අද පවතින බිහිසුණු තත්ත්වය ඉදිරියේ මාධ්‍ය නිහඬයි


ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල බලවත් උද්​යෝගයකින් පසුවන බව පෙනේ. ඒ ඇමැති ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අය කරන ප්‍රකාශ හරහා කියැවෙන ‘‘ආණ්ඩුවෙන් ඉවත්වීම’’ සම්බන්ධයෙනි. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් කියන්නේ තරමක් අමුතු කතාවක්. මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.   

 

ප්‍රශ්නය - මොනවද මේ රටේ වෙන්නේ?   
පිළිතුර -
ඇත්තටම රටේ කිසි දෙයක් වෙන්නේ නැහැනේ. රට අරාජික නම් වෙලා තියෙවා. රට ඉබාගාතේ යනවා. රට විනාශයි. රටට වෙලා තියෙන්නේ එච්චරයි.   


ප්‍රශ්නය - මේ තත්ත්වය වෙනස් කරන්න මැදිහත් වෙන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම්ද?   
පිළිතුර -
මෙහෙමයි. මේ වැඩපිළිවෙල වෙනස් වෙන්න ඕනෑ තියන වැඩපිළිවෙල වැරදියි.   


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ‍ යන වැඩපිළිවෙළ වැරදි නම් ඒක වෙනස් කරන්න වැඩපිළිවෙළක් තියෙනවද කියලයි!   
පිළිතුර -
ඒක ජනතාවගේ වැඩක් නේ. මේ ජනතාව රැවටුණා. මුලාවට පත් වුණා. එහෙම වෙලා කරගත්ත වැරැද්දක්නේ මෙතැන තියෙන්නේ. ඉතින් මේක නිවැරදි කරන්න ඕනෑත් මේ රටේ ජනතාවයි.   


ප්‍රශ්නය - ඔබ කියන විදියට එහෙම නම් මැතිවරණයක් එනකම් ඉන්න වෙනවා.   
පිළිතුර -
ඔව්! ඒකට අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් අවශ්‍යයි. ඒ මැතිවරණය ආවම ජනතාව තීන්දුවක් දෙයි. මේ ආණ්ඩුව ඒකට බයේනෙ මේ මැතිවරණයක් තියන්නේ නැත්තේ. ජනතාව ඉන්නේ තමන්ගේ අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් එනකම්.   


ප්‍රශ්නය - ඔබම කියනවා ආණ්ඩුව මැතිවරණ තියන්නේ නෑ කියලා. එහෙම නම්.   
පිළිතුර -
මැතිවරණ ගෙන්න ගන්නත් උද්ඝෝෂණ කරන්න වෙලා. ඔන්න තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. ඉතින් අපිත් නිකම් ඉන්නේ නෑ. මැතිවරණ ගෙන්වා ගැනීම සඳහා අඛණ්ඩ උද්ඝෝෂණයක අපි ඉන්නවා.   


ප්‍රශ්නය - මංගල සමරවීර ඇමැතිවරයා නම් කිව්වේ සුදු වෑන් ළඟ තියා ගත්ත අය අද බොරු අවතාර මවා පානවා කියලයි.   
පිළිතුර -
මංගල සමරවීර ඇමැතිතුමා තව කොච්චර ​දේවල් කියලා තියෙනවද. ඒ ගොල්ලෝ ආණ්‍ඩුව ගත්තෙත් ඔහොම කප්පරක් බොරු කියලනේ. මට එක්කෙනෙක් පෙන්නන්න. ඒ විදියට සුදු වෑන් එකකින් අරගෙන ගිය එක්කෙනෙක්. ඒ වගේ බොරු කතා කියලා තමයි මේ අය බලයට ආවේ. මංගල සමරවීර ඇමැතිවරයා ඉතාම සූක්ෂම විදියට එදා ඒ වැඩේ කළා. මංගල ඉතින් හැමදාම එහෙමනේ. රනිල්ටත් බෑ කියපු එක්කෙනානේ.   


ප්‍රශ්නය - ඇයි මේ අතුරුදන් කිරීම්වලට එරෙහි පනතට මහින්ද රාජපක්‍ෂ විරුද්ධ. අතුරුදන් නොවී සිටීමේ අයිතිය මානව හිමිකමක්!   
පිළිතුර
- ඔය පනතේ යටි අරමුණ මොකද්ද? අපි බලන්න ඕනැ ඒකනේ.   


