අගමැතිකම භාරගන්න කියලා දිගටම මට යෝජනා ආවා


සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න   

විශ්‍වාසභංගයේ දී ඇත්තටම මොකද වුණේ? එයින් පසුව රටේ දේශපාලනයේ නව පෙළගැසීම් කෙසේද? මේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.   

ප්‍රශ්නය - සංඛ්‍යා ලේඛනවලින් දිනුවත් විශ්වාසභංගයෙන් ආණ්‍ඩුවට බරපතළ ලෙස තුවාල වුණා?   


පිළිතුර - නෑ. ඉතින් විශ්වාසභංගය දිනුව ද? පැරදුණා ද? කියන එක එදා මුළු රටම නිරීක්ෂණ කළා. මුළු රටේම ජනතාව ඒ විජයග්‍රහණය භූක්ති වින්දා. ඉතින් තවත් මොනවද?   


ප්‍රශ්නය - මොණර කොළවල මහිමයෙන් ඒ ජයග්‍රහණය නිර්මාණය කරගත්තා කියලයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ?   


පිළිතුර - ඒක ඉතින් හැමදාම කියන කතාවක්නේ. පැරදුනාම හැමදාම ඔහොම කියනවනේ. ඉතින් එහෙමනං ලංකා ඉතිහාසයේ හැම දේශපාලන තීන්දුවක්ම අරගෙන තියෙන්නේ මොණර කොළවලින්. ඔය කියන විදියට 64දී සී.පී. ද සිල්වාත් එහෙනම් මොණර කොළවලින් තමයි තීන්දු ගන්න ඇත්තේ. ජනවාරි 8ත් එහෙනම් එහෙමයි. ඔය පරාජිත මිනිස්සු කියන හිස් බොළඳ කතාවක්නේ ඔය. මහා කබල් කතාවක්. ඔය වගේ කතාවලින් ඒ ජයග්‍රහණය අවතක්සේරු කරන්න බැහැ.   


ප්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ගන්න එකඟ වෙච්ච කොන්දේසි රටට ඉතාම අහිතකර බව තමයි ප්‍රකාශ වෙන්නේ?   


පිළිතුර - කිසිම කොන්දේසියක් නෑ.   


ප්‍රශ්නය - නෑ. කොන්දේසි 10ක් ඉදිරිපත් කළා කියලා දෙමළ ජාතික සන්ධානයම කියනවා.   


පිළිතුර - ඔයා සුමන්තිරන් මන්ත්‍රීතුමාගෙන් අහලා බලන්න. එතුමා ඉතාම පැහැදිලිවම කියනවා කිසිම කොන්දේසියක් නැහැ කියලා.   


ප්‍රශ්නය - එකඟ වෙච්ච කොන්දේසි 10 මාධ්‍ය හරහා රටට ගියා?   


පිළිතුර - කිසිම කොන්දේසියක් නැහැ. එකඟතාවක් තියෙනවා. ඒ එකඟතාව තමයි 2015 ජනවාරි 8 වැනිදා තිබුණ එකඟතාවය. ඒ එකඟතාවයට ජනතා වරමක් ලැබුණා.   


ප්‍රශ්නය - නමුත් ජනතාව ඒ වරම ආපහු ගත්තා?   


පිළිතුර - ඒ කොහේදිද? එහෙම වෙන්නේ කොහොමද?   


ප්‍රශ්නය - ඇයි පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන්?   


පිළිතුර - ඒක පළාත් පාලන මැතිවරණයක්නේ. ඒ මැතිවරණයෙන් තෝරන්නේ ගමට මන්ත්‍රී කෙනෙක්. එහෙම නැතිව ඒක ජාතික මැතිවරණයක් නොවෙයි. අපි මේ කතා කරන්නේ 2015 ජනාධිපතිවරණයේදී ලැබුණු හැට දෙලක්ෂයක ජන වරම ගැන. ඒ ජන වරම මනින්න ඕනෑ තවත් ජනාධිපතිවරණයකින්. ඒ නිසා ඒ ජන වරම තවම නිරුපද්‍රිතයි. අපි ආණ්ඩුවක් හැටියට තීන්දු තීරණ ගන්නේ ඒ ජනවරමට යටත්වයි.   


ප්‍රශ්නය - හැබැයි ජනාධිපතිවරණ කාලෙදි නම් කිව්වේ කිසිම රහස් ගිවිසුම් එකඟතා නෑ කියලයි.   


පිළිතුර - ඕකනේ වෙලා තියෙන්නේ. මේ ගොල්ලන්ට රහස් ගිවිසුම් හා විවෘත එකඟතා මොනවද කියලා හඳුනා ගන්න බැහැ. අප අතර එකඟතා තියෙනවා. මේ ආණ්ඩුව මුළු රටේම ආණ්‍ඩුව. එක පළාතකට සීමා වෙච්ච ආණ්ඩුවක් නොවෙයි. ඒ ඒ ජන කොටස්වලට බලපෑ සුවිශේෂි ප්‍රශ්න තියෙනවා නම් ඒ මහජනයාගේ නියෝජිතයන් සමග සාකච්ඡා කරලා විසඳුම් ක්‍රියාත්මක කරන්න ඕනෑ.   


ප්‍රශ්නය - ඒ කියන්නේ ඉදිරියේ දී ඒ එකඟතා අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා.   


පිළිතුර - ඒකටනේ රජයක් තියෙන්නේ. ජනතාව අපිව පත් කළේ‍ ඒකටනේ.   


ප්‍රශ්නය - කොයි දේ ක්‍රියාත්මක කරන්නත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අවශ්‍යයි. විශ්වාසභංගයෙන් පස්සේ මේ ආණ්‍ඩුවට තුනෙන් දෙකේ බලය නැති වුණා.   


පිළිතුර - තුනෙන් දෙකේ බලය හොඳ දේ කිරීම සඳහා තවමත් තියෙනවා. අපිට ජනතා විමුක්ති පෙරමුණ සහාය දේවි. එතකොට අපිට තුනෙන් දෙකේ බලය ලැබෙනවා. 

 
ප්‍රශ්නය - ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණත් සමග එකඟතාවක් තියෙනවද?   


පිළිතුර - එකඟතාවක් තියෙන්න ඕනෑ නැහැනේ. නිවැරදි හොඳ දේවල්වලට ඒගොල්ලෝ සහාය දෙනවා. එතකොට තුනෙන් දෙකෙන් සම්මත කර ගන්න අපි ගේන්නෙත් නිවැරදි දේවල්. එතකොට සහාය දෙන්න වෙනවනේ.   


ප්‍රශ්නය - මොනවද එහෙම ගේන්න බලාපොරොත්තු වෙන හොඳ පනත්.   


පිළිතුර - ඇයි විශේෂ අධිකරණ පිහිටුවීමේ පනත, ඒක ගේනකොට ඒගොල්ලෝ සහාය දේවි.   


ප්‍රශ්නය - දෙමළ සන්ධානයට එකඟ වෙච්ච පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවොත්?   


පිළිතුර - ඒක ඒ ගැනත් අපි ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ. සියලු පක්ෂ එක්ක කතා කරලා තියෙන්නේ. ඒ විදියට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවොත් ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දෙනවා අනිවාර්යයෙන්ම.   


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයට හිටියේ මන්ත්‍රීවරුන් 54යි. විශ්‍වාසභංගයෙන් පස්සේ ඔවුන්ට අලුතෙන් මන්ත්‍රීවරුන් 16 දෙනෙක් එකතු වුණා. එය ඔවුන් ලැබූ ජයග්‍රහණයක්.   


පිළිතුර - ඒ 16 දෙනා ඒගොල්ලන්ට හම්බ වෙන්නේ අපි ඒ 16 දෙනාව දොට්ට දාන හින්දා. අපිට ඕනෑ නෑ ඒ වගේ කට්ටිය. ඒ වගේ අය තියාගෙන ඉන්න අපට අවශ්‍ය නෑ. ඒ අය යනවා නොවෙයි අපියි යවන්නේ ඔවුන්ව.   


ප්‍රශ්නය - ඔවුන් කියනවා ඇමැතිකම්වලින් යන්නේ නෑ කියලා.   


පිළිතුර - කවුද? ඒ ගොල්ලෝ කොහොමද තීරණය කරන්නේ යනවද නැද්ද කියලා. ඒකෙන්ම පේනවනේ විලිලැජ්ජා නැති කම.   


ප්‍රශ්නය - ඔවුන් කියනවා ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා. ජනාධිපතිතුමා කිව්වා ඉන්න කලබල වෙන්න එපා කියලා?   


පිළිතුර - මොන ලජ්ජා නැති කතාවක්ද? මම ඒකට ඡන්දය දුන්නා නම් මම කරන්නේ මුලින්ම ඇමැතිකමෙන් ඉවත් වෙන එකයි. ඒ වගේවත් සදාචාරයක් නැති මිනිස්සු එක්ක මොන දේශපාලනයක්ද?   


ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ බලපෑමට ඔවුන් ඉවත් වේවි කියල ඔබ හිතනවද?   


පිළිතුර - අයින් වෙන්නේ නැත්නම් මිනිස්සු තේරුම් ගන්නවනේ දේශපාලනයේ තියෙන නිර්ලජ්ජිතභාවය.   


ප්‍රශ්නය - පහුගිය අඟහරුවාදා මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම කැබිනට් එක වර්ජනය කළා.   


පිළිතුර - ඒක ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නය විසඳා ගන්නකම් ඒගොල්ලෝ ආවේ නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිත් එක්ක ඉන්න මන්ත්‍රීවරු ඇමැතිවරු අපිත් එක්ක කිව්වා ඇත්තම තත්ත්වය මොකද්ද කියලා. අපි බලමු ඉස්සරහට.   


ප්‍රශ්නය - විශ්‍වාසභංගයට පක්ෂව ඡන්දය දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා තියාගන්න කියලා ජනාධිපවරයා ඉල්ලීමක් කළොත්? 

 
පිළිතුර - එහෙම ඉල්ලීමක් කළානේ. අපි කිව්වා කීයටවත් එකඟ වෙන්න බැහැ කියලා. එහෙම කරන්නේ කොහොමද? මේ රටේ දේශපාලන සදාචාරයක් තියෙනවා. මේවා මොන විලිලජ්ජා නැති වැඩද?   


ප්‍රශ්නය - පහුගිය සඳුදා වෙන කොට නව කැබිනට් මණ්‍ඩලය දිවුරුම් දෙනවා කියලා ඔබ කිව්වා, කෝ තාම නෑනේ?   


පිළිතුර - ඒක පහුගිය අඟහරුවාදාත් කතා කළා. වහාම ඉදිරි දින දෙක තුළ දී පත් කරන්න කියලා යෝජනා වුණා.   


ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි අමාත්‍ය ධුර 16 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙනවද? නැත්නම් යූඑන්පී එක ගන්නවද?   


පිළිතුර - ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම දෙනවා. ඒවා ඒගොල්ලන්ට අරගෙන තවත් අයට දෙන්න පුළුවන්නේ.   

 

මම දැඩි තීරණයක හිටියා. එකක් මම කොහොමටවත් පිටිපස්සෙන් පිහියෙන් අනින්න කැමති නෑ මගේ නායකයකුට. මම හැමදාම දරන මතය තමයි ජනාධිපති හෝ අගමැති අපි දුර්වල නොකළ යුතුයි කියලා. එතකොට රජය දුර්වල වෙනවා. ඒ නිසා මම දිගටම ඒ ප්‍රතිපත්තියේ හිටියා. 


ප්‍රශ්නය - ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබුණ සීතල යුද්ධය විශ්‍වාසභංගය නිසා ගිනියම් වුණා?   


පිළිතුර - නෑ. එහෙම කිසිම දෙයක් නෑ. ජනාධිපතිවරයව මේකට ඇඳාගන්න සමහරු උත්සාහ කළා. ඒකට එතුමා කැමැති වුණේ‍ නෑ. එතුමට ඕනෑ වුණේ   


එතුමගේ පක්ෂය යම් සමගි මට්ටමකින් තියා ගන්න.   


ප්‍රශ්නය - ජනාධිපතිවරයා ඉල්ලා සිටියා අගමැතිවරයාගෙන් ඉල්ලා අස්වෙන්න කියලා?   


පිළිතුර - එහෙම දෙයක් ජනාධිපතිතුමාගේ පැත්තෙන් වුණේ නෑ. මමත් ඒ රැස්වීම්වල හිටියා. ජනාධිපතිතුමා කිව්වේ මේ අර්බුදය අර්බුදයක් නොවන විදියට ඒ වෙලාවේ තිබුණ තත්ත්වය හැටියට එයා කිව්වේ යම් හෙයකින් අගමැතිවරයා පරාජය වුණොත් ඒක රජයට ඉතාම නරක තත්ත්වයක්, ඒක ගැන හොඳට හිතන්න කියලා. එච්චරයි.   


ප්‍රශ්නය - ඒ කියන්නේ ලොකු අවදානම් තිබිලා තියෙනවා?   


පිළිතුර - දේශපාලනයත් කාලගුණය වගෙයි නේ. තත්ත්වයන් වරින්වර වෙනස් වෙනවා.   


ප්‍රශ්නය - ඒ නිසාද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් හැටියට ඔබලා ගිහින් අගමැති රනිල්ට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වේ.   


පිළිතුර - නෑ කිසිම බලපෑමක් අපි කළේ නෑ. අපි කෙළින්ම හිටියා අගමැතිවරයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළේ.   


ප්‍රශ්නය - නමුත් මම මතු කරපු කාරණාව සත්‍යයක්?   


පිළිතුර - එහෙම සාකච්ඡාවක් තිබුණා. නමුත් ඒකට එකඟ වුණේ නෑ බහුතරයක් අය.   


ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂය ඇතුළේ‍ ඉල්ලන ප්‍රතිසංස්කරණ සිදුනොවුණොත් නැවතත් විශ්වාසභංගයක් ගේනවා කියලා එජාපයේම පසුපෙළ තරුණ මන්ත්‍රීවරුන් කියනවා.   


පිළිතුර - ඔය ගේන කට්ටිය කිව්වනේ 27ක් ඉන්නවා අච්චරක් ඉන්නවා මෙච්චරක් ඉන්නවා කියලා. නමුත් දැක්කනේ හිටපු ගාන.   


ප්‍රශ්නය - රහස් ඡන්දයක් තිබුණා නම් ඇතැම්විට ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා කියලත් කියනවා?   


පිළිතුර - රහස් ඡන්ද තිබුණා නම් ලංකා ඉතිහාසයේ කොච්චර දේවල් වෙනස් වෙනවද? පාර්ලිමේන්තුවේ තියෙන්නේ රහස් ඡන්ද නොවෙයිනේ? ඡන්දය දීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ විදියටනේ තියෙන්නේ. මේ හැර රහස් ඡන්දයක් තිබුණා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම්, තමන්ට ආත්ම ශක්තිය තියෙන, තමන්ටම කියලා මතයක් තියෙන මන්ත්‍රීවරුන් ඉන්නවා නම් වෙනස් වෙන්නේ නැහැ. එහෙම නැති අයනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්නේ මම දන්නේ නෑ ඒකේ තත්ත්වය.   


ප්‍රශ්නය - ඔය අල්ල පනල්ලේ අගමැතිකම බාර ගන්න කියලා ඔබට ආරාධනා ආවා කියලා ඔබ කියලා තිබුණා.   


පිළිතුර - එහෙම ආරාධනා කළේ කවුද කියලා කියන එක වැරදියි. එදා විශ්වාසභංගයට කලින් දවසේ රෑ ඒකේ වැඩ කටයුතු කරලා මම ගෙදර ගියේ මගේ කතාවට ලෑස්ති වෙන්න. ඒ අය කිව්වමත් මම කිව්වා විනාඩි 15කට වඩා කතා කරන්න වෙලාවක් දෙන්න බෑ. මට හෙට කතාව තියෙනවා කියලා. අන්තිමට විනාඩි 15 සාකච්ඡාවකට ඇවිත් අන්තිමට රාත්‍රී 12 විතර වෙනකම් ඒ සාකච්ඡාව ඇදිලා ගියා. 

 
ප්‍රශ්නය - ඔබෙන් ඉල්ලන්නේ අගමැතිකම බාර ගන්න කියලා?   


පිළිතුර - ඔව්. දිගින් දිගටම මගෙන් ඒ ඉල්ලීම කළා. විශ්‍වාසභංගයත් එක්ක දිගටම ඔය ඉල්ලීම ආවා.   


ප්‍රශ්නය - කාගෙන්ද ආවේ, ඒකාබද්ධයෙන්ද? ආණ්‍ඩුවෙන්ද?   


පිළිතුර - හැම පැත්තෙන්ම ආවා. මම නොසිතූ අය මාව හමුවෙන්න එකඟතාව පළ කරලත් ආවා. ඒවායේ තව බොහෝ කතා තියෙනවා. නමුත් ඒවා කියන්න බෑ. එහෙම කියන එක හරි නෑ.   


ප්‍රශ්නය - ඔබට මෙහෙම ආරාධනාවක් තියෙනවා කියලා ජනාධිපතිවරයටත් කිව්වද?   


පිළිතුර - ඔව්. මම ජනාධිපතිතුමාටත් කිව්වා.   


ප්‍රශ්නය - ජනාධිපතිවරයා මොකද කිව්වේ?   


පිළිතුර - මොකද මේ සාකච්ඡාවලදී සමහර අය ජනාධිපතිතුමාගේ නමත් පාවිච්චි කළා. ජනාධිපතිතුමත් එක්ක කතා කරලයි මගෙත් එක්ක කතා කරන්නේ වගේ අදහසක් මට දුන්නා. කොහොම වුණත් මම කිව්වා ඔය යෝජනාවට මම කැමැති නෑ. මම කා එක්කවත් තරහා නෑ. මට දේශපාලනික ප්‍රශ්න මිසක් පෞද්ගලික ප්‍රශ්න නෑ. හමුවෙන කෙනෙක්ව මේ විශ්වාසභංගයෙන් පස්සේ හමුවෙන්නම් කියලා මම කිව්වා.   


ප්‍රශ්නය - ඇත්තටම කියන්න කවුද කතා කළේ?   


පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස්. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කොටස්, නොයෙකුත් අය එකට එකතු වෙලා.   


ප්‍රශ්නය - ඔබේ ප්‍රතිචාරය වුණේ?   


පිළිතුර - මම දැඩි තීරණයක හිටියා. එකක් මම කොහොමටවත් පිටිපස්සෙන් පිහියෙන් අනින්න කැමති නෑ මගේ නායකයකුට. මම හැමදාම දරන මතය තමයි ජනාධිපති හෝ අගමැති අපි දුර්වල නොකළ යුතුයි කියලා. එතකොට රජය දුර්වල වෙනවා. ඒ නිසා මම දිගටම ඒ ප්‍රතිපත්තියේ හිටියා. මම කිව්වා කොයිම වෙලාවකවත් පිටිපස්ස දොරෙන් මම ඕක ගන්න ලෑස්ති නෑ. මට ලැබෙනවා නම් ඒක ලැබිය යුත්තේ ඉස්සරහා දොරෙන් කියලා.   


ප්‍රශ්නය - එහෙමත් බලාපොරොත්තුවක් තියෙනවා.   


පිළිතුර - ඒවා ඉතින් කියන්න බැහැ. දේශපාලනයේදී ඕවා බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මොකද ඕක බලාපොරොත්තු වෙච්ච කිසි කෙනෙකුට මේ දේශපාලනයේදී ලැබිලා නෑ. බලාපොරොත්තු නොවුණ අයට තමයි ඒවා ලැබිලා තියෙන්නේ. ඒ නිසා බලාපොරොත්තු නොවී හිටියම හොඳයි.   


ප්‍රශ්නය - රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා කිව්වා ඔබ අනිත් ඔක්කොම කරනවා. හැබැයි සෞඛ්‍ය විතරයි කරන්නේ නැත්තේ කියලා.   


පිළිතුර - පේන්නැද්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකයෝ ලංකාවට ඇවිත් කියපු දේ. ලෝකයේ ඉහළම සෞඛ්‍ය තියෙන්නේ ලංකාවේ කියලයි ඔවුන් කිව්වේ. ඩිලාන් පෙරේරා දන්න කෙහෙල්මලක් තියෙනවද සෞඛ්‍ය ගැන.   

 

 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්