අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ රටේ ඉන්න ජනප්‍රියම පුද්ගලයායි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත් කළ මන්ත්‍රී  
ලක්ෂ්මන් යාපා අබේවර්ධන

රටේ දේශපාලන තත්ත්වයත්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි. 


• ප්‍රශ්නය:- යූඑන්පිය කියනවා ශ්‍රී ලංකා එකෙන් තව කණ්ඩායමක් එන්න ඉන්නවා කියලා?  


පිළිතුර:- ආණ්ඩුවට එහෙම එකතු වෙනවද නැද්ද කියන එක තීන්දු වෙන්නේ ඒ අයගේ දේශපාලන ඉරණමත් එක්කයි. දැන් ගිය අයගේ වගේම යන්න ඉන්නව නම් ඒ අයගේ අරමුණු තනතුරු පමණයි. ඒ අයට ඇමැතිකම් නැතිව ඉන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහෙම යනවා නම් ඒ යන අයට පක්ෂය හැටියට යූඑන්පියත් එක්ක ගිවිසුම් ගත වෙන්න බෑ කියලා ජනාධිපතිතුමා බොහොම විවෘතව කිව්වා. ඒ අනුව යන කෙනෙක් ඉන්නවා නම් ඒ යන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන් නොවෙයි පෞද්ගලික අරමුණු වෙනුවෙන්. එහෙම යන අයගේ දේශපාලන අනාගතය සුබද‌ායක වෙන්නෙත් නෑ. මම හිතනවා දැන්නම් එහෙම යන අය නෑ කියලා. යන අය ඉන්නවා නම් රටේ ඇතිවෙච්ච දේශපාලන අස්ථාවරත්වය එ් වගේම එක්සත් ජාතික පක්ෂය මේ රටට කරපු විනාශය සලකා බලන කොට අපේ කඳවුරේ කාටවත් යූඑන්පියට යන්න බෑ.  


• ප්‍රශ්නය:- නමුත් සමහරුන්ට තියෙනවා මහින්ද රාජපක්ෂ සමඟ ප්‍රතිවිරෝධයක්. අනික් පැත්තෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ශ්‍රී ලංකා එකේ මන්ත්‍රී කණ්ඩායමක් මෙහෙයනවා කියලා කියැවෙනවා. මේ පරිසරය තුළ...?   


පිළිතුර:- මම ඔබතුමා කියපු එක කාරණයකට එකඟ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ ප්‍රතිවිරෝධයක් තියෙන කෙනෙකුට රනිල් වික්‍රමසිංහ සමඟ යාළුකමක් තියෙන්න පුළුවන් කමක් නෑ. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රට බේරාගත්ත නායකයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ​ෙය් නායකයෙක්. මේ රටට සංවර්ධනය ගෙනාව නායකයා. මහජනයා අතර ජනප්‍රියම නායකයා. ඒ නායකත්වය අතහැරලා නූල් සූස්තරයෙන් අගමැති ධුරයට පත්වෙච්චි කෙනෙක් සමඟ ගනුදෙනු කරන්න යන්න පුළුවන් කමක් නෑ.  


• ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ චන්ද්‍රිකා සාධකයත් බොහොම ප්‍රබලයි?   


පිළිතුර:- මෙහෙමයි, එක එක්කෙනා ළඟ කුමන්ත්‍රණ ඇති. මහින්ද රාජපක්ෂ මැතිතුමා යළි බලයට එන එක වළක්වන. නමුත් මේ රටේ ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ අවස්ථාව එතුමාට ලබා දෙන්න. නමුත් උඩුමහලේ මොන කුමන්ත්‍රණ දියත් වුණත් පහත මාලයේ ජනතාව ඉන්නේ අපිත් එක්ක.  


• ප්‍රශ්නය:- පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු විශාල පිරිසකගේ මන්ත්‍රීධුර අහිමි වීමේ අවද‌ානමක් මතුවෙලා?  


පිළිතුර:- නෑ. අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට. සන්ධානයේ මහලේකම් කතානායකතුමාට ලිපියක් යවලා තියෙනවා මේ අය ඔක්කොම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් කියලා. එතකොට කතානායකතුමාට පාර්ලිමේන්තුවේ පිළිගන්න තියෙක එකම සාක්ෂිය පක්ෂයේ මහලේකම් එවන ලිපිය විතරයි.  


• ප්‍රශ්නය:- නමුත් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නා ඡායාරූප, වීඩියෝ දර්ශන මාධ්‍යයේ ගියා?  


පිළිතුර:- මාධ්‍යයේ මොනව ද නොගියේ. පින්තූරයක් ගියාට කතාබහ කළාට ඒක සාක්ෂියක් නොවෙයි. ඒ නිසා ඔය වගේ බාල තර්කවලින් මන්ත්‍රීධුර අහිමි කරන්න බෑ. ඒ නිසා කතානායකතුමාට පළමුවෙන්ම පිළිගන්න වෙනවා පක්ෂයේ මහ ලේකම්ගේ ලිපිය. එතුමා බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව ඒ ලිපියට අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරයි කියලා අපි විශ්වාස කරනවා.  


• ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවා මාධ්‍යයට කිව්වා ‘මේ අය පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා’ කියලා.  


පිළිතුර:- පොහොට්ටුව මේ රටේ ඇති වුණේ ඇයි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව මේ රටේ ප්‍රගතිශීලි ජනතාවගේ බලාපොරොත්තුවක් අනුවයි පොහොට්ටුව පිපුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයත් සමඟ නිල වශයෙන් හිටපු නිසා ඒ අය වෙන විකල්පයක් හෙව්වා ඒ කාරණය සම්බන්ධයෙන්. නමුත් දැන් ඒ සියලු දෙනා එකට එකතුවෙලා ඉන්නවා. එහෙම එකට එකතු වුණාම අලුතෙන් අර්බුද ඇතිවෙන්න විදියක් නෑ.  


• ප්‍රශ්නය:- එහෙම නම් දුමින් ද දිසානායක එහෙම කියන්නේ?  


පිළිතුර:- සමහරු හිතෙන් හද‌ාගත්ත අර්බුද ඇති. ඒ අර්බුද ඔස්සේ ඒ අය හිතනවාත් ඇති. නමුත් මම කියන්නේ එහෙම නොවුණොත් හොඳයි කියලයි. ඒ අය තමන්ගේ දේශපාලන අතීතය ගැන කල්පනා කරලා තමන්ගේ පවුලේ දේශපාලන අතීතය ගැන කල්පනා කරලා තමන්ගේ පවුලේ අය කරපු දේශපාලන කැප කිරීම් ගැන කල්පනා කරලා බලලා තාවකාලිකව ක්ෂණික තීන්දු නොගැනීම හොඳයි කියලයි මම හිතන්නේ.  

 

ඇයි ඔබ ජනාධිපතිවරයාගෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්නේ? සරත් ෆොන්සේකා මැතිතුමාගේ ක්‍රියා කලාපය ඔබ අනුමත කරනවද? එතුමා කරන ප්‍රකාශ බැලුවම කියන කතා බැලුවම ජනාධිපතිවරයා ගන්නා තීන්දු ඉතාම සාධාරණයි.


• ප්‍රශ්නය:- ශ්‍රී ලංකා එකෙන් යූඑන්පියට එන අයට ඇමැතිකම් නොදීම හරහා තමයි යන අය මෙල්ල කරගන්න ජනාධිපති මෛත්‍රි හිතන්නේ? එ්ක මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදීද?  


පිළිතුර:- ප්‍රජාතන්ත්‍රවාදීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයෙන් ඉවත් විය යුතුයි කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධාන​යේ විධායක සභාව තීරණය කරලා තියෙනවා සන්ධානය රජයෙන් ඉවත් විය යුතුයි කියලා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත්ත තීන්දුවට. පක්ෂය් නායකයා හැටියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ගත්තු තීරණයට එතුමාගේ නායකත්වය යටතේ සන්ධානයේ විධායක සභාව ගත්තු තීරණයට පිටින් ගිහින් කිසියම් සාමාජිකයකු කටයුතු කරනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදීද? ඒක ප්‍රජාතන්ත්‍රවාදීත් නෑ. එහෙම වැඩ කරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම නීති විරෝධි නෑ.  


• ප්‍රශ්නය:- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඇමැති ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කළත් ජනාධිපති මෛත්‍රි කියනවා ‘නෑ ඔහුට දෙන්නෙම නෑ’ කියලා? මේක ඒකාධිපතිත්වයෙන් වෙනස් වෙන්නේ කොහොමද?  


