අද මේ රටේ ආණ්ඩුවක් නෑ


එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
ජාතික හෙළ උරුමයේ නායක
පාඨලී චම්පික රණවක

රටේ සිදුවන්නේ කුමක්ද? රට තුළ සිදුවිය යුත්තේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ සාකච්ඡාවකි.   

 


• ප්‍රශ්නය :- ඔබ ඇතුළු බලවේග මුල්වෙලා ජනාධිපති පුටුවේ වාඩි කළ මෛත්‍රීපාල සිරිසේන මෙහෙම වෙනස් වෙයි කියලා ඔබ හිතුවද?   


• පිළිතුර :- මෙහෙමයි. මතුපිටින් කවර කාරණා කිව්වත්, ජාතික සම්පත් විකුණනවා, ෆෙඩරල් ව්‍යවස්ථාව ගේනවා, බටහිර බලපෑම් ආදිය ගැන කවරක් කිව්වත්​ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ඉතාම පෞද්ගලික අවශ්‍යතාවයක් තිබුණේ නැවත වතාවක් රටේ ජනාධිපති වෙන්න. එතුමා ඒ අභිලාෂය යූඑන්පියට කිව්වා. යූඑන්පියෙන් හොඳ පිළිතුරක් ආවේ නැති හින්ද‌ා එතුමා එතුමාගේ පරණ කඳවුර එහෙමත් නැත්නම් එතුමාට 2015 දී තිබුණු සතුරු කඳවුර දෙසට යොමු වුණා.   


• ප්‍රශ්නය :- මෛත්‍රී-මහින්ද කියන්නේ ඔබ කියපු විදියටම සතුරු කඳවුරු දෙකක්. එක්වෙයි කියලා කවද‌ාවත් හිතන්නත් බෑ. එහෙම කඳවුරකට ඔය ඔබ කියන හේතුන් වෙනුවෙන් යයිද?   


• පිළිතුර :- එතැනදි මහින්ද රාජපක්ෂටත් ගැටලු කිහිපයක් තිබුණා. එකක් මහින්ද රාජපක්ෂ කවුරු මොනවා කිව්වත් අවසාන වශයෙන් රටේ ඒකීයභාවය හෝ රට පිළිබඳ තියෙන හැඟීම හෝ ජනතාව පිළිබඳ තියෙන හැඟීම හෝ බෞද්ධාගම පිළිබඳ තියෙන හැඟීම හෝ ඒවා ඔක්කොම පිටින් අතුරගත්ත මේකප්. ඇත්ත මහින්දගේ ප්‍රධාන අවශ්‍යතාවය තියෙන්නේ තමන්ගේ පවුල ආරක්ෂා කරගැනීම. පවුලෙන් තමන්ගේ සහෝදරයන්ගෙන් වැඩ ගත්තට තමන්ගේ පුතා ජනාධිපති පුටුවට පත්කර ගන්න ඕනෑ. ඒකට මේ ව්‍යවස්ථාව බාධාවක්. ඒකට 2025 වෙනකම් ඉන්න ඕනෑ. එයාගේ පවුල අතරින් බල අරගලයක් ආරම්භ වුණා බැසිල් හා ගෝඨාභය අතර. ගෝඨාභය ජනමාධ්‍ය හරහා යුද්ධයක් ගෙනිච්චා. බැසිල් සංවිධානය අතර යුද්ධයක් ගෙනිච්චා. මේ පීඩනයට මහින්ද අහුවෙලා හිටියේ. ඒනිසා මහින්ද අනුක්‍රමයෙන් උත්සාහ කළා පහුගිය කාලේ එක පැත්තකින් මහින්ද නාමල් ගෙනාවා කරළියට. එහෙම ගෙනල්ලා බැසිල්ගේ සංවිධාන යාන්ත්‍රණය උදුරාගන්න බැලුවා. ඒ වගේම නාමල් වටේ තරුණ පිරිසක් ගෙනල්ලා ඒ හරහා ගෝඨාභය වටේ හිටපු පිරිස යටපත් කරන්න උත්සාහ කළා. ඒ වගේම සාම්ප්‍රද‌ායිකව තමන් බැණ අඬ ගහපු ඉන්දියාවත් මුස්ලිම් ප්‍රජාව, දෙමළ ප්‍රජාව, එල්ටීටීඊ විදෙස්ගත පිරිස් ඔක්කොම එක්ක සම්බන්ධතාව ගොඩ නගා ගන්න උත්සාහ කළා. 

