අද ආණ්‍ඩුවට ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි වෙලා


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

  • සෞඛ්‍ය බලධාරීන් කියන දේවල් ආණ්‍ඩුව අහන්නේ නෑ කියලා විෂය භාර රාජ්‍ය ඇමැතිතුමියම කියද්දි අපි තවත් ඒ ගැන කියන්න ඕනෑ නැහැ.
  • අද ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි වෙලා තියෙනවා. දවසින් දවස ආණ්‍ඩුව අප්‍රසාදයට පත්වෙමින් ඉන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස රටේ අර්බුදකාරී වාතාවරණය පිළිබඳ මෙසේ සිය අදහස් දැක්වීමට එක් වේ.


• ආණ්ඩුව කියන්නේ විපක්ෂය කොවිඩ් අර්බුදය සම්න්ධයෙන් ආණ්‍ඩුව කරන වැඩපිළිවෙළේ වැරැදි හොය හොයා ඉන්නවා විතරයි කිසිම සහයෝගයක් දෙන්නේ නෑ කියලා. ඔබලා විවේචනය කරනවා විතර ද?


“ආණ්ඩුවකට වැඩ බැරි වුණාම කවදත් ගහන සුපුරුදු පදේ තමයි විපක්ෂය උදව් කරන්නේ නෑ, විපක්ෂය කකුලෙන් අදිනවා, විවේචනය කරනවා කියන කතාව. මේ ආණ්ඩුව විපක්ෂය කරන කියන දේවල් ගැන හිත හිත ඉන්න දෙයක් නෑ. මොකද එයාලට විශාල බල සම්පන්න විධායක බලයක් තියෙනවා. තුනෙන් දෙකේ බලයක් තියෙනවා. විසි වැනි සංශෝධනයෙන් අවශ්‍ය අනිත් ඕනෑ දේවලුත් සපුරගෙන තියෙන්නේ. ඉතින් දැන් ආණ්‍ඩුව විපක්ෂය කියන දේවල්වල එල්ලි එල්ලී කාලය නාස්ති කරන්න දෙයක් නෑ. වැඩ කරල පෙන්නන්නයි තියෙන්නේ. ජනාධිපති අගමැති කැබිනට් ඇමැතිලා ඔක්කොම එක පවුලකින් ඉන්නවා. පාර්ලිමේන්තුවෙ නැතත් ආර්ථිකය බාරව වැඩ කරන තවත් ඒ පවුලෙ කෙනෙක් ඉන්නවා. එච්චර දේවල් තිබිලත් වැඩක් හරියට කරගන්න බැරුව හත්පොළේ ගාගෙන වැඩ වරද්ද ගත්තට පස්සෙ නාහෙන් අඬනවා විපක්ෂය විවේචනය කරනවා, ඒක නිසා කිසි දෙයක් කරන්න බෑ කියලා.


ඒත් ඒක නෙවෙයි ඇත්ත. අද ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි වෙලා තියෙනවා. දවසින් දවස ආණ්‍ඩුව අප්‍රසාදයට පත්වෙමින් ඉන්නේ. ආණ්‍ඩුව මාන බලනවා තමන්ට එල්ල වෙන චෝදනාව වෙන කාගෙ පිට දාලා හරි ඇඟ බේරගන්න. ඒ තරම් දුර්වල ආණ්‍ඩුවක් අද තියෙන්නේ. ගිලෙන ආණ්‍ඩු එල්ලෙන පිදුරු ගහ තමයි විපක්ෂයේ විවේචනය නිසා වැඩ කරන්න බෑ කියන එක.”


• ඔබලගෙ තියෙන විවේචනය මොකක් ද ආණ්‍ඩුවෙ ඒ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්?