පිළිතුර:- සරත් ෆොන්සේකා මහත්තයා දැනගත යුතුයි එතුමා ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්. ඒ ෆීල්ඩ් මාර්ෂල්ගේ ප්‍රධාන සේනාධිනායකයා තමයි ජනාධිපතිවරයා. එතකොට ජනාධිපතිවරයාම තමයි ඔහුට ෆීල්ඩ් මාර්ෂල් තනතුර දීලා තියෙන්නේ. එතකොට කවුරු හරි මන්ත්‍රී වුණත් ඇමැති වුණත් ඔහු ජනාධිපතිවරයා විවේචනය කරනවා නම් ඒ නායකයාට පුළුවන් කමක් නෑ එහෙම කරන කෙනෙකුට පිළිගැනීමක් දෙන්න. ඒක හරි. මන්ත්‍රීවරයකුගේ පැවැත්මට එරෙහිවයි ඔහු කටයුතු කරන්නේ. ඒ නිසා ජනාධිපතිවරයාට කෙනෙකුට ඇමැතිකමක් දෙන්නත් පුළුවන්. නොදෙන්නත් පුළුවන්.   


• ප්‍රශ්නය:- ඒක අත්තනෝමතිකත්වය නොවෙයි?  


පිළිතුර:- නෑ. ඒක එතුමාගේ බලතල. තමන්ට තියෙන බලතලයක් එතුමා පාවිච්චි කරනවා.  


• ප්‍රශ්නය:- නමුත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි?  


පිළිතුර:- ඇයි ඔබ ජනාධිපතිවරයාගෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්නේ? සරත් ෆොන්සේකා මැතිතුමාගේ ක්‍රියා කලාපය ඔබ අනුමත කරනවද? එතුමා කරන ප්‍රකාශ බැලුවම කියන කතා බැලුවම ජනාධිපතිවරයා ගන්නා තීන්දු ඉතාම සාධාරණයි. වෙනත් විධායක ජනාධිපති කෙනෙකුට මේ තත්ත්වය ඇති කළා නම් ඔය පුද්ගලයාට මීට වඩා වෙනස් තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්.  


• ප්‍රශ්නය:- විජිත් විජිතමුණි සොයිසා, ෆවුසි, පියසේන ගමගේ, මනූෂ යූඑන්පියට ගියා. ඔවුන්ට එරෙහිව පක්ෂයක් විදියට ගන්නා තීන්දු මොනවාද?  


පිළිතුර:- පක්ෂයේ මධ්‍යම කාරක සභාව තමයි ඒ සම්බන්ධයෙන් තීන්දු කළ යුත්තේ කුමක්ද කළ යුත්තේ කියලා?  


• ප්‍රශ්නය:- පක්ෂයෙ මහ ලේකම්වරයා කියලා තිබුණා ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා?  


පිළිතුර:- නමුත් මට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඉන්න රැස්වීමකදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා ‘මම පක්ෂයක් හැටියට ආණ්ඩුවට යන එක නවත්වලා තියෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හා විධායක සභාවෙන් තීන්දුවක් අරගෙන. හැබැයි ඒක නොතකා පෞද්ගලික මට්ටමින් කවුරුහරි ක්‍රියා කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් පියවරක් ගන්නේ නෑ කියලා?  


• ප්‍රශ්නය:- නමුත් පක්ෂයේ මහ ලේකම් කිව්වේ වෙනත් කතාවක්?  


පිළිතුර:- තව මාස අටයිනේ තියෙන්නේ. මේ මාස අටට එවැනි තීන්දුවක් ගනීද කියලා මම දන්නේ නෑ. ඒක පක්ෂය තීන්දු කරන්න ඕනෑ. කොහොම වුණත් ජනතාව ඉන්න තැන තේරුම් ගත යුතුයි අපි කවුරුවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක නෑ. ජනතාව බලාපොරොත්තු වුණ විදියටම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා හැටියට පත් කළාට පස්සේ ජනතාව තුළින් මතුවෙච්ච ප්‍රබෝධය ඔබට මතක ඇති. එහෙම ප්‍රබෝධයක් මතු වුණේ ඇයි කියන එක මේ දේශපාලනඥයෝ තේරුම් ගත යුතුයි. අනික ලිබරල්වාදය මේ රටේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා සාමාන්‍ය මිනිහාගෙ හැඟීම් පිළිබඳ අවබෝධයක් නැතිව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා සාමාන්‍ය ජනතාවගෙන් සම්පූර්ණයෙන්ම ඈත්වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා එවැනි පක්ෂයකට මුක්කු ගැසීම ජනතාවට කරන ද්‍රෝහිකමක් කියලයි මම දකින්නේ. එවැනි මුක්කු ගැසීම්වලින් කවද‌ාවත් දේශපාලනික වශයෙන් බේරීමක් නම් වෙන්නේ නෑ.  

