අපට පරාජය කරන්න පහසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි


දේශපාලන ලෝකය ගිනියම්ය. කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැකි තරමට අවිනිශ්චිත බවින් පිරී පවතී. මේ ඒ දේශපාලනය ගැන රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.  

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල


ප්‍රශ්නය:- කොහොමද ඔබතුමාට අවුරුදු?  


පිළිතුර:- මගේ අවුරුද්ද මේ රටේ මිනිස්සු අලුත් අවුරුද්ද ඉතාම සතුටෙන් ගත කරනවා දැකීමයි. ඒ සතුට මට තියෙනවා.  


ප්‍රශ්නය:- නමුත් මේ ආර්ථික වටපිටාව තුළ අවුරුදු කනවා කියා එද‌ා වේලවත් කන්න පුළුවන් තත්ත්වයක් නෑ කියලා තමයි කියන්නේ?  


පිළිතුර:- එහෙම කියන පිරිසක් ඉන්නවා. ආණ්ඩුව මොකක් වුණත් එහෙම කියන පිරිසක් ඉන්නවා. අපි මේ ආණ්ඩුව ගත්තේ දවස් 52 ක කුමන්ත්‍රණයකින් පස්සේ. ඒ නිසා ඇතිවෙච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් ඇති කරලා තියෙනවා. රජයේ සේවකයන්ට අවශ්‍ය සහන දීලා තියෙනවා. හැම ක්ෂේත්‍රයක් ගැනම අපි අවධානය යොමු කරලා පියවර අරගෙන තියෙනවා. ගමට ගියාම ඒක හොඳට පේනවා.  


ප්‍රශ්නය:-අයවැයෙන් සිහින මාළිගා හැදුවට මහ පොළොවේ එහෙම දෙයක් නෑ? 

 
පිළිතුර:- අයවැය ඉදිරිපත් කරපු දවසේ ඉඳලම ඔය කතාව කියනවා. අපි රජයක් වශයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන තෘප්තියක් අපට තියෙනවා. ආර්ථිකය ගත්තොත් ව්‍යවසායකයන් ශක්තිමත් කරමින් සියලු දෙනා අත මුදල් ගැවසෙන පරිසරයක් සකස් කිරීම තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය. අද වෙනකොට ඒ ඉලක්ක කරා අපි වේගයෙන් ගිහින් තියෙනවා.  


ප්‍රශ්නය:-යුද්ධය තියෙන කාලෙවත් ලයිට් කැපුවේ නැහැ’ කියලා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කිව්වා?  


පිළිතුර:- එතුමාට අමතක වෙලා. එතුමගේ කාලයේ ලයිට් කැපුවා. ඒ කාලේ තමයි කරු ජයසූරිය මැතිතුමා ඒ ආණ්ඩුවට සම්බන්ධ වෙලා සියයට සීයක්ම විදුලිය යථා තත්ත්වයට පත් කළේ.  


ප්‍රශ්නය:- වැස්ස නැති වුණාම ලයිට් කපන්න ආණ්ඩුවක් මොකටද කියලා අහන අයත් ඉන්නවා?  


පිළිතුර:- සොබා දහමත් අපට ටිකක් අකාරුණික වුණා. අපි බලන්න ඕනෑ මේකට තියෙන උත්තරය මොකක්ද කියලා. පහුගිය වසර හතර තුළ මෙගාවොට් කොපමණ ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වෙලා ද කියලා මම රවි කරුණානායක ඇමැතිතුමාගෙන් පාර්ලිමේන්තුවේදී ඒ ගැන ඇහුවම එතුමා කිව්වේ ගිය අවුරුදු හතර ඇතුලත එක මෙගාවොට් එකක්වත් ජාතික විදුලිබල පද්ධතියට ඇතුල් කරලා නෑ කියලා. මම ඒ ගැන වැඩි විස්තර හෙව්වේ නෑ. මූලික ප්‍රශ්නය ඒක තමයි. ගිය අවුරුදු හතර ඇතුළත එක මෙගාවොට් එකක්වත් එකතු කරලා නෑ.  


ප්‍රශ්නය:-පහුගිය අවුරුදු හතර කිව්වේ ඒ ඔබේ ආණ්ඩුව?  


