අපට තියෙන විශාලම වගකීම ඒ පාපතර මෙහෙයුම පරාජය කිරීමයි


 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණලා හමුවක් පැවැත්වෙන බවට පුවත් පළවූයේ මහ වැසි මැද ගංවතුර ගම්වදිමින් තිබියදීය. මහකඳු නායයමින් තිබියදීය. සීතල වැසි මැද උණුසුම් වූ දේශපාලන කාරණා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.

 


ප්‍රශ්නය:- කුමන්ත්‍රණ කතාවලට ඔබ බොහොම ප්‍රසිද්ධයි. ඔබ පාර්ලිමේන්තුවේදී කිව්වා “මේ ආණ්ඩුව සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නිර්මාණය කරන්න කුමන්ත්‍රණයක ඉන්නවා කියලා. මොකක්ද මේ කුමන්ත්‍රණය?
පිළිතුර:- අපි මුලින්ම තේරුම් ගත යුතුයි. මේ තියෙන්නේ ඉතිහාසයේ අපකීර්තිමත්ම කළු ජූලිය නිර්මාණය කරපු ඇත්තන්ගේ ආණ්ඩුවක්. එදා ජේ.ආර්. ජයවර්ධනගේ යූ.එන්.පී. ආණ්ඩුව පොලිසියට අහක බලාගෙන ඉන්න කියලා තමයි තමන්ගේ යූඑන්පී මැරයන් යොදවලා කළු ජූලිය පටන් ගත්තේ. නගරවල දෙමළ ව්‍යාපාරික ස්ථාන නිවාස ගිනිබත් කරන්න පටන් ගත්තේ. දෙමළ මිනිස්සු මරන්න පටන් ගත්තේ. ඒ වගේම යාපනයේ පුස්තකාලය කියන මුළු මහත් ලාංකිකයන්ගේම උරුමය ගිනි තිබ්බේ යූඑන්පී ආණ්ඩුව. එමගින් යූඑන්පී ආණ්ඩුව එදා ලබාගත්තෙ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරපු දේශපාලන පක්ෂ තහනම් කිරීමේ අවස්ථාව. ඒ වගේම මර්දනකාරී වටපිටාව. සිංහල අන්තවාදී සුළුතරයක් එදා ඒ ගැන සතුටු වෙන්න ඇති. “ දෙමළ මිනිහට දුන්නා වැඬේ.” කියලා මෝඩ සතුටක් ලබන්න ඇති. දැන් මේ මොහොතේ සිද්ධවෙන්නෙත් ඒ පිටපතේ ඊළඟ ජවනිකා කියලයි අපි විශ්වාස කරන්නේ.

 


 ප්‍රශ්නය:- ඒ විශ්වාසයට තියෙන පදනම මොකක්ද? ඔබ හිතන දේවල් ඇත්තටම මේ මහ පොළොවේ තියෙනවද?
පිළිතුර:- ඒක දකින්න ඕනෑ ඒක තේරුම් ගන්න ඕනැ. දැන් බලන්න මුස්ලිම් දේවස්ථානවලට හා ව්‍යපාරික ස්ථානවලට පහර දීලා කියලා වාර්තා වෙලා තියෙනවනේ. එක තැනකදිවත් එක පුද්ගලයෙක් හරි අත්අඩංගුවට අරන් තියෙනවද? එක තැනකදිවත් අත්අඩංගුවට අරන් නෑ.

 


 ප්‍රශ්නය:- ඒක ආණ්ඩුවේ වුවමනාව කියලද ඔබ කියන්නේ?
 පිළිතුර:- ඔබ හිතනවද අපේ රටේ පොලිසියට බැරිකමක් තියෙනවා කියලා ඔය වගේ සිද්ධීවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න. ඔයිට වඩා බරපතළ සූක්ෂම සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්ත පොලිසියක් තියෙන්නේ. ඇයි මේ සිද්ධිවලට සම්බන්ධ අය පමණක් අත්අඩංගුවට නොගන්නේ? එහෙම අත්අඩංගුවට නොගන්නේ සිද්ධි පිටුපස ඉන්නේ ආණ්ඩුවට සම්බන්ධ කල්ලි නිසයි.

 


ප්‍රශ්නය:- ඔබ කියන විදියට ප්‍රහාර මෙහෙයවන්නේ ආණ්ඩුවමයි කියලා හිතමු. මොකක්ද ආණ්ඩුවට තියෙන ප්‍රයෝජනය?
පිළිතුර:- අද රටේ නිර්මාණය වෙලා තියෙන ආර්ථික අර්බුදයත් සමග මේ ආණ්ඩුව යටතේ තමන්ගේ ආර්ථික ජීවිතය බිඳවැටීමත් එක්ක ක්‍රමානුකූලව මුස්ලිම් ප්‍රජාව ආණ්ඩුව අතහැර එමින්  ඉන්නවා. ඒ එක්කම ඇතැම් සිංහල බෞද්ධ  සංවිධානත් ඉතා උද්වේගකර ලෙස මුස්ලිම් අන්තවාදයට එරෙහි මතවාදී ප්‍රහාරය සමස්ත මුස්ලිම් ප්‍රජාවටම එරෙහි මතවාදි ප්‍රහාරයක් ලෙස දැනෙන විදියට දියත් කරගෙන යනවා.


 මේ දෙක හැප්පුවම වෙන විදියක කළු ජූලියක් නිර්මානය වෙනවා. අපි හිතමු කොහේ හරි සිංහල කඩයකට ගිනි තියනවා කියලා ඒක කළේ මුස්ලිම් අන්තවාදීන් කියලා හිතමු. එහෙම සිද්ධියකින් මේක ආපහු නරක විදියට ඇවිලී යන්න බැරිද? එහෙම නැත්නම් පන්සලකට ගැහුවා කියලා හිතමු. මුස්ලිම් දේවස්ථානයකට ගැහුවා කියලා හිතමු. ඔය වගේ සිදුවීම් හරහා නැවත මේ ගින්න අවුළුවන්න බැරිද? ඒ ගින්න ව්‍යාප්ත කරන්න මුලින්ම බහින්නේ ආණ්ඩුවේම කොටස් වෙන්න බැරිද?

 


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ආණ්ඩුවට තිබෙන වාසිය මොකක්ද කියලයි. ආණ්ඩුවට තව කොච්චර ප්‍රශ්න තියෙනවද?
පිළිතුර:- මම ඒකයි කිව්වෙ මේක පැරණි පිටපතේම ඊළඟ ජවනිකා කියලා. ඔය මම කියන තත්ත්වය පදනම් කරගෙන හදිසි නීතිය  නැවත  ගේන්න අවශ්‍ය පරිසරය හදාගන්න බැරිද? ජාතිකවාදීව ව්‍යවස්ථාවට එරෙහිව සටන් කරන බලවේග, එට්කාවලට එරෙහිව සටන් කරන බලවේග, ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික දේශපාලන මෙහෙයුමට එරෙහිව සටන් කරන බලවේග මර්දනය කරන්න මේ හරහා විශේෂ පරිසරයක් නිර්මාණය කරගන්න බැරිද? කළු ජූලියෙන් දේශපාලන පක්‍ෂ තහනම් කරගත්තා වගේ නටන්න හදන මේ ජූලියෙනුත් ඒ වගේ අවස්ථාවක් හදාගන්න ආණ්ඩුවට බැරිද?

 


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය ගංවතුරෙන් පවා දේශපාලන වාසිගන්න බැලුවා. නමුත් ආණ්ඩුව ඉතාම ඉක්මනට තත්ත්වය පාලනය කරලා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරන්න සමත් වෙලා.
පිළිතුර:-ඔය නිගමනයට ආපු ලංකාවේ එකම පුද්ගලයයි මට හමුවුණේ. ඒ ඔබ. හැබැයි ගංවතුර ආපු ප්‍රදේශයට ගිහින්නම් ඔය කතාව කියන්න එපා. මොකද මිනිස්සු ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මතයක වගේම වෙනස් අත්දැකීමක. ඇත්ත කතාව මේක වැස්සක්. මේ වගේ වැස්සම ලැබෙන්න නියමිත බව දැනගන්න අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපකරණ ප්‍රමාණවත් නැතිවෙන්න පුළුවන්.


නමුත් ලෝකයටම කාලගුණ තත්ත්ව වාර්තා සපයන ජාත්‍යන්තර ආයතන තියෙනවා. ඒ තොරතුරු ගන්නේ චන්ද්‍රිකාවලින්. ඒ තොරතුරුවලින් දවස් දෙකකට කලින් අනතුරු අඟවන්න තිබුණා මෙවැනි බරපතළ වැස්සක් ඒමට නියමිතයි කියලා. ඒ අනතුරු ඇඟවීම මේ ආණ්ඩුවෙන් කෙරුණේ නෑ. එහෙම අනතුරු ඇඟවීම කළා නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගන්න තිබුණා. දේපොළ බේරාගන්න තිබුණා.


ඇත්ත කතාව ගත්තොත් විපත සිදුවුණාට පස්සේත් ඉතාම උදාසීන පිළිවෙතක ඉඳන් තමයි කටයුතු කළේ. පළාත් පාලන ආයතන ක්‍රියාත්මකව තිබුණා නම් මේ ආපදා කළමනාකරණය මීට වඩා ශක්තිමත්ව සිද්ධ වෙනවා. අනික් එක රජයේ නිලධාරින් බයයි විපතක් සිද්ධ වෙච්ච වෙලාවකට චක්‍රලේඛවලින් එහාට ගිහින් තීන්දු තීරණ ගන්න. මොකද මේ රටේ රාජ්‍ය නිලධාරින් බොහොමයක් දෙනා පසුගිය දවස්වල ගත කළේ එෆ්සීඅයිඩී එකේ හා සීඅයිඩී එකේ. ඉතින් නැවත වරක් ඒ ඉරණමට මුහුණ පාන්න රජයේ නිලධාරින් බයයි. ඇත්ත කතාව ගත්තොත්  මිනිසුන්ට සැබෑ ලෙසම පිහිට වුණේ ත්‍රිවිධ හමුදාව, ගංවතුරට බිලි නොවුණ ප්‍රදේශවල ජනතාව, මාධ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක වුණා. සහන සේවා මෙහෙයුම්, ස්වෙච්ඡා සංවිධාන, ඒ හැර ආණ්ඩුවේ වෙන කිසිම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණේ නැහැ.


 ක්‍රියාත්මක වුණත් උදාසීන විදියටයි ක්‍රියාත්මක වුණේ. බුලත්සිංහල ආසනයේ හා පාහියංගල නාය ගිය ගමට මමයි ජයන්ත සමරවීර මන්ත්‍රීතුමයි දවස් 4 කට පස්සේ ගියා. එදා තමයි ඒ ගමට ග්‍රාමසේවක ආවේ. එතකන් ඇවිල්ලා නැහැ. දවස් 4 කට  පස්සේ තමයි පාරේ මඩ තට්ටුව අයින් කළේ. එතකොට මේකෙන් පේනවා ඉදිරියේදී හදිසි තත්ත්වයක් ඇතිවුණත් මේකම තමයි තත්ත්වය කියලා.

 


ප්‍රශ්නය:- මේ ගංවතුර විපත අස්සේ මෛත්‍රී - මහින්ද මුහුණට මුහුණ හමුවක් ගැනත් කියවෙනවා.
පිළිතුර:- ඒකේ කිසිම සත්‍යතාවයක් නැහැ. කාලෙන් කාලෙට ඔය ප්‍රවෘත්තිය නිර්මාණය කරනවා. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තාය වටා ඉන්න උදවිය දන්නවා, ඡන්දයක් එහෙම ආවොත් තමන් ඉන්නේ ඉතාම දරුණු දේශපාලන අවදානමක කියලා. ඒ නිසා ඒ අය නිතරම දිනනවා. මොකද මහින්ද රාජපක්ෂ නම නැතිව දිනන්න බැරි  බව දන්න නිසා. ඒ අයව සනසන්න ඔය ප්‍රවෘත්ති කලින් කලට එළියට දානවා.


 එතකොට ඒ අය යම් සැනසීමක් ලබනවා. අනිවාර්යයෙන් බලන්න තව මාස හතරකින් පහකින් ඔය ප්‍රවෘත්තිය ආපහු එනවා. මේක නොනවතින පුවතක්.

 


 ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රීට මහින්දවාදීන් එල්ල කළ චෝදනාවක් තමයි යූඑන්පියට ඕනෑ විදියට කටයුතු කරනවා කියලා. නමුත් කැබිනට් සංශෝධනය හරහා ජනපති මෛත්‍රි පෙන්නුවා. “නෑ එහෙම නෑ.” කියලා.
පිළිතුර:- නෑනේ, රවි කරුණානායක ඉවත් කිරීමේ පිටිපස්සේ ඉන්නේ ඇමැතිවරයෙක්නේ. ඔහුනේ සූක්ෂම විදියට රවි කරුණානායක ඉවත් කරගත්තේ. දැන් සුජීව සේනසිංහ කියනවනේ “ෆේවරිස්ට්ල” කට්ටියක් ඉන්නව කියලා මේ නායකයන්ට. එතකොට මේ ෆේවරිස්ට්ලටනෙ අවස්ථා ලැබෙන්නේ. දැන් රවි කරුණානායක විදේශ ඇමැතිවීම ගැන ඔහු සතුටුත් නැහැනේ. ඇත්තටම රවි කරුණානායක මුදල් ඇමැතිකමින් ඉවත් කළා කියලා සමාජ ආර්ථික වෙනසක් වෙන්නෙත් නැහැනේ. මංගල සමරවීර ආපු ගමන් රුපියල් 10 කින් සීනි මිල නැග්ගා. ඒ නිසා ඔය කැබිනට් සංශෝධනයෙන් ජනතාවට යහපතක් වෙන්නේ නැහැනෙ. රවි මුදල් ඇමැති හැටියට නරක නම් විදේශ ඇමැති විදියට හොඳ වෙන්නේ කොහොමද කියන එකයි. ඕක වුණෙත් මම අරකී ඇමැතිට අවශ්‍ය නිසා මිසක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය නිසා නොවෙයි. අනික් පැත්තෙන් බලන්න මේ ආණ්ඩුව අනික් පැත්තෙන් මොන තරම් සංවේදීද?  කියනව නම් මේ මහා විපතක් වෙලා අඳෝනා පිරිච්ච වෙලාවක තව නියෝජ්‍ය ඇමැතිවරු කට්ටුවක් දිව්රුම් දෙනවා. මොළේ කළඳක් හරි තියෙනවා නම් එහෙම කරන්න පුළුවන්ද? 


ගංවතුරට රටම ලක්වෙලා තියෙන වෙලාවේ පරිපූරක ඇස්තමේන්තුවක් එනවා ඇමැතිවරුන්ට වාහන ගන්න කෝටි ප්‍රකෝටි ගණන් වෙන් කරගන්න. හැබැයි ගංවතුරට ලක්වෙච්ච මිනිහට දෙන්නේ රුපියල් දහදාහයි. අසංවේදී ආණ්ඩුවක්. තකතීරු ආණ්ඩුවක්.

 


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට එහෙම නම් මොකක් වෙයිද?
පිළිතුර:- ආණ්ඩුව ඉතාම වේගයෙන් තමන් ගේන්න කටයුතු කරපු බටහිර බලවේගවලට අවශ්‍ය පරිදි ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය ගේන්න දැන් කටයුතු කරගෙන යනවා. ඒ ව්‍යවස්ථා සංශෝධනය කෙරුණොත් අපේ රට ආපස්සට අදින්න බැරි විදියට බෙදුම්වාදී උවමනාව ඉටුකළා වෙනවා. මේ රටේ ජනතාව දැනගන්න ඕනැ මේ ඔක්කොම මාතෘකා යටතේ ඒ මාතෘකාව යට කරලා තියෙනවා.

 


ප්‍රශ්නය:- ආණ්ඩුව කියනවා ඔය බොරු බිල්ලෙක් මවන්නේ කියලා?
පිළිතුර:- වික්‍රමසිංහ අගමැතිවරයා ව්‍යවස්ථා සංශෝධන මෙහෙයුම් කමිටුවට දී තිබෙන වාර්තාව සැලකිල්ලෙන් අධ්‍යයනය කළොත් පෙනේවි මේ බොරු බිල්ලෙක්ද මවන්නේ කියලා. රට ෆෙඩරල් කරන හැටි මධ්‍යම ආණ්ඩුවේ බලතල අඩු කරන හැටි, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, රාජ්‍ය පරිපාලනය, පොලිසිය, ඉඩම් බලතල ඔක්කොම පළාත් සභාවලට දෙන හැටි, ඒවට නීති හැදීමේ බලයක් දෙන හැටි, මධ්‍යම ආණ්ඩුව ඇතුළෙන් හිස් කරන හැටි, පාර්ලිමේන්තුවට පළාත් සභාවලට අදාළව නීති පනවන්න බැරි කරන හැටි මේ ඔක්කොම ඔය වාර්තාවේ තියෙනවා.


 ඒකීය රාජ්‍ය කියන එක ඉවත් කරන ක්‍රමවේද ඒකේ සඳහන් කරලා තියෙනවා. මේ ඔක්කොම කළාට පස්සේ එක පැත්තකින් යුද අපරාධ වුණා කියලා හොයන්න පටන් අරන්. අතුරුදන්වූවන් සහන හොයන්න වෙනම උසාවි පිහිටුවන්න පටන් අරන්. හමුදාවල අයට දඬුවම් කරන්න පනතක් ගෙනත් තියෙනවා. පාර්ලිමේන්තුවට මේ ඔක්කොම කළාට පස්සේ පෙන්වන්න තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවක් සම්මත කරගැනීම පමණයි. ඒ පාරේ තමයි දැන් මේ රට ඇදගෙන යන්නේ. ඒ ක්‍රියාදාමය වේගයෙන් සිද්ධ වෙනවා.


 අනික් අතින් ඉන්දියාව 89 දශකයට සමානව හෝ ඊටත් වැඩියෙන් ලංකාවේ දේශපාලනය හා ආර්ථික ක්‍රියාදාමයට දැන් මැදිහත් වෙනවා. ඉන්දියානු තානාපති කාර්යාලයේ උප කාර්යාල දැන් හම්බන්තොටත් අරින්න පටන් අරගෙන. ඉන්දියාව අද කටයුතු කරන්නේ ලංකාව තමන්ට අයිති කොළනියක් හැටියට සළකලා මිසක් ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් හැටියට පිළිගෙන නොවෙයි. ඉන්දියාව කියන විදියට තමයි තීන්දු ගන්න වෙලා තියෙන්නේ මේ දුබල පාලකයන්ට. එට්කා ගිවිසුම අත්සන් කරන්න යන්නෙත් ඒ අනුව. ඒ වගේ මහා විශාල ආණ්ඩු හැරවිය නොහැකි රට, ජාතියෙ අඳුරේ ගිල්වා දමන පාපතර  මෙහෙයුමක් මේ ආණ්ඩුව විසින් දියත් කරලා තියෙනවා.

 


ප්‍රශ්නය:- නමුත් ඒකාබද්ධ විපක්ෂයත් පොදුවේ ඔය ඔබේ සටන්පාඨ එක්ක ඉන්නා බවක් පේන්නේ නැහැ?
පිළිතුර:- ඔව්. මමත් පිළිගන්නවා ඒකාබද්ධ විපක්ෂයත් ඒ තියුණු කේන්ද්‍රීය ප්‍රශ්න සම්බන්ධයෙන් දක්වා තිබෙන සංවේදීතාව ප්‍රමාණවත් නෑ කියලා. ඒ නිසාම රටත් ඒ සම්බන්ධයෙන් දක්වා තිබෙන සංවේදිතාව ඉතාම අඩුයි. ඒ නිසා ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා. වෙනත් මතවාදි ටොෆි මිනිසුන්ට කවල මේ තියුණු පාවාදීමේ මෙහෙයුම වේගයෙන් ඉදිරියට ගන්න.

 


ප්‍රශ්නය:- මෙතැනින් එහාට?
පිළිතුර:- ඔව් අපට තියෙන විශාලතම වගකීම තමයි ඒ පාපතර මෙහෙයුම පරද්දන එක. ඒකට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙක නැති කරන්න ඕන. ඒක වෙනුවෙන් අපි වෙහෙසෙමින් ඉන්නවා. ඒ වගේම රට තුළ බලවත් මහජන ක්‍රියාකාරිත්වයක් නිර්මාණය කළ යුතුයි. ඒක අපි ගොඩනගමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට අනුබද්ධ විපක්ෂය හුරතල් කරගන්න විදියට ඒකාබද්ධ විපක්ෂයත් හුරතල් කරගන්න පුළුවන් කියලා, අපි කියනවා ඒක එහෙම වෙන්නේ නෑ. අපි ඉදිරියේදී පෙන්වනවා ඒ පාපතර මෙහෙයුම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පරාජය කරන හැටි.

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්