අපට තියෙන එකම අභියෝගය මහ මැතිවරණයෙන් ආණ්ඩු බලය ලබා ගැනීමයි


එක්සත් ජාතික පක්ෂ නායක
රනිල් වික්‍රමසිංහ   

  • ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනන්න කට්ටිය මට ඉන්නවා.   
  • අපි කරලා පෙන්නුවා. පොලිය හැර අනෙක් වියදම් සියල්ල ගෙවා ගන්න පුළුවන් තැනකට අපි ගෙනාවා.   
  • බැඳුම්කර ගනුදෙනුවෙන් කිසිම අලාභයක් රටට වෙලා නෑ.   
  • පාස්කු ප්‍රහාරය එල්ල වෙන බවට අපි දැනුම්වත් වෙලා හිටියේ නෑ.   

ඉදිරි මැතිවරණය පිළිබඳව මේ සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමගිනි. 
  
ප්‍රශ්නය - මේ මහ මැතිවරණය ඉතිහාසයේ කවදාටත් වඩා අභියෝගාත්මක එකක්. එක පැත්තකින් කොරෝනා. ඊටත් වඩා ඔබට දුෂ්කර කාලයක් මේ. වෙන කිසිම වෙලාවක නොගිය තරම් පිරිසක් පක්ෂයෙන් ගිහින් වෙනත් පක්ෂයක් හදාගෙන අද ඔබට අභියෝග කරනවා. කොහොමද මේව ජය ගන්නේ.   


පිළිතුර - අපිට තියෙන එකම අභියෝගය මේ මැතිවරණය තරග කරල ආණ්ඩු බලය ලබා ගන්න එක. වෙන කිසිම අභියෝගයක් අපිට නෑ.   


ප්‍රශ්නය -  පක්ෂෙ දෙකඩ වීම මේ  මොහොතේ අභියෝගයක් නෙවෙයි කියලද කියන්නේ?   


පිළිතුර - අපි ඉදිරියේ ඡන්දයක්නේ තියෙන්නේ. අපි ඡන්ද ගැන කතා කරමුකො. කැඩිලා ගිය අය ගැන කතා කර කර කාලය නාස්ති කරන එකේ තේරුමක් නෑ මේ වෙලාවේ. පක්ෂයෙන් පිරිස් යන එක මීට කලිනුත් සිද්ධ වෙලා තියෙනවා. එක එක අය එක එක හේතු හදාගෙන ගියා. අද මේ මොහොතේ වැදගත්ම දේ ඡන්දෙ ගැන කතා කරන එක. තියෙන ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනෑ නම් ඔය වෙන වෙන දේවල් කතා කර කර ඉමු. නැතිනම් අපි ඡන්දෙ ගැන කතා කරමු.   


ප්‍රශ්නය - හරි. එහෙනම් මේක කියන්නකො. ඔබලා හැම මැතිවරණයකටම එක එක ජාතියේ එක එක කරුණු ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ඒවයින් ඉටු කරලා තියෙන්නේ සෑහෙන්න අඩු ප්‍රමාණයක්. පසුගිය ජනාධිපතිවරණයේදීත් ඒ වගේ කරුණු රැසක් ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. දැන් මේ ඡන්දෙටත් ඔබලා ඉදිරිපත් කරනවා. අවුල ලිහමු. යෝජනා මාලාවක්....   


පිළිතුර - අපි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළේ නෑ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. අපි ජනාධිපතිවරණයට තරග කළෙත් නෑනේ. අපේ සාමාජිකයෙක් තරග කළා වෙනත් පක්ෂයකින්. අපි ඒකට සහාය දුන්නා. ඒ පක්ෂයෙන් තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළේ. පහුගිය ජනාධිපතිවරණයට අපේ සම්බන්ධයක් තිබුණේ නෑ එතෙන්ට.   
දැන් තියෙන අවුල තමයි විශාල කොරෝනා ප්‍රශ්නය සහ ඒ වගේම ආර්ථික ප්‍රශ්නය. කොරෝනා ප්‍රශ්නය නම් ලෝකයේ බොහෝ තැන්වල තියෙනවා. දැන් මේ රටේ තියෙන්නේ ඒ අවුල.   