 

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුව ගන්නේ අපි හදන, නොබෝ දවසකින් හදන සියලුම පක්ෂ එකතු කරලා හදන පුළුල් සංධානයකින්. ඒ වගේම ජනප්‍රියම පුද්ගලයා අපි ඒ වෙලාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.


• ප්‍රශ්නය:- ඔබ කියනවා එජාපය ජනතාවගෙන් දුරස් වෙලා කියලා. අගමැතිකම බාර ගන්න කලින් මහින්ද රාජපක්ෂට තිබුණ පිළිගැනීම තවමත් තියෙනවා කියලා ඔබ හිතනවද?  


පිළිතුර:- එතුමට ගහන්න ගහන්න ඒ පිළිගැනීම වැඩිවෙලා තියෙන්නේ. අද තේරෙනවා එතුමට ගහන කණ්ඩායම් කවුද කියලා. නිද‌ාගෙන හිටපු යූඑන්පී පාක්ෂිකයා ප්‍රබෝධමත් වුණාම හිතනවා ඒ ගොල්ලන්ගේ ඡන්ද පදනම වැඩිවෙලා කියලා. එහෙම කිසිම වැඩිවීමක් වෙලා නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනප්‍රියත්වය අඩුවෙලත් නෑ. දැන් එතුමා තව තවත් ජනප්‍රිය වෙනවා මේ පහරදීම තුළ.  


• ප්‍රශ්නය:- පහරදීම කියලා කිව්වේ?  


පිළිතුර:- ඇයි එතුමාගේ විපක්ෂනායක කමට එරෙහිව නඩු කියන්න හදනවා. ඒකට පාර්ලිමේන්තුවේ නොයෙක් දේවල් කියනවා. ඒවායින් පේනවා රටට ආදරය කරන නායකයකුට එහෙම ගහන්න ගියාම ඒ නායකයා වටා ජනතාව වඩාත් උද්යෝගයෙන් රොක් වෙනවා. ඒ නිසා මේ සියල්ලම එතුමාට වෙච්ච ආශිර්වාදයක් හැටියටයි මම දකින්නේ.  


• ප්‍රශ්නය:- ආණ්ඩුවේ ඉඳලා පොහොට්ටුවට ආපු කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රිත් මහින්ද රාජපක්ෂ අමාරුවේ දැම්මා කියලා කියන අයත් ඉන්නවා?  


පිළිතුර:- නෑ ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය දෙයක්. එහෙම ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් තමන්ගේ වාසියට. නමුත් මේ සියලු දෙනා කටයුතු කළේ සද්භාවයෙන්නේ.

අගමැතිකමට මහින්ද මහත්තයා දිවුරුම් දුන්නෙත් රට වෙනුවෙන් සද්භාවයෙන්. එතුමා ඉල්ලලා ගත්තු එකකුත් නොවෙයි. කාගෙත් අදහසක් තිබුණා මේ ආණ්ඩුවට තවදුරටත් යන්න දුන්නොත් මේ රට ගොඩගන්න බැරි විදියටම විනාශ වෙනවා කියලා. ඒ නිසා මේකට මැදිහත් වෙච්ච අයගේ අරමුණ වුණේ රට බේරා ගැනීම. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව වුණෙත් ඒක. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධුරය බාර ගත්තේ එතුමට කරපු ආරාධනාව නිසයි. ඒ සියල්ලම කළේ රටේ තිබුණු තත්ත්වය අනුව. එතකොට මේ යූඑන්පී එකට ඇහැ ඇරුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවෙලා ගත්ත තීන්දුවලින් පස්සෙයි. එහෙම නැත්නම් යූඑන්පිය යටතේ ඉන්ධන මිල අඩුවෙන්නෙත් නෑ.  


• ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න ජනාධිපති මෛත්‍රිට අවංක උවමනාවක් තිබුණා නම් රනිල් අගමැතිවරයට එරෙහිව විශ්වාසභාංග යෝජනාව ගෙනාපු වෙලාවේ බොහොම පහසුවෙන්ම කරන්න තිබුණා?  


පිළිතුර:- එතුමා ඒ උත්සාහය ගත්තා. ඒ විතරක් නොවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව නිල නිවෙසට කැඳවලා බොහොම පැහැදිලිව කිව්වා ‘අගමැති ධුරයෙන් ඉවත් වෙන්න’ කියලා. විශ්වාසභංගයෙන් පස්සේ වෙනත් කෙනෙක්ව අගමැති ධුරයට පත් කරන්න හැදුවා. ඒ ඇතිවුණ තත්ත්වයත් එක්ක ඇතිවුණ අර්බුදය දිගටම ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක වැඩ කරන්නට බැරි තත්ත්වයකට ආවම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනා කළා අගමැති ධුරය බාර ගන්න කියලා. ඒ නිසා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පළමු අවස්ථාව ආ සැණින් ඒක කළා. ඒකේ කිසිම වැරැද්දක් නෑ.  


• ප්‍රශ්නය:- නමුත් විශ්වාසභංගයේ දී ඔබ ඇතුළු 16 ක් ඒකාබද්ධයට ආවා. මන්ත්‍රීවරුන් 23 දෙනෙක් නතර වුණා. එහෙම වුණේ ජනාධිපති මෛත්‍රිගෙන් කෙළින් වචනයක් දුන්නේ නැති නිසයි?  


පිළිතුර:- නෑ අපි ආණ්ඩුව ඇතුළේ හිටියට හැමද‌ාම ආණ්ඩුවේ වැරදි වැඩවලට විරුද්ධව කතා කරපු අය. අපේ බලාපොරොත්තුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්කර ගැනීම. අපේ සටන වුණේ ඒක. ඒ අවස්ථාවේ අපි ඒ නිසි පියවර අරගෙන එළියට ආපු එකෙන් ප්‍රධානම දේ රටට හානිකරන තීන්දු ගත හැකි තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට අහිමි කිරීමයි. ඒ වෙලාවෙදි ජනාධිපතිතුමා පළමුවැනි විධායක සභා රැස්වීමේදී පැහැදිලිවම ඒ 23 දෙනාටම නොකියා කිව්වා ‘දැන් පණ්විඩයක් ජනතාව දීලා තියෙනවා පළාත් පාලන මැතිවරණයේදී අණ්ඩුවත් එක්ක මිනිස්සු නෑ කියලා. ජනතාව තීන්දුවක් දීලා තියෙනවා ආණ්ඩුව ගෙදර යවන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට පිළිගැනීමක් නෑ කියලා. ඒ නිසා මේ සියලු දෙනා තේරුම්ගත යුතුයි අපි ආණ්ඩුවෙන් එළියට යා යුතුයි කියලා. ඒ වගේම ඒ තීන්දුව ගන්න කියලත් කිව්වා.  


• ප්‍රශ්නය:- ඊළඟ ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහාය අරගෙන දිනන්න ජනාධිපති මෛත්‍රි මේ කුමන්ත්‍රණය කළා කියලා කිව්වොත්?  


 පිළිතුර:- නෑ මම ඒක පිළිගන්නේ නෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුව ගන්නේ අපි හදන, නොබෝ දවසකින් හදන සියලුම පක්ෂ එකතු කරලා හදන පුළුල් සංධානයකින්. ඒ වගේම ජනප්‍රියම පුද්ගලයා අපි ඒ වෙලාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.  


• ප්‍රශ්නය:- ඒ කියන්නේ ජනාධිපති මෛත්‍රිට ඇඩ්‍රස් නෑ?  


පිළිතුර:- නෑ නෑ සියලු පක්ෂවල එකඟතාවයකින් තමයි අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ. ඒ ජනප්‍රිය පුද්ගලයා කවුද කියලා තව මාස හතකට පස්සේ අපි බලන්න ඕනෑ.

සැප්තැම්බර් මාසයේ දී තමයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕනෑ. ඒකට මාසයකට විතර කලින් තමයි ජනාධිපතිවරණයෙ අපේක්ෂකයා කවුද කියලා කියන්නේ. මීට මාස 6 කට පෙර තිබුණ තත්ත්වය නොවෙයි අද ර​ෙට් තියෙන්නේ. පරිවර්තනයක් වුණා. හෙට අනිද්ද‌ා තව මොනවා වෙයිද දන්නේ නැහැ. මේ ආණ්ඩුවට තව දවස් කීයද කියලා දන්නෙත් නෑ. ඉදිරියේ දී එන ප්‍රශ්න මොනවද දන්නෙත් නෑ. ඒ සියලු දේවල් සලකලා බලලා තමයි සුදුසුම හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ.  


• ප්‍රශ්නය:- පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂගෙ නම කියවුණා. බැසිල් රාජපක්ෂගෙ නමත් කියැවෙනවා. මෛත්‍රිත් ඉන්නවා. මොකක් වෙයිද?  


පිළිතුර:- නම් කොච්චර කියවෙන්න පුළුවන්ද? ඔය හැම නමක්ම ඉදිරිපත් කරන්න බැහැනේ. සුදුසුම අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් සියලුම පක්ෂවල නායකයන්ගේ එකඟතාවෙන් ඉදිරිපත් කරයි. අපි බලමු ඒ ජයග්‍රාහී අපේක්ෂකයා කවුද?  


• ප්‍රශ්නය:- ලබන ජනවාරි 9 වැනිද‌ායින් පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරණය කැඳවන්න පුළුවන්. නියමිත කාලයම යයිද?  


පිළිතුර:- ඒක තීන්දු වෙන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි. ජනාධිපතිවරයට පුළුවන් ඕනෑනම් ජනාධිපතිවරණය කැඳවන්න. එතකොට ජනාධිපතිවරයා හිතුවොත් නියමිත කාලයම මම ඉන්නවා කියලා එතුමාට ඉන්නත් පුළුවන්. ඒ නිසා ඒක මට කියන්න බැහැ. ඒක ජනාධිපතිවරයාගේ අභිමතය.  


• ප්‍රශ්නය:- පළාත් සභා ඡන්දය ගැනත් කියැවෙනවා. පළාත් සභා ඡන්දය ආවොත් සූද‌ානම්ද?  


පිළිතුර:- අපිට ඉතාම ඉක්මනින් පළාත් සභා ඡන්දයක් අවශ්‍යයි. එය කැඳවිය හැක්කේ පාර්ලිමේන්තුවට විතරයි. ඒක කරන්න එක්සත් ජාතික පක්ෂය කීයටවත් කරයි කියලා හිතන්න බෑ. එජාපයේ සහයෝගය නැත්නම් ඒක සම්මත කරගන්න බෑ. යූඑන්පිය හිතාමතාම තවත් අවුරුද්දකින් විතර පළාත් සභා ඡන්දය කල් ද‌ාන්නයි බලන්නේ. 

 

අපි ආණ්ඩුව ඇතුළේ හිටියට හැමද‌ාම ආණ්ඩුවේ වැරදි වැඩවලට විරුද්ධව කතා කරපු අය. අපේ බලාපොරොත්තුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්කර ගැනීම. අපේ සටන වුණේ ඒක. ඒ අවස්ථාවේ අපි ඒ නිසි පියවර අරගෙන එළියට ආපු එකෙන් ප්‍රධානම දේ රටට හානිකරන තීන්දු ගත හැකි තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට අහිමි කිරීමයි.

 
• ප්‍රශ්නය:- දැන් ආණ්ඩුව තොග පිටින් සහන දෙන අයවැයක් ඉදිරිපත් කළොත් පොහොට්ටුවට අබ සරණයි?  


පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනතාවට සහන දීමේ සිතිවිල්ලක්වත් පහළ වෙන්නේ නෑ. එතුමාට තියෙන්​ෙන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීම විතරයි. එහෙම සතුටු කරනවා කියන්නේම ජනතාව දුකට පත්වෙනවා කියන එකයි. ඒ නිසා පොහොට්ටුව හොඳින් පිපෙයි. බුලත්කොළය හොඳට තියෙයි. හැමදේම හොඳට සිද්ධ වෙයි. 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්