ප්‍රශ්නය - ආණ්‍ඩුව කියනවා මේ පනත අතීතයට බලපාන්නේ නෑ කියලා.   
පිළිතුර -
ඔව්! ආණ්‍ඩුව එහෙම කියනවා. නමුත් පනතේ කෙටුම්පත අපි දැක්කා. ඒකෙ නම් ඔය ආණ්‍ඩුව කියන කතාව නෑ. අපි ඒකයි කියන්නේ මේකේ යටි අරමුණු තියෙනවා කියලා.   


ප්‍රශ්නය - ඔබට අනුව මොනවද ඒ යටි අරමුණු.   
පිළිතුර
- ඩයස්පෝරාවේ අරමුණු තමයි ඔය ඉෂ්ඨ කරන්න යන්නේ. හොඳයි ඔබ මට කියන්න අතුරුදන් වූවන් සොයන්න දැන් තියෙන විශේෂ බාධාව මොකද්ද කියලා. ඒකට පනතක් ඕනැද? දැන් තියෙන නීතිය ප්‍රමාණවත් නැද්ද? එහෙම සිද්ධි ගැන හොයලා පරීක්‍ෂණ කරලා වැරදිකරුවන්ට දඬුවම් කරලා නැද්ද?   


ප්‍රශ්නය - එහෙම පරීක්ෂණ කරනකොටත් ‘‘රණවිරුවන් දඩයම් කරනවා’’ කියලා. ඒකාබද්ධය කෑගහනවා?   
පිළිතුර
- එහෙම රණවිරු දඩයමක් වෙනකොට ඒකට විරුද්ධව අපි කතා කරනවා තමයි. මේ රට බේරාගත්ත රණවිරුවන්ට ඒ නිසාම යුද අපරාධ දංගොඩියට යවනවට අපි තරයේම විරුද්ධයි. ඒ විතරක් නොවෙයි. අපි ඒකට කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. ආරක්ෂක අංශ නිලධාරීන් කී දෙනෙක් හි​ෙර් දැම්මද? එහෙම හිරේ දැම්මට නඩු අහල දඬුවම් දුන්නද? නඩු අහලා නිදහස් කළාද? මම කියන්නේ ඒ රණවිරුවන් දඩයමට මොන මොන විදියට ආවත් අප ඉඩදෙන්නේ නැහැ. යම් කිසි දෙයක් වෙලා තියෙනවා නම් මේ රටේ නීතිය හොඳටම ප්‍රමාණවත්. කොයි කවුරු අපරාධයක් කළත් කවුරු මොන දේ කළත් ඒකට දඬුවම් කරන්න මේ රටේ දැන් තියෙන නීතිය ප්‍රමාණවත්.   


ප්‍රශ්නය - ඉදිරියේදීත් කිසිම ආණ්‍ඩුවකට එහෙම වැරදි කරන්න බැරි වටපිටාවක් හදන එක හොඳයිනේ.   
පිළිතුර
- ඒක හොඳයි. නමුත් පටලවා ගන්න එපා මේ කරන්න යන්නේ ඒක නොවෙයි. මේ කරන්න යන්නේ විදේශ රටවල් සතුටු කරන්නයි. ඒ රටවල්වල හැබැයි මේ නීතිය නෑ. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ඔය පනත ගේන්න කියලා අපට බල කරන රටවල්වල ඔය නීතිය තියෙනවද කියලා ඔප්පු කරලා පෙන්වන්න කියලා කියන්න. ඇමෙරිකාවේ තියෙනවද? එංගලන්තයේ තියෙනවද? එංගලන්තයේ තෙරේසා මේ නෝනා කියනවනේ එයා මානව හිමිකම් නීතිය තවත් වෙනස් කරනවා කියලා. ඒ රටේ ත්‍රස්තවාදය යටපත් කරන්න ඕනෑ නම් ඒ නීති වෙනස් කරන්න එයා සූදානම් කියලා තියෙනවා. එහෙම කියන රටවල් තමයි අපිට බල කරන්නේ මේක කරන්න කියලා. එහෙම නම් මේ මොකද්ද කරන්න හදන්නේ.   


අපේ රට අස්ථාවර කරලා රට ආපු ගමන අඩාළ කරන්න. අපේ රටේ හැකි තරම් ප්‍රශ්න කරදර ඇති කරන්න. එහෙම ඇති කරල අපි මොනවා හරි සංහිඳියාවක් ඇති කරගත්තා නම් ඒක නැති කරන්න. ඒකට තමයි අපේ ඇමැතිවරු ඒ රටවල්වලට ගිහිල්ලා වරප්‍රසාද භුක්ති විඳල ගිවිසුම් අත්සන් කරන්නේ.   


ප්‍රශ්නය - ජනාධිපතිවරයා මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළා අලුත් ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් හදලා නෑ කියලා. නමුත් ව්‍යවස්ථාව ගැනත් ඒකාබද්ධය බොරු බිල්ලන් මවා පානවා?   
පිළිතුර -
ජනාධිපතිතුමා ගරුතර මහා සංඝරත්නය හමුවේ පොරොන්දු වෙච්ච ආකාරයටම කටයුතු කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. එතුමා ​අපටත් පොරොන්දු වුණානේ. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොරොන්දු වුණා 19 වැනි සංශෝධනයට මම කෙරෙහි විශ්වාසය තියලා සහයෝගය දෙන්න. මම අනිවාර්යයෙන්ම 20 වැනි සංශෝධනය ගේනවා කියලා.   
නමුත් තවම නෑ. 20 වැනි සංශෝධනයේ තියෙන්නේ විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නයි. නමුත් ඒ සංශෝධනය ගෙනාවේ නෑ තාම. අන්න එහෙම පසුබිමක් තුළ තමයි අපේ අදහස් එළියට එන්නේ. එතකොට තමුන්නාන්සේලා අපට විවිධ චෝදනා කරනවා.   


ප්‍රශ්නය - ව්‍යවස්ථාව තුළ බුදුදහමට හිමි තැන නැති කරනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා. ජනාධිපතිවරයා කියනවා තවම කෙටුම්පතක්වත් නෑ කියලා?   
පිළිතුර -
අපට තියෙන්නේ කියාපුවා කෙරුවා නම් ඒ වචන ඒ විදියටම ක්‍රියාත්මක කළා නම් මෙතැන කිසිම අවුලක් නෑ. කියාපු දේවල් නොකරපු නිසා තමයි මේ අවිශ්වාසය ගොඩ නැගුණේ. ඒ තුළ තමයි ඔය විවිධ මත පළවෙන්නේ. එතුමා එක අවස්ථාවක ප්‍රකාශ කළා ප්‍රාදේශීය සභා ඡන්දය ගිය අවුරුද්දේ ජනවාරියේදී ගේනවා කියලා. ඔබතුමාට මතකද දන්නෑ දැන් හුඟ දෙනෙක් ඒවා අමතක කරලා තියෙන්නේ. මේ අය විවිධ විදියට ජනමාධ්‍ය නිදහස වෙනස් කරගෙන ඉන්නේ. අපි ඒක දන්නවා. ඉතින් ඒක නිසා අපි අහනවා කෝ ඒ ඡන්දය කියලා? කිසිම පත්තරයක්වත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නෑ. ඒවා අපි බලාගෙන ඉන්නේ.   


ඔබතුමාත් හොඳටම දන්නවා දැන් හාල් කිලෝ එකක් රුපියල් සීයයි. අල කිලෝ එකක් රුපියල් 236යි. ලොකු ලූනු කිලෝ එකක් රුපියල් 140යි. නමුත් මේවා ගැන කිසිම මාධ්‍යයක් කතා කරන්නේ නැහැනේ. ලියන්නේ නැහැනේ. මට මතකයි අපි ඒ කාලේ මම කෘෂිකර්ම ඇමැති වෙලා හිටපු කාලේ හාල් කිලෝ එකක මිල රුපියල් 55න් එහාට යන්න දුන්නේ නෑ. අපි අවුරුදු හතරක් ඒ මිල තියාගෙන හිටියා. පොඩ්ඩක් හරි මිල වැඩිවෙන්න ගියොත් අපට ජනාධිපතිතුමා කතා කරලා අහනවා ‘මොකද්ද මේ ප්‍රශ්නය’ කියලා. එහෙම කතා කරලා තමයි අපි ඒ තත්ත්වය පාලනය කළේ. අල කිලෝ එකක් අපි රුපියල් සීයකින් එහාට යන්න ඇරියේ නැහැ. ලොකු ලූනු කිලෝ එකක් රුපියල් 100 - 110 අතර තියාගෙන හිටියා. නමුත් අද තත්ත්වය ගැන කෝ මාධ්‍ය කතා කරනවා.

  


ප්‍රශ්නය - බඩුමිල අඩු කරන එක ශක්‍රයාට තියා ශක්‍රයාගේ පුතා වයිමාටවත් කරන්න බෑ කිව්වේ අද ඒකාබද්ධයේ ඉන්න බන්දුල ගුණවර්ධනයි?   
පිළිතුර
- අපි ආදායම ඉහළ නැංවුවාණේ. එතකොට තත්ත්වය බැලන්ස් වෙනවා. නමුත් අද කොහොමද? ඔය යන්නේ ඊගහක වේගයෙන්. මම මතු කරන්නේ තරු හතේ මාධ්‍ය නිදහසක් තියෙනවා කියන රටේ ඇයි මාධ්‍ය මේවා ගැන කතා නොකරන්නේ කියලයි. ඕක තමයි වෙනස.   


ප්‍රශ්නය - විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාට ඒකාබද්ධ විපක්ෂය එකඟද?   
පිළිතුර -
විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලනේ මේ අය බලයට ආවේ. ඉතින් ඒක කරන්න ලක්ෂ 62ක් ඡන්දය දුන්නේ ඒකටනේ.   

 


ප්‍රශ්නය - නමුත් 19 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ ඒකාබද්ධ විපක්ෂය පුළුවන් තරම් උත්සාහ කළේ විධායක බලතල රැකගන්න මිසක් නැති කරන්න නොවෙයි?   
පිළිතුර -
නෑ නෑ එහෙම කළේ නෑ අපි. ඒක වැරදියි. අපි ඒ සංශෝධනයට ඡන්දය දුන්නා. එහෙම ඡන්දය දුන්නේ අපට දුන්න පොරොන්දුව බාර අරගෙනයි. පැහැදිලිවම අප අතර සාකච්ඡාවක් තියලා කිව්වා ජනාධිපතිතුමා පක්ෂව ඡන්දය දෙන්න 20 වැනි සංශෝධනය මම ගේනවා කියලා.   

 


ප්‍රශ්නය - ව්‍යවස්ථා සංශෝධන කටයුතුවලින් අයින්වෙන්න කියලා මන්ත්‍රී විමල් වීරවංශ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටියා. ඔබලා එකඟද ඒකට?  
පිළිතුර -
මම කියන්නේ අපිට රටට ඕන විදියට මේ කටයුතු කෙරෙන්නේ නැත්නම් ඒක තමයි නිවැරදිම දේ. නමුත් අපි ඉවත් වුණොත් සම්පූර්ණයෙන්ම අපි ඒක අතහැරියා වෙනව? අපි දැනගන්න ඕනෑ මේක ඇතුළේ මොනවද වෙන්නේ කියලා. ඒ නිසා අවසාන මොහොත වනතුරුත් අපි මේක ඇතුළේ ඉඳගෙන සටනක් දෙන්න ඕනෑ කියන මතයේ අපි ඉන්නවා.  

 


ප්‍රශ්නය - ඒ කියන්නේ විමල්ගේ මතයට එකඟ නෑ?  
පිළිතුර -
මං ඒක තමයි කිව්වේ, විමල් මන්ත්‍රීතුමා කියන්නේ මේක ඇතුළේ ඉඳලා වැඩක් නෑ අයින් වෙමු කියලා. ඉතින් අවශ්‍ය වුණොත් අපි අයින් වෙනවා. මේ ගොල්ලෝ කරන්න යන්නේ ජනතාව මුලාකිරීමක් කියලා අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ.  

 


ප්‍රශ්නය - ගෝ්‍ඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්න යනවා කියලා ඒකාබද්ධය ලොකු ප්‍රචාරයක් අරගෙන යන්නේ නැති මහජන අනුකම්පාවක් දිනා ගන්න කියලත් සමහරු කියනවා.  
පිළිතුර -
ඉතින් කවුද ඒ ප්‍රකාශය ඇරියේ.  

 


ප්‍රශ්නය - ඇමැති මහින්ද අමරවීර නම් කියන්නේ ‘කවු​ෙදා් කියපු කතාවක් ගෝඨාභය අල්ලාගෙන’ කියලයි?  
පිළිතුර -
ඒක තමයි කියන්නේ. මහින්ද අමරවීර එහෙම කිව්වා කියලනේ කියන්නේ. එහෙම කියන්නේ එතුමත් එක්ක ඉන්න මන්ත්‍රීවරු එහෙම කතාවක් කිව්වා කියලා කියන්නේ. ඒ ගොල්ලොත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන් පිරිසක්නේ. එයාගේ ගෙදර වෙච්ච කතාවක් අනික් අය දැනගන්න විදියක් නෑනේ.  

 


ප්‍රශ්නය - ගෝඨාභය හා මහින්ද රාජපක්‍ෂ අත්අඩංගුවට ගත යුතු නෑ කියලත් මහින්ද අමරවීර කියනවා.  
පිළිතුර -
ඒක ඉතින් එයාගේ මතය. ඒක අපි දන්නෙ නෑ. අපි කියන්නේ ගෝඨාභය හරි මහින්ද රාජපක්‍ෂ විතරක් නොවෙයි කාවක්වත් බොරුවට අත්අඩංගුවට ගන්න බෑ. පහුගිය දවස්වල නිකම් අත්අඩංගුවට ගත්තා මේ නිකම් අහිංසක මිනිස්සු. අද වෙනකම් නඩු නෑ. ඒක බරපතළ තත්ත්වයක්. අර අනුර සේනානායකව ඇතුළේ තියාගෙන හිටිය. එළියට දැම්මා. කෝ නඩු? තවත් කට්ටියක් ඇතුළේ තියාගෙන ඉඳලා එළියට දැම්මා. කෝ නඩු? පුළුවන්නම් නඩු දාන්නකෝ. නඩු නෑ. ඒගොල්ලන්ට ඕනෑ කළේ‍ මේ මිනිස්සු හිරේට දාලා ඒ අයවත් බය කරලා අනික් අයවත් බය කරන්නයි. තොපිටත් මේක තමයි කරන්නේ කියලා බය කරන්නයි බැලුවේ. මේ වගේ බිහිසුණු තත්ත්වයක් ඉදිරිපිට තමයි මාධ්‍ය නිහඬව ඉන්නේ.  

 


ප්‍රශ්නය - මේ අලුත් තත්ත්වය තුළ තමන්ගේ ජීවිතයත් අනතුරේ කියලා ඇමැති මහින්ද අමරවීර කියනවා?  
පිළිතුර -
ඉතින් මටත් කියන්න පුළුවන් මගේ ජීවිතය අනතුරේ කියලා. මොකද කරන්නේ ඉතින් ඔබතුමා එක්ක මම කිව්වොත් මෙහෙම හිටියට මගේ ජීවිතයත් අනතුරේ කියලා ඉතින් ඔබතුමා පිළිගන්නවද?  

 


ප්‍රශ්නය - ආණ්ඩුවේ ඇමැති ධුර දරන 18ක විතර පිරිසක් එළියට එන්න සූදානම්ලු?  
පිළිතුර -
එහෙම කියනවා ඉතින්. ප්‍රියංකර ජයරත්න හැරුණුවිට මගෙත් එක්ක නම් කවුරුවත් කතා කරලා නෑ.  

 


ප්‍රශ්නය - ආපු ප්‍රියංකර ජයරත්නත් ආපහු මෛත්‍රී ගාවට ගියා.  
පිළිතුර
- ඉතින් ඒ මනුස්සයා හිරේ දාන්න හැදුවනේ ආපහු.  

 


ප්‍රශ්නය - ටී.බී. ඒකනායක, අරුන්දික ප්‍රනාන්දු වගේ නියෝජ්‍ය ඇමැතිවරු කියන කතා ඔබ විශ්‍වාස කරන්නේ නැද්ද?  
පිළිතුර -
මට පෞද්ගලිකව කිසිම ප්‍රශ්නයක් නෑ. ‘නමුත්’ කියලා තමයි කියන්න වෙන්නේ.  

 


ප්‍රශ්නය - ඔවුන් සමග සාකච්ඡාවක් එහෙම වෙලා නැද්ද?  
පිළිතුර -
එනවානම් අපි ඕනෑම කෙනෙක් බාර ගන්නවා. අපේ කිසිම අමනාපයක් නෑ.  

 


ප්‍රශ්නය - සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා - යූඑන්පී ගිවිසුම ඉවරයි!  
පිළිතුර
- ඔබතුමා හිතන්නේ ඉවරයි කියලද? අපි නම් ඒක විශ්වාස කරන්නේ නෑ.  

 


ප්‍රශ්නය - ඇයි ඒ!  
පිළිතුර -
එහෙම ගිවිසුමකට ගියේ ඇයි? මට ඒක කියන්න. ඒ වෙලාවේ ගිවිසුමකට ගියේ බලය වෙනුවෙන්නේ. බලය අල්ලාගෙන සති 2කින් මහ බැංකු හොරකම කළා. ඒ වගේ ඒවා තව කීයක් වෙලා තියෙනවද? ඒකට අවශ්‍ය පරිසරය හදාගන්න තමයි ගිවිසුමකට ගියේ. ඉතින් දැන් පරිසරය වෙනස් වෙලාද? ඔය ඔක්කොම අන්තිමට වෙන්නේ අනේ මෙතැනින් එහාට අපට බලය නැති වෙනවා නේද? මෙතැනින් එහාට අපි විඳින සැප පහසුකම් අපට නැති වෙනවා නේද? කියලා හිතලා ආයිමත් එකතු වෙනවා. ඒ නිසා මම නම් ඔය කතා විශ්‍වාස කරන්නේ නෑ.  

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්