අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනෑ


සිය පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වය ඇතුළු කාලීන දේශපාලන මාතෘකා පිළිබඳව මේ අදහස් දැක්වීම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩයි.



වර්තමාන දේශපාලන වටපිටාව ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
 මීට අවුරුදු දෙකකට විතර කලින් මේ රටේ මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වගේම මේ ආණ්ඩුව වෙනසක් කරනවා කියලා පොරොන්දු වුණා. හැබැයි ගෙවෙන හැම මොහොතක් පාසාම ඔප්පුවෙමින් යනවා එහෙම කිසිම වෙනසක් ඇතිවෙලා නෑ කියලා. ආණ්ඩුව දීපු ප්‍රධාන පොරොන්දු කීපයවත් ඉටුකරන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. වංචා දූෂණ නවත්වනවා කියලා ආපු ආණ්ඩුව ඊට වඩා හොරකම් වංචා කරන්න පටන් අරගෙන. බැඳුම්කර සිද්ධිය ඒකෙ එක උදාහරණයක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන දීපු බලාපොරොත්තුවත් ඉෂ්ට වෙලා නෑ. ආර්ථිකය ගැන කියපු කතා වුණත් එච්චර තමයි. ආණ්ඩුව කියපු දේවල් කරන්න අසමත්වීම උඩ රට ඇතුළෙ විශාල ආණ්ඩු විරෝධයක් ගොඩනැගෙමින් තියෙනවා. මිනිස්සුන්ගෙ ජීවිතවල විශාල අර්බුදයක් මතුවෙලා. මේ තත්ත්වය මතින් නැවත බලය ලබාගන්න ඒකාබද්ධ විපක්ෂය බලාගෙන ඉන්නවා. අපි 2015 දී කිව්වා මූණු මාරුවකින් රට ගොඩගන්න බෑ කියලා. දැන් ඒක ඔප්පුවෙලා තියෙන්නේ.

 


මේ ආණ්ඩුව ආවට පස්සෙ වෙච්ච හොඳක් ඇත්තෙම නැද්ද?
කවුරු හරි අන්වීක්ෂයකින් පරික්ෂා කරලා බැලුවොත් එහෙම එකක් හොයාගන්න පුළුවන් වෙයි. එහෙම එකක් තිබුණත් ඒවා තාවකාලිකයි. සුදු වෑන්වලින් මිනිස්සු පැහැර ගන්න එක නැවතීම වෙනසක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්.


හැබැයි මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුවත් පටන්ගත්තු ගමන් මේවා කළේ නෑ. ටික ටික ආණ්ඩුව අර්බුදයට යනකොට තමයි මර්දනය පටන් ගත්තෙ. මේ ආණ්ඩුවටත් එරෙහිව මිනිස්සු නැගිටින කොට සුදු වෑන් ඒවි. ඒවා සුදු පාට නැත්නම් කලු පාට වෙන්න පුළුවන්. මේවයින් ආණ්ඩු සංසන්දනය කරන්න බෑ. දීපු ප්‍රධාන පොරොන්දුවලින් තමයි ඒක බලන්න වෙන්නේ. දැනට නම් දීපු කිසිම පොරොන්දුවක ප්‍රගතියක් අපි දකින්නේ නෑ.

 


ඔබට මේ ආණ්ඩුව ගැන මේ තරම් විවේචනයක් තියෙනවා නම් කෝ ආණ්ඩු විරෝධය?
අපි ආණ්ඩු විරෝධයකටත් වඩා මේ ආණ්ඩුව වගේම පහුගිය ආණ්ඩුවත් ගෙනියපු ප්‍රතිපත්තිවලට විරුද්ධව ජනතා බලයක් ගොඩනගන්න උත්සාහ කරමින් ඉන්නවා. කම්කරු ක්ෂේත්‍රයට අදාළව අපි ඒ සටන පටන් අරගෙන තියෙන්නේ. වෙනත් වෘත්තීය සමිති සමඟ එකතුවුණු ඒකාබද්ධ විරෝධයක් වගේම අපේ පක්ෂය ගෙනියන විරෝධයත් එක්ක අපි ඉන්නවා. ගොවි ප්‍රශ්නවලදීත් අපි පොදුවේ අරගලයට මැදිහත් වෙලා තියෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරවලටත් අපි සහාය දෙනවා. විශේෂයෙන් සයිටම් ප්‍රශ්නයේදී අපි බරපතළ මැදිහත්වීමක ඉන්නවා. සමාජයේ මතුවෙමින් පවතින සකලවිධ ජනතා අරගලවල කොටස්කාරයො විදියට අපි ඉන්නවා. අපේ අරගලය හුදු ආණ්ඩු මාරුවක් වෙනුවෙන් නෙවෙයි.

 


 ඔබලා මොන විරෝධතා කළත් ආණ්ඩුව ඒවා මායිම් කරන්නේ නෑ නේද?
 ආණ්ඩුව පහුගිය අයවැය දෙකේදීම ලොකු ලොකු දේවල් කිව්වා. සහන රැසක් දෙනවා කිව්වා. ඒත් කියපුවයින් බදු පැනවීම ඇරෙන්න අනික් ඒවා කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. මේ නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙලා තියෙන්නේ. මේ අතරෙ තමයි ආණ්ඩු රටේ සම්පත් විකුණන්න හදන්නේ. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කරන්න ආණ්ඩු සැලසුම් කරලා තියෙනවා. මේ දේවල්වලට එරෙහිව නැගෙන එල්ලවෙන විරෝධය හමුවේ ආණ්ඩුව බයවෙලා ඉන්නවා කියන එක පැහැදිලියි. ආණ්ඩුවට මේවා නොසලකා ඉන්න බෑ. ඒත් මේවා නොසලකා ඉන්නවා වගේ පෙන්නනවා. මේක තව ටික දවසකින් පුපුරලා යන එක වළක්වන්න බෑ. මේ ගොනුවෙන ජනමතයට හිස නැමුවෙ නැත්නම් මේ ආණ්ඩුවටත් ඉතා ඉක්මනින් ගෙදර යන්න සිද්ධ වේවි.

 


මේ අප්‍රේල් විරුවන් සමරන කාලේ. ඔබලා ඒ ගැන දක්වපු අවධානය කොයි වගේද?
අපි අප්‍රේල් විරු සැමරුම රටේ ස්ථාන තුනකදී පැවැත්වූවා. අපි මීට කලිනුත් ස්ථාන කීපයක දී මේ විරු සැමරුමම කළා. ඒවට 71 අරගලයට සම්බන්ධ සහෝදර සහෝදරියො සම්බන්ධ වුණා. 71 අරගලය සැමරීමකින් ඔබ්බට කතිකාවක් ගොඩනැගිය යුතුයි කියන අදහසේ අපි ඉන්නේ. ඒක ලංකාවේ සමාජවාදය සඳහා පැනනැගුණු පළමු අවිගත් අරගලය. ඒක පරාජය වුණා. ඒ පරාජයේ පාඩම් මගින් ඉගෙන ගැන්ම අවශ්‍යයි. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. 71 අරගලය ගැන පුළුල් දේශපාලන කියවීමක් අවශ්‍යයි. අපි ඒ සඳහා උත්සාහයක් අරගන්නවා.

