි දුන්නේ. මුදලක් ගෙවිය යුතුයි. ලක්ෂ 2 ක් එක ගවයෙක් සඳහා ගෙවිය යුතුයි. මේ සතුන්ට කැම දෙන්න ඕනෑ, බෙහෙත් දෙන්න ඕනෑ. ඒ සතුන්ට ගැළපෙන පරිසරයක් හදන්න ඕනෑ. මේ සුදුසුකම් සියල්ල සපුරා තියෙන අයගෙන් ඉල්ලුම්පත් කැඳවලා. ඉල්ලුම්පත් එක්දහස් ගානක් ඇවිල්ලා තිබුණා. එයින් තමයි තෝරා ගත්තේ.  


 ප්‍රශ්නය:- නමුත් පත්තරේ දැන්වීම් දාන්න කලින් ගවයන් හිතවතුන්ට බෙදලා දීම ගැන තමයි ඔබට චෝදනා එල්ල වුණේ?  
පිළිතුර:-
නෑ. එහෙම කරලා නැහැ. මම ඒ කතාව කියන්නම්. පුවත්පත් දැන්වීම් අපි දැම්​ෙම් 2017 ජනවාරි 15 වැනිදා. දැන් ඔබතුමා කියනවා ඉල්ලුම්පත් දාන්න කලින් මේ ගවයන් විකුණලා කියලා. එහෙම දෙයක් වුණේ නෑ. බැංකුවක් අපට එවපු එක ලිපියක දිනය වරද්දල තිබුණා. ලංකා බැංකුව තමයි එ් වැරැද්ද කරලා තිබුණේ. නමුත් ඒ ලිපියේම තැන් තුන හතරකම 2017 අප්‍රේල් 7 වැනිදා කියලා නිවැරදි දිනය සටහන් කරලා තියෙනවා. කළමනාකාරවරයා ගණකාධිකාරීවරයා නිවැරදි දිනය දාලා අත්සන් කරලත් තියෙනවා. පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකදී ඔය ඔබ මතුකරපු ප්‍රශ්නයම මතු කරලා තිබුණා.  


 ප්‍රශ්නය:- ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය මතු වුණාම ඔබ නිරුන්තර වුණා?  
පිළිතුර:-
ඇත්තටම මම නොවෙයි අපේ නිලධාරීන් තමයි මේ කරුණු පැහැදිලි කළ යුතුව තිබුණෙත්. බැංකුවෙන් දීපු ලිපියක දිනය වරද්දලා කියලා අපි දැනගෙන හිටියෙ නෑ. මේ ලිපිය තිබුණේ අපේ නිලධාරීන් ළඟ. හැබැයි එදා දවල්ම අපි බැංකුවට කතා කරලා ඔවුන් අතින් වෙලා තිබුණ වැරැද්ද පෙන්නුවා. ඔවුන් ඒ සම්බන්ධව වගකීම බාර අරගෙන නිවැරැදි දිනය දාපු ලියුමක් අපට දුන්නා.  


 ප්‍රශ්නය:- ඔබ කියන දේ අපට විශ්වාස කරන්න වෙනවා?  
පිළිතුර:-
එහෙම එපා. මම ඔබට ඒ වැරදි දිනය සහිත බැංකුවෙන් දිරිපත් කළ ලිපියත්, නිවැරැදි දිනය සහිතව ඉදිරිපත් කළ ලිපියත් දෙකම ඉදිරිපත් කරනවා. අපි මේ බව ඒ මාධ්‍ය ආයතනවලට දැනුම් දුන්නා. නමුත් එ් මාධ්‍ය ආයතන ඒ නිවැරැදි කිරීම වාර්තා කළේ නෑ. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. මේ නිසා මට විශාල අපවාදයක් එල්ල වුණා. ඔබ මතක තියාගන්න. මම දන්නවා මේ ආණ්ඩුව තව අවුරුදු 10 ක් 15 ක් 20 ක් තියෙයි. ඊට පස්සේ එන ආණ්ඩු මේ වගේ එෆ්.සී.අයි.ඩී. නොවෙයි දහ ගුණයකින් විශාල ඒවා එන්නේ. ඒවාට තනියෙන් උත්තර දෙන්න වෙන්නේ මට. ඒ නිසා මම කරන හැම දෙයක්ම බොහොම වගකීමෙන් කරන්නේ. මගේ අතින් වැරැද්දක් වෙලා තියෙනවා නම් ඕනෑම උසාවියකට යන්න කියලා මම අභියෝග කරනවා.  


 ප්‍රශ්නය:- සැප්තැම්බර් වෙනකොට ශ්‍රී ලංකා එකෙන් 18 ක් විතර විපක්ෂයට යන එක ස්ථීරයි?  
පිළිතුර:-
මෙහෙමයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි ඒ පක්ෂයේ සභාපති. ඒ පක්ෂයට ලේකම්වරයෙක් ඉන්නවා. ඉතින් එක එක්කෙනා මාධ්‍යයට මොනවා කිව්වත් ජනාධිපතිතුමා පක්ෂයේ සභාපති හැටියට ගතයුතු තීන්දු තීරණ ගනී, යනවද එනවද කියන එක අපි දන් නෑ. ඒක ඒ පක්ෂයේ තීන්දුවක්.  


 ප්‍රශ්නය:- බැරිවෙලා හරි ගියොත්?  
පිළිතුර:-
නෑ ඉතින් ඒ ගොල්ලෝ ගියා කියාල යූඑන්පියට නිකම් ඉන්න බැහැනේ. රටේ ජනතාව අපට වරමක් දීලා තියෙනවා. ජනාධිපතිතුමාට වරමක් දීලා තියෙනවා. ඒ අය ගියොත් අපි බලමු ඒ වෙලාවට මොකද කරන්නේ කියලා.

සාකච්ජා කළේ  
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්