පිළිතුර:- අපේ ආණ්ඩුව තමයි. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැති කෙනෙක්නේ හිටියේ.  


ප්‍රශ්නය:-හිටපු ඇමැති රංජිත් සියඹලාපිටිය වගකිව යුතුයි කියල ද ඔබ කියන්නේ?  


පිළිතුර:- මම එහෙම කියන්නේ නෑ. හේතුව මොකක්ද දන්නේ නැහැනේ. අපි බලන්න ඕන ප්‍රගතිය ගැනනේ. රවි කරුණානායක ඇමැතිතුමා කරන ප්‍රකාශය සත්‍යයක් නම් ඒක බරපතළ තත්ත්වයක්. ඒකනේ මම මුල ඉඳලම කිව්වේ 2015 දී අපි ආණ්ඩුව හැදුවට කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු දෙකක් තිබුණා. කැබිනට් මණ්ඩලයේ කකුලෙන් ඇදීම් හරියට තිබුණා.  


ප්‍රශ්නය:- විදුලියටත් ඒ ප්‍රශ්නය තිබුණා?  


පිළිතුර:- නෑ නෑ විදුලියට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් පොදුවේ තීන්දු තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් තිබුණා. මේ කඹ ඇදීම් නොතිබුණා නම් ගොඩාක් ක්ෂේත්‍රවල අද තියෙන ප්‍රශ්න මතුවෙන්නේ නැහැ.  


ප්‍රශ්නය:-ඔබ තමයි පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව රැක ගැනීමේ සටනේ සෙන්පතියා. අය වැය පරාජය නොවී බේරගන්න ඔබ ගහපු ගේම මොකක්ද?  


පිළිතුර:- අපිට බහුතරයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ඡන්දය නොදී හිටියා.  


ප්‍රශ්නය:-ඒකට හේතුව?  


පිළිතුර:- ඒ කණ්ඩායමේ බොහෝ දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්න ඉන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය.  


ප්‍රශ්නය:- ඒ කණ්ඩායමේ කී දෙනෙක් විතර ඉන්නව ද?  


පිළිතුර:- බර තොගයක් ඉන්නවා. පොහොට්ටුවට ගිය අය නම් අපට විරුද්ධව ඡන්දය දුන්නා. ඡන්දය නොදුන්න අය අපිත් එක්ක එකට වැඩ කරන්න ඉන්නේ.  


ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානය නැත්නම් ආණ්ඩුවට බහුතර බලය නෑ?  


පිළිතුර:- දෙමළ ජාතික සන්ධානය ඉතින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනේ. ඒ අයව විශේෂයෙන් බෙදන්න බැහැනේ. ශ්‍රී ලංකාවේ පුරවැසියෝ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. ඒ අය දෙමළ ජාතික සන්ධානයේ කියල අහක ද‌ාන්න බැහැනේ. යන ගමනක් ඉතින් ඔවුන් එක්ක තමයි. ඒ අයව අත් හැරලා ගණන් හදනවා නම් ඒක වෙනම රාජ්‍යයකට කත් ඇදීමක්.  


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය ආණ්ඩුවේ බහුතරය තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය නිසා නේද කියන එකයි?  


පිළිතුර:- මම ඔබෙන් මෙහෙම අහන්නම්කෝ. ඔවුන් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරි ද‌ායකත්වයක් දක්වන එක නරක ද? ඔවුන්ට තිබුණ චෝදනාව තමයි ඔවුන් කතා කරන්නේ උතුර හා නැගෙනහිර ගැන විතරයි කියලා. නමුත් ඔවුන් අද මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණය වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් කරපු සටන මතකද? ඒක හරිම වැදගත්. අපි ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. දෙමළ ජාතික සන්ධානයත් පාර්ලිමේන්තුව තුළ වෙන්නේ මොකක්ද කියන එක ගැන අවදියෙන් ඉන්නේ. මේ අය ඇත්තටම හිටියේ දුරස්වනේ. ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්න බෑ කියපු දෙමළ නායකයෝ හිටිය. අද එහෙම නෑ. ඔවුන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීලා තියෙනවා ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. අපිත් එක්ක ඔවුන් වැඩ කරනවා. ඒක නරක ද? එහෙම ක්‍රියාකාරි ද‌ායකත්වයක් දැක්වීම ගැන මුළු රටම සතුටු විය යුතුයි.  