 


මේ සැමරුම්වලදී රෝහණ විජේවීර ඔබලා තියන්නේ කොතනද?
රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ ඒ වෙනකොට ලංකාවේ වමේ ව්‍යාපාරය සංශෝධන වාදයට ගිය වෙලාවක ඒකට එරෙහිව වමේ ව්‍යාපාරයේ ධජය ඉහළට ඔසවපු සහෝදරයෙක්. විජේවීර සහෝදරයා වගේම ඔහු සමග කටයුතු කළ අනෙකුත් සහෝදරවරුන් වමේ එවකට ව්‍යාපාරය පාවා දීමට එරෙහිව සැබෑ වමේ ව්‍යාපාරයේ ධජය ඔසවන්න කටයුතු කළ පිරිසක්. විජේවීර සහෝදරයා 1965 ජනතා විමුක්ති පෙරමුණ හදන්නෙම ඒකට. ඒත් ඔවුන් අවස්ථා දෙකකදී ජීවිත වලින් ඔප්පු කළා ඔවුන් ඉන්නේ සම්මුති දේශපාලනයක නෙවෙයි අසම්මුති දේශපාලනයක කියලා. අපි ඒ දේශපාලන සම්ප්‍රදායට ගරු කරනවා. ඒ ගැන විවාදයක් නෑ. ඒ දේශපාලන සම්ප්‍රදායේ තිබුණු හරවත් දේ අරගෙන එහි තිබුණු අඩුපාඩු බැහැර කරලා යන ගමනක අපි අද ඉන්නේ.


දැන් ඔබලා විජේවීර සහෝදරයා ඔබලගේ නායකත්ව මට්ටමේ තියලා සලකන්නේ නෑ කියලා සමහරු කියනවා.


ඕක අපෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. දේශපාලන ව්‍යාපාරයක නායකත්වය කියන්නේ සජීවි එකක්. වමේ ව්‍යාපාරයක නායකත්වය ඒ මොහොතේ පැන නඟින තත්ත්වයන්ට අදාළව උපාය උපක්‍රම තෝරමින් පක්ෂය ඉදිරියට ගෙනියන එකක් වෙන්න ඕන. දැනට අප අතර නැති අයට නායකයො වෙන්න බෑ. අද අපි අතර ඉතුරුවෙලා තියෙන්නේ ඒ අය ජීවිතවලින් දීපු ආදර්ශ පමණයි. ඒ අතීත නායකත්වය පිළිගත්තත් දැන් ඔවුන් අපේ නායකයන් කියලා අපි කියන්නේ නෑ.

 


 පෙරටුගාමි පක්ෂය ඇතුළෙ කුමාර් ගුණරත්නම් ඉන්නෙ කොයි වගේ තැනකද?
කුමාර් ගුණරත්නම් සහෝදරයා අපේ දේශපාලන මණ්ඩල සභිකයෙක්. ඒ වගේම ඔහු පක්ෂයේ සංවිධායක ලේකම්. අපේ පක්ෂයේ ලේකම් මණ්ඩලයක් ඉන්නවා. ඒ ලේකම් මණ්ඩලයේ සංවිධායක වගකීම තියෙන්නේ කුමාර් ගුණරත්නම් සහෝදරයාට.


 කුමාර් ගුණරත්නම් යළිත් දේශපාලන කරළියට ආව වුණත් ඒකෙන් පක්ෂයට ලොකු ගැම්මක් ගන්න බැරි වුණා නේද?
අපේ පක්ෂයේ සහෝදරවරු විවිධ වගකීම්වල ඉන්නෙ. කුමාර් ගුණරත්නම් සහෝදරයා පක්ෂයේ සාමාජිකයන් සමඟ දේශපාලන සංවිධාන සහ පරිපාලන කටයුතුවල වගකීම දරන සහෝදරයෙක්. ඔහුව රට ඒ තරම් දැනගෙන හිටියෙ නෑ. ඔහු මර්දනයට ලක්වීම හරහා තමයි ඔහු ගැන ජනතාව වැඩිපුර දැනගත්තේ. අපේ පක්ෂයට ගැම්මක් ගැනීම සඳහා කුමාර් ගුණරත්නම් සහෝදරයට හෝ වෙනත් සහෝදරයෙක් යොදවා ගැනීමේ අරමුණක් අපිට නෑ.

 ප්‍රියන්ත කොඩිප්පිලි