අපි ඉතා ශක්තිමත් ලෙස කොවිඩ් වෛරසය පාලනය කරමින් ඉන්නවා


මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? ඒ ගැන විමසමින් මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- ඉන්දියාව වගේම ලංකාවත් පාලනය ගිලිහුණු රටක් බවට පත්වෙමින් තිබෙනවා. රටට මොකද මේ වුණේ? රටට මොකක්ද මේ කළේ?   


පිළිතුර:- ඉන්දියාව වගේ අපේ රට පාලනයෙන් ගිලිහිලා නෑ. ඉතාමත්ම ශක්තිමත් ලෙස කොවිඩ් ​වෛරසය පාලනය කරමින් ඉන්නවා. පළමු වටයේදී කොවිඩ් සාර්ථකව පාලනය කරපු ලෝකයේ පළමු රටවල් හය අතර අපි හිටියා. දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වුණාම ඒක පාලනය කරපු ලෝකයේ පළමු රටවල් 10 අතර අපි හිටියා. ලෝකයේ ප්‍රබල රටවල්වලට එන්නත ලබා දෙන්න බැරිවෙලා තිබියදී අපි එන්නත ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ නිසා මම කියනවා විපක්ෂය මොනවා කිව්වත් අපි සාර්ථකව මේක පාලනය කරනවා. ඒක ගැන බයවෙන්න එපා. 

 
ප්‍රශ්නය:- නමුත් විපක්ෂය කියන්නේ ‘සර් ෆේල්’ කියලයි.   


පිළිතුර:- එහෙම කියන විපක්ෂය නම් බලයේ ඉන්නේ අද අපේ රට ඉන්දියාවත් පහුකරලා දවසට දහස් ගානක් මැරෙන රටක් තමයි අද තියෙන්නේ. ආර්ථිකය ගන්න. කොවිඩ් වසංගතය නැති වෙලාවක රටේ ආර්ථිකයේ වර්ධන වේගයට අනුව අපි දෙවැනි වුණේ චීනයට පමණයි. එහෙම ආර්ථික වර්ධනයක් තිබුණ රටක් තමයි අපි බාර දුන්නේ. යහපාලන ආණ්ඩුව ඒ ආර්ථිකය විනාශ කළා. රටේ ජාතික ආරක්ෂාව විනාශ කළා. ඒ විපක්ෂය තමයි මේ තියෙන්නේ. ‘සර් ෆේල්’ කියලා. කොවිඩ් එක තිබියදීත් ජන ජීවිතත් රැකගෙන ආර්ථිකයත් රැකගෙන යන ආණ්ඩුවකට තමයි විපක්ෂය ඔහොම කියන්නේ. ඒ නිසා මම පැහැදිළිව කියනවා. අපේ ජනාධිපතිතුමත්, අපේ අගමැතිතුමත් රජයත්, ත්‍රිවිධ හමුද‌ාව, පොලිසිය, සෞඛ්‍ය අංශ හා රාජ්‍ය නිලධාරීන් ඉතාම දක්ෂ ලෙස කැපවෙලා වැඩ කරනවා. 

ප්‍රශ්නය:-  එක පැත්තකින් කොවිඩ් එක. අනික් පැත්තෙන් බඩු මිල. මිනිස්සු නම් කියන්නේ නොමැරී මැරෙමින් ඉන්නවා කියලයි.   


පිළිතුර:- බඩු මිල දිහා බැලුවාම ඒක මෙහෙම හරි පාලනය වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා අපේ රජය නිසයි. මේ වගේ ලෝක වසංගතයක් තියෙන වෙලාවක ඩොලරයත් පාලනය කරමින් ගිය ආණ්ඩුව තිබුණා නම් ඩොලර් එක රුපියල් තුන්සිය පනහත් පැනලා ඉවරයි. එහෙම නම් බඩු මිල කොහේද තියෙන්නේ කියලවත් හිතාගන්න බෑ. එක පැත්තකින් ඩොලර් එක වැඩිවෙන්න ඉඩ නොදී ඒක පාලනය කරගනිමින් බඩුමිල මෙහෙමහරි පාලනය වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා හා අපේ රජය නිසයි. අපි දන්නවා අද ලෝකයම අර්බුදයකට මුහුණ දීලා ඉන්න වෙලාවක් මේක. ලංකාව විතරක් නෙවෙයි. ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව, ප්‍රංශය වගේ ප්‍රධ‌ාන රටවල් වැටුණු වැටිල්ලට ‘තාම නැගිටගන්න’ බැරිව ඉන්නේ. අපේ රටේ එහෙම වැටිලා නෑ. අදටත් ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කරමින් අනවශ්‍ය භාණ්ඩ ගේන්න ඉඩ නොදෙමින් හැම අතින්ම නිවැරැදි තීන්දු අරගෙන ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් මේක.  


ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුවේ කාර්යක්ෂම බව පිළිබඳව ප්‍රශ්නයක් මතු වෙනවා. විපක්ෂය නම් කියන්නේ මේ තරම් කෙටි කාලයකින් අප්‍රසාදයට පත්වුණ ආණ්ඩුවක් තවත් නෑ කියලයි.  


පිළිතුර:- ආර්ථිකය කඩාවැටුණු රටක් අපට ලැබුණේ. මහින්ද ජනාධිපතිතුමා බාරදුන්න රට නොවෙයි අපට ලැබුණේ. හැම අතින්ම බිමට වැටිච්ච රටක් අපට ලැබුණේ. එහෙම බැලුවම ආර්ථික අතින් අපි ස්ථාවරයි. සංවර්ධනය අඩාළ නොවී කරගෙන යනවා. පාරවල්, වැව්, හද‌ාගෙන යනවා. හැම ගමකටම ගෙයක් හදලා දෙනවා. ගොවි ජනතාවට ස්ථාවර මිලක් ලබා දීලා තියෙනවා. ගොවියාගේ ආර්ථිකය ඉතාම හොඳින් ශක්තිමත් කරල තියෙනවා. ගොවියෝ බැංකුවල කොයිතරම් මුදලක් තැන්පත් කරලා තියෙනවද කියලා බලන්න. විශාල ගොවි ආර්ථිකයක් ශක්තිමත් කරලා තියෙනවා පහුගිය අවුරුද්දෙ විතරක්.   


ප්‍රශ්නය:-  ඒත් හාල් මිල?  


පිළිතුර:- මේ පැත්තෙන් ගොවියට කීයක් හරි වැඩිවෙනකොට හාල්වලට ඒ බලපෑම එනවා. ඒක තමයි ඇත්ත කතන්දරය. මම විශ්වාස කරනවා මේ තියෙන ප්‍රශ්න මේ අභියෝග දිහා බැලුවාම ඉතාම නිවැරැදි විදියට ඒවා කළමනාකරණය කරගන්න ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා. එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ විනයක් ඇතිව රට පාලනය කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා ආණ්ඩුව නිසයි. එහෙම නොවුණා නම් මේ ප්‍රතිඵලය නොවෙයි අද තියෙන්නේ. එහෙම නම් ආර්ථිකය සමතලා වෙලා හොම්බ බිම ඇනුණු බඩගින්නේ කුනු බක්කි අවුස්සන් කන රටක් තමයි දකින්න ලැබෙන්නේ. යහපාලන ආණ්ඩුවේ කෙරුවාව ජනතාවට අමතක නෑ.  


ප්‍රශ්නය:- ඔබ විනය ගැන කතා කළා. නමුත් පාර්ලිමේන්තුවේ විනය නම් බිංදුවටම වැටිලා?  


පිළිතුර:- ඔව්. පාර්ලිමේන්තුවේ විනය කවද‌ාවත් තිබුණේ නැහැනේ. පාර්ලිමේන්තුවේ විනය දිහා බලපුවාම බිංදුවටම වැටිලා තියෙන්නේ. අපි බලනවා පාර්ලිමේන්තුවේ විනය කොහොම හරි රැකගන්න. අද ඇත්ත වශයෙන්ම විපක්ෂනායකයාට තමන්ගේ කණ්ඩායම හසුරුවා ගන්න බැරිවෙලා තියෙනවා. තමන්ගේ ගෝල බාලයන් කියන විදියටම වැඩ කරන විපක්ෂනායකවරයෙක් අද ඉන්නේ. ඇත්තම කියනවා නම් අපි දැකපු දුර්වලම විපක්ෂනායකවරයා මෙතුමායි. ඔහු හරීන් කියන දේ කරනවා. මනූෂ කියන දේ කරනවා. කිරිඇල්ල කියන දේ විටක කරනවා. මුජිබර් කියන දේ, රාවුෆ් හකීම්, රිෂාද් බදුර්දීන් කියන දේ අහලා ප්‍රතිපත්තියක් නැතිව වැඩ කරන විපක්ෂනායකවරයෙක්. ඔහුට ඔහුගේ කණ්ඩායම හසුරුවා ගන්න බැරිවෙලා තියෙනවා.  


ප්‍රශ්නය:- ආණ්ඩුව තුනෙන් දෙකේ බලය ද‌ාලා විපක්ෂය ඩෝසර් කරනවා?  


පිළිතුර:- මොන පිස්සු කතාවක් ද? මොන බලය තිබුණත් පාර්ලිමේන්තුව වැඩ කරන්නේ ස්ථාවර නියෝගවලට අනුවයි. මේ අයනේ පිස්සු නටන්නේ. පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කරනවා. ඔහුගේ කණ්ඩායම වින්දිතයෝ වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්නේ. ඉතින් කොහොමද පාර්ලිමේන්තුවේ විනය රැකෙන්නේ? කෝ විපක්ෂනායකවරයෙක් ගාව තිබිය යුතු පරිණතභාවය? කෝ පෞරුෂය? එයාගේ පරිණතභාවය කොහේද තියෙන්නේ? ඒ නිසා තමයි මේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ ඇතිවෙන්නේ?  


ප්‍රශ්නය:-  විපක්ෂය ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන්න කියලයි. ඇයි ආණ්ඩුව මහ මොළකරුවන් හංගන්නේ?  


 පිළිතුර:- ඒගොල්ලෝ මහ මොළකරුවන් අල්ලන්න කියනවා නම් ඒ ගොල්ලෝ කියන්න එපැයි මහ මොළකරුවන් මේගොල්ලේ කියලා. ඒ තොරතුරු දන්නවා නම් සීඅයිඩී එකට උදව් කරන්න ඕනෑනේ. ආණ්ඩුවට උදව් කරන්න ඕනෑනේ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවෙලා මහ මොළකරුවන් ගැන කියමින් බොරු කියන එක වින්දිතයන්ට කරන මොනතරම් බරපතළ අපරාධයක්ද?  


ප්‍රශ්නය:-  පාස්කු කොමිසම් වාර්තාවේ ඇතැම් කොටස් ආණ්ඩුව හංගාගෙන ඉන්නේ. මහ මොළකරුවන් ගැන තොරතුරු තියෙන ඒ කොටස් රටට දෙන්න කියලයි විපක්ෂය කියන්නේ?  


පිළිතුර:- ඒක සම්පූර්ණ බොරුවක්. ඒගොල්ලෝ හදන්නේ මිලේනියම් සිටි මහා පාවාදීම කරන්නයි. මිලේනියම් සිටි එකේදී මොකක්ද කෙරුවේ. ඒකෙන් මේ රටේ බුද්ධි අංශ පාවා දුන්නා. දැන් මොකක්ද මේ කරන්න හදන්නේ? බුද්ධි අංශ පාවා දෙන්නයි මේ හදන්නේ. ඒ කොමිසමේදී සමහර සාක්ෂි සටහනක් කරගත්​තේ මාධ්‍යවේදීන් පවා ඉවත් කරලයි. බුද්ධි අංශ ගෙන්වලා ප්‍රශ්න කරද්දී ඒ බුද්ධි අංශ තොරතුරු එළියට ගියාම බුද්ධි අංශ විනාශ වෙනවා. ඒ නිසා රැකගත යුතු ඒවත් තියෙනවා. වාර්තාවෙම තියෙනවා අනාවරණය කළ යුතු තොරතුරු මොනවද? අනාවරණය නොකළ යුතු තොරතුරු මොනවද කියලා. නීතිපතිතුමාට ඔක්කොම ඒවා යවලා තියෙන්නේ. ඒකට පෞද්ගලිකව මම විරුද්ධයි. හැබැයි ඕවා ඔක්කොම ජනාධිපතිතුමා යැව්වා. ඒ තොරතුරු ඉල්ලන්නේ සජිත් හා හරීන් ප්‍රනාන්දු නම් ඒවා ගිහින් දෙයි ඒගොල්ලන් එක්ක වාඩිවෙලා ඉන්න අන්තවාදීන්ට. ඒ අන්තවාදීන් ගිහින් ඒ තොරතුරු ත්‍රස්තවාදීන්ට දෙයි. ඒ වාර්තාවල මොනවද තියෙන්නේ? මද්‍රසා පාසල් වහන්න කියනවා. ඒ ගැන රාවුෆ් හකීම් මොනවද කියන්නේ? මුජිබර් මොනවද කියන්නේ? ජයලත් ජයවර්ධනගේ පුතා ඇවිත් එද‌ා රෑ රූපවාහිනියේ මොනවද කිව්වේ? ඉරාන් මොනවද කියන්නේ? ඒ ගොල්ලෝ මේ වැඩේට සහයෝගයක් දෙනවද? මුස්ලිම් ජනතාවම කියන්නේ මේවයේ උගන්වන්නේ විෂයන් නොව වෙන වෙන දේවල් කියලා. පාස්කු වාර්තාවෙන් කියලා තියෙන්​නේ ඕවා තහනම් කරන්න කියලා. හරිනම් සජිත් ප්‍රේමද‌ාස ආණ්ඩුවටත් කලින් කියන්න එපැයි මේවා තහනම් කරන්න කියලා. ආණ්ඩුව තහනම් කළාම ඒක වැරැදියි කියලා කියනවනේ. එතකොට මේ අන්තවාදීන් ත්‍රස්තවාදීන් නියෝජනය කරන්නේ කවුද? මහ මොළකරුවන් ගැන කතා කළාට මහ මොළකරුවන් නියෝජනය කරන්නේ මේගොල්ලොනේ. එහෙම නම් ඒ ගොල්ලො අවංක වෙන්න එපැයි.  


ප්‍රශ්නය:-  පාස්කු කොමිසන් වාර්තාවේ කිසිම තැනක නම සඳහන් නොවුණු රිසාද් බදුර්දීන් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා සජබය කියනවා?  


පිළිතුර:- රිෂාද් බදුර්දීන්ගේ නම කෙළින්ම සඳහන් වෙලා තියෙනවා. පාස්කු කොමිසන් වාර්තාව නිර්දේශයක් පමණයි. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ ආයතන දිගටම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළා. රිෂාද් බදුර්දීන් වැඩ කරලා තියෙන හැටි ඒ විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. මේ රටේ මිනිසුන් තුළ මතයක් තියෙනවා රිෂාද්ලා හිටියා කියලා.  


ප්‍රශ්නය:- එහෙම මතයක් තිබුණා කියලා කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් ද?  


පිළිතුර:- මතයට නොවෙයි අනාවරණය වූ කරුණුවලට අත්අඩංගුවට ගන්න පුළුවන්. අන්තිම කෝල් එක ආවේ රිෂාද්ගේ මල්ලිට. මේවා මිනිස්සු දන්නවා. මේවා ගැන හොයන්න ඕනැ. කොහොමද තඹ දුන්නේ? ටෙන්ඩර් නැතිව තඹ දුන්නේ කොහොමද? ඊළඟට කොළඹ යට තියෙන කේබල් හාරන්න දුන්නේ කොහොමද ඊබ්‍රාහිම්ගේ පුතාට? ඕවා හොයන්න ඕනැ. ඒ කාලේ ඇමැතිකම් කෙරුවේ කවුද? ඒකේ හිටියෙ හරීන් ප්‍රනාන්දු, මේකේ හිටියේ රිෂාද්. මේවා හොයන්න ඕනෑ. ඒවා හොයන්න තමයි මිනිස්සු ඡන්දය දුන්නේ. ඒවා හොයන එක පරක්කු වුණේ මේ කොමිසම නිසයි. අනික් පැත්තෙන් විපක්ෂයේ අයත් කියනවා හොයන්න කියලා? හොයන්නනේ අපට බලය දුන්නේ.  


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා කියලා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න යනවා. මේක දඩයමකින් වෙනස් වෙන්නේ කොහොමද?  


පිළිතුර:- හරීන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්​නේ අද ඊයේ නොවෙයිනේ. පහුගිය මාස හත අටේම ප්‍රකාශ කරනවා. එයා නන්දසේන ගෝඨාභය කිය කියා ප්‍රකාශ කරනවා. එහෙම කිව්වා කියලා එයාව අත්අඩංගුවට ගන්න ගියේ නෑ. මේ පාස්කු වාර්තාව ආවේ පෙබරවාරි මාසයේ. එහි සිංහල පරිවර්තනය ගත්තා දවස් විසිගානක් යන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මාර්තු මාසයේදී. දැන් අපි ඉන්නේ අප්‍රේල් මාසයේ. ඒවා යැව්වා නීතිපතිතුමාට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට. ඒවා ඒගොල්ලෝ කියවන්න එපැයි. ඉතින් තව මාස හයක් කියවන්න කියලා කියන්නේ? ඉතින් හරීන් ප්‍රනාන්දු දන්නවා එයා කොහොමත් මේකේ ඉන්නවා කියලා. එයා මොනවද පාස්කු ප්‍රහාරය ගැන කොමිසමට කිව්වේ? කොමිසමට කිව්​වේ අක්කා කිව්වා කියලා මාධ්‍යයට කිව්වේ තාත්තා කිව්වා කියලයි. එතැනම පරස්පරයිනේ. කනෙන් ඇදලා ඇතුලට ද‌ාන්න තිබ්බේ ඒ​ වෙලාවේ. මේවා ගැන හොයන්න ඕනැ. දැන් කොන්දක් තියෙනවා නම් රෝහල්ගත වෙන එක නොවෙයිනේ වැඩේ. කොන්දක් තියෙනවා නම් මහ මොළකාරයා ගැන දන්නවා නම් ඒවා ගැන ගිහින් කියන්න එපැයි. තමන් දන්න දේ කියන්න භය වෙන්න ඕනෑ නැහැනේ. ඔහු කළේ බොරුව සමාජගත කරලා භයට ගිහින් රෝහලේ හැංගුණ එකයි. එතැන ඉඳගෙන කියනවා මාව අත්අඩංගුවට ගන්න හදනවා කියලා. එහෙම අත්අඩංගුවට ගන්නේ නෑ. ගන්න බෑ.  


ප්‍රශ්නය:- එහෙම නම් හරීන්ව අත්අඩංගුවට ගන්න යන්නේ?  


පිළිතුර:- ඒක අහන්න ඕනෑ සීඅයිඩී එකෙන්. අපි ආණ්ඩුව විදියට කියන්න යන්නේ නෑ අරයව ගන්න, මෙයාව ගන්න කියලා. අපි රංජන් රාමනායක ආණ්ඩුව නොවෙයි. මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව. රංජන්ගේ, සජිත්ගේ, රනිල්ගේ ආණ්ඩුව තිබුණා නම් ඒ ගොල්ලෝ තමයි තීරණය කරන්නේ. නඩුකාරයන්ට කතා කරනවා. හිර කරන්න කියලා කියනවා. මේක එහෙම ආණ්ඩුවක් නොවෙයි. ස්වාධීනව පරීක්ෂණ කරගෙන යන්න පූර්ණ නිදහස දීලා තියෙන්නේ. වැරැදි කරලා නැත්නම් බයවෙන්න දෙයක් නෑ. 

 
ප්‍රශ්නය:- ඔබ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. ඒත් ආණ්ඩු පක්ෂයේ ඉන්න සහෝදර පක්ෂ සීසීකඩ?  


පිළිතුර:- ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ වැඩ තමයි මට පැවරී තිබෙන්නේ. ආණ්ඩුවත් එක්ක ඉන්න සහෝදර පක්ෂ සමග මම කිසිම ගැටලුවක් හද‌ාගෙන නෑ. ඒ හැම කෙනෙකුටම සාධාරණව මම වෙලාව වෙන් කරලා දෙනවා. හැබැයි ආණ්ඩුව රකින තැනදී නිවැරැදිව කෙළින් ඉඳගෙන හදවතට එකඟව මම තීන්දු තීරණ ගන්නවා. ඡන්දය දුන්න ජනතාවට කිසිම අහිතක් කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්