 
• ප්‍රශ්නය :- ම​ෙග් ප්‍රශ්නය වුණේ....?   


• පිළිතුර :- ඔහොම ඉන්න. ඔය ​ඔක්කොම කරන්න ගියේ නාමල් හරහා. නමුත් අවසාන වශයෙන් ඔහුට තේරුණා මේ කෙටි කාලීන වශයෙන් ඇති කරපු උසාවි ක්‍රමය නිසා රනිල් වික්‍රමසිංහ එක්ක මොන සබඳතා ගොඩනගා ගෙන හිටියත් ගෝඨාභයගේ හා ගාමිණී සෙනරත්ගේ නඩු කට ළඟටම ආවා. ඒවා ගලවා ගැනීම තමයි මහින්දගේ අරමුණ වුණේ. ඉතින් ඔහුගේ පවුල පිළිබඳ පෞද්ගලික අභිලාෂ, පක්ෂයේ ජයග්‍රහණයට වඩා ඔහු මුල්කොට සැලකුවා මෙතනදී. එක පැත්තකින් ඔහු හිතන්න ඇති මෛත්‍රීට තව වටයක් දීලා තමන් බලගතු අගමැති පදවිය අරගෙන ඊළඟ පාර නාමල්ට ජනාධිපති වෙන්න ඉඩ හැරීම ජනාධිපති පුටුව ගෝඨාභයට හෝ බැසිල්ට යාමට වඩා සුදුසුයි කියලා.   

 

  • ඒ ගොල්ලන්ගේ පුටු කකුල් ප්‍රජාතන්ත්‍රවාදයට අපි බය වෙන්නේ නෑ. ඒකට ඉතාම අවිහිංසක විදියට අපි මුහුණ දුන්නා. ඒක මුළු රටේම ජනතාව දැක්කා. පාදඩ රැලක් හැටියට අශිෂ්ට රැලක් හැටියට අර රාජපක්ෂ ජුන්ටාව හැසිරුණා.


• ප්‍රශ්නය :- ඔබ කියනවා නඩු හබවලින් බේරෙන්න මහින්ද රාජපක්ෂ මේ ගැටය ගැහුවා කියලා. ඔබ එමගින් අභියෝගයට ලක් කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය.   


• පිළිතුර :- දැන් ඉතින් ඉතා පැහැදිලියි. අධිකරණය යම් යම් අවස්ථාවල ස්වාධීනව ක්‍රියා කරනවා. නමුත් අධිකරණ පද්ධතියේ තියෙන අකාර්යක්ෂමතාව නඩු පැවරීමේ තියෙන අකාර්යක්ෂමතාව අපි දන්නවා. ලංකාවේ නඩු එක්ලක්ෂ පනස්ද‌ාහක් ගොඩ ගැහිලා තියෙනවා. සිවිල් අපරාධ නඩුවලින් සියයට 4යි අපරාධකරුවන්ට දඬුවම් දීලා තියෙන්නේ. අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි පහළොස් ද‌ාහක් ආවා. ඒකෙන් අටදහස් පන්සියයක් පමණ නඩු ද‌ාන්න සුදුසුයි කියලා ඒ අය කියනවා. නමුත් ඒ අය නඩු ද‌ාලා තියෙන්නේ හාරසිය ගණනකට විතරයි. මේ තියෙන අකාර්යක්ෂම ව්‍යූහය. ඒ වගේම සමහර නඩුවල දී අපිට පෙනී ගියා බොහොම පැහැදිලිව.  


• ප්‍රශ්නය :- ඒ කාගෙද?  


• පිළිතුර :- ඇතැම් අයගේ. සමස්ත අධිකරණයටම අපිට එහෙම කියන්න බෑ. එතකොට ඒ තත්ත්වයන් තුළ තමයි මේක සිද්ධ වෙන්නේ.  


• ප්‍රශ්නය :- යූඑන්පිය ඔය නඩු ගැන කියන කතා ඇහුවම කෙනෙකුට හිතෙන්න පුළුවන් අධිකරණය හැසිරෙව්වේ සිරිකොතින් ද කියලා?  


• පිළිතුර :- ඇත්තටම අධිකරණය පෙරට වඩා ස්වාධීනයි. අපේ ආණ්ඩුව තමයි අධිකරණයට ඒ ආඩම්බරය අරන් දුන්නේ. නමුත් අධිකරණය කාර්යක්ෂම කර ගැනීම, අපක්ෂපාතී කරගැනීම අගවිනිසුරුතුමා ඇතුළු පිරිසගේ වගකීමක්. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපතිවරයා ගත්තු නීති විරෝධී උත්සාහය තාවකාලිකව ව්‍යර්ථ කරන්න අධිකරණය ඉදිරිපත් වීම නිසා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කාරණය යම් ප්‍රමාණයකින් තහවුරු වුණා.  


• ප්‍රශ්නය :- ඇයි මේ ආණ්ඩුව පිළිගන්නේ නැත්තේ? රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලැබුණේ මන්ත්‍රීවරුන් 41ක් සිටියදී?  


• පිළිතුර :- මෙහෙමයි. අද මේ රටේ ආණ්ඩුවක් නෑ. පහුගිය නොවැම්බර් 14 වැනිද‌ා, 15 වැනිද‌ා, 16 වැනිද‌ා, 19 වැනිද‌ා කියන දවස්වල පාර්ලිමේන්තු සැසිවාර 4ක් තිබුණා. ඒ හතරම පැවැත්වූයේ ස්ථාවර නියෝගවලට අනුකූලවයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔය රාජපක්ෂ කල්ලිය නන්දොඩවන හින්ද‌ා නොවෙයි. උසාවි නියෝගය නිසා. ඒ අවස්ථාවේ දැන් හැන්සාඩ් වාර්තාව නිකුත් වෙලා තියෙනවා. ඒකට අනුව 14 වැනිද‌ා ස්ථාවර නියෝගවලට අනුකූලව බහුතර ඡන්දයෙන්, ඒ කියන්නේ 122ට බිංදුව විදියට ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වෙලා තියෙනවා. ඊළඟට ඒ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා 15 වැනිද‌ා නිල වශයෙන් පිළි අරගෙන තියෙනවා. ඒකත් තියෙනවා හැන්සාඩ් වාර්තාවේ.  

 

කොහොමත් මහ මැතිවරණය 2020 අගෝස්තු මාසයේ තියෙනවා. ඒකට ඉදිරිපත් වෙන්න. ඊට කලින් තියෙන්න තියෙන එකම මැතිවරණය ජනාධිපතිවරණයයි.


• ප්‍රශ්නය :- ඒ හැන්සාඩ් වාර්තාව කූඨ ලේඛනයක්. කතානායකවරයාට ජම්පර් අඳින්න වෙයි කියලා මහින්ද කඳවුර කියනවා?  


• පිළිතුර :- නන්දොඩවන අයට ඒ සඳහා අවස්ථාවත් අවසරයත් තියෙනවා. කතානායකවරයාගේ ප්‍රකාශය නැවතත් 16 වැනිද‌ා අනුමත කරලා තියෙනවා පාර්ලිමේන්තුව වැඩි ඡන්දයෙන්. දැන් ජනාධිපතිවරයාට හෝ වෙනත් කාටවත් කියන්න බෑ ස්ථාවර නියෝග කතා හෝ ව්‍යවස්ථා කතා. ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් අනුකූලව පාර්ලිමේන්තු නිල නිවේදනය මගින් ආණ්ඩුව විසුරුවා හැරලා තියෙනවා.  


• ප්‍රශ්නය :- ඒ කියන්නේ ඔබ මේ ආණ්ඩුව පිළිගන්නේ නෑ?  


• පිළිතුර :- සහතික වශයෙන්ම දැන් මේ කෙරෙන්නේ රාජ්‍ය බලය අයුතු ලෙස පරිහරණය කිරීමක්. ඇත්ත වශයෙන්ම පොදු දේපොල පනත යටතේ දඬුවම් ලැබිය හැකි. ඒ කියන්නේ ඇප නැතිව හිරේ යන වරදක් තමයි දැන් අගමැතිවරයත් ඇමැති මණ්ඩලයත් කියලා කියා ගන්නා පිරිස කරගෙන යන්නේ.  