ප්‍රශ්නය - හැමදාම උදම් ඇනුවෙ එක්සත් ජාතික පක්ෂයක් ආවොත් රටේ ආර්ථිකය හොඳ වෙයි කියලා. පහුගිය අවුරුදු හතර හමාර පහ ඇතුළෙ මොනවද කළේ? ගොඩ ගත්තද ආර්ථිකේ? 

 
පිළිතුර - අවුරුදු හතළිහකට පස්සේ ප්‍රථම වතාවට ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් තිබුණා. ප්‍රාථමික අය වැය කියන්නේ පොලී වියදම් හැර ආණ්ඩුවේ අනික් වියදම් සියල්ල. පළවෙනි වතාවට ඒ විදයම් සියල්ලම ගෙවා ගන්න අපිට ආදායමක් තිබුණා. ණය ගන්න ඕනෑ වුණේ නෑ. ණය ගන්න ඕනෑ වුණේ පොලිය ගෙවන්න. තව අවුරුදු කීපයක් ඒ වගේම ගමන් කළා නම් පොලිය ගෙවන එකත් අපේ ආදායමෙන්ම කරන්න තිබුණා.   


ප්‍රශ්නය -  මේ ආණ්ඩුව නම් කියන්නේ එයාලා ගෙවන්නේ කලින් ආණ්ඩුවෙ පව් කියලා.   


පිළිතුර - කාගෙවත් පව් ගැන කතා කර කර ඉඳලා වැඩක් නෑ. පත් වෙන ආණා්ඩුවට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෑ. මුදල් අරගෙන ණය වැඩි කරලා ණය බර එක්ක ඉන්න එකත් පවක්. ඒක නිසා තමයි 2014 හදිසියෙම ජනාධිපතිවරණයක් පැවැත්වුවේ. අපි ඒ පව් ගැන කතා කර හිටිය නම් මොකද වෙන්නේ? අපි කරලා පෙන්නුවා. පොලිය හැර අනික් වියදම් සියල්ල ගෙවා ගන්න පුළුවන් තැනකට අපි ගෙනාවා. 2009 න් පස්සේ වැඩිපුර ණය ගත්ත නිසා ණය බර වැඩි වෙලා තියෙනවා. අපේ බලාපොරොත්තුව තිබුණේ 2030 වෙනකොට ඒ සියල්ල ගෙවා දාන්න. ඒ ඉලක්කයට අපි ගියා. 2019 පාස්කු දින බෝම්බෙ නිසා යම් ප්‍රශ්නයක් වුණා.   


ප්‍රශ්නය -  ආර්ථික විශේෂඥයෝ ආර්ථිකය ගොඩගන්නම හපන්කම් තියෙනවා කියලා කියපු අය ආපු ගමන් මහ බැංකුවට ගේම දුන්න කියලා කියන්නේ. ඒ චෝදනාවෙන් ගැලවෙන්න නම් බෑ නේද?   


පිළිතුර - මොකක්ද තියෙන චෝදනාව.   


ප්‍රශ්නය -  මහ බැංකු බැඳුම්කර වංචාව.   


පිළිතුර - මොකක්ද ඔය කියන වංචාව.   


ප්‍රශ්නය -  ඔබතුමා කියන්නේ එතකොට මහ බැංකු හොරකමක් වෙලත් නෑ. එහෙම චෝදනාවකුත් නෑ කියලා.   


පිළිතුර - මම කියන්නම් වෙච්ච ​දේ. මහ බැංකුවෙ සාමාන්‍යයෙන් නීති තිබුණෙ නෑ ඒකෙ අයගේ නෑදෑයින්ගේ ව්‍යාපාරවලට සම්බන්ධව. ඒ නිසා මහ බැංකුවෙ අධිපතිවරුන්ගේ නෑදෑයින් එක එක තැන්වල ක්‍රියා කළා. මහ බැංකුවෙ සමහරු විශ්‍රාම අරගෙන වෙනත් බැංකුවල ප්‍රධාන තනතුරු ගන්න එකත් ප්‍රශ්නයක් වුණා. මීට ඉස්සෙල්ල හිටපු අධිපතිගෙත් සහෝදරිය පර්පර්චුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු නිසා මහ බැංකු අධිපතිගේ නෑදෑයො කවුරු හරි ඉන්නවා නම් බැංකුවල ඒ අය ඒ තැන් වලින් ඉවත් වෙන්න ඕනෑ කියලා අපි යෝජනා කළා. එවකට අධිපතිතුමාගේ බෑණා එතනින් ඉවත් වුණා. අධ්‍යක්ෂකමෙන් ඉවත් වුණත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මහ බැංකු බැඳුම්කර පිළිබඳ අධිපතිතුමා තමන්ගේ බෑණාට යම් කිසි ඉඟියක් කළාද කියන එක. ඒක තමයි ඔප්පු කර ගන්න බැලුවෙ. එතනින් අලාභයක් වුණත් නොවුණත් ඒ වගේ දෙයක් කළා නම් ඒක වැරැද්දක්. ඒකට නීතිය අනුව ක්‍රියා කරන්න වුවමනයි.   


මේ සමාගම නමින් තිබුණු බිලියන දොළහක් මහ බැංකුවෙ බාරයට ගත්තා. මෙතන අලාභය සමහරු කියනවා බිලියන එකොළහයි කියලා. සමහර අය කියනවා බිලියන අටයි කියලා. තවත් සමහරු කියනවා බිලියන හයයි කියලා. මහ බැංකුව බාරයට ගත් මුදල, ඊට වඩා වැඩියි. ඒ සමාගම තර්ක කළේ මෙතන අලාභයක් වෙලා නෑ කියලා. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අපරාධ ප්‍රශ්නයක්. අපරාධයක් සිදු වුණා ද කියලා මේ දෙන්නගෙ මාර්ගයෙන්. ඒ ගැන දැන් ක්‍රියා කරගෙන යනවා. දෙවනුව තියෙන ප්‍රශ්නය සිවිල් ප්‍රශ්නයක්. කාටද මේ මුදල් අයිති කියන එක. ඒත් කිසිම අලාභයක් රටට වෙලා නෑ. එහෙම අලාභයක් වුණා නම් ඔය මුදල් ටික රඳව ගන්න පුළුවන්. මෙතන කිසිම ගැටලුවක් වෙලා නෑ. ජනාධිපති කොමිසමෙන් කිව්වා. ෆොරින්සික් ඔඩිට් එකක් කර ගන්න කියලා. අපි ඒක කළා. එතනදි හෙළිදරව් වුණේ 2009 ඉඳන් 2014 දක්වා කියලා. විශේෂයෙන්ම අර්ථසාධක අරමුදලටත් සේවකභාරකාර අරමුදලටත් තමයි මේ අලාභය වෙලා තියෙන්නේ. ඒව​ෙය සාමාජිකයො රටේ වැඩ කරන ජනතාව.   


ප්‍රශ්නය -  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නෙම එයාට වැඩ කරගෙන යන්න දුන්නේ නැත්තෙ ඔබයි. ඔබේ ඇමති මණ්ඩලයයි කියලා. 

 
පිළිතුර - 19 වැනි සංශෝධනය අනුව රටේ පාලනය තියෙන්නේ කැබිනට් මණ්ඩලයට. ඒ ඒ අදාළ දේවල් ක්‍රියාත්මක කරන්නේ අදාළ ඇමැතිවරු. එතුමට පුළුවන් වුණා මොරගහකන්ද හදන්න. කැබිනට් මණ්ඩලයේ විරුද්ධත්වය තිබුණත් එතුමා ඇමති විදියට වැලි ඉවත් කරන එක ගැන තද නීති දැම්මා. අපි කිව්වේ ඒක ලිහිල් කරලා ක්‍රියාත්මක කරන්න කියලා. මැණික් පතල් ගැනත් තද නීති දැම්මා. ඒත් අපි කිව්වා ඒවා ලිහිල් කරන්න කියලා. එතුමා සමහර තැන්වල එතුමට ඕනෑ විදහට ක්‍රියා කළා. ඒත් කැබිනට් මණ්ඩල තීරණ නැතුව කාටවත් වැඩ කරන්න බෑ. තමන්ගේ අමාත්‍යාංශයේ වැඩ ඕනෑ ඕනෑ හැටියට කරන්න දුන්නේ නෑ කියන එක වැරදියි. ආරක්ෂක ඇමැති විදිහට ත්‍රිවිධ හමුදාව තිබුණෙ එතුමා යටතේ. ඔය ප්‍රශ්නය ඇති වුණෙත් එතනනේ.   