ප්‍රශ්නය:-ඔබ ප්‍රශ්නය මග අරිනවා?  


පිළිතුර:- නෑ නෑ මම මග ඇරියේ නෑ. මොකක්ද ප්‍රශ්නය?  


ප්‍රශ්නය:-මෙවර අය වැය වැඩි ඡන්දයෙන් සම්මත කර ගත්තේ දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයෙන්?  


පිළිතුර:- පැහැදිලිවම ඔව්.  


ප්‍රශ්නය:-ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමේ සාකච්ඡාවල ඔබ ප්‍රමුඛයෙක්?  


පිළිතුර:- ඔව්. ඒ අනුව සාකච්ඡාවකට මම ගියා.  


ප්‍රශ්නය:- එහෙම නම් කියන්න. මොනවද ඔවුන්​ගේ කොන්දේසි?  


පිළිතුර:- මම එකක් පැහැදිළිව කියන්නම්. කිසිම කොන්දේසියක් නෑ.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ කිසිම හේතුවක් නැතිව දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහාය දෙනවා?  


පිළිතුර:- මම මුලිනුත් කිව්වනේ. ඒ හැම සාකච්ඡාවකටම මමත් ගියා. ඔවුන් කිසිම කොන්දේසියක් දැම්මේ නැහැ. ඔවුන් ඉල්ලුවේ උතුරේ හා නැගෙනහිර සංවර්ධන කටයුතුවලට ඔවුන් සම්බන්ධ කර ගන්න හා පළාත් සභා ශක්තිමත් කරන්න කියල විතරයි.  


ප්‍රශ්නය:- ෆෙඩරල් ව්‍යවස්ථාව ඉල්ලුවේ නෑ?  


පිළිතුර:- කිසිවිටෙකත් නෑ.  


ප්‍රශ්නය:-උතුර හා නැගෙනහිර යළිත් ඒකාබද්ධ කරන්න ඉල්ලුවෙත් නැද්ද?  


පිළිතුර:- මම මුලින්ම කිව්වේ කිසිම කොන්දේසියක් නෑ කියලා. එහෙම කිසිම දෙයක් සාකච්ඡා වුණේ නෑ. ඔවුන් ඉල්ලන්නේ හරිම සරළ දෙයක්. ඔවුන් කියන්නේ දකුණේ තියෙන සංවර්ධනය අපටත් දෙන්න කියලයි. ඉතින් අපි ඒ අයට කිව්වා එහෙම වෙන්න නම් ඔවුනුත් රට තුළ දේශපාලනයේ සක්‍රිය ලෙස තදින්ම ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඔවුන් ඉල්ලන්නේ සංවර්ධනයයි. පළාත් සභා සංවර්ධනය කිරීමයි. අද මම ඉතාම පැහැදිලිව කියන්නම්. පළාත් සභා ශක්තිමත් කිරීම ගැන පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟයි. ඇත්ත වශයෙන්ම දකුණේ මහ ඇමැතිතුමා ඉදිරිපත් කරලා තියෙන යෝජනා උතුරේ මහ ඇමැති ඉදිරිපත් කරපු යෝජනාවලට වඩා බරපතළයි.  


ප්‍රශ්නය:- දකුණේ මහ ඇමැති මොනවද ඉල්ලන්නේ?  


පිළිතුර:- දකුණේ කට්ටිය විශාල බලයක් ඉල්ලුවා. අපි දෙමළ ජාතික සන්ධානයට වෙච්ච එක පොරොන්දුවක් තමයි පළාත් සභා ශක්තිමත් කරනවා කියන එක.  


ප්‍රශ්නය:- පළාත් සභා ශක්තිමත් කරනවා කියන එකේ තේරුම?  


පිළිතුර:- පළාත් සභා පනත සම්මත වුණාට පළාත් සභාවල ඒ පනතේ වගන්ති ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක අපි කවුරුත් දන්නවා.  


ප්‍රශ්නය:-උතුරේ පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල දෙන්න ඔබලා පොරොන්දු වුණා?  


පිළිතුර:- නෑ නෑ ඉඩම් බලතලවලට ජාතික ඉඩම් කොමිසම පත් කරනවා. ඒක යටතේ අපි ඉඩම් ලබා දෙනකොට රටේ තියෙන ජන අනුපාතය අනුව ඉඩම් ලබා දෙනවා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.  


ප්‍රශ්නය:- එතකොට පොලිස් බලතල?  


පිළිතුර:- ජාතික පොලිස් කොමිසම දැන් පත්කරලා තියෙනවනේ. ඒ ජාතික පොලිස් කොමිසම යටතේ පළාත්බද පොලිස් කොමිසම් පිහිටුවනවා. ඒවා ජාතික පොලිස් කොමිසම යටතේ පාලනය වෙනවා.  


ප්‍රශ්නය:-ඉඩම් පනත සංශෝධනය කරලා ඇමෙරිකන් චැලේන්ජ් කෝපරේෂන් සමාගමට ආර්ථික කොරිඩෝවක් හැදීමේ සැලැස්මක් තියෙන බවට චෝදනාවක් තියෙනවා?  


පිළිතුර:- නෑ නෑ තවම ඒක සාකච්ඡා කරලා නෑ. අදහසක් පමණයි තියෙන්නේ. ඒ පළාත්වල ඉඩම් වේලි වේළි තියෙන්නේ. ලංකාවේ ඉඩම්වලින් සියයට 80 ක අයිතිය තියෙන්නේ ආණ්ඩුවට. පෞද්ගලික අංශයට නොවෙයි. ආණ්ඩුවට අයිති ඉඩම් බලාපොරොත්තු වෙච්ච ආකාරයට දියුණු වෙලා නෑ. සංවර්ධනය වෙලා නෑ. ඒකයි අපේ අගමැතිතුමා හදන්නේ දීර්ඝ කාලයක් ඉඩම්වල පදිංචි වෙලා ඉන්න අයට ඔප්පු දෙන්න. ඒ අයට ඔප්පුව දුන්නාම ඒක බැංකුවට තියලා හරි ඒ ඉඩම් දියුණු කරන්න පුළුවන්. ණය ගන්න පුළුවන්. ණය අරගෙන ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. අද තියෙන නීතිය අනුව භුක්තිය තිබුණට අයිතිය නැති හින්ද එ් ඉඩම් සංවර්ධනය කරන්න බෑ. බැංකු ණයක් ගන්න බෑ. ඔප්පු දීලා පදිංචිකරුවන්ට අයිතිය දුන්නාම ඒක රටේම පොදු සංවර්ධනය බවට පත්වෙනවා.  


ප්‍රශ්නය:-අලුත් ඉඩම් පනත හරහා විදේශිකයන්ට හිතුමනාපේ අපේ රටේ ඉඩම් මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා?  


පිළිතුර:- නෑ නෑ අපි විකුණන්නේ නැහැ. දීර්ඝ කාලීන බදු දීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගාලු මුවදොර ඉඩම් ෂැංග්‍රිලා හෝටලයට වික්කා. පෝර්ට් සිටි එකත් විකුණලා තිබුණේ. නමුත් අපි ආවට පස්සේ පෝර්ට් සිටි එකත් වරායක අනූනව අවුරුද්දකට යටත් කළා. අපි කිසි ඉඩමක් විකුණන්නේ නෑ. බදු දෙනවා විතරයි.  


ප්‍රශ්නය:-දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මාධ්‍යයට කියලා තිබුණා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් නුදුන්නොත් හිතුණ වෙලාවක අපි ආණ්ඩුව පෙරළනවා කියලා?  


පිළිතුර:- ඒ අයට ඒ නිදහස තියෙනවා?  


ප්‍රශ්නය:- ඔවුන් ඉල්ලන්නේ ආණ්ඩුව ඔවුන්ට වෙච්ච පොරොන්දු ඉටු කරන්න කියලයි?  


පිළිතුර:- ඔයා ආයෙත් එන්නේ අර ප්‍රශ්නයටමනේ. එහෙම පොරොන්දු නැහැ. පළාත් සභා ශක්තිමත් කිරීමත් දකුණට දෙන සංවර්ධනය ඔවුන්ට දෙන්න කියලත් තමයි ඔවුන් ඉල්ලන්නේ. දේශපාලන ඉල්ලීම් නැහැ.  


ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානයේ පදයට නටන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා?  


පිළිතුර:- නෑ, අපි ඔවුන්ට ජාතික දේශපාලනයට එන්න ඉඩ විවර කරලා තියෙනවා. නිදහසින් පස්සේ ඒ අවස්ථාව ඔවුන්ට හිමිවන්නේ පළමුවරටයි. ඒක ඉතාම වැදගත්. සංහිඳියාව හදන්න පුළුවන් වෙන්නේ එහෙමයි. එහෙම නැතිව ඔවුන් අමතක කරලා ගමනක් අපි ගියොත් ඒ තරුණයෝ නැවත නොමග යන්න පුළුවන්.  


ප්‍රශ්නය:-පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට ඉඟි පළ වී තිබෙනවා. ආණ්ඩුවට දැන් ඉඳලාම ගෝඨා භයක් ඇතිවෙලා?  


පිළිතුර:- අනේ අපිට කිසිම බයක් නැහැ. අපට පරාජය කරන්න පුළුවන් පහසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි.  


ප්‍රශ්නය:-ඔබ එහෙම කියන්නේ?  


පිළිතුර- මම ඒක පැහැදිලිවම කියනවා. පහුගිය ඉරිද‌ා සන්ඩේ ටයිම්ස් පත්තරය සමික්ෂණයක් කරලා තිබුණා. ඒකේ සියයට 45 ක්ම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන පැහැදිලි අවබෝධයක් නැහැ කියලා. ඒකේ බහුතරය තියෙන්​ෙන් එක්සත් ජාතික පක්ෂයට. ගෝඨාභය ගැන අවබෝධයක් නැහැ කියලා සියයට 45 ක් කියනවා. ඒක තමයි ඇත්ත.  


ප්‍රශ්නය:-අවබෝධයක් නැහැ කියන්නේ දේශපාලනඥයකු හැටියට කියලා හිතුවොත්?  


පිළිතුර:- මම දන්නේ නැහැ. ඒ අය අදහස් කළේ මොකක්ද කියලා. ඒ ගොල්ලෝ කියලා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කවුද කියලා වැඩි අවබෝධයක් නැහැ කියලයි.  


ප්‍රශ්නය:-එහෙම ගෝඨා- භයක නැත්නම් ඇයි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරන්න කුමන්ත්‍රණය කරන්නේ?  


පිළිතුර:- ඒ නඩු පැවරීම වෙන්නේ කුමන්ත්‍රණයක් නිසා නොවෙයි. ලසන්ත වික්‍රමතුංගගේ දරුවා වගේම යම් යම් ප්‍රශ්නවලට ලක්වුණ අය එහෙම නඩු පවරලා තියෙනවා. ඒකට අපේ සම්බන්ධයක් නෑ. කිසිම සම්බන්ධයක් නෑ.  


ප්‍රශ්නය:-නමුත් මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැහැදිළිවම කිව්වා ඒ කුමන්ත්‍රණය කළේ ඇමැති මලික් සමරවික්‍රමගේ මහනුවර නිවෙසේදී කියලා. ඇමැති මංගලත් එතැන හිටියා කියලා විමල් කිව්වා?  


පිළිතුර:- නෑ. කොහොමද කුමන්ත්‍රණයක් කියලා කියන්නේ? ඇමෙරිකවේ එහෙම කුමන්ත්‍රණ කරලා නඩු ද‌ාන්න බෑ.  


ප්‍රශ්නය:-ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණ දවස්වල හැන්සාඩ් වාර්තා කියෙව්වොත් එද‌ා එජාපය කී දේවල් බලාගන්න පුළුවන්?  


පිළිතුර:- හිටපු හමුද‌ාපති සරත් ෆොන්සේකා එහෙම දෙයක් කළා කියලා කොහේදිවත් කියලා නෑ. ඇත්ත වශයෙන්ම හමුද‌ාවේ වගකීම තමයි ආරක්ෂාව සැපයීම. ඒ අදහසින් වෙන්නැති යම් යම් ප්‍රකාශ කරන්න ඇත්තේ.  


ප්‍රශ්නය:-ඔබේ ආණ්ඩුවට අවුරුදු හතරකට කිට්ටුයි. ඔය පරික්ෂණ අවසන් කරන්නේ නැත්තේ ඇයි?  


පිළිතුර:- නෑ ඉතින් ඔය පරික්ෂණ අවංකවම කියන්න ඕනෑ ඔය ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ගිය වෙලා​ෙව් අපේ රටේ පාලකයොනේ ඒකට විරුද්ධ වුණේ. ටෙලිවිෂන් එකට ගිහිල්ලා කිව්වනේ මේ වගේ රණවිරුවෙක් අත්අඩංගුවට ගන්න ගියා කියලා. ඕක තමයි ප්‍රශ්නය. හැම දේකදිම කකුළෙන් ඇද්ද?  


ප්‍රශ්නය:-පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියනවා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අද‌ාළව ප්‍රබල ඇමැතිවරුන් අත්අඩංගුවට ගන්නවා කියලා?  


පිළිතුර:- එහෙම කිව්වට ඕක වෙනකම් මට විශ්වාස නෑ අවංකවම කියනවා නම්.  


ප්‍රශ්නය:- ඒ ඇමැතිවරු ඔබේ ආණ්ඩුවේ?  


පිළිතුර:- විපක්ෂය එහෙම කිව්වට බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් කිසිම ඇමැති කෙනෙකුට චෝදනාවක්වත් නෑ. සාක්ෂියක්වත් නෑ. අපේ ඇමැතිකෙනෙකුට චෝදනාවක් තියෙනවා නම් නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන්න එපැයි. අපිත් කියනවා චෝදනා තියෙනවා නම් සාක්ෂි තියෙනවා නම් නඩු පවරන්න කියලා.  


ප්‍රශ්නය:-ඔබ කොහොම කිව්වත් ගෝඨාභය ආවොත් ආණ්ඩුවට අමාරුයි?   


පිළිතුර:- නෑ අපට පරාජය කරන්න පහසුම අපේක්ෂකයා එයා. එයාගේ පැටිකිරියෙ ගොඩක් දේවල් තියෙනවා. අධිකරණයේ නඩු තියෙනවා. අනික් අතට ඔහු දේශපාලනඥයෙක් නෙවෙයි. ඔහුට විරුද්ධව විශාල ජනමතයක් රටේ ගොඩනැගෙනවා බලන්නකෝ.  


ප්‍රශ්නය:- ඔහු දේශපාලනඥයෙකු නොවේ නම් අැයි 2010 දී ඔබලා සරත් ෆොන්සේකා තෝරා ගත්තේ?  


පිළිතුර:- ෆොන්සේකාව එද‌ා තෝරා ගත්තේ යුද ජයග්‍රහණය එක්ක. අපි විශ්වාස කළා ඔහුට ජනමතයක් රටේ ඇති කියලා. නමුත් එහෙම ජනමතයක් ඔහුට ලැබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු රහිත ආකාරයට ඔහුගේ ඡන්ද ව්‍යාපාරය ඇද වැටුණා. ඔහුත් හිතුවක්කාර විදියට කටයුතු කළ නිසා ඔහුගේ ඡන්ද ව්‍යාපාරය ඇද වැටුණා. ඔබට මතකනේ එයා කියපු දේවල්. වෙච්ච දේවල්.  


ප්‍රශ්නය:-කවුද ඔබේ කඳවුරේ අපේක්ෂකයා. ඇයි කියන්න භය?  


පිළිතුර:- අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වෙලා අපි අපේ අපේක්ෂකයා තෝරා ගන්නවා. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. පවුලකටවත් පරපුරකටවත් සීමා වෙච්ච පක්ෂයක් නොවෙයි අපි. නියමිත කාලය ආවම අපේ අපේක්ෂකයා කියන්නම්.  


ප්‍රශ්නය:- ඇමැති සජිත් ප්‍රේමද‌ාසත් තමන්ගේ සුදුසුකම් සපුරා ගනිමින් හා ප්‍රදර්ශනය කරමින් ඉන්නවා?  


පිළිතුර:- ඔව්. එ්කත් කෘත්‍යාධිකාරි මණ්ඩලයත් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් අනුමත කරන්න ඕනෑ.  


ප්‍රශ්නය:-ඔබ හිතන විදියට ඇත්තටම අපේක්ෂකයා විය යුත්තේ කවුද?  


පිළිතුර:- මම මුලින් කිව්ව විදියට නියමිත වෙලාවෙදි ඒක තීරණය වේවි.  


ප්‍රශ්නය:-මම අහන්නේ ඔබේ පෞද්ගලික මතය?  


පිළිතුර:- මගේ නම් මතය පක්ෂ නායකතුමා ඉල්ලන්න ඕනෑ කියලයි. නමුත් පක්ෂය ගන්න තීරණයත් එක්ක මම ඉන්නවා.  


ප්‍රශ්නය:-ඔබ ඔබේ සුදුසුකම් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද?  


පිළිතුර:- මට තනතුරු ලෝභයක් නැහැ. හැමද‌ාම කියනවා වගේම අතීතය ගැන කම්පා වෙන්නෙත් උදම් අනන්නෙත් නෑ. අනාගතය ගැන සිහින දකින්නෙත් නෑ. මම ජීවත්වන්නේ වර්තමානයේ. මට පවරන ඕනෑම වගකීමක් මම ඉහළින්ම ඉටු කරනවා. ඉතින් ඔබ කියපු විදියට පක්ෂය මගෙන් ඉල්ලීමක් කළොත් ඔව් ඒ ගැන සලකා බලමු.  


ප්‍රශ්නය:-හාමුදුරුනමකට ‘පර බල්ලා’ කියලා ඔබ බැණ වදින හඬ පටයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා?  


පිළිතුර:- ඔබ ඒ හඬ පටය හොඳින් බලන්න. අහන්න. මට දුරකථන ඇමතුමක් ආවා. නාඳුනන ඇමතුමක් වුණත් මම ඒකට ප්‍රතිචාර දැක්වූවා. මට ඇහෙන්නේ මහා ඝෝෂාවක්. ඒ අතරේ කටහඬක් කියනවා ‘අපි මේ පාරේ ඉන්නේ’ කියලා. එහෙම කියලා හාමුදුරුනමක් කියලා කිව්වේ නෑ.  


ප්‍රශ්නය:-නෑ කියනවා?  


පිළිතුර:- ඔබ නැවත ඒක අහන්න. කිසිම හැඳින්වීමක් කළේ නෑ. පා​ෙර් ඉන්න කෙනෙක් විදියටයි කතා කළේ. මට ප්‍රශ්නය කිව්වම ‘මම කිව්වා මම මහාමාර්ග ඇමැති කාලේ මට කිව්වා නම් මම හදලා දෙනවනේ’ කියලා. කතා කරන්නේ කවුද කියලවත් දන්නේ නැතිව මම එහෙමයි කතා කළේ. ඔය අතරේ මට අභූත චෝදනාවක් කළා. ඇමැති කෙනෙකුට නොවෙයි සාමාන්‍ය මනුෂ්‍යයෙකුටවත් එහෙම අපහාස කරන්න බැහැ. මම මහනුවර දිස්ත්‍රික්කයට විතරක් මිලියන 7000 ක පාරවල් හදලා තියෙනවා. මුළු ලංකාවෙම මිලියන 71000 ක පාරවල් හදලා තියෙනවා. මට අර විදියට අභූත චෝදනාවක් කළාම... මම රහත් වෙලා නැහැනේ. අර විදියට ප්‍රතිචාර දැක්වුවා තමයි. ඒත් මම කිසිම අසභ්‍ය වචනයක් කිව්වේ නෑ.  


ප්‍රශ්නය:- ඔබ මහජන නියෝජිතයෙක්. කවුරු කොහොම කතා කළත් ඔබේ ප්‍රතිචාරය සන්සුන් විය යුතුයි?  


පිළිතුර:- මම පිළිගන්නවා ඒක. ඒ වගේම කනගාටු වෙනවා. නමුත් එතැන සිද්ධ වෙච්ච දේ හරියට තේරුම් ගන්න. අනික බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීමක් තමයි ‘චේතනාහං භික්ඛවේ කම්මං වද‌ාමි’ කියන එක. චේතනාව තමයි ප්‍රධාන. මට මෙතැනි කිසිම චේතනාවක් නෑ. කොහොම වුණත් මම ඒ සිද්ධිය ගැන කනගාටුවෙනවා.

 

 

 

 සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්