අප දැනට දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නෑ


ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් ලංකාවේ බිහි කළ මුත්තුසාමි කියන කතාව

  • මේ පක්ෂය උතුරට පමණක් සීමා වූ එකක් නොවෙයි  
  • දැනට මේක දේශපාලන පක්ෂයක් නොවෙයි  
  • අවුරුදු පහක කාලයක් අපි සක්‍රීය දේශපාලනයේ යෙදෙන්නේ නෑ.   

 

දේශපාලනයෙන් ඔබ්බට ගොස් සියලු ජනතාවගේ සුබසිද්ධිය සඳහා නව පක්ෂයක් පිහිටුවීමට අදහස් කළ බව ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂයේ සභාපති වී. මුත්තුසාමි මහතා පවසයි. දෙමළ ජනතාවගේ ගැටලු විසඳන බවට බොහෝ දෙමළ දේශපාලන පක්ෂ බිහිවුවද ඒවා තාවකාලික බව ඔහු සඳහන් කළේය. තම පක්ෂය තවම ළදරු වයසේ පසුවෙන බවත් තව බොහෝදුර ගමනක් යාම සඳහා මුල් අවදියේ සිට සැලසුම් සකස් කරමින් පවතින බවත් මුත්තුසාමි මහතා ප්‍රකාශ කළේ ඉරිදා ලංකාදීප සමඟ පැවති සාකච්ඡාවක දීය.   

 

ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂයේ නායක වී. මුත්තුසාමි මහතා සමඟ කළ සාකච්ඡාවේ දී ඔහු සඳහන් කළේ මෙය උතුරට සීමා වූ පක්ෂයක් නොවන බවයි.   
 
ප්‍රශ්නය - මොකක්ද ඔබගේ සභාපතිත්වයෙන් පිහිට වූ නව පක්ෂය?  
 
පිළිතුර - ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය අලුත් දේශපාලන පක්ෂයක්. මේ පක්ෂය දේශපාලනයට වඩා ඔබ්බට ගිය පක්ෂයක්. දෙමළ ජනතාව දේශපාලනයට සූදානම් කරන පක්ෂයක් හැටියට සඳහන් කරන්නත් පුළුවන්. දෙමළ ජනතාව දේශපාලනයට උනන්දු කරවන පක්ෂයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්.   
 
දැනට පක්ෂයේ සභාපති ලෙස මමත් ලේකම් ලෙස එච්. ඉනුජිත් මහතා සහ භාණ්ඩාගාරික ලෙස ඩී. තිලාන් මහතා කටයුතු කරනවා. ශ්‍රී ලංකා භාරතීය පක්ෂය දෙමළෙන් හඳුන්වන්නේ ඉලංගෙයි භාරතීය ජනතා කච්චි ලෙසයි. ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ භාරතීය ජනතා පාටි ලෙසයි.   
 
ප්‍රශ්නය - දෙමළ ජනතාවගේ නියෝජිතයන් කියලා බොහෝ පක්ෂ බිහිවුණ නමුත් ඒ පක්ෂ කිසිවක් දෙමළ ජනතාවට සේවය කළේ නැහැ. ඒ පක්ෂ ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට අනුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි දෙමළ ජනතාව අතර ඒ පක්ෂ ප්‍රතික්ෂේප වුණේ අනික ඒ පක්ෂවලට දීර්ඝ කාලීන පැවැත්මක් නැහැ. එක්කෝ සන්ධානගත වෙනවා. නැවත සන්ධානවල මත ගැටුම් නිසා ඉවත් වෙනවා. ඒ පක්ෂ සියල්ල ජනතාවට බොරු පොරොන්දු දෙනවා ඔවුන්ගේ ස්ථාවරය පවත්වාගෙන යන්න. 
 
ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය ඒ වගේ පොරොන්දු දෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙමළ ජනතාවගේ ප්‍රසාදය දිනාගන්න වැඩපිළිවෙළක් සකස් කරනවා.   
 
ප්‍රශ්නය - මොකක්ද ඒ වැඩපිළිවෙළ?  
 
පිළිතුර - අපි ප්‍රථමයෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඔවුන්ගේ අධ්‍යාපනය නංවන්න වැඩපිළිවෙළක් සකස් කරනවා. දෙමළ තරුණ තරුණියන්ට සිංහල හා ඉංග්‍රීසි ඉගැන්වීමටත් සිංහල අයට දෙමළ ඉගැන්වීමටත් කටයුතු කරනවා. අනික ඔවුන්ගේ ශරීර ක්‍රියාකාරම් වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා කෞශල්‍ය නංවා ලීමටත් කටයුතු කරනවා. ඒ වගේම ඔවුන්ට සංස්කෘතික වශයෙන් අවබෝධයක් ලබා දෙනවා.   
 
ප්‍රශ්නය - මේක දේශපාලන පක්ෂයක් නොවෙයිද?  
 
පිළිතුර - දැනට මේක දේශපාලන පක්ෂයක් නොවෙයි. පක්ෂයක් විදිහට කටයුතු කළාට අප දැනට දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද අප පක්ෂය තවම ලියාපදිංචි කරලා නැහැ. අඩුම තරමේ වසර පහක්වත් යන්න ඕනෑ. අනික අපිට දේශපාලනය කරන්න තරම් ප්‍රමාණවත් වත්කමක් නැහැ. අපිට දිගු ගමනක් යන්න ඕනෑ දේශපාලනයට පිවිසෙන්න. ඒ නිසා තමයි අපි පහළ මට්ටමේ ඉඳලා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියත්මක කරන්නේ.   
 
ප්‍රශ්නය - මෙය දෙමළ ජනතාව අතර පමණක් ක්‍රියාත්මක වන පක්ෂයක්ද?  
 
පිළිතුර - දෙමළ ජනතාවට පමණක් සීමා කරලා නැහැ. ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට අයත් පිරිසට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් උතුරේ සිටිනවා ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක්. ඔවුන්ටත් අපි දෙමළ, ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරනවා.   
 
අපේ මේ වැඩපිළිවෙළට සහය දෙන්න කියලා අධ්‍යාපනයට ක්‍රීඩාවට සංස්කෘතික වශයෙන් දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට සහය දෙන්න පුළුවන්. අපි ඔවුන්ට විවෘත ආරාධනාවක් කරනවා අපිට උදව් කරන්න කියලා. මෙයට සහයෝගය දෙන්න පුළුවන් කොළඹ කොටුවේ පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ අපේ ප්‍රධාන කාර්යාලය තිබෙනවා. එතනට ඇවිල්ලා ඕනෑම කෙනෙකුට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්.
   
ප්‍රශ්නය - ඉදිරියේ දී දේශපාලනයට එන්න අදහස් කරනවාද?  
 
පිළිතුර - ඔව්, දැනට නැහැ. නමුත් අපි හොඳ ස්ථාවරයකට පත්වුණාම දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුදු පහක පමණ කාලයක් අපි සක්‍රිය දේශපාලනයේ යෙදෙන්නේ නැහැ.   
 
ප්‍රශ්නය - ඇයි ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය කියලා නම් කළේ?  
 
පිළිතුර - මේ නම ඉතා ජනප්‍රිය නමක්. දෙමළ ජනතාව අතර ඉතා ජනප්‍රියයි. ඒකනිසා තමයි අපි ඒ නම යොදාගත්තේ.   
 
ප්‍රශ්නය - දැනට කලින් සඳහන් කළ දේවල් ක්‍රියාත්මක වෙනවද?  
 
පිළිතුර - අනිවාර්යයෙන්ම දැනටමත් ක්‍රියාත්මක වෙනවා. මේක අපි ක්‍රියාත්මක කරන්නේ පෞද්ගලික පංති ක්‍රියාත්මක කරන ආකාරයට. දැනට සම්පූර්ණයෙන් මගේ පෞද්ගලික මුදලින් තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. මෙයට සහභාගි වෙන අයගෙන් අපි කිසිම සාමාජික මුදලක් අය කරන්නේ නැහැ. නමුත් ඔවුන් රුපියල් සියයක් හෝ පරිත්‍යාග කරනව නම් අපි එය ඉතා අගේ කොට සලකනවා.   
 
ප්‍රශ්නය - දිවයිනේ කොයි කොයි ප්‍රදේශවල ද මෙය ක්‍රියාත්මක කරන්නේ?  
 
පිළිතුර - දැනට අපි යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කළා. අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ අවශ්‍යතා පරිදි දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ආරම්භ කරන්න. මෙය දෙමළ කියලා වෙනසක් නැහැ. ඕනෑම අයෙකු මෙයට සහභාගි වෙන්න පුළුවන්. දෙමළ භාෂාව ඉගෙන ගන්න කැමති ඕනෑම අයෙකුට අපි ඒ අධ්‍යාපනය ලබා දෙන්න සූදානම්. ඒ වගේම දෙමළ ජනතාවට සිංහල ඉගෙන ගන්න කැමති නම් අපි ඒ පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන්නත් කටයුතු කරනවා.   
 
ප්‍රශ්නය - මෙය ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ද?  
 
පිළිතුර - කිසිම සම්බන්ධයක් නැහැ. මෙය දෙමළ ජනතාව අතර ප්‍රසිද්ධ පක්ෂයක් නිසයි අපි මේ නම යොදා ගත්තේ. නමුත් අපිට ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. අපේ මූලික අරමුණ තමයි අධ්‍යාපනය, ක්‍රීඩාව හා සංස්කෘතික දැනුම වර්ධනය කරන්න. අපේ අදහස ඒකයි. ඉදිරියේ දී අපි හොඳ ස්ථාවරයකට පැමිණුනාම දේශපාලනයට එනවා. දේශපාලනයට කෙළින්ම එන්න විශාල මුදලක් අවශ්‍යයිනේ. අපිට ඒ සඳහා දැන් ප්‍රතිපාදන නැහැ.   

 

 

 

සාකච්ඡා සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර