අඩුම කාලයක් තුළ ජනතා අප්‍රසාදයට පත්වූ ආණ්ඩුවක් නම් මේ ආණ්ඩුවයි


සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- 2020 ගෙවුණා. මොකද හිතෙන්නේ?


පිළිතුර:- අඩුම කාලයක් තුළ ජනතාවගේ අප්‍රසාදයට පත්වෙච්ච ආණ්ඩුවක් තියෙනවා නම් ඒ මේ ආණ්ඩුවයි. ලෝකයේ විශාල ආර්ථික අර්බුදයක් තියෙන එක සැබෑවක් වුණාට ආණ්ඩුව ගැන ජනතාව තියපු බලාපොරොත්තු අමු අමුවේ බිඳ වැටුණු අවුරුද්දක්. රටේ ජනතාව මේ ආණ්ඩුව ගැන විශාල බලාපොරොත්තුවක් තිබ්බා. ‘සිස්ටම් චේන්ජ්’ එකක් - අලුත් වෙනසක් ජනතාව හෙව්වා. ඒ වෙනුවෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවට ගෙනාවේ. ඒ ජනතාව දැන් දැඩි කලකිරීමකින් ඉන්න බව නම් ඉතාම පැහැදිලිය.


ප්‍රශ්නය:- ලෝක වසංගතයක් ඉදිරිපිට රට මේ මට්ටමින් හරි පවත්වා ගෙන යන එක ගැන ඇයි ඔබ කතා නොකරන්නේ?


පිළිතුර:- ඇත්තවශයෙන්ම තත්ත්වය පාලනය කිරීමට වඩා රට මේ තත්ත්වයට පත්කිරීම ගැන ආණ්ඩුව වගකිව යුතුයි. මුලින්ම මාර්තු මාසයේ කොරෝනා ආසාදිතයා හමු වුණාටත් පස්සේ කළ යුතු දේ නොකිරීම නිසයි කොරෝනා පළමු රැල්ල බිහිවුණේ. ඒ පළමු රැල්ල ආවෙත් පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රමුඛතාවය දීම නිසයි. දෙවැනි රැල්ලත් දැන් බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වුණාට පස්සේ... 20 වැනි සංශෝධනයට තුනෙන් දෙක ගන්න ප්‍රමුඛතාවය දීම තුළ රට ගැන නොසිතා කටයුතු කිරීම නිසා අද රට මේ තත්ත්වයට පත්වෙලා. කොරෝනා පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශත් හමුද‌ාවත් පොලිසියත් කරන සේවය අගයන අතරම ඔවුන්ට එහා ගිය දේශපාලන බලයක් ක්‍රියාත්මක කිරීම තුළ රට තුළ විශාල අර්බුදයක් මතුවෙලා තියෙනවා. අපි ගත්තොත් පාකිස්තානය වැනි රටවල්... පාකිස්තානයේ අපේ රටට වඩා මරණ වාර්තා වෙනවා. ආසාදිතයන් ඉන්නවා. නමුත් ඔවුන් නිවැරැදි තීන්දු අරගෙන තියෙනවා. අනවශ්‍ය ව්‍යාපෘතිවලට ණය ගන්නේ නැතිව, ණය ගැනීම අවම කරලා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාද‌ාමයට දේශපාලනඥයකු නොවන අගමැතිවරයකු... මොකද ඉම්රාන් ඛාන් කියන්නේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නමුත් ඔහු අද දේශපාලනඥයකු හැටියට දැන් ඉතාම සාර්ථකයි. ඒ තත්ත්වයම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වුණේ. අවාසනාවකට ඒක වුණේ නෑ. පරණ අර කුරුවල් වෙච්ච පරණ සෙට් එකම ඉස්සරහට ද‌ාගෙන වියත් කියන සෙට් එක වෙනුවට අසාර්ථක කණ්ඩායමක් එක්ක කටයුතු කරන්න ගිහිල්ලා ජනාධිපතිතුමත් ‘ෆේල්’ කියලා තමයි පේන්න තියෙන්නේ.

 

  • ඉම්රාන් ඛාන් කියන්නේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නමුත් ඔහු අද දේශපාලනඥයකු හැටියට දැන් ඉතාම සාර්ථකයි. ඒ තත්ත්වයම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වුණේ. අවාසනාවකට ඒක වුණේ නෑ.


ප්‍රශ්නය:-  ඔබ එහෙම කිව්වත් ආණ්ඩුව නම් කියන්නේ ‘රටේ අවාසනාවට කොරෝනා ආවත් ජනතාවගේ වාසනාවට මේ ආණ්ඩුව තියෙන්නේ’ කියලයි.


පිළිතුර:- ආණ්ඩුව එහෙම හිතන එක ගැනම කනගාටු වෙනවා. නමුත් අද මේ ආණ්ඩුව ගේන්න කටයුතු කරපු විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන වැනි මහත්වරුන්ට සලකන විදිය දිහා බැලුවම අපට නම් තේරෙන්නේ නැහැ මේ කොහේටද යන්නේ කියලා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට සලකන විදිහෙන් පවා පේනවා යන්නේ කොතැනටද කියලා පැහැදිලිව පේන්න තියෙනවා. රටේ ජනතාවට පළමු අවුරුද්දම තේරුණා අපි කියපු හැම වචනයක්ම සත්‍යයක් කියලා. ඉදිරි කාලය වෙන විට එයට එරෙහිව ජනතා පෙළගැසීම් ඇතිවේවි. මාර්තු මාසය වෙනකොට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්නත් බැරි වෙනවා.


ප්‍රශ්නය:- ඔබ විමල් වීරවංශ ගැන කියපු නිසා මේ අහන්නේ. විමල්, ඔබ, දයාසිරි හා මනූෂ නානායක්කාර කරේ අතද‌ාගෙන සිංදු කියන වීඩියෝවක් මුහුණු පොතේ සැරිසරනවා. ‘මට සලකන විදිය හරි නෑ.’ කියලා විමල් කිව්වේ ඒ වෙලාවෙද?


පිළිතුර:- එතැන වුණේ විමල් ඇමැතිතුමාගේ අමාත්‍යාංශ ලේකම්වෙලා හිටිය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෙක් වෙච්ච චූලානන්ද පෙරේරා මැතිතුමා වේලාසනින් විශ්‍රාම ගියා. එද‌ා එතුමා ඉතාම හොඳ කතාවක් කළා රජයේ සේවකයන්ට අත්වෙලා තියෙන ඉරණම ගැන. එතුමා පෞද්ගලික හේතු මත වසර දෙකකට පෙර ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගියා. එහෙම එතුමා විශ්‍රාම යනකොට විමල් වීරවංශ ඇමැතිතුමා නොදැනුවත්වම අනූෂ පැල්පිට මහත්මයා ඒ අමාත්‍යාංශයේ ලේකම් හැටියට පත්වෙනවා. නැවත වතාවක් පී.බී. ජයසුන්දරලා හා එතුමන්ලාගේ කණ්ඩායම් තමයි රට පාලනය කරන්නේ. මම ප්‍රතිපත්තිමය වශයෙන් කොච්චර ගැටුනත් අපේ මිත්‍රකම් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ඉතාම තදින් රාජ්‍ය සේවකයන් දේශපාලනයට යොද‌ා ගත්තේ. මේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් වැටෙන්නේ එතැනටමයි.


ප්‍රශ්නය:- කොරෝනා වසංගතය හමුවේ කඩාවැටුණු ආර්ථිකය නංවන්න ආණ්ඩුව සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කළා. විපක්ෂයට මේවා පේන්නේ නැද්ද?


පිළිතුර:- පේනවා. අර යුක්රේන්වලින් ආපු තුන් දෙනෙකුටම කොරෝනානේ. දැන් එතකොට එතැන නැටුම් කරපු ඔක්කොටම දැන් නිරෝධායනය වෙන්න වෙනවා නේද? ප්ලේන් එකේ ආපු අයගෙන් තුන් දෙනෙකුට කොරෝනා නම් ඒ ප්ලේන් එකේ ආපු 186 ටම මොකක්ද වෙන්නේ? උදයංග වීරතුංග වෙනුවෙන් නටපු බාල් නැටුමෙන් තුන්වැනි පොකුරද මේ ගෙනාවේ? අපට එහෙම අහන්න වෙනවා. ආණ්ඩුවට ඉන්න ගජ මිතුරන් වෙනුවෙන් තමයි මේවා ඔක්කොම වෙන්නේ. ඇන්ටිජන් ටෙස්ට් එකත් ඒ වගේමයි. මහ මුහුදේ නැව් හදනවා. කිසිම කෙනෙකුගේ පාලනයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂට හිතවත්නම් එයාලට තමයි හම්බ කරගන්න දෙන්නේ. එතුමාව බලයට ගේන්න කටයුතු කරපු කට්ටිය ගැනවත් තැකීමක් නෑ. උදයංග වීරතුංගට ඕනැ විදියට දිලිත් ජයවීරට ඕනැ විදියට තමයි ගෝඨාභය රාජපක්ෂ හැසිරෙන්නේ කියලා අපට පේන්නේ.


ප්‍රශ්නය:- විපක්ෂය කරන්නේ බොරුවට ජනතාව කුලප්පු කරන එක?


පිළිතුර:- අපි ආණ්ඩුව අර්බුදයට යවන්න කිසිම දෙයක් කළේ නෑ. නමුත් රටේ වැරැදි වෙනවා නම් ඒ වැරැදි නිසා රටේ ජනතාව අමාරුවේ වැටෙනවා නම් අහක බලාගෙන ඉන්න අපට බෑ. අපේ දේශපාලන වගකීම තමයි ආණ්ඩුවට සාධාරණ විවේචන ඉදිරිපත් කිරීම. අපේ මැදිහත්වීම තුළ රටේ නොයෙක් දේවල් වෙනස් වෙලා තියෙනවා. කෝටි ගණන් කුලියට අමාත්‍යාංශ වෙනත් ගොඩනැගිලිවලට රැගෙන යාම. ඇන්ටිජන් හොරකම, සීනි හොරකම, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ බිලියන ගණනක් එන ආයතනය අහෝසි කරලා වෙනත් ආයතනයකට ඒක විකුණන්න සැලසුම් කිරීම, රජයේ සේවකයන්ගේ අයිතිවාසිකම්. මේවා ගැන විපක්ෂය හැටියට අපි කට වහගෙන ඉන්නවා නම් හරිද?


ප්‍රශ්නය:- නමුත් ඔබලා රැස්වීම් තිය තියා ජනතාව ඒකරාශි කළාම උද්ඝෝෂණවලට ගෙනිච්චම කොහොමද කොරෝනාව මැඩ පවත්වන්නේ කියලා ආණ්ඩුව අහනවා?


පිළිතුර:- අපි විශාල ජනතා ඒකරාශි කිරීම්වලට ගිහින් නෑ. අපි අපේ සංවිධාන කටයුතු කරගෙන යනවා. ඒ සංවිධාන කටයුතුවලට හැම ගමකින්ම විසිපස් දෙනෙකු විතරයි අපි ගෙන්වා ගන්නේ. ඒකත් සමාජ දුරස්ථභාවය රැකගෙන තමයි කරන්නේ. අපි අපේ වගකීම දැනගෙන තමයි කටයුතු කරන්නේ?


ප්‍රශ්නය:-  කොරෝනා ආසාදිත මුස්ලිම් මරණ සම්බන්ධයෙන් ඔබලා රටේ අනවශ්‍ය ප්‍රශ්න මතු කරන බවටත් චෝදනාවක් තියෙනවා?


පිළිතුර:- ඒක වැරදි අර්ථකථනයක්. අපි මුස්ලිම් මරණ සම්බන්ධයෙන් නොවෙයි. ජනතාවගේ ආගමට අනුකූලව ලෝකයේ රටවල් 188 ක් කරගෙන යන විදියට කරන්න ඉඩ දෙන්න කියලයි අපි කියන්නේ.


ප්‍රශ්නය:-  ඒ සම්බන්ධයෙන් තියෙන සෞඛ්‍ය විද්‍යාත්මක මතයට එරෙහිව ඔබලා ජනතාව උසිගන්වනවා?


පිළිතුර:- සෞඛ්‍ය විද්‍යාත්මක මතය කොතැනකවත් හරියට පැහැදිලිව කියලා නෑ. ආණ්ඩුව ආණ්ඩුවේ න්‍යාය පත්‍රය දේශපාලන න්‍යාය වෙනුවෙන් මුස්ලිම් ජනතාවගෙන් පලිගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ ඔබතුමා බෞද්ධයෙක්. මරණයක් වුණාම පාංශුකූලයක් නොදී අවසන් කටයුතු කරන්නේ නැහැනේ. අපි පිළිගන්නවා කොවිඩ් ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාටත් පාංශුකූලයට වැඩම කරන්න අවස්ථාවක් නැහැ. කතෝලික භක්තිකයකුගේ මළ සිරුරක් භූමද‌ානය කිරීම තමයි කතෝලික ජනයාගේ විශ්වාසය. ඒ නිසා අපි එක ජාතියක් අල්ලාගෙන හංවඩු ගහන්නේ නැහැ. අපි කියන්නේ සියලු ජාතීන්ට සමානව, ලෝකයේ පිළිගත්ත ක්‍රමයට අනුව වැඩ කළ යුතුයි කියලයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා නම් ‘එහෙම කරන්න එපා’ කියලා ඒක අපිට පිළිගන්න පුළුවන්. නමුත් අපි දකිනවා ආණ්ඩුව තමන්ගේ මතය ප්‍රචලිත කරන්න කොච්චර වලිකනවාදැයි කියලා විද්‍යාව වෙනුවට මිථ්‍යාව ප්‍රචලිත කරනවා. ඒක පැහැදිලිව පේන්න තියෙනවා සර්ගේ ෆේල් එකට මූලික හේතුව තමයි ලෝකයේ රටවල් විද්‍යාව පසුපස යන විට අපි මිථ්‍යාවක් පස්සේ යනවා. අපි සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ගත්තොත් එක එක විශ්වාස තියෙන්න පුළුවන්. දෙවියන් ඉන්න පුළුවන්. දෙවියන් ආරූඪ කරගෙන ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාළිකාවලින් අනවශ්‍ය විදියට ප්‍රචාරය කිරීමෙන් සිද්ධ වෙන්නේ ජනතාව මෝඩයන් කිරීමයි.


ප්‍රශ්නය:-  2021 දී මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?


පිළිතුර:- ආණ්ඩුවට පාස් වෙන්න ඕනෑම උදව්වක් කරන්න අපි සූද‌ානම්. තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවට අපි අභියෝග කරන්නේ වැරැදි දේවල්වලට. නමුත් අපි ඉල්ලීමක් කරනවා රට වෙනුවෙන් හරි දේ කරන්න කියලා. එහෙම නොවුණොත් දැනට පේන දේ තමයි ආණ්ඩුව ඇතුළෙන්ම පිපිරෙන්න පටන් අරන් තියෙනවා. ඒ පිපිරීම කොච්චර දුරකට යයි ද කියන එක තව මාස දෙක තුනකින් අපට බලාගන්න පුළුවන් වෙයි. අපි විපක්ෂයක් හැටියට අපේ අතින්​ වෙච්ච වැරැදි අපි හද‌ා ගනිමින් ජනතාව බලාපොරොත්තු වෙන ඒ වෙනස ඇති කරන්න, අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න සියලුම දේශපාලන බලවේග එකතු කරමින් අපි අලුත් ගමනක් යනවා.

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්