අද රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයකට පත්වෙලා


ඒකාබද්ධ විපක්ෂය මොනවද කරන්නේ? ඔවුන්ගේ ඊළඟ ක්‍රියාමාර්ගය කුමක්ද? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- මේ යන විදියට ඒකාබද්ධ විපක්ෂයටත් ‘ඇඩ්‍රස් නෑ’ වගෙයි?   
පිළිතුර:- ආණ්ඩුව උත්සාහ කරනවා ඒකාබද්ධ විපක්ෂයට ඇඩ්‍රස් නැති කරන්න. නමුත් අනිත් අය​ගේ ඇඩ්‍රස් නැති කරන්න යන අයගේ තමයි ඇඩ්‍රස් නැති වෙන්නේ. ඔබටම පේනවා ඇති ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ කියලා. අද ඇත්තටම ගත්තොත් රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්වෙලා. තමන්​ෙග් ප්‍රශ්න කියාගන්න ආණ්ඩුවේ ඇඩ්‍රස් හොයන්න ජනතාවට සිද්ධ වෙලා.  

 

 
ප්‍රශ්නය:- ඔබ ඔහොම කිව්වත් දෛනික සටන් අතරේ දවස් ගෙවා දමනවා හැරුණුවිට ඒකාබද්ධ විපක්ෂයත් වෙන මුකුත් කරන බවක් පේන්නේ නෑ.?   

පිළිතුර:- අපේ දේශපාලන න්‍යාය පත්‍රය ජනතාවාදියි. මහින්ද රාජපක්ෂ කියන නායකයා මේ රටේ ජනාධිපති හැටියට අවුරුදු දහයක් හිටියා. ​ෙම් රටේ නායකයෙක් හිටියා කියලා දැනෙන්නේ එතුමාව විතරයි. ඒකට හේතුව එතුමා හිටියේ ජනතාව සමඟ වීම. ඒ නායකයා පරාජය කළේ හොරා ගහන බොරු කියලා ජනතාවට කෙළවරක නැති බොරු පොරොන්දු දීලයි මේ ආණ්ඩුව බලයට ආවේ. කරනවා කියා හිතන්නවත් බැරි පොරොන්දු තමයි මේ අය දුන්නේ. ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයේ වටිනාකම දවසින් දවස ජනතාව තේරුම් ගනිමින් ඉන්නේ. දැන් ජනතාව ප්‍රශ්න කියන්නේ අපිට.   

 


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණෙත් ඒකම තමයි. මොකක්ද ඒකාබද්ධ විපක්ෂේ සූදානම?   
පිළිතුර:- අපි සූදානම ඒකාබද්ධ විපක්ෂය හැටියට මේ අවුරුද්ද ඇතුළත පළාත් පාලන මැතිවරණය තියන්න ඕනෑ. පළාත් සභා මැතිවරණය තියන්න ඕනෑ. ඒ මැතිවරණ දෙකම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා ආණ්ඩුවට එරෙහිව දැවැන්තම රතු එළිය දල්වලා පෙන්වන්න.’ හිටියා ඇති. ගෙදර යන්න’ කියලා කියන්න අපි සූදානම්. ඒකට අවස්ථාව ලැබෙනතුරු තමයි අපිත් ජනතාවත් බලාගෙන ඉන්නේ.   

 


ප්‍රශ්නය:- ඔහොම කිව්වට ඒකාබද්ධ විපක්ෂය ඇතුළෙත් ඒකමතිකත්වයක් නෑ. අඩුම තරමින් ඡන්දෙ ඉල්ලන්නෙ මොන පක්ෂයෙන්ද කියලත් තාම තීරණයක් නෑ.   
පිළිතුර:- අපි අතරේ ප්‍රශ්න තියෙනවා කියලා පෙන්වන්න ආණ්ඩුවත් ලොකු උත්සාහයක යෙදෙනවා. ඒක ගැන අපිට සතුටුයි මොකද ඒකෙන් තමයි අපි තේරුම් ගන්නේ ජනතාව තේරුම් ගන්නෙත් මේ ආණ්ඩුවට මාරාන්තික වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය කියලා. ඒ නිසා විවිධ ප්‍රශ්න අපි කර තියෙනවා කියලා පෙන්වන්න හදනවා. අපි කියන්නේ. ඔය බොරු වැඩ නොකර ජනතාව ​ඉන්​ෙන් කා එක්කද කියලා පෙන්වන්න හෙට මැතිවරණයක් තියන්න කියලයි.   

 


ප්‍රශ්නය:- ම​ෙග් ප්‍රශ්නය වුණේ ඉල්ලන්නේ මොන පක්ෂයෙන්ද කියලයි?   
පිළිතුර:- මෙහෙමයි. දැන් සටනේ අවසන් අදියරට ඇවිත් තියෙන්නේ. ඉස්සරහට හමුවීමට තිබෙන්නේ නන්දිකඩාල් කළපුව. ඒ නිසා යුද රහස් කියන ඒවා ආරක්ෂා කරගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ මොහොතේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් මම වැළකී සිටිනවා.   

 


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය නම් කිව්වේ ආණ්ඩුව පුපුරනවා. ඇතුළේ ලොකු කැරැල්ලක් තියෙනවා. ඒක පාවිච්චි කරලා අපි ආණ්ඩුවක් හදනවා.’ කියලයි. දැන් ඒ ගැන කතාවක් නෑ?   
පිළිතුර:- අපි අ​ෙප් ඇහැට පේන දෙයක් ගැන කතා කරමු. මේ මොහොත වන විට රටේ බලන්න. ​ෙඩංගු රෝගය රට පුරාම පැතිරෙනවා. දිස්ත්‍රික්ක ගණනාවක් අධි අවදානම් දිස්ත්‍රික්ක හැටියට නම් කරලා තියෙනවා. ඩෙංගුවලින් මැරෙන රෝගීන්ගෙන් සියයට 25 ක් පාසල් දරුවන්. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්. කෝ ආණ්ඩුවෙන් විසඳුම්. අනික් කාරණය හැම ගමකම, හැම නගරයකම කුණු පිරිලා. මාධ්‍යයෙන් පෙන්වන දර්ශන බලන්න. පාරවල් පුරා කුණු. ඉතාම ලස්සනට තිබුණ කොළඹ නගරය අද කුණු නගරයක් වෙලා. ගංවතුරෙන් ඒ නාය යෑම්වලින් කී දෙනෙක් මියගියාද? කී ලක්ෂයක් අවතැන් වුණාද? ඒ ජනතාවට මේ ආණ්ඩුව සහන දුන්නාද? ඒ ජනතාව තියා මීට අවුරුද්දකට කලින් අවතැන් වෙච්ච සාමසර කන්දේ ජනතාව තවමත් ඉන්නේ තාවකාලික කූඩාරම්වල. අවුරුදු දෙකයි මාස හයක් ගතවෙන මේ ආණ්ඩුව මොනවද කළේ කියන එක සාලාව අවි ගබඩාව පුපුරා යෑමෙන් අවතැන් වෙච්ච ජනතාවට විතරක් නොවෙයි. මුළු රටේම ජනතාවට තියෙන ප්‍රශ්නයක්.   

 


ප්‍රශ්නය:- ම​ෙග් ප්‍රශ්නය වුණේ?   
පිළිතුර:- ඔව්. මම මේ එතැනට තමයි එන්නේ. අද මේ ආණ්ඩුවට ඡන්දය දුන්න ජනතාවට මොකද වෙලා තියෙන්නේ. අද ලංකාදීප පත්තරයේ ‘හෙඩ් ලයින්’ එක මොකක්ද? ‘බස්ගාස්තු වැඩිවෙයි’ කියලා. ඊට යටින් තියෙනවා ‘ජල ගාස්තුවත් වැඩිවෙයි‘ කියලා. ඒවා කියවන මේ ආණ්ඩුවට ඡන්දය දුන්න ජනතාවගේ ‘ගෑස්’ වැඩි වෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ වැඩි නොවුණේ මොනවද? පාතාලය වැඩි වුණා මරාගෙන මැරෙන එක වැඩ වුණා. ඔබ අහපු දෙයට උත්තරයක් විදියට කියනවා නම් මේ ආණ්ඩුවට යන්න බැහැ කියලා කියන්නේ අපි විතරක් නොවෙයි. ජනතාව විතරක් නොවෙයි. මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ම අපට කියනවා ‘මෙහෙම යන්න බෑ’ කියලා. ‘මොකක් හරි කොරපල්ලා’ කියලා පාර්ලිමේන්තුවේ ලොබියේදී කැන්ටිමේදී හමුවන මැති ඇමැතිවරුන් අපට කියනවා.   

 


ප්‍රශ්නය:- නමුත් ඒකාබද්ධ විපක්ෂයට වැඩ පිළිවෙළක් නෑ.   
පිළිතුර:- මම කිව්වනේ යුද රහස් හෙළි කරන්නේ නෑ කියලා.   

 


ප්‍රශ්නය:- ඔහොම කිය කියා මේ අවරුදු දෙක හමාරත් ගෙවලා දායි   
පිළිතුර:- මෙහෙමයි. ඒකාධිපති වියරුවක් ඇති වුණාම ආණ්ඩු බලෙන් ගෙනියන්න උත්සාහ කරයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ නම් නියමිත වෙලාවට ඡන්දය තැබීමයි. දැන් බලන්න පළාත් පාලන ඡන්දය කල් දාලා අවුරුදු දෙකක් වෙනවා. ප්‍රතිඵලය මොකක්ද ඩෙංගු බෝවෙලා. කුණු පැතිරිලා ආපදාවට පත් ජනතාවට සහන සලසන්න යාන්ත්‍රණයක් නොමැතිකම. මේවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්ද? මේ නිසා මේ ආණ්ඩුව ඡන්දවලට යන්න බයයි. ඒ නිසා ඡන්ද නොතියාම යන්න විවිධ වර්ගයේ වියරු උත්සාහයන් ගනීවි. නමුත් අපි දැක්කනේ වෙනත් රටවල ජනතාව මාලිගා වට කරපු හැටි. නායකයන් වට කරපු හැටි. ඒ තත්ත්වයට මේ රටේ ජනතාවත් පත්වෙයි. සාධාරණ විසඳුමක් නොලැබුණොත්. ඒ නිසා ඔය ඔබ කියන ‘කාලය’ ගැන මම නම් වැඩිය හිතන්නේ නෑ. ඒක කොයි වෙලාවෙද කියලයි හිතාගන්න බැරි.   

 


ප්‍රශ්නය:- ආණ්ඩුව හා මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නිර්මාණය කරන්න ඇතැම් පිරිස් උත්සාහ කරනවා කියලා ජනාධිපතිවරයා කිව්වා. ඔය ඇතැම් පිරිස් අතර ඒකාබද්ධ විපක්ෂයත් ඇති?   
පිළිතුර:- ජනාධිපතිවරයාගේ කතාවම විහිළුවක්නේ. ආණ්ඩුවයි මුස්ලිම් ජනතාවයි අතර ගැටුම් නොවෙයි ජනතාවයි ආණ්ඩුවයි අතර ගැටුමයි මේ ඇවිළිලා යන්නේ ඒ නිසා අලුත් ගැටුමක් මෙතැන නෑ. මුළු ජනතාවම ඉතාම තීරණාත්මක විදියට ආණ්ඩුවක් එක්ක ගැටුමකට සූදානමින් ඉන්නේ. මේ ආණ්ඩුව කියන්නේ අපෙන් විතරක් නොවෙයි තමන්ට ඡන්දය දීපු ජනතාවගෙන්ම පළිගන්න ආණඩුවක්. දින සියයේ ආණ්ඩුවෙන් මහා ස්වර්ගයක් මවනවා කියලා කිව්වා. මහා විස්මිත රටක් හදනවා කියලා කිව්වා. අන්තිමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු රටත් මේ හාදයෝ ටික විනාශ කරලා. මහින්ද රාජපක්ෂ හදපු රට කන ආණ්ඩුවක් මේක. ඉතින් එහෙම වෙනකොට මිනිස්සු ගැටෙනවා මේ ආණ්ඩුවේ වැඩ ගැන නෙවෙයි මේ ආණ්ඩුවේ නම කියන කොටත් මිනිස්සු කෙළ ගහන තත්ත්වයට පත්වෙලා. ආණ්ඩුවේ නායකයින් ටීවී එකෙන් දකිනකොට ටීවී එක ඕෆ් කරන නත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. ඒ තරමට මේ ආණ්ඩුව එපා වෙලා. ඒ නිසා ගැටුම් නිර්මාණය වෙන්නේ කුමන්ත්‍රණ ඡන්ද නොවෙයි ආණ්ඩුවේම වැඩ හින්දයි.

 

  
ප්‍රශ්නය:- නමුත් මේ ජාතිවාදයට ඒකාබද්ධ විපක්ෂය ඉන්නවා කියන එක ඔබේ ඇතැම් නායකයෝ කරන කියන ප්‍රකාශ හරහම ආණ්ඩුව පෙන්නනවා.   
පිළිතුර:- කිස්සේත්ම නෑ. මම නියෝජනය කරන්නේ කළුතර දිස්‍්ත්‍රික්කයේ බේරුවල ආසනය. මම බේරුවල ප්‍රා​ෙද්ශීය සභාවේ සභාපතිවරයා හැටියට තමයි මේ ​ෙද්ශපාලන ගමන ආරම්භ කළේ. සිංහල, මුස්ලිම් කියන ජාතීන් දෙකත් දෙමළ ජනතාවත් අපි බොහොම සමගියෙන් ඉන්නේ. අපි මේ සියලු ජාතීන් එක්ක බොහොම සංහිඳියාවෙන් වැඩ කරපු අය. ඒ නිසා මොනම විදියෙ ජාතිකවාදයකට අප අතර ඉඩක් නෑ. හැබැයි කවුරු හරි ජාතිවාදී හැඟීම් අවුස්සනවා නම් ඒකට අවශ්‍ය වටපිටාව හදනවා නම් ඒකට සැබෑ ලෙසම අපි විරුද්ධයි. මම ඒකට එදා ඉඳලම විරුද්ධ වෙන්නේ ඒ ජාතික සමගිය හොඳටම තිබුණ ප්‍ර​ෙද්ශයක ජීවත් වෙච්ච නිසා.   

 


ප්‍රශ්නය:- බොදුබල සේනාව වැනි සංවිධාන පෝෂණය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙදි කියලා මේ ආණ්ඩුව කියනවා.   
පිළිතුර:- කිසිසේත්ම නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. දර්ගා නගරයෙ යට හිටියෙ කවුද කියන එක ගැන අපි වෙනම දවසක කතා කරමු. මම ඒකට අවශ්‍ය තොරතුරු ඔක්කොම දෙන්නම්. ඒක අාණ්ඩුව පෙරළන සාධකයක් පමණයි කර ගත්තේ. මහින්ද මහත්තයා පරාජය කරන්න නම් මුස්ලිම් ජනතාව ඈත් කරවන්න ඕනෑ නිසා ඒක තමයි එදා කළේ. ඒ නිසා ඒක මහින්ද මහත්තයා හෝ මහින්ද රාජපක්ෂ පාලනය පෝෂණය කළ සංවිධානයක් නොවෙයි.   

 


ප්‍රශ්නය:- කොහොම වුණත් ඔබේ කඳවුරෙන් ගිලිහී ගිය සුළු ජාතික ඡන්ද මේ වනවිට යළිත් දිනාගන්න ඔබේ කඳවුර සමත් වුණාද?   පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. දැන් අපට ​පොළොවේ මට්ටම හොඳට පේනවා. මුස්ලිම් ජනතාව එදා තමන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු හොඳට කරගෙන ගියා. අද ඒ සියල්ල වැටිලා තියෙනවා ඒ විතරක් නොවෙයි. අද ඒ ජනතාවට සිද්ධවෙන අසාධාරණකම් ගැන කතා කරන්​ෙන් අපියි. වෙන කවුරුවත් නෑ. ඔවුන් ගැන කතා කරන්න. එදා බොරු කියලා බොරු මවලා අපට අහිමි කළ මුස්ලිම් ජනතාව දැන් යළිත් අපත් සමඟ එකතුවෙලා ඉන්නවා. ඒ ජනතාව කියන්නේ ‘මහින්ද මහත්තයා ආපහු රටට ආ යුතුයි’ මහින්ද මහත්තයට වැඩ පිළිවෙළක් තිබුණා. එතුමා රට හැදුවා.’ අද මුස්ලිම් ජනතාව දෙමළ ජනතාව කියෙන්නේ එහෙමයි. නිදහසින් පස්​ෙස් සියලු ජනතාවට සමානව සංවර්ධනයක් අත්පත් වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේදී බව අවිවාදාත්මකයි.

 

  
ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ අහිමි වුණු ජීඑස් ප්ලස් යළි ලබා ගන්න මේ ආණ්ඩුව සමත් වෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ ඒකටත් අවමන් කරනවා හා රටට බොරු කියනවා කියලා ඇමැති මංගල කියනවා.  
පිළිතුර:- ජීඑස්පී + මේ ගොල්ලෝ ගන්න යන්නේ රට උගස් කරලා කිසිම රටක් යටත් නොවන කොන්දේසිවලට යටත්වෙලයි අපේ වත්තට බලෙන් ඇතුළුවෙලා අපේ වත්තේ අයිතිය ගැන කතා කරනවා වගේ ජීඑස්පී + ගන්න අපේ රට විකුණන්න ඉඩ දෙන්න බැහැනේ. එහෙම කිව්ව වුණා නම් අපිටත් ජී.එස්.පී + ගන්න තිබුණා. එහෙම ගත්තනම් අපේ රටේ ස්වාධීනත්වයට මොකද වෙන්නේ? නමුත් මේ රූකඩ ආණ්ඩුව වෙන අය ගහන ඕනැම බෙර පදයකට නටනවනේ. ඉතින් මොන අසාධාරණ කොන්දේසිවලට යටත්වෙලා හරි නාමිකව හරි මොනවා හරි දෙයක් ගන්න මේ ආණ්ඩුව සූදානම්.  

 


ප්‍රශ්නය:- ඇතැමුන් කියනවා ඒකාබද්ධ විපක්ෂයෙ සමහරු ජනාධිපති මෛත්‍රී එක්ක ඩීල් එකක ඉන්නවා. තවත් අය අගමැති රනිල් එක්ක ඩීල් එකක ඉන්නවා කියලා. ඔබ ඩීල් දාගෙන ඉන්​ෙන් කා එක්කද?  
පිළිතුර:- ඒකාබද්ධ විපක්ෂයෙ කිසිම කෙනෙක් ඔය කා එක්කවත් ඩීල් එකක නෑ. අපට තියෙන එකම ඩීල් එක ජනතාව එක්ක හා අපේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග පමණයි.  

 


ප්‍රශ්නය:- නමුත් සමහර සිද්ධිවලදී එහෙම ඩීල් තියෙනවා කියලා පේනවා?  
 පිළිතුර:- බොරුව ඇත්ත වගේ පේන්න පටන් ගන්නවනේ. මම ඔය ඩීල් ගැන කතාවට අදාළව මෙහෙම උත්තරයක් දෙන්නම්. මේ ආණ්ඩුවේ ඉන්න අයට මේ ආණ්ඩුව වැටෙන්නේ කොයි වෙලාවේද කියලා විශ්වාසයක් නැහැනේ. අද රෑ නිදාගෙන හෙට උදේ නැගිටිනකොට ආණ්ඩුව තියෙයිද කියලා විශ්වාස නෑ. ආණ්ඩුවේ ඇමැතිවරු ඒක දන්නවා. ඒ හින්දා හොරු කිව්​ෙව් අපේ ආණ්ඩුවටනේ. නමුත් ඇත්ත හොරු ඉන්නේ ​ෙම් ආණ්ඩුවේ.  

 


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ගිය ආණ්ඩුවේ හොරු හිටියෙම නෑ?  
පිළිතුර:- වාචාල විදියට චෝදනා නම් කළා. නමුත් ඇත්ත හොරු ඉන්නේ කොහේද? උදාහරණයක් මම ඔබට කියන්නම්. ලංකාවේ බඩඉරිඟු නිෂ්පාදනයෙන් වැඩි කොටසක් සත්ව ආහාරයට ගන්නවා. කුකල් මස් නිෂ්පාදනය එහෙම පවත්වාගෙන යන්නේ ඒ විදියටයි. මේ බඩඉරිඟු ඇටෙන් පිටරටින් ගෙන්වන එක අද මාෆියාවක් කරගෙන ඇමැතිවරුන් තුන් හතර දෙනෙක් ඉතාම සූක්ෂම විදියට හොරා කනවා. මේක තමයි අලුත්ම ගැහිල්ල.  

 


ප්‍රශ්නය:- ඔබ වගකීමෙන්ද කියන්නේ?  
පිළිතුර:- මම ඔබට සියලු තොරතුරු දෙන්නම්. දැන් ඒ සමහර ඇමැතිවරු හිටියනේ ලොකුවට කෑගහපු දැන් කට වැහිලා. මොකද ඒ ගොල්ලෝ දන්නවා බඩ ඉරිඟු ඇටෙනුත් ගහන බව අපි දන්නවා. කියලා බඩඉරිඟු ගෙන්වන සංගම් එක්ක කරන ගනුදෙනු අපි දන්නවා කියලා ඔවුන් දන්නවා. ඒ නිසා විවිධ ඩීල් ගැන කතාවලින් අපට ගහනවා. ඒකේ ඇත්ත කතන්දරය තමයි මම ඔය කිව්වේ.

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්