• ප්‍රශ්නය :- හිටපු අගමැති රනිල්ටත් එහෙම නම් ඔය දඬුවමම ලැබෙයි?

  
• පිළිතුර :- ඇයි ඒ?  


• ප්‍රශ්නය :- ඔහු තවමත් අරලියගහ මන්දිරයෙ ඉන්නවා. අරලියගහ මන්දිරය දැන් මුද‌ා නොගත් ප්‍රදේශයක් වෙලා? 

 
• පිළිතුර :- දැන් තියෙන තත්ත්වය යටතේ ඔහු අගමැති නොවෙයි කියන්න යෝජනාවක් ගෙනල්ලා නෑ. අපි බොහොම පැහැදිලිව පහුගිය 16 වැනිද‌ා ඒ වගේම 18 වැනිද‌ා ජනාධිපතිවරයා ඉදිරියේ 19 වැනිද‌ා පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී කිව්වා ‘මේවා වැරදි නම් පාර්ලිමේන්තුවම වැරදි නම් යෝජනාවක් ගේන්න පාර්ලිමේන්තුවට. ආණ්ඩුව විසුරුණා යැයි කතානායකවරයා කළ ප්‍රකාශය වැරදි නම් අපි අභියෝග කළා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැත් සම්මත කරගන්න කියලා.   


එකම ක්‍රමය ඒකයි. හැන්සාඩ් එකේ මේක වාර්තා වුණාට පස්සේ ඒක ඉවත් කරන එකම ක්‍රමය තැන් තැන්වල බොරු නීති තර්ක ද‌ාල ඉන්න එකවත් කතානායකතුමාට මිරිස්කුඩු ගහන්න කුමන්ත්‍රණය කරන එකවත් පාර්ලිමේන්තුවේ පුටු කඩන එකවත් මැරවර කණ්ඩායම් ගේන එකවත් නොවෙයි. එකම දේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා සම්මත කරන්න. අපි ලෑස්තියි ස්ථාවර නියෝග අත්හිටුවලා ඒ යෝජනාවට ඉඩ දෙන්න. එ්ක සම්මත වුණොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලියගහ මන්දිරයෙන් යයි.  


• ප්‍රශ්නය :- ඔය ඔබ කියන විශ්වාසභංගය සම්මත වෙච්ච විදිය මුළු රටම දැක්කා. ඔබලා ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට සම්මත සම්ප්‍රද‌ායන්ට පිටුපාලයි විශ්වාසභංග යෝජනාව සම්මත කර ගත්තේ?  


• පිළිතුර:- සම්මත ක්‍රමයට කියන්නේ.... කතානායකවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කරනවා නම් කතානායක පුටුව කඩනවා නම් ඒ මැරවර බලය මුද‌ාහරින එක ජනාධිපතිවරයා රූපවාහිනියෙන් බලාගෙන ඉන්නවා නම් අගමැති යැයි කියාගන්නා පුද්ගලයා එතැනට වෙලා හිනාවෙවී එ්වා බලාගෙන ඉන්නවා නම් මොකක්ද එතැන තියෙන්නේ? ඒ මැරවර බලය ඉදිරියේ අපි ඉතාම ශිෂ්ට සම්පන්න විදියට අපි කටයුතු කළා. කතානායකවරයා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට බහුතර මතය අනුව ක්‍රියා කළා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයාට පහර දීලා කතානායක ස්ථානය අත්පත් කරගෙන මිරිස් කුඩු ගහලා මන්ත්‍රීවරුන්ට එතැන සම්ප්‍රදායක් තිබුණ ද? මේ අය ද ඡන්ද ඉල්ලන්නේ? මේ ගොල්ලන්ද මහ මැතිවරණයක් ඉල්ලන්නේ? මිරිස් කුඩු ප්‍රජාතන්ත්‍රවාදය. රාජපක්ෂගේ ඒකට දැන් ඉඩ දෙන්න ඕනෑ. ඒ ගොල්ලන්ගේ පුටු කකුල් ප්‍රජාතන්ත්‍රවාදයට අපි බය වෙන්නේ නෑ. ඒකට ඉතාම අවිහිංසක විදියට අපි මුහුණ දුන්නා. ඒක මුළු රටේම ජනතාව දැක්කා. පාදඩ රැලක් හැටියට අශිෂ්ට රැලක් හැටියට අර රාජපක්ෂ ජුන්ටාව හැසිරුණා.  


• ප්‍රශ්නය :- ඔබ කියනවා දැන් ආණ්ඩුව විසිරිලා කියලා. ඔබේ තර්කයට අනුව මහින්ද හා ඇමැති මණ්ඩලය නැවත දිවුරුම් දුන්නොත්?  


• පිළිතුර :- නැහැ. දැන් ජනාධිපතිවරයා කළ යුතු වෙන්නේ මේ රට තවත් අරාජික කරන්නේ නැතිව ඔහුගේ සහ මහින්ද රාජපක්ෂගෙන් රටට සිදුවෙච්ච ජාත්‍යන්තර ප්‍රතිරූපයට වෙච්ච භයානක කැළල, ආර්ථිකයට සිදුවෙච්ච මහා පාඩුව. අපේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරලා තිබූ සල්ලි ආපහු ගියා. අපිට ආයෝජන කරන්න ආපු විදේශ ආයෝජකයෝ ජපානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ ආයෝජන අපිට අහිමි වුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දීලා තිබුණ රැකවරණය අයින් කරගත්තා. මේ නිසා ලබන වසරේ ඉඳන් අපි ලබාගන්න විදේශ ණය බිලියන දහස් ගණනකට වඩා අපිට පොලී ගෙවන්න වෙනවා. මේ ඔක්කොම අපේ රටේ දුප්පත් ජනයාගේ හිස මත පැටවෙන බර. එතකොට මේ සති හතරට ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ කළ කුමන්ත්‍රණයේ වැය බර ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔය කියන මහ බැංකු බැඳුම්කර සිද්ධිය වගේ දහස් ගණනක විනාශයක්.  


ආපහු මේක තිබුණ තැනට ගන්න කාලාන්තරයක් රටට වැය කරන්න වෙනවා. ජනාධිපතිවරයා තවත් රට විනාශ කරන්නේ නැතිව බහුතරය තියෙන කෙනෙකුට ආණ්ඩුව පිහිටුවන්න ඉඩ දෙන්න ඕනෑ. ‘මම පෞද්ගලිකව අරයට අකැමැතියි. මම පෞද්ගලිකව මෙයාට කැමැතියි.’ වගේ කතා කියන්න බෑ දේශපාලනයෙ ඉන්න කොට. පෞද්ගලික කැමැත්ත අකැමැත්ත ක්‍රියාත්මක කරගන්න පුළුවන් අපේ පෞද්ගලික දේවල්වල දී. විවාහයක් කරගනිද්දී එහෙම නැත්නම් ඇඳුමක් මිලදී ගනිද්දී අපිට තියෙනවා පෞද්ගලික කැමැත්ත. හැබැයි රටක ජනාධිපතිවරයකුට අගමැතිවරයා තෝරා ගනිද්දී එහෙම පෞද්ගලික කැමැත්තක් නොවේ තියෙන්නේ. බහුතර මතයට කන්දීමක්. විශේෂයෙන්ම අපි දේශපාලකයෝ. අපිට ඡන්දය දීපු ජනතාවගේ මතයට කන්දීම කරන්න ඕනෑ. නමුත් මේ ජනාධිපතිවරයා තමයි ප්‍රථම වතාවට පිල් මාරු කරපු ජනාධිපතිවරයා. අපි දැකලා තියෙනවා ප්‍රාදේශීය සභාවල අය පිල් මාරු කරනවා. පළාත් සභාවල පිල් මාරු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිල් මාරු කරනවා අපි දැකලා තියෙනවා. නමුත් පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවෙදි.  


• ප්‍රශ්නය :- ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ කුමක්ද කියල ද ඔබ යෝජනා කළේ?  


• පිළිතුර :- ඔහු හරි නම් දැන් කරන්න ඕනෑ අගමැතිවරයෙක් විතරක් පත් කරලා හරියන්නේ නෑ. ඔහු කරපු මේ ක්‍රියාවලියට හිලව් වශයෙන් වහාම ලබන ජනවාරි 9 වැනිද‌ායින් පස්සේ ඔහුට පුළුවන් ජනාධිපතිවරණය කැඳවන්න. ඒ ජනාධිපතිවරණය කැඳවලා පුළුවන් නම් ආපහු සැරයක් ජනාධිපති වෙන්න කියල අපි කිව්වා.  


• ප්‍රශ්නය :- එක්සත් ජාතික පක්ෂයට පුළුවන් විනාඩි පහෙන් මේ අර්බුදය විසඳන්න. ජනාධිපතිවරයා කිව්වා ‘රනිල් හැර වෙන ඕනෑම කෙනෙකුගේ නමක් කියන්න. මම එයාට අගමැතිකම දෙනවා’ කියලා. ඉතින් ඇයි ඒක නොකරන්නේ?  


• පිළිතුර :- ඒක කියන්න එතුමට අයිතියක් නැහැ.  


• ප්‍රශ්නය :- ඇයි අයිතියක් නැත්තේ?  


• පිළිතුර :- එතුමට එහෙම කියන්න අයිතියක් නැත්තේ ඒක පාර්ලිමේන්තුවේ බහුතරය විසින් තීරණය කරන එකක්. එතුමා විනාඩි හතළිස් පහකින් රට සම්පූර්ණයෙන්ම ආරවුලකට ඇරියා. කා එක්කවත් සාකච්ඡා කරන්නේ නැතිව. මොන ව්‍යවස්ථාවක්වත් පිළිගන්නේ නැතිව මොන ස්ථාවර නියෝගයක්වත් බලන්නේ නැතිව මොන නීතියක්වත් තකන්නේ නැතිව විනාඩි හතළිස් පහක් ඇතුළත එයා ඔක්තා්බර් 26 වැනිදා ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කළා. යුද ටැංකි විතරයි අඩුවට තිබුණේ. සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් කළේ. එවැනි දෙයක් කරපු කෙනෙකුට බැහැ අහවලා එන්න අහවලා යන්න.’ කියල කියන්න. එතුමා ඒ පිළිබඳව ක්‍රියා කළ යුතු වන්නේ පාර්ලිමේන්තු බහුතරය සැලකිල්ලට අරගෙනයි.  

  • මහින්ද රාජපක්ෂටත් ගැටලු කිහිපයක් තිබුණා. එකක් මහින්ද රාජපක්ෂ කවුරු මොනවා කිව්වත් අවසාන වශයෙන් රටේ ඒකීයභාවය හෝ රට පිළිබඳ තියෙන හැඟීම හෝ ජනතාව පිළිබඳ තියෙන හැඟීම හෝ බෞද්ධාගම පිළිබඳ තියෙන හැඟීම හෝ ඒවා ඔක්කොම පිටින් අතුරගත්ත මේකප්.


• ප්‍රශ්නය :- මේ මොහොතේ තියෙන එක් ප්‍රධාන මතයක් තමයි ‘යං මැතිවරණයකට. ජනතාවගෙන් අහමු මොකක්ද වෙන්න ඕනෑ’ කියලා. ඔබ මොකද කියන්නේ?  


• පිළිතුර :- පැහැදිලිවම ජනතා මතය මේ විදියට උරගා බලන්න බෑ. මිරිස් කුඩු ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ජනමතය උරගා බලන්න බෑ. මොකක්ද ඔක්තෝබර් 26 වැනිද‌ා වුණේ? මිනිත්තු පහක් යන්න කලින් රජයේ මාධ්‍ය ආයතන අත්පත් කරගත්තා. ඊළඟට රාජ්‍ය ආයතනවල පොහොට්ටුවට අයිති වෘත්තීය සමිතිවල පහළ මට්ටමේ පිරිස ගිහිල්ලා ජුන්ටාවක් විදියට වැඩ කරලා බලෙන් අල්ලා ගත්තා. සභාපතිලව ගහලා පැන්නුවා. ඒ නිසා අපිට එවැනි ආණ්ඩුවකින් විශ්වාස කරන්න බෑ යුක්ති සහගත මැතිවරණයක්.  


• ප්‍රශ්නය :- එහෙම නම් මොකක්ද කරන්න ඕනෑ?  


• පිළිතුර :- නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවලා ස්වාධීන මැතිවරණ කොමිසමට ක්‍රියා කරන්න දීලා අපි මැතිවරණයක් ගැන හිතමු. එතැනදී මැතිවරණය ඒ ගොල්ලන්ට අවශ්‍ය පරිදි බලෙන් උදුරාගන්න බෑ. කොහොමත් මහ මැතිවරණය 2020 අගෝස්තු මාසයේ තියෙනවා. ඒකට ඉදිරිපත් වෙන්න. ඊට කලින් තියෙන්න තියෙන එකම මැතිවරණය ජනාධිපතිවරණයයි. ඒ ජනාධිපතිවරණයත් නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම යටතේ තියන්න ඕනෑ. මොකද අපි මැතිවරණ දෙකක් පවත්වලා පෙන්නුවනේ. 2015 අගෝස්තු මහ මැතිවරණයත් 2018 පළාත් පාලන මැතිවරණයත් ඉතාම සාධාරණවත් යුක්ති සහගතවත් රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ නැතිව තිබ්බා. දැන් මොකක්ද ඇමැතිවරු කියන්නේ? ‘අපි තමයි ආණ්ඩුව. අපි තමයි මැතිවරණය තියන ආණ්ඩුවත්. අපි තමයි මැතිවරණයෙන් පස්සෙ ඉන්න ආණ්ඩුවත්’ කියලයි කියන්නේ. මේක මේ සම්පූර්ණ බලය පාවිච්චි කරලා යුක්තියට ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරලා තියෙන්නේ. මේක මම නිතරම කියනවා හිට්ලර් කළේත් මේක. හොර පාරෙන් චාන්සලර් වුණා. ඊට පස්සේ තමන්ට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය නැති නිසා පාර්ලිමේන්තුව ගිනි තිබ්බා. අද මහින්ද රාජපක්ෂ කරලා තියෙන්නෙත් ජනාධිපති අල්ලාගෙන අගමැති වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තුව ගෙනියන්න දෙන්නේ නැතිව පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා තියෙනවා.  


• ප්‍රශ්නය :- එහෙම නම් මොකක්ද කරන්න හිතන්නේ?  


• පිළිතුර :- ඒ අයගේ නීති විරෝධී රාජ්‍ය බලය අයුතු විදියට පාවිච්චි කරන ඒ මැතිවරණ අපි පිළිගන්නේ නෑ. යුක්තිසහගත නීතිගරුක මැතිවරණ පිළිගන්න පුළුවන්.  


• ප්‍රශ්නය :- මගේ ප්‍රශ්නය වුණෙත් ඒ වෙනුවෙන් ඔබේ යෝජනාව?  


• පිළිතුර :- මගේ යෝජනාව තමයි ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ එකම දවසේ පවත්වමු කියලා?  


• ප්‍රශ්නය :- 2015 දී මහින්ද රාජපක්ෂ සියලු බලතල සහිතව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඡන්ද ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නත් කලින් අරලියගහ මන්දිරයෙන් ගියා. අැයි මේ වෙලාවේ අමුතු බිල්ලෙක්?  


• පිළිතුර :- අමුතු බිල්ලා අපි දැක්කනේ පාර්ලිමේන්තුවේදී. නීති විරෝධී ආණ්ඩුවක් පවත්වාගෙන යන හැටි. ජුන්ටාවක් මහ පාරේ ක්‍රියාත්මක වුණ හැටි. රාජ්‍ය ආයතන බලෙන් අත්පත් කරගත් හැටි. රාජ්‍ය මාධ්‍ය ආයතන පාලනය කරන හැටි අපි දැක්කනේ. ඉතින් අපි කොහොමද මහින්දගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරාත්තු වෙන්නේ?  


• ප්‍රශ්නය :- මහ මැතිවරණයකට යන්න කියලා අධිකරණ තීන්දුව ලැබුණොත්? 

 
• පිළිතුර :- අපි මැතිවරණයකට යනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අධිකරණයේ තීන්දුව අපි පිළිගන්නවා. ඒ වගේම අපි එතැනදී මේ ජුන්ටාවේ අනතුර මේ අයගේ මේ ව්‍යාජ දේශප්‍රේමය, ව්‍යාජ ජාති ආලය. මේ අයගේ මේ ව්‍යාජ ජනතාවාදය ජනතාවට හෙළි කරනවා. ඒ වගේම අපි එක දෙයක් අවධාරණය කරනවා. මහින්දලාගේ සන්නාමය පවුලක්. ඒත් අපේ සන්නාමය ජනතාව. වෙනස ඒකයි.

 

 

 සාකච්ඡා කළේ : 
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්