ප්‍රශ්නය - පාස්කු දින ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ චෝදනාවෙන් ඔබට ගැලවෙන්න පුළුවන්ද?   


පිළිතුර - ඒ ගැන අපි දැනුම්වත් වෙලා තිබුණේ නෑ. අපිට දැනුම් දීලා තිබුණේ නෑ. ආණ්ඩුවක් හැටියට ඒ අඩුපාඩුව අපි බාර ගන්නවා. ඒත් ඇත්ත වශයෙන්ම ඒක අපි දැනගෙන ක්‍රියාත්මක නොවී හිටියද කියන ප්‍රශ්නයට උත්තරේ අපි ඒ ගැන කිසිවක් දැනගෙන හිටියේ නෑ කියන එක. අපි කොළඹ හිටියේ. ඒ ඉරිදා තමයි සිංහල අවුරුදු උත්සව බොහොමයක් සංවිධානය කරලා තිබුණේ. මටත් එදා හවස එක උත්සවයකට යන්න තිබුණා.   


ප්‍රශ්නය - ප්‍රශ්නය - මේ ගැන සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව ඔබේ අදහස කොයි වගේ ද?   


පිළිතුර - මේ ප්‍රහාරයෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් අය තුවාල ලැබුවා. මේ අයට සාධාරණයක් ඉටු වෙන්න ඕනෑ. දැන් මේ පරීක්ෂණවලින් සොයා බලනවා. මේ ප්‍රහාරයට සම්බන්ධ අයගේ අතීත සබඳතා ගැන. කලින් මේ පිළිබඳ විභාග කරපු නිලධාරීන් ඉවත් කරලත් තියෙනවා.   


ප්‍රශ්නය - දැන් යූ.එන්.පියේ ඉන්න පිරිස මේ එන ඡන්දෙ දිනන්න ඔබට ප්‍රමාණවත්ද?   


පිළිතුර - අපෝ ඇති. කොහොම හරි දිනන්නත් ඕනෑ. ඒක තමයි අපේක්ෂාව. අපි දිනලා බහුතරයක් ඉන්න වෙලාවෙත් විපක්ෂයට ගියා. ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනන්න කට්ටිය මට ඉන්නවා. අපි එක්ක හොඳ කණ්ඩායමක් ඉන්නවා.   


ප්‍රශ්නය -  ජනප්‍ර්‍රිය මුහුණු අඩුයිනෙ.   


පිළිතුර - මූණ ජනප්‍රිය ද කියන එකට වඩා රටේ විශ්වාසය දිනා ගත්තු පිරිසක් අවශ්‍යයි. ඒ අනුව තමයි ඡන්ද හම්බ වෙන්නේ.   


ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ ආපහු බල අරගලය පටන් අරගෙන නේද?   
රවී කරුණානායකලා, දයා ගමගේලා, නවීන් දිසානායකලා ඊළඟ නායකත්වයට ඉව අල්ලනවා නොවෙයිද? මේ.   


පිළිතුර - එක එක අයට අනාගත බලාපොරොත්තු ඇති. ඒක ඉතින් හැම පක්ෂයකම තියෙන දෙයක්නෙ. හැම දෙනාම දැන ගන්න ඕනැ එකට වැඩ කරන්න. ඒත් එක්කෙනෙකුට විතරයි නායකයා වෙන්න පුළුවන්. එකට එකතු වෙලා කවුරුත් පක්ෂය ආරක්ෂා කරන්න ඕනෑ. මම කියන්නේ එච්චරයි.   


ප්‍රශ්නය - රවී කරුණානායක කියලා තිබුණා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න බැරි නම් පොහොට්ටුවට දෙන්න කියලා වගේ කතාවක්.   


පිළිතුර - එහෙම කිසිම කතාවක් නෑ. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න ආණ්ඩුවක් පිහිටුවන්න එච්චරයි කතාව. අපිට කියන්න බෑනෙ වෙන කාටවත් ඡන්දෙ දෙන්න කියලා.   


ප්‍රශ්නය -  ඔබට විශ්වාසද එක්සත් ජාතික පක්ෂයට ඔබේ නායකත්වය තවදුරටත් ශක්තියක් කියලා.   


පිළිතුර - ඔව්. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන්. අපි රටේ ප්‍රශ්න විසඳපු අය මිසක් රටේ ප්‍රශ්න ඇති කරපු අය නෙවෙයි.   


ප්‍රශ්නය -  මේ ඡන්ද පැවැත්වෙන්නේ පාලිත කොරෝනා තත්ත්වයක් යටතේ. ඇතැම් ඡන්ද දායකයින් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ උද්යෝගයක් නැති තරම්.   


පිළිතුර - අපි බලන්නේ පුළුවන් තරම් ඡන්ද දායකයින් ඡන්ද පොළට කැඳවන්න. කොරෝනා බය තමයි ප්‍රශ්නය. මේ වර්තමාන පාලනය බොහෝ දෙනාට එපා වෙලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් ඡන්දය දුන්නා ගෝඨාභය රාජපක්ෂට අලුත් පුද්ගලයෙක් ගැන හිතලා.

දේශපාලකයෙක් නෙවෙයි කියලා. අලුත් දෙයක් සිදු වෙයි කියලා. ජනතාව තුළ

බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඒ කිසිවක් සිදු වෙලා නෑ. ඡන්දය නොදී ඉන්න එකට මම කොහෙත්ම එකඟ නෑ. මම තරුණ තරුණියන්ටත් කියන්නේ තමන්ගේ ඡන්දය දෙන්න. මොකද පළවෙනි ඡන්දය දුන්නෙ නැති වුණාම ඊළඟ ඡන්ද දෙන්නත් මැළි වෙන්න පුළුවන්.   


අපි කියනවා ඔබේ ප්‍රශ්නවලට එක්සත් ජාතික පක්ෂය විසඳුම් ලබා දෙනවා කියලා. අපිව පිළිගන්නව නම් අපි එක්ක එන්න. වෙන කාට හරි ඡන්දය දෙන්න ඕනැ කියලා හිතනවා නම් ඒත් කමක් නෑ. ඡන්දය දෙන්න. මම කියන්නේ ඡන්දය නොදී ඉන්න එපා කියලා. 

 
ප්‍රශ්නය -  කොරෝනා පාලනය කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි කියලා ඔබ නිතරම කියනවා. මොකක්ද ඒ ගැන ඔබලට තියෙන විශේෂ හැකියාව?   


පිළිතුර - අපි තමයි අදහස් ඉදිරිපත් කළේ. පරීක්ෂණය කරන්නයි කියලා. අපි මේක තනියම කියන එකක් නොවෙයි. ආණ්ඩුව ඒ දේ හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ. ආරම්භය හොඳයි. ඒත් ඊට පස්සේ දෙවැනි තුන්වැනි හතර වැනි පියවර ගත්තේ නෑ.   


ප්‍රශ්නය - දැන්වත් ඔබ පක්ෂයේ දෙවැනි පෙළකට ඉඩක් දෙනවද?   


පිළිතුර - ඒක ශක්තිමත් වෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. පසු පස ඉඳපු සමහර මන්ත්‍රීවරුන් දැන් වගකීම් අරගෙන ඉදිරියට ඇවිත් ඉන්නවා. තව සමහර ප්‍රදේශවල මන්ත්‍රීවරු නොවන අය පවා වගකීම් අරගෙන ක්‍රියා කරනවා.   


ප්‍රශ්නය -  එ්ත් ආණ්ඩු බලයක් ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ එක්ක කොහොමද වැඩ කරන්නේ. පුළුවන් වැඩක් ද ඒක.   


පිළිතුර - 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලය එක්ක වැඩ කරන්න තියෙනවා. පාර්ලිමේන්තුව එක්ක වැඩ කරන්න වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පුද්ගලයා අගමැති වෙනවා. ඒ වැඩ කරගෙන යන්න වුවමනායි. මම හිතන්නේ මේ ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව කටයුතු කරාවි. අනික් අතට අපෙත් යුතුකමක් තියෙනවා. ජනාධිපතිතුමා එක්කත් පාර්ලිමේන්තුවෙ අනිත් පක්ෂ එක්කත් හැප්පෙන්නේ නැතුව වැඩ කරන්න.   