“කොවිඩ් ලංකාවට ඇවිත් ගතවෙච්ච මාස පහළොවක කාලය තුළ ආණ්‍ඩුව විසින් නොකරන ලද දේවල් සම්බන්ධයෙන් අපි ඒ තරම් දරුණු විවේචනයක් ගේන්න උත්සාහ කළේ නෑ. අපි ආණ්‍ඩුවට අවස්ථාව දීලා හිටියා. නමුත් දැන් අපට හොඳටම පේනවා ආණ්‍ඩුව ඒ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ හරියාකාරව කරන්නෙ නෑ කියලා. දැන් ආණ්‍ඩුව ඉන්නේ පුළුවන් නම් බේරියල්ලා කියලා ජනතාව පිට වගකීම පටවලා වැඩේ වැරැදුණොත් ඒ ජනතාවගේ වරදින් කියන තැනක. මීට මාස පහළොවකට කලින් පළවෙනි කොවිඩ් රෝගියා වාර්තා වුණාම අපි බොහොම පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වෙලා යාන්ත්‍රණයක් හදලා මේ ජාතික ව්‍යසනයට මුහුණ දෙමු කියලා. ආණ්‍ඩුව තඹ සතේකට ඒවා ගණන් ගත්තේ නෑ. ආණ්‍ඩුව කළේ අපි කියපු දේවල් නොසලකා ඊළඟට මහ මැතිවරණයට දේශපාලන ව්‍යාපෘති කරන එක. ඒවා කරල තුනෙන් දෙකේ බලයක් ගත්තා. දෙවෙනි රැල්ල ආවමත් ආණ්‍ඩුව ඒක ආපු විදියවත් හොයා ගන්න බැරිව අතරමං වෙලා හිටියා. ආණ්‍ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙක්ගෙ ඇඟලුම් කර්මාන්තශාලාවකින් ආවා කියන එක තමයි රටට වාර්තා වුණේ. ඒවත් ආණ්‍ඩුව නොසලකා හැරලා කටයුතු කළා. ඊට පස්සෙ කොවිඩ් සමාජගත වුණා. ඒක වහන්න හම්බවෙන හැම ආසාදිතයෙක්ම පෑලියගොඩ, මිනුවන්ගොඩ පොකුරට දැම්මා. කොවිඩ් වේගයෙන් සමාජගත වෙද්දි ඒක පාලනය කරනවා වෙනුවට ආණ්‍ඩුව පිස්සු නටන්න පටන් ගත්තා. උදයංග වීරතුංග යුක්රේනයෙන් සංචාරකයො ගෙනාවා. ඉන්දියාවේ කොරෝනා බරපතළ විදියට පැතිරෙද්දි ආණ්‍ඩුව ඉන්දියාවෙ අයට නිරෝධායනය වෙන්න ලංකාවට එන්න කියලා. තුන්වෙනි රැල්ලට නම් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ආණ්‍ඩුව. අප්‍රේල් 8 වැනිදා වෙනකොට මේ අද පැතිරිලා තියෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදය ගැන තොතුරු සියල්ලම පර්යේෂකයින් විසින් ආණ්‍ඩුවට දීලා තියෙනවා. අද හම්බවෙන අයගෙන් සියයට 90ක්ම බ්‍රිතාන්‍යයේ ප්‍රභේදයේ අය. ලෝකෙ දැන් තියෙන කොවිඩ් ප්‍රභේද හයෙන් පහක්ම ලංකාවට ඇවිත් තියෙන්නේ. සියල්ල අවුල් වුණේ ආණ්‍ඩුවේ නොසැලකිල්ල නිසා. සෞඛ්‍ය අංශ දේශපාලන බල අධිකාරයට යට කළා. අපි පිළියන්දලදී දැක්කෙ ඒක. සෞඛ්‍ය අංශ ඉල්ලපු වෙලාවේ ලොක්ඩවුන් කළේ නෑ. ගාමිණී ලොකුගේ දේශපාලන හයිය පෙන්නලා වැඩ කළා. දැන් වැඩියෙන්ම ආසාදිතයන් හම්බවෙන්නේ පිළියන්දලින්. පසුගිය දිනවල සිදුවුණු මරණ සියල්ලට ආණ්‍ඩුව වගකියන්න ඕනෑ. ආණ්‍ඩුව උද්ධච්ච ආකාරයට වැඩ කරපු එකේ ප්‍රතිවිපාක දැන් අපට භුක්ති විඳින්න වෙලා.”


• ආණ්‍ඩුව කියන්නේ පුළුවන් හැමදේම කරනවා කියලනේ?


“මොන බොරු ද? ආණ්‍ඩුව මේ ගැන අවශ්‍ය සැලකිල්ල දක්වනවා ද නැද්ද කියන එක ගැන අපි මොකුත් කියන්න ඕනෑ නෑ. ආණ්‍ඩුවේ මේ සම්බන්ධව පත් කරපු ඇමැතිතුමිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේම කියනවා තමන් කරපු ඉල්ලීම ආණ්ඩුවේදි පරාජය වුණා කියලා. සෞඛ්‍ය බලධාරීන් කියන දේවල් ආණ්‍ඩුව අහන්නේ නෑ කියලා විෂය භාර රාජ්‍ය ඇමැතිතුමියම කියද්දි අපි තවත් ඒ ගැන කියන්න ඕනෑ නැහැ. සෞඛ්‍ය අංශ සංචරණ සීමා පනවන්න කියලා දිගින් දිගටම කියද්දි ආණ්‍ඩුව ඒක කරන්නෙ නෑ. ආණ්‍ඩුව අහන්නේ කොවිඩ් රෝගයෙන් හම්බ කරන එයාලගෙ ගජ මිතුරු බිස්නස්කාරයො කියන දේ වෙන්න ඇති.”


• සමගි ජන බලවේගය මේ වෙලාවෙ සර්ව පාක්ෂික සමුළුවක් ඉල්ලනවා. ජේ.වී.පී. එකත් ඒ වගේ අදහසක ඉන්නවා ද?


“අපි එහෙම කියන්නේ නෑ. මොකද අපි දන්නවා ඔය සර්ව පාක්ෂික සමුළුවල ඉතිහාසය. රටේ​ මොකක් හරි ප්‍රශ්නයක් ආවාම මේ දෙගොල්ලොම එකතු වෙලා කතා කරනවා විතරයි. කොටින්ම මීට කලින් තියෙන අත්දැකීම් එක්ක මේ සර්ව පාක්ෂික සමුළු නිකන්ම නිකන් කතා සාප්පු විතරයි කියලා අපි තේරුම් අරන් ඉවරයි. ඒවා කර කර ඉන්න දෙයක් නෑ, මේ වැඩේට අවශ්‍යම පිරිසට වගකීම බාර දුන්නා නම්. වගකීම ගන්න පුළුවන් අය පැත්තට දාලා තමන්ට ඕන පිරිසකට වැඩේ මෙහෙයවන්න දීලා වැඩේ අනාගෙන තියෙන්නෙ දැන්. මේක මෙහෙයවන්න පුළුවන් ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි. ආණ්‍ඩුව ආණ්ඩුවේ වගකීම හරියට කරන්න විපක්ෂයෙන් අවශ්‍ය සහයෝගය ඉල්ලන්න. අපිත් ඒක ලබාදෙන්න සූදානම්. එහෙම ශක්තිමත් ව්‍යුහයක් තමයි අපි යෝජනා කරන්නේ. ඒ ජාතික මට්ටමේ යාන්ත්‍රණයකට අපි සහයෝගය දෙනවා. එහෙම නැතුව සර්ව පාක්ෂික සමුළු කියලා දේශපාලන පක්ෂ ගෙන්නලා තේ බීලා මොනවා හරි කතා කරලා විසිරිලා ගියාට වැඩක් නෑ.”


• සමහරු අහනවා ජේ.වී.පී. එක මොනවා ද මේ වෙලාවෙ කරන්නේ කියලා. තව සමහරු අහනවා රතු තරුව වගේ ඒවා කෝ කියලා?


“මේ රෝගය සම්බන්ධයෙන් අවබෝධයක් නැති අයයි, ඒ වගේම ඕන දේකට ජේ.වී.පී. එක අල්ලාගෙන අවලාද කියන අයයි මේ ප්‍රශ්නය අහලා තියෙනවා මමත් දැක්කා. අපි ඉතාම පැහැදිලිව අඳුරගෙන තියෙනවා මේ රෝගයේ ස්වභාවය. මේක ගංවතුරක් නම්, සුනාමියක් නම්, එහෙමත් නැත්නම් ඒ වගේ වෙනත් ස්වභාවික විපතක් නම් අපි ආණ්‍ඩුවේ යාන්ත්‍රණය දිහා බලාගෙන ඉන්නෙ නෑ. ආණ්ඩුව කළත් නැතත් අපිට පුළුවන් උපරිමය අපි කරනවා. අපි එහෙම කරලා පෙන්නපු දේශපාලන ව්‍යාපාරයක්. ඒක තමයි කාටත් රතු තරුව මතක් වෙන්නේ. අපි මතක හිටින වැඩ කොටසක් කරපු නිසා තමයි ඒ ප්‍රශ්නය මේ මොහොතෙත් අහන්න මතක් වෙන්නේ. නමුත් කොවිඩ් කියන්නේ වයිරස් වසංගතයක්. අද වසංගතය සමාජගත වෙලා තියෙන්නේ. අපි කරන මොකක් හරි දේකින් වයිරසය තවදුරටත් පැතිරෙන්න පුළුවන් කියන එක ගැන අවධානය යොමු කරන්න ඕන. මේකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත්ම යාන්ත්‍රණය හදන්න පුළුවන් රජයට පමණයි. අපි කැමැතියි ඒකට ඕන සහයෝගයක් දෙන්න. රජය උද්ධච්චකම පැත්තකින් තියලා ඒ වැඩේ කරන්න හැම දෙනාගෙම සහයෝගය ලබාගන්න ඕන. ඒකෙදි ජේ.වී.පී. එකට පැවැරෙන වැඩ කොටස නොපිරිහෙලා ඉටු කරන්න අපි සූදානම්. ඒ ගැන සැකයක් නැහැ.”


• එහෙනම් දැන් ඔය ඇඳන් හදන ව්‍යාපෘතිත් කරන්නේ එක එක අය?


“ඇඳන් දහදාහක් හදන බැසිල් රාජපක්ෂගේ මහා ව්‍යාපෘතියක් කියලා එකක් යනවා දැන්. ඒකට සුබ පතලා පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ දැන්වීම් පළ කරනවා. ඇඳන් හදන හැම තැනටම ගිහින් නාමල් රාජපක්ෂ වොයිස් කට් දෙනවා. එතැනදි විපක්ෂයට බණිනවා. ඔහොම ප්‍රොජෙක්ට් එකක් අපිට මේ දවස්වල පේනවා. ඇඳන් හදන එකේ කිසි වරදක් නෑ. කොවිඩ්වලට පාවිච්චි කරන්නත් පුළුවන්, ඊට පස්සෙ පාවිච්චි කරන්නත් පුළුවන්නෙ. හැබැයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්න ඕන රටක් විදියට හදන ජාතික වැඩපිළවෙළට අනුව. මේ වෙලාවෙ සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරලා තියෙනවා ඇඳන් අවශ්‍යයි කියලා. ඇඳන් හදන එකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වෙලාවෙ අපේ මූලික අවශ්‍යතාවය තමයි අපේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට රෝගීන් සංඛ්‍යාව අඩු කරගන්නේ කොහොම ද කියන එක. රෝගීන් ඕන තරම් වැඩි වෙන්න දීලා ඒකට හරියන්න ඇඳන් හදන එක නෙවෙයි කරන්න ඕන. අපි හරිම විසඳුම හොයන්න ඕන. ඒකට මේ වයිරස් එක පැතිරීම පාලනය කරන්න ඕන. සෞඛ්‍ය බලධාරීන් මේ ගැන පැහැදිලි කළා ඕනම මෝඩයෙකුට වුණත් පැහැදිලි වෙන ආකාරයට. ඒ අය කිව්වෙ ටැප් එක ඇරලා මොප් කළාට වැඩක් නෑ කියලා. ටැප් එක ඉක්මනින් වහන්න ඕන. ඊට පස්සෙ වැටිච්ච වතුර ටික මොප් කරන්න පුළුවන්. ඒත් දැන් ආණ්‍ඩුව කරන්නේ ටැප් එක වහන්නෙ නැතුව මොප් කරන්න රෙදි කෑලි ටිකක් දම දමා යනවා වගේ වැඩක්. මේක නොවෙයි මේකට උත්තරේ.”

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි