අපට ජනාධිපති අපේක්ෂකයන් ඕනෑ තරම් ඉන්නවා


එක්සත් ජනතා නිදහස් සන්ධානයේමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
කෙහෙළිය රඹුක්වැල්ල   

 

විපක්ෂයේ ඊළඟ කාර්යභාරය කුමක් ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ කළ සාකච්ඡාවකි.   

• ප්‍රශ්නය:- ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් වෙලා ශක්තිමත් ගමනක් යන්න හදනවා. මේක ඔබලා බලාපොරොත්තු නොවුණු තත්ත්වයක්?   


පිළිතුර:- ඔය ශක්තිමත් ගමනක් යනවා කියන එක අපට ප්‍රශ්නයක් නොවෙයි. මන්ත්‍රීවරුන් 150 ටත් වැඩියෙන් තියාගෙන අවුරුදු තුන හමාරකටත් වඩා ආවනේ. ශක්තිමත් ගමනක් ද ඒක. රටේ ප්‍රශ්න විසඳුනාද? ර​ෙට් ප්‍රශ්න එන්න එන්නම උග්‍ර වුණා මිසක් රටේ ප්‍රශ්න විසඳ‌ාගන්න බැරි තත්ත්වයට ගියා මිසක් වෙනත් දෙයක් වුණේ නෑ. රටේ ආරක්ෂාව බරපතළ විදියට බිඳ වැටුණා. කුඩු ව්‍යාපාරය, සද‌ාචාරය පිරිහීම වේගවත් වුණා. අපි අවුරුදු 9 කට ගත්ත මුදලින් කරපු දේවල් ඇහැට පේන්න තියෙනවා. මේ ආණ්ඩුව ඒ ගාණටත් වඩා වැඩියෙන් මේ ටික කාලයට ණය අරගෙන තියෙනවා. ඒත් කරපු දෙයක් පේන්න නැහැ. අපට ඔය ජාතික ආණ්ඩුව ප්‍රශ්නයක් නොවෙයි. ඔය ජාතික ආණ්ඩුව ගේන්න යන්නේ ඔවුන්ගේ පසුපෙළ මන්ත්‍රීවරුන් සද්දෙ ද‌ානවා. ඒ ගොල්ලො ගාවට ගිය අය කෙඳිරි ගානවා. මේ ඇමැති පගා දෙන්නයි උත්සාහ කරන්නේ.   


• ප්‍රශ්නය:-  ආණ්ඩුව කියන්නේ ඔවුන්ට වැඩක් කරන්න බැරි වුණේ ශ්‍රී ලංකා ඇමැතිවරු කකුලෙන් ඇදපු නිසා. දැන් තියෙන්නේ තනි ආණ්ඩුවක්. දැන් වැඩ කරන්න පුළුවන් කියලයි? 

 
පිළිතුර:- බොරුවටනේ ඔහොම කියන්නේ. 2015 ජනවාරියේ දී දින සියයේ ආණ්ඩුවක් පොරොන්දු චිත්‍රයක් දුන්නනේ. ඒ දින සියයෙ වැඩපිළිවෙළ කාටවත් මතක නැහැනේ. මාධ්‍යයට මතකත් නැහැනේ. දින ද‌ාලා කිව්වා පොලිය කැන්සල් කරනවා. පොහොර රුපියල් 350 ට දෙනවා කිව්වා. ගුණාත්මක පොහොර දෙනවා කියලයි කිව්වේ. කිරි ලීටරයට රුපියල් 70 ක් දෙනවා කිව්වා. වී කිලෝවකට රුපියල් 50ක් දෙනවා කිව්වා. මොනවද නොකිව්වේ. ලක්ෂ 10කට රස්සා දෙනවා කිව්වා. ෆොක්ස්වැගන් කම්හල් ගේනවා කිව්වා. ටයර් කොම්පැනි ද‌ානවා කිව්වා. කර්මාන්ත කලාප හදනවා කිව්වා. කර්මාන්ත ගම්මාන 1500ක් හදනවා කිව්වා. ඒ කියපුවා ඔක්කොම පුස්සක් වුණානේ. යහපාලනය කියලා පක්ෂ දෙක එකට ඉඳලත් කරන්න බැරි වුණා නම් දැන් කොහොමත් කරන්න බැහැනේ.   

• ප්‍රශ්නය:-  ආණ්ඩුව ඒ නිසාම තමයි කියන්නේ අලුත් ගමනක් පටන් ගන්නවා කියලා?   


පිළිතුර:- මොන බොරුද? දැන් කවුද රජයේ නිලධාරින් වැඩ කරන්නේ. නිලධාරින් බයයි. නිලධාරින් එක්දහස් ගණනක් එෆ්සීඅයිඩී එකෙන් ප්‍රශ්න කරනවා. අායිත් එන්න කියනවා. පුදුම හිරිහැරයක් කරන්නේ. මේ වගේ අසහනකාරී තත්ත්වයක් රාජ්‍ය නිලධාරින්ට ඇති කරපු ආණ්ඩුවක් ඉතිහාසයේ නැහැ. ඒ නිසා රාජ්‍ය නිලධාරින් වැඩ කරන්නේ නැහැ. මම අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිවරයෙක් පක්ෂයට ලොකුම සම්බන්ධකමක් තියෙන කෙනෙක් ඔහු කියනවා. ‘මොන කෙහෙල්මලක්ද මේ කරන්නේ. එක්කෝ අපි ඡන්දයකට ගිහින් දිනලා එන්න ඕනෑ. නැත්නම් පැත්තකට වෙලා ඉන්න ඕනෑ. දැන් රටේ කිසිම දෙයක් වෙන්නේ නෑ. නිලධාරින් වැඩ කරන්නේ නැහැ. අපි පක්ෂයක් හැටියට නිකම් සවුත්තු වෙනවා. මෙහෙම ගිහින් අපිට තියෙන ටිකත් නැති වෙනවා’ කියලා. ඒක තමයි ඇත්ත. 

 
• ප්‍රශ්නය:-  සහනද‌ායී අයවැයක් ළඟ ළඟම එනවා?   


පිළිතුර:- එහෙම කියනවා. මහා සුරංගනා ලෝකයක් මවයි. ඒ ගොල්ලෝ කියනවනේ රජයේ සේවකයන්ට රුපියල් දස දහසක් දුන්නා කියලා. සාධාරණ ද ඒ කතාව. අපේ ආණ්ඩුවේ හැම අයවැයකදීම රජයේ සේවකයන්ට රුපියල් 2500 ක් 3000 ක් වැඩි කළේ නැද්ද? අපි කිව්වේ නැද්ද අපේ ඊළඟ අයවැයේදී වැටුපට පිටින් එල්ලලා තියෙන සියලු දීමනා මූලික වැටුපට එක් කරනවා කියලා. ඒවා හරියට සැලසුම් කරලා තිබුණේ. ඒනිසා අපේ රටේ ජනතාව රෑ වැටුණු වළේ මහ දවලේ වැටෙන්නේ නැහැ. මේ තක්කඩි දේශපාලන වැඩපිළිවෙල ජනතාව හොඳට අඳුරගෙන තියෙන්නේ. මේක තනිකරම අවිචාරවත්, අවිධිමත් අසාර්ථක දේශපාලනයක්. දැන් බලන්න කොන්ත්‍රාත් මිනීමැරුම් හොඳට සංවර්ධනය වුණා. ඒක කොච්චර සංවර්ධනය වෙලා ද කියනවා නම් කොන්ත්‍රාත් මිනීමැරුම් ජනාධිපතිවරයා ළඟට යනකම්ම ගිහින්. කවුද මේකේ සැකකරු. නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්. පොලිස්පතිත් එක්ක නම කියවෙනවා මාකඳුරේ මධූෂ් ගේ. මේ තරමටම දේශපාලනය හෑල්ලු කරපු විහිළුවට ලක් කරපු යුගයක් තවත් නෑ. දේශපාලනඥයා නොවෙයි දේශපාලුවා කියන තැනට සමාජය ආවා. කාටුන් යනවා පත්තරවල මුළු පාර්ලිමේන්තුවම ගිලා බහින තැනට. ඒ උත්තරීතර පාර්ලිමේන්තුව ඒ තත්ත්වයට ඇදලා දැම්මා.   

• ප්‍රශ්නය:-  ඔබේ පිරිවරත් එයට අනිවාර්යයෙන්ම වගකිව යුතුයි?   


පිළිතුර:- කතානායකවරයා අත්තනෝමතික නීති විරෝධී විදියට වැඩ කරනකොට මහජන නියෝජිතයන් හැටියට අපිට නිකම් ඉන්න පුළුවන් ද? අපේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයේ එක ආකාරයක්. දැන් අර්ජුන් මහේන්ද්‍රන්ව ඇල්ලුවද? කොහොම වුණත් එයා නොවෙයි පළමු විත්තිකරුවා. මේ බැඳුම්කර හොරකමේ පාර්ශ්ව තුනයි. පළමු වැනි පාර්ශ්වය දේශපාලන නායකත්වය. දෙවැනි පාර්ශ්වය ඒ දේශපාලන නායකත්වයට අනුව ගනුදෙනුව සැලසුම් කරපු නිලධාරි යාන්ත්‍රණය. තුන්වැනි පාර්ශ්වය ව්‍යාපාරිකයා. ව්‍යාපාරිකයාගේ අරමුණ මොකක්ද? ලාභ ලබා ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් ලාබ ලබා ගැනීම. මේකට අණ දුන්නේ කවුද? අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවට ඇවිත් කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට දුරකථනයෙන් කතා කරලා ‘මෙහෙම කරන්න. මෙහෙම කරන්න’ කියලා උපදෙස් දුන්නා කියලා.   


• ප්‍රශ්නය:- නමුත් එහෙම දෙයක් කෝප් වාර්තාවේ නෑ.   


පිළිතුර:- ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඒක වාර්තාවට ද‌ාන්නේ නෑ. හඳුන්නෙත්තිගෙන් ඇහුවම කියනවා. ‘ඒක දැම්මොත් රනිල් අහුවෙලා මහේන්ද්‍රන් බේරෙයි’ කියලා. මොකද්ද මේ කතන්දරය? ඔක්කොම පට්ට හොරුනේ. ඔහොම වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම හොරු කියලනේ මිනිස්සු හිතන්නේ. 225 ටම හෙණ ඉල්ලන්නේ ඒකනේ. පෞද්ගලිකව නොවෙයි ඔය හෙණ ඉල්ලන්නේ. මේ 225 ම නියෝජනය කරන තක්කඩි ක්‍රමයටයි හෙණ ඉල්ලන්නේ. කුඩු බලන්න. මොන තරම් කුඩු තොග දවස ගානේ අල්ලනව ද? අපේ ආණ්ඩුව කාලේ මට මතකයි අනුර කුමාර දිසානායක කියනවා ‘කුඩු ෂොට් එකක් කියන්නේ කන් හැන්දෙන් එකයි. කුඩු කිලෝ 80ක් ගෙනත් තියෙනවා කුඩුවලින් රොටි හදලා කන්න පුළුවන්.’ කියලා පාර්ලිමේන්තුවේ දී කිව්වේ. දැන් කුඩු අහුවෙන විදියට අනුර කුමාර කියනවද ‘සවලෙන් අනලා කොන්ක්‍රීට් ද‌ාන්න පුළුවන්’ කියලා? වචනයක් කතා කරන්නේ නෑ. දැන් බබ්බු වගේ ඉන්නවා. ඒ නිසා මේ රටම මහා විනාශ මුඛයකට ගෙනිහිල්ලා තියෙනවා.   


• ප්‍රශ්නය:- ඒ නිසාද ව්‍යවස්ථා කුමන්ත්‍රණය කරලා ආණ්ඩු බලය ගන්න හැදුවේ?   


පිළිතුර:- ඇත්තටම රට බරපතළම විනාශයකට තල්ලු වෙමින් තිබෙන මොහොතක මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිකම බාර ගන්න කියලා ආරාධනාවක් කළාම රට ගොඩගන්න ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ ආරාධනාව බාර ගත්තේ. ඒනිසා ඔය ජාතික ආණ්ඩු, මොන විලිලජ්ජා නැති වැඩක්ද? 102ක් පාර්ලිමේන්තුවේ තියාගෙන. ඒකෙම උපඇමැති කෙනෙක්ගේ පක්ෂය අරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න යන්නේ.   


• ප්‍රශ්නය:- දැන් තියෙන්නෙත් ජාතික ආණ්ඩුවක්නේ. ජනාධිපති මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. ඔහු ඇමැති ධුර තුන හතරක් දරනවා. ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා.  


පිළිතුර:- එහෙම මීට කලිනුත් තිබුණානේ. චන්ද්‍රිකා කුමාරතුංගත් එහෙම හිටියනේ. 2002 දී රනිල් වික්‍රමසිංහ අගමැති. චන්ද්‍රිකා ජනාධිපති. එතුමිය තියා ගත්තනේ ආරක්ෂක අමාත්‍යාංශය. ඒත් ඒක ජාතික ආණ්ඩුවක් නොවෙයිනේ.  

 

ගෝඨාභය රාජපක්ෂට ඉල්ලුමක් තියෙනවා. ඔහු කරපු වැඩ තියෙනවා. මිනිස්සු ඔහු අගයනවා. හැබැයි ඒ සියල්ල යටයි මහින්ද රාජපක්ෂ කියන අසහාය දේශපාලන නායකයාට. ජනතාව ආදරය කරන්නේ එතුමාට

 

• ප්‍රශ්නය:-  ඔය ඔබ කියන නීති විරෝධී ජාතික ආණ්ඩුව වළක්වන්න ඔබලාට බැහැ.  


පිළිතුර:- අපිට ඒක වළක්වන්න උවමනාවකුත් නෑ. ඇති කරන්න උවමනාවකුත් නෑ. හැබැයි අපි කියන්නේ රට මහා ව්‍යසනයක තියෙන වෙලාවක රටේ වියදම් වැඩි කරන වැඩවලට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ අය ආවෙම වියදම් අඩු කරනවා කියලනේ කීවේ. රාජ්‍ය වියදම දැන් බිලියන හාරදහටත් වැඩියි. ප්ලේන්ටිය බොන්නේ කිව්වා. සරල වාහනවල යන්නේ කිව්වා. රට සවාරි නෑ කිව්වා. හෙලිකොප්ටර් නෑ කිව්වා. එහෙමනේ කිව්වේ. ඒත් දැන් මොනවද කරන්නේ?  


• ප්‍රශ්නය:- ඔය ජාතික ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකුත් එක්වෙනවා කියලා ආරංචියි?  


පිළිතුර:- කොහොමත් දැනටමත් කිහිප දෙනෙක් ඒ පැත්තට ගිහින් ඉන්නවනේ. 

 
• ප්‍රශ්නය:- නෑ නෑ දැනට ඔබලත් එක්ක ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු?  


පිළිතුර:- අපිට බලාගන්න පුළුවන් එහෙම අය ඉන්නව ද කියලා. ඒ අයට නිසි දඬුවම් නිසි කලට ලැබෙයි. මේ ආණ්ඩුවේ ආයු කාලය මාස ගණනින් කියන්න තියෙන්නේ. තමන්​ෙග් ඉරණම ඒ විදියට විසඳ‌ා ගන්නේ කවුද කියලා අපි බලාගමු.  

• ප්‍රශ්නය:-  ගෝඨාභය රාජපක්ෂ කියනවා ‘රට සූද‌ානම් නම් මාත් සූද‌ානම්’ කියලා. ගෝඨාභය පිළිගන්න ඔබල සූද‌ානම්ද?  


පිළිතුර:- ඔහු ඔය ඔබ කියන අර්ථයෙන්ම කිව්වේ නැහැනේ. ඔහු කිව්වේ ‘රට සූද‌ානම් මම සූද‌ානම්’ කියලයි. ඒක ඉතින් තව බලන්න තියෙනවනේ. එතුමට දැනෙන්න ඕනෑ රට සූද‌ානම් කියලා.  


• ප්‍රශ්නය:- ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගෝඨාභයගේ නම දිගින් දිගටම කියවුණා?  


පිළිතුර:- ප්‍රශ්නය තියෙන්නේ මෙහෙමයි. මේ රටේ ජනතා හිතවාදී ජනතාව ආදරය කරන ජනතාව ඉල්ලන එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමයි. හෙට දවසේ එතුමාට තරග කරන්න පුළුවන් ඉතිහාසගත ජයග්‍රහණයක් ලබනවා. නමුත් 19 වැනි සංශෝධනය කියලා කොළ කෑල්ලක් අරගෙන ඇවිත් මහා විකාරයක් කළානේ. ජනතාවට ඇති අයිතිය කඩද‌ාසියකින් යටපත් කරල තියෙන්නේ. එතුමාට දෙවරකට වඩා ඉල්ලන්න බැහැ. ඕක ගෙනාවෙම රාජපක්ෂ පවුලටනේ. වෙන කාටවත් නොවෙයිනේ. ඒකෙම ද‌ාලා තියෙනවා ද්විත්ව පුරවැසිභාවය ගැන. ඒකත් රාජපක්ෂ පවුලටනේ. අර පොඩි එකාට මොන තරම් බයද? නාමල් ඉලක්ක කරගෙන ජනාධිපතිවරණයට ඉල්ලන වයස 35 කළා. බලන්න ඒ කොළ කෑල්ලට ගහලා තියෙන්නෙම රාජපක්ෂලාට බයේ.  


• ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ගෝඨාභය ගැනයි?  


පිළිතුර:- මම මේ කියාගෙන එන්නේ ඒක තමයි. නායකයෝ ගිහිල්ල දේශපාලන පක්ෂ හැදුවේ නැහැනේ. පොදුජන පෙරමුණ හැදුවේ ජනතාව. ඒ ජනතාව පක්ෂය හදලා නායකයන්ට කිව්වා ‘වරෙල්ලා’ කියලා. ඒ නිසා අපට කිසිම ගැටලුවක් නෑ. අපට අපේක්ෂකයන්ගෙන් අඩුවක් නෑ.  


• ප්‍රශ්නය:- චමල් රාජපක්ෂත් ඉන්නවා?  


පිළිතුර:- ඔව් චමලුත් ඉන්නවා. චමල් 88 දී පාර්ලිමේන්තුවට අාවේ. අත්දැකීම් තියෙන නිහතමානී පුද්ගලයෙක්. ලංකාවේ තුන්වැනි පුරවැසියා. ඉතාමත්ම විනීත, නීතිගරුකව කතානායක ලෙස වැඩ කළා. දැන් ඉන්න කතානායකට ඔහුගෙන් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා. මේ කතානායකට ලැජ්ජාවක් තියෙනවා නම් එතුමාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ නිසා චමල් රාජපක්ෂත් සුදුසුයි. නමුත් රටේ ජනතාව තුළ මතයක් ගොඩ නැගිලා තිබුණා. ඒක ඇත්තක්. බොරුවක් නොවෙයි. ගෝඨාභය රාජපක්ෂට ඉල්ලුමක් තියෙනවා. ඔහු කරපු වැඩ තියෙනවා. මිනිස්සු ඔහු අගයනවා. හැබැයි ඒ සියල්ල යටයි මහින්ද රාජපක්ෂ කියන අසහාය දේශපාලන නායකයාට. ජනතාව ආදරය කරන්නේ එතුමාට. ඉතින් එතුමා තමයි තීරණය කළ යුත්තේ කුමක්ද කළ යුත්තේ කියලා. ගෝඨාභය වෙන්න පුළුවන්. වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය අත්‍යවශ්‍යයි. තාම කල් වැඩියි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එළියට ආවේ අන්තිම මොහොතේ. ඒකත් එක ක්‍රමයක්. ඉතින් අපි ඉවසමු.  


• ප්‍රශ්නය:-  මන්ත්‍රී මහින්ද සමරසිංහ කිව්වා ‘අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන’ කියලා. මන්ත්‍රී දුමින්ද දිසානායක අනුරාධපුර බල මණ්ඩලය රැස් කරලා යෝජනාවක් සම්මත කරගත්තා ‘ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී’ කියලා?  


පිළිතුර:- සීයක් විතර ඉන්න බල මණ්ඩලයක මොනවා තීන්දු කරන්න බැරිද? නමුත් ඒ තීන්දු මහ පොළොවේ යථාර්ථය ද? ජනාධිපතිතුමත් මං හිතන්නේ ඒක දන්නවා. දේශපාලන වශයෙන් කුණු බක්කිය පේන අය ඉන්නවනේ. ඊළඟ මැතිවරණයේ දී ජයග්‍රහණය නොවෙයි කුණු බක්කිය පේන පිරිසක් ඉන්නවා. ඒ අය කාගේ හරි පිටින් තියලා මේක කපා ගන්න හදනවා. මේ අය මේ ජනාධිපතිතුමාටත් මේ මොහොතේ මේ කරන්නේ අපහාසයක්. ඔය යෝජනා ගෙනල්ලා ජනාධිපතිතුමාවත් අපහසුතාවයට පත් කරලා එතුමව අනවශ්‍ය ප්‍රශ්නයකට ඇදලා ද‌ාන්නයි ඔහොම කරන්නේ. එක්සත් ජාතික පක්ෂයට සෘජුවම වාසි ගෙන දෙන තත්ත්වයක් තමයි ඔය ඇති කරන්නේ. එන්ජීඕ කල්ලිත් එක්ක අත්වැල් බැඳගෙන වැඩ කරන කට්ටියක් ඉන්නවනේ. ඔවුන් දන්නවා ඔවුන්ට දේශපාලන කුණු බක්කිය තමයි උරුම කියලා.  


• ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර කියන්නෙත් ශ්‍රී ලංකා එකේ නායකත්වය පිළිගත යුතුයි කියලයි?  


පිළිතුර:- ඔහුටත් මහ ලේකම් හැටියට පත් වුණාට පස්සේ මොනවා හරි කියන්න වෙනවනේ. හැබැයි ඔහොම කතා කරපු අයට මොකද වුණේ කියලා ඔබලා දන්නවා. අපිට හොඳ ස්ථාවරයක් තියෙනවා. පළාත් පාලන ඡන්දෙදි අපි සියයට 45ක් ඡන්ද ගත්තා. මාස කිහිපයක පක්ෂයක්. ඉතින් අපි අභියෝග කරනවා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහට පුළුවන් නම් පළාත් සභා මැතිවරණය තියන්න කියලා. අනුර කුමාරලත් එක්ක එකතු වෙලා ඇයි මැතිවරණ කල් ද‌ාන්නේ? ලංකාවේ පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ. මැතිවරණ කල් දැමීමේ ප්‍රජාතන්ත්‍රවාදයක්?  


• ප්‍රශ්නය:- ඔබලා බලය ගන්න යන්නේ බොරු ෆෙඩරල් බිල්ලෙක් මවලයි?  


පිළිතුර:- අගමැතිවරයා කරන්න යන්නේ හරිම තක්කඩි වැඩක්නේ. අගමැතිවරයාගේ පක්ෂය තමයි පාර්ලිමේන්තුව තුළ වැඩිම මන්ත්‍රී පිරිසක් ඉන්න පක්ෂය. ඒත් එයා යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ. අනිත් ඔක්කොම පක්ෂවලට යෝජනා ඉදිරිපත් කරන්න කියනවා. එතුමාගේ අගමැතිකම රැකගන්න දෙමළ ජාතික සන්ධානයත් එක්ක ගිවිසුම් ගැහුවා. එහෙම ගිවිසුම් ගහලා තමයි උසාවියට ගිහින් කිව්වේ පාර්ලිමේන්තුවේ අපිට 117 ක් ඉන්නවා කියලා. සුමන්තිරන් රනිල්ට හිටගනු කියනකොට හිටගන්න ඕනෑ. වාඩිවෙනු කියන කොට වාඩිවෙන්න වෙනවා. ඒක තමයි දැන් කරන්නේ. එතකොට එහෙම තමයි ආණ්ඩුව ගත්තේ. දැන් විද්වතුන්ගේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ද‌ාලා තියෙනවා. අපිට මොකටද වාර්තා? ජේ.ආර්. එහෙමද ව්‍යවස්ථාව හැදුවේ. කොල්වින්ලා ව්‍යවස්ථාව හැදුවේ? අවුරුදු දෙක තුනක් අරගෙන අධ්‍යයනය කරලා ව්‍යවස්ථා හැදුවේ. මේවා විහිළුනේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධානම පක්ෂය යෝජනා ගේන්නේ නෑ. මොන විලි ලැජ්ජා නැති නායකයොද? මේ කරන්න යන්නේ උතුරට ගිහින් කියනවා. ‘මම ඔයගොල්ලෝ ඉල්ලන දේවල් දෙන්න සූද‌ානම්. නමුත් අනිත් අය දෙන්නේ නෑ.’ කියලා. උතුරේ ජනතාව රවට්ටනවා. අපි බියේ හිටියේ මීට කලින් ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනෙයි කියලා. ගේන්න තමයි හිටියේ. අපි අගමැතිකම ගත්ත හින්ද‌ා ඒක නතර වුණා. එහෙම නැත්නම් කරු ජයසූරියනේ කතානායක. ඔහු බැලූ බැල්මට හඬින් මට දැනුණා තුනෙන් දෙක තිබුණා කියලා කියයි. එ් සෙල්ලම දැන් කරන්න බෑ. ඒනිසා ඒ තක්කඩි වැඩේ කරන්න ලැබෙන්නේ නෑ.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්