ප්‍රශ්නය -  පහුගිය අවුරුදු පහේ ඒක අපි දැක්කෙම නෑ. ඒ වුණාට ? 

 
පිළිතුර - පහුගිය අවුරුදු පහේ අපි කොහොම හරි ඇදගෙන ගියානේ. ඡන්ද වෙනකම් මම ඇදගෙන ආවනේ. කොච්චර ප්‍රශ්න තිබුණත් මම අතඇරියේ නෑ. අපේ යුතුකම ජනවරම අනුව ක්‍රියා කරන එක.   


ප්‍රශ්නය - සමගි ජනබලවේගයේ අයට ඇත්තටම විනය පරීක්ෂණ තියනවද?   


පිළිතුර - විනය කඩපු අයට විනය පරීක්ෂණ තියනවා. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. වෙන මොනවා කරන්නද? අනිත් පක්ෂ වලට ගිය අයටත් අපි විනය පරීක්ෂණය කරනවා. ඒක ඕනෑ පක්ෂයක ලක්ෂණයක්. පක්ෂයක් ගෙනියන්න බෑ. විනය පරීක්ෂණ නැතුව.   


ප්‍රශ්නය - හැබැයි මේ තරම් ප්‍රමාණයක් එළියට බැස්සේ නෑ. යූ.එන්.පී. ඉතිහාසයේ කවදාවත් ?   


පිළිතුර - හිටපු අය ගණනාවක් ගියා වරින් වර ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නලා දුන්නේ ඒ ගොඩක් අයගෙ සහයෝගයක් නැතිකම. සමගි ජනවේගයට ගිය අය ගැන විතරක් අහන්නේ ඇයි? පොහොට්ටුවටත් ගියානෙ සමහරු. ඒ හැම දෙනාම කියන ඒවා මම පිළිගෙන වැඩක් නෑ. මම රටට කියන්නේ අපේ වැඩපිළිවෙළ. ඒක පිළිගන්නවා නම් අපිට ඡන්දෙ දෙන්න කියලා. 

 
ප්‍රශ්නය - ගිය අය හැමදෙනාම කියන්නේ යූ.එන්.පීයේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියලා. 

 
පිළිතුර - එහෙම එකක් නෑ. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු ​නොකරපු අය ප්‍රජාතන්ත්‍ර්‍රවාදය ගැන කතා කරලා වැඩක් නෑ.   


ප්‍රශ්නය - රටේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ රජයක් ආවමයි කියලා කියපු කතාව තවදුරටත් වලංගුයි කියල ද හිතන්නේ ?   


පිළිතුර - පැහැදිලිවම ඔව්. අපිට විතරයි ඒක කරන්න පුළුවන්. රටේ පිළිගැනීමක් තියෙනවා. ආර්ථිකය හදන්න පුළුවන්. යූ.එන්.පියට විතරයි කියලා.   


ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ පාලනයේ කෙටි කාලය ගැන ඔබට තෘප්තියක් ඇත්තෙම නැද්ද?   


පිළිතුර - මම හිතන්නේ නෑ හරියට කළා කියලා.   


ප්‍රශ්නය -  මහින්ද රාජපක්ෂලා ඉල්ලන්නෙම තුනෙන් දෙක. හම්බ වෙයිද?   


පිළිතුර - හම්බ වෙන්නේ නෑ. බහුතරයක් හම්බ වෙයිද කියන එකත් ප්‍රශ්නයක්නේ. අපිත් ඉල්ලන්නේ බහුතරයනෙ. තුනෙන් දෙකක් කාටවත් ගන්න බෑ.   


ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර කීයක් විතර හම්බ වෙයි කියලද හිතන්නේ?   


පිළිතුර - බහුතරයක් බලාපොරාත්තු වෙනවා. අපි බලන්න ඕනෑ. ලියාපදිංචි ඡන්ද දායකයෝ කී දෙනෙක් ඡන්දෙ දෙයි ද කියන එක. අපිට විතරක් නෙවෙයි. කාටත් තියෙන ප්‍රශ්නය ඒක.  

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි