අපට ඕනෑ අපේ ආණ්ඩුවක් හදන්න


එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හා පක්ෂයේ උප නායක 
රවි කරුණානායක

 

  • කොරෝනා මඩින්න ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ අංගසම්පූර්ණ නැතත්, සාර්ථකයි  
  • අපි ජාතික ආර්ථිකයක් හදන්න ඕනෑ කියලා කියන එකට ජාතික ආණ්ඩුවක් හදන්න ලෑස්තියි කියලා කුහකයෝ ටිකක් කියනවා

 

රටේ දේශපාලන තත්ත්වය හා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හා පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- විපක්ෂය බලාගෙන හිටියෙ කොරෝනා වසංගතයේදී ආණ්ඩුව අනාගනී කියලා. නමුත් ආණ්ඩුව එතැනදී සාර්ථකයි?  


පිළිතුර:- ඔව්. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් මමත් අපේ කණ්ඩායමත් අපි කියලා තියෙන්නේ කොරෝනාව මුළු ලෝකයම හිතපු නැති මොහොතක ආපු වසංගතයක්. ඒ වගේම මේක චක්‍රලේඛ මගින් විසඳන්න පුළුවන් එකක් නොවෙයි. ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ අංගසම්පූර්ණ නැති වුණත් සාර්ථකයි. නමුත් ඒකත් එක්ක සමගාමීව යන ආර්ථිකය ගත්තොත් මම හිතන්නේ නෑ සාර්ථකයි කියලා.  


ප්‍රශ්නය:-නමුත් පවුල් ලක්ෂ හැත්තෑවකට වැඩි සංඛ්‍යාවකට ආණ්ඩුව අමාරුවෙන් වුණත් මාසෙකට රුපියල් පන් දාහක දීමනාවක් දෙනවා?


පිළිතුර:- පන්දාහක් කියන්නේ මොකද්ද පවුලකට? මාසයක් රුපියල් පන් දාහෙන් පවුලකට ජීවත් වෙන්න පුළුවන් නම් අපි රජයේ සේවකයන්ට මාසෙකට රුපියල් බිලියන 110ක් වියදම් කරන්නේ ඇයි? රුපියල් පන් දාහකින් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක අසාධාරණයි. එහෙම දෙන එක හැම දෙයකටම ගැලපෙන සූත්‍රයක් නම් ඒ මොහොතෙ ඉඳලා රට සංවර්ධනය වෙන්න එපැයි. බන්දුල ගුණවර්ධන රුපියල් දෙදහස් පන්සියයකින් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වා වගේම රුපියල් පන්දාහෙන් පුළුවන් නම් ඒක පුදුම දෙයක්.  


ප්‍රශ්නය:- ආණ්ඩුව කියන්නේ අපිට බාර ගන්න වුණේ ආර්ථිකය මුළුමනින්ම විනාශ කරපු රටක්. ඒ අමාරුකම් මැද්දේ තමයි මෙහෙම දෙන්නේ කියලා?  


පිළිතුර:- එහෙනම් අපි කිව්වොත් 2015දී අපි බාර ගත්තෙත් එහෙම රටක් කියලා. මම මුදල් ඇමැති වෙච්ච ගමන් අවුරුදු 11ක් තිස්සේ බලාගෙන හිටපු රජයේ සේවකයන්ගේ පඩිය දහ දාහකින් වැඩි කළා. පොලිසියේ හා හමුදාවේ පඩිය සියයට 30කින් වැඩි කළා. වැටුප් විෂමතා තුරන් කළා. මහපොළ රුපියල් පන්දාහ කළා. එහෙම කළෙත් වැටිච්ච ආර්ථිකයක් තියාගෙන තමයි. කරන්න බැරිකම නොවෙයි. කරන්න මාර්ග හදා ගත යුතුයි. ඒකට නිර්මාණශිලී විය යුතුයි. මම එදා රුපියල් දහ දාහකින් පඩිය වැඩි කළාම මේ අය පුදුම වුණා. මිලියන දාහක ආදායමකින් පොලිය මිලියන 1100යි. අපට ලැබුණේ එහෙම බිම තිබුණු ආර්ථිකයක්. අපි ඒ ආදායමත් දෙගුණයක් කරලා දුන්නා. මේක පහසු නෑ. අමාරුයි. නමුත් මං එහෙම අමාරු අවස්ථාවල පුදුම හිතෙන වැඩ කරලා පෙන්වලා තියෙන නිසා මම කියන්නේ කරන්න පුළුවන් ක්‍රම හා විධි තියෙනවා.  


ප්‍රශ්නය:- ඔබේ ක්‍රමය බදු සහ දඩ. නමුත් මේ ආණ්ඩුව ආපු ගමන් ඒ අනවශ්‍ය බදු ඉවත් කළා? 

 
පිළිතුර:- අපි කොහේද දුප්පත් මිනිසුන්ට බදු ගැහුවේ? පොහොසත් කොම්පැණි 50කට අපි බදු දැම්මා එච්චරයි. කොහෙද අපි බදු ගැහුවේ? මේ ආණ්ඩුව බදු ගහලා නැද්ද? අයින් කරපු උපයන විට ගෙවීමේ බද්ද ආපහු ගහලා තියෙනවනේ. ඒවා බදු නොවෙයිද? එතකොට දුන්න පොරොන්දුවකුත් කඩ කරලා. හැබැයි මං කියන්නෙ නෑ වැඩේ ලේසියි කියලා. ඒක තමයි යථාර්ථය.  


ප්‍රශ්නය:- ඔබ කියලා තිබුණා ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. මොකද්ද මේ අලුත් ඩීල් එක? 

 
පිළිතුර:- විකෘති මනසක් තියෙන කෙනෙකුට හිතෙන ඒවාට මට උත්තර දෙන්න බෑ. මමත් ශ්‍රී ලාංකිකයෙක්. මේක කොළ, නිල්, රතු කියලා ආර්ථිකය බෙදන්න බෑ. ආර්ථිකය හදන්න දායක වෙන්න කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නෑ. අපේ නායකතුමා පස් පාරක් මේ රටේ අගමැති වෙලා තියෙනවා. එතුමා කිව්වෙත් කොරෝනා වයිරසය නැති කරන්න සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. ඒක අපි කරන්න ඕනෑ. මම කිව්වේ ජාතික ආර්ථිකයක් හදන්න ඕනෑ කියලයි. අපිට චෝදනා කරන ඔය ඩීල් දාසලා තමයි ගිහිල්ලා පක්ෂය නැති කරලා ඒ පැත්තට ගිහිල්ලා විපක්ෂ කාර්යාලයයි, රථවාහනයි අරගෙන නිකම් නොවෙයි කැබිනට් පත්‍රිකා දාලා ගත්තේ. එහෙම අරගෙන අපිට කියනවා අපි ඩීල් දාලා කියලා. මේක තමයි අපිට තියෙන ලොකුම කැක්කුම. මේක තමයි ලොකුම විහිළුව.   


ප්‍රශ්නය:- එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ඔබ ඇතුළු කණ්ඩායම ජාතික ආණ්ඩුවක් හදන්න යෝජනා කරන බවකුත් කියැවෙනවා?  


පිළිතුර:- ඔහොම කියන්නේ අර ඩීල් දාසලා. අපි ජාතික ආර්ථිකයක් හදන්න ඕනෑ කියලා කියන එක ජාතික ආණ්ඩුවක් කියලා කුහකයෝ ටික කියනවා. අපි කියලා තියෙන්නේ ජාතික ආර්ථිකයක් කියලා. ඕනෑම යුද්ධයක ජය පරාජය තියෙනවා. නමුත් අපේ ආර්ථිකය හැමදාමත් පරාදයිනෙ. අපිට පිටරටින් සල්ලි ඉල්ලන්න පුළුවන්ද? මොන රටේද දැන් සල්ලි තියෙන්නේ? ඇමෙරිකාව, ජපානය, එංගලන්තය ඔක්කොම දැන් දණ ගහලා ඉන්නේ. ඒගොල්ලන්ගේ ආර්ථිකයත් බිඳ වැටිලා තියෙද්දී අපිට ඒගොල්ලන්ගෙන් සල්ලි ගන්න පුළුවන්ද? ඒක විහිළුවක්. ඒ නිසා තමයි අපි කියන්නේ මේක ජාතික ආර්ථිකයක් හදන්න හොඳ අවස්ථාවක් කියලා. 2 වැනි ලෝක යුද්ධයට පස්සේ ජපානය නන්නත්තාර වෙලා තිබුණේ. අපිට නිදහස ලැබෙනකොට ජපානයේ ඒකපුද්ගල ආදායම 48යි. අපේ 49යි. අවුරුදු 73කට පස්සේ ඒගොල්ලෝ 59000යි. අපි 4000යි. කොහේ හරි ප්‍රශ්නයක් ඇති නේද? අපිට මොළයක් නැද්ද? මොකද්ද තියෙන ප්‍රශ්නය?  


ප්‍රශ්නය:- ඔබ ඇත්තම කියන්න. ජාතික ආර්ථිකයක් ගැන ඔබ කතා කරන්නේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාගන්න?  


පිළිතුර:- ඩීල් එකක් කියන්නේ මොකද්ද? අපේ ඩීල් එක තියෙන්නේ ජනතාවත් එක්ක. ජනතාවත් එක්ක තියෙන ඩීල් එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඡන්දෙදී අපි කියන්නේ අපි ආණ්ඩුවක් හදනවා කියලයි. රටේ තියෙන පැරණිම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය හැටියට අපි එහෙම කියන්නේ නැත්නම් අපිට මොකක්හරි මානසික ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ. පක්ෂය ඇතුළේ ප්‍රශ්නයක් ඇති කරලා කුහකකම නිසාම එළියට ගිහිල්ලා ඉන්න කට්ටිය තමයි ඔය විදියට කියන්නේ. අපි කියන්නේ අපිට කිසිම ඩීල් එකක් නෑ. අපිට ඡන්දයක් ඕනෑ. නමුත් කොරෝනා නැති වෙන්න ඕනෑ. අපිට ඕනෑ අපේ ආණ්ඩුවක් හදන්න. රනිල් වික්‍රමසිංහ භයක් නැතිව 2015දී අපි දිනුවත් එකට වැඩ කරන්න ඕනෑ කියලා කිව්වා. මේ වගේ වෙලාවක අපි කියන්නේ ජාතික ආර්ථිකයක් හදන්න ඕනෑ කියලයි. මේකට වැරැදි අර්ථකථන දීලා හෙඩ්ලයින් දාලා ‘‘මොකද රවී මෙහෙම කියන්නේ’’ කියන ප්‍රශ්නය හදනවා. අපේම කුහකයෝ ටිකක් තමයි ඔහොම කියන්නේ. අපෙන් ගිය කට්ටිය තමයි ඔහොම පතුරවන්නේ. එක්සත් ජාතික පක්ෂය දැන් මහ මුහුද වගෙයි. මහ මුහුද පිරිසුදුයි. වෙරළට තමයි ඔක්කොම කුණු ටික එන්නේ. අන්න ඒ දේ අපේ පක්ෂයට දැන් වෙලා තියෙනවා. රොඩු ටික ඔක්කොම ගහගෙන ගිහින් පක්ෂය පිරිසුදු වෙලා.  


ප්‍රශ්නය:- නඩු පිට නඩු තියෙන අය පක්ෂයත් උගස් කරගෙන ආණ්ඩුවත් එක්ක ඩීල් දානවා කියලා තමයි සජිත් පාර්ශ්වය කියන්නේ?  


පිළිතුර:- එතුමා කියන්නේ මොකද්ද? එතුමලට නැද්ද ඔය කියන ඩීල්? වැඩියෙන්ම ඩීල් තියෙන්නේ කාටද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක දවසක් කිව්වේ, ඔබේ පත්තරෙත් තිබුණේ. ඔබේ පත්තරේ බොරු දාන්නෙ නැහැනේ. ඔය වෘකයෝ බැටළු හම් පොරවගෙන කියවන දේවල්. ඇත්තටම දුක වන්නේ මහ ගෙදරින් පිටවෙලා පොඩි ගේකට ගිහිල්ලා මහ ගෙදරට ගල් ගහ ගහ ඉන්නේ. ඒක විතරයි කරන්නේ. මම ඔය කාගෙවත් නම් කියන්නේ නෑ. ඒ පැත්තේ ඔක්කොම එකයි.  


අපිට ගහන එක තමයි පහුගිය අවුරුදු 15-20 දීම කළේ. ඒ නිසා තමයි අපි විපක්ෂයෙ ඉන්නේ ආණ්ඩුවක් නැතිව. දැන්නම් ඒ කොරෝනා වයිරස් පක්ෂයේ නැහැ කියල හිතාගෙන තමයි අපි ඉන්නේ.  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් එක්ක ඩීල් දාගෙන හිටියෙ කවුද කියල රටම දන්නවා.


ප්‍රශ්නය:- එජාපය මෙහෙම දේකට කැඩිලා ඡන්දයකට යෑම විහිළුවක් නොවෙයිද?  


පිළිතුර:- විහිළුවක් තමයි. මේ විහිළු කරලා තියෙන්නේ කවුද? අපිද? අපේ නායකතුමා අපි ශුද්ධ කරන්නේ නෑ. නමුත් එතුමගේ පරිනත බව බලන්න. මේ වෙලාවේ මේ නායකයෝ දෙන්නා කරන ප්‍රකාශවලින් පේනවා අහසට පොළොව වගේ වෙනස. එක්කෙනෙක් බෙහෙත් වට්ටෝරු දෙනවා. ඒවා බිව්වොත් මරණ සහතිකය ලැබේවි. අනිත් නායකයා පරිණතභාවයෙන් උත්තර දෙනවා. අනික් එක ඔබතුමා අහපු ප්‍රශ්නය හිතන්න. අපි මොනවා කරන්නද? මේ පක්ෂය ඩී.එස්., ඩඩ්ලි, ජේ.ආර්. හදපු පක්ෂයක්. අපි මේ පක්ෂය ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි.   


ප්‍රශ්නය:- පක්ෂයෙ සැබෑ අයිතිය තියෙන්නේ සජිත් පාර්ශ්වයට කියලා ඔවුන් කියනවා?  


පිළිතුර:- ඔව්. ඔව් මමත් දැක්කා ගිය සතියේ එක රූපවාහිනී වැඩසටහනක අපෙන් ගිය එක්කෙනෙක් කතා කරපු ඒවා දැක්කාම අපේ ලේ නැටවෙනවා. ‘‘අපි තමයි සැබෑ යූඑන්පීකාරයෝ’’ කියලා කියනවා. කවුද මෙහෙම කියන්නේ? මේ ඊයේ පෙරේදා ආපු එකෙක්. එහෙම ආපු එකෙක් කියනවා පක්ෂය අපිලු. පක්ෂයෙ හිටියා, වෙනත් පක්ෂයක් හැදුවා, ඒ පක්ෂයෙන් තරග කරනවා. එහෙම කරලා කියනවා ‘‘අපි තමයි සැබෑ යූඑන්පීකාරයෝ’’ කියලා.   


ප්‍රශ්නය:- සජිත් පාර්ශ්වය කියනවා ‘‘සිරිකොත වටලනවා’’ කියලා?  


පිළිතුර:- එහෙම කියනවා. සිරිකොත ආක්‍රමණය කරනවලු. මේ වගේ කැත දේශපාලනයක්. මේවට තිතත් තියන්න ඕනෑ. අපේ එක්සත් ජාතික පක්ෂය අමාරු තැනකට තල්ලු කරලා තියෙනවා. හැබැයි අපි වැටිලා තියෙන්නේ ජනතාවගේ තුරුලට. ජනතාව අපිව ආරක්ෂා කරනවා. අපේ වැරැදි නැහැ නොවේ. නමුත් අපි ඒවා නිවැරැදි කර ගන්නවා. අනිත් පක්ෂවලට සාපේක්ෂව බැලුවොත් අපේ පක්ෂය ගොඩාක් ඉදිරියෙන් තියෙනවා. ඒ විතරක් නොවෙයි. මේ මොහොතේ මම බොහොම ඕනෑකමින් කියන්න ඕනෑ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ නිකම් තියෙන අම්බලමක් නොවෙයි. මේක මේ ආක්‍රමණය කරනවාලු. ඒවා කිසිසේත්ම කරන්න ලැබෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙ මීට පෙරත් දැවැන්තයෝ, ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට නොවෙයි, අනික් අයගේ ප්‍රශ්න නිසා ගියා. ඒත් මේ පක්ෂයට මුකුත් වුණේ නෑ. එහෙම නම් මේ හාල්පාරුවෝ මොකද කරන්නේ? මේ හාල්පාරුවන්ට මුකුත් කරන්න බෑ. දැන් සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ඒ අය කියනවා ඒ අයට වැඩ කරන්න කියලා. එහෙම කරන්න බෑ. එහෙම කළොත් අපි අනිවාර්යයෙන්ම නීත්‍යනුකූලව පියවර ගන්නවා.


ප්‍රශ්නය:- සිරිතක් වශයෙන් පරදින නායකයෙක් වෙච්ච රනිල්ට වෙනස් වෙන්න කිව්වා. අලුත් වෙන්න කිව්වා. දක්ෂයන්ට තැන දෙන්න කිව්වා. ඒවා නොවුණ නිසා නේද පක්ෂය දෙදරලා ගියේ?  


පිළිතුර:- ඒකත් එක හේතුවක් තමයි. නමුත් එතුමටත් පෙනිලා ඇති ඒ ගිය ගමන තුළ මිනිස්සු කෑ ගහලා යමක් පෙන්නුවට. ඒ පෙන්නුවේ පුහු දෙයක්. ඒක ඔප්පු වුණා. එළියට නොගියා නම් පුහු කෝම්බෙ පුපුරන්නේ තව කල් ගිහිල්ලා. හැබැයි දැන් ඒගොල්ලො මරාගෙන මැරිලා. ජනතාව ඒ වෙනස දකිනවා.  


ප්‍රශ්නය:- සජිත්ලා පක්ෂයෙන් යන්නේ ලාංඡනය පිළිබඳ ප්‍රශ්නය නිසා?  


පිළිතුර:- නෑ. කිසිසේත්ම නැහැ. වැරැදි අර්ථකථන දෙන්න එපා. මේක කියවන හැම දෙනාගෙන්ම මම අහිංසක ඉල්ලීමක් කරනවා. මේක තේරුම් ගන්න කියලා. අපි මේ දෙගොල්ලෝ එකට එකතු කරන්න කටයුතුත් කළා. එහෙම වුණාට වැඩපිළිවෙළට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හා නායකතුමාගේ අනුමැතිය තිබිය යුතුයි. නමුත් ඒක කෙරුණේ නෑ. ඒගොල්ලන්ට තිබ්බේ පක්ෂයෙන් එළියට යන වැඩපිළිවෙළක් විතරයි. මම මේ වගකීමෙන් කියන්නේ පක්ෂයේ උප නායකයා වශයෙන්. මමත් මේ අවුරුදු 27ක් මෙතැන පොල් ගගා හිටියේ නෑ. එක්සත් ජාතික පක්ෂය වැටිලා තියෙනකොට අපි මේක උඩට අරගෙන ගිය කට්ටිය. රට පුරාම ගිහිල්ලා ශාඛා හදලා.... පක්ෂය හැදුවා. අපේ චරිත ඝාතනය කළා. අපි නොකරපු දේවල්වලට අපිව වැටලෙව්වා. මේවා හිතනකොට අපේ ඇස්වලටත් කඳුළු එනවා. මේ පක්ෂය හැදුවේ අපි. ඔය හාල්පාරුවො නොවෙයි.  


ප්‍රශ්නය:-අලියා ලකුණ දුන්නා නම් මේ ප්‍රශ්න මුකුත් නෑ?   


පිළිතුර:- ලකුණ දෙන්නේ මොකටද පක්ෂයක් තියෙනකොට. මොනවා වුණත් යම් සම්ප්‍රදායක් තියෙනවනේ යූඑන්පී එකේ. අම්මා හොඳ නෑ, තාත්තා හොඳ නෑ කියලා ඒ අයව මරලා ගෙවල් අත්පත් කරගන්නවද? කොහෙද එහෙම තියෙන්නේ? ඔය වැරැදි අර්ථකථනයක් දෙන්නේ. මම ශුද්ධ කරන්න යන්නේ නෑ නායකතුමාව. සමහරු හිතනවා මම රනිල්ගේ හෙංචයියෙක් කියලා. නෑ එහෙම නෑ. මමත් විවේචනය කරනවා. හැබැයි ඒක කරන්නේ ඇතුළේ. එළියට දෙන්න ඕන නෑ අපේ තියෙන දේවල්. වගකීමක් තියෙන පුද්ගලයෝ හැටියට ඇතුළේ තියෙන දේවල් එළියෙ කියනවා නම් එයා වගකිව යුතු පුද්ගලයෙක් නොවෙයි. 

 
ප්‍රශ්නය:-කොහොම වුණත් දැන් පක්ෂයෙ සාරය තියෙන්නේ සජිත් ළඟ?  


පිළිතුර:– ඒ ඔබතුමා හිතන විදිය. අහිංසක ජනතාව එහෙම හිතන්නේ නෑ.  


ප්‍රශ්නය:- සජිත්ට ලක්ෂ 55 ක් ඡන්ද ලැබුණා?  


පිළිතුර:– ඊට පෙර දාපු මෛත්‍රීපාල සිරිසේනට අපි ලබලා දුන්නා. ඊටත් පෙර සරත් ෆොන්සේකාටත් අපි ලබලා දුන්නා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය. හංගන්න දෙයක් නෑ. මට සජිත් එක්ක පෞද්ගලික ප්‍රශ්න නෑ. නමුත් මත ගැටුමක් තියෙනවා. අද ජනතාව හිතන්නේ එදා මම හිතපු මතය. හැබැයි පක්ෂයක් විදියට අපි තීන්දුවක් ගත්තට පස්සේ ඒක ක්‍රියාත්මක කළ යුතුයි. මම තමයි ජනාධිපතිවරණයේදී වැඩියෙන්ම කැපවුණේ.  


ප්‍රශ්නය:-කැප වුණාට කකුලෙන් ඇද්දා. පරාජය වුණේ ඒ නිසා කියලයි සජිත් පාර්ශ්වය කියන්නේ?  


පිළිතුර:– මං හිතන්නේ ඒගොල්ලන්ගේ කකුල්වලට හා අත්වලට අංශභාග හැදිලා ඇති. නැත්නම් කටේ දෝෂ ඇති. ඔහොම කියන්නේ පැරදුනාට පස්සේ. ඔය කියන හැම කෙනාම එළියෙ ඉන්නේ. දැන් පක්ෂය ඇතුළේ ඉන්න අයගෙන් අහන්න එහෙම වුණාද කියලා.

  
ප්‍රශ්නය:- පක්ෂයෙන් මුදල් දුන්නෙත් නෑ කියනවා?  


පිළිතුර:– මුදල් දුන් නෑ කියන්නේ මොකද්ද? තමාගේ ගෙදර වැඩවලට අල්ලපු ගෙදරින් සල්ලි ඉල්ලලා හරියනවැයැ. ඇවිල්ලා කතා කළේ කොහොමද? සල්ලි තියෙනවා. ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ආපහු අභියෝග කරන්නේ නෑ. එකට යන්නම් කියල තමයි කිව්වේ. එහෙම කකුලෙන් ඇද්දා නම් හංසයා ලකුණ ලබාදීලා තියෙනවා. කොච්චර එකමුතු භාවය තිබුණද? මම සම්පූර්ණයෙන්ම වෙනස් මතයක් දරපු පුද්ගලයෙක්. නමුත් කොයි තරම් එකමුතුභාවයක තිබුණද? ඇයි එක පැත්තකට විතරක් චෝදනා කරන්නේ? ඔය එළියට ගිය හැමදෙනාම තමන්ගේ ආසනය අන්ත පරාදයි. නිකම් පරාජයක් නොවෙයි අන්ත පරාජයක්. ඒවා දැනගෙන තමයි මේවට උත්තර දෙන්න අවශ්‍ය වන්නේ.  


ප්‍රශ්නය:- කොරෝනා නිසා ඡන්දෙ තියන්න එපා කියන්නෙත් පක්ෂය ඇතුළේ තියෙන මේ ප්‍රශ්න නිසයි?  


පිළිතුර:– එහෙම කියන්නේ එළියට ගිය කට්ටිය. අපි කියන්නේ ඡන්දයක් ඕනෑ කියලයි. ඒගොල්ලො උසාවි යනවා ඡන්දෙ එපා කියලා. අපි කියන්නේ ඉස්සෙල්ලා කොරෝනා සුවපත් කරන්න. ඡන්දයක් තියන්න ඕනෑ ජීවත්වන මිනිසුන්ට මිසක් මැරුණ අයට නොවෙයි. කොරෝනා වයිරසය අවසන් කරන්න. අපි කුහක නැතිව කිව්වා අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා කියලා.  


ප්‍රශ්නය:- නමුත් කොරෝනා බයට වඩා තියෙන්නේ මැතිවරණ ප්‍රතිඵල බය කියලා කිව්වොත්?  


පිළිතුර:– නෑ එහෙම කිසිම බයක් නෑ. අප්‍රේල් 25 නේ ඡන්දය තියන්න තිබුණේ. එදා තිබුණ තත්ත්වය නොවෙයි අද තියෙන්නේ. දිනපු හැටියෙම ලොකු වෙනසක් ඇති වුණා. ඒක මාස දෙකක් යනකොට වෙනස් වුණා. ඊට මාස දෙකකට පස්සේ ඡන්දයක් තියනවා කිව්වා. දැන් ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒනිසා අපි මැතිවරණවලට බය නෑ.  


ප්‍රශ්නය:- මැතිවරණවලට බය නැත්නම් මොකටද පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ?  


පිළිතුර:– නෑ. අපි එහෙම කියන්නේ නෑනේ. ඔන්න ඕකයි වෙනස. එක්සත් ජාතික පක්ෂයෙ නායකතුමයි අපියි තත්ත්වය ගැන සැලකිලිමත් වෙලා කිව්වා. පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍ය නෑ. නමුත් වියදම නීත්‍යානුකූල කරගන්න කියලා. අපි කියන දේ වෙනස් අනික් අය කියන දේට වඩා.  


ප්‍රශ්නය:-ආණ්ඩුවට අවශ්‍ය පාරෙම ඔබලාත් යනවා?  


පිළිතුර:– අපි කියන්නේ වියදම් නිත්‍යානුකූල කරන්න කියලයි. එතැනටයි අපි තල්ලු කරන්නේ. ඒක ආණ්ඩුවට අවශ්‍ය දේ නොවෙයි.  


ප්‍රශ්නය:-ආණ්ඩුවක් පිහිටුවන්න නම් සජිත් පාර්ශ්වය සහාය ගන්න වෙයි?  


පිළිතුර:– එහෙම පාර්ශ්ව නෑ. ඇයි ඔබතුමා නම් දාන්නේ? තියෙන්නේ එකයි. ඒ එක්සත් ජාතික පක්ෂයයි. සජිත්වත් නැති කරලා තියෙන්නේ, ඔය හතර පස්දෙනෙකුගේ තියෙන කුහක ගමන නිසා. ඔය පක්ෂයෙ ඉන්නවා හැම ඡන්දෙකටම තරග කරන්නේ වෙනත් පක්ෂයකින්. මේ පාරත් යූඑන්පී එක ගලවාගෙන අරගෙන ගියේ ඒ එක්කෙනා දෙන්නා තමයි.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්