අපි ආණ්ඩුවට බෝම්බයක් ගැහුවා අගමැතිටත්-ජනාධිපතිටත් තුවාලයි-අපට තුවාල නෑ


අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරපු විශ්වාසභංගය පරාජය වුණේ ඇයි? මේ ඒ පිළිබඳව විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය - ලොකුවට කයිවාරු ගහලා විශ්වාසභංගයක් ගෙනාවා. නමුත් පරාදයි?  


පිළිතුර - අපි ගැහුවා ආණ්ඩුවට බෝම්බයක්. අගමැතිතුමාටත් තුවාලයි. ජනාධිපතිතුමාටත් තුවාලයි. ජනතා විමුක්ති පෙරමුණ තුවාල වෙන්න ගිහිල්ලා යම්තම් බේරුණා. දෙමළ ජාතික සන්ධානයටත් තුවාලයි. එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂවලට තුවාලයි.  


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයට තුවාල නෑ?  


පිළිතුර - අපිට තුවාලත් නෑ. අපට නඩුත් නෑ. ඒ නිසා මේ විශ්වාසභංගය පරාදවීමේ ප්‍රතිඵලය තව ටික කාලයකින් ජයග්‍රාහි සුළි කුණාටු නංවන ආකාරය දැක ගන්න පුළුවන්.  


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය ගණන් හදලා පෙන්නුවා. අපට ඒකාන්ත ජයග්‍රහණයක් ලැබෙනවා කියලා ඒ හරහා ඔබලා කිව්වා?  


පිළිතුර - මෙහෙමයි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් ඉන්නවා. මේ 225න් දෙමළ ජාතික සන්ධානය ඡන්දය වර්ජනය කරන්න හිටියේ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙක් ඉන්නවා. එතකොට 209ක් මන්ත්‍රීවරු අතර තමයි මේ ඡන්දය තිබුණේ.  


ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් දෙමළ සන්ධානය විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන්නා?  


පිළිතුර - ඒක තමයි. ඒක කොහොමද වුණේ? දෙමළ සන්ධානය අවසන් මොහොත දක්වාම කිව්වේ ඡන්දය දෙන්නේ නෑ කියලයි. ඒකට හේතුව පහුගිය මහ මැතිවරණයේදී ඔවුන්ට විශාල වශයෙන් පොරොන්දු දීලා තිබුණා. නමුත් ඒවා ඉටු කරලා දෙන්න බැරි වෙනව. ඒ නිසා ඔවුන් මෙවර විශ්වාසභංගය වර්ජනය කරන්න හිටියේ. එතකොට මන්ත්‍රීවරුන් 209න් 105ක් ගත්ත කෙනාට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක තමයි සංඛ්‍යා ලේඛනය.  


ප්‍රශ්නය - ඒකාබද්ධයට මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම එක් වුණත් 95යි ඉන්නේ?  


පිළිතුර - ඔව්. අපිට 95ක් ඉන්නවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ 106ක් ඉන්නවා. අපේ 95ට එකතු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනා. එතකොට අපේ ගාණ 101යි. ඊට අමතරව පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් අපිත් එක්ක හිටියා.  


ප්‍රශ්නය - ඒ අය කවුද? නම් කියන්න බැරිනම් කොහොමද අපි විශ්වාස කරන්නේ?  


පිළිතුර - නම් ගම් කියන එක ඔවුන්ට කරන අසාධාරණයක්. පහුගිය දවස්වල මාධ්‍යයට ඇවිල්ල ප්‍රවෘත්ති සාකච්ඡා තියල ප්‍රසිද්ධියේ කතා කරපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් හිටියා. ඒ අය කවුද කියලා මම නම් වශයෙන් නොකිව්වට මුළු රටම දැනගෙන හිටියා. පක්ෂයේ ප්‍රතිසංවිධාන ගැන කතා කරපු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් කෙළින්ම හිටියා. ඒ මන්ත්‍රීවරුන් පස් දෙනාට අමතරව තවත් මන්ත්‍රීවරුන් දෙළොස් දෙනෙක් හිටියා තරුණ හා පසුපෙළ මන්ත්‍රීවරුන් අපට සහයෝගය දෙන්න. එතකොට ඒ මන්ත්‍රීවරුන් දොළොස් දෙනා එක්ක අපිත් වෙන වෙනම කතා කළේ. වෙනම තත්ත්වයක් තුළ තමයි ඒ කතා පැවැත්වුණේ. එතකොට අර මම මුලින් කියපු මන්ත්‍රීවරුන් 5 දෙනා අපට එකතු වුණා නම් ඒගොල්ලන්ගේ 106, 101ට බහිනවා. අපේ 101ක 106ට නඟිනවා. එතකොට සාමාන්‍ය අංක ගණිතය අනුව අපි, මේ විශ්වාසභංගය දිනනවා. ඔය කියපු සංඛ්‍යා ලේඛනවලට අමතරව අපිත් එක්ක මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් හිටියා කිව්වනේ. ඒ අයගේ නම් ගම් කියන එක සාධාරණ නෑ. ඒ අය පැහැදිලිවම අපිත් එක්ක හිටියා. ඒ අය ඇත්තටම ඡන්දය දීමෙන් වැළකී ඉන්නවා. ඒ අනුව පැහැදිළිවම මේ විශ්වාසභංග යෝජනාව ඡන්ද 12කින් හෝ 11 කින් ජයග්‍රහණය කිරීමේ පසුබිම තිබුණා. 

 
ප්‍රශ්නය - ඒක වෙනස් වුණේ කොතැනින්ද?  


පිළිතුර - ඔව්. ඉතාම පහත් නින්දිත ලෙස තෝරපු ක්‍රියාමාර්ග හරහා විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න අගමැතිවරයාට හැකියාව ලැබුණා.  


ප්‍රශ්නය - ඔබ කොහොමද එහෙම කියන්නේ? ඔහු ඔබලාට වඩා දක්ෂයි?  


පිළිතුර - ඒක එහෙම වෙන්නැති. මම ඔබට උදාහරණයක් කියන්නම්. මේ අය දෙමළ ජාතික සන්ධානයත් එක්ක ගිවිසුමක් අත්සන් කළා. දෙමළ සන්ධානය කොන්දේසි දැම්මා. අගමැතිවරයා මේ අගමැතිකම ගන්නෙත් 2015දීත් මේ හා සමාන පාවාදීමේ ගිවිසුමක් අත්සන් කරලා කියලා මම චෝදනා කරනවා. ඒකම තව මාස කිහිපයකින් ලබා දෙනවා කියන පොරොන්දුව මත තමයි දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටික ගන්නේ. අගමැතිවරයා තමන්ගේ අගමැතිකම රැක ගන්නේ මාතෘ භූමිය පාවාදීලා කියලා මම නැවතත් චෝදනා කරනවා.  


ප්‍රශ්නය - එතකොට එක්සත් ජාතික පක්ෂයෙන් එනවා කියපු අය?  


පිළිතුර - බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ අයට වෙච්ච පොරොන්දුව තමයි 8 වැනිදාට කලින් පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා කියනවා. මම විශ්වාසභංග විවාදයේදීත් කිව්වා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඉල්ලා අස්වෙනවා’ කියලා. ඔහු පහුවදාම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. දැන් කවුද පක්ෂයේ ලේකම්කමට පත් වෙන්නේ? වැඩ බලන ලේකම් හැටියට පත්වෙන්නේ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අකිල විරාජ් කාරියවසම්. කොහොමද අගමැතිවරයගේ පක්ෂ ප්‍රතිසංවිධානය? සාගල රත්නායක නියෝජ්‍ය නායකයා වෙනවා. ඒ නිසා ඉතාම පැහැදිලිවම අපි මේ ගහපු බෝම්බය නිසා එක්සත් ජාතික පක්ෂය ඉතාම බරපතළ විදියට තුවාල වෙනවා. එතකොට රවී කරුණානායකට නියෝජ්‍ය නායකකමත් ඇමැතිකමකුත් දෙන්න එකඟ වුණා. මට ලැබිලා තියෙන තොරතුරු අනුව අගමැතිවරයත් එක්ක තිබ්බ සාකච්ඡාව රවී කරුණානායක ඇමැතිවරයා තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කරලා තියෙනවා. වීඩියෝ කරලා තියෙනවා.  

 

පැහැදිලිවම ඉදිරි අවුරුදු දෙක ඉදිරියට යන්න මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ. ආණ්‍ඩුව ඇතුළේ බරපතළ දේශපාලන අර්බුදයක් තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර බරපතළ ගැටුමක් තියෙනවා. අනික් අතට යූඑන්පීයේ ප්‍රතිසංවිධාන කටයුතු කිසිම දෙයක් කෙරෙන්නේ නෑ.


ප්‍රශ්නය - මන්ත්‍රීවරුන් මිල දී අරගෙන විශ්‍වාසභංගය දිනුවා වගේ පැරණි, මෝඩ චූන් කතාත් දැන් ඇහෙනවා?  


පිළිතුර - එහෙම කියන්න එපා. මම මේ බොහොම වගකීමෙන් කියන්නේ. ආර්ථික අර්බුදවලට ගොදුරු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න කියලා රුපියල් මිලියන 75ක් දුන්නා. ආසනේ වැඩ කරන්න කියලා තමයි දුන්නේ. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න කිව්වා. ඊට අමතරව අර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනාට පැහැදිලිවම ආණ්‍ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් මිලියන 20, මිලියන 50 ආදී වශයෙන් මුදල් වෙන් කළා. ඊට අමතරව මුස්ලිම් කොංග්‍රසයට පහුගිය පළාත් පාලන මැතිවරණයේදී පොරොන්දු වෙච්ච විදියට ප්‍රාදේශීය සභාවල සභාපතිකම් දීලා තිබුණේ නෑ. රාවුෆ් හකීම් ඇමැතිවරයා එහෙම දැඩි කලකිරීමකින් හිටියේ. ඒකත් මුළු රටම දැක්කා. මම කියනවා  ඔවුන්ට ප්‍රාදේශීය සභා 15ක සභාපතිකම් දුන්නා. ඊට අමතරව තවත් සමහර දේශපාලන පක්ෂ මහා පරිමාණයෙන් මුදල් ලබාගත්තා. මේ විශ්වාසභංගය ජයග්‍රහණය කරවන්න කියලා. ඒ නිසා මේ විශ්වාසභංගය අපි දිනුවත් දිනුම, පැරදුණත් දිනුම. අද ඉඳලා තමයි ආණ්ඩුව අර්බුදයට යන්නේ. බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුනා.  


ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්‍වාසභංගයේදී හැසිරුණු ආකාරය ගැන ඔබේ විග්‍රහය?  


පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගත්ත තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිසේත්ම හිතකර නෑ. එක්කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට තිබුණා විශ්‍වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න. එහෙම නැත්නම් සියලුම දෙනා ඡන්දය නොදී ඉන්න තිබුණා. නමුත් මේ බෙදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශාල අර්බුදයක් ඇති කිරීමක්. එක්කෝ ඔවුන්ට සිදුවෙනවා ඇමැති තනතුරුවලින් ඉවත් වෙන්න.  


ප්‍රශ්නය - නමුත් පක්ෂව ඡන්දය දීපු ඇමැතිවරු කියනවා ‘අයින් වෙන්නේ නෑ’ කියලා?  


පිළිතුර - ඔව්. ඔවුන් එහෙම කියනවා. යූඑන්පී කියනවා ඔවුන් අයින් විය යුතුයි කියලා. ඒ විදියට ආණ්‍ඩුව ඇතුලේ බරපතළ දේශපාලන අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඡන්දය මග ඇරපු අය කළේ‍ මහා පාවාදීමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විශ්වාසභංගයට පැහැදිලිව සහයෝගය දෙනවා කියලා කියපු නිසා තමයි මේ විශ්වාසභංගය අපි ගෙනාවේ.  


ප්‍රශ්නය - කවුද ඒ එකඟතාවය දුන්නේ?  


පිළිතුර - අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිසක් සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් එක්ක සාකච්ඡා වට 30ක් 40ක් කළා. ඒ සාකච්ඡාවලදී ඔවුන් පැහැදිලිවම කිව්වේ මුළු පක්ෂයට ඡන්දය දෙනවා කියලයි. අපිට එක ඡන්දයක් ගැන විතරයි සැකයක් තිබුණේ. මම ඒක ගැනත් පක්ෂයට කිව්වා.  


ප්‍රශ්නය - කවුද ඒ සැක එක ඡන්දය?  


පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා. දුමින්ද දිසානායක. ඔහුගේ ඡන්දය අපට නොලැබෙයි කියන සැකය අපට තිබුණා. නමුත් ඒ වගේම ඔහුගේ ඡන්දයත් ලබාගන්න පුළුවන් කියන විශ්වාසය ඒ අපිත් එක්ක සාකච්ඡා කරපු පාර්ශ්ව අන්තිම මොහොතේ අපට ලබා දුන්නා.  


ප්‍රශ්නය - ඔය බෙදීම දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තල්ලු කළේ‍ කවුද?  


පිළිතුර - ඒ බෙදීම දක්වා තල්ලු කළේ‍ කවුද කියලා අපට තවම කියන්න බැහැ. මේ පිළිබඳව විවිධ මත තියෙනවා. අහවලා මේක පාවලා දුන්නා කියනවා. නමුත් පාවා දුන්නේ කවුද කියලා නම් අපි හරියටම දන්නේ නෑ.  


ප්‍රශ්නය - ජනාධිපතිවරයා ඒ මොහොතේ හිටියේ කාත් එක්කද? ඒ කියන්නේ පක්ෂව ඡන්දය දීපු කණ්ඩායම සමඟද? ඡන්දය මග ඇරපු කණ්ඩායම සමඟද?  


පිළිතුර - ජනාධිපතිවරයා විශ්වාසභංග යෝජනාව තුළ කළ භුමිකාව ගැන නම් තීන්දුවක් දෙන්න අමාරුයි. මොකද එක පිරිසක් ඡන්දය දුන්නා. තව පිරිසක් ආවේ නෑ. අවසානයේදී ජනාධිපතිවරයා හිටියේ කොතැනද කියලා අපට තවම නිගමනය කරන්න අමාරුයි.  


ප්‍රශ්නය - විශ්‍වාසභංගය ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ නැද්ද?  


පිළිතුර - අපි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත්‍රීවරුන් සමඟයි අපි සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාවලදී අපට වැටහුණා ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මේ විශ්වාසභංගයට තියෙනවා කියලා. ඒ වගේම ජනාධිපතිවරයා පහුගිය කාලේ ගත්ත ක්‍රියා මාර්ගත් දිහා බැලුවම මහ බැංකුව පවරා ගැනීම, ආර්ථික කළමනාකරණ රනිල් කමිටුව අහෝසි කිරීම වගේ දේවල් දිහා බැලුවම ජනාධිපතිවරයාගේ ආශිර්වාදය තියෙන බව පෙනුණා.  


ප්‍රශ්නය - කොහොම වුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්‍වාසභංග යෝජනාව ජයග්‍රහණයට කැමැත්තෙන් නොවේ හිටියේ කියලා කතාවක් ගියා?  


පිළිතුර - ඒක තනිකරම අසත්‍යයක්. මේ විශ්වාසභංගය අපි ගේන්න හිටියේ 4 වැනිදා නොවෙයි මීට මාස දෙකකට විතර කලින්. මහ බැංකු කොල්ලය ගැන අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව හැදීමේ වගකීම මීට මාස දෙකකට විතර කලින් බන්දුල ගුණවර්ධන මැතිතුමාට බාරදිලා තිබුණේ. එතුමා අතින් මේක සකස් කිරීමේ ප්‍රමාදයක් තිබුණා. එහෙම නැත්නම් මීට මාස දෙකකට විතර කලින් අපි මේක තනිවම ගේනවා. හැබැයි මේ මැතිවරණ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් අපට ප්‍රබල ඉල්ලීමක් ආවා ‘‘මේ විශ්වාසභංගය ගේන්න අපි සහාය දෙනවා’’ කියලා.  


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ‍ මහින්ද රාජපක්ෂ භූමිකාව ගැනයි.  


පිළිතුර - මහින්ද රාජපක්ෂ මැතිතුමා ඡන්දය දුන්නා. ඒ වගේම විශ්වාසභංගය බාර දෙන දවසේ එතුමා කතානායකතුමාගේ කාමරයට ඇවිත් ඒ අවස්ථාවටත් සහභාගි වුණා. මේ විශ්‍වාසභංගයේ අවසන් දවසෙත් අවසන් සතිවලත් එතුමා බොහොම විශ්වාසයෙන් උනන්දුවෙන් කතා කරමින් දායක වුණා. එතුමා විවාදයට එක්වෙලා කතාවක් පවා කරන්න හිටියේ. නමුත් අවසානයේ සංඛ්‍යා ලේඛනත් එක්ක අපට පෙනුණා තත්ත්වය. ඒ නිසා කළේ නෑ. මම කලින් දවසේ එතුමාව හමු වුණාම කරන්න හිටපු කතාව ගැනත් කතා කළා.  


ප්‍රශ්නය - මින් ඉදිරියට මොකද වෙන්නේ?  


පිළිතුර - පැහැදිලිවම ඉදිරි අවුරුදු දෙක ඉදිරියට යන්න මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ. ආණ්‍ඩුව ඇතුළේ බරපතළ දේශපාලන අර්බුදයක් තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර බරපතළ ගැටුමක් තියෙනවා. අනික් අතට යූඑන්පීයේ ප්‍රතිසංවිධාන කටයුතු කිසිම දෙයක් කෙරෙන්නේ නෑ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා නිවාඩුවකට දකුණු පළාතට යනවා. නැත්නම් විදේශ ගත වෙනවා. ආපහු එන්නේ තව සුමාන දෙකකින්. එතකොට ඔය පක්ෂයේ ප්‍රතිසංවිධානත් නෑ. එතැන තමයි එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි සටන ඇරැඹෙන්නේ. දෙමළ සන්ධානයට දීපු පොරොන්දු ඉෂ්ඨ කරන්න ගියොත් ආණ්ඩුවට දුවන්න වෙනවා? රවී කරුණානායකට ඇමැතිකමේ දිවුරුම් දෙන්න ජනාධිපතිවරයා ඉඩ දෙන්නෙත් නෑ. මේ විශ්‍වාසභංගය ගේනකොට තිබුණු අර්බුදයට එහා ගිය බරපතළ අර්බුදයක් දැනටමත් අැති වෙලා තියෙනවා. අස්ථාවර ආණ්ඩුවක් රටේ තියෙන්නේ. මෙහෙම යන්න බෑ. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයකට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක තමයි අපෙත් අවශ්‍යතාව.  

 

 

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්